ගංවතුරෙන් සහ නායයාම්වලින් පවුල් දහස් ගනනක් පීඩාවට පත් වෙති
අපගේ වාර්තාකරුවන් විසිනි, 2018 මැයි 26
ආන්ඩුවේ ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ (ආකම) වාර්තා වලට අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25 න් 19 ක ජනයා ගංවතුර සහ නායයාමේ ආපදාවන්ට ගොදුරු වී ඇත. පවුල් 31,832 ක 124,733 ක් ජනයා ඉන් විපතට පත් වී ඇති බව ආකම බ්‍රහස්පතින්දා (24) සවස නිකුත් කල වාර්තාවේ සඳහන් වෙයි. මියගිය සංඛ්‍යාව 13 කි. නිවාස 43 ක් මුලුමනින් විනාශ වී ඇති අතර 3225 කට අර්ධ වශයෙන් හානි සිදු වී තිබේ. පවුල් 14,500 ක අවතැන්වූවන් 56,432 ක් මධ්‍යස්ථාන 246 ක තාවකාලිකව රඳවා සිටිති.
කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව සිකුරාදා (25) උදෑසන නිකුත් කල වාර්තාවට අනුව දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාල ගුන තත්වය තව දුරටත් පවතින බව සඳහන් වේ. රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ නුවරඑලිය සහ බදුල්ල ඇතුලු දිස්ත්‍රික්ක 11 ක නායයාමේ අවදානම ඇති බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂන ආයතනය පවසයි.
මුදල් ප්‍රතිපාදන “ප්‍රශ්නයක්” කර නොගෙන ආපදාවන්ට පත්වූවන්ට අවශ්‍ය “සියලු සහන කඩිනමින් සලසන” ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාල බලධාරීන්ට නියෝග කර ඇත. එය හුදෙක් ම විපතට පත් ජනයා රැවැටීමේ උපාමාරුවක් පමනි. මූලික සෞඛ්‍ය පහසුකම්, ප්‍රමානවත් ආහාර සහ පානීය ජලය නො ලැබෙන බවට විපතට පත් ජනයා චෝදනා කරති.
විපතට පත් ජනයා පිලිබඳව කරුනු විමසා බැලීමට දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට ඔවුන් මුහුන දී ඇති දුෂ්කර තත්වය දැකගත හැකි විය.
නුවරඑලිය දිසත්‍රික්කයේ 1000 ක් පමන දෙනා ගංවතුරෙන් හා නායයාම් වලින් විපතට පත්ව සිටිති. කෙසල්ගමුව ඔය පිටාර ගැලීම නිසා නෝර්වුඞ් නගරයේ නිවාස 46 ක් ජලයෙන් යට වී තිබුනි. නායයාමෙන් අප්කොට් හි ගවරවෙල වත්තේ ලයින් කාමර වලට හානි සිදුවීම නිසා පවුල් 6 ක අවතැන් වූ 25 දෙනෙකු දැනට රැඳී සිටිනේ වත්තේ ඩිස්පෙන්සරිය තුලයි. තලවකැලේ ඩෙරීක්ලෙයා වත්තේ පවුල් 5 ක 25 දෙනෙකු ද කොත්මලේ ලිලීස්ටෑන්ඩ් වත්තේ පවුල් 105 ක 360 දෙනෙකුද නායයාම් වලින් අවතැන් වී ඇත. අවතැන් වූවෝ රම්බොඩ හින්දු විද්‍යාලයේ රඳවා ඇත. ලිඳුල වත්තේ නිවාස කිහිපයකට ද බරපතල ලෙස හානි සිදුව තිබේ.
තම පවුල ඇතුලු අසල්වැසියන් වසර පහක් තුල තුන් වතාවක් නායයාමට ගොදුරු වූ බව නෝර්වුඩ් වත්තේ සරෝජනී ඝෝපිනාද් පැවසීය. “ආන්ඩුව හෝ ප්‍රාදේශීය සභාව කල් ඇතිව අවශ්‍ය පියවර ගත්ත නම් මෙම විනාශය නතර කරන්න තිබුනා. ගඟ දෙපැත්තේ ඉවුරේ කිලෝ මීටරයක පමන දුරට බැම්මක් බැඳීම හෝ ගඟ ගැඹුරට හාරන ලෙස කිහිප වතාවක් ම අපි බලධාරීන් ගෙන් ඉල්ලුව. නමුත් ඔවුන් එය සැලකුවේ නැහැ”යි ඇය පැවසුවාය.
