කාෂ්මීරය තුල ඉන්දියාවේ පෙරනොවූවිරූ සිරබන්ධනය එකොලොස්වන දිනට එලඹෙයි
India’s unprecedented lockdown of Kashmir in eleventh day
කේ. රත්නායක විසිනි, 2019 අගෝස්තු 15
ඉන්දියාවේ මතභේදයට තුඩු දී ඇති කාෂ්මීර කලාපය, දසදහස් ගනන් ඉන්දීය සොල්දාදුවන් හා පැරාමිලිටරි කන්ඩායම් මෙන් ම ප්‍රාදේශීය පොලීසිය විසින් බලාත්මක කරනු ලබන, පෙර නුවූ විරූ ආරක්ෂක අගුලුලෑමෙහි එකොලොස්වන දිනය අද යි. එහි මිලියන 13 ක් වන ජනයාගේ ගමන් බිමන් දැඩි සීමාවන්ට යටත් කොට, සියලු අන්තර්ජාල, ජංගම හා ගෘහස්ත දුරකථන භාවිතයන් අත්හිටුවනු ලැබ තිබේ.
ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව, ඉන්දියාව විසින් පාලනය කරන කාෂ්මීරය ස්ථීර ලෙස මධ්‍යම ආන්ඩුවේ භාරකාරීත්වය යටතේ තැබීම කෙරෙහි අපේක්ෂිත මහජන විරෝධය මර්දනය කිරීම සඳහා රුදුරු අගුලුලෑමක් පනවා ඇත.
අගෝස්තු 5දා, මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වන ජම්මු කාෂ්මීරයේ සුවිශේෂී හා ව්‍යවස්ථානුකූල අර්ධ-ස්වාධීන තත්ත්වය, නීති-විරෝධීව හා විමසා බැලීමකින් හෝ පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව, අහෝසි කල බීජේපී ආන්ඩුව, එය දෙකට බෙදා අනුප්‍රාප්තික ප්‍රදේශ දෙක මධ්‍යම ආන්ඩුවෙන් පාලනය කරන භූමි ප්‍රදේශ බවට තත්වයෙන් පහත හෙලී ය.
ජම්මු කාෂ්මීරයේ ආරක්ෂක කඩාපැනීම, නව දිල්ලියේ අගමැති නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ බීජේපීය සිදුකල ව්‍යවස්ථාමය කුමන්ත්රනය සමග මුලුමුනින් ගැලපේ.
ඉන්දීය බලධාරීන්ට අනුව පුද්ගලයන් පන්සියයකට අධික පිරිසක් නිවාරක අත්අඩංගුවට ගනු ලැබ ඇත. මේ පිරිස අතරට, ඕමාර් අබ්දුල්ලා හා මෙහ්බූහා මුෆ්ති යන හිටපු ජම්මු කාෂ්මීර මහ ඇමතිවරුන් දෙදෙනා හා කාෂ්මීර මුස්ලිම් ප්රභූවේ සාම්ප්‍රදායික ඉන්දීය-හිතවාදී කන්ඩායමේ අනෙකුත් ප්රමුඛ නායකයෝ ඇතුලත් වෙති.
මෝදිගේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල්, පසුගිය සතියේ පටන් කලාපයේ විශාලතම නගරය වන ශ්‍රීනගර්හි සිට ආරක්ෂක අගුලුලෑම පුද්ගලික ව ම අධීක්ෂනය කර ඇත.
සිදුවන්නේ කුමක්දැයි තම පක්ෂ සාමාජිකයන්ගෙන් විමසීම සඳහා ජම්මු කාෂ්මීරය වෙත සංචාරය කිරීමෙන්, ප්රමුඛ පෙලේ ඉන්දීය දේශපාලනඥයන් වලකනු ලැබ ඇත. ඉන්දියාවේ ප්‍රධාන ස්ටැලින්වාදී පක්ෂ දෙක වන සීපීඅයි හා සීපීඑම්හි නායකයන් වන සීතාරාම් යෙචුරි හා ඩී. රාජා, ශ්‍රීනගර් ගුවන් තොටුපොලට පැමිනි විට, දෙදෙනා ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වුවද, ඔවුන් රඳවාගෙන නව දිල්ලිය කරා ආපසු යාමට බල කෙරුනි.
