යාපනයේ උපාධිධාරී තරුනයෙක් විරැකියාව නිසා සිය දිවි නසා ගනී
සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි, 2018 ජූලි 22
යාපනයේ කොඩිකාමම් ප්‍රදේශයේ කච්චායි ගමේ පදිංචිව සිටි රැකියා විරහිත උපාධිධාරි තරුනයකු වූ ක්‍රිෂ්නපිල්ලෙයි සත්‍යසීලන් ජූලි 3 වැනි දා එල්ලී සිය දිවි නසා ගත්තේ ය. වයස අවුරුදු 29 ක් වූ ඔහු යාපනය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.
සත්‍යසීලන්ගේ සියදිවි නසා ගැනීම රට පුරා ම ත්, විශේෂයෙන් දසක තුනක දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයකින් විනාශයට පත් වූ උතුරු නැගෙනහිරත් රැකියා විරහිත උපාධිධාරීන් සහ තරුනයන් මුහුනු දෙන දරුනු සමාජ කොන්දේසිවල ප්රකාශනයකි.
ශාරීරික අධ්‍යාපනය පිලිබඳ උපාධිධාරියෙකු වූ ඔහු රැකියාවක් ලබා ගැනීම පිනිස විවිධ උත්සාහයන් හි නිරත විය. ඔහු රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කෙරුනු විරෝධතා ව්‍යාපාරවලට සහභාගි විය. සම්මුඛ පරීක්ෂන කීපයකට සහභාගී වු නමුත් රැකියාවක් නොලැබුනි. මෑතක දී කොලඹ පැවැත් වු සම්මුඛ පරීක්ෂනයකට සහභාගී වූ ඔහු රැකියාවක් ලැබීමේ අවිනිශ්චිතතාවයත්, ඒ නිසා හට ගත් කලකිරීමත් නිසා අපේක්ෂා සුන් වූ තත්ත්වයකින් පසු විය.
සත්‍යසීලන් ගේ පියා, ක්‍රිෂ්නපිල්ලෙයි ධීවරයෙකි. ඔහු තම දරුවන්ට යහපත් අනාගතයක් අපේක්ෂාවෙන් ධීවර කර්මාන්තයෙන් ලැබුන සුලු ආදායමෙන් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට උත්සාහ කලේ ය. ධිවර සමාජයේ රජයේ රැකියා කරන අය අඩු නිසා තම දරුවන් කිහිප දෙනෙකු හෝ ඉගෙන ගෙන රජයේ රැකියාවක් කරනු දැකීම සත්‍යසීලන්ගේ ඤාතීන්ට මෙන් ම, ගමේ සෙසු ධීවර පවුල් අතර පවතින එක් අභිලාශයකි.
සත්‍යසීලන් තම ගමේ දියුනුව පිලිබඳව උනන්දු වූ අයෙකු බව කච්චායි ගමේ ගුරුවරියක සහ ඔහුගේ ඤාතීහු ද සඳහන් කලහ. ප්‍රජා සමිතියේ ලේකම් ලෙස කටයුතු කල ඔහු ගමේ ලදරු පාසල දියුනු කිරීමට උනන්දුවෙන් කටයුතු කර ඇත. “ඔහු පොදු අරමුනක් සහිතව වැඩ කල උද්යෝගිමත් තරුනයෙක්. අපේ ගෙදර මොන දෙයක් තිබුනත් තමන් ගේ ගෙදර වගේ මූලිකත්වය අරගෙන වැඩ කලා. එවැනි කෙනෙකුට මෙවන් විපතක් සිදුවීම අපට දරා ගන්න බැහැ” යයි ගුරුවරිය පැවසුවාය.
උපාධිධාරියකු වුවත් රැකියාවක් නැති තතු තුල තම පවුලේ ජීවිකාව සරි කර ගැනීමට තම පියා ගේ ධීවර කර්මාන්තයට උදවු වීමට සත්යසීලාන් ට සිදු විය. ඔහුගේ පියා ක්‍රිෂ්නපිල්ලෙයි මෙසේ කීවේ ය. “මම පොඩි කාලෙ ඉඳන් ම ධීවර කර්මාන්තය කලේ. ඒකෙන් ලැබුන සුලු ආදායමෙන් තමයි ලමයින්ට උගන්ව ගත්තේ. දරුවට ආන්ඩුවෙ රැකියාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියෙ. මේ ආන්ඩුව මගේ පුතාට රැකියාවක් දීල තිබූන නම් පුතා අපට නැති වෙන්නේ නැහැ.”
