ශ්‍රී ලංකාවේ ජනාධිපති ආඥාදායක විධායක ජනාධිපති ධුරයක් ඉල්ලා සිටී
කේ. රත්නායක විසිනි, 2019 ජුලි 03
ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පසුගිය සතියේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවක දී, ජනාධිපති ලෙස ඔහුගේ බලතල කිහිපයක් කප්පාදු කල දහනව වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කල යුතු බව කියා සිටියේය. “රට තුල වර්තමාන දේශපාලන අස්ථාවරත්වය නිර්මානය වීමට” හේතුව ලෙස එම සංශෝධනය දෝෂ දර්ශනයට ලක්කල ඔහු, විධායක ජනාධිපති ධුරය කරා ආපසු යායුතු යයි යෝජනා කලේ ය.
සිරිසේන ම කලක් මහජනයාගේ ප්රජාතන්ත්රවාදී අයිතීන්හි ජයග්රහනයක් ලෙස 19වන සංශෝධනය ඔජවඩා දැන් ඊට ප්‍රහාර එල්ල කිරීමෙන් ප්‍රකාශයට පත්වන්නේ, රට තුල තිබෙන ගැඹුරු දේශපාලන අර්බුදය මධ්‍යයේ ඔහු ඇතුලු පාලක ප්රභූවේ සෑම කන්ඩායමක් ම ආඥාදායක පාලනයකට මාරුවීමට දරන ප්රයත්නයයි.
19වන සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කලේ සිරිසේන බලයට පත්ව යන්තම් මාස හතරකට පසු 2015 අප්‍රේල් මාසයේ ය. ජනාධිපතිවරයාගේ ධුර කාල සීමාව වාර දෙකකට සීමා කල එය, පාර්ලිමේන්තුව විසිරවීමට තිබෙන බලය ලඝු කලේ ය. මෙම නව නීතිය යටතේ, ඉහල පෙලේ විනිසුරුවරුන් සහ මැතිවරන හා පොලිස් කොමිසම් වැනි ස්වාධීන කොමිසම් යෝජනා කිරීමට ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවනු ලැබී ය.
මෙය ප්රජාතන්ත්රවාදයේ ජයග්රහනයක් ලෙස ඔජ වැඩවීම ප්‍රෝඩාවකි. ලෝසවෙඅ එය මෙසේ විස්තර කලේ ය: “එය සැලසුම් කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු නියෝගයන් තල්ලු කරගැනීම සඳහා සූදානම් කරමින් පවතින මර්දනීය පියවරයන්ට ප්රජාතන්ත්රවාදී වහන්තරාවක් අන්දවා කම්කරු පන්තිය දුගීන් රැවටීම පිනිස ව්‍යවස්ථාව යලි හැඩගැස්වීමට යි.” පසුගිය වසර හතර තුල කම්කරුවන්, දුගීන් හා තරුනයන්ගේ අත්දැකීම වී ඇත්තේ මෙය යි.
එහෙත් ජූනි 25දා තම විවේචන ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන්ට කීවේ “එම සංශෝධනය ජනාධිපති හා පාර්ලිමේන්තුව වසයෙන් බල මධ්‍යස්ථාන දෙකක්” හා ජනාධිපති හා අගමැති වසයෙන් නායකයන් දෙදෙනෙකු නිර්මානය කර ඇති බවත්, “දීර්ඝ කාලීන පිලිවෙත් නිර්මානය කිරීම සඳහා (ජනාධිපතිවරයාගේ ) හැකියාව බරපතල ලෙස ලඝු කර ඇති” බවත් ය.
ඔහු හා සමස්ත පාර්ලිමේන්තුව සංශෝධනය සඳහා වගකිව යුතු බව කියන අතර ම සිරිසේන සඳහන් කලේ “සංශෝධනය රාජ්‍ය නො වන සංවිධාන (එන්ජීඕ) වල උවමනාකම්වලට අවශ්‍ය පරිදි කෙටුම්පත් කල” බවත් “ඇතැම් වගන්ති පස්ස දොරෙන් ඇතුලු කරන” ලද බවත් ය.
