තියැනන්මෙන් චතුරශ්‍රයේ සංහාරයට තිස් වසරක් පිරේ

The Tiananmen Square massacre, 30 years on

පීටර් සිමන්ඞ්ස් විසිනි ,2019 ජූනි 8

බිහිසුනු අවිවලින් හිස සිට දෙපතුල දක්වා සන්නද්ධ වූ චීන හමුදා, යුද ටැංකිවල ද පිටුබලය සහිතව බීජිං නගරෝපාන්තයන් සිසාරා යමින්, සිය ගනනක - හෝ බොහෝදුරට සිතිය හැකි පරිදි දහස් ගනනක - නිරායුධ සිවිල් වැසියන් මරා දැමූ 1989 ජූනි 3-4 රාත්‍රීන්ගෙන් ඉක්බිති වසර තිහක් ගෙවී ගොස් ඇත. සිසුන් හා කම්කරුවන් සති ගනනක් පුරා විරෝධතා දක්වමින් සිටි තියැනන්මෙන් චතුරශ්‍රය කරා මාර්ගය හෙලිපෙහෙලි කර ගැනීමේ දී යුද හමුදාවෝ මෘග ප්‍රචන්ඩ බලය යොදා තාවකාලික මාර්ග බාධක සුන් කර දැමූහ.

බලයේ රැඳී සිටීම සඳහා ඕනෑම දෙයක් කිරීමට ස්ටැලින්වාදී චීන කොමියුනිස්ට් පක්ෂය සූදානම් බව විදහා දැක්වූ එකී තිරශ්චීන සිදුවීම් තියැනන්මෙන් චතුරශ්‍රයේ සංහාරය ලෙස ඉතිහාසයේ සටහන් වී ඇත. එතෙකුදු එම මිනීමරු ප්‍රහාරයේ දී සිදු වූ බොහෝ මරන වලට ගොදුරු වූයේ මධ්‍යම බීජිං ප්‍රදේශ කරා හමුදාවන්හි ඉදිරි ගමන නැවැත්වීමට ධෛර්යමත් ලෙස ප්‍රයත්න දැරූ කම්කරුවන්ය. මෙම සංහාරය පිලිබඳ සංඛ්‍යාලේඛන පරස්පර විරෝධී වන නමුදු, 7,000 ක් දක්වා වූ ජනකායක් මරනයට පත්වෙමින් 20,000 ක් දෙනා එහිදී තුවාල ලබා ඇත.

තවද, මෙයින් ඉක්බිති චීනය මුලුල්ලේ ක්‍රියාවට නැංවුනු භීෂනයේ ආධිපත්‍යය යටතේ, දීර්ඝ සිර දඬුවම් හා මරන දන්ඩනය ද ඇතුලු කර්කශතම දන්ඩනයන්ට පාත්‍ර වූවෝ ද කම්කරුවෝ ම වුහ. ජූනි හා ජූලි මාසවල පමනක් 40,000 ක පමන ජනයා අත් අඩංගුවට ගැනුනු අතර ඉන් බොහෝ දෙනා විරෝධතා අතරතුර පැන නැඟුනු කම්කරුවන්ගේ ස්වාධීන සංගම්වල සාමාජිකයෝ වූහ.

තියැනන්මෙන් චතුරශ්‍රයේ විරෝධතාකරුවෝ

ශිෂ්‍ය විරෝධතා කුඩුපට්ටම් කිරීමක් ලෙස පොදුවේ චිත්‍රනය කර දැක්වුනේ සැබැවින්ම කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයකට එරෙහිව ප්‍රබලව එල්ල කෙරුනු මර්දන රැල්ලකි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ඉල්ලා සිටිමින් ශිෂ්‍ය විරෝධතා ලෙස අප්‍රේල් මාසයේ ඇරැඹී තුබූ උද්ඝෝෂන, මැයි මාසයේ මැද භාගයේ තමාගේම පන්ති ඉල්ලීම් ඉදිරිපත් කරමින් කම්කරුවන් පෙලපාලිවලට එක් වීමත් සමඟ දශ ලක්ෂ සංඛ්‍යාත සහභාගීත්වයක් දක්වා වර්ධනය වී තිබින.

කම්කරුවන් අතලොස්සකගේ සහභාගීත්වයෙන් අප්‍රේල් 20 වන දින පිහිටුවා ගන්නා ලද බීජිං කම්කරුවන්ගේ ස්වාධීන සංගමය මැයි මාසයේ මැද භාගය වනවිට ප්‍රධානතම සංවිධානාත්මක මූලස්ථානයක් බවට ශීඝ්‍රයෙන් ප්‍රසාරනය විය. මැයි 17 වන දින විසි ලක්ෂයක පමන ජනකායක් බීජිං නගර මධ්‍යයේ පෙලපාලි දැක්වූ අතර ඉන් බහුතරය තමතමන්ගේ සේවා ඒකකවල හෝ ආයතනවල බැනර යටතේ ගමන් කල කම්කරුවෝ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ වූහ. බීජිං සිදුවීම්වල බලපෑම පිලිබිඹු කරමින් ෂවොයැං, ක්සියංටෑන්, හෙංයැං හා යුවෙයැං ඇතුලු ප්‍රධාන නගර ගනනාවක කම්කරුවන්ගේ ස්වාධීන සංගම් පිහිටුවා ගැනින.

මධ්‍යස්ත මතධාරී ශිෂ්‍ය නායකයන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් සහන සලසන ලෙස චීන කොමියුනිස්ට් පක්ෂ (චීකොප) නිලධරයට පීඩනය යෙදීමේ අභිප්‍රායයෙන් කටයුතු කරමින් සිටි අතර, කම්කරුවන් වඩාත් ක්‍රියාත්මක වූයේ පරිහානියට පත් වෙමින් පවත්නා ජීවන මට්ටම්, අහස උසට නැගෙන උද්ධමනය, සහ නැඟී එමින් පැවැති සේවයෙන් පහ කිරීම් හා වසා දැමීම්වල රල වේගය සම්බන්ධ උත්සුකයන්ගෙනි. 1970 ගනන්වල සිට රාජ්‍ය තන්ත්‍රය විසින් ධනේශ්වර වෙලඳපොල වැලඳ ගනු ලැබීමේ හේතුවෙන් මාවත විවරව තුබුනේ වඩවඩාත් පුලුල් වන සමාජ අසමානතාවය කරා සහ, ඉවක්බවක් නොමැතිව පැතිරුනු නිලධාරීවාදී දූෂන හා ලාභ ගැරීම ද කරාය. ඩෙං ක්ෂියාඕපිං, ලි පෙං, සාවෝ සි(z)යෑං, ජියෑං සෙ(z)මින්, සහ චෙන් යුන් වැනි චීකොපයේ ඉහල නායකයන් ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද විසින් වරප්‍රසාද හා ධනය තමන් අතට ගොඩ ගසා ගැනීම ගැන කෝපාවිෂ්ඨ විරෝධයකින් පසු වූ කම්කරුවෝ, මෙකී නායකයන් තමන් කොමියුනිස්ට්වාදීන් හා සමාජවාදීන් ලෙස හඳුන්වා ගැනීම දෙස බැලුවේ අවමන්සහගත ලෙසය.

මැයි 25 වන දින කම්කරුවන් නිකුත් කල නිවේදනයක් මඟින් කම්කරු පන්තිය තුල පැවැති කැරලිකාරී ධාරාවන් ප්‍රකාශයට පත් කෙරෙයි.

”අපේ ජාතිය නිර්මානය වී ඇත්තේ කම්කරුවන් වන අපේ ද, සෙසු මානසික හා කායික ශ්‍රමය වගුරන සියලු කම්කරුවන්ගේ ද අරගලය මගිනි. මෙම ජාතියේ නීත්‍යානුකූල හිමිකරුවෝ අපි වෙමු. ජාතික කටයුතු සම්බන්ධයෙන් අපට ඇහුම්කන් දිය යුතුව ඇත. ජාතියේ හා කම්කරු පන්තියේ මෙම පරිහානිගත කුනුකන්දල් හා රොඩුබොඩුවලට අපේ නම පැහැර ගෙන ශිෂ්‍යයන් මර්දනය කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමීමට හා මානව හිමිකම් පාගා දැමීමට අප ඉඩ දිය යුතු නැත.” [1]

අගමැති සා(z)වෝ සි(z)යෑං ශිෂ්‍ය නායකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සානුකම්පිත වී තුබූ අතර මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වූ ඉල්ලීම් සම්බන්ධයෙන් සුලු සහන ලබාදීම පිලිබඳ උපදෙස් දී තිබින. කෙසේවෙතත්, තම නොසන්සුන්තාවය විසින් රාජ්‍ය තන්ත්‍රයේ පැවැත්මටම තර්ජනයක් ගෙන එනු ලැබූ කම්කරු පන්තිය සමඟ කිසිදු සමථයකට ඉඩක් නොවීය. විරෝධතා ව්‍යාපාරය ප්‍රමානයෙන් ද විශ්වාසයෙන් ද සීඝ්‍ර ලෙස වැඩී යත්ම ප්‍රමුඛ නායක ඩෙං ක්ෂියාඕපිං තම සහචර සා(z)වෝ අගමැති ධුරයෙන් පහ කර දමා, දැඩි මතධාරී ලි පෙං එම ධුරයේ පිහිටුවා බීජිංහි හා ජාතික මට්ටමෙන් පැවැති විරෝධතා ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමට හමුදාවට අන දුන්නේය.

ස්ටැලින්වාදයේ අර්බුදය

එවැනි සීමාන්තික ක්‍රියාමාර්ග කරා එලඹීම බද්ධව පැවතුනේ හුදු චීනය තුල පමනක් නොව ජාත්‍යන්තරවම ස්ටැලින්වාදය මුහුන පා සිටි අර්බුදය සමඟය. වඩවඩාත් ගැඹුරු වෙමින් පැවැති ආර්ථික හා සමාජ අර්බුදවලට ප්‍රතිචාර ලෙස, චීනය නැගෙනහිර යුරෝපය හා සෝවියට් සංගමය තුල මධ්‍යගත නිලධාරිවාදී සැලසුම් යාන්ත්‍රනයන් උපුටා දමමින් පෞද්ගලික ව්‍යවසාය දිරි ගැන්වීමේ හා වෙලඳපොල යාන්ත්‍රනයන් සංස්ථාපනය කිරීමේ දිසාව කරා හැරීමක් සිදුවෙමින් පැවතින.

