කුරුනෑගල පාසල් ගුරුවරිය සිරගත කිරීම: අධ්‍යාපන කප්පාදුවේ ව්‍යසනකාරී ප්‍රතිඵලයන්හි වගකීම ගුරුවරුන් මත පැටවීමේ ප්රයත්නයක්
කපිල ප්‍රනාන්දු විසිනි, 2019 අප්‍රේල් 29
පසුගිය පෙබරවාරි මස 01 දා කුරුනෑගල මහාධිකරනය විසින් එම ප්‍රදේශයේ පිහිටි ජෝන් කොතලාවල විද්‍යාලයේ ගුරුවරියක වූ 55 හැවිරිදි රම්‍යා ද සිල්වා හට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දී තිබේ. එකොලොස් වන ශ්‍රේනියේ ඉගෙනුම ලැබූ චතුර ශ්‍රී ලාලිත නම් ශිෂ්‍යයා හට එම ගුරුවරිය විසින් 2011 දී සිදු කලා යයි කියන කායික පහරදීමක් සම්බන්ධව පැවති නඩු විභාගයක් අවසන් කරමින් මෙම තීන්දුව දී ඇත.
දඩුවමට ලක් වූ ගුරුවරිය මේ වන විට වාරියපොල බන්ධනාගාරයේ රඳවා තිබේ. ගුරු සංගම් විසින් ඇය නිදහස් කරන ලෙස ඉල්ලා දිවයිනේ නගර කිහිපයක සුලු විරෝධතාවන් පැවැත්වූ නමුදු ගුරුවරියට ඇප ලබා දීමක් හෝ තවම සිදු වී නැත. සිරදඬුවම හේතුවෙන් වසර තිහක පමන සේවා කාලයක් ඇති ගුරුවරියගේ වැටුප් හා විශ්‍රාම වැටුප් තර්ජනයට ලක්ව තිබේ.
පහර කෑමට ලක් වූ සිසුවාගේ වෛද්‍ය සහතික අනුව ඔහුගේ කනට යම් හානියක් සිදු වී ඇතැයි පැවසේ. කෙසේ නමුත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක්වූ ගුරුවරියගේ ඥාතීහු පහරදීම සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කලහ. ඔවුන් පවසන්නේ අදාල දිනයට ආසන්න දිනකදීම සිසුවා පාසලෙන් බැහැරව සිටිය දී ත්‍රිරෝද රථ රියදුරෙකු සමග සිදු වූ ගැටුමක දී අදාල තුවාල සිදු වී ඇති බවයි.
සිසුවාගේ මව පෙබරවාරි මස 26 දා කොලඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් කියා සිටියේ පාසලේ වාර විභාගය අතර තුර ගුරුතුමිය පහරදීම සිදු කර ඇති බව සහ ගුරුවරුන්ට විරුද්ධව නඩු මගට යෑම හේතුවෙන් පසුගිය වසර කිහිපයේම සමාජයෙන් විශාල පීඩනයකට මුහුන දීමට සිදු වූ බවයි.
ගුරුවරිය සිරදඬුවම් ලැබීම ගැන සිය පුත්‍රයා කනගාටු වූ බව වැඩිදුරටත් පැවසූ ඇය “අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බලධාරීන් මේ තත්වයට වගකිව යුතුයි. ගුරුවරුන්ට ලමයි සමග කටයුතු කිරීමට මනෝවිද්‍යාත්මක පුහුනුවක් ලබා දිය යුතු” යැයි ඇය එහි දී ප්‍රකාශ කලා ය.
පසුගිය දශක කීපය තුල අනුප්‍රාප්තික ආන්ඩු විසින් අධ්‍යාපන ක්ෂේත්රය තුල සිදු කල දැවැන්ත කප්පාදුව හේතුවෙන් සීමිතව හෝ පැවති එවැනි ගුරු පුහුනු වැඩසටහන් පවා කපා දමා ඇත.
කෙසේ නමුත්, මෙවන් සිද්ධීන් වලට පාදක වන මූලික හේතුව වනුයේ, අධ්‍යාපන කප්පාදුවේ සහ සමස්තයක් ලෙස ධනේශ්වර සමාජ-ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ගුරුවරුන් අතර මෙන්ම සිසුන් අතර වර්ධනය වී ඇති පෙර නොවූ විරූ මානසික ආතති සහගත තත්වය යි.
කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස පාසැල් අතර අසමානතාව වඩාත් පුලුල්වී, සාපේක්ෂ වසයෙන් සම්පත් බහුල “ජනප්‍රිය පාසැල්” නම් පාසැල් විශේෂයක් පසුගිය දශක කීපය තුල වර්ධනය වී ඇත. “ජනප්‍රිය පාසැල්” තුල ශිෂ්‍ය තදබදය උග්‍ර වෙද්දී අනෙක් පාසැල් මුහුන දී ඇත්තේ ලමුන් ඇතුලත් නොකෙරන තත්වයකට යි.
අධ්‍යාපන අමාත්‍යංශයේ වාර්තාවන්ට අනුව රටේ සමස්ත පාසල් සංඛ්‍යාව 10,194 ක් වන අතර 2019 වසරට පලමු වසර සඳහා කිසිදු අයැදුම්පතක් නොලත් පාසල් සංඛ්‍යාව 433 කි. තවත් පාසල් 1100 ක් සඳහා අයැදුම් පත් ලැබී ඇත්තේ 5 ට අඩුවෙන් වන අතර පාසල් 2,330 ට අයැදුම්පත් ලැබී ඇත්තේ 10 ට අඩුවෙනි. මෙවැනි අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇති බොහොමයක් පාසල් මේ වන විටත් වැසී ගොස් හෝ වසා දැමීමට අතහැර තිබේ.
විද්‍යා විෂයයන්ගෙන් උසස් පෙල හැදෑරිය හැක්කේ රටෙහි පාසල් අතරින් 1,029 ක පමනි. කුමන හෝ අංශයකින් උසස් පෙල විෂය ධාරාවක් සහිත පාසල් ඇත්තේ 2847 කි. එය රටේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 27.7 ක් වන අතර සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 60 ක් ම අධ්‍යාපනය ලබනුයේ එම පාසැල් වලයි.
මෙම දැවැන්ත අසමානතාවයේ ප්‍රතිඵලයක් ලෙස ඉහත කී “ජනප්‍රිය පාසැල්” වල එක් පන්ති කාමරයක් තුල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව ඔරොත්තු නොදෙන තත්වයකට ඉහල ගොස් ඇත. සම්මතයන්ට අනුව පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව 25 ක් වන නමුදු, මෙම පාසැල්වල බොහොමයක් පන්ති වල සිසුන් සංඛ්‍යාව 50 ක් වෙයි. ඒ හේතුවෙන් ඉගෙනුම්-ඉගැනවීම් කටයුතු කරගෙනයාම ඉතා දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත.
සිද්ධියට සම්බන්ධ ජෝන් කොතලාවල මහා විද්‍යාලයම ගතහොත් ඒ සම්බන්ධ හොඳම උදාහරනයකි. එය “ජනප්‍රිය පාසැල්” වලින් එකකි. මේ වන විට එහි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති අතර පන්ති සංඛ්‍යාව 100 කි. සමස්ත ගුරු සංඛ්‍යාව 200 ක් පමන වේ.
මීට අමතරව, තීව්ර කෙරී ඇති විභාග තරගය සහ ගුරුවරුන්ට පවරා ඇති දින සටහන්, වාර සටහන් සහ කාර්ය සාධන පත්‍රිකා ඇතුලු නිමක් නැති ලිඛිත කාර්යයන් හමුවේ ගුරුවරුන් සහ සිසුන් පත්ව ඇත්තේ දරුනු ආතති සහගත තත්වයකටයි.
කප්පාදුව හේතුවෙන් පාසල් තුල පවත්නා අනධ්‍යන කාර්ය මන්ඩල ඌනතාවය හේතුවෙන්, විභාග හා ඇගයීම් ලකුනු ලැයිස්තු සකස් කිරීම, නාමලේඛන හා පන්ති වාර්තා සම්පූර්න කිරීම, පාසල් සංවර්ධන, කලමනාකරන, ප්රමිතිකරන ආදි කමිටුවල කටයුතු කිරීමට අමතරව පාසැල් පිරියත පිරිසිදුව තබා ගැනීම ඇතුලු ඉගැන්වීමේ කටයුතුවලට පරිබාහිර බොහොමයක් වැඩකටයුතුවල නිරත වීමට ගුරුවරුන් ට සිදුවේ.
ශිෂ්‍යයන් මුහුන දී සිටින පීඩාකාරී තත්වය හේතුවෙන් ශිෂ්‍යයන් අතර වර්ධනය වී ඇති නොසන්සුන්තාව හමුවේ ඔවුන් “විනයගත කිරීමේ” නාමයෙන් දැඩි පාලනයකට යටත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පාලන සමයේ විදුහල්පතිවරුන්ට මිලිටරි පුහුනුව ලබා දී ඔවුනට කපිතාන් සහ මේජර් ආදී තනතුරු ආදිය ද ප්රදානය කෙරුනි. කොතලාවල මහා විද්‍යාලයේ කලින් සිටි විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න ද එවන් පුහුනුවක් යටතේ මිලිටරි තනතුරක් ලැබූවෙකි.
2014 වසරේ දී එම පාසැලේ 11 ශ්‍රේනියේ ඉගෙනුම ලැබූ සිසුවියක් වූ වෙනූෂා ඉමන්දි ට පාසලේ ප්‍රධාන රැස්වීමක දී ඉන්ද්‍රරත්න විසින් සිදුකල බැන වැදීමක් හේතුවෙන් ඇය සියදිවි නසා ගත් බව මාධ්‍යයන්හි වාර්තා විය. තම දරුවා සම්බන්ධ ලමා රක්ෂන අධිකාරය යටතේ ගෙන ගිය නඩුව යටගසා ඇති බවත් කිසිදු සාධාරනයක් නඩුව මගින් ඉටු නොවූ බවත් එම සිසුවියගේ මව මාධ්‍යය වෙත ප්‍රකාශ කලා ය.
වයඹ පලාතේම පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත නගරයේ පිහිටි ආනන්ද ජාතික පාසලෙහි 11 වන ශ්‍රේනියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකුට ගුරුවරයෙකු කල දඬුවම්දීමකට එරෙහිව දෙමාපියන් විසින් ගොනුකල පැමිනිල්ලක් දැන් හලාවත මහාධිකරනයේ දී විභාග වෙමින් පවතී.
මෙම පාසලේ 11 වන ශ්‍රේනියේ පමනක් සිසුන් 300 ක් ඉගෙනුම ලබති. 6 සිට 11 දක්වා ශ්‍රේනිවල පන්ති කාමරයක සිසුන් 50 ක් පමන සිටින අතර බොහෝ පන්ති කාමරවල ගුරු මේසය පිහිටා තිබෙන්නේ පන්ති කාමරයෙන් පිටතය.
අනෙක් අතට, පාසැල් ගුරුවරු රාජ්‍ය අංශයේ පහලම වැටුප් ලබන කොටස් වලට අයත් වේ. ගුරුවරයෙකුගේ සාමාන්‍ය මූලික වැටුප රුපියල් 28,000 ක් වන අතර සුලු දීමනා කිහිපයකින් පසු මුලු වැටුප රුපියල් 35,000 ක් පමන වේ. වසර විස්සක සේවා කාලයක් ඇති ගුරුවරයෙකු ට පවා ලැබෙනුයේ රුපියල් 45,000 ක වැටුපකි. ලබා ගෙන ඇති නයවලට වාරික කැපී ගිය පසු අතට ලැබෙනුයේ සොච්චමකි. මේ තත්වය තුල ගුරුවරුන් ට අමතර පන්ති ඇතුලු වෙනත් රැකියාවල නිරතවීමට බල කෙරී තිබේ. ගුරුවරුන්ගේ මානසික පීඩනය වර්ධනය වී ඇත්තේ මෙම කොන්දේසි යටතේ ය.
