ඩේවිඩ් නෝර්ත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාකච්ඡාවක් ආමන්ත්‍රනය කරයි
David North addresses press conference in Sri Lanka
ඩේවිඩ් නෝර්ත් විසිනි, 2018 ඔක්තෝබර් 2
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සාභාපති ඩේවිඩ් නෝර්ත් ඔක්තෝබර් 1දා කොලඹ ජාතික පුස්තකාලයේ සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත්වුනු මාධ්‍ය සාකච්ඡාවක් අමතා පහත සඳහන් ප්‍රකාශය කලේය. නොර්ත් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය විසින් ඔක්තෝබර් 3 හා 7 වැනි දිනවල සංවිධානය කෙරෙන රැස්වීම් දෙකක් ආමන්ත්‍රනය කරනු ඇත. ජාතික රූපවාහිනී සේවය වන රූපවාහිනී, රජයට අයත් ස්වාධීන රූපවාහිනී සේවය (අයි.ටී.එන්), කැපිටෝල් රේඩියෝ සහ ලංකා වෙබ් නිව්ස් යන මාධ්‍යයන්හි වාර්තාකරුවෝ සාකච්ඡාවට සහභාගී වූහ.
හතරවන ජාත්‍යන්තරයේ අසූවන සංවත්සරය අවස්ථාවේදී දේශන දෙකක් පැවැත්වීම සඳහා මට ලංකාවට පැමිනීමට ආරාධනා කිරීම ගැන මම සමාජවාදී සමානතා පක්ෂයට ස්තුති කිරීමට කැමැත්තෙමි. ඇත්තවශයෙන් අපි මේ වර්ෂයේදී සංවත්සර දෙකක් සමරන්නෙමු. මන්දයත් 1968 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකාවේ ශාඛාව ලෙස පිහිටුවන ලද සමාජවාදී සමානතා පක්ෂය සිය 50 වන සංවත්සරය පවත්වනේද මෙම වර්ෂයේ දී මය.
ජනවර්ගික හෝ ආගමික පසුබිම නොතකා ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ සියලුම කොටස්වල සමගිය හා එකමුතුව උදෙසා සසපය අවුරුදු 50ක් තිස්සේ කරන ලද මූලධර්මාත්මක වූ ද, ධෛර්යමත් වූ ද අරගලය මුලු ලෝකයේ ම සමාජවාදීන් මැනවින් දන්නා අතර ඔවුන් ප්‍රබෝධමත් කොට තිබේ.
මා විසින් කොලඹ සහ මහනුවරදී කරනු ලබන දේශනයන් කේන්ද්‍රය කරගන්නේ විසිවන ශතවර්ෂයේ දේශපාලන ඉතිහාසයේ ප්‍රමුඛ සිද්ධියක් වන ලියොන් ට්‍රොට්ස්කි විසින් 1938 ස ැප්තැම්බර් මාසයේ හතරවන ජාත්‍යන්තරය ආරම්භ කිරීමයි. එය වනාහි, ස්ටැලින් වඩවඩාත් බලවත් සහ ද්‍රෝහී ක්‍රියා කලාපයක් ඉටු කලාවූ බෝල්ශෙවික් පක්ෂයේ සහ සෝවියට් පාලන තන්ත්‍රයේ නිලධාරිවාදි පරිහානිය ට එරෙහිව ට්‍රොට්ස්කි 1923 දී වාමාංශික විරුද්ධ පක්ෂය ආරම්භ කරමින් අවුරුදු පහලොවකට පෙර පටන්ගත් අරගලයේ කුලුගැන්වීමයි. තනි රටක සමාජවාදය පිලිබඳ ව්‍යාජ සහ ප්‍රති මාක්ස්වාදී ධජය යටතේ ස්ටලින්වාදී පාලන තන්ත්‍රය විසින් ලෝක සමජවාදී විප්ලවය සඳහා අරගලය සෝවියට් සංගමයේ පාලක නිලධරයෙහි ද්‍රව්‍යමය අවශ්‍යතා හා වරප්‍රසාද ආරක්ෂා කිරීමට යටත් කෙරුනු තතු තුල මෙම අරගලය ජාත්‍යන්තර පරිමාවක් අත්පත්කර ගත්තේ ය.
