රාජ්‍ය සේවක වැටුප් වියදම දැරිය නොහැකි බවට භාන්ඩාගාර ලේකම් පවසයි: පුද්ගලීකරනය වේගවත් කිරීමේ පෙරවදනක්
සමන් ගුනදාස විසිනි, 2018 සැප්තැම්බර් 20
ලංකා වෙලඳ මන්ඩලය පසුගිය සතියේ පැවැත්වූ, 2018 ආර්ථික සමුලුව තුල “නිලධරයට පන පෙවීම” යන මාතෘකාව යටතේ පැවති සාකච්ඡාවට සහභාගි වෙමින්, භාන්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග පැවසුවේ ආන්ඩුවේ ආදායමෙන් සියයට 44 ක් රජයේ සේවකයන්ගේ වැටුප් සඳහා වියදම් කිරීමට සිදුව ඇති අතර එය ආන්ඩුවට දරා ගත නොහැකි වියදමක් බවයි.
“හිතන්න මොන තරම් මුදලක් අප රාජ්‍ය නිලධරය නඩත්තු කිරීමට යොදනවාද කියා. ලැබෙන හැම රුපියල් 100 න් ම 44ක් අප රජයේ සේවකයන්ට වියදම් කරනවා” යැයි ඔහු පැවසීය. දැනට ආයතන 1251 ක් තුල දසලක්ෂ 1.5 ක් රාජ්‍ය සේවකයන් සිටින බවත්, 2018 අපේක්ෂිත ආදායම වන රුපියල් බිලියන 2040න් බිලියන 900 ක් ම රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වියදම් කිරීමට අපේක්ෂිත බවත් ඔහු පැවසීය.
නිලධරය තව තවත් පුලුල් කිරීම ආන්ඩුවේ ඵලදායිත්වය පහත හෙලන බව ප්‍රකාශ කල ලේකම්වරයා දැනටමත් රාජ්‍ය නිලධරය, අකාර්යක්ෂමතාවයෙන් ගහන බව කියා සිටියේය. අප කුඩා රටක් වුවත් ආන්ඩුව දැවැන්ත වන බැවින් ඉන් ඇතිව තිබෙන සංකීර්නතාව පිලිබඳව සිතා බලන ලෙස ඔහු ව්‍යාපාරික සමුලුවෙන් ඉල්ලා සිටියේය.
2016 අවසන් වන විට, උපාධිධාරීන් 57,000ක් රැකියා විරහිතයන් ලෙස ආන්ඩුවේ ලියාපදිංචි වී සිටින බවත්, ඉන් 20,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගනිමින් සිටින බවත්, 2019 අවසන් වන විට සියලු උපාධිධාරින්ට රජයේ රැකියා ලබා දීමේ දැවැන්ත සැලසුමක් නිවේදනය කර ඇති බවත් ඔහු සඳහන් කලේය. ලබන මස ඉදිරිපත් කෙරෙන 2019 අය වැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක බලාපොරොත්තුවක් පවතින බවද ඔහු කියා සිටියේය.
ආන්ඩුව විසින් මෙම නිවේදන ඉදිරියට දමා ඇත්තේ ජනාධිපතිවරනය ඇතුලු එලැඹෙමින් පවත්නා මැතිවරන ඉලක්ක කර ගනිමිනි. මැතිවරන ප්‍රෝඩාවක් ලෙස ආන්ඩුව ඉදිරිපත් කරන මෙම ඇස්බැන්දුම්කාර වැටුප් වැඩි කිරීමේ හා නව සේවකයන් බඳවා ගැනීමේ යෝජනාව කෙරෙහි භාන්ඩාගාර ලේකම්වරයා තම කනස්සල්ල පල කරන්නේ රාජ්‍ය වියදම් දැවැන්ත ලෙස කපා දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති විධානයන් සමග එම යෝජනා ඝෘජුවම ගැටෙන බැවිනි.