මේ සියලු දෙඩවිලිවල අර්ථය වන්නේ එක් “බල මධ්‍යස්ථානයක්” හා එක් නායකයෙකු හෙවත් ශක්තිමත් ආඥාදායක පාලකයෙකු ස්ථාපනය කල යුතු බව විනා අන් කිසිවක් නො වේ.
මී ලඟ ජනාධිපතිවරනය මාස හතරක් ඇතුලත පැවැත්වෙන බව සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කලේ, 19වන සංශෝධනය මැතිවරනයට පෙර හෝ, කවුරු ජයග්‍රහනය කලත්, මැතිවරනයෙන් පසුව හෝ අහෝසි කිරීම යෝග්‍ය බව යි. “අපට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. 18 හා 19 වන සංශෝධන අහෝසි කල පසු පවතින ව්‍යවස්ථාව හොඳ එකක්” යයි ඔහු කල සඳහන බරපතල අර්ථයක් ගන්නා එකකි.
19වන සංශෝධනයට සිරිසේන එල්ල කල තදබල ප්‍රහාරය, ජනාධිපතිවරනය සමයේ ඔහු දැරූ ආස්ථානය, තියුනු ලෙස වෙනස් වූ දේශපාලන තත්ත්වයක් යටතේ උඩු යටිකුරු කිරීමකි. දේශපාලන අස්ථාවරත්වය ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිඵලයක් යයි කීම පචයකි. එය වනාහි, ජාත්‍යන්තර ව පුනර්ජීවනය වන පන්ති අරගලවල කොටසක් ලෙස සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් මත එල්ල වන ප්‍රහාරයට එරෙහි ව ශ්‍රී ලංකාව තුල ඉස්මතු වන ඉමහත් මහජන විරෝධය මධ්‍යයේ, ජනාධිපති සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන පාලක ප්රභූවේ කන්ඩායම් අතර පවතින දේශපාලන කාකොටාගැනීමේ ප්රතිඵලයකි.
2015 දී සිරිසේන බලයට පැමිනියේ, එවකට ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව කෙරෙහි පැවති දැවැන්ත විරෝධය ගසා කමිනි. එම ආන්ඩුවේ ජ්‍යෙෂ්ට ඇමතිවරයෙක් වූ ඔහු, එක්වර ම රාජපක්ෂගේ “ආඥාදායකත්වයට” හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විරෝධය පලකරමින්, විධායක ජනාධිපති ධුරය අහෝසි කොට පෙරලා පාර්ලිමේන්තුවට බලය පවරන බවට පොරොන්දු විය.
ඔහු ආන්ඩුවෙන් ඉවත්කිරීමේ කටයුතු සංවිධානය කලේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක වික්‍රමසිංහ විසිනි. ඔවුන් දෙදෙනා ම සිරිසේනගේ උද්ඝෝෂනයට සහයෝගය දුන් හ. දෙමල ජාතික සන්ධානය (දෙජාස) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) එම උද්ඝෝෂනය වටා රැලි වූ හ. නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ-වාම කන්ඩායම් ද ශාස්ත්රාලිකයන් රොත්තක් ද ඍජු ව හෝ වක්‍ර ව මෙම උද්ඝෝෂනයට සහයෝගය දුන්නේ එය “යහ පාලනයක්” සඳහා වන ව්‍යාපාරයක් බවට පාරම් බාමිනි.
මෙම වහන්තරාවට පිටුපසින්, රාජපක්ෂ ඉවත් කිරීමේ සිරිසේනගේ උද්ඝෝෂනයට එක්සත් ජනපදය හා එහි කලාපීය සගයා වන ඉන්දියාව විසින් පිටුබලය දුනි. රාජපක්ෂගේ ආඥාදායක පාලනයට විරුද්ධ නො වූ එක්සත් ජනපදය, චීනය තම ආධිපත්‍යයට නතු කරගැනීමේ ඉලක්කයේ කොටසක් ලෙස රාජපක්ෂට බීජිනය සමග තිබූ සමීප සබඳතාවන්ට හතුරු විය.
