ශ්‍රී ලංකා ජනාධිපති මරන දඬුවමට විරුද්ධ වන්නන් හෙලා දකියි
Sri Lankan president denounces opponents of the death penalty
විජිත් සමරසිංහ විසිනි, 2019 පෙබරවාරි 15
පෙබරවාරි 6 දා පාර්ලිමේන්තුව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 43 වසරක් තිස්සේ රට තුල මරන දඬුවම අත්හිටුවා තිබීම අවසන් කිරීමට ඇති කැපවීම අවධාරනය කලේ ය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (එච්ආර්සීඑස්එල්) හා අනෙකුත් මානව හිමිකම් කන්ඩායම්වලට තමන්ට බාධා නො කරන ලෙස ඔහු අනතුරු ඇඟවී ය.
මරන දඬුවම යලි පිහිටුවීමට තමන් කැඳවුම් කල තැන් පටන් එම දඬුවමට නියම ව සිටින සිරකරුවන් අභියාචනා ගොනු කර ඇතත්, “ඉදිරි මාසයක් දෙකක් ඇතුලත මරන දඬුවම ක්‍රියාත්මක කරන්නට අපට පුලුවන්කම ලැබෙයි. මොන විධියේ විරෝධතා ආවත් එය ස්ථිර වසයෙන්ම ක්‍රියාත්මක කරන්න මා තීරනයක් ගෙන තිබෙනවා,” යි ඔහු පාර්ලිමේන්තුවේ දී කීවේ ය.
ඉන්දියාවේ, එක්සත් ජනපදයේ හා සිංගප්පූරුවේ මරන දඬුවම් හුවා දක්වමින් ඔහු නරුම ලෙස මෙසේ කීවේය: “නීතියට ගරු කරන අධ්‍යාත්මික සමාජයක් බිහිකිරීම සඳහා අපට දැඩි නීති අවශ්‍ය යි.”
පසුගිය මාසයේ සිරිසේන පිලිපීනයට කල සංචාරයේ දී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන් යයි චූදිත දහස් ගනනක් නඩු නො අසා මරාදමා ඇති ජනාධිපති රොඞ්රිගෝ දුතර්තේගේ “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය සමස්ත ලෝකයට ම ආදර්ශයක්” ලෙස උත්කර්ෂයට නංවමින් ශ්‍රී ලංකාව තුල මරන දඬුවම යලි ක්‍රියාත්මක කරන බවට සපථ කලේ ය.
මරන දන්ඩනය සඳහා සිරිසේනගේ උද්ඝෝෂනය හා ඔහු විසින් දුතර්තේ උත්කර්ෂයට නැංවීම ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර මානව හිමිකම් කන්ඩායම් වෙතින් ක්ෂනික විවේචන පැන නැංවී ය.
මත්ද්‍රව්‍ය වෙලඳාමේ යෙදෙන පාතාලයට සම්බන්ධිත ව කිසිදු අයුරකින් මානව හිමිකම් මතු කිරීම “වැරදි” බව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරමින් එයට ප්‍රතිචාර දැක්වූ සිරිසේන, තමන් මරන දඬුවම සඳහා ගෙනයන උද්ඝෝෂනයට “විරුද්ධ නො වන” ලෙස මානව හිමිකම් සංවිධානවලට ඇනවී ය.
ආන්ඩුව විසින් පත්කරන බලතල රහිත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රහාරය සඳහා තෝරාගත් සිරිසේන, පසුගිය නොවැම්බරයේ අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පොලිස් විශේෂ කාර්ය බලකා (එස්ටීඑෆ්) නිලධාරීන් හා බන්ධනාගාර කාර්ය මන්ඩලය විසින් රුදුරු ලෙස පහර දීම ගැන සඳහන් කලේ ය. රහසේ පටිගත කල සිද්ධිය පිලිබඳ වීඩියෝවක් ආන්ඩුව කෙරෙහි පලල් විවේචන මතු කලේ ය.
එස්ටීඑෆ් භටයන් යැවීමට නියෝග කලේ කවුදැයි එස්ටීඑෆ් අනදෙන නිලධාරියාගෙන් විමසීමට තරම් නිර්භීත වීම ගැන සිරිසේන එච්ආර්සීඑස්එල් ප්‍රධානියා විවේචනය කලේ ය.
