පෙබරවාරි අග ඉන්දියාව හා පකිස්තානය මහා යුද්ධයක් කරා කොතරම් සමීප වූයේද යන්න වාර්තාවලින් පෙන්නුම් කෙරෙයි
Reports underscore how close India and Pakistan came to all-out war in late February
කීත් ජෝන්ස් විසිනි, 2019 මාර්තු 20
දකුනු ආසියාවේ ප්රතිමල්ල න්‍යෂ්ටික බලයන් වන ඉන්දියාව හා පකිස්තානය මහා පරිමාන යුද්ධයක් කරා පසුගිය මස අවසානයේ කොතරම් සමීප ව සිටියේ ද යන්න පිලිබඳව මාර්තු 17දා ප්‍රසිද්ධ කල රොයිටර් වාර්තාවකින් හා ඉන්දීය නාවික හමුදා ප්‍රකාශයකින් තවදුරටත් ආලෝකයක් විහිදුවයි.
ඉන්දීය යුද යානා පකිස්තානයට බෝම්බ හෙලීමෙන් ද ඉන්දියාවේ පාලනය යටතේ පවතින කාෂ්මීරයට ජෙට් ප්‍රහාර එල්ල කිරීමට අනදෙමින් පකිස්තානය සිදුකල ප්‍රතිප්‍රහාර දීමෙන් ද --ඉන් ඉන්දියානු ජෙට් යානයක් බිම හෙලමින් ගුවන් සටනක් ජනිත විය--පසු උද්ගතවූ යුද අර්බුදයේ උත්සන්නිය මධ්‍යයේ, නව දිල්ලිය “අවම වසයෙන් මිසයිල හයක” ප්‍රහාරයක් පකිස්තානයට එල්ල කිරීමට තර්ජනය කල බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
එයට පිලිතුරු වසයෙන් ඉස්ලාමාබාදය දිවුරා ප්‍රකාශ කලේ පකිස්තානයට එරෙහි ව මුදා හැරෙන සෑම එක් මිසයිලයකට ම ඉන්දියාවට තමන් මිසයිල තුනක් එල්ල කරන බව යි. “ඔබ එක් මිසයිලයක් එල්ල කරන්නේ නම් අපි තුනක් එල්ල කරන බව කීවෙමු” යි නම් සඳහන් නො කල පකිස්තාන කැබිනට් ඇමතිවරයෙක් රොයිටර් පුවත් සේවයට කීවේ ය. “ඉන්දියාව කරන්නේ කුමක් ද අපි එයට තුන් ගුනයකින් ප්‍රතිචාර දක්වනවා.”
“ඉන්දියාව හා පකිස්තානය එකිනෙකාට මිසයිල එල්ල කිරීමට තර්ජනය කරගත් බව ප්රවෘත්ති මූලාශ්‍රවලින් හෙලිවේ” යන මාතෘකාවෙන් යුතු රොයිටර් වාර්තාව “බටහිර රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ, නව දිල්ලියේ, ඉස්ලාමාබාදයේ හා වොෂින්ටනයේ ආන්ඩු මූලාශ්‍රවලින්” ලබා ගත් තොරතුරු මත පදනම් වේ.
එම රොයිටර් වාර්තාවට අනුව, ඉන්දියාව හා පකිස්තානය එකිනෙකාට පහර දීමට යොදා ගන්නේ යයි කියූ “මිසයිල සාම්ප්‍රදායික අවිවලට වැඩි යමක් බවට අදහසක් නො වී ය.” එහෙත් අන්‍යොන්‍ය තර්ජන “වොෂින්ටනයේ, බීජිනයේ හා ලන්ඩනයේ නිල කවයන් තුල සන්ත්රාසයක් නිර්මානය කලේ ය.”
එක්සත් ජනපදය, චීනය හා අනෙකුත් බලයන්ගේ මැදිහත් වීම නිසා පමනක් තත්වය පාලනයෙන් පිටපැනීම වැලැක්වුනු බවට රොයිටර් ලිපිය තර්ක කරයි. “අලුත්ම අර්බුදයෙන්, න්‍යෂ්ටික ව සන්නද්ධ ප්රතිමල්ලවයන් අතර වරදවා තේරුම් ගන්නා සංඥාවන් හා පුරෝකථනය කල නො හැකි අවස්ථාවන් නිසා ඉමහත් අන්තරායන් පැනනැගිමේ ඉඩ මතු වී ඇත.”
