කොලඹ දී විශාල ශ්‍රාවකයක් හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ ඩේවිඩ් නෝර්ත්ගේ දේශනයට සවන් දෙයි

Large Colombo audience hears David North’s lecture on the history of the Fourth International

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 ඔක්තෝබර් 9

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති කොලඹ දී ඔක්තෝබර් 7දා පැවැත්වූ දේශනයට තුන්සියයක පමන ශ්‍රාවකත්වයක් සහභාගි විය. දේශනයෙහි තේමාව වූයේ “ඉතිහාසයේ පාඩම් සහ අද දින සමාජවාදය සඳහා අරගලය” යන්න යි.

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සභාපති ද වන නෝර්ත් ශ්‍රී ලංකාවේ සසපයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවට පැමින සිටියේ ය. දින හතරකට පෙර ඔක්තෝබර් 3දා මහනුවර පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී එම තේමාව මත ම උද්‍යෝගිමත් සහයෝගයක් දිනාගත් දේශනයක් නෝර්ත් විසින් පවත්වනු ලැබී ය.

මෙම දේශන දෙක 1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමේ 80වන සංවත්සරය සැමරීම පිනිස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් සංවිධානය කරන දේශන මාලාවක කොටසකි. කොලඹ රැස්වීම ශ්‍රී ලංකාවේ සසපහි පනස්වන සංවත්සරය ද අනුස්මරනය කලේ ය.

සසප හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයන් විසින් දියත් කරන ලද ශක්තිමත් උද්ඝෝෂනයකට ප්‍රතිචාර දක්වමින් බොහෝ කම්කරුවන්, ශිෂ්‍යයන් හා සමාජීය ව සවිඥානික බුද්ධිමතුන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් රැස්වීමට සහභාගි විය. අර්ථභාරී ලෙස, කොලඹ රැස්වීමට සහභාගි වීම සඳහා දිවයිනේ යුද්ධයෙන් ඉරිතැලී ගිය උතුරු පලාතේ සිට සසප හා සසජාතශි සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් සැතපුම් 250ක් ගෙවාගෙන පැමිනිය හ.

ශ්‍රී ලංකාවේ සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් රැස්වීමේ මුලසුන දැරී ය. හතරවන ජාත්‍යන්තරයේ 80වන සංවත්සරය යෙදෙන්නේ ජාත්‍යන්තර පන්ති අරගලයේ තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යයක දී බව ඔහු සඳහන් කලේ ය. “එක් අතකින්, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන් න්‍යෂ්ටික අවිවලින් කෙරෙනු ඇත්තා වූ තුන්වන ලෝක යුද්ධයක් දෙසට ඇදී යන අතර, සෑම රටක ම පාලක පන්තීන් මර්දනකාරී ආඥාදායක තන්ත්‍රයන් අටවමින් සිටිනවා. අනෙක් අතට, යුද්ධය සඳහා දැරෙන මෙම සූදානමට විරුද්ධ ව එක්සත් ජනපදයේ සිට යුරෝපය හරහා මැද පෙරදිග, දකුනු ආසියාව හා ඈත පෙරදිග දක්වා කම්කරු පන්තියේ පන්ති අරගල රැල්ලක් පැතිර යමින් පවතිනවා” යයි ඩයස් ප්‍රකාශ කලේ ය.

“බිඳවැටෙමින් ලෝක ධනේශ්වර ආර්ථික පද්ධතිය යි. එමඟින් ඉල්ලා සිටින්නේ විකල්ප සමාජවාදී පද්ධතියක්” යයි ඩයස් අවධාරනය කලේ ය. මෙය සාක්ෂාත් කල හැකි වන්නේ අනෙකුත් පීඩිත ජන කන්ඩායම් තමන් වටා රැලි කරගන්නා කම්කරු පන්තියේ නායකත්වය යටතේ ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක් බිහිකිරීමෙන් පමන යි.

විජේ ඩයස්

“ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය අත්හැර දැමීමෙන් කම්කරු හා පීඩිත ජන කන්ඩායම්වලට ව්‍යසනකාරී විපාකවලට මුහුන පෑමට සිදුවුනු රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා” යයි ඩයස් පෙන්වා දුන්නේ ය. පැබ්ලෝවාදී සංශෝධනවාදීන්ගේ ආනුභාවය යටතේ ලංකා සම සමාජ පක්ෂය (ලසසප) විසින් 1964 දී සිදු කල මහා පාවාදීම ගැන ඔහු සඳහන් කලේ ය. යලි වතාවක් ජාත්‍යන්තර සමාජවාදයේ ධජය එසවීම සඳහා සසප, 1968 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ලෙස පිහිටැවුනු බව ඔහු විස්තර කලේ ය.

