ගොගොල්: සංවත්සරික උපහාරයකි

ලියොන් ට්‍රොට්ස්කි

සුප්‍රකට රුසියානු සාහිත්‍යධරයෙකු වූ නිකොලායි වසිලියෙවිච් ගොගොල්ගේ 210වෙනි ජන්ම සංවත්සරය මාර්තු 31 දිනට යෙදී තිබුනි. ඔහුගේ 50වෙනි ගුනානුස්මරනය නිමිත්තෙන් 1902 දී රුසියානු බසින් රචිත මේ ලිපිය සිංහලට නැඟුනේ අයි. ඒ. ලැංග්නාස්ගේ ඉංග්‍රිසි පරිවර්තනයෙනි (Gogol: An Anniversary Tribute); උපුටා ගැනුනේ, අර්වින් හෝව් විසින් සංස්කරනය කෙරුනු The Basic Writings of Trotsky (1963) නමැති කෘතියෙනි.

පහත පලවන ලිපියෙහි අක්ෂර වින්‍යාසය පරිවර්තකගේ අභිමතය අනුව සිදු කර ඇත.

***

නිකොලායි වසිලියෙවිච් ගොගොල් (1809-1852)

ගොගොල් 1809 දී උපත ලැබ 1852 දී මිය ගියේ ය. ඔහුගේ ජීවිතය පැතිරුනේ, සාහිත්යික කර්තව්‍යයන් විසින් අපේක්ශා කෙරුනාට වඩා බෙහෙවින් අඩු කාලයක් හෙවත් වසර හතලිස් තුනකි. එහෙත්, මෙකී කෙටි, ශෝකාකූල ජීවිතය තුල ඔහුගේ මස්තකප්‍රාප්තිය ඉමහත් ය.

ගොගොල් ප්‍රාදුර්භූත වීමට පෙර, රුසියානු සාහිත්‍යය පවතින්ට තැත් කලා පමනි; ඔහුගේ ඇවෑමෙන්, එය පවතී. රුසියානු ජීවන චර්යාව සමඟ එය සදහට ම බද්ධ කිරීම මගින් ඔහු අපේ සාහිත්‍යයට පැවැත්මක් ලබා දුනි. මේ අර්ථයෙන්, ගොගොල්, [විසේරියන්] බෙලින්ස්කි බුද්ධිමය ඇපකාර ගුරුවරයා වූ යථාර්ථවාදී හෝ ස්වභාවවාදී ගුරුකුලයෙහි පීතෘවරයා විය.

ගොගොල්ට හා බෙලින්ස්කිට පෙර, අපේ ජීවිතයත් ඉන් පැන නැඟි මතිමතාන්තරත් එක් මාර්ගයක ගිය අතර අපේ කාව්‍යශාස්ත්‍ර වෙනත් මඟක ගියේ ය. මනුශ්යයා හා ලේඛකයා අතර සබැඳියාව බෙලහීනව තිබුනි. වඩාත් ප්‍රමුඛ මිනිස්සු, තම පන්හිඳ අතට ගත් කල්හි, මුඛ්‍ය වසයෙන් රස නිශ්පත්තිය කෙරෙහි විනා තම නිර්මානයෙහි අර්ථය කෙරෙහි සැලකිලිමත් නො වූහ. ගොගොල් හා බෙලින්ස්කි එය වෙනස් කරන තෙක් මෙකී දෝශයෙන් – ලේඛකයාගේ මතිමතාන්තර හා ඔහුගේ ලියවිලි අතර සම්බන්ධයක් නොමැතිකමින් අපේ මුලු සාහිත්‍යය ම සංලක්ශිතව තිබිනැයි [නිකොලායි] චෙර්නිශෙව්ස්කි පැවසී ය.

ඉඳුරා ම වැටහෙනසුලු හේතූන් මත, රුසියානු සාහිත්‍යයෙහි වඩාත් සජීවි හා අව්‍යාජ මූලිකාංගය ලෙස සැම විට ම පැවතියේ උපහාසය (satire) යි. ගොගොල්ටත් පෙරාතුව පවා, [ඩෙනිස්] ෆොන්විසින්ගේ ප්‍රහසන තුල, [දුවාන්] ක්‍රිලොව්ගේ උපමා කථා තුල, [ඇලෙක්සැන්ඩර්] ග්‍රිබොයෙදොව්ගේ නාටක තුල ආදී වසයෙන් අඩු හෝ වැඩි කලාත්මක රූපයෙන් මූර්තිමත්ව ප්‍රානභූත සමාජ චින්තනය එලිදැක්වී තිබුනි. එහෙත්, ගොගොල්ගේ කෘතිය1 – “අපේ ජීවිතයෙහි දරිද්‍රතාව හා අසම්පූර්නත්වය” පිලිබඳ ඒ උත්කෘශ්ට ගද්‍ය කාව්‍යය තුල මෙකී උපහාසමය ප්‍රවනතාව එහි ප්‍රගාඪතම ගැඹුර සාක්ශාත් කොට ගනී.

