ව්‍යසනයට පත් මීතොටමුල්ල මහජනතාව ආන්ඩුවට බලපෑම් දැමීමේ උගුලක යලි කොටු කිරීමට පෙසප වෙර දරයි
විලානි පීරිස් විසිනි, 2019 ජූලි 11
මීතොටමුල්ල කුනුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ නායකත්වය දැරූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකයෙකු වන නුවන් බෝපගේ විසින් මීතොටමුල්ල කසල කන්ද නායයාමෙන් ඇතිවූ ව්‍යසනයේ දෙවන සංවත්සරය සමරමින් පවත්වන ලද කතාවක් යූටියුබ් හි ප්‍රසිද්ධ කර ඇත.
මහින්ද රාජපක්ෂගේ හා සිරිසේන-වික්‍රමසිංහගේ ආන්ඩුවලට බලපෑම් දමා එම කසල කන්ද ඉවත් කල හැකියයි කියමින් මීතොටමුල්ල ජනතාව සමාජවාදී වැඩපිලිවෙලකින් සංවිධානය වීම වලකා ඔවුන් විනාශය කරා ඇදදැමීමට බෝපගේ ඇතුලු මීතොටමුල්ල කුනුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ නායකයෝ දායක වූහ. ව්‍යසනයෙන් පසුද ඔවුන් යෝජනා කරන්නේ ආන්ඩුවට බලපෑම් යෙදීමේ “අරගලයන්” ය.
ධනේශ්වර සමාජ ක්රමයේ ප්රතිඵලයන් වන මීතොටමුල්ල ව්‍යසනය වැනි සමාජ අපරාධ, ධනපති ආන්ඩු වලටම බලපෑම් දැමීමෙන් කිසිසේත්ම විසඳිය නොහැකිය.
වසර 26 ක් පුරා ජනතාවගේ දැඩි විරෝධතා නොතකා පොලිස් බලහත්කාරකම් යොදවමින් සහ එහි මරනීය බව දැනදැනම පවත්වාගෙන ගිය මේ දැවැන්ත කසල කන්ද හේතුවෙන් සිදුවූ ව්‍යසනය, අනපේක්ෂිත හදිසි අනතුරක් නොව අනුප්‍රාප්තික ආන්ඩු විසින් හිතා මතා සිදු කරන ලද අපරාධයකි.
2017 අප්‍රේල් 14 දින සිදුවූ ව්‍යසනයෙන් ජීවිත 32 ක් හානිවී 11 දෙනෙකු අතුරුදහන් විය. මෙහිදී නිවාස 146 ක් විනාශවී පවුල් 353 ක් අවතැන් වූ අතර, ව්‍යසනයෙන් පසුව අවදානම් කලාප නම් කර තවත් පවුල් 100 කට වඩා බලහත්කාරයෙන් ඉවත් කොට ප්‍රමිතියකින් තොරව ගොඩ නැගූ මහල් නිවාස තුලට ගාල් කෙරුනි.
බටහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍ය පාඨලී චම්පික රනවකගේ මූලිකත්වයෙන් ආන්ඩුව මේ වන විට මීතොටමුල්ල කසල කන්ද යට කරමින් උද්‍යානයක් ගොඩනගමින් සිටී. ඒ අවට තවත් අක්කර ගනනාවක නිවැසියන් ඉවත්කර එම ඉඩම් ආයෝජකයන්ට පැවරීමට එරෙහිව මහජනතාව තුල වැඩෙන ප්‍රබල විරෝධය බලපෑම් යෙදීමේ දේශපාලනය තුල කොටුකොට දියකර හැරීමේ උත්සුකය බෝපගේ කතාව මගින් ප්‍රකාශයට පත් කෙරී ඇත.
කුනු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය මගින් කුනු කන්ද ඉවත් කරන ලෙස 2009 සිට ගෙනගිය අරගලය පරාජයවූ බව පිලිගන්නා බෝපගේ එසේ පරාජයවූයේ “උපක්‍රමයන්ගේ” අඩුපාඩු නිසා යයි පවසන අතර මියගිය අයගේ ඥාතීන්ගෙන් සමාව ද අයැද සිටියි. ඔහු කියා සිටින්නේ පොලිස් මැදිහත්වීම් වලදී තම ව්‍යාපාරය “උපාසක” ලීලාවක් දැක්වූ බවත් ඊට පටහැනි ලෙස මුහුන දිය යුතුව තිබුන බවත්ය.
මෙම “උපක්‍රම” කවරේද යන්න බෝපගේ පැහැදිලි නොකරයි. ඔහුට අනුව පූර්ව සංවිධානයේ වැඩ කටයුතු අවසන්ව ඇති හෙයින් නව සංවිධානයක් ගොඩනගා ගනිමින් සටන ඉදිරියට ගෙනයා යුතු ය.
2013 දී සංවිධානය කල සත්‍යග්‍රහය, ඒ සඳහා ආවරනයක් තනා දෙමින් මහජනතාව සටනට ඉදිරිපත්වීම සහ සංගීත කන්ඩායම් රාත්රියේදී සංගීතය සපයා සටන “ස්වභාවිකවම” ඉදිරියට ඇදීයාමට සැලැස්වීම ආදී දෑ සටනේ “වැදගත්” අවස්ථා ලෙස, බෝපගේ නම් කලේය. සටන පරාජයවූ නමුත් එහි අත්දැකීම් වැදගත් හෙයින් ඒවා පොතක් ලෙස පල කිරීමට බලාපොරොත්තු වන බව ඔහු තවදුරටත් පැවසීය.
බලපෑම් දැමීම් මගින් මහජනතාවගේ ප්රජාතන්ත්ර හා සමාජ අයිතීන් සුරක්ෂිත කල හැකිය යන මායාව ජනතාව විනාශය කරා ඇද දමන බව මීතොටමුල්ලේ කුනුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ මෙම පරාජයේ අත්දැකීම මගින් ඉතා පැහැදිලිව පෙන්නුම් කර ඇතත් බෝපගේ ලියන්නේ යැයි කියන පොතට එම වැදගත්ම අත්දැකීම ඇතුලත් නොකරන බව නිසැකය.
පොලිස් ප්‍රහාරයකින් සත්‍යග්‍රහය විසුරුවා දැමුවද සටන නතර කල නොහැකි වූ බව පවසමින් බෝපගේ පාරම්බෑවේ නිවැරැදි වැඩපිලිවෙලක් සහ නායකත්වයක් නොමැතිව, හුදු අධිෂ්ඨානය මත සටන් කිරීමෙන් තම අයිතීන් සුරක්ෂිත කල හැකිය යන මිථ්‍යාවේ යලි වතාවක් මීතොටමුල්ල ජනතාව ගිල්වා දැමීම සඳහා ය.
පෙසප නායකයකු වන උදුල් ප්‍රේමරත්නගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ ඉහත “සත්‍යග්‍රහයේ” එල්ලය වූ යේ විසඳුමක් සපයන බවට බලධාරීන්ගෙන් ලිඛිත පොරොන්දුවක් ලබා ගැනීම යි. සමාජ ව්‍යසනයන්ගේ යථා මූලය වන ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම වැලැක්වීම පෙසප යේ මෙම මර උගුල් වල අරමුනයි.
මරනයට පත්වූවන්ට ආන්ඩුවෙන් දීමට පොරොන්දුවූ රුපියල් හය ලක්ෂයක වන්දි මුදල දසලක්ෂය දක්වා ඉහල දමාගත්තේ තම ව්‍යාපාරය ගෙනගිය උද්ඝෝෂන හේතුවෙන් බවද බෝපගේ උජාරුවෙන් කියා සිටී.
කුනුකන්ද නායයෑම අනුප්‍රාප්තික ආන්ඩු විසින් හිතාමතාකල අපරාධයක් ලෙස හෙලිදරව්වීම හේතුවෙන් මහජනතාව අතර විරෝධය වර්ධනය වත්ම ආන්ඩුව වන්දි මුදල සොච්චමකින් වැඩි කල ද, එසේ වන්දි දී මුදාගත් ඉඩම් ආයෝජකයන්ට පැවරීමේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යමින් සිටියි. මෙය ජයග්රහනයක් ලෙස හුවා දැක්වීම මහජනතාව මුලාවේ දැමීමකි.
මෙම අපරාධය සිදු කිරීමෙන් පසු එයට ගොදුරුවූ මහජනයාට ආන්ඩුව ලබාදුන් සොච්චම් වන්දියෙන් ඔවුන්ගේ කිසිඳු ප්‍රශ්නයක් විසඳී නැත. පවුල් 90 කට පමන කොලොන්නාව සාලමුල්ල අඩු ආදායම්ලාභී මහල් නිවාස සංකීර්නයෙන් ලබාදුන් නිවාස ජීවත්වීමට කිසිසේත්ම නුසුදුසුය.
මීතොටමුල්ල කසල කන්ද නායයෑමෙන් පසු ඒ ආශ්‍රිතව මෙතෙක් ජීවත්වන සෙසු ජනයාද ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ සැලසුම ආන්ඩුව විසින් වේගවත් කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) විසින් ඒ අවට භූමියේ මිනුම් කටයුතු සිදුකොට ඇති අතර කඩා ඉවත් කෙරෙන නිවෙස් වල නව අංක සලකුනු කොට ඇත.