2017 ඇති වූ ගංවතුර ව්‍යසනයෙන් විදුලි කාර්මිකයෙකු වූ ඇගේ සැමියා අලුත් වැඩියා කිරීමට භාර ගෙන තිබු රුපියල් 60,000 ක් වටිනා විදුලි උපකරන විනාශ වී ඇත.
“මගේ ලමයි තුන්දෙනාගෙම පාසල් පොත් විනාශ වුනා. ආන්ඩුව පොරොන්දු වුනා රුපියල් 10,000 ක වන්දියක් දෙන්න. සතයක්වත් ලැබුනෙ නැහැ. අපි කිහිප වතාවක් උද්ඝෝෂනය කලත් පලක් වුනේ නැහැ.”
නිරන්තරව ඉහල යන බඩු මිල නිසා අපහසුවට පත්ව සිටින වතු කම්කරුවන් මෙම ව්‍යසනයෙන් තවත් දුෂ්කර කොන්දේසිවලට මුහුන දී ඇති බව ඇය කීවාය. කම්කරුවන්ගේ නිවෙස් මැදින් ජලය බැස යන කානුව අඩි හයක් පලලට බැඳිය යුතුව තිබුනත් වියදම අඩු කර ගැනීම සඳහා අඩි දෙකහමාරකට එය පටු කල බව ද ඇය පැවසුවාය.
මේ වතාවේ ද විනාශය ගැන සොයා බැලීමට පැමිනි ප්‍රාදේශීය ලේකම්වරයා ගඟ ගැඹුරු කරන බවට පොරොන්දු වූ බවත් මෙවර එසේ නොකලොත් වත්තේ සියලු දෙනාම එකතු වී දැඩි උද්ඝෝෂනයක් කරන බව ඇය සඳහන් කලාය.
එම වත්තේ ම ජීවත් වන අයිස්ක්‍රීම් වෙලෙන්දෙකු වන එම්. ඉක්බාල් මෙසේ පැවසුවේ ය. “අවතැන් වෙලා පල්ලියේ ඉඳලා ගෙදර ආවේ අද. දරුවන්ගේ ඇඳුම්, සියලුම ආහාර විනාශ වුනා. ආන්ඩුව හෝ කිසිම ආයතනයක් උදව් කලේ නැහැ. අයිස්ක්‍රීම් වෙලඳාමෙන් දවසකට ලැබෙන්නේ රුපියල් 800 ක් විතර. ගිය මාසේ අනතුරක් වෙලා මගේ එක අතක් කැඩුනා. මාසයක් ම කිසිම ආදායමක් නැහැ. දැන් ගංවතුරට අහු වෙලා අපි කොහොම ද ජීවත් වෙන්නේ?” යයි ඔහු ප්‍රශ්න කලේ ය.
චන්ද කාලෙට දේශපාලකයන් විවිධ පොරොන්දු දෙන නමුත් ඊට පසුව ඒ සියල්ල අමතක කරන බව ඔහු පැවසුවේ ය. ලංකා මර්සි නම් සංවිධානයක් විසින් ඔහු ඇතුලු දුප්පත් පවුල් පහකට ට නිවාස හදා දුන් නමුත් ප්‍රාදේශීය ලේකම්වරයා ඊට විරුද්ධව නඩුවක් පවරා ඇති බව ඔහු සඳහන් කලේය.
කොලඹ සේදවත්ත ප්‍රදේශයේ ඇල ඉවුරුවල ජීවත් වන දුගී ජනයාගේ නිවාස අඩි තුනක පමන ගංවතුරෙන් යට වී තිබුන අයුරු බ්‍රහස්පතින්දා එහි ගිය ලෝසවෙඅ වාර්තාකරුවන්ට දැක ගත හැකිවිය. තහඩු හෙවිලි කොට ලෑලිවලින් තනා ඇති ඔවුන්ගේ කුඩා නිවාස වපසරියෙන් වර්ග අඩි 200 ට අඩුය.
“ගිය අවුරුද්දෙත් අපේ ගෙවල් ගංවතුරට යට වෙලා සම්පුර්නෙන් ම විනාස වුනා. මේ වතාවෙත් එහෙමයි” යනුවෙන් පෙදරේරුවෙක් වන ශාන්ත පැවසුවේ ය.
අපිරිසිදු ජලය රැඳී තිබුනද සොර සතුරු බිය නිසා සමහරු තම නිවෙස් අතහැර නොයති. දෛනික ජීවිකාවල යෙදෙන අයට ඒවායේ යෙදී ගත නොහැකි ය. බොහෝ නිවෙස් වල වයසක පවුල් කීපය බැගින් රැඳී සිටිති.