ගොගොල්ට පූර්වයෙන්, රුසියානු තියෝක්‍රිටසයෙකු [ෆියදෝර් ස්ලෙපුශ්කින්] හා රුසියානු ඇරිස්ටොෆානිසයෙකු [ඇලෙක්සැන්ඩර් පිසාරෙව්] ස්වදේශීය කොර්නෙලයෙකු [?] හා ස්වදේශීය රේසිනයෙකු [ඇලෙක්සැන්ඩර් සුමාරොකොව්], උතුරු ගර්තේ කෙනෙකු [වසිලි ශුකොව්ස්කි] හා උතුරු ශේක්ස්පියරයෙකු [?] අපට සිටි නමුත් සැබෑ ලෙස ම ජාතික යයි කිව හැකි ලේඛකයන් අපට සිටියේ නැත. පුශ්කින් පවා – “රුසියානු බයිරන්” යන විරුදාවලියෙන් ම හැඟෙන පරිදි – අනුකරනය වෙත නැඹුරු වූ නාඩියෙන් මිදුනේ නැත.

නමුත්, ගොගොල් වූ කලී තනිකර තෙමේ ම ය, නිකම් ම ගොගොල් ය. ඔහුගෙන් පසුව අපේ ලේඛකයන් යුරෝපීය සුධීමතුන්ගේ හුදු අනුපිටපත් බවට පත් වීම නැවතුනි. දැන් අපට ‘නිකම් ම’ ග්‍රෙගෝරියෙව්, ‘නිකම් ම’ ගොන්චරොව්, සල්ටිකොව්, තොල්ස්තෝයි, දොස්තයෙව්ස්කි, ඔස්ත්‍රොව්ස්කි... ආදීහු සිටිති. මේ සියල්ලෝ ම, රුසියානු ප්‍රහසනයේ (comedy) හා රුසියානු නවකථාවේ පීතෘවරයා වූ ගොගොල්ගෙන් ව්‍යුත්පන්න වූවාහු ය.2

ජාතික චරිතයක් අත්පත් වීමෙන් පසුව, දැන් අපේ සාහිත්‍යය, භාවිතයේ දී නිතර ම වෙස් නැටුමකට සම වූ සිය ලමා අනුකරන අවධිය – වෙසෙසින් ම, “ප්‍රාදේශීය පැහැය” මත සිය විශ්වාසය රැඳවීම අත්හැර දමා ඇත. ස්වකීය අනුකාරක ගතිය කෙරෙන් සහෘද අවධානය වෙනතක හරවනු වස් පූර්ව ගොගොලියානු රුසියානු සාහිත්‍යය පිටිසර රැලි ගවුම්, පිට කබා සහ පිරුනු අත් වැසුම්වලින් සැරසී සිටියේ ය. එහෙත්, ගොගොල් කරනකොටගෙන, නවකථාව – මනුශ්ය ඉරනම් පිලිබඳ නො නිමි කාව්‍යයෙන් ගත් ඒ උපාඛ්‍යානය – අපේ ලේඛන කලාව මත ආධිපත්‍යය පතුරුවන්ට පටන් ගති. එතෙක් අපට නිපදවිය හැකි වූයේ ස්තෝත්‍ර කවි, ඛෙදාන්ත නාටක, අද්භූත කථා, ගැමි ගී ආදී අප කුල්මත් කල මොනමොනවා හෝ පමනි. ස්තෝත්‍ර හෝ ඛෙදාන්ත නාටක සඳහා ජීවිතයෙන් වස්තු සම්පාදනය නො කෙරුන ද එය අපට ගැටලුවක් නො විනි. ලේඛන කලාව ජීවිතයෙන් විනිර්මුක්තව පැවතින; කාව්‍ය ශාස්ත්‍රයෙහි නීති නියාමයන්ට අවනතව, සාහිත්‍යය සිය කෘතීන් තමා කෙරෙන් ම නිර්මානය කලේ ය. නමුත්, තම ප්‍රබන්ධකරනයෙහිලා ගොගොල් ද, තම විචාර කාර්යයෙහිලා බෙලින්ස්කි ද මෙකී හුස්ම තෙරපන ස්වතන්ත්‍රතාවට නැවතීමේ ලකුන තැබූහ.

යථාර්ථය රුසියානු භූමියෙහි යලි උපන්නේ යථාර්ථවාදී නවකථාවත් ප්‍රහසනයත් තුල ය; සියල්ලට ම වඩා නවකථාව තුල ය. බෙලින්ස්කි කී පරිදි, “නවකථාව යනු අපේ දෛනික පාන් රාත්තල යි; රාත්‍රියේ දෑස පියවෙන තුරු ද, හිමිදිරියේ ඒවා විවර වන විට ද කියවීම පිනිස අපේ ඉහ ඉද්දර ඇති පොත යි.”

