උද්ඝෝෂනයේ යෙදුනු රැකියා විරහිත උපාධිධාරීන්ට පොලිසිය මුර්ග ප්‍රහාරයක් එල්ල කරයි
නවීන් දේවගේ විසිනි , 2019 අගෝස්තු 01
ජූලි 29 කොලඹ කොටුවේ උද්ඝෝෂනයක යෙදුනු රැකියා විරහිත උපාධිධාරීන්ට කැරලි මර්දන පොලිසිය තිරිසන් ප්‍රහාරයක් එල්ල කලේය. උද්ඝෝෂකයින් ගනනාවක්ම තුවාල ලැබූ මේ ප්‍රහාරය යලිත් පෙන්නුම් කලේ කම්කරුවන්ගේ හෝ තරුනයන්ගේ සාධාරන ඉල්ලීම්දීමට සූදානම් නැති බව පමනක් නොව ඔවුන්ගේ අරගල ලෙයින් මැඩීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව නොපැකිලෙන බවයි.
“රැකියාව අයිතියක්-සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙනු”, “අභ්‍යන්තර බාහිර ලෙස බෙදීම් අනුව රැකියා ලබා නොදෙනු”, “දෙනවා කිවුව රැකියා කෝ”, “එච්එන් ඩීඒ අපට කුඩම්මාගේ සැලකිලි ද?”, ”වසර 7ක් මහ පාරේ” යන සටන් පාඨ කියමින් සහ එම සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයෝ විරෝධතාවයේ යෙදුනහ. 2012 වසර තරම් ඈතදී උපාධිය ලබා ගත් උපාධිධාරීන් පවා මේ අවස්ථාවට සම්බන්ධව සිටියේය.
උදෑසන කොලඹ කොටුව දුම්රිය ස්ථානයේ සටන් පාඨ කීමෙන් පසු ව විරෝධතාකරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනකින් ගමන් කල හ. මෙම විරෝධතාව සංවිධානය කල පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙයවෙන ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ එහි අරමුන වූයේ ජනාධිපති හෝ අගමැති සමග සාකච්ඡාවක් ලබාගැනීමයි.
නමුත් පොලීසිය මාර්ග බාධක යොදා කොටුවෙන් ලෝටස් පාරට පිවිසීම අවහිර කර තිබුනි. විරෝධතාකරුවෝ මාර්ග බාධක නොතකා ඉදිරියට ගමන් කිරීමට උත්සාහ දැරීමේ දී පොලීසිය ඔවුන්ට අධි පීඩන ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලේ ය.
එම ප්‍රහාරයෙන් අනතුරු ව ලෝටස් මංසන්ධියට පසු බැස විරෝධතාකරුවෝ වාඩිලා ගත්හ. එහි දී රැලියක් පවත්වද්දි පොලිසිය විරෝධතාකරුවන්ට තවත් ප්‍රහාරයක් එල්ල කලේ ය. ඉතාමත් රුදුරු ආකාරයකින් එල්ල කෙරුනු මෙම ප්‍රහාරය නිසා පස් දෙනෙකුට පමන රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදු විය.
උද්ඝෝෂනය සංවිධානය කර තිබුනේ ආන්ඩුව 40,000ක් පමන වන රැකියා විරහිත උපාධිධාරින්ගෙන් කොටසකට පමනක් රජයේ පත්වීම් ලබාදීමට ජූලි 30, 31 හා අගෝස්තු 01 වැනි දින උත්සව සංවිධානය කර තිබු තත්ත්වයකය. එහි දී “විශේෂ අවශ්‍යතා සහිත උපාධිධාරීන්, වයස අවුරුදු 35ට වැඩි උපාධිධාරීන් සහ එච්එන්ඩීඒ ඩිප්ලෝමා ලාභීන්ගේ නාම ලේඛන කපා දමා රැකියා පිරිනැමීම ගැන තම විරෝධය පල කිරීම අරමුන” බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ඤඒරැවිඋස% කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද භික්ෂුව ප්‍රකාශ කලේ ය.
ප්‍රහාරයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වූ ඔහු “මෙම පොලිස් ප්‍රහාරයට එරෙහි ව ජූලි 31 වැනි දා සිට ලංකාව පුරා ම පලාත් නවයේම විරෝධතා ආරම්භ කරනවා. මැතිවරන කාලයේ හදිසි නීති උල්ලංඝනය කරමින් වුවත් අපි අරගල ක්‍රියා මාර්ගය තීව්ර කරනවා,” යැයි කියා සිටියේය.