මූල්‍ය අරමුදලේ විධානයන්ට අනුව “ප්රතිව්යූහකරනය” වේගවත් කල යුතුය. එනම්, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය, රාජ්‍ය සේවක කප්පාදුව සහ රජයේ සේවකයන්ගේ වැඩ වේගවත් කිරීම කඩිනමින් සිදු කල යුතුය. රාජ්‍ය වැටුප් වියදම පිලිබඳ ලේකම්වරයාගේ ප්‍රකාශයට පිටුපසින් පවත්නේ මෙම අවශ්‍යතාවය යි.
කෙසේ නමුත්, මෙලෙස රාජ්‍ය සේවයට බඳවා ගන්නා සේවකයන් මුහුන දෙන කොන්දේසි මොනවාද යන්න පසුගිය සැප්තැම්බර් 12 දා දිවයින පුරා වැඩ වර්ජනය කල ලක්ෂයකට අධික සංවර්ධන නිලධාරීන් විසින් ඉස්මතු කරනු ලැබිනි. මෑත කාලීනව රාජ්‍ය සේවයට බඳවා ගැනුනු මෙම උපාධිධාරීන් ගේ වැටුප් රුපියල් 31,490 සිට 34,605 මට්ටමේ පවතින අතර 1998 රැකියාවට බඳවා ගත් සේවකයන්ට පවා තවමත් ඇත්තේ මෙම වැටුප් මට්ටම්ය. මෙම රැකියාවන්ට උසස්වීමේ පටිපාටියක් නොමැත. පහත වැටුප් තලයන් මත තම ජීවිකාව ගෙනයමින් සිටින රාජ්‍ය සේවකයන් සිය ජීවන අරගලය පිලිබඳව ලෝක සමාජවාදි වෙබ් අඩවියට විස්තර කලහ. කියවන්න: ලක්ෂයකට අධික සංවර්ධන නිලධාරීහු වැඩි වැටුප් ඉල්ලා වර්ජනයේ යෙදෙති
රාජ්‍ය සේවයේ පවතින වැටුප් හා සේවා කොන්දේසි දිනෙන් දින පහත වැටෙමින් ඇති ආකාරය රාජ්‍ය සේවය සිසාරා පැන නැගෙමින් පවත්නා වැඩ වර්ජන වලින් දිගින් දිගටම ඉස්මතු වෙමින් තිබේ. දුම්රිය, තැපෑල, විශ්ව විද්‍යාල, සෞඛ්‍යය, ජල සම්පාදන හා විදුලි බල ක්ෂේත්රයන් මෙලෙස කම්කරු අරගල පුපුරා ගොස් ඇති ක්ෂේත්‍ර කිහිපයකි.
වෘත්තීය සමිති වල පාවාදීම යහමින් ප්‍රයෝජනයට ගනිමින් මෙම අරගල යටපත් කිරීමට ආන්ඩුව ක්‍රියා කල අතර, කල් ගැනීමේ උපක්‍රමයක් ලෙස, රාජ්‍ය සේවයේ “වැටුප් අක්‍රමිකතා අධ්‍යනය කර රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම” සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ කොමිටියක් පත් කලේය.
නාමික වැටුප් වැඩි කිරීම් කෙසේ වුවද මූර්ත වැටුප් අතු ගෑවී යන ආකාරයෙන් රටෙහි ආර්ථිකය හැසිරවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත ආන්ඩුව ක්‍රියා කරමින් සිටියි. පසුගිය වසරේ රාජ්‍ය සේවයේ මූර්ත වැටුප් සියයට 7 ට ආසන්නව කඩා වැටුනු බව නිල මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.
ජාත්‍යන්තරව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කඩා වැටීම අතිශය තියුනු මට්ටමක පවතින අතර, බඩු මිල ඉහල යාම හරහා මූර්ත වැටුප් පහත වැටීමේ වේගය උත්සන්න කෙරී ඇත. මේ වසරේ රුපියලෙහි අගය පහත වැටීම මේ දක්වා සියයට 7.4 මට්ටමේ පවතියි.