ආරක්ෂක භටයන් 40ක් මරා දමමින් පෙබරවාරි 14දා ජම්මු කාෂ්මීරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා ඉස්ලාමාබාදය වගකිව යුතු යයි නව දිල්ලිය ප්‍රකාශ කිරීමත් සමග ඇරඹුනු යුද අර්බුද සමය තුල, පකිස්තාන වෙරලෙන් ඔබ්බේ උතුරු අරාබි මුහුදේ ප්‍රහාරක ස්ථානවලට ඉන්දීය භටයන් විශාල වසයෙන් රැස්වූ බව ඉන්දීය නාවික හමුදාව හෙලිදරවු කර ඇත.
දෙමසක් තිස්සේ දිග්ගැස්සුනු “යුද අභ්‍යාසයකට” ඔවුන් ඒ වන විටත් සහභාගි වෙමින් සිටි නිසා, ඉන්දියාවට පකිස්තානය වියරු වැට්ටවීම සඳහා සිය එකම ක්‍රියාකාරී යුද ගුවන් යානා ගෙනයන නෞකාව, න්‍යෂ්ටික සබ්මැරීන හා තවත් නෞකා ද සබ්මැරීන හා ගුවන් යානා ද සමගින් “ප්‍රධාන (නාවික) සටන් ඒකක” ක්ෂනික ව දිගේලි කිරීමට හැකි වූ බවට ඉන්දීය නාවික හමුදා මාධ්‍ය නිවේදනයක් උදම් අනයි.
පෙබරවාරි 14 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, “පාබල, මුහුද යට හා ගුවන යන අංශ තුනේ ම ඉන්දීය නාවික හමුදාවේ බලගතු සුපිරි භාවය නිසා පකිස්තාන නාවික හමුදාවට මාක්රාන් වෙරලට සීමා වී විවෘත සාගරයට නො පැමින සිටීමට බල කෙරුනු” බව ඉන්දීය නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඩී. කේ. ෂර්මා ප්‍රකාශ කලේ ය.
ඉන්දියාව පාලනය කරන කාෂ්මීර කොටස තුල ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකාරීත්වය ප්‍රවර්ධනයට දෙන සෑම සහයෝගයක්ම නතර කරන ලෙස ඉස්ලාමාබාදයට දීර්ඝ කාලයක් තිස්සේ අනවන ඉන්දියාව, මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් පකිස්තානයට දඬුවම් කරන බවට සපථ කිරීමෙන් පසු දෙපාර්ශවය ම තම භටයන් පොදු දේශසීමාවට වහා ඒකරාශී කල බව කලින් තියාම දැන සිටි කරුනකි.
ඉන්දීය යුද යානා පකිස්තානය තුලට ප්‍රහාර එල්ල කල පෙබරවාරි 25දා රාත්‍රීයේ සිට බිමහෙලූ ඉන්දීය ගුවන් යානයේ නියමුවා ආපසු භාරදීම මගින් තත්ත්වය සමනය කිරීමට ඇති කැමැත්ත ඉස්ලාමාබාදය සංඥා කල මාර්තු 1දා දක්වා යුද අර්බුදය එහි උපරිම තලයට ලඟා වීමෙන් පසුව, ඉන්දියාවේ හා පකිස්තානයේ ප්රමුඛ දේශපාලන හා මිලිටරි නායකයන් ප්‍රසිද්ධියේ සැඩපරුෂ යුද තර්ජන එල්ල කරගත්තේය.
එක් පාර්ශවයක් වත් ප්‍රකාශයට පත් නො කල ද, ඒ සමයේ පුලුල් ව පිලිගත් දෙය වූයේ රටවල් දෙක ම තම හදිසි යුද සැලසුම් ක්‍රියාවට දමා තිබුනු බව යි.
එහෙත්, ඉරිදා [මාර්තු 17දා] හෙලිදරවු වුනු තොරතුරු වලින් බලවත් අනතුරු ඇඟවීමක් ලැබී තිබේ. ඉන් අවධාරනය වන්නේ, 1971 පටන් අන් කවරදාවත් නො වූ පරිමානයේ රුදුරු විනාශකාරී යුද්ධයක් අද්දරට යන්තම් සති තුනකට පෙර ඉන්දියාව හා පකිස්තානය සමීප වූ බව යි. ජාත්‍යන්තර මාධ්‍ය වැඩි දෙයක් සඳහන් නොකලත්, ඉතිහාසයේ පලමු වතාවට න්‍යෂ්ටික ව සන්නද්ධ බලයන් දෙකක් එකිනෙකාට යුද යානා යොදාගෙන පහර දී මිසයිල ප්‍රහාර එල්ල කරගැනීමට තර්ජනය කර ගත්තේය යන කරුන සත්‍යයක් ලෙස පවතී.