ගුරුවරියක් තරුනයන් අතර පවතින කලකිරීමේ තත්ත්වය මෙලෙස පැහැදිලි කලා ය. “තරුනයන් මුහුන දෙන ප්‍රශ්න වලට ආන්ඩුව වග කියන්න ඕන. උපාධිධාරීන්ට රැකියා දීම ආන්ඩුවේ වගකීමක්. උපාධිධාරීන්ට කොටස් වශයෙන් රැකියා දෙනවා කිව්වා. නමුත් නිසි ක්‍රමයකට ඔවුන් ට රැකියා දුන්නේ නැහැ. පාසල් ශිෂ්‍යයන් අතර පවා දැන් විරැකියාව පිලිබඳ කලකිරීමක් තියෙනවා. ‘අපේ ගෙදරත් අල්ලපු ගෙදරත් රැකියා විරහිත උපාධිධාරීන් සිටිද්දී උපාධිය අර ගෙන ඇති ප්‍රයෝජනේ මොකක් ද ටීචර්’ කියලා අටවැනි පන්තියේ ඉගෙන ගන්න ශිෂ්‍යයන් පවා ප්‍රශ්න කරනවා. ඒ තරමට ම මේක සමාජ ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා.”
උපාධිධාරීන් ගේ රැකියා විරහිතකම උතුරු නැගෙනහිර පමනක් නොව රට පුරා උග්‍ර වෙමින් පවතින තත්ත්වයකි. රැකියා විරහිත උපාධිධාරීන් ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද භික්ෂුව සඳහන් කල පරිදි, රටේ රැකියා විරහිත උපාධිධාරීන් ගනන 53,000කි. උතුරේ 4,429ක් ද නැගෙනහිර 4,500ක් ද උපාධිධාරීන් රැකියා විරහිතව සිටින බව විපක්ෂ නායක හා දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් පසුගිය අවුරුද්දේ පාර්ලිමේන්තුවේ දී සඳහන් කලේ ය.
රැකියා විරහිත උපාධිධාරීහු රැකියා ලබා දෙන්නයි ආන්ඩුවට බල කරමින් දිගට ම උද්ඝෝෂනවල යෙදෙති. පසුගිය මැයි මාසයේ උතුරු සහ නැගෙනහිර පලාත්වල රැකියා විරහිත උපාධිධාරීන් යාපනය, මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුනාමලය යන දිස්ත්‍රික්කවල උද්ඝෝෂනවල යෙදුනි. ජූනි මාසයේ මන්නාරම් දිස්ත්‍රික්කයේ උද්ඝෝෂනයක් පැවැත් වුනි.
උතුරු පලාතේ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සාමාජිකයන් 2017 දී, දවස් 149ක් යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දීර්ඝ සත්‍යග්‍රහයක යෙදී සිටියේ ය. කිසිදු ප්‍රතිඵලයක් නැතිව ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු විශ්වාස කරමින් සංගමයේ නායකත්වය එම අරගලය අතරමග නතර කලේ ය. මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙවන් අරගලයක යෙදී සිටි අවස්ථාවේ දී උපාධිධාරීහු 4 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ, සතියක පමන කාලයක් රඳවා තබා ගෙන, පසුව දැඩි කොන්දේසි යටතේ නිදහස් කෙරුනි.
උතුරේ උපාධිධාරීන් ට අමතරව, වසර 10 ටත් වඩා වැඩි කාලයක් වැටුප් රහිතව සේවය කරන ස්වෙච්ඡා ගුරුවරු ද ස්ථිර පත්වීම් ඉල්ලමින් විටින් විට උද්ඝෝෂනය කරති. උතුරු පලාතේ පමනක් 1000කට අධික ස්වෙච්ඡා ගුරුවරු සිටිති. මානසික පීඩනය නිසා එක් ස්වෙච්චා ගුරුවරියක් මෑතක දී සිය දිවි නසා ගත්තා ය. යාපනයේ නගර සභාව සහ සෞඛ්‍ය සේවාවන් ද ඇතුලුව රාජ්‍ය ආයතන වල සිය ගනනක් තරුනයෝ අනියම් කම්කරුවෝ ලෙස වසර ගනනාවක් සේවය කරති.
උතුරු නැගෙනහිර ජීවත් වන උපාධිධාරීන් ට තම අධ්‍යාපන කටයුතු වල යෙදීමට සිදුවුයේ, යුද්ධය මැද මිලිටරි මර්දනය යටතේ ය. ඔවුහු විශ්ව විද්‍යාල තුල සිදු කෙරුන හමුදා පොලිස් සෝදිසි කිරීම් වැටලීම්වලට නිරන්තරව මුහුන දුන් හ. බොහෝ ශිෂ්‍යයෝ අත්අඩංගුවට ගනු ලැබූ හ; අතුරුදන් කරුනු ලැබූ හ. සමහරුන්ට තම අධ්‍යාපන කටයුතු සඳහා වෙනත් දිස්ත්‍රික්කවලට යාමට දිගුකාලීන දුෂ්කර නැව් ගමන්වල යෙදීමට සිදු විය. බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානයට එරෙහි වර්ගවාදී යුද්ධය ම්ලේච්ච ලෙස අවසන් කර වසර 9 ක් ගත වුවත්, තරුනයන් ගේ ජීවිත විනාශ මුඛයෙන් ගොඩ ගෙන නොමැති බවට සත්‍යසීලන් ගේ සිය දිවි නසා ගැනීම එක් නිදර්ශනයක් පමනි.