රාජ්‍ය සේවකයන් මත සෘජු බදු පැනවීමේ දී සියලු දීමනා වැටුපට එකතු කර බදු අය කරන ක්‍රමවේදයන් හඳුන්වා දී ඇති අතර, වැට් බද්ද සියයට 15 ක් කිරීම ඇතුලුව සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා බදු පැනවීම මඟින් රජයේ සේවකයන්ද ඇතුලු වැඩකරන ජනයාගේ ජීවන කොන්දේසි මත වක්‍ර බදු හරහා තියුනු ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මේ අතර ආයෝජන දිරි ගැන්වීමේ නාමයෙන් ව්‍යාපාරික බදු, අඩුම මට්ටම් වල එනම් සියයට 14 සිට 28 දක්වා මට්ටමක පවත්වා ගෙන යන අතර මහා ව්‍යාපාරිකයන්ට හා ජාත්‍යන්තර සංගතයන්ට දීර්ඝ බදු නිවාඩු හා බදු කැපීම් පිරිනැමේ. ඒ අනුව පොහොසතුන්ගේ වත්කම් ඉහල නංවන අතර රජයේ සේවකයන් ඇතුලු වැඩ කරන ජනයා දිනෙන් දින දරිද්‍රතාවයේ පතුලට ඇද දමමින් තිබේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 දත්තයන්ට අනුව අන්ත දරිද්‍රතාවය, එනම් දිනකට ඇමරිකානු ඩොලරයකට (රුපියල් 150) ට අඩුවෙන් දෛනික ආදායම ලබන ජනගහන ප්‍රතිශතය සියයට 4.1 ක් වන අතර, එම පුද්ගල සංඛ්‍යාව දස ලක්ෂයකට ආසන්නය.
ආන්ඩුව සිය අය වැයෙන් අති දැවැන්තම පංගුව වියදම් කරන්නේ නය හා පොලී ගෙවීම් සඳහා ය. මේ වන විට බලයට පත්වූ ආන්ඩු විසින් ලබා ගෙන ඇති නොගෙවූ නය ප්‍රමානය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 77 මට්ටමට ඉහල නැග ඇත. මුදල් ඇමති මංගල සමරවීර මෑතදී පැවසුවේ 2020 තෙක් නය වාරික හා පොලී ගෙවීම සඳහා රුපියල් ටි්රලියන හයක් අවශ්‍ය වන බවයි.
මෙම නය කන්දරාව ආන්ඩුව ලබාගෙන ඇත්තේ වැඩකරන ජනයාගේ සුබ සිද්ධියට නොව, වර්ගවාදී යුද්ධයට සහ ජාත්‍යන්තර මහා සංගතයන්ගේ ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගොඩ නැගීම සඳහා ය. දැන් එහි බර, සහනාධාර කැපීම සහ වැටුප් කැටි කිරීම ඇතුලු ප්‍රහාර මාලාවක් හරහා වැඩ කරන ජනයා මත පැටවීමට ආන්ඩුව වැඩ කරගෙන යයි.
මෙම ප්රහාරයන්ට එරෙහිව රාජ්‍ය හා පුද්ගලික අංශයේ පැන නගින වැඩ වර්ජන ඇතුලු කම්කරු පන්තික අරගල මර්දනය කිරීම එල්ල කර ගනිමින් ආන්ඩුව සිය අයවැයෙන් දැවැන්ත කොටසක් ආරක්ෂක හමුදා සඳහා වෙන් කරයි. දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය වර්ගවාදී යුද්ධ සමයේ වියදම් කලාටත් වඩා වැඩි මුදලක් ආරක්ෂක හමුදා සඳහා වෙන් කරමින් තිබේ. මෙම වසරේ එම මුදල රුපියල් බිලියන 290 ක් වන අතර පොලිසිය සඳහා වෙනම රුපියල් බිලියන 70 ක් වෙන් කෙරිනි.