අපේ ජීවිතයෙහි “දරිද්‍රතාව හා අසම්පූර්නත්වය” පින්තාරු කිරීම නිසා ගොගොල් කොයි තරම් අපවාද වින්දේ ද! තම නිර්මානයෙහි අරුත හා අගය පිලිබඳව මැනවින් දැනුවත්ව සිටියේ නම්, එකී අවලාද හමුවේ ඔහු අසරන වන්නේ නැත; ඊට පටහැනිව, ඒවාට මුහුන දෙනු වස් මහත් ශක්තියක් සහ ආත්ම විශ්වාසයක් ගොඩනඟා ගනු ඇත. ඔහු ඇසිය යුතුව තිබුනේ, “ප්‍රවේනිදාස ක්‍රමයේත් නිලධාරිවාදී අත්තනෝමතිකභාවයේත් වහල් වාතාවරනය මගින් උත්පාදනය කෙරෙනුයේ දරිද්‍රතාවත් අසම්පූර්නත්වයත් පමනක් ම නම් ඊට මා පලි ද?” යනුවෙනි. එහෙත්, ස්වකීය යුගයෙහි සමාජ ව්‍යුහය පිලිබඳ විවේචක දෘෂ්ටියක් කරා එලඹීමට ගොගොල් අපොහොසත් විය. ඔහු, රුසියානු ජීවිතයෙහි පදනම්වලට එරෙහිව කැරලි නො ගැසූ අතර සිය අවසන් දවස දක්වා ම එහි මූලධර්ම පූජනීයත්වයෙහිලා සැලකී ය. කෙසේවෙතත්, මේවා – දරිද්‍රතාව හා අසම්පූර්නත්වයත්, අසම්පූර්නත්වය හා දරිද්‍රතාවත් පමනක් ජනනය කෙරෙන එම පදනම් හා මූලධර්ම ඔහුට අවහිරයක් නො වී ද?

රුසියාව, වියරුවෙන් පැදවෙන ත්‍රොයිකාවකට3 සම කරමින් මලගිය ආත්ම නවකථාවේ පලමුවන වෙලුම අවසානයෙහි එන අපූර්ව, ගීතමය විදාරනය පිටුපස නැතහොත් වික්‍රමාන්විත රුසියානුවෙකු හා උත්කෘශ්ට ස්ලාව් කන්‍යාවක පිලිබඳ ප්‍රබන්ධයක් ඉදිරිපත් කිරීම උදෙසා වූ ගොගොල්ගේ උපන්ගෙයි මල සැලස්ම පිටුපස පැවතියේ, සමහර විට, මෙකී උභතෝකෝටිකය යි.

හද පත්ලෙන් ම යථාර්ථවාදියෙකු හැටියට, ස්වකීය යුගයෙහි ජීවිතය විසින් නිර්මානය කෙරුනාට වඩා වැඩිමනත් ‘ධනාත්මක’ චරිත සාර්ථකව නිර්මානය කිරීමට ගොගොල්ට නො හැකි විය. මුග්ධභාවයෙන් මහත් සේ පීඩා විඳීමෙන් අනතුරුව තමා පිලිබඳ සියලු තතු දැක, අන් කිසිදු ජාතියකට පුරසාරම් නො කිව හැකි අන්දමේ ශ්‍රේශ්ඨ වීරවරයෙකු හා උත්කෘශ්ට කන්‍යාවක හුදු අධිශ්ඨානය ඔස්සේ නිර්මානය කිරීමට තීරනය කල කල්හි, එය අසාර්ථක වීමට නියමිත නො වී ද? අහෝ, එය එසේ නො වී නම්! චිචිකොව්ලා, ටැනිලොව්ලා, පියුශ්කින්ලා මතු නො ව ටෙන්ටෙට්නිකෝව්ලා 4 පවා ජීවිතයෙහි වේවා සාහිත්‍යයෙහි වේවා මඟ අවුරාලමින් කරට කර, පයට පය තබා නැඟී සිටියහ... ගොගොල්ගේ ශ්‍රේශ්ඨ මිනිසා බිහි විය හැක්කේ කවරෙකුගේ පෙලපතින් ද? චිචිකෝව් කෙනෙකුගේ පෙලතින් ද, නැතහොත් මැනිලොව් කෙනෙකුගේ පෙලපතින් ද? ගොගොල් අරමුනු කල වීරයාට ආශ්වාස කල හැක්කේ කිනම් වායුවක් ද? ප්‍රවේනිදාස ක්‍රමයේ ජීවන හුස්ම ද?

රුසියානු සාහිත්‍යයට ගොගොල්ගෙන් ඉටු වූ ශ්‍රේශ්ඨ සේවාව ඇරඹුනේ, ගොවිපලක සන්ධ්‍යාවෝ 5 නමැති භද්‍ර යෞවනයක ඒ නිර්මල හා නිරාකූල කෘතීන්ගෙනි; වසන්තයේ උදෑසනක් මෙන් සුපිවිතුරු, ඒ “හිරිමල් දිවියෙහි මංගල භෝජනෝත්සවයේ දී ගැයෙන උදාන ගී”වලිනි. අනතුරුව, රදලවාදී හා නිලධාරිවාදී රුසියාව පිලිබඳ ශ්‍රේශ්ඨ ප්‍රහසනය රචනා කිරීමට බට හෙතෙම, කෙලවර දී, පටු අධ්‍යාත්මික සුචරිතවාදය භුවා දැක්වෙන මිතුරන් සමඟ හුවමාරු කර ගත් ලිපි 6 ලිවී ය. ඔහුගේ වෘත්තීය චර්යාවෙහි මෙකී ධ්‍රැවයන් අතර සම්බන්ධයක් දැකීම තරමක් උහගට ය.