“අද දින පන්ති අරගලයට අත්‍යවශ්‍ය මෙම ඉතිහාසයයි අප අද සමරන්නේ. මෙම පාඩම්වලින් මූලික කාරනා වන්නේ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කිරීම, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් සහ දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩුවක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් කිරීම යි” යනුවෙන් ඩයස් වැඩිදුරටත් පැවසී ය.

නෝර්ත් ශ්‍රාවකයන්ට හඳුන්වා දෙමින්, ඔහු වනාහි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ අධිකාරවත් පුද්ගලයෙකු බවත් විශේෂයෙන් ම 1985-86 සමයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ භ්‍රෂ්ටයන්ගෙන් බිඳී වෙන්වුනු තැන් පටන් හජාජාක වෙත තීරනාත්මක නායක්තවය දී ඇති බවත් ඩයස් පෙන්වා දුන්නේ ය. එහි දී ඩයස්, 1990 ගනන්වල දී හජාජාක ලීගයන් පක්ෂයන් බවට පරිවර්තනය කිරීම හා ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රකාශනය ලෙස 1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරම්භ කිරීම ගැන සඳහන් කලේ ය. නෝර්ත් විසින් රචනා කරන ලද වැදගත් කෘතීන් ගනනාවක් ද ඩයස් විසින් ප්‍රදර්ශනය කලේ ය.

කොලඹ ශ්‍රාවකයෙන් කොටසක්

තම කතාව ආරම්භයේ දී ම අද දින සමාජවාදය සඳහා අරගලයට ඉතිහාසයේ පාඩම්වල අර්ථභාරීත්වය නෝර්ත් අවධාරනය කලේ ය: “විප්ලවවාදී ව්‍යාපාරය එහි ක්‍රියාමාර්ගය හා ක්‍රියාකාරකම් වර්ධනය කරන්නේ, ඓතිහාසික අත්දැකීම අනවරත ව හා විවේචනාත්මක යලි විභාග කිරීමක් මගින්. ඓතිහාසික සැඳහුම් ලක්ෂ්‍යයකින් තොර වූ කල, පන්ති අරගලයේ කම්පන සහගත දිය සුලි හරහා යාත්‍රා කිරීම කල නො හැක්කක්. වැඩි දුරටත් කියන්නේ නම්, පසුගිය සියවසේ යෝධ විප්ලවවාදී සිද්ධීන් අධ්‍යයනය කිරීමකින් තොර ව තම තරුන කේඩරය හා සමස්තයක් ලෙස කම්කරු පන්තිය උගන්වා ගැනීමට විප්ලවවාදී පක්ෂයක් සමත් වන්නේ කෙසේ ද?”

“කම්කරුවන් ද අද්‍යතන ලෝකය තුල ධනවාදයට එරෙහි අරගලයේ දී නිවැරදි මාවතක් ගැඹුරින් සොයන සියල්ලන් ද මුහුන දෙන දේශපාලන මූලෝපායේ සෑම තීරනාත්මක කාරනාවකට ම වඩාත් ම ප්‍රගාඪ හා ක්ෂනික අර්ථභාරය සම්පාදනය කරන පසුගිය සියවසේ අතිමූලික න්‍යායික හා දේශපාලනික අරගලය වන ස්ටැලින්වාදයට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලය අධ්‍යයනය කිරීමේ හා සමුච්ඡය කරගැනීමේ” අවශ්‍යතාව හජාජාක නායකයා විස්තර කලේ ය. හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසියක හා දේශපාලනික සම්භවයන් පිලිබඳ කෙටි සාරාංශයක් ඉදිරිපත් කිරීම කරා නෝර්ත් ඉදිරියට ගියේ ය.

සෝවියට් සංගමයේ හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත්‍ර බිඳ වැටීමෙන් ඉක්බිත්තේ, ධනවාදය මානව වර්ගයාට “සාමය, සෞභාග්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය” ගෙන එනු ඇතැයි පාලක ප්‍රභූන් කල ප්‍රකාශනයන්ට ඍජු ලෙස විපරීත ව ප්‍රධාන වසයෙන් එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් න්‍යෂ්ටික අවිවලින් කෙරෙන තුන්වන ලෝක යුද්ධයක් කරා ලෝකය ඇදගෙන අවුත් ඇත්තේ කෙසේදැයි නෝර්ත් පෙන්වා දුන්නේ ය.

