රාජ්‍ය වාරනය සඳහා එක්සත් ජනපද මිලිටරියේ දෘෂ්ටිය
The US military’s vision for state censorship
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ එක්සත් ජනපද විශේෂ හමුදා අධීක්ෂනය කරන අංශය වන එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බලකාය මාර්තු මාසයේ දී “තොරතුරු යුගය තුල ස්වෛරීත්වය” යන තේමාව යටතේ සම්මේලනයක් පැවැත්වී ය. නිව් යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඇතුලු දේශීය පොලිස් බලකායන් හා මයික්‍රොසොෆ්ට් වැනි තාක්ෂන සමාගම්වල නියෝජිතයන් සමගින් විශේෂ හමුදාවල නිලධාරීන් සම්මේලනයට ඒකාබද්ධ කෙරිනි.
ඉහල පෙලේ මිලිටරි, පොලිස් හා සංගත නියෝජිතයන්ගේ මෙම හමුව ඒ සමයේ වාර්තා නො කර ප්‍රසිද්ධ නො කර හරින ලදී. එහෙත් සමුලුවේ දිශානතිය සාරංශගත කරමින් අත්ලන්තික් කවුන්සිලය පිටු 21ක ලියවිල්ලක් ප්‍රසිද්ධ කලේ ය. එහි කතුවරයා වන්නේ හිටපු ඕස්ටේ්රලියානු හමුදා නිලධාරියෙක් සහ එක්සත් ජනපද ආරක්ෂක හා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවල විශේෂඥ උපදේශකයෙක් වන ජෝන් ටී. වොට්ස් ය.
රාජ්‍යයේ ඉහල ම මට්ටම් සමග සමීප සබඳතා තිබෙන චින්තන තටාකයක් වන අත්ලන්තික් කවුන්සිලය, සමාජ ජාල සමාගම් විසින් වාමාංශික අදහස් වාරනය කිරීමේ මූලික හවුල්කාරයෙක් ව සිට ඇත. වඩාත් සිත් කාවදින්නේ, පසුගිය වසරේ චාලට්ස්විල්හි පැවති නව-නාසිවාදී කැරැල්ලේ සංවත්සරයට එරෙහි ව වොෂින්ටනයේ පැවැත්වූ ෆැසිස්ට්-විරෝධී විරෝධතාවේ නිල පිටුව වසා දැමීමේ දී මුහුනුපොත අත්ලන්තික් කවුන්සිලයෙන් ලබාගත් ඔත්තුවක් මත ක්‍රියාත්මක වීම යි.
වොෂින්ටනයේ දහස් ගනන් ජනමාධ්‍යවේදීන් තමන් ලියන්නේ කවරක්දැයි ප්‍රශ්න කරනවා තබා වාර්තා කරන්නේ වත් නැති ය යන විශ්වාසය සහිත ව සිටින වොට්ස්, රාජ්‍යයේ මර්දන යන්ත්රනයේ හා එය විසින් ආරක්ෂා කරන මූල්‍ය කතිපයාධිකාරයේ දෘෂ්ටි ආස්ථානයෙන් වාරනය අවශ්‍ය මන්දැයි කියා සිටියි.
වාර්තාවේ කේන්ද්‍රීය තේමාව වන්නේ “ස්වෛරීත්වය” හෙවත් තම මතය මහජනයා මත පැටවීමට රාජ්‍යයට පවතින හැකියාව යි. රාජ්‍යයට එරෙහි ව වැඩෙන දේශපාලන විරුද්ධත්වය සහ දේශපාලන විසංමතිය ක්ෂනික ව විහිදා හැරීමට අන්තර්ජාලයට පවතින හැකියාව නිසා “අන් කවරදාටත් වඩා දැන් ස්වෛරීත්වය විශාල අභියෝගයන්ට මුහුන දෙයි” යනුවෙන් වොට්ස් ලියයි.
වැඩවසම් ලෝක පර්යාය පෙරලා දැමීමට උපකාරී වූ මුද්‍රිත මාධ්‍යය සොයාගැනීමේ පූර්වාදර්ශය වොට්ස් විසින් උපුටා දක්වයි. එහෙත් අත්ලන්තික් කවුන්සිලයේ තක්සේරුවට අනුව, එය, “ගැටුම් හා බාධාවන්වල දශක ගනනාවක් හා තර්ක කරන පරිදි සියවස් ගනනක්” නිර්මානය කල හා බහ්වාධිකාරී රාජ්‍යයන්ගේ “ස්වෛරීත්වයට” වලකැපූ බොහෝසෙයින් ඍනාත්මක වර්ධනයක් විය. “අන්තර්ජාලය සොයාගැනීම ඒ හා සමාන ව ගැටුම් හා බාධකයන් නිර්මානය කරමින් තිබේ” යයි වොට්ස් ලියයි.