ස්ටැලින් විසින් මාක්ස්වාදයේ විප්ලවවාදී ජාත්‍යන්තර ක්‍රියා මාර්ගය ජාතිකවාදී නිෂ්ප්‍රභා කිරීමට ලක් කිරීම කම්කරු පන්තියට 1927 චීනයේ ද 1933 ජර්මනියේද සිදුකලාක් බඳු දරුනු පරාජයන් අත්කර දුන්නේය. සත්තකින්ම, නව විප්ලවවාදී ජාත්‍යන්තරයක් ගොඩ නැගීම සඳහා ට්‍රොට්ස්කිගේ කැඳවුමට ඍජුව ම තුඩුදුන්නේ ස්ටැලින්වාදීන්ගේ විනාශකාරී පිලිවෙත් වල විපාකයක් ලෙස 1933 ජර්මනියේදී නාසීන් බලයට පත් වීමයි. ස්ටැලින්වාදීන් විසින් ස්පාඤ්ඤ විප්ලවය පාවාදීම සහ 1936 දී ස්ටැලින් සෝවියට් සංගමය හරහා ක්‍රියාත්මක කල ප්‍රතිවිප්ලවවාදී ත්‍රස්තය බඳු ඉක්බිතිව සිදු වූ සිද්ධීන් හතර වන ජාත්‍යන්තරය සඳහා ට්‍රොට්ස්කිගේ කැඳවීම සනාත කලේ ය.
මේ සිද්ධී නිසැකයෙන්ම, මහා ඓතිහාසික වැදගත් කමක් දරයි; ඒවා සාමලෝචනයට හා විශ්ලේෂනයන්ට භජනය කිරීම සඳහා දේශනයන් යොදා ගැනීම සහතිකෙන්ම යෝග්‍ය වේ. එහෙත් ඔබ යුක්තිසහගතව ඇසිය හැකි පරිද්දෙන් මෙයට අවුරුදු ගනනාවකට පෙර සිදුවූ මෙම සිද්ධීන් සමකාලීන වැදගත් කමක් දරන්නේ කුමන ලෙසකින් ද? දැනට හතරවන ජාත්‍යන්තරය හා සම්බන්ධ කටයුතුවල යෙදී නොසිටින්නා වූ කම්කරුවන්, ශිෂ්‍යයන් හා බුද්ධිමතුන් මෙම දේශනවලට සවන් දිය යුත්තේ මන්ද?
මෙම යුක්තියුක්ත ප්‍රශ්නවලට උත්තර දීමේදී 1938 දී පැවති ලෝක තත්වය මතක්කර දීමට මට ඉඩ දෙන්න. ධනපති ක්‍රමය ඊට දශකකට පෙර 1929 දී වෝල් විදියේ බිඳවැටීමත් සමග ආරම්භවූ ගෝලීය ආර්ථික අර්බුදයට ග්‍රහනය වී පැවතුනි. මහා අවපාතය දියුනු ධනපති රටවල කම්කරු පන්තිය යෝධ වධ වේදනා වලට පත් කොට තිබුනි. ලෝකය පුරාම ප්‍රජාතන්ත්‍රවාදය පසුබෑමට ලක් වෙමින් තිබුනි. නැගී එන සමාජ කෝපය ඉදිරියේ සිය දේශපාලන බලය රැක ගැනීම සඳහා පාලක ප්‍රභුවෝ නානාපන්නයේ අධිකාරවාදී පාලන තන්ත්‍රයන් නිර්මානය කරගත්තෝ ය, තුන්වන රයිකය ඒවා අතුරෙන් අතිශයින්ම මෘග තන්ත්‍රය වුවා පමනි. අධිරාජ්‍යවාදී බලයන්ගේ විදෙස් පිලිවෙත වඩවඩාත් මිලිටරිවාදී ස්වභාවයක් අත් කර ගත් අතර එය සියල්ලටම ප්‍රථමයෙන් තිරිසන් විජිතවාදී යුද්ධවල ප්‍රකාශනය අත්කර ගත්තේය. 1932 දී ජපන් අධිරාජ්‍යවාදියෝ මැන්චූරියාව අල්ලගත්තෝය. 1935 දී මුසෝලිනි ඉතියෝපියාව ආක්‍රමනය කලේය. මහා බලවතුන් අතර ඝට්ටනය නිර්දයව උග්‍රවන තතුතුල පැහැදිලිව ම පෙනීගියේ මානව වර්ගයා පලමුවැනි ලෝක යුද්ධයටත් වඩා බියකරු වන දෙවන ලෝක යුද්ධයකට ඇදවැටෙනු ඇති බවය.