අර්බුදය පිපිරුනු වේගය පැහැදිලිවම දෙපාර්ශවය චකිතයට පත්කලේ ය.
ඉන්දියානු ආන්ඩුවේ හා මිලිටරියේ නිලධාරීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට මැලි වුවත්, සෑම කරුනක් විසින් ම පෙන්නුම් කෙරුනේ, පෙබරවාරි 27දා ඉන්දීය කාෂ්මීරයට පහර දීම සඳහා ජෙට් යානා දුසිමක් යැවීම මගින් පකිස්තානය ගොඩනැංවූ ප්‍රතිප්‍රහාරයේ පරිමාව හා නිර්භීතකම විසින් ඔවුන් ට පියවරක් පසුපසට ගැනීමට සිදු වූ බව යි.
එතැන් පටන්, මහා පරිමාන යුද්ධයක් බවට පුපුරා යා හැකි ව තිබූ, මුලුමනින් ම පාහේ ඒ අද්දරට පැමිනි මෙම ප්‍රතිප්‍රහාරය ඉස්ලාමාබාදය විසින් සාධාරනීකරනය කර ඇත්තේ, ජම්මු කාෂ්මීරයේ සෑම ප්‍රධාන ත්‍රස්තවාදී ප්‍රහාරයකට ම පසුව පකිස්තානයට මිලිටරිමය ලෙස පහර දීමට “අයිතියක්” ඇතැයි නව දිල්ලිය අවධාරනය කිරීමට දරන උත්සාහයන්ට තමන්ට පිලිතුරු නො දී සිටිය නො හැකි ය යනුවෙන් ප්‍රකාශ කරමිනි.
තම යුද යානා පකිස්තාන ගුවන් සීමාව ආක්රමනය කල විට පුපුරා ගිය ගුවන් සටනේ දී සතුරු යුද යානයක් බිමහෙලූ බව ඉන්දියාව කියා සිටී. එහෙත් ජාත්‍යන්තර ව මෙම කියාපෑමට දී ඇත්තේ විශ්වාසනීයත්වයක් නැත. මෑත ගැටුම ගැන අදහස් දක්වා ඇති අන් බොහෝ වාර්තා මෙන් රොයිටර් වාර්තාව ද එය ගැන සඳහන් කර නැත.
චීනය සීමා කිරීමටත්, අවශ්‍ය නම් එය මිලිටරිමය ලෙස වැලැක්වීමටත් පෙන්ටගනයට ඇති සැලසුම් තුල ඉන්දු-එක්සත් ජනපද මිලිටරි මූලෝපායික සන්ධානය ඉටුකරන වැදගත් ක්‍රියාකලාපයට ද ඒ හේතුවෙන් ඉන්දියාවට එහි මිලිටරි වෙඩිබලය වර්ධනය කරගැනීම සඳහා උදවු කිරීම පිනිස වොෂින්ටනයට පවතින අධිෂ්ටානයට ද අවධානය යොමු කරමින් නිව් යෝක් ටයිම්ස් පත්‍රය “ඉන්දියාව ගුවන් සටනින් පකිස්තානයට පරාජය වූ පසු එහි ‘බලවත්’ මිලිටරිය පිලිබඳව ප්‍රශ්න මතු වේ” යන හිසින් ප්‍රධාන ලිපියක් පලකලේ ය.
බ්‍රිතාන්‍ය පාලනය යටතේ කුමාර රාජ්‍යයක් ලෙස පැවති,පකිස්තානය විසින් පාලනය කරන නමුදු ඉන්දියාව හිමිකම් කියන කාෂ්මීරයේ රාජ්‍යයෙන් ඔබ්බට ගොස් පකිස්තානය ඇතුලතට ඉන්දියානු බෝම්බ ප්‍රහාරය එල්ලවූ පසුව ප්‍රදර්ශනය වූ හුදකලා භාවය විසින් පකිස්තාන ප්රභූව කලඹනු ලැබී ය. ඉන්දියානු ගුවන් ප්‍රහාරය යුද්ධයකට සමාන වුව ද ලෝකයේ බොහෝ ප්‍රධාන බලයන් එයට පිටුබලය දුන් අතර, ඉස්ලාමාබාදයේ “සදාකාලික මිත්‍රයා” වන චීනය පවා එය හෙලාදැකීමට හෝ විවේචනය කිරීමට වත් ඉදිරිපත් නොවීය.
ඉන්දියාව හා පකිස්තානය තවමත් ගැටුමේ
සති තුනක් ගෙවුන ද තත්වය දරුනුලෙසම පවතී.