මෑත දී ෆැසිස්ට්වාදයේ නැගීම පිලිබඳ ව පලකර ඇති කෘති කිහිපයක් උපුටා දක්වමින් “ෆැසිස්ට්වාදය යලි බලයට ඒමේ අන්තරාය ගැන කෙරෙන පුලුල් සාකච්ඡාවට” නෝර්ත් ඉන්පසු අවධානය යොමු කලේ ය. මෙම කෘති ලියා ඇති කිසිදු කතුවරයෙක් දක්ෂිනාංශික ෆැසිස්ට්වාදී බලවේග එවන් නැගී ඒමක සැබෑ මූලයන් විස්තර කිරීමට අසමත් වීම ගැන සඳහන් කරමින් නෝර්ත් මෙසේ කීවේ ය: “ෆැසිස්ට්වාදය පිලිබඳ විශිෂ්ටතම විශ්ලේෂනය සම්පාදනය කල ට්‍රොට්ස්කි, මෙම දේශපාලන ත්‍රස්තය ධනවාදයේ පරස්පර විරෝධයන් තුල මුල් බැස තිබෙන බවත්, ගෝලීය ආර්ථික අර්බුදයේ, ජාත්‍යන්තර භූදේශපාලනික ආතතීන්ගේ හා දේශීය සමාජ ගැටීම්වල පීඩනය යටතේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීම ආපසු හැරවිය නො හැකි ක්‍රියාදාමයක් බවත් අවධාරනය කලා.”

“ධනවාදයේ මරලතෝනි යුගයේ තිබෙන දේශපාලන විකල්පයන් වන්නේ ෆැසිස්ට්වාදී ම්ලේච්ඡත්වය හෝ සමාජවාදී විප්ලවය යි. මින් එකක හෝ අනෙකක ජයග්‍රහනය මානව වර්ගයාගේ අනාගතය තීන්දු කරනවා. ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනයෙහි අර්ථය වන්නේ මානව ශිෂ්ටාචාරයේ මලගම යි. සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය, මානව ශිෂ්ටාචාරයේ නව හා විශිෂ්ට මට්ටමක මල්ඵල දැරීමේ හැකියාව විවෘත කරනවා. අප ඉදිරියේ තිබෙන විකල්පයන් ඒවා යි” යනුවෙන් නෝර්ත් වැඩිදුරටත් සඳහන් කලේ ය.

ඩේවිඩ් නෝර්ත් කොලඹ රැස්වීම අමතමින්

එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂය ද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි පනස්වන සංවත්සරයට සුභපැතුම් පිරිනැමූ නෝර්ත්, අතිශය දුෂ්කර කොන්දේසි යටතේ ශ්‍රී ලංකාවේ සසප ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයකට වෙහෙස නො තකා සටන්වැදී ඇති බව ප්‍රකාශ කලේ ය.

දේශනය අවසානයේ ශ්‍රාවකයන් විසින් අසන ලද ප්‍රශ්නවලට නෝර්ත් පිලිතුරු දුන්නේ ය. ඔහුගේ පිලිතුරු හොඳින් පිලිගන්නා ලදී. ශ්‍රාවකයන්ගේ පහසුව තකා, දේශනය සමාන්තර ව සිංහලට හා දෙමලට පරිවර්තනය කරන ලදී.

රැස්වීමෙන් ඉක්බිති ව සහභාගි වූවන් කිහිපදෙනෙක් ලෝසවෙඅ වාර්තාකරුවන් සමග කතා කල හ.

කේෂානි

කොලඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන කේෂානි, ප්‍රායෝගික නො වන්නේ යයි සිතමින් තමන් කලින් සමාජවාදය ගැන විශ්වාස නො කල බව කීවා ය: “එහෙත් විශ්ව විද්‍යාලයේ දී සසප උද්ඝෝෂකයන් සමග කල දීර්ඝ සාකච්ඡාවලින් පස්සෙ වර්තමාන ලෝක තත්ත්වය තුල සමාජවාදය සඳහා වැඩෙන අවස්ථා තිබෙන බව මම ඒත්තුගෙන සිටිනවා. ඔබගේ පක්ෂය නියෝජනය කරන ජාත්‍යන්තර ඉදිරිදර්ශනය සමාජවාදය කෙරෙහි මගේ කැමැත්ත ශක්තිමත් කර තිබෙනවා. අනෙකුත් ඊනියා සමාජවාදීන් තවදුරටත් සමාජවාදී ක්‍රියාමාර්ගයක් ගැන කතාකරන්නේ නැහැ.”

