ව්‍යාජ පොරොන්දු මතින් වැවිලි සමාගම මිරිස්හේන රබර් කම්හල ක්‍රමානුකූලව වසා දැමීමට සැරසෙයි
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මැයි 18
පසු ගිය අප්‍රේල් මාසයේ බුලත්සිංහල මිරිස්හේන රබර් වත්ත සහ කම්හල වසා දැමීමට වතු පරිපාලනය ගෙන තිබු තීරනයට එරෙහි ව කම්කරුවන් කල උද්ඝෝෂනයෙන් පසු වසා දැමීම වෙනුවට ප්රතිව්යුහකරනය නමින් වැඩපිලිවෙලක් ක්‍රියාවට දමන බව සමාගම ප්‍රකාශ කර ඇත. කම්කරු උද්ඝෝෂනය මධ්‍යයේ කම්හල හා වත්ත වසා දැමීම වහා සිදු නොවුවත් තර්ජනය එලෙසම පවතී. ඉන් කම්කරුවන්ගේ රැකියා වලට එල්ලවිය හැකි අනතුර ද එලෙසම පවතී.
හොරන වැවිලි සමාගමට අයත් අක්කර 1200ක පමන වපසරියකින් යුත් මෙම වතු යායේ ක්‍රේප් රබර් නිපදවනු ලැබේ. සමාගමට අනුව වත්තේ 200කට අධික කම්කරුවෝ සේවය කරති.
කම්හල වසා නොදමන බවත් නමුත් කිලෝ ග්‍රෑම් 800ක කිරි ඵලදාවක් නොමැති ව කිරි ඇඹරීම අලාභ නිසා ඔට්ටපාලු පමනක් කම්හලේ අඹරන බවත් සමගම ප්‍රකාශ කර තිබේ. වත්තෙන් රැස් කර ගන්නා රබර් කිරි සමාගමට අයත් ඇල්වැටිකන්ද රබර් කම්හලට යවන බව කම්කරුවෙක් ප්‍රකාශ කලේ ය. වෘත්තීය සමිති සමාගමේ වැඩපිලිවෙල පිලිගෙන කම්කරුවන්ගේ උද්ඝෝෂනය නතර කර ඇතත් වත්තේ රබර් කිරි වෙනත් කම්හලකට යැවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කම්හල හා වත්ත වසා දැමීමට කලමනාකරනය කල්යල් බලන බව ය.
“රබර් කම්හල වසා දැමීමට විරුද්ධව බුලත්සිංහල වතු කම්කරුවෝ උද්ඝෝෂනය කරති” යන ලිපියෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පෙන්වා දුන් පරිදි වතු සමාගම රබර් කර්මාන්තයෙන් ලබන ලාභ ඛාදනයට ලක් වී ඇත. ඒ අනුව වැවිලි සමාගම උත්සහ දරන්නේ රබර් වගාවෙන් ඉවත් වී වඩා ලාභ දායී කටුපොල් වැනි වගාවන්ට යොමු වීමටයි. පරිසරයට අහිතකර බලපෑම් රැසක් එක් කරන කටුපොල් වගාවට ඇති පුලුල් විරෝධය යටපත්කොට එම වගාව ස්ථාපිත කර ගැනීම වැවිලි සමාගමේ අභිලාෂය ව ඇත.
“කිරි මිල අඩුයි කියලා රබර් ගස් අයින් කරලා කටුපොල් දාන්නයි හදන්නෙ. රබර් ෆැක්ටරිය වහන්න දෙන්න බෑ.” යැයි කම්කරු කාන්තාවක් පැවසුවා ය.
ඇගේ සැමියා කටුපොල් වගාවේ වැඩ කරද්දී අනතුරට පත්වූ සැටි ඇය ලෝසවෙඅ විස්තර කලා ය. “මගේ සැමියා කටුපොල් වගාවේ වැඩට ගිහින් කටුවක් ඇනුනා අතේ. කටුව ඇනිලා අතට සමාන්තර ව මැනික් කටුව ලඟින් ඇතුලට ම ගියා. කටුපොල් කටුවක් දබර ඇඟිල්ලක් තරම් දිගයි. ඒ කටුව ගන්න කිසිම ප්‍රථමාධාරයක් ලැබුනේ නෑ. කිසිම ශල්‍ය ප්‍රතිකර්මයක් සම්පාදනය වුනේ නෑ. සතියකට විතර පස්සෙ මමයි කටුව තියෙන තැනට උඩින් අත තද කරල ඒ කටුව ඇදල දැම්මේ. කට්ට එලියට ගත්ත හැටියේ ලේ විද්දා වේගයෙන්.”