1938 සැප්තැම්බරයේදී හතර වන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනය පැවැත්වෙනවිට පැවති ලෝක තත්වය යි මේ. මේ සම්මේලනය සඳහා ට්‍රොට්ස්කි සම්පාදනය කල ක්‍රියාමර්ගික ලියවිල්ල විසින් එලඹ ඇති යුගය නිර්වචනය කරනු ලැබුවේ “ධනවාදයේ මරලතෝනිය” යනුවෙනි. මෙම අත්‍යසාමන්‍ය ලියවිල්ලෙන් උපුටා දක්වීමට මට ඉඩ දෙන්න:
“නිර්ධන පන්ති විප්ලවය සඳහා ආර්ථික පූර්වාවශ්‍යතාව ධනවාදය යටතේ සාමාන්‍යයෙන් මේරිය හැකි උච්ච ම මට්ටමට දැනට මත් මෝරා තිබේ. මානව වර්ගයාගේ නිෂ්පාදන බලවේග එක තැන පල් වෙයි. නව සොයා ගැනීම් හා වැඩි දියුණු කිරීම් මේ වන විටත් ද්‍රව්‍යමය වස්තු සම්භාරයේ මට්ටම නැංවීමට අසමත් ය. සමස්ත ධනේශ්වර ක්‍රමයේ සමාජ අර්බුද තත්වයන් යටතේ මතු වන ප්‍රාසංගික අර්බුදයෝ එන්ට එන්ට ම බරපතල වන නැතිබැරියාවන් හා දුක්පීිඩා ජනතාවන් මත පටවති. වර්ධනය වන විරැකියාව රාජ්‍යයේ මුදල් අර්බුදය ගැඹුරු කර අස්ථාවර මූල්‍ය පද්ධතීන්ගේ අඩිතාලම බිඳලයි. ෆැසිස්ට්වාදී පාලනයන් මෙන් ම ප්‍රජාතාන්ත්‍රික පාලනයෝ ද එක් බංකොලොත්කමක සිට තවෙකකට ලුහුටා යති.