ගොවිපලක සන්ධ්‍යාවෝ හි තරුන “මී මැසි පාලකයාගේ” සිට මලගිය ආත්මයෙහි නිර්මාතෘ දක්වා ප්‍රකෘති මනෝවිද්‍යාවේ අනුයාත අවධීන්ට අනුකූල වන සංක්‍රමනයක් කෙනෙකුට හඳුනා ගත හැක. ගොගොල්ගේ වෘත්තීය චර්යාවෙහි මේ අදියරද්වය එකිනෙකට අනුබැඳී තිබෙනුයේ, ශ්‍රේශ්ඨ කලාකරුවාගේ තාරුන්‍යය හා තලතුනා විය මෙනි. නමුත්, යථාර්ථවාදී ගොගොල්ගේ සිට ගූඪවාදී ගොගොල් දක්වා – අත්‍යන්තයෙන් මානුශීය කලාකරුගේ සිට පටු සුචරිතවාදී සන්‍යාසියා දක්වා තවදුරටත් සිදු වූ සංක්‍රමනය අප ගිනිය යුත්තේ කෙසේ ද? චින්තාපර කුසීතභාවයේ (dreamy apathy) මනෝවිද්‍යාමය යාන්ත්‍රනය සහ හැඟුම්බර ප්‍රාදේශීයවාදය මුලුමනින් දමනය කල සහ සියල්ලට මත් වඩා, මැනිලොව්ගේ චරිතය ඔස්සේ, ඔරෙස්ට් මිලර්ගේ 7 වාක්‍ය ඛන්ඩයකින් කියතොත්, “රුසියානු සාහිත්‍යයෙන් මැනිලොව්වාදය 8 සදහට ම ද්‍රවීභවනය කල” ගොගොල්, අනතුරුව, මිතුරන් සමඟ හුවාමාරු කර ගත් ලිපි මගින් ගූඪ හා සදාචාරමය මැනිලොව්වාදය ම දේශනා කිරීම පිලිබඳ කාරනය අප විස්තර කල යුත්තේ කෙසේ ද?

සිය අව්‍යාජ නිශ්චයෙහි හඬින් හැමට ම නීරස සහ බොල් අනුශාසනාවන්ගෙන් සංග්‍රහ කිරීමට වන් මෑත ගොගොල් සලකමු. ආන්ඩුකාරයාගේ බිරින්දෑට: ඇඳුම් පැලඳුම්වල සංවර බව මගින් සමාජය පුනරුත්ථාපනය කරන්නේ කෙසේ ද යන්න ගැන; ආන්ඩුකාරයාට: පලාත් පාලනය සඳහා අවංක නිලධාරීන් යොදා ගැනීමේ බලවත් අවශ්‍යතාව ගැන; ඉඩම් හිමියාට: ප්‍රවේනිදාස ක්‍රමයේ නො නැසෙනසුලු පදනම් මත සිටින සිය ගොවීන් සමඟ ප්‍රියමනාප සබඳතා ගොඩනඟා ගන්නේ කෙසේ ද යන්න ගැන. රුසියානු තුච්ඡභාවය, පටු මානසිකත්වය හා කුසීතකම ගහලයාගේ දංගෙඩිය කරා රැගෙන ගිය ගොගොල් නම් හදවත් විමංසකයා, ගොගොල් නම් කවටයා, ගොගොල් නම් යථාර්ථවාදියා, අනතුරුව එබඳු පටු මානසිකත්වයෙන් යුත් වීතරාගි ධර්මෝපදේශනාවන්හි ඇලීගැලීම, සැබවින් ම, සිදු විය හැකි ද?

ගොගොල් නම් කලාකරුවා සහ ගොගොල් නම් සුචරිතවාදියා අතර භේදය විස්තර කිරීමට මනෝ චිකිත්සීය ප්‍රයත්න දැරී ඇත. මිතුරන් සමඟ හුවමාරු කර ගත් ලිපි පල වීමෙන් පසුව, ගොගොල් ම ශෝකයෙන් ප්‍රකාශ කල පරිදි, “කතුවරයාගේ සිහි මුලා වී ඇතැයි ඔහුගේ මුහුනට ම පවසන්ට පටන් ගත් මිනිස්සු මානසික අක්‍රමිකතාව සඳහා ප්‍රතිකාර පවා යෝජනා කලහ.” අපේ කාලයේ දීත්, මේ ආත්ම පරිත්‍යාගී ලේඛකයාගේ අධ්‍යාත්මික අසනීපයෙහි රෝග විනිශ්චය කිරීමටත් ඔහුගේ ලිපිලේඛනයන්හි විප්‍රකාරය ස්වීකරනය කර ගැනීමටත් ඔහුගේ උකටලී චිත්තස්ථිතිය (melancholy disposition) හා අත්‍යධික ගූඪ අදහස් “විශාදීය සයිකෝසියාව (depressive psychosis)” පිලිබඳ චිකිත්සාගාරික පටිපාටියක් බචට පෙරලීමටත් පරිශ්‍රම දැරී ඇත.