ආන්ඩුවේ හදිසි තහංචි දැමීම් අවලංගු කරන ලෙස හෝ ඒවායේ පරිමානය අඩු කරන ලෙස ආන්ඩුවට නියෝග කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කල පෙත්සමක් අගෝස්තු 13 දා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ප්‍රතික්ෂේප කලේ ය. “සාමාන්‍ය තත්ත්වය ස්ථාපිත කිරීමට ...බීජේපී ආන්ඩුවට යම් සාධාරන කාලයක්” ලබාදිය යුතු බව හා “කිසිවෙකුට ප්රචන්ඩත්වය සඳහා සියයට එකකින් හෝ ඉඩදිය නො හැකි” බව පැවසූ ඉන්දියාවේ ඉහල ම උසාවිය, පෙත්සම වැඩිදුර සලකා බැලීම සති දෙකකට අත්හිටුවී ය.
ඉන්දීය ආන්ඩුව විසින් පනවා ඇති තොරතුරු වාරනය හේතුවෙන් ජමිමු සහ කාශ්මීර් ජනතාව පිටස්තර ලෝකයෙන් වෙන්කර ඇති බැවින් එහි සිදුවන්නේ කුමක්දැයි පිලිබඳව තොරතුරු කාන්දු වන්නේ අල්ප වශයෙනි. එහෙත් කිහිප දෙයක් පැහැදිලි ය. නිර්දය කඩාපැනීම් මෙන් ම කඩින්කඩ ඇතිවන විරෝධතාවන් පිලිබඳ වාර්තාවන් මගින්, සකල විරුද්ධත්වය සාර්ථක ව යටපත් කිරීම හා ජනගහනය බියවැද්දීම සඳහා බලය පෙන්වීම පිලිබඳ ආන්ඩුවේ කටමැත දෙඩවීම් බොරු බවට පත්කෙරී ඇත.
පසුගිය සති අන්තයේ, බලධාරීන් විසින් සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය කෙටි කලකට ඉවත් කලේ ඊද් මුස්ලිම් උත්සවයට සූදානම් වීමට හා භාන්ඩ මිල දී ගැනීමට ජනයාට ඉඩ ලබාදීම පිනිස ය. එහෙත් පොලීසිය වහා ම ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන මහජනයාට ආපසු නිවෙස්වලට යන ලෙසත් කඩසාප්පුකරුවන්ට ඒවා වසා දමන ලෙසත් නියෝග කරමින්, 144 වන වගන්තිය ප්‍රකාර ව පුද්ගලයන් හතරදෙනෙකුට වැඩි සියලු රැස්වීම් සීමා කිරීම බලාත්මක කරන බවත් නිවේදනය කලේ ය.
පසුගිය සිකුරාදා යාඥා මෙහෙයන්ට සහභාගි වීමට මහජනයාට අවසර දීමෙන් පසුව ශ්‍රීනගර් හි වීදි ඔස්සේ විශාල ජනකායක් පෙලපාලි දැක්වීම පෙන්වූ වීඩියෝ පටයක් බීබීසීය විසින් නිකුත් කර ඇත. “අපට අපේ නිදහස අවශ්‍ය යි” යනුවෙන් සඳහන් පුවරු රැගත් ඔවුහු, “ආපසු යනු, ඉන්දියාව යනු” යි හඬනැගූ හ. විරෝධතාවට ජනයා 10,000ක් සහභාගි වූ බව කී වාර්තාව, එම විරෝධතාව සාමකාමී එකක් වුවත් ආරක්ෂක හමුදා විසින් කඳුලු ගෑස් හා ජීව උන්ඩ වෙඩි යොදාගෙන එයට පහර දුන් බවත් වාර්තා කලේ ය.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්, බීබීසී වාර්තාව “මුලුමුනින්ම ගොතන ලද හා වැරදි එකක්” ලෙස කියමින් ප්‍රතික්ෂේප කලේ ය. “ශ්‍රීනගර්/බරාමුල්ලා ප්‍රදේශයේ කලාතුරකින් ඇති වන විරෝධතා කිහිපයක් තිබුනත්, ඉන් එකක වත් මිනිසුන් 20කට වඩා සහභාගි නො වී ය” යි ඔහු කීවේ ය.