ඉන්දීය හා පකිස්තාන කාෂ්මීර කලාප වෙන් කරන පාලන රේඛාව (එල්ඕසී) හරහා සිදු වූ වෙඩි තැබීමකින් මාර්තු 18දා උදෑසන පූර්ව භාගයේ ඉන්දියානු සෙබලෙක් මැරී තවත් දෙදෙනෙකුට තුවාල සිදු විනි. පෙබරවාරි 14දා සිදු වූ පුල්වාමා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පටන් දිනපතා දේශසීමා හරහා වෙඩි තබාගැනීම් සිදු ව ඇත. එය තත්වය තවත් උග්‍රවීමකි. 2016 ශීත සමයේ ඉන්දියානු හා පකිස්තාන හමුදා අතර පාලන රේඛාව ඔස්සේ පවත්වාගෙන ගිය අස්ථාවර සාමය බිඳ වැටුනු තැන් පටන්, සටන් විරාම කඩකිරීම් දහස් ගනනක් ද සිවිල් වැසියන් හා ආරක්ෂක භටයන් දුසිම් ගනනක් මරනයට පත්වීම ද දෙපැත්තෙන් ම වාර්තා වී ඇත.
ඉස්ලාමාබාදය නිදර්ශනාත්මක ලෙස තම ඉල්ලීම්වලට නැමී “ත්රස්තවාදයට” සහයෝගය දීම නතර කරන තෙක්, දීර්ඝ-කාලයක් තිස්සේ නැවතී ඇති “සාම ක්‍රියාවලිය” අරඹනවා තබා පකිස්තානය සමග ඉහල පෙලේ සාකච්ඡා කිරීමක් වත් නො කරන්නේ ය යන ආස්ථානයේ නව දිල්ලිය තදින් සිටින අතර එම ආස්ථානයට විරුද්ධ පක්ෂවල පලල් සහයෝගය ලැබේ.
තත්ත්වයේ මෙම පුපුරනසුලු භාවයට ආන්ඩු දෙක ම මුහුන දෙන ගැඹුරු අර්බුදය එකතුවී පවතී.
නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව පකිස්තානය සමග ගැටුම ඇවිලවීම සඳහා පුල්වාමා ප්‍රහාරය ඩෑහැ ගත්තේ ය. එසේ කලේ මහා විරැකියාව හා සමාජ අසමානතාව පලල්වීම කෙරෙහි මහ ජනයාගේ අවධානය ඉවතට හැරවීමටත්, අප්‍රේල්-මැයි මාසවල පැවැත්වෙන මහා මැතිවරනයේ දී සිය ප්‍රතිපල ඉහල දමා ගැනීම සඳහා එහි හින්දු දක්ෂිනාංශික දේශපාලන පදනම මෙහෙයවා ගැනීමටත් සඳහාය.
ආන්ඩුවේ දේශපාලන සන්නාමයෙහි කේන්ද්‍රයේ පවතින්නේ, 2016 සැප්තැම්බර් මාසයේ දේශසීමා හරහා ගොස් පකිස්තානයට විශේෂ හමුදා කඩා පැනීමකට නියෝග කිරීම හා දැන් ගුවන් ප්‍රහාරවලට නියෝග කිරීම මගින් මෝදි පකිස්තානය එරෙහිව ක්‍රියා කිරීමේදී “මූලෝපායිකව සිමාවීමේ ” විලංගුවලින් ඉන්දියාව නිදහස් කරගත්තේ ය යන්නයි.
ඉන්දියාවේ සංගත මාධ්‍ය හා මිලිටරි-මූලෝපායික චින්තන පර්ෂද, ඉස්ලාමාබාදය සමග ගැටුමේ දී නව දිල්ලිය “ක්‍රීඩාවේ නීති” යලි ලියා ඇතැයි එකපැහැර හඬ තලන අතර-- තවදුරටත් යුද ගිනි ඇවිලවීම උපද්‍රවකාරී වනු ඇතැයි නිගමනය කලද-- කාෂ්මීරය තුල මීලඟට ප්‍රධාන ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවුවිට පකිස්තානයට මිලිටරිමය වසයෙන් පහර දීම සඳහා නව දිල්ලිය මත යෝධ පීඩනයක් යෙදෙනු ඇත.
දශක ගනනාවක් දේශපාලන උපාමාරු දැමීමේ හා රුදුරු රාජ්‍ය මර්දනය නිසා විරසකවූ මුස්ලිම් බහුතරයක් වෙසෙන ජම්මු-කාෂ්මීරය තුල, හින්දු අධිපතිවාදී බීජේපී ආන්ඩුවට එරෙහි මහජන කෝපය ද යුද්ධය කෙරෙහි පවතින භීතීන් ද ප්රකටය.