එබඳු විග්‍රහයන්, අප මෙහි සලකා බලන සාහිත්‍ය ඉතිහාසය පිලිබඳ ප්‍රශ්නයෙන් පරිබාහිරව පවතින බැවින් සහ ඒවා මෑත ගොගොල්ගේ අධ්‍යාත්මය මනෝව්‍යාධිවේදයෙහි (psycophathology) ඛගෝලයට අයත් වේ ද නො වේ ද යන්නෙන් මුලුනින් ම වෙන්ව පවතින බැවින් මේ යථාර්ථවාදී කලාකරුවා අනුශාසනාමය ගූඪවාදියෙකු බවට පත් වූයේ ඇයි ද හා කෙසේ ද යන ප්‍රශ්නයට අදාල නැත. එම පැනයට පිලිතුරු සැපයීමේ හැකියාව අපට ලැබෙනුයේ මනෝව්‍යාධිවේදයෙන් නො ව සමාජ ඉතිහාසයෙනි.

ගොගොල්, ස්වකීය කලාත්මක ප්‍රතිභානයෙහි බලයෙන්, ම්ලේච්ඡත්වයේ, දෛනික කෲරත්වයේ, සුලභ අපරාධයේ හා අජෙය්‍ය තුච්ඡභාවයේ – නිමක් නැති රුසියානු තුච්ඡභාවයේ බලකොටු සුනුවිසුනු කලේ ය. ඉතිහාසය විසින් සමුච්චිත කෙරුනු, ව්‍යවහාරය මගින් ඒකාබද්ධ කෙරුනු, සියවස් ගනනාවක් පුරා ධූලි වැකුනු හා ගූඪ පාරිශුද්ධිය විසින් අභිශේක කෙරුනු සියලු දෙය ම රැගත් ඔහු ඒවා සොලවා දැමීමට, ඔසොවා දැක්වීමට, නිරාවරනය කිරීමට සහ ඒවා අපේ චින්තනයට ගැටලුවක් බවට, අපේ හෘදය සාක්ශියට ප්‍රශ්නයක් බවට පත් කිරීමට ක්‍රියා කලේ ය. ඔහු මේ සියල්ල ම කලේ විධිමත් තර්කනයෙහි ආධාරයෙන් නො වේ. ඔහුගේ නිර්මානශීලී සුධීමත්භාවය, යථාර්ථය ගලග්‍රහනයෙන් ගත්තේ නිරායුධ දෑතිනි: එනම්, භාවිතාව ඔස්සේ ය. මෙය මැනවින් වටහා ගත්තේ බෙලින්ස්කි ය:

ඍජු නිර්මානකරනයෙහි ආනුභාව, එය විස්මයාවහ වුව, ගොගොල්ට බරපතල හානි ද සිදු කලේ ය. එය, සිය සමකාලිකයන් සංක්ශෝභනය කලා වූ සදාචාර ගැටලු හා අදහස් කෙරෙන් ඔහුගේ දෑස ඉවත හැරවී යයි ද, සාධක කෙරෙහි සමාහරන වීමට හා සාධකවල වෛශයික නියෝජනයෙන් තෘප්තිමත් වීමට ඔහුට බල කලේ යයි ද යමෙකුට කිව හැක.

ඇත්ත වශයෙන් ම, ගැටලුසහගත යයි ඔහුට පෙනී ගිය මොනයම් දෙයක් වුව – රුසියානු ජීවිතයේ සියලු සංත්‍රාසයන්හි, සියලු දුශ්ටකම්වල, සියලු කෲරකම්වල තිඹිරිගෙය වූ ප්‍රවේනිදාස ක්‍රමය පවා ගොගොල් දුටුවේ ගැටලුවක් හැටියට නො ව හුදෙක් මනුශ්ය පැවැත්මෙහි තවත් සාධකයක් හැටියට ය.

ගොගොල් ජීවත් වූයේ, අපේ සමාජය තව මත් සංගත බුද්ධිමය වාතාවරනයක් භුක්ති නො විඳි අවදියක බැව් අප සිහි තබා ගත යුතු ම ය. දේශපාලන දෘශ්ටිවාදය පිලිබඳ ප්‍රශ්න තව මත් සාහිත්‍යයට ප්‍රවේශ විය හැකිව නො තිබුනි; සැබවින් ම, ඒවා යන්තමින් සාකච්ඡාවට ගැනුනා පමනි. 1820ගනන්වල, ගොගොල් ප්‍රාදේශීය තරුනයෙකුව සිටිය දී, පීතර්බර්ග් ‘සමාජයෙහි’ හොඳ ම කවයන්, දවසේ ප්‍රභාශාවෙන් “මුඛ්‍ය සමාජ මතවාදයක්” ලෙස හැඳින්විය හැකි දේශපාලන ධර්මයක් ගොඩනැංවීමට පටන් ගති. නමුත්, දශකය මැද භාගයේ (1825 දී, පලමුවන නිකොලස් රාජාසනාරූඪව පැනවූ මර්දන අනපනත් යටතේ) මේ ක්‍රියාවලිය ඇනහිටියේ ය. 1830ගනන්වල දී, බුද්ධිමතුන්ගේ කෙම්බිම් දෘශමාන වූ අතර ඊලඟ දශකයන්හි හොඳ ම නායකයින් බිහි වූයේ ඔවුන’තරිනි. නමුත්, එබඳු කාන්ඩ සමඟ සමාගමයට පූර්වයෙන් ම, ගොවිපලක සන්ධ්‍යාවෝ හි කතුවරයා ලෙස ගොගොල් කීර්තියට පත්ව සිටියේ ය. පුශ්කින්ගේ කවයට බැඳුනු ඔහු කලාකරුවෙකු වසයෙන් මහත් අනුබලයක් ඉන් ලද නමුත් එයට ඔහුගේ දේශපාලන නිම්වලලු පුලුල් කල හැකි වූයේ අල්ප වසයෙනි. ඒ හැර, 1836 සිට මුලුමනින් ම පාහේ පිටරට විසූ ගොගොල් ඉතා ම හුදෙකලා ජීවිතයක් ගත කල අතර තමා මෙන් ම අවිවේචක දෘශ්ටියෙන් යුත් ටික දෙනෙකු පමනක් ඇසුරු කලේ ය.