“බටහිර සමාජය පිලිබඳ විශ්වාසය ‘අර්බුදයක් අත්දකිමින් සිටී’ යැයි ඔහු අනතුරු අඟවයි. පසුගිය වසර පුරා එක්සත් ජනපදය තුල ආන්ඩුව කෙරෙහි විශ්වාසයේ සියයට 30ක වැටීමක් පෙන්නුම් කරමින් 2018 ඒඩල්මන් ට්‍රස්ට් බැරෝමීටරය මෙම ඛාදනය සටහන් කර ඇතැ”යි ඔහු අනතුරු අඟවයි.
ආන්ඩුවට පවතින සහයෝගයේ මෙම වැටීම හුදු සමාජ මාධ්‍යවල නැගීමෙන් පමනක් විග්රහ කල නො හැකි යයි වොට්ස් සටහන් කරයි. මෙම ක්‍රියාදාමය ආරම්භ වූයේ 2000 ගනන්වල මුල “සමාජ මාධ්‍ය යුගයේ හිමිදිරියේ එය ප්‍රධාන ධාරාව බවට පත්වීමට පෙර යි.” අතහැර දමා තිබෙන්නේ ආන්ඩුවේ ආයතනවලට ඇති සහයෝගය බිඳවැටීමට හේතු වූ ප්‍රධාන කාරනාවන් ය: එනම්, 2000 මැතිවරනය සොරා ගැනීම, මහජන සංහාරක අවි ගැන බුෂ් පරිපාලනයේ බොරු, අනවරත යුද්ධය හා 2008 මූල්‍ය අර්බුදයේ බලපෑම යනාදිය යි.
එහෙත්, “විශ්වාසය නැති ව යාම මුලුමනින් ම සමාජ මාධ්‍යවල ඉස්මතු වීමෙන් ප්‍රතිඵල වී යයි තර්ක කිරීම අසීරු වන” අතර, “ඒවා (සමාජ මාධ්‍ය) පුලුල් ධාරාවන් විශාලනය කරන්නක් ලෙස ක්‍රියා කලේ ය යන්න ගැන ඇත්තේ අඩු සැකයකි” යයි වොට්ස් ලියයි.
“තාක්ෂනය, උප-රාජ්‍ය කන්ඩායම්වලට හා පුද්ගලයන්ට සීමිත සම්පත් ප්‍රමානයක් හා තථ්‍ය වසයෙන් අසීමිත වපසරියක් සහිත ව ආඛ්‍යානයක් ප්‍රචාරය කිරීමට ඇති හැකියාව ප්රජාතන්ත්රීයකරනය කර ඇත” යයි ඔහු තවදුරටත් ලියයි. ඊට විපරීත ව, “අතීතයේ දී පොදු මහජනයා සතුව තිබුනේ වෘත්තීය ආරක්ෂකයන් විසින් කලමනාකරනය කරන ලද තොරතුරු මූලාශ්‍ර සීමිත ප්රමානයකි.”
වෙනත් වචනවලින් කියතොත්, ආන්ඩුවට හිතැති ආඛ්‍යානයන් පමනක් ප්‍රසිද්ධ කරන ප්‍රධාන ධාරාවේ “වෘත්තීය ආරක්ෂකයන්” රහිත ව, සැඟවුනු අවශ්‍යතාවන්ගේ දේශපාලන ආඛ්‍යානයට ඒ හා සමාන මට්ටමින් අභියෝග කිරීමට වාරනය නො කල සමාජ මාධ්‍ය විසින් බහුතර ජනයාගේ අදහස්වලට සමාන අදහස් දරන කුඩා කන්ඩායම්වලට ඉඩ ලබා දී ඇත.
“රැඩිකල් හා අන්තවාදී දෘෂ්ටීන් ද වැරදි අදහස් ද සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබන විට, එසේ නො වේනම් එම පර්යාලෝකයට අනුග්රහශීලී නො වන ජනයා මත බලපෑම් කිරීමට පවා සමත් යයි” වොට්ස් අනතුරු අඟවයි. “සමීප මිත්‍රයෙක් හෝ ඥාතියෙක් විසින් ඉදිරිපත් කරන විට ව්‍යාජ තොරතුරුවලට අතිරේක විශ්වාසවන්ත කමක් ද ගෙන එයි; පුද්ගලයෙක් විසින් පිලිගත් ව්‍යාජ තොරතුරක් නිවැරදි කිරීම අසීරු විය හැකි ය.”
වෙනත් වචනවලින් කියතොත් ජනයා තම මිතුරන්ගේ හා පවුලේ “වැරදි” අදහස්වලින් හුදකලා විය යුත්තේ, එවැනි අදහස් පැතිරුනු විට රාජ්‍යයට “ඒවා නිවැරදි කිරීම අසීරු” නිසා ය.