”ධනේශ්වරයට නම් මෙයින් ගැළවෙන මඟක් නැත. අන්තිම තුරුම්පුව ලෙස ෆැසිස්ට්වාදය කරා තල්ලු වී යාමට බල කෙරී ඇති රටවල ධනේශ්වරය ආර්ථික හා මිලිටරි විනාශයක් කරා දෑස් වසාගෙන රූටා යයි. ඓතිහාසික වසයෙන් වරප්‍රසාදිත රටවල, එනම්, රැස් කරන ලද ජාතික වස්තුවේ වියදමින් ප්‍රජාතන්ත්‍රවාදය නමැති සුඛෝපභෝගය තව දුරටත් එක්තරා කාල සීමාවකට පවත්වා ගත හැකි (මහා බ්‍රිතාන්‍යය, ප්‍රන්සය, එක්සත් ජනපදය ආදී රටවල) ප්‍රාග්ධනයේ සියලු සාම්ප්‍රදායික පක්ෂ අධිෂ්ඨානභංගය අද්දරට සේන්දු වී වියවුල්ව සිටී”. [1]
බොහෝ වචන වෙනස් නොකරම, 1938 ධනවාදී ලෝකය ගැන ට්‍රොට්ස්කි කල විස්තරය, 2018 පවත්නා කොන්දේසි පිලිබඳ පැහැදිලි කිරීමක් ලෙස මැනවින්ම ගත හැකිය. ට්‍රොට්ස්කි අද දින ජීවත්ව සිටියේ නම් සමකාලීන ලෝකය අවබෝධ කර ගැනීම ඔහුට එතරම් අසීරු කරුනක් නොවේ යයි මම සිතමි. සත්තකින්ම ඔහුට කොම්පියුටර්, ජංගම දුර කථන සහ සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට සිදුවනු ඇත. එහෙත් ඔහුට සිය ඓතිහාසික හා දේශපාලන පෙරදැක්ම වෙනස් කර ගැනීමට කිසිදු හේතුවක් නැත. සමකාලීන යුගය තවමත් ධනවාදයේ “මරලතෝනියේ” යුගය යි. ඇත්තෙන්ම, අප ලුහුටා යමින් සිටින්නේ එම ඓතිහාසික මරලතෝනියේ කම්පනකාරී සහ ප්‍රචන්ඩ අවධියකට බවට බොහෝ ඇඟවුම් පවතී.
තිස් වසරකට පමන පෙර, නැගෙනහිර යුරෝපයේ හා සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් විසිරුවා දැමීමත් සමග ධනපති පාලක ප්‍රභුවේ දෘෂ්ටිවාදියෝ “ඉතිහාසයේ අවසානය” ප්‍රකාශ කර සිටියහ. ඔවුන්ට අනුව, ධනවාදය සමාජවාදයට ඉහලින් ස්වකීය අනභියෝගී අද්විතීයත්වය ද මනුෂ්‍ය වර්ගයාට මෙවක් පටන් නැගෙන සමෘද්ධියේ, විශ්වීය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සදාතනික සාමයේ සුඛයෙන් සපිරුනු උද්‍යානය තුල ගෝලීය මූල්‍ය වෙලඳපොලේ උනුහුම විඳිමින් ජීවත් වීමට ඉඩ ලැබෙන බව ද ඔප්පු කර ඇත.
දැන් අප දන්නා පරිදි, මෙම පුරසාරම් අනාවැකි සාක්ෂාත්වී නැත. ගෝලීය ධනවාදය කඳුගැසෙන ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයන්ගෙන් වසාගෙන ඇත. 2008 බිඳවැටීම, 1929 බිඳවැටීම මෙන්ම, සකල ආර්ථික පද්ධතියේ බිඳෙනසුලු බව එලිදරව් කර ඇත. එහි උරුමය වී ඇත්තේ, නය කඳු ගැසීම් සහ දැවැන්ත සමාජ අසමානතාවයි. ධනපති ආන්ඩු, අන්සියල්ලටමත් වඩා එක්සත් ජනපදයේ ආන්ඩුව ජනගහනයේ අති බහුතරයේ වියදමින් පෝසතුන් ඇපදී බේරාගෙන ඇත. මෙම ක්‍රියාවලිය තුල දී ධනපති ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන ප්‍රෝඩාවක් ලෙසට, ලෝක ආර්ථිකය අරක්ගත්තාවූ ප්‍රකෝටිපති කතිපයාධිකාරීන්ගේ පාලනය ආවරනය කරන කවරයක් ලෙසට අපකීර්තියට ලක්වී තිබේ. දක්ෂිනාංශික වාචාලයන්ගේ හා ෆැසිස්ට් ව්‍යාපාරවල නැගීමට තුඩුදී ඇත්තේ මෙයයි. එක්සත් ජනපදයේ ධවල මන්දිරය අරක්ගෙන සිටින්නේ ඩොනල්ඞ් ට්‍රම්ප් නම්වූ අරටුවටම මැරතක්කඩියෙකි. ජර්මනිය තුල ෆැසිස්ට්වාදය යලිදු හිස ඔසවයි. ලෝකය පුරාම ආර්ථික අර්බුදවලත් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” ධජය යටතේ අධිරාජ්‍යවාදීන් විසින් දියත් කෙරුනු මුර්ග මිලිටරි මෙහෙයුම්වලත් වින්දිතයන් වන මංමුලාගත සරනාගතයෝ, ධනවාදය විසින් නිර්මානය කෙරුනු කොන්දේසි පිලිබඳව දෝෂදර්ශනයට ලක්කොට වධ හිංසාවලට පාත්‍ර කෙරෙත්.