ගොගොල්ගේ නිරායුධ හා අනාරක්ශිත මනසට පොරබැදීමට සිදු වූයේ සිය කලා නිර්මාන ඉවත ලීම 9 හා අදාල ප්‍රශ්න මාලාවක් සමඟිනි. ඔහුගේ සියුමැලි හෘදය සාක්ශියෙන් ඔහුට ගැලවීමක් නො වී ය. පරිපූර්න, පරම සහ නිරනුමාන ලෙස සැලකීමට ඔහුට ඉගැන්වූ සහ ඔහු පිට පැවරුනු සම්ප්‍රදායයෙහි මුස්පේන්තු චින්තන රටා ඇසුරින් තමාට හැකි ඉහල ම විසඳුම් සෙවීමට ඔහුට සිදු විය.

කලා නිර්මාන නාශක කාර්යයට මුහුන දෙනු පිනිසත් විපතට පත් වන ද්‍රව්‍ය දෙස බලා සිටීමට බල කෙරුනු කල්හි එය මැඩපවත්වා ගනු පිනිසත් අභ්‍යන්තර පිටුබලය නො ලද මනසකට, මෙවිට, ඒ සඳහා කිසියම් බාහිර ආනුභාවයක පිහිටාධාරය අවශ්‍ය කෙරේ. සිය ලමා වියෙහි ධාරනාවන් සමඟ බැඳුනු හා අනුස්මෘතීන් මගින් පූජනීය කෙරුනු එවන් මහානුභාවසම්පන්න බලයක්, තමාට පරවේනියෙන් උරුම වූ සදාචාර සංග්‍රහයන්හි තිබී ඔහුට හමු විය.

ශ්‍රේශ්ඨ ලේඛකයාගේ අවසන් වසර කීපයෙහි පැවති ගූඪ සහ සදාචාරමය මනෝව්‍රතය වූ කලි සම්ප්‍රදායික ශික්ශනයක් ඔස්සේ ඔහු එලැඹි උපකල්පනයන්හි අභිවර්ධනයකි. කලාකරුවෙකු ලෙස ඔහුගේ ක්‍රියාකාරිත්වය, ජීවිතයේ යම් අරුතක් සෙවීමේ අවශ්‍යතාවක් ඔහු තුල ජනිත කල අතර එම දිශාවෙහි අන්තයට ගිය ඔහු තමාට උරුම වූ පෞරානික මූලධර්ම – රුසියාව තුල පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේශනය වූ මූලධර්ම මතට ඇද වැටුනි. ගොගොල්ගේ කලාත්මක ප්‍රතිභානය විසින් බැහැර කෙරුනු ගැටලු සම්බන්ධයෙන් බලපා ඇති මෙකී ජරාජීර්න සදාචාර සංග්‍රහයන්හි සාවද්‍ය විනිශ්චයන්, නැතහොත්, සමාජ ජීවිතයෙහි ගැටලු සැලකිල්ලට ගැනීමේ දී මුල් වී ඇති පටු, බාලබොලඳ විසඳුම් සිතා ගැනුම අපට අසීරු නො වේ.

නිදර්ශනයක් ලෙස, ඉන්ස්පෙක්ටර් ජනරාල් 10 නමැති ප්‍රහසනය සලකමු. එය ප්‍රාදේශීය නිලධාරිවාදය පිලිබඳ එක්තරා වර්ගයක කාව්‍යයකි. ස්ත්වොස්නික් ද්මුහනොව්ස්කි 11 යනු තක්කඩියෙකි, වංචනිකයෙකි, පගා මරුවෙකි, අත්‍යන්තයෙන් නීච සත්ත්වයෙකි. ඔහු පිලිබඳ වඩාත් භයංකර දෙය නම්, බෙලින්ස්කි කී පරිදි, එම චරිතය “දූශිත වූවක් නො ව සිය සුචරිතභාවයේ ම අති වර්ධනයකි; තම රාජකාරිය පිලිබඳ ස්වයං-උත්තරීතර දැක්මකි.” ඔහුගේ මේ සදාචාරමය අපරූපනය, ප්‍රකට සමාජ උපනයෙන් ගලා එන සරල නිගමනයක් වන අතර ගොගොල්ගේ කාලයෙහි වඩාත් ම ප්‍රිය වූ පදයක් යොදා ගන්නේ නම්, මේ චරිතයෙහි “කරුන රසය” ඇත්තේ මෙතැන ය.