1985 දී සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට පත් වීමෙන් පසුව මිඛායෙල් ගොර්බචොව්, මධ්‍යගත සැලසුම් යාන්ත්‍රනයන්ට පිටින් ව්‍යවසායයන්ට වඩාත් වැඩි ස්වාධීනත්වයක් ලබා දුන් සිය පෙරෙස්ට්‍රොයිකා (ප්‍රතිව්‍යුහකරන) හා ග්ලාස්නොස්ට් (විවෘතභාවය හා විනිවිදභාවය) වැඩ පිලිවෙලවල මුඛ්‍ය පිලිවෙත් හඳුන්වා දෙමින්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනයේ වේශයෙන් සුලු ධනපතීන් අතරින් රාජ්‍ය තන්ත්‍රයට සමාජ සහයෝගයේ පදනමක් ගොඩ නඟා ගැනීමේ මං සොයා බැලීය.

ගොර්බචොව්ගේ වෙලඳපොලවාදී ප්‍රතිව්‍යුහකරනය, උග්‍ර වෙමින් පවත්නා ආර්ථික හා දේශපාලන අර්බුද විසඳීමේ මංමුලාසහගත ප්‍රයත්නයන් ලෙස ධනේශ්වර ක්‍රමය පුනස්ථාපනය කිරීම සඳහා සැලසුම් සකසමින් සිටි නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත්‍රවලට ද දිරිය දුන්නේය. 1956 දී හංගේරියානු කම්කරුවන්ගේ නැඟී සිටීම කුඩුපට්ටම් කිරීමට සහ 1968 දී චෙකොස්ලොවැකියාවේ ලිබරල් ප්‍රතිසංස්කරන නවතා දැමීමට මැදිහත් වූ පරිදි සෝවියට් කාන්ඩයේ තම සහචරයන්ට මුක්කු දීමට සෝවියට් සංගමය මැදිහත් නොවනු ඇති බවට ගොර්බචොව් සංඥා කිරීමත් සමඟ මෙම ක්‍රියාදාමය නාටකාකාරයෙන් වේගවත් විය. 1987 දෙසැම්බරයේ දී ඔහු නැගෙනහිර යුරෝපයෙන් 500,000 ක සෝවියට් හමුදා ආපසු කැඳවා ගැනීම නිවේදනය කලේය. ඉතා කෙටි කාලයක ඇවෑමෙන්, 1989-90 කාල පරිච්ඡේදයේ දී නැගෙනහිර යුරෝපා රටවල ස්ටැලින්වාදී තන්ත්‍ර එකක් පසුපස තවෙකක් වශයෙන් ජනසතු දේපල සම්බන්ධතාවල හා මධ්‍යගත සැලසුම්කරනයේ ඉතිරි වී පැවැති කොටස් උපුටා දමමින් ධනේශ්වර ක්‍රමය පුනස්ථාපනය කිරීමට පියවර ගත්හ.

පෝලන්තයේ දී ආන්ඩුව හා විපක්ෂ සොලිඩැරිටි නායකයන් අතර පැවැති සාකච්ඡා 1989 අප්‍රේල් මස සීමිත මැතිවරනයක් පැවැත්වීමේ ගනුදෙනුවකින් කෙලවර විය. මෙය සොලිඩැරිටි නායක තදෙවුස්(z) මසො(z)වීකිට එම අගෝස්තුවේදී අගමැති ධුරය කරා නැඟීමට මං පාදා දුන්නේය. ඔහු බරපතල ලෙස වෙලඳපොලවාදී ප්‍රතිව්‍යුහකරනය කිරීමේ වැඩ පිලිවෙලක් මුදා හලේය. ඒ වනවිට ද ප්‍රතිව්‍යුහකරන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් පැවැති හංගේරියාවේ වූ එවැනිම සාකච්ඡා මඟින් 1989 නව ව්‍යවස්ථාවකට පාර කැපිනි. 1990 මැයි මස පැවැති බහු පක්ෂ මැතිවරනයේ ප්‍රතිඵලය ලෙස බිහි වූයේ මධ්‍යගත සැලසුම්කරනයේ ශේෂව පැවැති ඉතිරිබිතිරි කුනු කූඩයට හෙලා පෞද්ගලීකරනය මුලුමනින්ම ක්‍රියාවට නැංවූ ආන්ඩුවකි.

උග්‍ර වන ආර්ථික හා දේශපාලන අර්බුදය මධ්‍යයේ වෙලඳපොලවාදී ප්‍රතිසංස්කරන වේගවත් කරන ලෙස නැගෙනහිර ජර්මනියට බල කරනු වස් ගොර්බචොව් 1989 ඔක්තෝබරයේදී බර්ලිනය කරා සංචාරය කලේය. ඉන් දෙසතියක ඇවෑමෙන් එරික් හොනෙකර් නායකත්වයෙන් ඉල්ලා අස්වූයේය. නොවැම්බර් 9 වන දින ආන්ඩුව සියලු දේශසීමා අවහිර ඉවත් කරන බව නිවේදනය කල අතර බර්ලින් වාසීහු වෛරයට පාත්‍රව තුබූ බර්ලින් තාප්පය බිඳ හෙලුවෝය. එම මාසය අවසන් වීමට පෙර බටහිර ජර්මනියේ චාන්සලර් හෙල්මුට් කෝල් නැගෙනහිර ජර්මනිය ධනපති බටහිර ජර්මනිය සමඟ එකතු කිරීමේ සැලැස්මක් පිලිබඳව හෙලි කලේය. එම ක්‍රියාදාමය 1990 ඔක්තෝබරයේ සම්පූර්න විය.

මින් ඉක්බිති චෙකොස්ලොවැකියාවේ, රුමේනියාවේ හා බල්ගේරියාවේ ස්ටැලින්වාදී තන්ත්‍ර බිඳවැටීම ශීඝ්‍රයෙන් සිදු විය. 1990 අවසානය වනවිට, නැගෙනහිර යුරෝපය පුරා ආන්ඩු රාජ්‍ය දේපල පැහැර ගැනීමට ද විදේශීය ප්‍රාග් ධනයට සිත් සේ රට තුලට ගලා ඒමට ද, සමාජ සේවා අහෝසි කිරීමට ද සියලු ඉඩ සලසා දෙමින් සිටියෝය. එමඟින් ජීවන මට්ටම් බරපතල අගාධයකට ඇද වැටීමේ තතු නිර්මානය විය.

පෞද්ගලික දේපල අයිතියට හා වෙලඳපොල සබඳතාවලට එරෙහිව පවතින සියලු බාධක වඩවඩාත් වේගවත්ව උපුටා දැමීම සඳහා ස්ටැලින්වාදී නිලධරය කෙරෙන් සහ ඉස්මතු වෙමින් පැවැති ව්‍යවසායක ස්ථරයන් කෙරෙන් තීව්‍රතර පීඩනයන් නැඟී ඒමට සෝවියට් සංගමය තුල ගොර්බචොව්ගේ පිලිවෙත් තුඩු දුන්නේය. 1991 ජූලියේ බෝරිස් යෙල්ට්සින් බලයෙහි පිහිටුවීම හා වෙලඳපොලවාදී ”කම්පන චිකිත්සාව” ක්‍රියාත්මක කිරීම තුල මෙය ප්‍රකාශයට පත් විය. එම දෙසැම්බරයේ සෝවියට් සංගමය නිල වශයෙන් විසුරුවා හරින ලදී.

සෝවියට් සංගමය බිඳ දැමීම හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී රාජ්‍යවල ඇද වැටීම, එය සමාජවාදයේ අවසානයයැයි නිවේදනය කර සිටි ධනපති මාධ්‍යයේ වියරුහුනු විජයග්‍රහනවාදයකට හේතුකාරක විය. සිදුවූ කිසිවක් හෝ පෙරදැකීමට අසමත්ව සිටි හා ඒ කිසිවක් හෝ පැහැදිලි කල නොහැකිව සිටි පන්ඩිතයෝ ද, දේශපාලනඥයෝ ද, ශාස්ත්‍රාලිකයෝ ද වෙලඳපොල ක්‍රමයේ විජයග්‍රහනය පිලිබඳව ප්‍රීතියෙන් කුල්මත් වෙමින් ඉතිහාසයේ අවසානය නිවේදනය කිරීමට පවා ඉදිරිපත් වූහ. එනම්, වෙනත් වචනවලින් කිවහොත්, අනුමාන කල හැකි පරිදි ධනේශ්වර ක්‍රමය මානව වර්ධනයේ ඉහලම හා අවසාන අවධිය නියෝජනය කරන බවයි. සාමයේ, සෞභාග්‍යයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ නව කාල පරිච්ඡේදයක් උදා වනු ඇතැයි ඔවුහු සියල්ලෝ කියා සිටියෝය.

ස්ටැලින්වාදය පිලිබඳ ලියොන් ට්‍රොට්ස්කි විසින් සිදුකරන ලද විශ්ලේෂනය මත පදනම් වූ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක), ගොර්බචොව් පිලිබඳ ලෝක ව්‍යාප්තව තුබූ චාටුකාරී ප්‍රශංසා බැහැර කරමින් ඔහුගේ පිලිවෙත් ප්‍රථම කම්කරු රාජ්‍යය විසින් අත්පත් කරගැනුනු ජයග්‍රහනයන් උපුටා දැමීමට ශීඝ්‍රයෙන් මඟ පාදනු ඇතැයි අනතුරු හඟවා තිබින. 1988 අගෝස්තුවේ දී ප්‍රකාශයට පත් කෙරුනු “ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදය හා හතරවැනි ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ” ලෙස නම් කොට තිබූ එහි ඉදිරි දර්ශන ලේඛනය, සෝවියට් සංගමය බිඳවැටීම සමාජවාදයේ ප්‍රතිවිපාකයක් නොව ස්ටැලින්වාදයේ ද එහි ප්‍රතිගාමී ස්වයංසීමිත “තනි රටේ සමාජවාදය” යන සංකල්පයේ ද ප්‍රතිඵලයක් බැව් පැහැදිලිව පෙන්වා දුන්නේය.