එහෙත්, ආරක්ෂක භටයන් අගෝස්තු 10දා “විශාල විරෝධතා පුපුරා යමින් තිබෙන” බව තමන්ට ප්‍රකාශ කල බව නිව් යෝක් ටයිම්ස් වාර්තාකරුවන් කීවේ, සෙනග පිරුනු වීදි හා හොඳින් රාශිගත වුනු වෙලඳපොලවල් පෙන්නුම් කරමින් තිබෙන බවට නව දිල්ලියේ නිලධාරීන් බෙදාහරිමින් සිටි ඡායාරූප ව්‍යාජයන් බවට පත්කරමිනි.
බරමුල්ලා නගරයේ එක් සොල්දාදුවෙක් ටයිම්ස් වෙත මෙසේ කීවේ ය: “දිවාකාලයේ හෝ රාත්‍රීයේ වේවා, ඔවුන්ට අවස්ථාවක් ලැබුනු ඕනෑම මොහොතක දී, සමහර අවස්ථාවල දී බොහෝ කාන්තාවන් සමග පැමිනෙන කලහකාරීන් දුසිමක් දෙකක් හෝ ඊටත් වැඩි පිරිසක්, එලිමහනට පැමින අපට ගල් ගසා දුවනවා.” ඔහු වැඩිදුරටත් කීවේ: “මහජනයා එතරම් ම කෝපයෙන් සිටිනවා. ඔවුන් වෙහෙස නො තකන අතර බිය නැහැ.”
මාධ්‍ය වාර්තා පෙන්නුම් කරන්නේ, මර්දනය දෛනික ජීවිතය මත වඩ වඩා කඩාකප්පල්කාරී බලපෑමක් ඇති කරමින් තිබෙන බව යි. ආහාර හා ඖෂධ හිඟය පලල් ව පැතිරී තිබෙන අතර, විස්තීර්න ඇඳිරි නීතියෙහි තේරුම වන්නේ මහජනයා රෝහල්වලට ප්‍රවේශ වීමට හෝ ඖෂධ ලබාගැනීමට අසමත් ව ඇති බව යි.
වැඩට පැමිනීමට නොහැකිවූ වෛද්‍යවරුන් අපේක්ෂාවෙන්, ශ්‍රීනගර්හි ලලා ඩෙද් රෝහලේ පොලව මත රෝගීන් වැතිර සිටින බව ටයිම්ස් වාර්තා කලේ ය. “මෙය සජිවී අපායකි” යි වෛද්‍යවරියක් වන ජමිලා කීවා ය.
රජයෙන් පනවන ලද තොරතුරු වාරනය නිසා නො වේ නම්, වඩාත් ම නිශ්චිත දෙය වන්නේ සුදුසු සෞඛ්‍යාරක්ෂනයට ප්‍රවේශය නැති කම නිසා ඇති වුනු මරන වාර්තා විය හැකි බව යි.
මෝදි හා ඔහුගේ බීජේපී ආන්ඩුව, එහි දක්ෂිනාංශික ආයෝජක-හිතවාදී “ප්රතිසංස්කරන” න්‍යාය පත්‍රය, උන්මත්තක හින්දු ප්‍රජාගනවාදය හා චීනයට එරෙහි වොෂින්ටනයේ ඉන්දු-පැසිෆික් මිලිටරි ගොඩනැංවීම සමග වඩවඩාත් ඒකාග්ර වීම කෙරෙහි වන සියලු විරුද්ධත්වයන්, දේශද්‍රෝහී නොවේ නම් රාජද්‍රෝහී යැයි පුරුද්දක් ලෙස බැහැර කරයි. ඊයේ පැවති සම්මුඛ සාකච්ඡාවක දී, ජම්මු කාෂ්මීරයේ විශේෂ තත්ත්වය නීති-විරෝධී ලෙස අහෝසි කිරීම විවේචනය කල අය, මෝදි විසින් හෙලාදකිනු ලැබුවේ “ඔවුන්ගේ හදවත් ස්පන්දනය වන්නේ මාඕවාදීන් හා ත්රස්තවාදීන් සඳහා පමනකැ” යි කියමිනි.