එහෙත් මෙය කරන්නේ කෙසේ ද? “වැරදි තොරතුරු සමග ගනුදෙනු බේරාගැනීමට කරුනු පමනක් ප්‍රමානවත් නො වන” නිසා “කරුනු” හෝ “සත්‍යය” සමගින් විරෝධී මනෝගතියේ වර්ධනය සමග සටන් කල නො හැකි ය. “සත්‍යය පුද්ගලයන් හට වඩා සංකීර්න, අඩුවෙන් සිත්ගන්නාසුලු හා අඩුවෙන් අර්ථවත් වේ.”
මේ අවස්ථාවේ දේශපාලන විරුද්ධත්වයේ වර්ධනය සරල ව ම දේශපාලන විසංමතිකයන් “ඉවත් කිරීම” (එනම්, ඝාතනය කිරීමෙන් හෝ සිරගත කිරීමෙන්) මගින් විසඳිය නො හැක්කේ, එමගින් ගොදුරු බවට පත්වන්නන්ගේ අදහස්වලට සුජාත භාවය ලබාදෙන නිසා ය. “එම පුද්ගලයන් හා සංවිධාන ඉවත් කිරීම ආඛ්‍යානයට එරෙහි ව සටන් කිරීමට ප්‍රමාන වත් නො වෙමින් සත්‍ය වසයෙන් ම එය විශාලනය කිරීමට උදවු වනු ඇත.” ඔහු මෙලෙස ද එකතු කරයි: “වාරනය සම්බන්ධයෙන් ද මෙය සත්‍ය වන්නේ, පනිවුඩය මර්දනය කිරීමට දරන ප්රයත්නය ආඛ්‍යානය පිටුපස සිටින්නන්ට, එය, එහි සත්‍යභාවය, වැදගත් කම හෝ අව්‍යාජභාවය පිලිබඳ සාධනයක් ලෙස භාවිතා කල හැකි නිසා ය.”
සමාජ මාධ්‍ය සමාගම්වලට ඇතුල් වන්න. විරෝධාභාසී දෘෂ්ටීන් මර්දනය කිරීමේ හා ආන්ඩුවට-හිතවාදී ආඛ්‍යානයන් දිරිමත් කිරීමේ හොඳ ම යාන්ත්‍රනය වන්නේ, විශේෂයෙන් ම “මහජනයා දකින්නේ හා නො දකින්නේ කුමක්දැයි තීන්දු කිරීමේ හැකියාවැති මුහුනුපොත, ගූගල්, යූටියුබ් හා ට්විටර් ආදී තාක්ෂනික දැවැන්තයන්” ඇතුලු පුද්ගලික අංශය යි.
“මුහුනුපොත වැනි සමාජ මාධ්‍ය ද්වාරයන්ගේ පිලිවෙත්වල මාරුවීම්, ප්‍රචාරය කරනු ලබන අන්තර්ගතයේ විධිය හා ගුනය මත අර්ථභාරී බලපෑමක් ඇතිකර තිබේ” යනුවෙන් වොට්ස් එයට එකතු කරයි.
මහජනයා ආන්ඩුවේ ප්‍රචාරනය දෙස සැකමුසු ලෙස දැකගන්නා නිසා ආන්ඩුවේ අපිරිසිදු වැඩ පුද්ගලික අංශය විසින් කල යුතු ය. “ව්‍යාපාර හා පුද්ගලික අංශය වැරදි තොරතුරුවලට එරෙහි ව සටන් කිරීමේ දී ඔවුන්ගේ භූමිකාව ස්වභාවයෙන් අවබෝධ කර නොගත්ත ද එම භූමිකාව වඩාත් ම වැදගත් එකකි. ...ආයතන ලෙස ඒවා ගැන පොදු මහජනයාට ඇති ඉහල විශ්වාසය නිසා කේන්ද්‍රීය ක්රියාකලාපයක් ඉෂ්ට කිරීමට ඒවා තල්ලු කරනු ලැබ තිබේ. මෙය අවම වශයෙන් බටහිර ලෝකය තුල පවතින තත්වයකි.”
එහෙත් මෙය ආරම්භය පමනි. අන්තර්ජාල පුවත්පත් “සුවිශේෂී මාධ්‍ය අයිතමයකට යටින් අදහස් දැක්වීමට පොදු මහජනයාට අවසර දෙන ක්‍රමය වන අදහස් පලකිරීමේ ක්‍රම අහෝසි කිරීම ගැන සැලකිය යුතු” අතර, සමාජ මාධ්‍ය සමාගම් “අදහස්වල පිරිසිදු භාවය ක්‍රමාංකනය කිරීමට භාවිතා කරන ශ්‍රේනිගත කිරීමේ ක්‍රමයක් භාවිතා කල” යුතු ය.