සෝවියට් ආර්ථිකයේ සැබෑ අර්බුදය මුල් බැස පැවතියේ ම ලෝක වෙලඳපොලේ සම්පත් හා ජාත්‍යන්තර පරිමාන ශ්‍රම විභජනය කෙරෙන් හුදෙකලාවීමට ඊට බල කෙරී තුබූ තතු තුලය. මේ අර්බුදය සමඟ පොරබැදිය හැකිව තුබුනේ දෙ ආකාරයකට පමනෙකි. ගොර්බචොව් විසින් යෝජිත ක්‍රමය බැඳී තුබුනේ කර්මාන්ත රාජ්‍ය අයිතියෙන් ඉවත් කිරීම, සැලසුම්කරන ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීම සහ විදේශ වෙලඳාම පිලිබඳ රජයේ ඒකාධිකාරය අත්හැර දැමීමයි. එනම්, සෝවියට් සංගමය ලෝක ධනපති ක්‍රමයේ ව්‍යුහය තුලට ප්‍රත්‍යනුකලනය කිරීමයි. මෙම ප්‍රතිගාමී විසඳුමට විකල්පය වශයෙන් පැවතුනේ යුරෝපයේ, උතුරු ඇමරිකාවේ හා ආසියාවේ ධනේශ්වර ක්‍රමයේ බලකොටු තුලට සැලසුම්ගත ආර්ථිකය පැතිරවීම අරමුනු කොට ගත් විප්ලවවාදී ප්‍රහාරයක් තුල සෝවියට් හා ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීම මඟින් ලෝක ආර්ථිකය මත අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය සුන් කොට දැමීමයි. [2]

ස්ටැලින්වාදයේ අර්බුදයට මුල් වූ හේතු ප්‍රත්‍යයන් පැවතියේ ජාතික ආර්ථික නියාමනය මත පදනම් වූ සියලු වැඩ පිලිවෙලවල්වලට යටින් වල කපා තුබූ 1970 ගනන්වල අගභාගයේ සිට සිදුවෙමින් පැවැති නිෂ්පාදනයේ ගෝලීයකරන ක්‍රියාවලීන් තුල බැව් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිත්තේ හජාජාකය හඳුනා ගත්තේය. ස්ටැලින්වාදයේ අර්බුදය එහි වඩාත්ම සාන්දෘෂ්ඨික හා තියුනුතම ප්‍රකාශනය වූ අතරම, වෙලඳපොලවාදී ප්‍රතිව්‍යුහකරනයන් ජාත්‍යන්තර පරිමානව වැලඳ ගැනීමට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා කම්කරු පක්ෂ සහ වෘත්තීය සමිති ඉදිරිපත්වීම ද, කම්කරු පන්තියේ සමාජ අයිතීන් කවරාකාරයෙන් හෝ ආරක්ෂා කිරීම ඔවුන් විසින් අත්හැර දමනු ලැබීම ද පසුපසින් පැවතියේ මෙම ක්‍රියාවලියමය.

චීනයේ ධනේශ්වර පුනස්ථාපනය

1970 ගනන්වල සිට ධනේශ්වර පුනස්ථාපනයේ ක්‍රියාවලීන් ක්‍රියාවට නැංවෙමින් පැවැති චීනය මත, නැගෙනහිර යුරෝපයේ හා සෝවියට් සංගමයේ සිදුවීම් අතිශය බලගතු බලපෑමක් ඇති කලේය. 1989 ජූනියේ කම්කරු පන්තිය කුරිරු ලෙස මැඬලීම සඳහා හමුදාව යෙදවීමට චීකොපය ගත් තීරනයට කිසිසේත් සුලුපටු නොවන ආකාරයෙන් බලපෑවේ, සොලිඩැරිටි වෘත්තීය සමිතිය බිහිවීමට මඟ පාදමින් 1980-81 කාලයේ පෝලන්තයේ ඇති වූ මහජන වර්ජන ව්‍යාපාරය වැන්නක් චීනයේ දී නැවත සිදුවෙතැයි දීර්ඝ කාලයක සිට ඔවුන් තුල පැවැති භීතියයි. චීනය පිලිබඳ විශේෂඥයෙකු වන මොරිස් මෙයිස්නර් පැහැදිලි කල පරිදි, මැයි 17 දින තියැනන්මෙන් චතුරශ්‍රයේ විරෝධතා තුල කම්කරු ජනයාගේ සහභාගිත්වය “පක්ෂ නායකයන් තුල වූ ‘පෝලන්ත භීතිකාව' - එනම්, කොමියුනිස්ට් රජයට එරෙහිව කම්කරුවන් හා බුද්ධිමතුන් අතර ඇතිවන සොලිඩැරිටි මාදිලියේ සන්ධානයක් නැඟී ඒම පිලිබඳ ඔවුන්ගේ දශකයක් පැරනි ග්‍රස්තිය - යලි දල්වාලීමට බොහෝදුරට හේතුකාරක විය. එම භීතිය අනෙක් අතට යුද්ධ නීතිය පැනවීම සඳහා ඔවුන් ගත් ඉරනම්කාරී තීන්දුවට ද දායක විය.” [3]

තමා දැනටමත් පනවා ඇති පිලිවෙත්වලට ගොර්බචොව්ගේ පෙරස්ට්‍රොයිකාව දක්වන ඥාතිත්වය හඳුනාගත් අතරම, ග්ලාස්නොස්ට් වැඩපිලිවෙලින් ඉදිරිපත් කෙරුනු දේශපාලන ලිබරලීකරනය වැලඳ ගැනීමට ඩෙං ක්ෂියාඕ පිං කටයුතු නොකලේ එය චීකොප තන්ත්‍රයේ පදනම්වලට යටින් වල කපනු ඇතැයි යන භීතිය නිසාය. 1989 මැයි මස මැද භාගයේ දී වඩාත් සමීප චීන - සෝවියට් සබඳතා තර කර ගනු වස් ගොර්බචොව් බීජිං කරා සම්ප්‍රාප්ත වූ අවස්ථාවේ, මහජනයාට ඔහු අභිමුඛ වීම තියැන්නාම් චතුරශ්‍රයේ විරෝධතාවලට අමතර උත්තේජකයක් වෙතැයි කනස්සලු වූ චීන නායකත්වය ඔහු මහජන දැක්මෙන් සඟවා තැබූහ. නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත්‍රවල ශීඝ්‍ර ඇදවැටීම ඕනෑම විරුද්ධත්වයක් මර්දනය කර දැමීමේ චීකොපයේ අධිෂ්ඨානය තවදුරටත් හුදු වර්ධනය කිරීමට හේතුභූත විය.

චීනයේ අර්බුදයේ මූලයන් පවතින්නේ 1949 චීන විප්ලවයේ ප්‍රතිඵලය තුලය. චීන කොමියුනිස්ට් පක්ෂය බලයට ගෙන ආ අනුස්මරනීය සිද්ධීන් විසින් දශ ලක්ෂ 500 කට අධික ජනයාගේ රට දරිද්‍රතාවයේ හා පසුගාමීත්වයේ ගොහොරුවේ ගිල්වා තැබූ ශතවර්ෂාධික කාලයක අධිරාජ්‍යවාදී මර්දනය අවසන් කර දමන ලදී. එය ආර්ථික සුරක්ෂිතභාවය, මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්, සහ ශිෂ්ඨ සම්පන්න ජීවන මට්ටමක් සඳහා ජනගහනයේ අති බහුතරයකගේ අභිලාෂයන් ප්‍රකාශයට පත් කලේය. දශක ගනන් පැවැති දේශපාලන කැලඹීම් ද 1937 සිට 1945 දක්වා ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කල යුද්ධය ද රට මුලුමනින්ම ආලාපාලු කර දමා තක්සේරුගත පරිදි දශ ලක්ෂ 14 කට වැඩි චීන සෙබලුන් හා සිවිල් වැසියන් මරනයට හෙලා තිබින.

කෙසේවෙතත්, නව චීන කොමියුනිස්ට් පක්ෂ උපකරනය ද සෝවියට් නිලධරය මෙන්ම පදනම් වී සිටියේ, 1917 දී රුසියාවේ ඔක්තෝබර් විප්ලවය යටින් වෙර ගැන්වූ සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය ප්‍රතික්ෂේප කිරීමක් වූ “තනි රටේ සමාජවාදය” යන ප්‍රතිගාමී ජාතිකවාදී වැඩපිලිවෙල මතය. එහි ප්‍රතිඵලයක් ලෙස, 1925-27 සමයේ ස්ටැලින් දෙවැනි චීන විප්ලවය පාවා දීමට ආසන්න කාලයේ චීකොපය මත ආධිපත්‍යය දැරූ ස්ටැලින්වාදය මඟින් විප්ලවයේ ගමන්මඟ ද ඉනික්බිති 1949 දී මාඕ සේතුං ප්‍රකාශයට පත් කල මහජන චීන සමූහාන්ඩුව (පීආර්සී) ද විකෘතිකරනයට හා විරූපීකරනයට ලක් කෙරින. ලදරු චීකොපය ධනපති ජාතිකවාදී කුවෝමින්ටෑනයට යටත් කිරීමට ස්ටැලින් ක්‍රියා කල අතර එහි ප්‍රතිඵලය වූයේ 1927 අප්‍රේල් මාසයේ දී සහ යලිත් වරක් 1927 මැයි මාසයේ දී චීන කොමියුනිස්ට්වරුන් හා කම්කරු පන්තිය අතිශය දරුනු ප්‍රහාරයන්ට පාත්‍රවීමයි. මෙකී ඛේදවාචකය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනයට සහය දුන් චීකොප නායකයන් හා සාමාජිකයන් පක්ෂයෙන් නෙරපා හරින ලදී.

උපයෝගිතාවාදී හා ජාතිකවාදී මාඕවාදය 1949 චීන විප්ලවය ආසන්නයේ චීනය ආවෘත අන්තයක් කරා ගෙන ගියේය. මාවඕගේ “නව ප්‍රජාතන්ත්‍රවාදය” පිලිබඳ ඉදිරි දර්ශනය ජාතික ධනේශ්වරය සමඟ කාන්ඩ ගැසීමේ මං සෙවූ මුත්, කොරියානු යුද්ධයේ ද, ධනපති හා සුලු ධනපති කොටස්වල අභ්‍යන්තර කඩාකප්පල් කිරීම්වල ද තතු යටතේ චීකොප ආන්ඩුවට තමන් යාමට බලාපොරොත්තු වූ දුරට වඩා වැඩි දුරක් යාමට සිදුවිය. 1956 වන විට සැබැවින්ම ආර්ථිකයේ සෑම අංශයක්ම ජනසතු කෙරෙමින් සෝවියට් දේශයේ සිදුවෙමින් පැවැති දෙයට සමාන්තර ආකාරයකින් නිලධර සැලසුම්කරනයට භාජනය කෙරින. එනමුදු කම්කරු පන්තියට තමාගේම ප්‍රජාතාන්ත්‍රික අවයව හරහා අදහස් දැක්වීමේ අවසරයක් හෝ එම කටයුතු පාලනය කිරීමේ බලයක් හෝ නොවීය.