“අපි පත්කල මානව හිමිකම් කොමිෂන් සභාව” අප ආරක්ෂා කල යුතු ව තිබුනා යි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කීවේ ය. “ඒ වෙනුවට එය එස්ටීඑෆ් ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරනවා.” ශ්‍රී ලංකාවේ මිලිටරි නිලධාරීන් එක්සත් ජාතීන්ගේ ඊනියා සාම සාධක මෙහෙයුම්වලට පිටරටවලට යැවීමට ප්‍රථම එච්ආර්සීඑස්එල් විසින් සුපරීක්ෂනය කිරීම පිලිබඳ ව ද සිරිසේන එය හෙලාදැක්කේ ය.
එච්ආර්සීඑස්එල් සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම, එම ක්‍රියාකාරකම් “මානව හිමිකම් නීතියට අනුකූල” බවත් එය “කොමිසම විසින් අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ උත්සාහයක්” නො වන බවත් පවසමින් සිරිසේනගේ චෝදනාවන්ට ලිඛිත ව ප්‍රතිචාර දැක්වූවා ය.
පාර්ලිමේන්තුව තුල සිරිසේනගේ වාග් ප්‍රහාරයට ඇත්තේ එක් අර්ථයක් පමනි. එනම්, මරන දඬුවම යලි බලාත්මක කිරීම හෝ ආන්ඩුව විසින් කරන කිසිදු මූලික ප්රජාතන්ත්රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමක් කෙරෙහි වන කවර හෝ විරුද්ධත්වයක් ඔහු ඉවසන්නේ නැත. පොලීසියට හා එහි කුප්‍රකට එස්ටීඑෆ් බලකායටත් මිලිටරියටත් සිරිසේන යැවූ පැහැදිලි පනිවුඩය වන්නේ සෑම අවස්ථාවක දී ම ඔහු ඔවුන් ව ආරක්ෂා කරන බව යි.
සිරිසේන විසින් මිලිටරිය ආරක්ෂා කිරීම ඉඟියකි. 1983 හා 2009 අතර, එය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව රුදුරු වාර්ගික යුද්ධයක නිරත විය. මෙම ලේවැකි ගැටුම කම්කරු පන්තිය මර්දනය කොට වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ බෙදීම සඳහා 1948 පටන් පාලක ප්රභූව විසින් අනුගමනය කල ප්රජාගනවාදී පිලිවෙත්වල කුලුගැන්වීම යි.
ඔහුගේ පූර්වප්‍රාප්තිකයන් මෙන් සිරිසේන ද 1983 පටන් සියලු යුද අපරාධ සඳහා වගකිව යුතු අනුප්‍රාප්තික ආන්ඩුවල දේශපාලන නායකයන් හා මිලිටරි ධුරාවලිය ආරක්ෂා කිරීමට කැප වී සිටී.
1976 පටන් නිල මරා දැමීම් නැතත්, දේශපාලන විරුද්ධවාදීන්, කම්කරුවන් හා තරුන ජනයා නඩු නොමැතිවම ඝාතනය කිරීම පිලිබඳ රුදුරු වාර්තාවක් ශ්‍රී ලංකා රාජ්‍යයට ඇත.
එල්ටීටීඊයට එරෙහි යුද්ධය තුල ද ශ්‍රී ලංකාවේ දකුනේ 1987-89 සමයේ තරුන කැරලි මැඩීමේ දී ද දසදහස් ගනන් ජනයා, මිලිටරිය හා එයට අනුබද්ධිත පැරාමිලිටරි ඝාතක කල්ලි විසින් පැහැරගෙන ගොස් නඩු නො අසා මරාදැමී ය.
සිරිසේනගේ පාර්ලිමේන්තු කතාවේ තවත් ඉලක්කයක් වූයේ ව්‍යවස්ථාදායක සභාව (සීසී) යි.
සිරිසේනගේ ජනාධිපතිත්වය යටතේ 2015 දී ව්‍යවස්ථාවට ගෙන ආ 19වන සංශෝධනය විසින් ස්ථාපනය කල ව්‍යවස්ථාදායක සභාව, අධිකරනයේ හා රාජ්‍ය සේවයේ “ස්වාධීනත්වය” තහවුරු කරනු ඇතැයි සැලකුනි. ජනාධිපතිගේ හා පාර්ලිමේන්තු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම් ලදුව කථානායකවරයා ප්‍රධානත්වය දරන එම සභාව කිසිදු ලෙසකින් වත් ස්වාධීන නැත.
සීසීය විනිසුරුවන් හා අගවිනිසුරු ලෙස තමන් යෝජනා කල නම් අනුමත නො කල බවට සිරිසේන කනිපින්දම් කීවේ ය. “මෙම නම් ඉවත දැමීම ගැන ඔවුන් තවමත් මට හේතු දක්වා නැහැ” යි ඔහු ප්‍රකාශ කලේ ය.