තම අතීත වාර්තාව දිග හරිමින් ඥානානන්ද අඳෝනා මුඛයෙන් මෙසේ කීවේය. “මේ වසර 4ටම ජනාධිපති හෝ අගමැතිට ලිපි මිටි පිටින් යවලා තියෙනවා. ලේකම්වරු ගනනාවක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. අපිට තවත් ලේකම්වරු එක්ක කතා කරන්න දෙයක් නෑ. මේ පාර ජනාධිපති හෝ අගමැති සමඟ සාකච්ඡාවක් ඉල්ලුවා. නමුත් අපිට ලැබුනේ දරුනු පොලිස් ප්‍රහාරයක්.”
පොලිසිය පන්න පන්නා පහර දෙද්දී ද තමන් භාර දීමට ගෙනා සන්දේශය පෙන්වමින් ඔහු දිගින් දිගට ම ජනාධිපති හෝ අගමැති හෝ සමඟ සාකච්ඡාවක් ඉල්ලමින් සිටියේ ය.
“සම්මුඛ පරීක්ෂන කරපු පිලිවෙලට වර්ෂ පදනම් කර ගෙන රැකියා ලබා දෙන්න පුලුවන්. ඒ සඳහා පුරප්පාඩු තියෙනවා. ඒ සඳහා විධිමත් ව බඳවා ගැනීම කරන්න. සංවර්ධන නිලධාරි ගුරු ක්ෂේත්රයේ රැකියා පුරප්පාඩු 60,000ක් පමන තියෙනවා. ඇයි ආන්ඩුවට බැරි ඉතුරු ප්‍රශ්නවලට වගේ තරුනයනගේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න බැරි,” යැයි ඔහු ප්‍රශ්න කලේ ආන්ඩුව මහජනයාගේ අනෙක් ප්‍රශ්න විසඳා ඇතුවාක්මෙනි.
ගිය වසරේ ජූනි-ජූලි මාසවල මෙම සංවිධානය රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා මාලාවක් කැඳවුම් කලේ ය. එහි දී, කොලඹ දී පැවති විරෝධතාවේ දී ද මෙ පරිදි ම ජනාධිපති කාර්යාලය දෙසට උපාධිධාරී රැකියා අපේක්ෂකයන් මෙහෙය වූ ඥානානන්ද පොලිස් මාර්ග බාධකයේ දී තවත් කීප දෙනෙකු සමඟ ජනාධිපති කාර්යාලයට ගොස් සන්දේශයක් බාර දුන්නේ එහි අරමුන “ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම” බව මාධ්‍යයට ප්‍රකාශ කරමිනි.
ජනාධිපති සිරිසේන ප්‍රතිචාර දැක්වූයේ රැකියා ලබා දීමේ දී අභ්‍යන්තර උපාධිය සම්පූර්න කල අයට ප්‍රමුඛත්වය දිය යුතු බව පවසමිනි.
අනතුරුව පාර්ලිමේන්තුවේ දී හර්ෂ ද සිල්වා 2019 වසර අවසන් වෙද්දී පියවර 4කින් සියලු ම රැකියා විරහිත උපාධිධාරීන් රැකියා අවස්ථාවන්හි නියුක්ත කරන බවට පොරොන්දු විය. එහි දී වයස් සීමා භේදයකින් හෝ බාහිර අභ්‍යන්තර උපාධි භේදයකින් තොර ව සියලු දෙනාට ම රැකියා ලබා දෙන බවට ඔහු තවත් ව්‍යාජ පොරොන්දුවක් ලබා දුන්නේ ය.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ හා එය මෙහෙයවන පෙසප ද ආන්ඩුව හා පාලක පන්තිය ඉදිරියේ බඩගාමින් ධනපති ක්‍රමය තුල විසඳුම් ලබාගත හැකියයි අවධාරනය කරමින් ගෙනයන දේශපාලනයේ අන්ත බංකොලොත්කම අවුරුදු හතරේ වාර්තාවෙන් ම පැහැදිලි ය. පෙසප බිඳී ආ ජනතා විමුක්ති පෙරමුන ද රැකියා විරහිත උපාධිධාරීන්ගේ සමිති සංවිධානය කරගෙන මෙවැනිම උද්ඝෝෂන තරඟෙට ගෙනයයි. ඒවායේ ඉලක්කය ධනපති ක්‍රමයෙන් හා එය රකින ආන්ඩුවෙන් විසඳුම් නැතිව සහ එල්ලවන ප්‍රහාර නිසා පෙරලිකාරි වන තරුනයින් දුර්මුඛ කර අර්බුදය තුල කිඳී ඇති ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමයි. සිසුන් අතර මෙන්ම කම්කරුවන් අතරද ඔවුන්ගේ වැඩපිලිවෙල මෙයමයි.