මාඕ තන්ත්‍රය චීන ට්‍රොට්ස්කිවාදීන් මර්දනය කිරීම තුල කම්කරු පන්තිය කෙරේ එහි පැවැති ඓන්ද්‍රීය සතුරුකම ප්‍රකාශයට පත්විය. කම්කරුවන්ගේ නැගෙමින් පැවැති ප්‍රතිරෝධය මධ්‍යයේ 1952 දී ට්‍රොට්ස්කිවාදීහු සියලු දෙනා සිර ගත කරන ලදහ. නැගෙනහිර යුරෝපයේ රජයන් ගුනාංගීකරනය කල පරිදිම හතරවැනි ජාත්‍යන්තරය චීනය ද විකෘති කම්කරු රාජ්‍යයක් ලෙස ගුනාන්ගිකරනය කලේය. ඒ වූ කලී එම තන්ත්‍රයේ පැවැති විකෘති, නිලධාරිවාදී ස්වභාවය පිලිබඳව අවධාරනය කෙරුනු අතිශය කොන්දේසිගත සූත්‍රයක් විය.

“තනි රටේ සමාජවාදයේ” ජාතික ස්වයංසීමිතභාවය වඩවඩාත් උග්‍රවන ආර්ථික හා සමාජ කැලඹිලි සහ අර්බුද ජනනය කල අතර, චීකොප නිලධරයට ඒවාට විසඳුම් නොපැවැති තතු තුල එයින් මඟ කැපුනේ අභ්‍යන්තර කල්ලි අතර කර්කශ ගැටුම් කරා ය. මාඕගේ “මහා ඉදිරි පිම්ම”ට මුක්කුව දුන් ගොවි ජන සමාජවාදී සමාජයක් පිලිබඳ ඔහුගේ මනඃකල්පිත යෝජනා ක්‍රමය කෙලවර වූයේ ආර්ථික ව්‍යසනයකින් හා මහා පරිමානව ජනයා හාමතට වැටීමෙනි. ලියු ෂාඕකිගේ නායකත්වයෙන් යුත් ඔහුගේ විරුද්ධවාදී කල්ලිය නිලධාරීවාදී සැලසුම්කරනයෙන් යුත් බර කර්මාන්ත කෙරේ වැඩි වශයෙන් යොමු වූ සෝවියට් මාදිලියේ ආදර්ශයක් අනුගමනය කල නමුත් එය මේ තතුවලට විකල්පයක් සම්පාදනය නොකලේය.

සෝවියට් සංගමයේ හා චීනයේ ස්ටැලින්වාදී රාජ්‍ය තන්ත්‍ර දෙක තමතමාගේ ප්‍රතිවිරුද්ධ ජාතික උත්සුකයන් පෙරට ගෙන ඒමත් සමඟ 1961-63 කාල පරිච්ඡේදයේ සෝවියට් සංගමය සමඟ ඇති වූ භේදයෙන් ද, සෝවියට් ආධාර සහ උපදේශකයන් ඉවත් කර ගැනීමෙන් ද, ආර්ථික අර්බුදය අතිශයින් නරක අතට හැරුනි. සිය විරුද්ධවාදීන් පහ කර දැමීමේ අවසාන මංමුලාසහගත ප්‍රයත්නයක යෙදෙමින් 1966 දී මාඕ මුදා හල සංස්කෘතික විප්ලවය ශීඝ්‍රව ඔහුගේ පාලනයෙන් ගිලිහෙමින් පැතිර ගියේ රාජ්‍ය තන්ත්‍රයේ පැවැත්ම ම තර්ජනයට පත් කෙරෙන ව්‍යාකූල හා කම්පනකාරී සමාජ අරගලවලට මඟ පාදමිනි. “මූලස්ථානයට බෝම්බ දමව්” යන ඔහුගේ නියෝගය වචනාර්ථයෙන් පිලි ගෙන තුබූ කම්කරුවන් මර්දනය කිරීමට මාඕ හමුදාව වෙත හැරුනු අතර, එහි ප්‍රතිඵලය වූයේ ෂැංහයිහි මහා පරිමාන වර්ජන පැතිර යාම හා 1967 දී ස්වාධීන ෂැංහයි මහජන කොමියුනය පිහිටුවා ගැනීමයි.

රට විනාශයේ හෙලන දැවැන්ත ආර්ථික හා සාමාජයීය ප්‍රශ්න විසඳීමට අසමත්ව, සෝවියට් සංගමයත් සමඟ මිලිටරි ගැටුමකට මුහුන පා සිටි චීකොප නිලධරය එජ අධිරාජ්‍යවාදය සමඟ සෝවියට් - විරෝධී සන්ධානයක් අටවා ගැනීමට ක්‍රියා කලේය. ගෝලීය ධනේශ්වර ක්‍රමය සමඟ චීනයේ සමෝධානයට පදනම ලූයේ එමඟිනි. වෙලඳපොල ප්‍රතිසංස්කරන සමාරම්භ කල තැනැත්තා ඩෙං ක්ෂියා ඕ පිං යැයි පොදුවේ පිලිගැනෙතත්, විදේශ ආයෝජන හා බටහිර රටවල් සමඟ වෙලඳාම වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය වූ දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රමය පූර්ව කොන්දේසි නිර්මානය වූයේ මාඕ 1972 දී ජනාධිපති රිචඞ් නික්සන් සමඟ යලි සබඳතා ගොඩ නඟා ගැනීම මඟිනි.

“විවෘතකරනයේ හා ප්‍රතිසංස්කරනයේ” ක්‍රියාවලිය සමඟ අතින් අත බැඳී ක්‍රියාත්මක වූයේ දැඩි විනයක් පැනවීම හා වැඩබිම්වල නිෂ්පාදනය වැඩි කිරීම ගැන අවධාරනය කිරීමයි. මොරිස් මෙයිස්නර් සඳහන් කරන පරිදි: “කලමනාකාරීත්වයේ අධිකාරී බලය, කම්කරු විනය, හා කම්හල් නීති රෙගුලාසි සවිබල ගැන්වීම සඳහා - සහ ‘අරාජකවාදයටත්, ‘අති-වාමාංශිකවාදයටත්‘ එරෙහිව අරගල කිරීම සඳහා - කැඳවුම් කිරීමත් සමඟ අනුබද්ධව, සංස්කෘතික විප්ලවය සමයේ නෙරපා හරිනු ලැබූ කම්හල් කලමනාකරුවෝ ඔවුන්ගේ පැරනි තනතුරුවල යලි ස්ථාපනය කරනු ලැබූහ. විදේශ වෙලඳාමේ හා විදේශීය තාක්ෂනය ආනයනයේ නාට්‍යාකාර වැඩිවීමක් ඇතිවිය. සංස්කෘතික විප්ලවය සමයේ පහර දෙනු ලැබූ පැරනි පක්ෂ නායකයන් වඩවඩාත් ශීඝ්‍ර වන වේගයකින් යුතුව ‘පුනරුත්ථාපනය කරන ලද අතර, 1973 වන විට, “සංස්කෘතික විප්ලවයට පූර්ව කාලයේ ක්‍රියාධරයන් ආන්ඩුවේ අමාත්‍යාංශවල කටයුතු මෙහෙයවන බව” පෙනෙන්නට තිබිනි. [4]

1969 සිට 1975 දක්වා කාලය තුල විදේශ වෙලඳාමේ අගය වසරකට එජ ඩොලර් බිලියන 4 සිට ඩොලර් බිලියන 14 දක්වා ඉහල නැඟුනි. 1972 අග පටන් 1975 මැද භාගය වනතුරු චීනය ප්‍රධාන කොට ම ජපානයෙන් හා බටහිර යුරෝපයෙන් ඩොලර් බිලියන 2.8 ක් වටිනා සම්පූර්න කාර්මික යන්ත්‍රාගාර ආනයනය කලේය.

“ධනපති මාවතේ යන්නන් අතර දෙවැනියා” ලෙස හඳුන්වා සංස්කෘතික විප්ලව කාලය තුල නෙරපා හැර සිටි ඩෙං ක්ෂියාඕපිං පුනරුත්ථාපනය කරනු ලැබ චෞ එන්ලායි යටතේ උප අගමැතිවරයා ලෙස රාජ්‍ය මන්ත්‍රන සභාවට පත් කරගන්නා ලදී. ඩෙං 1974 එක්සත් ජාතීන්ගේ විශේෂ සැසිවාරයක චීන නියෝජිත කන්ඩායමේ නායකත්වය දැරූ අතර, එහිදී ඔහු “සමාජවාදී කඳවුර” තව දුරටත් නොපවතින බවත්, චීනය තුන්වැනි ලෝකයේ කොටසක් බවත් නිවේදනය කලේය. 1976 දී මාඕගේ මරනයෙන් පසුව ඇති වූ කට්ටිවාදී බල අරගලය තුල ඩෙං ස්ටැලින්වාදී නිලධරයේ ප්‍රමුඛයා ලෙස ඉස්මතු විය. 1979 දී එජ සමඟ තානාපති සබඳතා විධිමත් කර ගැනීමට කටයුතු කරමින් ද, අසල්වාසී වියට්නාමය සමඟ දේශසීමා යුද්ධයක් දියත් කරමින් ද, චිලියේ ඒකාධිපති ඔගස්ටෝ පිනොචේ වැනි එජ අනුචරයන් ආරක්ෂා කරමින් ද, පෙර නොවූ විරූ සමීපත්වයකින් යුතුව එජ අධිරාජ්‍යවාදය වැලඳ ගැනීමට ඔහු ක්‍රියා කලේය.

ඩෙං 1978 පටන් “ප්‍රතිසංස්කරනයේ හා විවෘතකරනයේ” වෙලඳපොලවාදී ප්‍රතිසංස්කරන ඉමහත් ලෙස වේගවත් කලේය. 1979 දී ශෙන්සෙ(z)න්, සු(z)හායි, ශන්තවු සහ ක්ෂියාමෙන් හි විශේෂ ආර්ථික කලාප (SEZ) පිහිටුවන ලද අතර විදේශ ව්‍යවසායකයෝ හා හවුල් ව්‍යාපාරකරුවෝ ඒවා තුල අපනයනය සඳහා භාන්ඩ නිෂ්පාදනය කොට බදු රහිත කාලසීමාවන් හා අනෙකුත් සහන ලබා ගත්හ. එවැනිම ක්‍රමයක් පසු කලෙක ෂැන්හයි වැනි ප්‍රධාන වරාය නඟරවල ක්‍රියාවට දමන ලදී. ගම්බද ප්‍රදේශවල සාමූහික කොමියුන අහෝසි කොට පෞද්ගලික ව්‍යවසාය ක්‍රියාත්මකවීමට ඇති සීමාවන් ඉවත් කරන ලද අතර, නගරවලදී රජය සතු ව්‍යාපාර දහස් ගනනක් ලාභ උපයන සමාගම් බවට පරිවර්තනය කරන ලදී. පෞද්ගලික ව්‍යාපාරවලට අවසර ලැබුනු අතර, පාරිභෝගික භාන්ඩවල මිල නිර්නය කිරීමට වෙලඳපොලට වඩවඩාත් ඉඩ හරින ලදී. තව ද, කම්කරුවන් කුලියට ගැනීමට හා දොට්ට දැමීමට ඉඩ හරිමින් “ශ්‍රම වෙලඳපොලක”ට මුල පුරන ලදී.