ප්‍රජා සභ්‍යත්වයෙහි නියාමයන් ඉක්මවා යන, මහජන අරමුදල් කොල්ලකෑමටත් අල්ලස් ගැනීමටත් අපට ඇති තහනම බඳු නීති ඉක්මවා යන නිගමනයක් මේ ප්‍රහසනය විසින් ඉල්ලා සිටිනු ලබන බැව් පැහැදිලි ය. නමුත්, එබඳු නිගමනයන්හි ඵෙතිහාසික අර්ථභාරය හා සමාජයීය වටිනාකම ග්‍රහනය කර ගැනුමට ගොගොල් කොහෙත්ම පොහොසත් නො වූ බව සිය අදහස්වල ස්වභාවය ගැන ඔහු කී දැයින් පෙනේ. ඒවා මගහැර යෑමේ ප්‍රතිඵලය ලෙස ඔහු නතර වූයේ, තම අතිශය යථාර්ථවාදී සමාජ ප්‍රහසනය පිලිබඳව ගූඪ හා සදාචාරමය විවරනයක් සැපයීමට උත්සාහ දැරීමෙනි. මේ විවරනයෙන් පෙනී යනුයේ, ප්‍රහසනයෙහි දැක්වෙන පුරවරය, අවසන් විග්‍රහයේ දී, අපේ දූශිත මනුශ්යාත්මය ම විනා අනෙකක් නො වන බව යි; කෛරාටික නිලධාරීන් යනු හුදෙක් අපේ සටකපට මනෝභාවයන් බව යි; එසේ ම, රුසියානු “යන්ත්‍රානුසාරී දෙවියා” (deux ex machine)12 හෙවත් ඉන්ස්පෙක්ටර් ජනරාල් යනු හුදෙක් නිර්ව්‍යාජ හා ස්ථිරසාර හෘදය සාක්ශියෙහි නියෝජිතයා බව යි.

කෙසේවෙතත්, ගොගොල්ගේ ප්‍රහසනයෙහි ගැබ් වන විප්ලවකාරී ජීව බලය ලේශමාත්‍රයෙන් හෝ පිරිහෙලීමට මේ නිස්තේජ හා අනුශාසනාමය විවරනයට නො හැකි විය. ගොගොල්ගේ සියලු නිර්මානාත්මක කෘති, ඔහුගේ ම සමාජ දෘශ්ටියෙහි සීමා ඉක්මවා ගිය අතර ජනතාවගේ හෘදය සාක්ශිය තුල සංගත චින්තන පද්ධතියක් ජනිත කලේ ය. බෙලින්ස්කි මෙසේ ලිවී ය: “සිතනමතන පාඨකයෝ මෙකී විරූපී හා දුශ්ට තැනැත්තන්ට මුවා වී සිටින අන් ගැලපෙන මුහුනු හඳුනා ගනිති, අධම යථාර්ථයෙන් පරමාදර්ශී යථාර්ථයක් ධ්‍යානනය කිරීමට ඔවුනට මං පෑදේ; සිදු වන දෑ මගින්, සිදු විය යුත්ත ඔවුනට පැහැදිලි වේ.”

බෙලින්ස්කි ඇතුලු අපේ සමාජයේ වඩා ප්‍රබුද්ධ කොටස, මලගිය ආත්ම කෘතියෙහි මූලික අධ්‍යාශය හෙවත් “කරුන රසය” පාදා ගන්නේ කෙතැනින් ද?

රුසියානු ජීවිතයේ සමාජ රූපකාරයන් සහ තව මත් අභිරහසක්ව ඇති එහි ගැඹුරු වෛයික මූලාරම්භය අතර පවතින ප්‍රතිවිරෝධය ජන විඥානයට මෙතෙක් අනාවරනය වී නැති අතර එය කවර නිර්වචනයනකින්වත් තව ම ග්‍රහනය කර ගත නො හේ.

හෙගලියානු පදයෝජනයෙහි විලංගුවලින් බිඳුනු මේ වාක්‍යයෙන් සරල, එහෙත්, විචක්ෂන චින්තනයක් ජනනය කෙරේ. එනම්, ගොගොල්ගේ කාව්‍යයෙහි මූලික අධ්‍යාශය වනුයේ, රුසියානු ජීවිතයේ දෘඩ රූපාකාරයන් සහ එහි දියාරු අන්තර්ගතය අතර ප්‍රතිවිරෝධය යි.

සත්තකින් ම, ගොගොල් බොහෝ අනුවනකම් කලේ ය. ඔහුගේ මිතුරන් සමඟ හුවමාරු කර ගත් ලිපි නමැති කෘතිය, ගනන් නැති අකාකි අකාකියෙවිච්ලා 13 අතරින් එකෙකුටවත් අලුත් කබායක් – ඔවුනට ඒවා තදින් ම වුවමනා කලත් – සපයන්ට අපොහොසත් විය.