නෝර්ත්ගේ දේශනය ගැන සඳහන් කරමින් තමන් බොහෝ දේ දැනගත් බවත් තමන්ගේ බොහෝ ප්‍රශ්නවලට පිලිතුරු ලැබුනු බවත් කේෂානි කීවා ය. “ඉතිහාසයේ පාඩම් ඉගනගැනීමේ හා අප ම ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක් මත පාදක වීමේ අවශ්‍යතාව හොඳින් විග්‍රහ කලා. මම හරි ම උද්‍යෝගිමත්. ගෝලීයකරනය යටතේ ධනවාදය එල්ල කරන ප්‍රහාරවලට කම්කරුවන් ජාත්‍යන්තර ව සංවිධානය කිරීමෙන් පිලිතුරු දිය යුතු යි.”

ශ්‍රී ලංකාව තුල ලසසපයේ පාවාදීමේ ඉතිහාසය තමන්ට නැවුම් එකක් වුවත් එය ඉතා වැදගත් පාඩමක් බව කේෂානි කීවා ය. “මේ දේවල් සාකච්ඡා කිරීමටත් ආරම්භකත්වයක් ගැනීමටත් මම සූදානම්” යයි ඇය කීවා ය.

පර්සි

මොරටුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කම්කරුවෙක් වන පර්සි, නෝර්ත්ගේ දේශනය තුල සාකච්ඡා වුනු අත්දැකීම් කම්කරු පන්තියට අත්‍යවශ්‍ය බව කීවේ ය: “මෙම පාඩම්වලින් තොර ව කම්කරු පන්තියට ඉදිරියට යා නො හැකි යි. සසපයේ වෙනස වන්නේ එය කම්කරු පන්තියේ ශක්තිය අවධාරනය කිරීම යි. ඒ ශක්තිය වැඩිදුර වර්ධනය කිරීම අවශ්‍ය යි. ඒ සඳහා මේ වගේ තවත් දේශන උවමනායි කියල මම හිතනවා. විශ්ව විද්‍යාලයක කම්කරුවෙක් හැටියට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ බොහෝ අරගල මම දැකල තියෙනවා. ජාත්‍යන්තර ඉදිරිදර්ශනයකින් හා නායකත්වයකින් තොර වූ කල කම්කරු පන්තියට සාර්ථක විය නො හැකි යි.”

ලෝකයේ මහජනතාවන් මුහුන දෙන ගැටලු විසඳීමට ජාත්‍යන්තර සමාජවාදය අවශ්‍ය බවට තමන් ඒත්තු ගෙන සිටින්නේ යයි උතුරේ පේදුරුතුඩුවෙන් පැමිනි ධනේශ්වරී කීවා ය. කම්කරුවන් යෙදී සිටින්නේ ගෝලීය නිෂ්පාදන ක්‍රියාදාමයක යි.

ශ්‍රී ලංකාවේ 30-අවුරුදු ම්ලේච්ඡ සිවිල් යුද්ධය ගැන සඳහන් කරමින්, මහජනයා ඛේදජනක ප්‍රතිවිපාක සහිත ව ජාතිකවාදයට සීමා වී සිටි බව ධනේශ්වරී කීවා ය: “දෙමල ජාතික සන්ධානය වැනි පක්ෂ මහජනයා වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. යුද්ධය ඉවර වෙලා තිබුනත් දෙමල ජනයා මත ආන්ඩුව පවත්වාගෙන යන මර්දනීය පාලනය දිගට ම පවතිනවා.” වාර්ගික රේඛා කපාගෙන සිංහල හා දෙමල දෙවර්ගයේ ම ජනයා රැස්වීමට සහභාගි වී සිටීම ඇයගේ ආශ්වාදයට හේතු විය.

නෝර්ත්සී කර්මාන්තශාලාවේ ගනකාධිකාරීවරයෙක් වන ඥානවේල් මෙසේ කීවේ ය: “මේ රැස්වීමට මම ආවෙ යාපනේ ඉඳල. සත්‍යය වන්නේ ධනවාදයේ සිට සමාජවාදය දක්වා වෙනසක් අවශ්‍ය බව යි.

“ඩේවිඩ් නෝර්ත් පක්ෂයේ ඉතිහාසය ගැන කතා කලා. ධනවාදය ලෝකය පාලනය කරද්දී කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදය කරා මෙහෙයවීම යහපත් දෙයක්.”