සත්‍ය වසයෙන් ම බලහත්කාරය යෙදීමේ උපාමාරුවලට තවමත් භූමිකාවක් තිබේ. විකිලීක්ස් කර්තෘ ජූලියන් අසාන්ජ්ගේ උදාහරනය උපුටා දක්වමින්, “රාජ්‍ය කුමන්ත්රනවලට” සමාන “වැරදි තොරතුරු” බෙදාහැරීම සඳහා මරන දන්ඩනය පැනවිය හැකි “ප්‍රතිවිපාක නිර්මානය කිරීම ආන්ඩුවලට අවශ්‍ය යයි” වොට්ස් ප්‍රකාශ කරයි.
මෙම ලේඛනය තුල වොට්සන් කැටිකර දක්වන්නේ, ආන්ඩුව, මාධ්‍ය, හා තාක්ෂනික සමාගම් විරුද්ධ දෘෂ්ටීන් මර්දනය කිරීමේ දී ඒකාබද්ධ ව ක්‍රියා කරන ආඥාදායක සමාජ පර්යායකි.
ලේඛනයේ වඩාත් සිත්ගන්නාසුලු අංශය වන්නේ, එය විස්තර කරන්නේ අනාගතය නො ව, අද්‍යතන යථාර්ථය වීම යි. සෑම දෙයක් ම ඉදිරිපත් කරනු ලබන්නේ වර්තමාන කාලයෙනි. මහා වාරනයේ යාන්ත්‍රනය දැනට මත් ගොඩනගනු ලැබ තිබේ.
මිලිටරිය හා රාජ්‍යය තුල ඉහල මට්ටමේ සාකච්ඡා මත පදනම් වන අන්ලන්තික් කවුන්සිල වාර්තාව, පසුගිය වසර එකහමාර තිස්සේ අන්තර්ජාලයේ හා සමාජ මාධ්‍ය සමාගම්වල ඇල්ගොරිතම වෙනස්කම් කිරීමේ හේතුව පිලිබඳ ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියා ඇති සෑම දෙයක් ම පිලිබඳ සනාථනයකි.
ගූගල් සමාගම “අන්තර්ජාල සෙවුම් ප්‍රතිඵලවලින් සමාජවාදී, යුද-විරෝධී හා වාමාංශික වෙබ් අඩවිවලට ප්‍රවිෂ්ට වීම හා ඒවා ගැන දැනගැනීම අවහිර කරන්නේ” යයි චෝදනා කරමින් 2017 අගෝස්තු 25දා ලෝසවෙඅ විවෘත ලිපියක් පලකලේ ය. “මේ පරිමානයේ වාරනය දේශපාලන අසාදුලේඛන ගත කිරීමක්” යයි එය වැඩිදුරටත් කීවේ ය.
පසුගිය වසර පුරා විවෘත ලිපියේ මූලික විස්තර ඛන්ඩනය කල නො හැකි ලෙස සනාථ වී පවතී. කොංග්‍රසය ඉදිරියේ සාක්ෂි දීමේ දී හා අනෙකුත් ප්‍රසිද්ධ ප්‍රකාශයන් තුල එක්සත් ජනපදයේ ඉදිරිපෙලේ තාක්ෂන සමාගම්, එක්සත් ජනපද ඔත්තු සේවා විසින් ඉලක්ක කරගත් දේශපාලන දෘෂ්ටීන් හා ප්‍රකාශ පැතිරී යාම තමන් අඩුකල බවත් මහජන කෝපයට බියෙන් තමන් එසේ කලේ රහසින් බවත් විස්තර කර ඇත. ඒ අතර ම, නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් වැනි ආන්ඩුවට හිතැති යුදවාදී මාධ්‍ය ද්වාර දිරිමත් කරන ලද තාක්ෂනික උපක්‍රම ඔවුන් විස්තර කර ඇත.
එහෙත් අත්ලන්තික් කවුන්සිලයේ ලේඛනය රාජ්‍ය වාරන තන්ත්රය පිලිබඳ ව වඩාත් පැහැදිලි. ඍජු හා සත්‍යවාදී විස්තරය ඉදිරිපත් කරයි.
වාරනයට එරෙහි අරගලය සියලු ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ හී තුඩ යි. වඩාත් ම හදිසි කර්තව්‍යය වන්නේ, ලොවපුරා සමාජ අරගල රැල්ලක නිරත ව සිටින කම්කරු පන්තිය සමාජවාදය සඳහා අරගලයේ සංරචකයක් ලෙස වාරනයට එරෙහි අරගලය තුල ඒකාබද්ධ කිරීම යි.
ආන්ද්‍රෙ ඩැමොන්
Follow us on