නාසඅ හි ව්‍යාපෘති කලමනාකරන අංශයේ බස්නාහිර කොට්ඨාසය භාර අධිකාරී වයි.ඒ.කේ.ජී. ගුනතිලක පෙබරිවාරි මාසයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ට කියා සිටියේ, කසල කන්ද පිහිටා ඇති අක්කර 12 ක භූමිය විවේක උද්‍යානයක් බවට පරිවර්තනය කරන බව සහ ඒ අවට අක්කර 65 ක භූමි භාගයෙන් නිවැසියන් ඉවත් කොට වෙනත් ස්ථානයක පදිංචි කිරීමෙන් පසු, එය සංවර්ධනය කොට දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ලබා දෙන බවයි.
බෝපගේ සහ ඔහු නියෝජනය කරන ව්‍යාජ-වාම සංවිධානය වන පෙසප, විරෝධතා දේශපාලනය තුල මහජනතාව කොටුකොට ඔවුනගේ ජීවිත විනාශ කිරීමට දායක වූවා පමනක් නොව, ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ අවශ්‍යතා මත මහජනයාගේ ඉඩම් ආයෝජකයන්ට පැවරීමේ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට ඉඩ කඩ විවරකර දෙමින් සිටී.
පශ්චාත් යුද කාලීන සමයේ කම්කරු පන්තිය හා පීඩිතයන්, මහජන අරගල මගින් දිනා ගත් සිය සමාජ සහ ප්රජාතන්ත්ර අයිතීන් සියල්ල උදුරා ගැනෙන සමාජ ප්රතිවිප්ලවයක් අර්බුද ග්රස්ත ලෝක ධනපති පන්තිය විසින් අද දින ජාත්‍යන්තර පරිමානව ක්‍රියාවට දමා ඇත. මීතොටමුල්ල මහජනයා මුහුනදී ඇත්තේ මේ රුදුරු විනාශයටය.
පාරිසරික සහ අනෙකුත් අහිතකර බලපෑම් නොතකා ලාභය හඹායාමේ ප්‍රතිඵලයක් ලෙස දියුනු ධනපති රටවලද සිදුව ඇති විනාශයන් අපමනය. ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලින්ට් නගරයේ ජලයට ඊයම් මිශ්‍ර වීමෙන් දහස් ගනනක් රෝගී වූහ. ලන්ඩන් නුවර ධනවතුන් බහුලව වෙසෙන ග්‍රෙන්ෆෙල්හි දුගී මහල් නිවාස සංකීර්නයකින් නගරයේ ශෝභනත්වය කෙලෙසෙන බව පවසමින් එහි මුහුනත මිලෙන් අඩු ගිනි ඇවිලෙන සුලු ආවරන යොදා අලංකරනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2017 දී ඇති වූ ගින්නෙන් 70 කට අධික ප්‍රමානයක් මියයාම තවත් උදාහරනයකි.
මීතොටමුල්ලේ සිදුවූවා මෙන්ම මේ ව්‍යසනයන් ස්වභාවික ආපදා හෝ හදිසි අනතුරු නොව මහජන ජීවිත නොතකා කෙරෙන ධනපති ලාභ ගැරීම හා පොදු සේවා සඳහා වියදම් කපා හැරීමේ ප්රතිඵලයකි. මෙම විනාශයන්ට ධනපති ක්‍රමය තුල විසඳුම් නොමැති අතර ඒවා ජයගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල යටතේ සටන් කිරීමෙන් පමනකි.
සමාජවාදී සමානතා පක්ෂයේ නායකත්වයෙන් පැවැත්වූ ස්වාධීන කම්කරු පරීක්ෂනය නිගමනය කල පරිදි “සිය මූලික සමාජ අයිතීන් රැකගැනීමත් ජීවන තත්වයන් වැඩි දියුනු කරගැනීමත් අනාගත ව්‍යසනයන් වලක්වා ගැනීමටත් කම්කරුවන් හා පීඩිතයින්, පාලක පන්තියේ සියලු දේශපාලන සංවිධාන ප්‍රතික්ෂේප කර තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතුය. මේවා සමජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, කම්කරුවන්, ගොවීන්, තරුනයින් හා සිසුන් ද අනෙකුත් පීඩිත ජනකොටස් ද බලමුලු ගන්වන සටන් සංවිධාන විය යුතුය.
“යහපත් නිවාස, රැකියා, සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන ගනන් යෙදවිය යුතුය. වතු බැංකු හා විශාල සමාගම් කම්කරු පාලනය යටතේ ජනසතු කල යුත්තේ එබැවින්ය. නිෂ්පාදනය සංවිධාන කල යුත්තේ අතලොස්සකගේ ලාභය සඳහා නොව අති විශාල බහුතරයක් වන ජනතාවගේ ශුභසිද්ධිය සඳහා ය. සමාජවාදී වැඩපිලිවෙල යටතේ කම්කරු ගොවි ආන්ඩුවක් ගොඩනැගිය යුතුය.”
Follow us on