1930 ගනන් වලදී මෙන්ම, භූ දේශපාලන ඝට්ටනයන්ගේ අනවරත උත්සන්නවීම විසින් ලෝකය තල්ලු කෙරෙන්නේ න්‍යෂ්ටික අවිමගින් කරන්නාවූ භයංකර ප්‍රතිවිපාක දනවන තුන්වන ලෝක යුද්ධයක් වෙතට ය. හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ලේ ට්‍රොට්ස්කි විසින් ලියූ වචන තරයේ ම සමකාලීන අදාලත්වයක් අත්කර ගනී:
“අලුත් යුද්ධයකින් තම ආධිපත්‍යයට එල්ල වන මාරක අනතුර ගැන ධනේශ්වරය සත්තකින් ම දැනුවත් ය. එහෙත් එම පන්තිය 1914 දීටත් වඩා අද දින යුද්ධය වැලැක්වීමට අතිශයින් ම නොසමත් ය. ....යටත් පිරිසෙයින් මීලඟ ඓතිහාසික යුගයේ දී සමාජවාදී විප්ලවයක් නො සිදු වුව හොත් මානව වර්ගයාගේ මුළු මහත් සංස්කෘතියට ම මහා විනාශයක් එල්ල වන්නේ ය.” [2]
“මීලඟ ඓතිහාසික කාල යුගය” ලෙස ට්‍රොට්ස්කි ලියුවේ අප දැන් ජීවත්වන කාල පරිච්ඡේදය ගැනයි. මනුෂ්‍ය වර්ගයා ධනවාදය වෙලාගෙන ඇති වියවුලට ප්‍රගතිශීලී විසඳුමක් සොයති. එයට, දරිද්‍රතාවයෙන්, සූරාකෑමෙන් සහ යුද්ධයෙන් තොර අනාගතයක් උවමනා ය. වැඩකරන ජනතාවට උවමනාවන්නේ ආගමික, ජනවාර්ගික සහ ජාතික වෛරයන් මත පාදකවූ ලෝකයක් නොව මානව සහෝදරත්වය මත පදනම්වූ ලොවකි. ලෝකය පුරාම--ධනවාදී කෑදරකමේ සහ ප්‍රතිගාමිත්වයේ බලකොටුව වන එක්සත් ජනපදයේ පවා--සමාජවාදය කෙරෙහි වැඩෙන උනන්දුවක් සහ සහයෝගයක් දකින්නට ලැබෙන්නේ මේ නිසා ය. එනමුදු, අද දින සමාජවාදය සඳහා සටන ඓතිහාසික ඥානයෙන් දැනුවත් කල යුතුය. 1938 හතරවන ජාත්‍යන්තරය ආරම්භ කිරීම ද අසු වසරක ඉතිහාසයේ ගමන් මග තුල පසු කලා වූ අරගලයන් පරීක්ෂාවට ලක් කිරීම ද ඉමහත් සමකාලීන අදාලත්වයක් ගන්නේ මේ නිසා ය.
සටහන්
1. ධනවාදයේ මරලතෝනිය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ (කම්කරු මාවත ප්‍රකාන, 1988),1-2 පිටු.
2. එම., 2 පිට.
Follow us on