එහෙත් පක්ෂය තවමත් පුලුල් මහජනයා වෙත ලඟා වී නැති බවත් එහි ක්‍රියාකාරකම් වැඩි කර ප්‍රසාරනය කල යුතු බවත් ඔහු කීවේ ය. මෙවැනි රැස්වීම් සංවිධානය කරමින් කම්කරු පන්තිය බහුතරය වන ප්‍රදේශවල පක්ෂයේ ආස්ථාන විස්තර කල යුතු ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ කාටූන් ශිල්පියෙකු වන අවන්ත ආටිගල ලෝසවෙඅ වාර්තාකරුවන්ට මෙසේ කීවේ ය: “මගේ අදහසට අනුව, මහජනතාවන් මුහුනු දෙන ගැටලු ජාතික රාමුවක විසඳීම ගැන කතා කිරීම තකතීරු වැඩක්. ජවිපෙ, පෙසප හා අනෙකුත් ව්‍යාජ-වාම පක්ෂ ශ්‍රී ලංකාවේ සිද්ධීන්වලට ගෝලීය ආර්ථිකයේ අදාලත්වය ගැන කවදාවත් කතාකරන්නේ නැහැ.

“ස්ටැලින්වාදය හා අනෙකුත් සංශෝධනවාදී ප්‍රවනතා දේශනය තුල කල විග්‍රහ කිරීම් අතිශයින් වැදගත්. බෙහෝ ජනයා සමාජවාදය, ස්ටැලින්වාදය හෝ අනෙක් වර්ගවල සුලුධනේශ්වර රැඩිකල්වාදය සමග වැරදියට අනන්‍ය කරගන්නවා. අනෙකුත් කිසිදු පක්ෂයක් කම්කරු පන්තියට අව්‍යාජ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් නො කරන නිසා කම්කරුවන් සසපට ආකර්ශනය වෙයි කියලා මම විශ්වාස කරනවා.”

කලුතර සිට පැමිනි ශිෂ්‍යයෙක් වන අන්ජන මෙසේ කීවේ ය: “ධනවාදියෝ ලෝක යුද්ධයක් දිශාවට ඇදිල යනව කියලා දේශනයෙදී සඳහන් වුනා. විද්‍යා ශිෂ්‍යයෙක් හැටියට එවැනි න්‍යෂ්ටික යුද්ධයක් කොතරම් විනාශකාරී ද කියල මම දන්නවා.

“ෆැසිස්ට්වාදය යලි නැගීම ගැන නෝර්ත් සඳහන් කලා. 1930 ගනන්වලදි ජර්මනියෙ ජනතාව මේ තත්ත්වයට ම මුහුන දෙනකොට ජර්මනියෙ කම්කරුවන් මත පදනම් වන පක්ෂවල පෙරමුනක් සඳහා ට්‍රොට්ස්කි කැඳවුම් කලා. ඒ වෙලාවෙ ඒ පක්ෂ ඒකට එකඟ වුනේ නැහැ. අවසානයේ හිට්ලර් බලයට ආව, ප්‍රතිඵලය වුනේ ව්‍යසනකාරී ලෝක යුද්ධයක්. 1938දි ට්‍රොට්ස්කි ලෝක යුද්ධය අවසන් කිරීමට ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කලා, ඒක තමයි ධනවාදයේ අර්බුදය විස්තර කලේ.”

ජවිපෙ හා පෙසප වැනි අනෙක් පක්ෂ ජාත්‍යන්තර සමාජවාදය ගැන කිසි දිනක කතාකර නැති බව අන්ජන ඉස්මතු කලේ ය.

ඩේවිඩ් නෝර්ත්ගේ දේශනය විසින් ජනනය කරන ලද උද්‍යෝගය පෙන්නුම් කරමින් ශ්‍රාවකයන් සසප අරමුදලට රුපියල් 28,800ක් ප්‍රතිපාදනය කලේ ය. රැස්වීමේ පොත්හලෙන් ඔවුන් රුපියල් 13,500ක් වටිනා මාක්ස්වාදී සාහිත්‍යය මිලට ගත්තේ ය.

රූපවාහිනී චැනල හා ගුවන්විදුලි ආයතන කිහිපයක් රැස්වීම ආවරනය කල හ. ඒවා අතර රජයට අයත් ස්වාධීන රූපවාහිනී ජාලය (අයිටීඑන්) හා පුද්ගලික හිමිකාරීත්වය යටතේ පවතින සියත හා හිරු ප්‍රචාරක ආයතන විය. රැස්වීම ආවරනය කල ගුවන්විදුලි ආයතන අතරට අයිබීසී (දෙමල), ලංකාසිරි (දෙමල) හා මාධ්‍යවේදියා (සිංහල) යන පෞද්ගලික ආයතන අයත් විය.

Share this article: