මීතොටමුල්ල කම්කරු පරීක්ෂන වාර්තාව එලි දක්වන රැස්වීම ගොඩනැගීමේ උද්ඝෝෂනයට උනුසුම් සහයෝගයක්

අපේ වාර්තාකරුවන් විසිනි , 2018 මාර්තු 28

ගෙවල් මැදින් ගලාගෙන යන කුනුඇල

මීතොටමුල්ල ව්‍යසනය විමර්ශනය කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ මූලිකත්වයෙන් (සසප) පිහිටුවන ලද ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ (ස්කපක) නියෝජිතයෝ, තම නිගමන ප්‍රකාශ කිරීමේ රැස්වීම පිලිබඳව දැනුවත් කිරීමට, මාර්තු 25 වන දා, මීතොටමුල්ල ප්‍රදේශයේ උද්ඝෝෂනයක නිරත වූහ.

පරීක්ෂනය සඳහා සයෝගය පල කල මහජනයා කියා සිටියේ ව්‍යසනය පිලිබඳ සත්‍ය හේතු හෙලිදරව් කිරීම ඉතාමත් වැදගත් බවය.

2017 අප්‍රේල් 14 වනිදා මීතොටමුල්ල නායයෑමෙන් 32 කට වැඩි ප්‍රමානයක් පනපිටින් වැලලී ගොස් නිවාස 146 ක් සම්පූර්නයෙන් විනාශවූ අතර දහස් ගනනක් අවතැන් වූහ. විපතට පත්වූවන්ට සාලමුල්ලේ ලබාදී ඇති නිවාස වාසයට නුසුදුසු වන අතර එම නිවාස ප්‍රතික්ෂේප කල අයට පොරොන්දුවූ මසකට නිවාස කුලිය වන රුපියල් 50,000 ක මුදල ලැබී ඇත්තේ මාස 4 ක් පමනි. ඉඩමට හැර නිවෙස් වලට පමනක් සොච්චම් වන්දියක් ලබාදී අති අතර ස්ථීර වාසස්ථාන නොමැතිව මහජනයා බරපතල ප්‍රශ්නයන්ට මුහුනදී සිටියි.

කසල කන්ද අවට තවමත් ජීවත්වන මහජනයා කන්ද යලි නායයාමේ අනතුරුදායක තත්වයට මුහුනදී ඇති අතර ජීවත්වීම සඳහා සුදුසු නිවසක් ලබාගැනීමේ උවමනාවෙන් පෙලෙයි.

කසල කන්ද මායිමේ තවම ඉවත් නොකල නිවසක ජීවත් වන තිදරු මවක් හා ගෘහනියක් වන කලාවති ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට පැවසුවේ, කසල කන්ද පිලිබඳ සැබෑ තත්වය හා එය පිටුපසින් ඇති කොලඹ නගරයෙන් දුප්පතුන් පලවා හැරීමට ගෙනයන වැඩපිලිවෙල ඔවුන් දැනගත් එකම මාර්ගය ස්වාධීන කම්කරු පරීක්ෂනයේ සාමාජිකයන් සමග කල සාකච්ඡා බවයි. “අපේ ගෙවල් වලට මොනවා වෙයිද කියලවත් අපි දන්නේ නැහැ, කතාවක් තිබුන අප්‍රේල් මාසේ වන්දියක් දීල අපිව මෙතනින් යවනවා කියලා, දැන් ඒ් ගැන කිසිම කතාවක් නැහැ. මේවා අපි දැනගන්නේ කට කතා වලින්, නිලධාරි මහත්තුරු මේ පලාතක එන්නේ නැහැ. ඔයගොල්ලෝ විතරයි ඇවිත් කෙලින් සාකච්ඡා කලේ.”

කසල කන්ද කඩා වැටීමෙන් පසුව ඇතිවී ඇති තත්වයද ඇය මෙසේ විස්තර කලාය. “දැන් අපේ ගෙවල් වලින් කුනු ගන්න (නගර සභාවෙන්) එන්නේ සතියකට සැරයයි. කුනු දාන්න තැනක් නැහැ කියල සමහර කාල වලට සති දෙකකටත් එන්නෙ නැති වෙන වෙලාවල් තියනවා. දැන් අපි හුඟ දෙනක් ඔක්කොම කුනු පාර අයිනේ හරි ගේ ඉස්සරහ හරි තියල පුච්චනවා. අපි දන්නවා ඒක විසයි. ඒත් මොනවා කරන්නද?”

දිනෙන් දින කඩා වැටෙමින් ඇති තම ජීවන තත්වය විස්තර කරමින් ඇය ප්‍රකාශ කලේ, තම වැඩිමහල් පුතු පාදයේ අසනීපයකින් මාස හයක් පමන කාලයක් රෝගාතුර වූ නිසා ඔහුව රැකියාවෙන්ද ඉවත් කල බවයි. “දැන් මගේ වයසක මහත්තය කරන කුලී වැඩකින් තමයි අපි ඔක්කොම යැපෙන්නේ, ඉස්සර එයා වැඩකලේ මේ ලඟ ඇඟලුම් ෆැක්ටරියක, අනතුරක් වෙලා තුවාල උනාට පස්සේ, එයාවත් එතනින් අහක් කලා, ඊට පස්සේ කුලී වැඩට වැටුනා. දැන් රෑ 8-10 වෙනකම් වැඩකරනවා තැන තැන. මේ තත්ත්වේ යටතේ අපිට ගෙවලුත් නැති උනොත් මොකද වෙන්නේ? අපිට මේ කුනුගොඩ ලඟ ඉන්න ඕන නැහැ, හැබැයි ගැලපෙන වන්දියක් හරි හොඳ ගෙයක් හරි ඕනේ, මෙතනින් යනවානම්˜

කුනු කන්ද අසල ජීවත් වන, නම සඳහන් කිරීමට අකමැති වූ කම්කරුවෙක් කසල කන්ද ඉවත් කරන ලෙසට කල උද්ඝෝෂනයන්ට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව හා සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුව පොලීසි හා හමුදා මෙහෙයවූ බව මතක් කරමින් මෙසේ පැවසීය.

“අපි කොච්චර උද්ඝෝෂනය කලාද? රටේ නායකයෝ හිටියා, ඒත් කිසි කෙනෙක් ඇහුවේ නැහැ. ගහල එලවන එක තමයි කලේ. අපි උද්ඝෝෂනය කලොත්, එතනට පොලිසියෙන් දානවා, ආමි එකෙන් දානවා, නේවි එකෙන් දානවා, එස්ටීඑෆ් දානවා, බුද්ධි අංශයෙන් දානවා. ඒ ඔක්කොම දාලා අපිව මැඩපවත්වනවා. තාම බැරි වුනා කුනු කන්ද අයින් කරගන්න.”

“දුප්පත් මිනිස්සුන්ට මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ. මිනිස්සු ඡන්දෙ දාන්නේ ලමයෙක් හරි ඉස්කෝලයට දාගන්න ඕනි නිසා. නැත්නම් මිනිස්සු ඡන්දය දාන්නෙත් නැහැ.”

ෆස්ලියා

ෆස්ලියා - කුනු කන්ද අසල ජීවත් වන මුස්ලිම් කාන්තාවක් මෙසේ පැවසුවාය: “බලන්න මේ කුනු වතුර ගලන ඇල දිහා. මේවා සුද්ද කරන්න කවුරුත් එන්නෙ නැහැ. අපේ ගෙවල් මැදින් තමයි මේ ඇල ගලාගෙන යන්නේ. අපේ ගෙවල්වල එලියේ පොල් කට්ටක් තිබුනත් ඩෙංගුවලට අපිට විරුද්ධ ව නඩු දානවා. ඒත් මේවට කවුරුත් වගකියන්නේ නැහැ. වහින දවසට ඇල හිර වෙලා පලාත ම කුනු වතුරෙන් යට වෙනවා. මේ පලාතෙ පර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර්ට ලොකු ව්‍යාපෘතිවලට වියදම් කරන්න සල්ලි තියනවා. ඒත් එයා මේ ප්‍රශ්න විස`දන්නේ නැහැ. මෙතන ජීවත්වෙන්නේ මනුස්සයෝ කියලා ඒ අය හිතුවේ නැහැ.”

ගෘහනියක් වන රියානා කියා සිටියේ කසල කන්ද කඩා වැටීමෙන් තම පවුලේ ඥාතින් පස්දෙනෙකු මියගිය බවයි. “මේ ජීවිත වලට කවුද වග කියන්නේ? අපේ පවුලේ අය අවුරුදු සීයකට වඩා මේ පලාතේ ජීවත් වෙලා තියනව, අඩු ගානේ ඒගොල්ලන් මැරිච්ච තැන්වල ස්මාරකයක් වත් තියනවද? මම පුංචි කාලේ ඉගෙන ගත්ත ඉස්කෝලෙත් මේකෙන් නැති උනා. මෙච්චර විනාසයක් වෙච්ච තැන, ඒක මතක් වෙන්න වත් මොකුත් හදල නැහැ. ඒ වනුවට මේ ඉඩම් විකුනලා ලොකු බිල්ඩින් ගහන්න යනවා කියල ආරංචි තියනවා. ඔයාලට අපිට තියන වේදනාව ආන්ඩු වලට නැහැ.”

ඇය තවදුරටත් පැවසුවේ ස්වාධීන කම්කරු පරීක්ෂනය පැවැත්වීම ඉතාම වැදගත් බවයි. “ඕගොල්ලෝ දිගටම අපිත් එක්ක කතා කලා. අනාගත දරුවන් මේ ගැන ඇත්ත දැනගන්න ඕනේ. මේ කුනු වලින් වෙලා තියන විනාශය සම්පූර්නයෙන් යට ගහල තියෙන්නේ. අපි වගේ දුප්පත් මිනිස්සු ඉන්න තැන් වල තමයි හැමදාම කුනු දැම්මේ, කොල්ලුපිටියේ, කුරුඳුවත්තේ නෙමෙයිනේ. අපේ මේ ගේ හදල තියෙන්නෙත් පරන කුනුගොඩක් උඩ, අපිට වෙන පලාත් වලින් ඉඩම් ගන්න බැහැ, තවමත් මෙහෙ අඩි තුන හතරක් පොලොව කපනකොට ඒ කුනු මතුවෙනවා. මේ ප්‍රශ්න අපේ දරුවන්ටත් දෙන්න බැහැ. අපි ඕගොල්ලන්ගේ රැස්වීමට අනිවාර්යයෙන් එනවා.”

මේනකා ගාල්ලගේ නම් තවත් කාන්තාවක් මෙසේ පැවසීය. “කුනු කන්ද කඩාගෙන වැටෙන කොට අපි හිටියෙ නංගිලාගෙ ගෙදර. නංගිගෙ ගෙදර ඒකෙන් විනාශ වුනා. කුනු කන්ද කඩාගෙන වැටුනෙ මගෙ ලමයි දෙන්නව යට කරගෙන. මගෙ නංගිගෙ දරුවෙක් කුනු කන්දට යට වෙලා ඉඳලා ඉස්පිරිතාලෙට ගෙනිච්චයින් පස්සෙ නැති වුනා. ඒ ලමය මැරිලා අවුරුද්දක් වෙනවා තාම මරන සහතිකය දුන්නෙ නෑ. අපරාධයට ආන්ඩු දෙකම වග කියන්න ඕනි.”

මියගිය තම දරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි මුදල් ලැබුනු නමුත් “මගේ ලමයි දෙන්නව ආපහු දෙනවානම් ආන්ඩුවට ලක්ෂ විස්සක් වුනත් දෙනවා” යැයි ඔහු පැවසුවේ කෝපයෙනි.

මදුශානි නම් ගෘහනිය තම ජීවිතයේ තොරොතුරු මෙසේ ඉදිරිපත් කලාය: “ගෑස් මිල කිරිපිටි මිල ආයෙත් වැඩි කරා. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දෙ බඩු මිල වැඩියි. ජීවත් වෙන්න හරිම අමාරුයි.”

කුනු කන්ද නායගොස් අවුරුද්දකට ආසන්න කාලයක් ගත වී ඇති නමුදු මෙතෙකුදු එය ඉවත් නොකිරීමෙන් දුගී ජනයා පිලිබඳ පාලකයන්ගේ නොතැකීම පැහැදිලි වෙතැයි ඇය පැවසුවාය.

Share this article: