ලංකාවේ අගමැති කාශ්මීරයේ ඉන්දියානු මර්දනයට පිටුබලය දෙයි
Lankan PM backs Indian repression in Kashmir
වසන්ත රූපසිංහ විසිනි, 2019 අගෝස්තු 28
"අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු අනෙකුත් දේශපාලන නායකයෝ, ජම්මු හා කාශ්මීරය තුල (ජේකේ) ඉන්දියානු ආන්ඩුව දියත් කර තිබෙන ම්ලේච්ඡ මිලිටරි වටලෑමට සිය සහාය පල කරති. "
අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ආන්ඩුව අගෝස්තු 5, ඉන්දියානු ව්‍යවස්ථාවේ 370 හා 35 (ඒ) වගන්ති අහෝසි කරමින් ජම්මු හා කාශ්මීරය වෙත ලබා දී තිබූ අර්ධ-ස්වයං පාලනය උදුරා ගත්තේ ය. ඉනික්බිතිව, දැනටමත් කාශ්මීරය පාගාගෙන සිටින අඩමිලියනකට වැඩි ආක්රමනකාරී මිලිටරිය සවිමත් කිරීම සඳහා නව දිල්ලිය ලක්ෂ සංඛ්‍යාත අමතර හමුදාවක් එහි යවා ඇත.
ඇඳිරි නීතිය පනවා මිනිසුන් පස් දෙනෙකුට වඩා එකටරැස් වීම තහනම් කෙරුනු අතර සියලුම දුරකථන හා අන්තර්ජාල සංනිවේදන වසා දැමුනි. තාමත් කෙරී ගෙන යන මර්දනය තුල දී දේශපාලන පක්ෂ නායකයන් ද ඇතුලු දහසක් දෙනා අත් අඩංගුව ගෙන ඇත.
ප්‍රාන්තයේ මිලියන 14ක කාශ්මීර්වරුන්ට එරෙහිව මෝදිගේ මර්දනයට තමන්ගේ සහය පලකරමින් බටහිර ආන්ඩු මෙම මර්දනය ගැන සපුරාම නිහඬ පිලිවෙතක් අනුගමනය කරති.
ශ්‍රී ලංකාවේ ආන්ඩුව නිල ප්‍රකාශයක් නිකුත් නොකල නමුත්, ජේකේ අර්ධ-ස්වයං පාලනය අහෝසිකල දිනට පසුදාම අගමැති රනිල් වික්‍රමසිංහ මෙම ට්විටර් සටහන තැබී ය: " අන්තිමේදී ලඩාක් (ජේකේහි කොටසක්) ෆෙඩරල් කලාපයක් බවට පත්කොට තිබෙන බව මම දැනගතිමි. සියයට 70ක බෞද්ධාගමිකයන් සහිත මෙම ප්‍රදේශය ඉන්දියාවේ බොදුනුවන් බහුතරයක් වෙසෙන පලමු ප්‍රාන්තය බවට පත්වෙනු ඇත. ලඩාක් නිර්මානය කිරීමත් ඒ හා සමගාමීව සිදුකෙරුනු ප්‍රතිව්‍යුහගත කිරීම් ඉන්දියාවේ අභ්‍යන්තර කාරනාවන් ය".
ජේකේ තුල නවදිල්ලියේ කටයුතු "අභ්‍යන්තර කාරනාවන්" යැයි වික්‍රමසිංහගේ කියාපෑම මගින් මෝදි ආන්ඩුවේ මර්දනය අනුමත කිරීමක් පමනක් නොව, එම මර්දනය රිසිසේ කරගෙන යාමට තම සහය ලැබෙන බවට දුන් පැහැදිලි පනිවුඩයක් ද වේ. කාශ්මීරය තුල ඉන්දියාවේ කටයුතු, ජාත්‍යන්තර ප්‍රශ්නයක් මෙන් ම දුරදිග යන ජාත්‍යන්තර ඇඟවුම් සහිත ය.
හින්දු බහුතරයක් සහිත ඉන්දියාවක් සහ මුස්ලිම් පාකිස්ථානයක් ස්ථාපිත කරනු ලැබූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ 1947 ඉන්දියානු උපමහාද්වීපය බෙදීමෙන් අනුතුරුව රටවල් දෙකම, 1948දී කාශ්මීරයේ පාලනය සඳහා යුද්ධයට පිලිපන්හ. ඉන්දියාවත් පාකිස්ථානයත් යන දෙරටම සමස්ථ ප්‍රදේශයට අයිතිවාසිකම් කියයි. ඉන්දියානු-පාලිත කාශ්මීරය වෙන් කල තැන් පටන් එය, නවදිල්ලිය හා ඉස්ලාමාබාදය අතර දැන් පවතින ආතතීන් හා මිලිටරි ගැටුම්වල මූලාශ්රයවී තිබේ.
ජේකේහි අර්ධ-ස්වයං පාලන තත්වය ඉන්දියාව විසින් අහෝසි කිරීම නිකම්ම "ප්රතිව්යුහකරනයක්" ලෙසට වික්‍රමසිංහ කරන අවධාරනය සාවද්‍ය යි. එයටත් වඩා, "බෞද්ධ ලඩාක් පලාතක්" නිර්මානය කිරීම පිලිබඳව කරන හුවා දැක්වීම මගින් වික්‍රමසිංහ, දිවයිනේ බෞද්ධ සංස්ථාපිතය සහ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් වෙනුවෙන් විවෘතවම හඬ නගා ඇත.
නව සැලසුම්වලට අනුව, ප්‍රාන්ත රාජ්‍යය ජම්මු හා ලඩාක් වසයෙන් ෆෙඩරල් කලාප දෙකකට වෙන් කරමින් ඒවායේ තත්වය, අනෙකුත් ඉන්දියානු ප්‍රාන්ත රාජ්‍යවලට සන්සන්දනාත්මකව පිරිහෙලා ඇති අතර මධ්‍යම ආන්ඩුවේ සෘජු පාලනයට නතු කර තිබේ. ලඩාක්වලට නාමික හෝ පාලන සභාවක් නැති අතර විධායක කමිටුවක් හරහා නව දිල්ලිය විසින් සෘජුවම පාලනය කරනු ඇත.
මෙම ප්‍රදේශයේ පාලනය සෘජුවම සියතට ගැනීම මගින් ඉන්දියාව එහි දැඩි-එදිරිවාදීන් වන පාකිස්ථානය හා චීනයට එරෙහිව තම අත ශක්තිමත් කර ගනිමින් සිටියි. චීනයට හා පකිස්ථානයට මායිම්ව පිහිටි ලඩාක්, දෙරට සමඟම කලින් යුද්ධ වලට පටලැවුනු ඉන්දියාවේ පෙරමුන තුල පිහිටියේය. ලඩාක්හි නව දිල්ලියේ සෘජු පාලනය, මෙම භූ-මූලෝපායික ප්‍රදේශය තුල ඉන්දියාවේ මිලිටරි තර කිරීම් නාටාකාකාර ලෙස උත්සන්න කිරීමට යොදා ගනු ඇත.
කාශ්මීරය තුල ඉන්දියාවේ මර්දනය සිදුවෙමින් තිබෙන්නේ, විශේෂයෙන්ම නවදිල්ලිය වොෂිංටනයේ සහ එහි චීනය මිලිටරි වසයෙන් වැටලීමේ මූලෝපායික සහකරුවෙක්වූ තැන් පටන්, චීනය හා ඉන්දියාව අතර භූමූලෝපායික ආතතීන් තීව්ර වෙමින් පවතින තත්වයක් තුල ය.
විපක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලපොපෙ) නායකත්වය දෙන හිටපු ජනාධිපති රාජපක්ෂ, ඉන්දියාවේ කාශ්මීර කඩාපැනීමට වක්‍රකාරයෙන් සිය සහාය ඇඟවුම් කලේ ය. දිනපතා දෙමල පුවත්පතක් වන වීරකේසරී සමග අගෝස්තු 10 වැනි දා, පැවත්වූ සම්මුඛ සාකච්ඡාවකදී, අනාගත ශ්‍රීලපොපෙ ආන්ඩුවක් යටතේ රටේ දෙමල සුලුතරය සඳහා "දේශපාලන විසඳුමක්" ගැන රාජපක්ෂගෙන් විමසුවේ ය.
"ඒක රට බෙදන විසඳුමක් වෙන්න බෑ," ඔහු කීවේ ය. "දැන් බලන්න කාශ්මීරයේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. අපි කටයුතු කරන්න ඕන මේ සියල්ල මතකෙ තියාගෙන." "දේශපාලන විසඳුම" යන්න දෙමල බහුතරයක් වෙසෙන උතුරු හා නැගෙනහිර "දේශපාලන බලය බෙදා ගැනීම්" විස්තර කිරීමට කොලඹ දේශපාලන සංස්ථාපිතය හා දෙමල ධනපති පක්ෂ විසින් පිලිගත් ඔවුන්ටම වෙන්වුනු වැකියකි.
නව දිල්ලියේ මෙහෙය වීම හරහා 1987 ඉන්දු-ලංකා ගිවිසුමෙන් ඇතිකරගත් සැලසුම් යටතේ,උතුර,නැගෙනහිර සහ රටේ අනෙකුත් පලාත් සභාවලට සීමිත බලතල ලබා දෙන ලදි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය දේශපාලනිකව අඩපන කිරීමේත් දිවයිනේ සිවිල් යුද්ධය ඉන්දියාව තුල දේශපාලන අස්ථාවරත්වය උත්සන්න කිරීමෙන් වලක්වා ගැනීමේත් වෑයමක් ලෙස මෙම පියවර ගනු ලැබී ය.
