ශ්‍රී ලංකාව: ධීවරයෝ ඉන්ධන මිල පහත හෙලන ලෙස බල කරමින් විරෝධතා දක්වති
Sri Lankan fishermen demonstrate to demand fuel price reductions
නවීන් දේවගේ විසිනි, 2018 අගෝස්තු 30
සිය ගනනක් වූ බහුදින යාත්‍රා හිමියෝ සහ ධීවර කම්කරුවෝ පසුගිය අගෝස්තු 23 වැනි දා, මෑතක දී සිදු කල ඉන්ධන මිල වැඩි අත් හිටුවන ලෙස ආන්ඩුවට බල කරමින් ගාලු මුව දොරදී විරෝධතා දැක්වූ හ. ආන්ඩුව මැයි මාසයේ දී රුපියල් 95කට පැවති ඩීසල් ලීටරයක මිල රුපියල් 110ක් දක්වා ඉහල නැංවී ය. නැවතත් ජූලියේ දී එම මිල රුපියල් 118ක් දක්වා වැඩි කලේය.
මිල ඉහල නැංවීම් සුලු පරිමාන ධීවර කර්මාන්තය අඩපන කර ඇත. ඩීසල් සහ භූමි තෙල් මත යැපෙන ධීවරයන් ගේ, ගොවීන් ගේ සහ වෙනත් සුලු නිෂ්පාදකයන් ගේ සහ වෙලඳුන් ගේ ජීවන කොන්දේසිවලට එය දරුනු ලෙස බල පා ඇත.
ගාලු මුවදොරට රැස් වූ විරෝධතාකරුවන් අත “ සහනාධාර නොවෙයි ඉන්ධන මිල අඩු කරනු”, “බහුදින ධීවර කර්මාන්තය විනාශ නොකරනු” සහ “පාලකයිනි, ඉන්ධන මිල වැඩි කර අපගෙන් පොකට් ගසන්න එපා”යන පාඨ සහිත විරෝධතා පුවරු විය.
විරෝධතාවය කැඳවා තිබුනේ සමස්ත ලංකා බහු දින ධීවර යාත්‍රා හිමියන් ගේ සංගමය යි. සංවිධායකයෝ තම ඉල්ලීම් රැගත් ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පිලිගැන්වීමට කටයුතු සැලසුම් කර තිබුනේ එමඟින්, මිල වැඩි කිරීම් හකුලා ගැනීමට ආන්ඩුවට බලපෑම් කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි.
කෙසේ නමුත් විරෝධතා රැලිය “මහජනතාව අපහසුතාවට” පත් කරන්නේ යැයි කියමින් ආන්ඩුව පොලිසිය මෙහෙයවා ප්‍රතිචාර දැක්වීය. ඔවුන් ගේ ඉල්ලීම් ඉදිරිපත් කල හැක්කේ ජනාධිපති ලේකම් කාර්යාලයට පමනක් බව පවසමින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙක් උද්ඝෝෂකයන්ට විරුද්ධව “ පියවර” ගන්නා බවට තර්ජනය කලේය
කෝපයට පත් විරෝධතාකරුවන් ගේ බලපෑම් හමුවේ සංගමයේ සභාපති සුජිත් ප්‍රනාන්දු, පොලිස් තර්ජන නොතකා, තමන් මේ වසරේ දෙ වරක් රවටනු ලැබ ඇති බවත් දැන් “ආන්ඩුවට දැනෙන්න යමක්” කල යුතුව ඇති බවත් පැවසීය.
ගාලුමුවදොර රැස්ව සිටි ධීවරයින් අනතුරුව පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට උත්සාහ ගත්ත ද ඒ ව්‍යවර්ථ වූයේ, සන්නද්ධ පොලිස් බලකායක් මාර්ග බාධක යොදා පාර වසා දමා තිබූ බැවිනි. කැරලි මර්දන භටකායක් ද අධි පීඩන ජල ප්‍රහාරක රථයක් ද සූදානම් කර තිබුනි.
පොලිසිය, සංගමයේ නියෝජිතයන් 11 දෙනෙකුට පමනක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් හමු වීමට යා හැකි බව පැවසූ හ. මේ අතර කෝපයට පත් ධීවරයෝ තමන් ගේ ඉල්ලීම්වලට විසඳුම් ලැබෙනතෙක් අඩියක් පස්සට ගන්නේ නැතැයි අධිෂ්ඨානවත් වූහ. ඒ සංගමයේ නිලධාරීන් ගේ සාකච්ඡා ඉවර වන තුරු පසු බසින්නැයි ඉල්ලීම් කල විට ය.
යුරෝපය, ඇමෙරිකාව ඇතුලු සෙසු විදේශ වෙලඳපොලට අපනයනය සඳහා මුහුදු ආහාර නිපදවන දැවැන්ත සමාගම්වලට ගැඹුරු මුහුදේ ටූනා මත්ස්‍යයන් සපයන බහුදින යාත්‍රා 4650ක් පමන මෙහි තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය මූලාශ්‍රයක් වන මෙම කර්මාන්තය ආශ්‍රිතව පවුල් 30 000ක් පමන තම ජීවිතය සරිකර ගනිති.
ඉන්ධන, ධීවර ආම්පන්න සහ සෙසු අවශ්‍ය දේවල මිල ඉහල නැංවීමට එරෙහි ව මේ වසරේ ධීවරයන් දියත් කල විරෝධතා මාලාවක කොටසකි, මේ විරෝධතාවය.