ඔහුගේ ප්රකෝපකාරී හා ආඥාදායක බුරාපැනීම්වල දී ජනාධිපතිවරයා තනි වී නැත. රාජ්‍ය මර්දනයේ උපකරන තද කිරීමට අතිනත ගෙන වැඩකරමින් සිටින අගමැති වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය විසින් සිරිසේනගේ අදහස් වලට අනුමැතිය දෙයි. “මත්ද්‍රව්‍ය පිලිබඳ වරද ඔප්පු වූ පස්දෙනෙකු මරාදැමීමට අවශ්‍ය පරිපාලනමය ක්‍රියා පටිපාටිය සම්පූර්න කර තිබුනු” බව පසුගිය සතියේ අධිකරන ඇමතිනී තලතා අතුකෝරල නිවේදනය කලා ය.
පාලක ප්රභූවේ සෑම කන්ඩායමක් ම පොලිස් රාජ්‍ය පාලන ක්‍රමවලට හැරෙමින් සිටිති. පසුගිය වසරේ දී මාස දෙකක් තිස්සේ, මෙම කන්ඩායම් විවෘත දේශපාලන යුද්ධයක නිරත වූ හ. වික්‍රමසිංහ ව්‍යවස්ථා-විරෝධී ලෙස නෙරපූ සිරිසේන, තම ප්‍රධාන ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කල අතර, පාර්ලිමේන්තු බහුතරයක් ලබාගැනීමට රාජපක්ෂ අසමර්ථ වූ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය.
බීජිනයට වඩා සමීප යයි වොෂින්ටනය සලකන රාජපක්ෂට එක්සත් ජනපදය විරුද්ධ වීම නිසා කුමන්ත්රනය අසාර්ථක වූ අතර, සිරිසේනට යලි වික්‍රමසිංහ පත්කිරීමට බලකෙරෙමින් ශ්‍රේෂ්ඨාධිකරනය ඔහුගේ තීරනය අවලංගු කලේ ය.
දේශපාලන ප්රභූව ඇතුලත පැවතීගෙන යන කාකොටාගැනීම පිටුපසින් පවත්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ පුනර්ජීවනයක කොටසක් ලෙස වතු හා අනෙකුත් කම්කරුවන්ගේ අරගල පුපුරා යාම යි.
පාර්ලිමේන්තුව තුල සිරිසේන කල මරන දඬුවම පිලිබඳ කතාවට දින දෙකකට පෙර, පෙර නුවූ විරූ නිදහස් දින කතාවක් කල ඔහු මිලිටරිය උත්කර්ෂයට නංවමින් රටෙහි ප්‍රජාතාන්ත්‍රික හා සමාජ ප්‍රශ්න විසඳීමට ආන්ඩු අසමත් ව ඇතැයි ප්‍රකාශ කලේ ය.
මරන දඬුවම කෲර, මානව-විරෝධී දඬුවමක් වන අතර, ලොව පුරා එයට භාජනය වී ඇත්තේ සමාජයේ වඩාත් ම පරිපීඩිත ස්ථරවල පුද්ගලයන් ය. සියලු ප්‍රධාන පාර්ලිමේන්තු පක්ෂවල අනුමැතිය ලැබ ඇති මෙම ම්ලේච්ඡ දඬුවම ඉක්මනින් ප්‍රතිස්ථාපනය කිරීමට සිරිසේන කරන කැඳවුම, ධනපති පන්තිය ආඥාදායක පාලන රූප කරා ඇදී යන බවට වන පැහැදිලි ඉඟියකි.
සිරිසේන ආන්ඩුව එහි ප්රතිගාමී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයන බවට සඥා කරමින්, ආන්ඩුවට අයත් ඬේලි නිව්ස් පත්‍රය පෙබරවාරි 11දා නිල අලුගෝසු තනතුර සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවන විකටරූපී දැන්වීමක් පලකලේ ය. රාජ්‍ය මරාදැමීම් ක්‍රියාවට දැමීම සඳහා බඳවා ගනු ලබන පුද්ගලයන් දෙදෙනා වයස 18ත් 45ත් අතර වන “ශක්තිමත් මානසිකත්වයකින්” යුතු පිරිමින් විය යුතු ය. අනෙකුත් මිනිසුන් එල්ලා මැරීම සඳහා ඔවුන්ට මසකට රුපියල් 36,410ක් හෙවත් ඩොලර් 203ක් ගෙවීමට නියමිත බව වාර්තා වේ.
Follow us on