ලක්ෂයකට අධික සංවර්ධන නිලධාරීහු වැඩි වැටුප් ඉල්ලා වර්ජනයේ යෙදෙති
පානි විජේසිරිවර්ධන විසිනි , 2018 සැප්තැම්බර් 14
වැඩි වැටුප් ඇතුලු තවත් ඉල්ලීම් ගනනාවක් මත දිවයින පුරා ලක්ෂයකට අධික සංවර්ධන නිලධාරීහු සැප්තැම්බර් 12 වන දා එක්දින සංකේත වර්ජනයක නිරත වූහ. ඔවුන් අතරින් 3,000 කට ආසන්න පිරිසක් එදින කොලඹට රැස්ව, බොරැල්ල ඩී.එස්. සේනානායක වට රවුමේ සිට, ටොරින්ටන් හි පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දක්වා විරෝධතා පා ගමනක යෙදුනාහ.
වැඩ වර්ජනය සහ විරෝධතා පා ගමන කැඳවා තිබුනේ සංවර්ධන නිලධාරි සේවා සංගමය (සනිසේස) සහ රැකියාලාභී උපාධිධාරී සංගමය (රැඋස) විසිනි. මධ්‍යම ආන්ඩුව සහ පලාත් ආන්ඩු යටතේ MN4 වැටුප් තලයේ සේවයේ යෙදී සිටින උපාධිධාරින් 1,10,000 කට ආසන්න සංඛ්‍යාවක් MN5 වැටුප් තලයේ පිහිටුවන ලෙස එම සංගම් මූලික වශයෙන් ඉල්ලා සිටී.
2016 නව වැටුප් පරිවර්තනයන්ට අනුව MN4 සහ MN5 වැටුප් තලයන් හි ආරම්භක ඒකාබද්ධ වැටුප් පිලිවෙලින් රුපියල් 31,490 ක් සහ 34,605 ක් වෙයි. සංවර්ධන නිලධාරි තනතුරට කවර හෝ උසස්වීම් පටිපාටියක් නොමැත. 1998 හි එම රැකියාවට බැඳුනු අය පවා මෙතෙකුදු රඳවා තිබෙන්නේ MN4 වැටුප් තලයේම ය.
ප්‍රධාන ඉල්ලීමට අමතරව, සුදුසුකම් සපුරා ඇති සංවර්ධන නිලධාරීන් ස්ථිර කිරීම, අහිමි කරන ලද තීරුබදු රහිතව යතුරු පැදි මිලදී ගැනීමේ වරප්‍රසාදය යලි ලබා දීම, සියලු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ගමන් වියදම් දීමනා ඉහල දැමීම ඇතුලු තවත් ඉල්ලීම් ගනනාවක් ඔවුහු ඉල්ලා සිටිති.
ලෝසවෙඅ වාර්තාකරුවන් සමග කතාකල විරෝධතාකරුවන් සියලු දෙනාම පාහේ තමාට ලැබෙන සොච්චම් වැටුපෙන් තම ජීවිත ගැටගසා ගැනීමට දරන ව්‍යායාමය ගැන කතා කලේ බලවත් කෝපයෙනි. එමෙන්ම ඉමහත් වියදමක් සහ ආයාසයක් දරා උපයාගත් උපාධියට ශීලාචාරව ජීවත්විය හැකි වැටුපක් සහිත රැකියාවක් ලැබෙතැයි විශ්වාස කල නමුදු ඒ ප්‍රාර්ථනා සියල්ල බොඳවී ඇතැ යි ඔවුහු පැවසූහ. කෙසේ නමුත්, තම සටන ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් ඔවුන් දක්වන අධිෂ්ඨානය එම සාකච්ඡාවන්හිදී පැහැදිලිවම පෙන්නුම් කෙරුනි.
රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු එරංගන සමීර:
“මම සේවයට බැඳුනෙ 2012 දි. මගේ භාර්යාවත් මේ රැකියාවමයි කරන්නෙ. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. රැකියා ලැබුනෙ උපාධිය සමත් වෙල අවුරුදු හයකට පස්සෙ. දෙන්නගෙම වැටුප් එකතු කරාම රුපියල් 62,000 ක් විතර මාසෙකට ලැබෙනව. ලමයි දෙන්නගෙ වැඩ වලට 20,000 ක් විතර යනව. ගෙදර හදන්න ගත්ත නයට තවත් 20,000 ක් කැපෙනව. අම්මල තාත්තලට සලකන්නත් ඕන. ලමයි බලා ගන්න අයටත් ගෙවන්න ඕන. ඉතිරියෙන් ජීවිතේ ගැටගහ ගන්නෙ බොහොම අමාරුවෙන්.”
වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ පිලිබඳව ඔහුගේ අදහස විමසූ විට ඔහු මෙසේ පැවසීය:
“හැමදාම බලයට ඇවිල්ල දුප්පත් අපිට පහර දෙන්නෙ ඔය ප්‍රධාන පක්ෂ දෙක නෙ. අනෙක් පක්ෂ හැමදාම කරන්නේ ඒ ප්‍රධාන පක්ෂ දෙකේ ආන්ඩු හදන්න උදව් කරන එක. ඒ අය කොහොම කලත් අපි මේ සටන ඉදරියට ගෙනියන්න ඕන.”
කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු චමින්ද ප්‍රියලාල් මෙසේ පැවසුවේය: “මට රැකියාව ලැබුනෙ 2008 දි. දැන් අවුරුදු දහයක් ගතවෙල තියෙනව. ඒත් කිසිම උසස් වීමක් නෑ. මට තාමත් ලැබෙන්නෙ රුපියල් 32, 000 කට ආසන්න ඒකාබද්ධ වැටුපක්. මම විවාහකයි. භාර්යාවත් රැකියාවක් කරනව. ඒත් එදිනෙදා මූලික වියදම් වලටත් අපි දෙන්නගෙ වැටුප් මදි. බොහොමයක් මාස වල අන්තිමට එනකොට අපි නය වෙනව.”
සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ඊනියා සංවර්ධනයක් ගැන කතා කලද, එම කතා වලට පිටුපසින් රාජ්‍ය සේවයේ මෙන්ම අනෙක් ක්ෂේත්රයන්හි කම්කරුවන්ට පහරපිට පහර එල්ල කරමින් ඔවුනගේ ජීවන කොන්දේසි වනසා දමන බව සහ කම්කරුවන් අතර විවිධ වැටුප් විෂමතා ඇති කරමින් ඔවුන් එකිනෙකා භේද කරන බව ද ප්‍රියලාල් පැවසීය.
MN4 ආශ්රිත සේවා නිලධාරීන් අධීක්ෂනය කිරීම සඳහා MN2 සහ MN3 වැටුප් තලයන්ට අයත් නිලධාරීන් යෙදීම වලක්වන ලෙස සනිසේස කර ඇති ඉල්ලීමෙහි ඇති ශ්‍රේනිවාදී ස්වභාවය ලෝසවෙඅ වාර්තාකරුවන් පැහැදිලි කල විට ප්‍රියලාල් මෙසේ පැවසීය:
“අධ්‍යාපන සුදුසුකමට අනුව වැටුප් තලයන් පිහිටවන ලෙස ඉල්ලීම සහ අධ්‍යාපන සුදුසුකකම් අනුව අධීක්ෂකයන් පත් කරන ලෙස කරන ඉල්ලීම ඇත්තටම කම්කරුවන් බෙදන හා කම්කරුවන්ගේ එකමුතුව බිඳින ඉල්ලීම්.
ඇත්තටම අපි සටන් කරන්න ඕන ජීවත් වීමට සරිලන වැටුපක් සඳහා. ඔය කියන MN5 ට අපි දැම්මත් අපිට වැටුප වැඩි වෙන්නෙ රුපියල් 3000 ක් විතරනෙ. ඒක ලැබුන කියල අපේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ.”
ආන්ඩුව සිටින්නේ බරපතල ආර්ථික අර්බුදයක බවත්, රජයේ වියදම් කපා හරින ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දී ඇති විධානයන්ට අනුව ආන්ඩුවට රාජ්‍ය වියදම් දැවැන්ත ලෙස කප්පදුු කිරීමට සිදුව ඇති තතු යටතේ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් ඉල්ලීම් දිනාගත නොහැකි බව ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ. ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනක අවශ්‍යතාව දෙසට සාකච්ඡාව වර්ධනය විය.
“ඇත්තටම වෘත්තීය සමිති එහෙම සටනකට ලෑස්ති නෑ. ඉතින් අපි කොහොමද ඒ වැඩපිලිවෙල ඉස්සරහට ගෙනි යන්නෙ” යන පැනය ප්‍රියලාල් නැගීය.
ඒ සඳහා කම්කරුවන්ගේ නව සංවිධාන රූපයන් ලෙස, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත පදනම් වූ ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ අවශ්‍යතාව පැහැදිලි කලවිට ඒ සම්බන්ධයෙන් උනන්දු වූ ඔහු ඉදිරි සාකච්ඡාවන් සඳහා දුරකථන අංකය ලබා දුන්නේ ය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට සටන්පාඨ කියමින් සංවර්ධන නිලධාරීන් විරෝධතාවයේ යෙදී සිටිද්දී සනිසේස සභාපති චන්දන සූරියආරච්චි මාධ්‍ය අමතා මෙසේ කියා සිටියේය: “අද අපි පාලකයන්ට දැනෙන උද්ඝෝෂනයක් දියත් කලා. ඒ නිසා අපි කියනවා මේක එක්දින වැඩවර්ජනයක් විතරයි. මේක අඛන්ඩ වැඩ වර්ජනයක් විදියට දික් කර ගන්න එපා. උපාධිධාරීන්ට කොන්ද කෙලින් වැඩ කරන්න පුලුවන් තත්වයක් එනකම් අපි මේ සටන අත් හරින්නෙ නෑ.”