වෙලඳපොලවාදී ප්‍රතිසංස්කරන සමාජ අසමානතාවයේ ශීඝ්‍ර ඉහල යාමකට හේතුභූත විය. පෙර ගොවියන්ව සිටි දශලක්ෂ සංඛ්‍යාත ජනයාට ඉඩම් අහිමිව නගරවල රැකියා සොයා යාමට සිදුවිය. ධනේශ්වර වෙලඳපොලට සීමාකිරීම්වලින් තොරව ක්‍රියාත්මකවීමට ඉඩ හල විශේෂ ආර්ථික කලාප :(SEZ)වල හොරබඩු ජාවාරම්, අල්ලස් සහ රජය සතු දේපල සොරකම් කිරීම ඇතුලු දූෂන හා සාපරාධී ක්‍රියාවන් බහුලව පැතිර ගියේය. ඉහලම පක්ෂ නායකයන්ගේ දූ පුත්තු තමාගේම ව්‍යාපාරික අධිරාජ්‍ය තහවුරු කර ගැනීමේ අටියෙන් තම දේශපාලන සබඳතාවල සම්පූර්න වාසිය ලබා ගත්තෝය. මිල පාලනයන් ඉවත් කිරීමත් සමඟ 1988 දී උද්ධමනය සියයට 18.5 ක් කරා රොකට්ටුවක් මෙන් ඉහල නැඟුනු අතර, ඊට පාලන තන්ත්‍රය ප්‍රතිචාර දැක්වූයේ උග්‍ර ලෙස නයවර කපා හැරීමෙන් හා ආනයන සීමා පැනවීමෙනි. පෞද්ගලික ව්‍යවසායකයන් තම ශ්‍රම බලකාය අඩු කිරීමට හෝ ව්‍යාපාර මුලුමනින්ම වසා දැමීමට කටයුතු කිරීමත් සමඟ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට සිය රැකියා අහිමි විය. විරැකියාව, රැකියා සුරක්ෂිතතාව නොමැතිවීම මෙන් ම අහස උසට නැංවෙන මිල ගනන් ද, ඒවා සමඟ සංයෝග වූ චීකොප නිලධරයන්ගේ දූෂන හා ඔවුන්ගේ සමෘද්ධිය පිලිබඳ පිලිකුල ද, ඊලඟ වසරේ කම්කරුවන්ගේ බහුජන විරෝධතා ලෙස විදාරනය වූ සමාජ අසහනයට ඉන්ධන සැපයීය.

තියැනන්මෙන් චතුරශ්‍රයේ මර්දනයෙන් පසු ධනේශ්වර පුනස්ථාපනය

තියැනන්මෙන් චතුරශ්‍රයේ ලේ වැකි ප්‍රහාරයෙන් හා ඉනික්බිතිව රට මුලුල්ලේම පොලිස් දැල එලීමෙන් ද පසුව එලැඹි ඊලඟ තෙවසර තුල ඩෙංගේ ධනේශ්වර පුනස්ථාපන වැඩ පිලිවෙල සම්බන්ධයෙන් චීකොප නායකත්වය තුල පැවැති කල්ලිවාදී ගැටුම වඩාත් තියුනු විය. කම්කරුවන්ට හා ශිෂ්‍යයන්ට එරෙහිව හමුදාව යෙදීමට අන කිරීමේ දී ඩෙං වෙලඳපොලවාදී ප්‍රතිව්‍යුහකරනයේ දී තම ප්‍රධාන අනුචරයා වූ සා(z)වෝ සි(z)යෑං අගමැති ධුරයෙන් පහ කර දැමිය. සමථයක් සඳහා කෙරුනු තෝරා ගැනීමක් ලෙස ෂැන්හයි පක්ෂ ශාඛාවේ හිටපු නායක ජියෑං සෙ(z)මින් ඉහලම තනතුරක් වන චීකොපයේ ප්‍රධාන ලේකම් ධුරයට පත් කර ගන්නා ලදී. සා(z)වෝ විවේචනය කිරීම මඟින් ඩෙංගේ පිලිවෙත් ද විවේචනයට ලක් කල ඊනියා දැඩි මතධාරීන් වූ ලි පෙන් හා චෙන් යුන් අතට මූලිකත්වය මාරු විය.

කෙසේවෙතත්, වෙලඳපොල මත සීමා පැනවීම්වලට පක්ෂව කටයුතු කිරීමේදී ලි සහ චෙන් සිය පිලිවෙත් පදනම් කලේ පූර්වයෙහි පැවැති තතු මත හා ඒ වනවිටත් ආවෘත අන්තයක් බවට සනාථ වී තුබූ “තනි රටේ සමාජවාදයේ” ජාතිකවාදී ඉදිරි දර්ශනය මතය. නැගෙනහිර යුරෝපයේ විකෘති කම්කරු රාජ්‍ය බිඳවැටීමේ ද, ගොර්බචොව්ගේ පිලිවෙත් මධ්‍යගත සැලසුම්කරනයට හා ජනසතු දේපල සබඳතාවලට වල කැපීමේ ද තතු යටතේ පවා ඔවුහු සෝවියට් සංගමය දෙස බලා සිටියෝය. ඔවුන්ගේ ඊනියා “සෝවියට් පිල” විසින් නියෝජනය කෙරුනේ, රජය සතු කර්මාන්තවල ප්‍රමුඛතම අංශ සහ බීජිංහි මධ්‍යම උපකරනය මත පවත්නා සිය පාලනය තුල තම බලය හා වරප්‍රසාද රඳා පැවැති චීන නිලධරයේ නිශ්චිත කොටස් ය.

1989 නොවැම්බරයේ පැවැති පස්වැනි පුන්සැසියේ දී ලි, රාජ්‍ය සැලසුම් කොමිසමට යලි පන දීම පිලිබඳ නිර්දේශ මත පදනම් ව තුබූ සිය ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කලේය. එහිදී සම්මත කර ගන්නා ලද සැලැස්ම කැඳවුම් කර සිටියේ, නය මත දැඩි පාලනයක් පවත්වා ගැනීම මඟින් 1990 වසරේ උද්ධමනය සියයට 10 මට්ටමට කපා හෙලමින් ද, සියයට 5 ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගනිමින් ද ජාතික අයවැය සමතුලනය කිරීම සඳහාය. ග්‍රාමීය කර්මාන්තවලට රජය සතු ව්‍යවසායයන් සමඟ තරඟ කිරීමට ඉඩ නොදීමට නියමිත විය. SEZ කලාප හා “දොර විවෘතව තැබීමේ” ප්‍රතිපත්තිය පවත්වා ගෙන යන අතරම, ග්‍රාමීය හා පලාත්බද කර්මාන්තවලට, විශේෂයෙන්ම රටේ දකුනේ ඇති කර්මාන්තවලට, නව සීමාකිරීම් පැනවින.

තවදුරටත් ඩෙං පක්ෂය තුල හෝ රජය තුල කිසිදු නිල තනතුරක් නොදැරූ අතරතුරම ඔහු තවමත් - විශේෂයෙන්ම ලාභ උපයන නව කර්මාන්ත සංකේන්ද්‍රනය වී පැවැති දකුනුදිග ප්‍රදේශයන්හි - සැලකියයුතු දේශපාලන බලයක් දැරීය. දේශපාලනික ලිබරලීකරනයට විරුද්ධවීමේ දී දැඩි මතධාරීන් සමඟ එක පෙලට සිටි නමුදු, සහ සියල්ලටමත් වඩා 1989 මිලිටරි මර්දනයට සහාය දුන් නමුදු ඩෙං, පෞද්ගලික ව්‍යවසායයන් හා විදේශ ආයෝජන මත පනවා ඇති සීමා කිරීම් මුලුමනින් ඉවත් කර යුතු බවට නොනැමෙන මතයක පිහිටා සිටියේය.

වඩවඩාත් වේගවත්ව වර්ධනය වෙමින් පැවැති සෝවියට් සංගමයේ අර්බුදය තීරනාත්මක සන්ධිස්ථානයකට පැමින තිබින. 1991 අගෝස්තුවේ ගොර්බචොව් හා යෙල්ට්සින් බලයෙන් පහ කර දැමීමටත්, ඔවුන්ගේ වෙලඳපොලවාදී ප්‍රතිව්‍යුහකරන වැඩ පිලිවෙල ආපසු හැරවීමටත් දැරුනු ස්ටැලින්වාදී දේශපාලන කුමන්ත්‍රනයක් මුඩුම අසාර්ථකත්වයකින් කෙලවර විය. චීනය පිලිබඳ විශාරදයෙකු වන මයිකල් මර්ති පැහැදිලි කරන පරිදි: “මේ තනි සිදුවීම ඩෙං ක්ෂියාඕපිං ද ඇතුලු චීන නායකත්වය තුල දේශපාලන සමීකරනය පිලිබඳව වූ චින්තනය වෙනස් කිරීමට හේතුභූත විය. යලි පාලනය අත්පත් කර ගැනීම සඳහා සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය දැරූ ප්‍රයත්නය තුල ඊට සහාය දීමට සෝවියට් රතු හමුදාව අසමත් වීම චීකොපය සන්ත්‍රාසයට පත් කලේය. පූර්වාදර්ශයක් තහවුරු කෙරුනු බවට චීන නායකත්වය භීතියට පත් විය.” [5]

කන්ඩායම් යුද්ධයේ මායිම් රේඛා සලකුනු කරනු ලැබ තිබින. “සෝවියට් කල්ලිය” SEZ පිහිටුවීම ද ඇතුලු වෙලඳපොලවාදී ප්‍රතිසංස්කරනයේ සමස්ත න්‍යාය පත්‍රය ප්‍රශ්න කිරීමට කැඳවුම් කර සිටි අතර, රැකියා හා සමාජ ස්ථායීතාව පවත්වා ගෙන යාමට නොහැකි තරම් ආර්ථික වර්ධනයේ මට්ටම් පහත වැටී ඇතැයි ඩෙං අවධාරනය කලේය. “දීර්ඝ කාලයක් පුරා ආර්ථිකය අභිවෘද්ධියට ගෙන යා නොහැකි නම් ඊට [ආන්ඩුවට] රට තුල මහජනයාගේ සහයෝගය අහිමි වනු ඇති අතර පීඩනයට පත් වී අනෙකුත් ජාතීන්ගේ තාඩන පීඩනවලට ලක් වීමට සිදුවනු ඇත. මේ තතු දිගටම පැවතීම මඟ පාදනු ඇත්තේ කොමියුනිස්ට් පක්ෂයේ ඇද වැටීමටයැ”යි 1989 අවසාන භාගය තරම් ඈතක දී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමක් අමතා ඔහු ප්‍රකාශ කලේය. [6]

නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදයේ බිඳවැටීමෙන් ඉක්බිති සෝවියට් සංගමයේ අර්බුදය භූ දේශපාලන සබඳතා ඉමහත් සේ වෙනස් කරනු ඇතැයි යන්න පිලිබඳව ද ඩෙං විශාල සැලකිල්ලක් දැක්වීය. මෙම සැලකිලීමත්භාවයට හේතු වූ කරුනු දෙකකි. එකක් වූයේ ඩෙංගේ මූලෝපාය එජ හා සෝවියට් සංගමය අතර සමතුලනයක් අපේක්ෂා කිරීමයි. අනෙක නම්, ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති විදේශ ආයෝජනයන්හි විශාල ආගමනයක් මත රඳා පැවතීමයි. දැන් එම ආයෝජන පැරනි සෝවියට් සමූහාන්ඩුවල නව අවස්ථා සොයා යා හැකිව තිබින.