කම්කරුවන්ගේ දුගීන්ගේ හා තරුනයන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දීමට ධනපති ක්‍රමයට නොහැකි ගෝලීය අර්බුදයක් අද වර්ධනය වී ඇත. එසේ වුවද රැකියා විරහිත උපාධිධාරීන්, සිසුන් හා අවශේෂ තරුනයින් කම්කරු පන්තිය වෙතට හැරී සමාජවාදයට සටන් කිරීම වැලැක්වීමට පෙසප හා ජවිපෙ දේශපාලනිකව එකසේ ක්‍රියා කරන්නේ ආන්ඩුව හා පාලක පන්තියේ සියලු කන්ඩායම් පොලිස් රාජ්‍ය පාලනයක් මගින් ධනපති පන්ති පාලනය ආරක්ෂා කර ගැනීමට වේගයෙන් සූදානම් වන තත්ත්වයක ය.
විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවුරුදු 10ක සියපාලන කාලය තුල සිදු කල ජීවන හා සමාජ අයිතීන් උදුරාගනිමින් ගනගිය මර්දනකාරී පාලනය හා උපාධිධාරින්ට එල්ල කල ප්‍රහාර මහජනයාට අමතකවී නැත. එහෙත්, පාර්ලිමේන්තුවේ දී රැකියා විරහිත උපාධිධාරීන් ගැන කිඹුල් කඳුලු හෙලමින්, තමන්ගේ පාලන කාලයේ ඔවුන්ගේ ගැටලුව “විසඳමින්” රැකියා අවස්ථා 90,000ක් ලබා දුන් බව පැවසූ ඔහු බාහිර උපාධිවලට වෙනස්කම් කිරීම හෙලා දුටුවේ ය. රාජපක්ෂ මෙහෙයවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පොලිස් පාලනයකට කැසකවන පාලක පන්තියේ තවත් කන්ඩායමකි.
විරෝධතාකරුවන් කීප දෙනෙකු සමඟ කතා කිරීමට ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට හැකිවිය.
රුහුනු විශ්ව විද්‍යාලයෙන් බාහිර උපාධිය සම්පූර්න කල මාතර දෙ දරු මවක් වන හර්ශනී චන්දිමා තමන්ගේ අත්දැකීම මෙ ලෙස විස්තර කලා ය. “මම ඉහල සාමාර්ථයක් සහිත ව උපාධිය සම්පූර්න කලා. ඒ සඳහා මොන තරම් දුකක් වින්දාද කියන එක උඩ ඉන්න දෙවියො විතරයි දන්නෙ. අපි හිතුවේ මේ ආන්ඩුවෙන් අපේ ප්රශ්නය විසඳයි කියලා. කලින් ආන්ඩුවෙන් විසඳුමක් ලැබුනේ නෑ. මේ ආන්ඩුව විසඳනවා වෙනුවට නැති ප්‍රශ්නයක් ඇති කරමින් රැකියා ලබා දීමෙන් බාහිර උපාධිධාරීන් ඉවත් කරමින් පෙර නුවූ විරූ ගැටලුවක් නිර්මානය කලා. මේ ගැන අගමැති එක්ක අපිට හරි ම තරහයි. අපි සටන අත හරින්න සූදානම් නෑ.”
ඇය උපාධිය සම්පූර්න කර ඇත්තේ 2012 දී ය. වසර 7ක් ඇයව රස්තියාදු කරනු ලැබුනේ කෙසේදැයි ඇය විස්තර කලා ය: “උපාධිය ගත්ත ම ගුරු විභාග පාස් කලා. එතකොට කිවුවා කොට්ටාසෙ පුරප්පාඩු නෑ කියලා. ආයේ 2015 ගැසට් කරන කොට මට වයස අවුරුදු 35 ඉක්මවලා. එතකොට කොහොමත් ගුරු විභාගවලට වාඩි වෙන්න බෑ. දාපු අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප වුනා.”
බාහිර උපාධි අපේක්ෂකයන්ට රැකියා ලබා නොදෙන බව ආරන්චි වීමෙන් තමන් දැඩි කම්පනයට පත් වූ බව පැවසූ ඇය ඇගේ එක් මිතුරියක් දින තුනක් කාමරයට වී අඬමින් සිටි බව පැවසුවා ය. “මගේ මහත්තයා නය බරින් මිරිකිලා ඉන්නේ” යි ඇය තම ආර්ථික තත්ත්වයේ කොන්දේසි විස්තර කරමින් සඳහන් කලා ය.
Follow us on