ඇයගේ සැමියා වසර 15ක් කොලඹ විවිධ රැකියාවල යෙදී ඇත. ඔවුන්ගේ දරුවා ඉපදීමත් සමඟ පවුල සමඟ සමීප ව විසීමේ අවශ්‍යතාවය නිසා ඔහු වත්තේ වැඩට බැඳී වසර තුනක් සේවය කලේ ය. නමුත් මෙම අනතුරින් පසු නැවතත් ඔහුට කොලඹ රැකියාවට යාමට තීරනය කිරීමට සිදු විය.
වත්තේ බොහෝ තරුනයෝ තම පවුල්වලින් දුරස්ත ව කොලඹ හෝ පිලියන්දල කර්මාන්තශාලාවල හෝ වෙලඳසල්වල සේවය කරති.
වැවිලි කර්මාන්තයේ කාර්මික අනතුරු සුලභ දෙයකි. එහෙත් ආබාධවලට ලක්වන කම්කරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට කිසිදු විධි විධානයක් නැත. කටුපොල් වගාවේ දී තුවාල ලබන කම්කරුවන් තමන් විසින් ම වියදම් දරා ගෙන එම තුවාල සුව කර ගත යුතු ව ඇත.
කේ. සුමති මාරාන්තික කාර්මික අනතුරකට ගොදුරු වූයේ වයස අවුරුදු 16ක වියේ ෆැක්ටරියේ සේවය කරමින් සිටිය දී ය. මැෂිමකට අසු ව ඇගේ හිසේ සම එය තුලට ඇදී ගොස් මුලුමනින් ම කැපී ගොස් ඇත. එහි දී මොලයට සිදු වූ ආබාධ නිසා ඇගේ දෑත් ද වැඩකට යෙදිය හැකි ප්‍රානවත් බවක් නැත. වසරකට සිවු වතාවක් වෛද්‍ය උපදේශනය සඳහා ඇය හොරනට යා යුතු ය. මේ ගමන් වියදම් දරා ගනු ලැබෙන්නේ ඇය විසින්ම යි.
“අක්කට මේ අනතුර වෙලා දැන් අවුරුදු 15ක් වෙනවා. දැන් එයාට කසාදයක් කර ගන්නවත් රස්සාවක් හොයා ගන්නවත් විදියක් නෑ. එයාගේ මුලු අනාගතය ම මේ අනතුර නිසා අනාරක්ෂිත වුනා. නමුත් අනතුර සිදු වූ විට ගෙවනු ලැබූ රුපියල් ලක්ෂ දෙකක වන්දිය හැරෙන්න වෙන කිසිදු සමාජ ආරක්ෂනයක් ඇයට නෑ. ඒ මුදල් ඒ දවස්වල ම බේත් හේත්වලට වියදම් ව ගියා.” යි ඇයගේ සොහොයුරා පැවසී ය. ඔහු කුඩා සිල්ලර කඩයක් පවත්වා ගනිමින් අක්කාත් ඔවුන්ගේ මවත් රක්ෂා කරයි.
රුපියල් දහසේ වැටුප් අරගලයට මෙම වතු කම්කරුවන් සම්බන්ධ වුනේ කෙසේ ද යන්න විස්තර කරමින් කම්කරුවෙක් ප්‍රකාශ කලේ “පඩි රුපියල් 1000ක් ඉල්ලලා ස්ට්‍රයික් කලේ දවස් දෙකක් විතරයි. ඒත් ඉහල වත්තේ ස්ට්‍රයික් එක දිගට ගියා. “ යි යනුවෙනි.