සිරිසේන හා ඔහුගේ එවක සගයා වූ අගමැති ධූරයට පත්කරන ලද වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ විදෙස් පිලිවෙත එක්සත් ජනපදයට වාසි වන පරිදි වෙනස් කල හ. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අත්හැර දැමූ ඔවුහු, ව්‍යවස්ථාවට 19වන සංශෝධනය ගෙන ආහ.
එහෙත් ඔවුන්ගේ සහයෝගිතාව පැවතුනේ ටික කලකි. ඔවුන්ගේ ඊනියා සමගි ආන්ඩුව, සුභසාධන හා සහනාධාර කපන හා පුද්ගලීකරනය ක්‍රියාවට දමන ජාමූඅ නියෝග කරන ලද පිලිවෙත් ක්‍රියාවට දැමීම හේතුවෙන්, කම්කරුවන් හා දුගීන් අතර අපකීර්තියට පත්වීම නිසා, ඉක්මනින් ම ඉරිතලා ගියේය. කම්කරුවන්, ගොවීන් හා සිසුන්ගේ අරගලවලට පොලිස් හා මිලිටරි මර්දනය මුදාහැරීම හේතුවෙන් විරෝධය තවත් වැඩුනි.
2018 පෙබරවාරි මාසයේ පලාත් පාලන මැතිවරනයේ දී සිරිසේනගේ පක්ෂය තුන්වන තැනටත් එජාපය දෙවන තැනටත් පත්කරමින් අත්කර දෙනලද අන්ත පරාජය තුල පාලක සභාගය කෙරෙහි පැවති මහජන විරෝධය පිලිබිඹු වුනි. රාජපක්ෂගේ නව පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලපොපෙ) බොහෝ දෙනා ඡන්දය දුන්නේ, ආන්ඩුවට පවතින විරෝධය පෙන්වීම පිනිස ය.
සිරිසේන ඔහුගේ පක්ෂය පාලක සභාගයෙන් ඉවත් කරගත්තේ ය. යලි-කාන්ඩ ගැසීමක් අපේක්ෂාවෙන් පසුගිය වසරේ ඔක්තෝබරයේ දේශපාලන කුමන්ත්රනයක් සිදුකරමින් ඔහු, වික්‍රමසිංහ අගමැති ධූරයෙන් නෙරපා එම තනතුරට ඔහුගේ දරුනු ප්‍රතිමල්ලවයා ලෙස සිටි රාජපක්ෂ පත්කලේ ය. එහෙත් ඔහුගේ උපාමාරුව අසාර්ථක විය. රාජපක්ෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහයෝගය දිනාගැනීමට අසමත් වූ තැන, සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසිරවීම ව්‍යවස්ථා-විරෝධී බව, ශ්‍රේෂ්ඨාධිකරනය නිගමනය කලේ ය. එක්සත් ජනපදය ද රාජපක්ෂ යලි පත්කිරීමට විරුද්ධ වූ තත්වය තුල වික්‍රමසිංහ යලි අගමැති ලෙස පත්කිරීමට සිරිසේනට බලකෙරුනි.
පාලක ප්රභූවේ දක්ෂිනාංශික හැරීම අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයේදී තියුනු ලෙස ප්‍රකාශයට පත් විය. ආරක්ෂක සංස්ථාපිතය පමනක් නො ව, සිරිසේන, වික්‍රමසිංහ හා රාජපක්ෂ ඇතුලු දේශපාලන නායකයන් එලඹෙන ප්‍රහාර පිලිබඳ ව කල්තබා හොඳින් ම දැන සිටියත් ඒ කෙරෙහි අන්ධ ව සිටි බවට සාක්ෂි එලිමහනට පැමිනෙමින් තිබේ.