මිලිටරිය හා සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් සමඟ සමීප සබඳතා ඇති රාජපක්ෂ මොනයම්ම හෝ ආකාරයකින් පලාත් සභාවල බලය වැඩිකිරීමට සතුරුය. ඇත්ත වසයෙන්ම, අන්ත දක්ෂිනාංශික බලවේග බලකරන්නේ දැනට පවතින සීමිත බලතල පවා අහෝසි කරන ලෙසය. ඉන්දියානු ආන්ඩුව පූර්වයෙන් පැවැති සීමිත ස්වයං-පාලනය අහෝසි කර ඇති කාශ්මීරය ගැන රාජපක්ෂගේ අවධාරනයේ අර්ථය වන්නේ මෙම කාරනාවයි.
මෙය ප්රතිරාව නංවන රාජපක්ෂට පිටුබලය දෙන සිංහල ධනපති පන්තියේ පුවත්පතක් වන දිවයින "නරේන්ද්‍ර මෝදිගෙන් ඉගෙන ගන්න" යන සිරසින් යුතුව අගෝස්තු 16 කතුවැකියක් පලකලේ ය. " ඉන්දීය ආරක්ෂාවට එල්ල විය හැකිව තිබූ විශාල තර්ජනයක් ඉවත් කිරීම" ගැන කියමින් පුවත්පත කාශ්මීරය තුල මෝදිගේ මර්දනය හුවා දැක්වී ය.
"උතුරු-නැගෙනහිර සඳහා බලය බෙදා හැරීමට උනන්දු වන" ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් "ජම්මු-කාශ්මීරයෙන් පමනක් නොව ඉන්දීය මධ්‍යම ආන්ඩුවෙන්ද බොහෝ දේ ඉගෙන ගත යුතු බව අපගේ අදහසය" යැයි දිවයින සඳහන් කලේ ය.
කොලඹ පාලක ප්රභූවේ ප්රමුඛ කොටස් ජම්මු හා කාශ්මීරය තුල මෝදිගේ ක්‍රියාවන් අනුමත කරන්නේ, වැඩි බලතල සඳහා ඉල්ලීම් නොකරන්නැයි දෙමල ධනපති පක්ෂවලට අනතුරු ඇගවීමේ ක්‍රමයක් වසයෙනි. ඒ අතරම ඔවුහු, නවදිල්ලි පාලන ක්රමයේ රුදුරු ස්වභාවය සම්බන්ධයෙන් උද්යෝගිමත් සැලකිල්ලක් දක්වති.
1947දී, කම්කරු පන්තිය බෙදා දුර්වල කිරීම මගින් සිය පාලනය හා ලාභ පද්ධතිය ආරක්ෂා කරගැනීමට ඉන්දියානු හා පාකිස්ථානු පාලක ප්රභූව, ඉන්දියානු උපමහද්වීපය වාර්ගිකව බෙදීමට පිටුබලය දුන්හ.
ඒ ආකාරයෙන්ම, බ්‍රිතාන්‍ය සමග ප්රතිගාමී ගනුදෙනුවකින් 1948දී දේශපාලන බලය අත්කරගත් රටේ ප්‍රභූ පැලැන්තිය,කම්කරු පන්තිය භේදබින්න කිරීමට සුලුතර දෙමල ජනයාට එරෙහිව වාර්ගික වෙනස්කම් ඇවිල වූයේ ය. එල්ටීටීඊ සංවිධානයට එරෙහි 1983දී ආරම්භ කල තිස් අවුරුද්දකට ආසන්න සිවිල් යුද්ධය මගින් එම පිලිවෙත කූටප්රාප්තියට ගෙන ආ අතර එහිලා දෙමල ජනයා ද සමස්තයක් වසයෙන් කම්කරු පන්තිය ද ලේවැකි මර්දනයට බඳුන් කලේ ය.
භූ දේශපාලනික වසයෙන් කොලඹ, නවදිල්ලියට හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග එහි භූ-මූලෝපායික හවුල්කාරිත්වයට සහය දෙමින් සිටියි. චීනයට වඩාත් සමීපයැයි සැලකුනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නෙරපීමට එක්සත් ජනපදය විසින් සූදානම් කරන ලද පාලන තන්ත්ර මාරුවකින් ජනාධිපති සිරිසේන 2015දී බලයට පැමිනියේ ය.
එයටත් වඩා රට, කොලඹ ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇනවූ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරුවන්, ශිෂ්‍යයින් හා දිලිදු ජනයා අතරින් වැඩෙන විරුද්ධත්වය මධ්‍යයේ ගැඹුරුවන ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුන දී සිටී. ඔවුන්ගේ උපායාත්මක මතභේද නොතකාම, ශ්‍රී ලංකාවේ පාලක ප්රභූවේ සියලුම කොටස් ආඥාදායක පාලන ක්රමයන් කරා යොමු වෙමින් සිටින අතර කාශ්මීරය තුල නව දිල්ලියේ ප්රජාතන්ත්ර-විරෝධී පියවරයන් තමන්ගේ ප්රතිගාමී සැලසුම් සමග එක පෙලට සිටින බව සලකති.
Follow us on