විමලාරාම පන්සලේ හා විද්‍යාවර්ධන පාසලේ අවතැන් වුවෝ සිය ගනනක් රැදී සිටිති. කලින් දින දවල් සහ රෑ කෑම ලැබී තිබුන ද බ්‍රහස්පතින්දා උදෑසන ඔවුන්ට කෑමට කිසිවක් ලැබී නොතිබුනි. කුඩා ලමයින් ට පවා නිරාහාරව සිටීමට සිදු වී ඇති බව ඔවුහු කීහ.
පුඩින් වැනි සුලු කෑම වර්ග නිපදවා ඉන් ජීවත්වෙන කිත්තම්පව්ව ප්‍රදේශයේ අවුරුදු 80 ක් වන ඉස්මයිල් පැවසුවේ 2016 ගංවතුරෙන් තමන්ට ලක්ෂ පහමාරක පමන අලාභයක් වූ බවයි. “නමුත් ආධාර ලෙස ආන්ඩුවෙන් ලැබුනේ රුපියල් 15,000ක් පමනක්” බව ඔහු පැවසුවේ ය.
ජලය බැස නොයාමට හා ගංවතුර ඇතිවීමට හේතුව කානු සහ ඇල මාර්ග සිරව තිබීම බව ප්‍රදේශවාසීහු පැවසුහ. ඒවා අලුත්වැඩියා කරන බවට ආන්ඩුව පොරොන්දු වුනත් එය ඉටු නොකල බවද අක්‍රමවත් ගොඩකිරීම් නිසා ප්‍රශ්නය තවත් උග්‍ර වී ඇති බව ද ඔව්හු කීහ. එක පවුලකින් රුපියල් 1000 බැගින් එකතු කොට පසුගිය වසරේ තම නිවස අසල ඇල සුද්ධ කරගත් බව අර්ශාද් නැමති තරුනයෙකු සඳහන් කලේ ය.
කොලොන්නාව මීතොටමුල්ලේ සහ වැල්ලම්පිටියේ කිත්තම්පහුව ඇල දෙපස ජනයා ද ගංවතුරින් පීඩාවට පත්ව සිටිති. මෙහි ජීවත්වන්නන්ගෙන් බහුතරයක් ජීවිකාව ගැට ගසා ගන්නේ එදිනෙදා කුලී වැඩ කිරීමෙන් ය. ඔවුන්ගේ නිවෙස් ද ලෑලි වලින් තනා තහඩු සෙවිලි කල වර්ග අඩි 200 පමන කුඩා ඒවාය.
කසල කන්ද අසලින් ගලා යන කොලොන්නාව ඇල දෙපස ඇති නිවාස විශාල ප්‍රමානයක් දින තුනක සිට ජලයෙන් යටවී පවතින බව ප්‍රදේශවාසීහු පැවසූහ.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ මීතොටමුල්ල කුනු කන්ද නාය යාමෙන් 32 ක් මරනයට පත් වූ අතර සියයකට වැඩි නිවාස විනාශ විය.
ගෘහනියන් තිදෙනෙකු වන රම්‍යලතා, කරීමා රෂීඞ් හා දුල්ෆිකා ට අනුව සෑම වසරකම මැයි මාසෙයේ දී ඔවුන්ගේ නිවාස ගංවතුරට යට වෙයි. ආන්ඩුවෙන් කෑම පාර්සල් ස්වල්පයක් ලබාදීම හැර ලමයින්ගේ කිරිපිටි හෝ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හෝ නොලැබෙන බව ඔව්හු කීහ. තම නිවාස යට වෙන්නේ කසල කන්ද හරහා ගලා එන දුෂිත ජලයෙන් බැවින් ජලය බැසගිය පසුද ඔවුනට ලෙඩ රෝග වලින් දුක්විඳීමට සිදුව ඇත. ගංවතුර වැඩි වෙතැයි යන බියෙන් ද වර්ෂාව නිසා කසල කන්ද යලි කඩා වැටෙතැයි යන බියෙන්ද තමන් පසුවන බව රම්‍යලතා පැවසුවාය: “ගිය අවුරුද්දේ කුනු කන්ද කඩාගෙන වැටුනෙත් වැස්ස පටන් ගන්නවත් එක්ක. ඉතින් අපි ඉන්නේ පරාන බයෙන්. අපිට වෙන ගෙවල් දෙනවා කිව්වට ඒගැනත් කිසිම කතාවක් නැහැ දැන්.”