පකිස්තානයේ නව මසක් වයසැති ඉස්ලාමීය ජනතාවාදී ආන්ඩුව ද අර්බුදයේ වෙලී ඇත. ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවීම වලක්වා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන එය, ජාමූඅ-බලාත්මක කරන ලද කප්පාදු පිලිවෙත් රුදුරු ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ආයෝජකයන් ව ආකර්ෂනය කරගනිමින් සිටී. තව ද ඉම්රාන් ඛාන්ගේ ආන්ඩුව මිලිටරියට ගැතිව සිටී. මිලිටරියට ඇති ඉමහත් ආර්ථික වරප්‍රසාද සහ රටෙහි විදෙස් හා ජාතික ආරක්ෂක පිලිවෙත් නීර්නය කිරීමේ ලා එය ප්රමුඛ තැනක සිටීම බැඳී ඇත්තේ ඉන්දියාව සමග මූලෝපායික ප්රතිවාදීකමත් පකිස්තානය විනාශයෙන් වලක්වා ගැනීමේ “අසිපත් හස්තය” මිලිටරිය ය යන පිලිගැනීමත් සමග ය.
වොෂින්ටනයේ ගිනිදවන භූමිකාව
මෑත රොයිටර් ලිපියේ මූලික කියාපෑමක් වන්නේ, යුද්ධය කරා ලුහුටා යාම වැලැක්වීමේ දී ඉස්ලාමාබාදය හා නව දිල්ලිය මත බලපෑම යොදමින් ප්රමුඛ භූමිකාව ඉටුකලේ වොෂින්ටනය බව යි.
මෙම විස්තරයෙන් නො තකා හැරෙන්නේත් ආවරනය කෙරෙන්නේත්, පසුගිය මාසයේ යුද අර්බුදය වේගවත් කිරීමේලා ද ඉන්දු-පකිස්තාන මූලෝපායික ප්රතිමල්ලතාව තීව්ර කිරීමේ දී ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පොදුවේ ඉටුකර ඇත්තා වූ හා ඉටු කරන්නා වූ ගිනිඅවුලුවන භූමිකාව යි.
චීන-විරෝධී ඉන්දු-එක්සත් ජනපද මූලෝපායික හවුල්කාරීත්වයේ ශක්තිය නව දිල්ලියට ප්‍රදර්ශනය කිරීමට උත්සුක වූ ට්‍රම්ප් පරිපාලනය, දින කිහිපයකට පෙරාතුව ම පකිස්තානය මත ඉන්දියාව එල්ල කල ඉවක් බවක් නැති, අත්‍යන්තයෙන් නීති-විරෝධී ප්‍රහාරයට ප්‍රසිද්ධියේ කොල එලිය දුන්නේය. පෙබරවාරි 27දා ගුවන් ගැටුමෙන් පසු එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගැටුම් නවතන ලෙස දෙපාර්ශවයට ම පීඩනය යෙදුව ද ඉන්දියානු ගුවන් ප්‍රහාරවල සුජාත භාවය දිගට ම අනුමත කල ඔවුහු, “ත්‍රස්තවාදී ක්ෂේම භූමි” බිඳ දැමීම මගින් ද්වි-පාර්ශවික සබඳතා වර්ධනය කරගැනීමේ වගකීම පවතින්නේ පකිස්තානයට ය යන නව දල්ලියේ ඇනවීම් ප්රතිරාවය කල හ.
අතිමූලික ව ගත් කල, චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික ප්‍රහාරයේ පෙරමුනු රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කරගැනීමේ සිය ධාවනයේ දී, වොෂින්ටනය දකුනු ආසියාවේ “ත්රස්තය තුලනය කිරීම” පෙරලා දමා ඇත්තේ, දියුනු ආයුධ හා අනෙකුත් මූලෝපායික වාසි නව දිල්ලියට තොග පිටින් සම්පාදනය කරමිනි. එයට ප්‍රතිචාර ලෙස පකිස්තානය හා චීනය ඔවුන්ගේ මූලෝපායික බැඳීම් ශක්තිමත් කරගෙන තිබේ.
මෙහි ප්‍රතිඵලය වසයෙන්, ඉන්දු-පකිස්තාන හා එක්සත් ජනපද-චීන ගැටුම් වඩ වඩාත් එකට වෙලී ඇත්තේ ගැටුම් දෙකට ම නව පුපුරනසුලු බලයක් එකතු කරමිනි.
කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි
Follow us on