අගෝස්තු 8 දා ජාතිය අමතා කතාවක් කල මෝදි, ජම්මු කාෂ්මීර ප්‍රාන්ත සභාවක් -එහි බලය යෝධ ලෙස අඩු කර ඇති අතර එහි සෑම ක්‍රියාවක් ම නව දිල්ලිය විසින් අවලංගු කල හැකි වුවද- තෝරාගැනීමට මැතිවරනයක් වහා ම පැවැත්වෙනු ඇති බවත්, බීජේපීයේ රැකවරනය යටතේ කාෂ්මීර ජනයාට සාමය හා සමෘද්ධිය උදාකරනු ඇති බවත් කියා සිටිමින්, මධ්‍යම ආන්ඩුව විසින් කාෂ්මීරය යටත් කරගැනීම තාවකාලික යයි කියාපෑමට උත්සාහ දැරී ය.
මේ සියල්ල බොරුය. කාෂ්මීරය මත බීජේපීයෙහි ප්‍රහාරයේ ඉලක්කය වන්නේ, ජම්මු කාෂ්මීරය තුල පකිස්තාන පිටුබලය ලත් තිස්-අවුරුදු කැරැල්ල ක්ෂනික ව හා ලේවැකි ලෙස අවසානයකට ගෙන ඒමේ රාජ්‍ය ප්‍රහාරයක් සඳහා පදනම සූදානම් කිරීම යි. ප්‍රධාන ප්‍රතිමල්ලවයා වන පකිස්තානයට එරෙහි වත් කාෂ්මීර නැගෙනහිර දේශ සීමාවේ චීනයට එරෙහි වත් නව දිල්ලියේ හස්තය ශක්තිමත් කරගැනීම මෙන් ම කම්කරු පන්තිය බෙදා බියවැද්දීමට හින්දු ප්‍රජාගනවාදය හා යුදවාදී ජාතිකවාදය ඇවිලවීම ද එහි ඉලක්කයකි.
ජම්මු කාෂ්මීරයේ සුවිශේෂී තත්ත්වය අහෝසි කිරීම හින්දු දක්ෂිනාංශයේ දීර්ඝ-කාලීන ඉල්ලීමක් වන අතර, ඉන්දියාව හින්දු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ එහි සැලසුමේ මූලික අංගයකි.
කාෂ්මීරයට මෝදි එල්ල කරන ප්‍රහාරය, ප්‍රධාන දෛනික පුවත්පත් විසින් අධි-අන්තරායකාරී සූදුවක් ලෙස පිලිගත්ත ද එයට ඉන්දීය පාලක ප්රභූවෙන් ශක්තිමත් සහයෝගයක් ලැබේ. ඉන්දියාවේ ධනවත් ම බිලියනපතියා හා රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි ප්‍රධානියා වන මුකේෂි අම්බානි, අගෝස්තු 13දා සමාගමේ වාර්ෂික මහා සම්මේලනයට කීවේ, අගමැති ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදිගේ කැඳවුමට” ප්‍රතිචාර ලෙස ඔහුගේ සමාගම ඉක්මනින් ම ජම්මු කාෂ්මීරයේ ප්‍රධාන ආයෝජනයක් නිවේදනය කරන බව යි.