වැල්ලම්පිටිය කිත්තම්පහුව ඇල ඉවුරේ පදිංචි තරුන කම්කරුවන් දෙදෙනෙක් වන චමින්ද හා රොශාන් පැවසුවේ, ජලයෙන් යටවීම නිසා නිවාස 48 ක ජනයා අවතැන් වී ඇති බවයි.
“2016 ගංවතුරේදී අපේ ගෙවල් වල වහලටත් උඩින් වතුර ගැලුවා, මෙදා පාර ඊට අඩුයි, ඒ වුනාට ගෙවල් ඇතුලට වතුර ආවහම අපිට ලමයි එක්ක ඒවා ඇතුලේ ඉන්න බැහැ”යි රොෂාන් පැවසුවේ ය. අවතැන් වූවන් රැඳී සිටින්නේ අසල්වැසි හෝ නෑදෑ ගෙවල් වල ය.
ගංවතුර ගැලුවහොත් ඊට කිලෝමීටර දෙකකට පමන ඈතින් ඇති ඕල්කට් විද්‍යාලයට යන ලෙස ග්‍රාම නිලධාරිවරයා තමන්ට දැනුම් දුන් බව චමින්ද පැවසුවේය. “එතන කිසිම පහසුකමක් නැහැ. ඊට වඩා හොඳයි මෙහෙම ඉන්න එක. වතුරට යටවෙච්ච නැති ගෙවල් වලත් වැසිකිලි උතුරලා දැන් හැමෝම යන්නේ පන්සලේ තියන වැසිකිලියට. මොනවටද ආන්ඩු තියෙන්නේ කියලා හිතෙනවා.”
විස්සක් පමන දෙනා තම නිවසේ රාත්‍රි කාලය ගත කිරීමට පැමිනෙන බව සීලවතී නම් වියපත් කාන්තාවක් පැවසුවාය. දරුවන් හතර දෙනෙකු ඇතුලත් තම පවුල සමග එහි රැඳී සිටින උෂාන්ත පැවසුවේ රාත්‍රියට දරුවන් නිදි කරවා වැඩිහිටියන් අවදියෙන් සිටින බව යි.
“ගංවතුර මොන වෙලාවේ වැඩිවෙයි ද දන්නේ නැහැ. 2016 ගෙවල් ඇතුලට වතුර එනකම් අපි දන්නේ නැහැ, මිනිස්සුන්ව ගෙනියන්ඩ බෝට්ටු ආවේ දවසක් විතර ගිහින්. මේක තමයි මේ ආන්ඩුවේ යහපාලනේ.” මෙවර වතුර ගැලීමත් සමග තම ලෑලි ගෙය සම්පූර්නයෙන්ම අබලන්ව ඇති බවත්. ගංවතුර බැස ගිය ද යලි එහි පදිංචියට යාමට නොහැකි බවත් ඔහු තවදුරත් පැවසීය.
ආන්ඩුවෙන් බෙදාදුන් බත් පාර්සල් අවතැන්වූවන් විසින් ප්‍රතික්ෂේප කල බව එක්දරු මවක් වන වත්සලා පැවසුවාය. “ඉන්න ගනනින් බාගෙකටවත් සෑහෙන්න කෑම නැහැ. ඉතින් අපි කිව්වා ඔක්කොම ආපහු අරගෙන යන්න කියල.”
“ගිය අවුරුද්දේ ආන්ඩුවෙන් ඇවිත් කිව්ව ඊලඟ ගංවතුරට කලින් ඇල අයිනේ තියන ගෙවල් ඉවත් කරලා වන්දි දෙනවා කියල. නමුත් කිසිම දෙයක් කලේ නැහැ. අපි ඉල්ලන්නේ අපිට පොඩි හරි ගෙයක් ගන්න හරියන වන්දියක්. ආන්ඩුවෙන් දෙන ෆ්ලැට් නම් අපිට එපා. ඒවාට ගිය මිනිස්සු විඳින දුක අපි දන්නවා” යයි වත්සලා තවදුරටත් පැවසුවාය.
ගංවතුර සහ නායයාම “ස්වාභාවික විපත්” ලෙස නම් කර ආන්ඩුව සහ බලධාරීන් සිය වගකීමෙන් අතසෝදා ගන්නා නමුත් මහජනයා මුහුන දෙන මෙම ව්‍යසනයන් හුදෙක් ස්වාභාවික විපත් නොව, නිසි සැලසුම් ක්‍රියාවට නොදැමීම හා ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොයෙදීම නිසා ධනපති පාලකයන් මහජනතාව මත පටවන ව්‍යසනයන් ය.
Follow us on