මෙම පූච්චානම් තිබියදී, අන් සෑම වෘත්තීය සමිතියක් මෙන්ම සනිසේස නායකත්වය මෙම විරෝධතාවය සහ වර්ජනය කැඳවූයේ තම සාමාජිකත්වය තුල ආන්ඩුවට එරෙහිව වැඩෙන කෝපය සහ සටන්කාමීත්වය හමුවේ එය දියකර හැරීමට බව පැය දෙකක් යන්නට පෙර සනාථ විය.
සූරියආරචිචි ගේ අත්සන සහිතව සනිසේස විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට යැවූ ලිපියකින්, සැප්තැම්බර් 12 වන දා වැඩ වර්ජනයක් සහ විරෝධතාවයක් පවත්වන බව සහ එදින තම ඉල්ලීම් සඳහා විසඳුමක් අවශ්‍ය බව දන්වා තිබුනි.
රාජ්‍ය පරිපාලන ඇමති රංජිත් මද්දුමබන්ඩාර කල් තියාම විදේශ ගතව තිබූ අතර, සමිති නිලධරය අමාත්‍යංශය තුලට කැඳවා ගත් අමාත්‍යංශ ලේකම්වරයා, අනෙකුත් නිලධාරීන් ද කැඳවා ගෙන පැය දෙකකට අධික කාලයක් පුරා සාකච්ඡාවක යෙදී ගත්හ. අවසානයේදී විරෝධතාකරුවන් හමුවට පැමිනි සූරියආරච්චි කියා සිටියේ සාකච්ඡා “ඉතාමත් සාර්ථක” බවයි. ලේකම්වරයා ඉතා සුහදශීලීව සාකච්ඡාකල බවත් තමා ඉදිරිපත්කල ඉල්ලීම් වලට සාවධානව ඇහුම්කන්දුන් බවත් ඔහු පැවසීය. කෙසේ වුවත් අවසානයේ ලේකම්වරයා පොරොන්දු වී ඇත්තේ සැප්තැම්බර් 20 වන දාට අදාල ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් සූදානම් කරන බව සහ ඉන්පසු අදාල යෝජනා වැටුප් කොමිසමට ඉදිරිපත් කරන බවයි. එය මහත් උද්දාමයෙන් ප්‍රකාශ කල සූරියආරච්චි විරෝධතාකරුවන් විසුරුවා හලේය.
සනිසේස සහ රැඋස නායකයන්ගේ ක්‍රියාකලාපය දුම්රිය, ලංගම සහ තැපැල් ඇතුලු සියලු සමිති නායකයන්ගේ ක්‍රියාකලාපයට අංශු මාත්‍රයකින් හෝ වෙනස් නොවේ.
වැඩි වැටුප් ඉල්ලා සමිති නායකත්වයට පිටතින් තංගල්ල ලංගම ඩිපෝවේ කම්කරුවන් සැප්තැම්බර් 1 වන දා ආරම්භ කල වර්ජනය දිවයිනේ අනෙක් ඩිපෝ වලට පැතිරයාම වැලැක්වීම සඳහා වහා මැදිහත් වූ සමිති නායකයෝ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා සමග සාකච්ඡාවකට පැන ගනිමින්, ඔක්තෝබර් පලමුවෙනි දින සිට වැටුප් වැඩිවීම ලබා දෙන බවට ඇමතිවරයා එහිදී දුන්නේ යැයි කියන පොරොන්දුවක් වර්ජිත කම්කරුවන්ට ඉදිරිපත් කොට වර්ජනය නතර කර ගත්හ.
අගෝස්තු මාසයේ අග පැවති දුම්රිය කම්කරුවන්ගේ වර්ජනය එම සමිති නායකයන් විසින් අත්හැර දැමුවේ තමා “පුද්ගලිකව මැදිහත් වී මාස දෙකක් තුල දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතා පිලිබඳ ප්‍රශ්නයට විසඳුමක් දෙන බවට” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුන් පොරොන්දුවක් මතයි.
පසුගිය මාස කීපය පුරා විවිධ ක්ෂේත්රයන්හි කම්කරුවන් අත්දුටුවේ සමිති නිලධරය සහ පාලකයන් අතර කෙරෙන සාකච්ඡාවන්ට සහ එම පාලකයන් දෙන පොරොන්දු වලට කම්කරුවන් යටත් කර ඔවුනගේ අරගල දියකර හැරීමයි.
වැඩෙන පන්ති අරගල ධනපති ආන්ඩුවට පමනක් නොව, තමා තදින් බැඳී පවත්නා ධනේශ්වර පද්ධතියට අභියෝග කෙරෙන කම්කරු පන්තියේ ඒකාබද්ධ දේශපාලන අරගලයක් දෙසට වර්ධනය වෙතැයි බියපත්ව සිටින සමිති නායකයෝ එම අරගල කෙසේ හෝ වලකාලීමේ භූමිකාවේ යෙදී සිටිති.
Follow us on