“ගුරුවරු මුහුන දෙන පීඩනයට විසඳුමක් නැතුව සියලු දේට වැරදිකරුවන් ගුරුවරුන් යයි ප්‍රකාශ කිරීම මුලුමනින්ම වැරැදි” යයි චෝදනාවට ලක්ව සිටින හලාවත ආනන්ද විද්‍යාලයේ ගුරුවරයා ලෝසවෙඅ ට ප්‍රකාශ කලේ ය.
අධ්‍යාපන ක්ෂේත්රයේ සිදු කෙරී ඇති ඉමහත් කප්පාදුව සුවිශේෂීව ද ධනවාදයේ ඓතිහාසික අර්බුදයෙන් ජනිත කෙරී ඇති දැවැන්ත සමාජ අර්බුදය පොදුවේ ද ගුරුවරුන් අතර සහ සිසුන් අතර වැඩී ඇති ආතතියට මූලික හේතුව වසයෙන් පැවතිය දී, ගුරුවරුන් සහ සිසුන් අතර ඇතිවන ගැටුම්කාරී සිද්ධීන් වලදී ගුරුවරුන්ට දඬුවම් පැමිනවීම, එම ගැටුමේ මූලයන් වසන් කොට සැබෑ වරදකරුවන් වන ධනපති පාලකයන් සහ ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමකි.
මෙම තත්වය යටතේ, “විනය රකින ගුරුවරුන් දඩයමට ලක් කිරීම නතර කරනු” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුනට අයත් ලංකා ගුරු සේවා සංගමය කරන ඉල්ලීම මුලුමනින්ම ප්රතිගාමීය. “විනය රැකීම” යටතේ ශිෂ්‍යයන්ට කායික දඬුවම් පැමිනවීම යුක්ති සහගත කරන මෙම ඉල්ලීම විනය ගැටලු ඉහල යෑම අධ්‍යාපන කප්පාදුවේ සහ සමාජ අර්බුදයේ ප්රතිඵලයක්ය යන්න වසන් කරයි.
පෙබරවාරි 26 දා පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ලංකා ගුරු සංගමයේ (ලගුස) ජෝසප් ස්ටාලින්, ශිෂ්‍යයන්ට කායික දඬුවම් කිරීම වැලැක්වීම සඳහා “නිසි ක්‍රමවේදයක්” සකස් කොට පියවර ගන්නැයි බලධරයින්ගෙන් කර ඇති ඉල්ලීම ගුරුවරුන් දඩයමට ලක් කිරීමට ආන්ඩුවට හා බලධාරීන්ට තවදුරටත් මග පාදා දීමකි.
මෙම නඩු තීන්දුව තුල සහ එය සම්බන්ධයෙන් ගුරු සංගම් නිලධරය කරන ප්රකාශයන්හි, කවර හෝ ප්රගතිශීලී අන්තර්ගතයක් නොමැත. ඒවා යොදාගනු ඇත්තේ, ධනපති මාධ්‍ය, අධ්‍යාපන බලධාරීන් හා ගුරු-විදුහල්පති වෘත්තීය සමිතිවල ද සහාය ඇතුව පාසැල් අධ්‍යාපන පද්ධතිය තුල සිදු කෙරෙමින් පවත්නා දැවැන්ත අධ්‍යාපන කප්පාදුව සහ ඉන් ජනිත කෙරී ඇති ව්‍යසනය වසන් කිරීම සඳහා ය.
Follow us on