විෂඝෝර හදිසි නීති පැනවීමට හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සක්‍රීය කිරීමට එම ප්‍රහාරය ඩැහැගත් සිරිසේන හා වික්‍රමසිංහ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි දෙමල-විරෝධී වාර්ගික යුද්ධය අවසන් වීමෙන් මෙපිට සිදු කෙරෙන ප්‍රධාන මෙහෙයුම් සඳහා මිලිටරිය හා පොලීසිය දිගේලි කල හ. රාජපක්ෂගේ ශ්‍රීලපොපෙ, දෙජාස හා ජවිපෙ ඇතුලු සියලු විරුද්ධ පක්ෂ මෙම පියවරයන්ට සම්පූර්නයෙන් සහයෝගය දුන් හ. ඔවුන්ගේ සැබෑ ඉලක්කය වන්නේ ඉස්මතු වන කම්කරු පන්තියේ අරගල යි.
සිරිසේන දැන් “කදිමයි” කියන ව්‍යවස්ථාව හඳුන්වා දෙන ලද්දේ, 1978 විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කල ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසිනි. නව ක්‍රමය යටතේ, පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත්කරමින්, ජනාධිපතිගේ අතට පුලුල් බලතල ගොනුකරන ලදී. ජයවර්ධනගේ ගනන් බැලීම වූයේ කම්කරු පන්තියේ විරෝධය රුදුරු ලෙස තලා දමමින් ලාබ ශ්‍රම වේදිකාවක් නිර්මානය කොට, විවෘත වෙලඳපොල පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා ශක්තිමත් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ගැනීමයි.
රාජපක්ෂගේ පාලන සමයේ 2010 දී සම්මත කරගත් 18වන සංශෝධනය, ජනාධිපති ධුරයට පත්වන්නෙකුට තරඟ කල හැකි වාර ගනන මත පැවති සීමාව ඉවත් කලේ ය. ඉහල නිලධාරීන් හා විනිසුරුවන් පත්කිරීමේ දී ජනාධිපතිට එමගින් වැඩි බලතල ලබාදුන්නේ ය. 19වන සංශෝධනයෙන් එය අහෝසි කෙරුනි.
19වන සංශෝධනය අහෝසි කිරීම සිරිසේන විසින් පසුගිය සතියේ ඉල්ලා සිටි විට, රාජපක්ෂ තම 18වන සංශෝධනය ආරක්ෂා කරමින් වහා ම එය සාදරයෙන් පිලිගත්තේ ය. ආන්ඩුවට එරෙහිව පවතින විරෝධය ගසාකෑමටත්, “ස්ථාවර හා ශක්තිමත් ආන්ඩුවක්” යන සටන් පාඨය යටතේ බලයට ඒමටත් ඔහුගේ පක්ෂය උත්සාහ කරයි.
වික්‍රමසිංහ ද සිරිසේනගේ උද්ඝෝෂනයට ඒ හා සමාන ප්‍රතිචාරයක් දක්වා ඇත. පසුගිය සතියේ පැවති ප්‍රසිද්ධ රැස්වීමක දී ඔහු ප්‍රකාශ කලේ: “රියදුරන් දෙදෙනෙක් විසින් පදවද්දී ආන්ඩු වාහනය හැසිරවීම අසීරු යි. එක් රියදුරෙක් වේගය වැඩිකිරීමට උත්සාහ කරද්දී, අනෙක් රියදුරා ඔහු ව නැවැත්වීමට උත්සාහ කලා.”
දහනම වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර විධායක ජනාධිපති ක්‍රමය ඇති කරන ලෙස සිරිසේනගේ ඉල්ලා සිටීම කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමකි. ඉන් පෙන්නුම් කරන්නේ ගෝලීය පසුබෑම සහ කම්කරුවන් හා දුගීන් අතර වර්ධනය වන අතෘප්තිය විසින් ඇතිකරන ලද ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ, පාලක ප්රභූවේ සියලු කන්ඩායම් ධනපති පාලනය රැකගැනීම සඳහා පොලිස් රාජ්‍යයක් දෙසට වේගයෙන් ගමන් කිරීමයි.
Follow us on