දකුනුදිග ප්‍රදේශවල නායකයන්ගේ ද මහජන විමුක්ති හමුදාවේ (PLA) ද සහාය මත ඩෙං බලාපොරොත්තු රඳවා සිටියේය. 1990-91 ගල්ෆ් යුද්ධයේ දී එජ අධිරාජ්‍යවාදය හා එහි අනුචරයන් ඉරාක හමුදා ශීඝ්‍ර ලෙස විනාශ කර දැමීමට අධි තාක්ෂන අවි යොදවා තුබූ ආකාරය පිලිබඳව ජනරාල්වරු ප්‍රකම්පනයට පත්ව සිටියෝය. ඔවුන්ගේ නිගමනය වී තිබුනේ P නවීකරනය කිරීම සඳහා විශාල ලෙස ආයෝජනය කිරීමට චීනයට සිදු වී තුබූ බව හා ආර්ථිකය පරිවර්තනය කොට එම ආයෝජනය සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන වර්ධනය අත්පත් කර ගත හැක්කේ ඩෙංගේ පිලිවෙත්වලින් පමනක් බවයි.

සෝවියට් සංගමය නිල වශයෙන් විසුරුවා හරිනු ලැබූ 1991 දෙසැම්බරයේ සිට යන්තම් දින 20 ක ඇවෑමෙන්, ඉහලම ජනරාල්වරුන් ද රාජ්‍ය ආරක්ෂක ප්‍රධානී ක්වියාවෝ ෂි ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන බෝ යිබෝ ද පිරිවරා ඩෙං සිය 1992 ජනවාරි - පෙබරවාරි “දකුනුදිග සංචාරය”ට පිටත්වූයේය. SEZ කලාප හා දකුනුදිග නගරවල සංචාරයේ යෙදෙමින් ඔහු නිවේදනය කලේ සෝවියට් බිඳවැටීම හමුවේ ආර්ථික පිලිවෙත් ආපසු හැරවීමක් සිදු නොවනු ඇති බවය. වර්ධනය වෙමින් පැවැති සමාජ අසමානතාවය පිලිබඳ උද්වේගයන් බැහැර ලමින් ඔහු මෙසේ පැවැසූ බැව් කියනු ලැබේ: “මුලින්ම ටික දෙනෙක් පොහොසත් වුනාවේ.”

ෂැන්හයිහි දී චෙන් යුන්ට බලය පෙන්වමින් ඩෙං මෙසේ කෑ ගැසූ බව වාර්තා විය: “ආර්ථිකය වර්ධනය කිරීමට බැරි ඕනෑම නායකයෙක් තම පදවිය අත්හැර යා යුතුය.” ධනේශ්වර පුනස්ථාපනයට එලිපිටම සහාය දෙමින් ඔහු මෙසේ ප්‍රකාශ කලේය: “අපි තවතවත් විදේශ ප්‍රාග්ධනය ද තවතවත් විදේශීය වැඩි දියුනු අත්දැකීම් හා තාක්ෂනය ද අවශෝෂනය කර ගනිමින් තවතවත් විදේශ ආයෝජිත ව්‍යවසාය ආරම්භ කල යුතු වන්නෙමු. අප ධනපති ක්‍රමය භාවිතා කරන බවට අන්‍යයන් පවසන විට බිය නොවන්න. ධනපති ක්‍රමය යනු බියකරු යමක් නොවේ.” [7]

මුලු රටම ලාභ චීන ශ්‍රමය සූරාකෑම සඳහා වූ දැවැන්ත නිදහස් වෙලඳ කලාපයක් බවට පරිවර්තනය කල පරිපූර්න ධනේශ්වර ප්‍රතිස්ථාපනයට දොර විවර කරමින් ඩෙං ජයග්‍රාහි විය. බීජිංහි පොලිස් රාජ්‍ය තන්ත්‍රය කම්කරු පන්තිය හික්මවීම සඳහා කෙතරම් හෝ කුරිරු ඕනෑම විධික්‍රමයක් යොදා ගැනීමට සූදානම් බව විදේශීය ආයෝජකයන් විසින් හඳුනා ගැනෙත්ම, තියැනන්මෙන් චතුරශ්‍රයේ සංහාරය පිලිබඳව බටහිර දේශපාලනඥයන් හෙලමින් සිටි කිඹුල් කඳුලු ලහිලහියේ පිසදා ගන්නා ලදී. 1993 දී චීකොපය තම අරමුන “සමාජවාදී වෙලඳපොල ආර්ථිකයක්යැ”යි ප්‍රකාශ කලේ ධනපති ක්‍රමය වැලඳ ගැනීම සඟවා ලනු වස් නූල් පෑදුනු “සමාජවාදී” ආවරනයක් යොදාගනිමිනි.

1994 දී චීකොපය ශ්‍රම ශක්තිය විකිනීම හා මිලට ගැනීම නීත්‍යානුකූල බවට පත් කරමින් “ශ්‍රම වෙලඳපොල” විධිමත් ලෙස සංස්ථාපනය කලේය. රජය සතු ව්‍යවසායයන් ලාභය සඳහා ක්‍රියාත්මක වන සමාගම් බවට සංස්ථාගත කරන ලදී. ලාභ නොලබන ඒවා එක්කෝ ප්‍රතිව්‍යුහගත කිරීමට, හෝ නැතහොත් වසා දැමීමට කටයුතු කරන ලදී. මූලෝපායික ලෙස නම නියම කොට නොතිබූ අංශවල වඩාත් යෝග්‍ය තත්වයේ වූ ඒවා විකුනා දැමීමට හෝ විදේශීය බහුජාතික සමාගම්වල අනුශාඛා බවට හැරවීමට කටයුතු කෙරින. ස්වල්ප සංඛ්‍යාවක් රජය සතු “ජාතික ප්‍රමුඛතමයන්” ලෙස සංරක්ෂනය කරන ලදී. 1996 සහ 2005 වර්ෂ අතරතුර රාජ්‍ය හා සාමූහික අයිතිය සහිත ව්‍යවසායයන්හි සේවක සංඛ්‍යාව මිලියන 144 සිට මිලියන 73 දක්වා අඩකින් පහල වැටින. ජීවිත කාලය පුරා රැකියා සුරක්ෂිතභාවයේ සහතිකය සමඟ “යකඩ හාල් බඳුන” යන චීන යෙදුමෙන් හැඳින්වෙන තොටිල්ලේ සිට සුසානය දක්වා වූ සේවාවන් ද අහෝසි කර දමන ලදී. ඉහතදී රජය සතු ආයතන මඟින් සම්පාදනය කරන ලද දරුවන් රැක බලා ගැනීම, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය හා විශ්‍රාමය වැනි අත්‍යවශ්‍ය සේවා දැන් හුදෙකලා සේවකයන්ට හැර දමන ලදී.

අද දින චීනයේ ධනේශ්වර ක්‍රමය

පසුගිය වසර 30 පුරා චීනය තුල ධනපති ක්‍රමය පුනස්ථාපනය කිරීම මඟින් සිදු වී ඇත්තේ චීන සමාජය තුල යටින් දිවෙන සමාජ ආතතීන් වඩාත් කුපිත කර ලීම සහ, චීකොප ආම්පන්නය මුහුන දී ඇති දේශපාලනික හා භූ දේශපාලන උභතෝකෝටිකයන් වඩාත් සංකීර්නවීම පමනෙකි.

ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වීම කරා වූ චීනයේ සුවිශේෂී ආර්ථික ප්‍රසාරනය ප්‍රථම කොට ම පදනම් වී ඇත්තේ දශක ගනනාවකින් පසු මුල් වරට චීනය ඒකාබද්ධ කල, උගත් හා කුසලතා පූර්න ශ්‍රම බලකායක් නිර්මානය කල, හා මූලික කර්මාන්ත සහ අත්‍යවශ්‍ය යටිතල ව්‍යුහයන් වර්ධනය කල 1949 විප්ලවයේ අතිමහත් ජයග්‍රහනයන් මත ය. රට තුලට ගලා ආ විදේශීය ආයෝජනයන්හි මහෝඝය චීනය ලෝකයේ දහදිය වෙලඳ හල බවට පරිවර්තනය කොට 1992 හා 2010 අතරතුර එහි ආර්ථිකයට 11 ගුනයක දැවැන්ත ඉහල යාමක් අත්පත් කර දී ඇත. කෙසේවෙතත්, මේ ශීඝ්‍ර වර්ධනය චීන ආර්ථිකයේ නිසග ශක්තියක් පිලිබිඹු නොකල අතර, ඒ වෙනුවට ඉන් පිලිබිඹු වූයේ විදේශීය ආයෝජන හා තාක්ෂනය මත යැපෙන්නෙකු ලෙස ලෝක ආර්ථිකය තුල එහි කාර්යභාරයයි.