රාජ්‍ය සේවකයන් ගේ වැටුප් පිලිබඳව විශාල අඳෝනාවක් නගන භාන්ඩාගාර ලේකම් හට මෙම මුදල් වැය කිරීම් පිලිබඳව කවර හෝ කනස්සල්ලක් නැත.
ආන්ඩුවේ මෙම පිලිවෙත් සේවය කරන්නේ කා හටද යන්න සලකා බැලිය යුතුය. ආන්ඩුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ආදායම හා වියදම පිලිබඳ 2016 වාර්තාවට අනුව ලංකාවේ ඉහල ආදායම් ලබන පවුල් සියයට 20 සමස්ත ආදායමෙන් සියයට 51 ක් ලබා ගන්නා අතර පහල ආදායම් ලබන සියයට 20 ට ලැබෙන්නේ සමස්ත ආදායමෙන් සියයට 5 ක් පමනි.
මෑතදී පලවූ සංඛ්‍යා ලේඛන මගින් රට තුල මහා ව්‍යාපාර හා සංගත ලාභ ලබන ආකාරය පිලිබඳව සිත් කා වදින චිත්‍රයක් සම්පාදනය කෙරෙයි. කොලඹ කොටස් වෙලඳ පල තුල ලැයිස්තුගත සමාගම්, මෙම වසරේ පලමු කාර්තුව තුල පෙර වසරට සාපේක්ෂව සියයට 11 කින් ආදායම ඉහල දමා ගෙන ඇත. මෙලෙස වාර්ෂික ආදායම ඉහල යාම, බැංකු හා මූල්‍ය, ආහාර පාන හා දුම්කොල, විදුලි සංදේශ ආදී ක්ෂේත්රයන් හි පිලිවෙලින් සියයට 22, 26 හා 33 මට්ටම් වල පවතියි.
2017 මූල්‍ය වසරේ බැංකු හා සංගත කිහිපයක ලාභ ඉහල දමා ගැනීම් සම්බන්ධ වාර්තා අනුව කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 16.5 දක්වා සියයට 14.25 කින් ද, හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 16.5 දක්වා සියයට 16.4 කින් ද, ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලියන 23 දක්වා සියයට 28 කින් ද සිය ආදායම් ඉහල දමා ගෙන තිබේ.
මින් අර්ථවත් වන්නේ රාජ්‍ය සේවකයන්ට හා සමස්තයක් ලෙස සියලු වැඩ කරන ජනයාට එල්ල කෙරෙන බලගතු ප්‍රහාර මධ්‍යයේ මහා ව්‍යාපාර දැවැන්ත ලාභ උපයමින් සිටින ආකරයයි.
භාන්ඩාගාර ලේකම්ගේ ප්‍රහාරයට ලක්වී ඇති රජයේ සේවකයන් කාර්යක්ෂම කිරීම යනු මෙම (මූර්ත) වැටුප් පහත හෙලීම තියුනු කෙරෙන අතරතුර ඔවුන් ගේ ශ්‍රම සූරා කෑම තව තවත් උග්‍ර කිරීමය. මෙලෙස උග්‍ර කෙරෙන ශ්‍රම සූරා කෑමෙන් උකහා ගන්නා අතිරික්ත වටිනාකම් එම මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ ලෙස පොදි ගැසෙනු ඇත.
එනයින් එක් ධ්රැවයක දැවැන්ත ධන සම්පත් ද අනෙක් ධ්‍රැවයේ තියුනු දරිද්‍රතාවය ද සංකේන්ද්‍රනය වීම තියුනු වේ. ධනපති ආන්ඩුව හා එය පවත්වා ගෙන යන ප්‍රභූ පන්තිය වෙනුවෙන් කතා කරන භාන්ඩාගාර ලේකම්වරයා රජයේ සේවකයන්ට පහර එල්ල කරමින් ආරක්ෂා කරන්නේ මෙම පීඩාකාරී ධනපති ක්‍රමයයි.
Follow us on