ලංකා කම්කරු සංගමයේ (සීඩබ්ලිව්සී) හා ශ්‍රී ලංකා නිදහස් වතු සේවක සංගමයේ ශාඛා ඇතුලු සමිති මෙම වත්තෙහි ඇත. සමස්ත වතු කම්කරුවන් ගේ ඒකාබද්ධ අරගලයක් දියත් කිරීම වලක්වමින් ඒ ඒ වතුවල කම්කරුවන් ගේ අරගල හුදෙකලා කිරීමට වෘත්තීය සමිති ගත් ක්‍රියා මාර්ග මේ වත්තේ ද ක්‍රියාත්මක විය.
දෙසැම්බර් මාසයේ දින නවයක් ලක්ෂයක් කම්කරුවන් වර්ජනය කරන විට සීඩබ්ලිව්සී ඇතුලු සමිති මැදිහත්වී එය නතර කලේය. මිරිස්හේන වත්තේ සමිති අරගලය දින දෙකක් යනවිටම නතර කර දැමුවේය. එම සමිති ශාඛා හා මවු සමිති ක්‍රියා කරන්නේ සමාගම්වල උවමනාවන්ට අනුව මිස කම්කරුවන්ගේ අයිතීන් රැකීමට නොවේ. කම්කරුවන්ගේ විරෝධය නොතකා වෘත්තීය සමිති විසින් වතු වර්ජනය පාවා දෙනු ලැබුවේ රුපියල් 720ක දෛනික වැටුපකට එකඟවෙමිනි.
සොච්චම් වැටුප ගැන ඔහු මෙසේ කීවේය: “රුපියල් 700ක් මදි. කවුද කියන්නෙ ඒ ගාන ඇති කියලා. මමයි අපේ පවුලයි දුවයි ඔක්කොම වතු කම්කරුවන් විදියට වැඩ කරලා මාසික ව රුපියල් 20,000ක් පමන සොයනවා. කෑම බීමවලට ම 15,000ක් විතර වියදම් වෙනවා. කොහොම හරි ඉතිරි ගර ගන්න මුදලක් මඟුල් ගෙයක්, උපන් ගෙයක් වුනොත් එව්වට වියදම් කරන්න වෙනවා.” යි ඔහු පිලිතුරු දුන්නේ ය.
කම්කරුවන්ගේ සුභසාධනයට පැවති සීමිත සේවාවන් පවා කප්පාදු කර ඇත. වත්තේ කලින් වාට්ටු හතරකින් සමන්විත රෝහලක් විය. එහි කාන්තාවන්ට වෙන ම වෙන් වූ වාට්ටු පැවතුනි.
වයස අවුරුදු 63ක් වන කම්කරුවකු පැවසුවේ 1957 දී තමා ඉපදුනේ එම රෝහල් වාට්ටුවක බවයි. දැන් අත හැර දමා වල් වැදී ගොස් ඇති එම රෝහලට සතියකට එක දිනක් පමනක් වෛද්‍යවරියක පැමිනෙන බව ඔහු පැවසුවේ ය. හදිසියේ ප්‍රතිකාර ලබා ගත යුතු රෝගයක් වැලඳුනේ නම් රෝගියා ආසන්න නගර වන බුලත්සිංහල හෝ හොරන රෝහලකට යා යුතු ය. සර්ප විෂට ප්‍රතිකාර බුලත්සිංහල රෝහලේ නොමැත. එවන් විටක දී රෝගියා විනාඩි 40ක් පමන ගත වන ගමනකින් හොරන රෝහලට පැමිනිය යුතු ය.
මිරිස්හේන වත්තේ කම්කරුවන් සීමිත සහන පවා කප්පාදුවට ලක්ව දැන් රැකියා වලටද තර්ජනය එල්ලවන කොන්දේසි තුලට වැටී ඇත. මෙය තේ, රබර් හා පොල් වතු කර්මාන්තයේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් පමනක් නොව ධනපති අර්බුදය තුල සමස්ත කම්කරු පන්තියම මුහුන දෙන කොන්දේසි පෙන්නුම් කරයි. ලෝකයේ සෑම රටකම මෙන්ම ලංකාවේ ද කම්කරුවන්ට ධනපති ක්‍රමය තුල විසඳුමක් නැත.
Follow us on