චීනයේ ආර්ථික ප්‍රසාරනය තමන්ගේම ස්ථාපිත භූ දේශපාලන උත්සුකයන්ට අභියෝග නොකරන තාක් දුරට අධිරාජ්‍යවාදී බලවත්තු, අන් සියල්ලන්ටමත් වඩා එක්සත් ජනපදය, ලාභ චීන ශ්‍රමය සූරාකෑමට එක පයින් කැමැත්තෙන් සිටියාහ. කෙසේවෙතත්, චීන කර්මාන්තවලට ලොව දස දෙසින් අවශ්‍ය කෙරෙන අමුද්‍රව්‍ය හා බල ශක්තියේ අතිමහත් ප්‍රමානය එය ආසියාවේදී, අප්‍රිකාවේදී, මැද පෙරදිග දී හා ජාත්‍යන්තරව එජ සහ අනෙකුත් ප්‍රමුඛ බලවතුන් සමඟ වඩවඩාත් ගැටුම් කරා එලඹවීය. තවද, චීනය හුආවේ හා ’ඔෑ වැනි තමන්ගේම අධි තාක්ෂනික “ජාතික ශූරයන්” නිර්මානය කිරීමට යත්න දරන ලද කල්හි එජ, ට්‍රම්ප් පාලනය යටතේ, බීජිංවලට එරෙහිව හුදු වෙලඳ කටයුතු සම්බන්ධයෙන් මතු නොව ආර්ථික යුද්ධයක්ම ප්‍රකාශයට පත් කොට ඇත. චීනයේ අධි තාක්ෂනික කර්මාන්ත වර්ධනය කිරීමේ හා ප්‍රසාරනය කිරීමේ සැලසුම්වලටත්, බෙල්ට් ඇන්ඞ් රෝඞ් ඉනිෂියේටිව් වැඩ පිලිවෙල යටතේ ක්‍රියාත්මක කෙරෙන දැවැන්ත අධෝව්‍යුහ ව්‍යාපෘති තුලින් යුරේසියාවත් චීනයත් වඩාත් සමීපව සම්බන්ධ කිරීමේ සැලසුම්වලටත් එය විවෘතවම විරුද්ධ වී ඇත.

චීනයට, “සාමකාමී පිබිදීමක්” තුලින් එජ සමඟ සම කල හැකි ලෝක බලවතෙකු බවට පත්විය හැකිය යනුවෙන් චීකොපය විසින් ප්‍රවර්ධනය කෙරුනු මුලාව බිඳී විසිරී ඇත. චීනයේ ප්‍රසාරනය එය පමුනුවා ඇත්තේ එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය දරනු ලබන ගෝලීය අධිරාජ්‍යවාදී පර්යාය සමඟ ගැටුම් කරා ය. ඔබාමා යටතේ හා දැන් ට්‍රම්ප් යටතේ එක්සත් ජනපදය, තමන්ගේ ලෝක ආධිපත්‍යය දිගටම පවත්වා ගෙන යාම සහතික කරගනු වස් තමා සන්තකව ඇති සියලු විධික්‍රම හා උපායයන් භාවිතා කිරීමට පටන් ගෙන ඇත. ට්‍රම්ප්ගේ ආර්ථික යුද්ධය ඉන්දු - පැසිෆික් කලාපයේ හමුදා බලය ගොඩ නැංවීමක් සමඟ අතින් අත ගෙන ක්‍රියාත්මක වන්නේ “නාවික ගමනාගමනය සඳහා නිදහස” යන ආවරනය යටතේ දකුනු චීන මුහුදේ නාවුක ප්‍රකෝපකරනයන් හා න්‍යෂ්ඨික අවි බලයෙන් සන්නද්ධ බලවතුන් දෙදෙනා අතර යුද්ධයක් සඳහා වඩවඩාත් විවෘත සූදානම්වීම් උත්සන්න කරමිනි.

චීනයේ හා ජාත්‍යන්තරව, කම්කරු පන්තියට මහත් ව්‍යසනයක් අත්පත් කර දිය හැකි වියරු අවි තරඟයක යෙදී සිටින අතරතුර අධිරාජ්‍යවාදයට අනුගතවීම සඳහා මංමුලාසහගත ප්‍රයත්නයක නිරතවීම හැර යුද්ධයේ නැගෙන අන්තරායයට චීකොපයේ නායකත්වය සතු පිලිතුරක් නැත. ධනේශ්වර පුනස්ථාපනය ක්‍රියාත්මක වී ඇත්තේ එජ සමඟ මුහුනට මුහුනදීමට චීනයේ ඇති ධාරිතාව වැර ගැන්වීමට නොව එය බොහෝ සේ දුර්වල කර දැමීමට ය. ජාත්‍යන්තර කම්කරු පන්තියට කිසියම් හෝ ආයාචනයක් කිරීමට මෙම තන්ත්‍රය ඓන්ද්‍රීය ලෙසම අසමත් වන්නේ එවැන්නක් නොවැලැක්විය හැකි ලෙසම රට තුල කම්කරු පන්තියේ සමාජ අරගල කරා මඟ පාදනු ඇති නිසාය.

සමාජවාදය හා ජාත්‍යන්තරවාදය වෙත ඉහත පැවැති නාමමාත්‍ර බැඳීම පවා හැරපියා ලූ චීකොපය, මධ්‍යම පන්තික ස්ථර තුල සමාජ පදනමක් නිර්මානය කර ගනු වස් චීන ජාතිකවාදය අවුලුවා ලීම මත වැඩිවැඩියෙන් විශ්වාසය රඳවා ඇත. චීන කම්කරුවන් සිය ජාත්‍යන්තර පන්ති සොහොයුරු සොහොයුරියන් ගෙන් ද, චීනය තුලම හැන් ජන කොට්ඨාශයට අයත් නොවන සුලුතර චීන ජාතිකයන් කෙරෙන් ද බෙදා වෙන් කෙරෙන චීන ජාතිකවාදයේ හා දේශප්‍රේමයේ, ප්‍රගතිශීලී වන කිසිවක් හෝ නැත. වීගර් ජනයා, ටිබෙට් ජනයා සහ අනෙකුත් වාර්ගික කන්ඩායම්වලට එරෙහිව එහි මර්දනකාරී ක්‍රියාමාර්ග, ඒවායින් ප්‍රයෝජන ගැනීමේ මං සොයන එක්සත් ජනපදයට දොර හැර දී ඇත. චීනය බිඳ විසුරුවා තම උත්සුකයන්ට යටත් කර ගැනීමේ වොෂින්ටනයේ අභිලාෂයෙහි කොටසක් ලෙස එය, “මානව හිමිකම්”වල ව්‍යාජ ධජය යටතේ බෙදුම්වාදී කන්ඩායම් ප්‍රවර්ධනය කරයි.

තියැනන්මෙන් චතුරශ්‍රයේ සංහාරයෙන් තිස් වසක ඇවෑමෙන් චීකොප නායකත්වය කම්කරු පන්තියේ විරෝධයෙහි පුනරාරම්භයක් පිලිබඳව භීතියෙන් පසුවෙයි. කම්කරු වර්ජන හා විරෝධතා පිලිබඳ නොමඳ වාර්තා තුල ද, වඩාත් කැපී පෙනෙන ලෙස පසුගිය වසරේ කම්කරුවන්ගේ අරගලවලට ආධාර කිරීමට විශ්ව විද්‍යාල සිසුන් ස්ථරයක් හැරීම තුල ද එවැනි පුනරාරම්භයක ප්‍රථම ආලෝලනයන් දකින්නට ලැබේ. 1989 සිට චීනයේ කම්කරු පන්තිය තක්සේරුගත මිලියන 400 පමන දක්වා සංඛ්‍යාත්මකව ප්‍රසාරනය වී ඇති අතර, එහි ජනගහනයට දැක්වෙන අනුපාතයෙන් ද එය ඉමහත් සේ ප්‍රසාරනය වී ඇත. මේ සම්බන්ධ එක් දර්ශකයක් වනුයේ 1990 දී යන්තම් සියයට 26.4 ක් වූ රටේ නාගරික ජනගහනය 2017 දී සියයට 58.5 ක් දක්වා ප්‍රසාරනය වීමයි.

දරිද්‍රතාවය පිලිබඳ එක්සත් ජාතීන්ගේ අතිශය දල මිනුම් භාවිතා කරමින් මිලියන සිය ගනනක ජනයා දරිද්‍රතාවයෙන් ඉහලට ඔසොවා තබන ලදැයි චීකොප නායකත්වය කයිවාරු ගසයි. එබඳු මිනුම් දඬු, කම්කරුවන් අතර අතෘප්තියේ ගින්න දල්වා ලීමට තෙල් ඉසින වැටුප් ප්‍රමාදය හෝ නොගෙවූ වැටුප්, කම්හල්වල පවතින සෞඛ්‍යයට අහිතකර හා අන්තරායකර තතු, සංස්ථානික විනයේ කර්කශ භාවිතයන්, සහ නගර තුල කෝටි ගනන් අභ්‍යන්තර සංක්‍රමනිකයන්ට මූලික සමාජ අයිතීන් අහිමිව තිබීම වැනි සාධක ගනනාවක් නොතකා හරියි. වැඩබිම්වල චීකොප නිලධරයේ හස්තයක් ලෙස ක්‍රියාත්මක වෙන සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය, මේ සියලු මර්දනකාරී තතු අධීක්ෂනය කරමින් පොලිස්කාරකමෙහි යෙදෙයි.

ධනේශ්වර පුනස්ථාපනය සමාජ අසමානතාවයේ නාටකාකාර නැඟීමක් නිර්මානය කොට ඇත: ලෝකයේ වඩාත්ම සමානතාවයකින් යුතු වූ සමාජ අතරින් එකක් ව පැවැති චීනය අද දින වැඩිම අසමානතාවයකින් යුත් සමාජ අතරින් එකක් බවට පත්ව ඇත. එක්සත් ජනපදය හැරුනු කොට ලොව වැඩිම ඩොලර් බිලියනපතියන් සිටින රට බවට එය අද පත්ව ඇත. චීන කම්කරුවන් මසකට ඩොලර් 370 ක අවම වැටුපෙන් දිවි රැක ගැනීමේ පරිශ්‍රමයක යෙදී සිටින අතර එහි ධනවත්ම තනි පුද්ගලයා වන ටෙන්සෙන්ට්හි සභාපති පෝනි මා සතුව ඇති පෞද්ගලික ධනනිධානවල අගය ඩොලර් බිලියන 40 කට ආසන්නය.

බොහෝ අවස්ථාවන්හි දී එලිපිටම දූෂනයෙන් හා රජය සතු දේපල මංකොල්ල කෑමෙන් තම සෞභාග්‍යය ගොඩනඟා ගන්නා ලද මෙම සුපිරි ධනවත් කතිපයාධිකාරීන් චීන කොමියුනිස්ට් පක්ෂය තුල නියෝජනය කෙරෙන අතර ඔවුහු බලගතු උපදේශක මන්ඩල තුල වාඩිගනිති.