මැයි මාසයේ දී, දිවයින පුරා වෙරලාසන්න කුඩා බෝට්ටු ධීවරයෝ දස දහස් ගනනින් භූමි තෙල් මිල සියයට එකසිය තිහකින් ඉහල දැමීමට තම විරෝධය පල කල හ. ඔවුහු පෙර පැවති පරිදි භූමිතෙල් ලීටරයක් රුපියල් 44කට දිය යුතු යැයි ආන්ඩුවට බල කල හ. මේ මහජන විරෝධය මැද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කල ආන්ඩුව, සහනාධාර ද දෙන බවට පොරොන්දු විය. එහෙත් ආන්ඩුව ඩීසල් මිල පහත හෙලීම ප්‍රතික්ෂේප කලේ ය. සිතා ගත හැකි පරිද්දෙන් ම කොලඹ ආන්ඩුවේ සහනාධාර පොරොන්දුව ද ඉටු නොවීය.
ආන්ඩුව ඉන්ධන මිල ඉහල දමන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) පෞද්ගලීකරන සහ සමාජ කප්පාදු නියෝග වලට අනුව යමිනි. අලුත් ම උපක්‍රමය නම් දේශීය පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල කෙලින් ම ලෝක වෙලඳ පොලේ මිල ගනන් මඟින් තීන්දු කිරීමයි. මේ නව මිල සූත්‍රය ක්‍රියාවට නැංවීම ප්‍රමාදවීම මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නයෙ හි හතර වැනි වාරිකය අත්හිටුවා තිබුනි.
දින ගනනාවක් මුහුදේ ගත කල යුතු බහුදින යාත්‍රා ධීවර කර්මාන්තයේ දී ගමන් වාරයක් සඳහා එක් යාත්‍රාවකට ඩීසල් ලීටර 10 000ක් 15 000ක් අතර ප්‍රමානයක් අවශ්‍ය වේ. ආහාර, ඇම, අයිස් සහ සෙසු වියදම් ද සමඟ මුලු පිරිවැය රුපියල් මිලියන 1.6ත් 2ත් අතර ප්රමානයකි.
මාලු අස්වැන්නේ ආදායම බෙදෙන්නේ, අඩක් යාත්‍රා හිමියාටත් ඉතිරි අර්ධය යාත්‍රාවේ වැඩ කරන ධීවර කම්කරුවන් අතර සම සේ ය. පාඩු වුව හොත් එය ද ඊලඟ වතාවේ ආදායමෙන් අඩු කර ගනු ලැබෙන නයක් ලෙසින් එ පරිදි ම කම්කරුවන් අතර බෙදී යයි.
සංගම් නියෝජිතයන් සහ ජනාධිපති ලේකම් නිලධාරීන් අතර පැයකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාව නිෂ්ඵල එකක් විය. සංගමයේ සභාපති ප්‍රනාන්දු මාධ්‍යයට පැවසුවේ, ගැටලුව සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය ගත් පියවර මොනවා දැයි සොයා බලා අනතුරුව ජනාධිපති සිරිසේන හා සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරන බව නිලධාරීන් පැවසූ බව යි. විරෝධතාකරුවෝ හිස් පොරොන්දු හෙලා දුටහ.
වෘත්තීය සමිති මෙන්ම සංගමය ද, සිරිසේන මුන ගැසීමෙන් ධීවර කර්මාන්තයේ නියුතු කම්කරුවන් මුහුන දෙන ව්‍යසනකාරී තත්ත්වය විසඳා ගත හැකියයි කියා සිටීම ප්‍රෝඩාවකි. ආන්ඩුව කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු පියවර ක්‍රියාවට දමන ඍජු ඒජන්තයකු ලෙසට යි. එමෙන් ම, භූමිතෙල් මිල තාවකාලිකව පහත හෙලනු ලැබීමෙන් සුලු බෝට්ටු හිමියන් ගේ ආර්ථික ගැටලු විසඳුනා යයි සංගමය කියන්නේ මුසාවකි.
හලාවතට ආසන්න මහවැව ධීවර කම්කරුවකු වන සුනිල් මෑතක දී තමන්ට තම බෝට්ටුව විකුනා දැමීමට සිදු වූ බව ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට ප්‍රකාශ කලේ ය.
“මම වෘත්තීය ධීවරයෙක්. අපේ අන්තිම මුහුදු ගමනට රුපියල් මිලියන 1.9ක් වැය වුනා. නමුත් ලැබුනු ආදායම රුපියල් මිලියන 2.1ක් විතරයි. ශුද්ධ ආදායමෙන් අඩක් වන කම්කරුවන් ගේ පංගුව කම්කරුවන් හය දෙනෙකු අතර බෙදී ගිය විට එක් අයකුට ලැබෙන්නේ රුපියල් 16 000ක් විතරයි. මේ සොච්චමට දින 43ක් මුහුද මැද්දේ දුක් විඳින්න ඕන. කලිං වෙච්චි නය ගෙවනවා තියා සති දෙකක් පන ගැට ගහ ගන්නවත් මේක මදි.”
ඔහු පැහැදිලි කල අන්දමට යාත්‍රා හිමිකරුවෝ සැබෑ අර්බුදයකට මුහුන දෙති. “බෝට්ටු අයිතිකාර මගේ යාලුවෙක්, රුපියල් මිලියන 1.5ක නයක් ගෙවන්න ජීවිතයේ පලවෙනි වතාවට රත්තරන් බඩු සේරම උකස් කරන්නට සිදු වූ බව පැවසුවා.”
හලාවත කිට්ටුව තොඩුවාවේ ධීවරයකු වන රෝගුස් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසී ය. “අත්‍යවශ්‍ය දේවල මිල හැමදා ම ඉහල යන කොට ජීවත් වෙන්න අමාරුයි. මාලු බාන දැල් සැකසීමේ මිල ගනන් දහස් ගනන්වලින් ඉහල ගිහිං. මේ ආන්ඩුවෙන් නම් අපේ ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් ලැබෙයි කියල හිතන්න අමාරු යි.”
Follow us on