භූ-දේශපාලනික වශයෙන් නව දිල්ලියේ ක්‍රියාවන්හි ප්රකෝපකාරී ස්වභාවය හා ඉන්දියාව විසින් කාෂ්මීරය තුල ගෙන යන දුරදිග යන මර්දනය යන දෙක ම සම්බන්ධයෙන් ස්ථිර නිහඩතාවක් පවත්වාගෙන යාම හරහා එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර බලයන් ඉන්දියාවට ඔවුන්ගේ සහයෝගය සංඥා කර ඇත. වොෂින්ටනය හා ටෝකියෝව පමනක් නො ව, ලන්ඩනය, පැරීසිය හා බර්ලිනය ද ඉන්දියාව චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික ප්රතිභාරයක් ලෙස ගොඩනැගීමට නො ඉවසිලිමත් ය.
ඒ අතර, නව දිල්ලියට එහි “අභ්‍යන්තර” කටයුතු පාලනය කිරීමට ඇති අයිතියට බලගතු ලෙස සහයෝගය පලකරමින් රුසියාව ප්‍රකාශයක් නිකුත් කොට ඇත. එක්සත් ජනපදය හා නැටෝව රුසියාව මත ඔවුන්ගේ මිලිටරි-රාජ්‍යතාන්ත්‍රික පීඩනය තීව්ර කරන කොන්දේසි යටතේ, නව දිල්ලිය සමග තම දීර්ඝ-කාලීන මිලිටරි-ආරක්ෂක හවුල්කාරීත්වය සුරක්ෂිත කරගැනීමට මොස්කෝව උත්සුක ය.
බීජිනය දෙගිඩියාවක ගිලී ඇත. පකිස්තානය එහි සමීපතම ජාත්‍යන්තර සගයන් අතර සිටියත්, නව දිල්ලිය තවදුර වොෂින්ටනය වැලඳගැනීම වෙතට තල්ලු කරන පියවරයන් ගැනීමට එය විපිලිසර ය. අගෝස්තු 12දා ඉන්දියාවේ විදේශ ඇමති එස්. ජයශංකර් පූර්වයෙන් සැලසුම් කරන ලද තුන් දින චීන සංචාරයක් ඇරඹී ය.
පකිස්තාන විදේශ ඇමති ෂා මෙහ්මුද් කුරේෂි කියා ඇත්තේ, කාෂ්මීරය තුල ඉන්දියාවේ ක්‍රියාවන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය හමුවට ගෙන ඒමේ දී ඉස්ලාමාබාදයට සහයෝගය දීමට බීජිනය පොරොන්දු වී ඇති බව යි.
ඊයේ දිනයේ පකිස්තාන අගමැති ඉම්රාන් කාන් ආසියාවේ න්‍යෂ්ටික ව සන්නද්ධ ප්රතිමල්ල බලයන් අතර ආතතීන් පාලනයෙන් පිට පැනීමේ බරපතල අන්තරාය පෙන්නුම් කරන යුදවාදී කතාවක් කලේය. පකිස්තානය පාලනය කරන කාෂ්මීරයට පහර දීමේ සැලැස්මක් නව දිල්ලියට ඇති බවට චෝදනා කල ඔහු, එය එසේ කලහොත් පකිස්තානය ඊටත් වඩා බරපතල ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බව කීවේ ය. “ඉන්දියාව කිසිදු ආකාරයක උල්ලංඝනය කිරීමක් කලහොත් අපි අවසානය දක්වා සටන් කරනවා” යි කාන් ප්‍රකාශ කලේ ය. යුද්ධය පුපුරා ගියහොත් එයට හේතුව ලෝක බලයන්ගේ අක්‍රියභාවය බව පකිස්තාන අගමැතිවරයා වැඩිදුරටත් කීවේ ය.
1947-48 සමයේ උප-මහාද්වීපය ප්රතිගාමී ලෙස මුස්ලිම් පකිස්තානයක් හා හින්දූන් ප්‍රධානවූ ඉන්දියාවක් බවට වාර්ගික ව බෙදීම හරහා ඉන්දියාව හා පකිස්තානය නිර්මානය කල තැන් පටන්, ඔවුන් අතර පවතින මූලෝපායික ප්රතිමල්ලතාවේ කේන්ද්‍රයෙහි කාෂ්මීර අර්බුදය පැවති ඇත.
Follow us on