මෙහි ජීවත් වන බොහෝ තරුනයෝ තාවකාලික රැකියාවල, විශේෂයෙන් ම, අනාරක්ෂිත රැකියාවල යෙදී සිටිති. බොහෝ උපාධිධිරීහු මේසන් වැඩ, වඩු වැඩ, සුලු වෙලඳාම්වල යෙදෙන අතර ගොවි තැන් හා ධීවර කර්මාන්තවල ද යෙදෙති.
හමුදාවට සහ සිවිල් ආරක්ෂක අංශවලට බඳවා ගත් තරුන තරුනියෝ හමුදාව විසින් නඩත්තු කෙරෙන ගොවිපලවල වැඩට යොදා ඇත.. සමහරු යුද්ධය කාලයේ දී වලලන ලද බිම් බෝම්බ ඉවත් කරන අවදානම් සහගත මාරක රැකියාවේ යොදවා සිටිති. බහුජාතික සමාගම් යුද්ධය අවසන් වූ වහා ම උතුරේ ඇඟලුම් කර්මාන්ත ස්ථාපිත කර, යුද්ධයෙන් ඇති කෙරුනු දුප්පත්කම පාවිච්චි කරමින් දහස් ගනනක් කම්කරුවන් ගේ ශ්‍රමය අඩු වැටුපට සූරා කන්නේ ය.
යුද්ධය අවසන් වූවත් උතුර හා නැගෙනහිර දුප්පත්කම, විරැකියාව සහ නය ගැතිකම වැනි සමාජ ප්‍රශ්න වැඩි වී තිබෙන තත්ත්වයක් තුල සිය දිවි හානි කර ගැනීම් නිතර වාර්තා වෙයි.
එල්ටීටීඊ සංවිධානයට එරෙහි දිගුකාලීන යුද්ධයකට වියදම් කිරීමටත්, ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් ගත් නය නිසා දරුනු නය බරකට හසු වී සිටි ලංකාවේ ආන්ඩුව, 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් ද දැඩි ලෙස පහර කෑවේ ය.
මෛත්‍රීපාල-වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග අඛන්ඩව ඉදිරියට ගෙන යමින් සිටී. ජාමූඅ පනවා ඇති නියෝගවලට අනුව විදුලි බල, වරාය, ජල සම්පාදන වැනි රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීම හා සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුලු සමාජ සේවා කප්පාදුව තීව්ර කර ඇත. රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුව ක්‍රියාවට දැමෙන මෙම නියෝග මගින් නව රැකියා උත්පාදනයට සීමා පැන වී ඇත.
ඇමරිකානු ගැති සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන් දෙමල ජාතික සංධානය ඇතුලු දෙමල ධනපති පක්ෂ ධනපති ආන්ඩුවේ මර්දනය සහ කප්පාදු පිලිවෙත් වලට සහයෝගය දෙති. දෙමල ජාතික සන්ධානයේ උතුරු පලාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් ”සමහරු කන්න නැතිව හිටියත් රජයේ රැකියාවක් ම ඕනේ කියනවා. පෞද්ගලික අංශයේ රැකියා කරන්න ඉදිරියට එන්නේ නැහැ” යි උපාධිධාරීන්ට චෝදනා කලේ ය.
වෘත්තීය සමිති සහ අනෙකුත් සංවිධාන මෙන් ම රැකියා විරහිත උපාධිධාරීන් ගේ සංගම් ද ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් ධනපති ක්‍රමය තුල මුහුනදෙන විරැකියාව සහ සෙසු සමාජ ප්‍රශ්න විසඳා ගත හැකිය යන මිත්‍යාව පතුරවති. රැකියා විරහිත උපාධිධාරීන්ගේ අරගල ආන්ඩුවේ හා දේශපාලකයන් ගේ බොරු පොරොන්දු වලට යත් කොට පාවා දෙති. ආන්ඩුව මෙන් ම, මේ සියලු සංවිධාන සත්‍යසීලන් ඇතුලු රැකියා විරහිත තරුන, තරුනියන්ගේ සිය දිවි නසා ගැනීම් වලට වගකිව යුතුය.
ලෝකය පුරා ම වර්ධනය වන විරැකියා ප්රශ්නය අර්බුදග්රස්ත ධනපති ක්‍රමය යටතේ විසඳා ගත නො හැකි ය. සෙසු සමාජ ප්‍රශ්න මෙන් ම, රැකියා විරහිත උපාධිධාරීන්ගේ සහ තරුනයන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගත හැක්කේ ධනපති පන්ති පාලනය අහෝසි කර කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් පමනි. එම අරමුන මත පාදක වූ කම්කරු පන්තියේ නායකත්වය යටතේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගැනීමට රැකියා විරහිත උපාධිධාරීන් සහ තරුනයන් පෙරට ආ යුතු ය. ඒ සඳහා සටන් වදින සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එක්වන ලෙස රැකියා විරහිත උපාධිධාරීන් ගෙන් සහ තරුනයන් ගෙන් අපි ඉල්ලා සිටිමු.
Follow us on