සුපිරි ධනවතුන් ද අතිමහත් බහුතරයක් වූ කම්කරුවන් හා දුගීන් ද අතර ඇති අගාධය, වැඩි කල් නොයා පුපුරා යනු ඇති දැවැන්ත සමාජ ආතතීන් ජනනය කරමින් පවතී. එම පිපිරීම් 30 වසරකට පෙර කම්කරුවන් හා සිසුන් ගැසූ කැරැල්ල ප්‍රභාහීන එකෙකැයි පෙනී යන තරමේ පරිමානයකින් යුතුව සිදු වනු ඇත. 1989 සිදුවීම්වලින් ස්ටැලින්වාදී නායකත්වය උකහා ගත් පාඩම වන්නේ රාජ්‍ය තන්ත්‍රයට එරෙහි පුලුල් ව්‍යාපාරයක කේන්ද්‍රය බවට පත් විය හැකි කවර විරෝධතා ප්‍රකාශයක් වුව හැකි සියලු ක්‍රම යොදා මර්දනය කල යුතුව ඇති බවයි. ජනගහනයෙන් බහුතරයක බලවත් සමාජ අවශ්‍යතා සපුරාලීමට අසමත් චීකොපය එහි පොලිස් -රාජ්‍ය උපකරනය ඉමහත් ලෙස ප්‍රසාරනය කර ඇති අතර, දැන් එය සෑම වසරකම පරිබාහිර ආරක්ෂාව සඳහා දැරෙන පිරිවැයට වඩා පිරිවැයක් සිය අභ්‍යන්තර ආරක්ෂක හමුදා වෙනුවෙන් දරයි.

ශීඝ්‍රයෙන් විප්ලවවාදී මානයන් අත්පත් කර ගනිමින් තුබූ 1989 එම ව්‍යාපාරයේ පරාජයේ ආවශ්‍යක දේශපාලන පාඩම් කම්කරු පන්තිය ද උකහා ගත යුතුය. ඔවුන්ට නොතිබුනේ අධිෂ්ඨානය, නිර්භීතභාවය හෝ ධෛර්යය නොවේ, සංඛ්‍යාත්මක අප්‍රමානවත්භාවය ද නොවේ. සංඛ්‍යාත්මකව එම ව්‍යාපාරය ශීඝ්‍රයෙන් චීනය සිසාරා උතුරා යමින් පැවතින. ඔවුන්ගේ ගැටලුව වූයේ 20 වන සියවසේ ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන සාරාත්මක ගැටලුවයි - එනම්, විප්ලවවාදී නායකත්වයක් නොපැවතීමයි.

“තියැනන්මෙන් චතුරශ්‍රයේ සංහාරයට දස වසරක් පිරේ”, නම් සිය විශ්ලේෂනය තුල ජේම්ස් කොගන් මෙම ප්‍රයුක්තිය මෙසේ සාරාංශගත කරයි:

“දේශපාලනිකව අත්දැකීම් රහිත වූ ද, පවතින රාජ්‍ය තන්ත්‍රයට ඇති විරුද්ධත්වයෙන් එපිට දේශපාලන ඉදිරි දර්ශනයකින් තොර වූ ද කම්කරුවන්ගේ නායකයෝ ශිෂ්‍ය සංවිධානවලට විකල්ප වූ වෙනස් වැඩ පිලිවෙලක් ඉදිරිපත් නොකලෝය. චීනයේ කම්කරුවෝ තමන් විරුද්ධව සිටින්නේ කුමකටදැයි යන්න - තමන් විරුද්ධව සිටින්නේ ස්ටැලින්වාදයට හා ධනවාදයට බව - සිය ජීවන අත්දැකීම්වලින් දැන සිටියෝය. එහෙත් විකල්ප සමාජ පර්යායයක් සඳහා වන කවර හෝ ඉදිරි දර්ශනයක් පැහැදිලිව ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි විය.

චීනය තුල දශක ගනනක ස්ටැලින්වාදයේ ආධිපත්‍යය පැවත තිබීම හා එහි සැබෑ මාක්ස්වාදය සක්‍රිය ලෙසම මැඬලනු ලැබීම යන්නෙහි අර්ථය වන්නේ එහි කම්කරු පන්තිය තුල විප්ලවවාදී සමාජවාදී - එනම්, ට්‍රොට්ස්කිවාදී - ප්‍රවනතාවයක් නොපැවැති බවයි. චීන කම්කරු පන්තියේ ක්‍රියාමාර්ග හා මනෝභාවයන් තුල ගම්‍ය වන වැඩ පිලිවෙල - එනම්, ස්ටැලින්වාදී තන්ත්‍රය පෙරලා දමා කම්කරු පන්තියේ අර්ථලාභය පිනිස වන ප්‍රධාන ප්‍රතිසංස්කරන ආර්ථිකයට හඳුන්වා දෙන දේශපාලන විප්ලවයක වැඩ පිලිවෙල - එක් සැනින් ඉදිරිපත් කල හැකි සංවිධානයක් රට තුල නොවීය”. [8]

චීන කම්කරු පන්තිය තුල හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස ට්‍රොට්ස්කිවාදී නායකත්වයක් ගොඩනැඟීමේ දේශපාලන කර්තව්‍යය තවමත් ඉතිරිව පවතී. 1989 විරෝධතා තුලින් ඉස්මතුව ආ විපක්ෂ ප්‍රවනතා කිසිවක් කම්කරු පන්තියට ශක්‍ය දේශපාලන ඉදිරි දර්ශනයක් ඉදිරිපත් නොකරයි. ස්වාධීන වෘත්තීය සමිති වෙනුවෙන් පෙනී සිටින 1989 බීජිං කම්කරුවන්ගේ ස්වාධීන සම්මේලනයේ ප්‍රමුඛයෙකු වූ හැන් ඩොංෆැං වැන්නන් දකුනට යමින් එජ වෘත්තීය සමිති උපකරනයේ, වෙනත් වචනවලින් කිවහොත් එජ අධිරාජ්‍යවාදයේ, තුරුලට වැදීම මඟින් කැපී පෙනෙන සේ පෙන්වා දී ඇත්තේ සින්ඩිකල්වාදයේ දේශපාලන බංකොලොත්කමයි.

තරුනයන්ගේ, බුද්ධිමතුන්ගේ හා කම්කරුවන්ගේ ස්ථරයක් පිලිතුරු පතා මාවෝවාදය හා එහි පුහු “විප්ලවවාදී” සටන්පාඨ වෙත හැරී ඇත්තාහ. කෙසේවෙතත්, චීනයේ ධනේශ්වර. පුනස්ථාපනය වූ කලී මාඕවාදයෙන් බිඳීමක් නොවීය. එය ඓන්ද්‍රීයව ගලා ආවේ “තනි රටේ සමාජවාදය” පිලිබඳ ආවෘත අන්තයෙනි. කම්කරු පන්තියට දක්වන සතුරුකම, ආත්මීය චේතනාව පිලිබඳ එහි අවධාරනය, සහ අන් සියල්ලටමත් වඩා එහි දුගඳ හමන ජාතිකවාදය ද සමඟ සලකා බැලූ කල මාඕවාදය යනු චීන ලක්ෂනයන්ගෙන් සජ්ජිත ස්ටැලින්වාදය ලෙස නම් කිරීම උචිතය. එය පිහිටා ඇත්තේ චීන ට්‍රොට්ස්කිවාදීන් ද ඇතුලුව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් පමනක් දරා සිටිනු ලබන සැබෑ මාක්ස්වාදය වන සමාජවාදී ජාත්‍යන්තරවාදයට එක එල්ලේම ප්‍රතිවිරුද්ධවය.

හජාජාක ශාඛාවක් ලෙස චීනය තුල සැබෑ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැඟීම සඳහා - 20 වන සියවසේ චීන විප්ලව ද තීරනාත්මක සංරචකයක් වන - ජාත්‍යන්තර කම්කරු පන්තියේ ආවශ්‍යක මූලෝපායික අත්දැකීම් උකහා ගැනීම අවශ්‍ය කෙරේ. කම්කරුවන් හා තරුනයන් ඉතිහාසයේ පාඩම් හැදෑරීමට පටන් ගනිතැයි චීකොප නායකයෝ භීතියෙන් ගල් ගැසී සිටිති. 1989 සිදුවීම් සම්බන්ධයෙන් වන කවර හෝ දැනුමක් සහ සාකච්ඡාවක් වලකා වාරනය කිරීමට හා අන්ධකාරයේ තැබීමට යත්න දරන ඔවුහු 20 වන සියවසේ ගමන්මඟ පිලිබඳ ස්ටැලින්වාදයේ මුසාවාද ඇද බෑමට දිගටම කටයුතු කරමින් සිටිති.

ස්ටැලින්වාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදයේ දිග ඇදුනු අරගලයේ තීරනාත්මක දේශපාලන පාඩම් හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිලිවෙල, ඉදිරි දර්ශනය හා ලේඛන තුල නොමැකෙන ලෙස කෙටී පවතී. මේ සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ යලි පලකෙරෙන තියැනන්මෙන් චතුරශ්‍රයේ සංහාරය පිලිබඳව හජාජාක ලේඛනවලින් ආරම්භ කරමින් කම්කරුවෝ හා තරුනයෝ ඒ හා පැටලී පැවැති දේශපාලන ප්‍රයුක්තීන් පිලිබඳ බැරෑරුම් අධ්‍යයනයක් සිදු කල යුත්තාහ. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමඟ සම්බන්ධ වන මෙන් අපි ඔබෙන් තරයේ ඉල්ලා සිටිමු. චීන කම්කරු පන්තිය සඳහා ට්‍රොට්ස්කිවාදී නායකත්වයක් හැඩ ගස්වා ගැනීමේ දිසාවට තැබෙන ප්‍රථම පියවර වනු ඇත්තේ එයයි.

සටහන්:

[1]“Workers in the Tiananmen protests: The politics of the Beijing Workers Autonomous Federation,” by Andrew G. Walder and Gong Xiaoxia, first published in the Australian Journal of Chinese Affairs, No 29, January 1993.

[2] ලෝක ධනවාදයේ අර්බුදය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ -හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන යෝජනාව- 1988 අගෝස්තු, අනු අංකය 73, පිටු 12-13.

[3] Maurice Meisner, Mao’s China and After: A History of the People’s Republic, The Free Press, Third edition, 1999, p.508.

[4] එම., 389 පි.

[5]Michael Marti, China and the Legacy of Deng Xiaoping: From Communist Revolution to Capitalist Evolution, Brassey’s Inc, 2002, pp.47–48.

[6] Cited in John Chan, Twenty years since Deng Xiaoping’s ‘Southern tour’—Part 1, 26 November 2012.

[7] Cited in John Chan, Twenty years since Deng Xiaoping’s ‘Southern tour’—Part 2, 27 November 2012.

[8] James Cogan, Ten years since the Tiananmen Square massacre: Political lessons for the working class, 4 June 1999.