එසේතුදු වුවත්, මහත් ලලාසාවෙන් යුතුව සත්‍යය සෙවූ, ස්වකීය ප්‍රමාද දෝශයන් වෙනුවෙන් අනේකවිධ දුක්පීඩාවන්ගෙන් වන්දි ගෙවූ, මේ ආත්ම පරිත්‍යාගී ලේඛකයාට ගලක් ගැසීමට දැන් කවුරු එඩිතර වෙත් ද? ස්වකීය කෘතීන් සඳහා සැපයූ ස්වයං-විවරන මගින් ඒවායෙහි සමාජ අර්ථය බාල කිරීමට ඔහු යත්න දැරූ නමුත් මෙය ඔහුට එරෙහිව නො පිහිටුවත්වා! සිය ප්‍රජා පරිපාලනික ලියවිලි මගින් ඇතැම් අපරිනත තැනැත්තෙකු නො මඟ යැවූ නමුත් ඔහු කමත්වා!! අපේ සාහිත්‍යයට ඔහුගෙන් ඉටු වූ ශ්‍රේශ්ඨ සේවාව වෙනුවෙන්, ඔහුගේ කෘතීන්හි ගැබ් වන උන්නතිකාමී හා දයාර්ද්‍රසම්පන්න ආනුභාව වෙනුවෙන්, නිකොලායි ගොගොල්ට සදාතනික හා අමරනීය යශෝ කීර්තිය!!!

පරිවර්තනය : දර්ශන මේදිස්

සටහන් :

1. ගොගොල් 1842 දී ලියූ මලගිය ආත්ම (Dead Souls) නමැති නවකථාව යි. මෙය මල මිනිස්සු (පරි. සිරිල් සී. පෙරේරා) නමින් සිංහලට නැඟී ඇත.

2. ට්‍රොට්ස්කි සැලකිල්ලට ගන්නේ “අපි සියල්ලෝ ම [ගොගොල්ගේ] හිම කබායෙන් එලියට ආවෙමු” යන දොස්තයෙව්ස්කිගේ සුප්‍රකට ප්‍රකාශය යි.

3. ඔරදසන්: රුසියානු අශ්ව කරත්ත වර්ගයකි.

4. ගොගොල්ගේ මලගිය ආත්ම නවකථාවෙහි එන චරිත කීපයකි.

5. මෙනමින් ප්‍රචලිත වූයේ, ගොගොල් 1829-32 අතර ලියූ ඩිකන්කා ග්‍රාමය අසබඩ ගොවිපලක ගත කල සන්ධ්‍යාවෝ (Evenings On a Farm Near Dikanka ) නමැති කාන්ඩ දෙකකින් යුත් කෙටිකථා පෙලකි.

6. මේ පැවසෙනුයේ, 1847 දී පල වූ මිතුරන් සමඟ හුවමාරු කර ගත් ලිපිවලින් තෝරා ගත් පාඨ ( Selected Passages From Correspondence With My Friends) නමැති ග්‍රන්ථය පිලිබඳව ය.

7. ජර්මානු සම්භවයක් සහිත රුසියානු ජනශෘතිකයෙකි (1833-89); රුසියානු සාහිත්‍යය පිලිබඳ මහාචාර්යවරයෙකි.

8. ගොගොල්ගේ මලගිය ආත්ම නවකථාවෙහි එන හැඟුම්බර, දවල් හීන දකින, පිලිස්තීනු ඉඩම් හිමි ප්‍රවර්ගය නියෝජනය වන මැනිලොව් නමැති චරිතය ඇසුරින් විස්තර කෙරෙන ප්‍රපංචයකි.

9. ට්‍රොට්ස්කි සැලකිල්ලට ගන්නේ, ගොගොල් තමන් දස වසරක් තිස්සේ ලියූ මලගිය ආත්ම දෙවෙනි වෙලුමෙහි අමුද්‍රිත අත් පිටපත ගිනිබත් කිරීම පිලිබඳ කාරනාව යි. එසේ ම, ඔහු (ගොගොල්) අසාර්ථක යයි තමාට හැඟී ගිය ඇතැම් කෘති පොත් සාප්පුවලින් ආපසු ගෙන්වාගෙන පුලුස්සා දැමී යයි ද පැවසේ.

10. 1854 දී ගොගොල් රචනා කල මෙහි නියම නම ආන්ඩුවේ පරීක්ශක(Government Inspector) යනු යි; මේ කෘතියෙහි තේමාව ඇලෙක්සැන්ඩර් පුශ්කින් ගොගොල් සමඟ පැවසූ සිය අත්දැකීමකි; මෙය, වරෙක මෙනමින් ද, වරෙක රහස් කොමසාරිස් (අනු. රිචඞ් තේනබදු හා තවත් අය) යනුවෙන් ද සිංහලට නැඟී ඇත.

11. ඉන්ස්පෙක්ටර් ජනරාල් නාටකයෙහි එන පුරපතිගේ චරිතය යි.

12. සම්භාව්‍ය ග්‍රීක ප්‍රහසනයෙහි, විසඳුමක් නො පෙනෙන දුශ්කර අවස්ථාවන්හි දී, අනපේක්ශිතව වේදිකාව මතට සම්ප්‍රාප්ත වන ගැලවුම්කාර පුද්ගලයෙකු හෝ අජීවී ද්‍රව්‍යයකි; ගොගොල්ගේ නාටකයෙහි මේ චරිතයට ආදේශ වනුයේ අවසන් ජවනිකාවෙහි නිහඬව පෙනී සිටින “ඉන්ස්පෙක්ටර් ජනරාල්” නොහොත් ආන්ඩුවේ පරීක්ශකවරයා ය.

13. ගොගොල්ගේ හිම කබාය (Overcoat) නම් කෙටිකථාවේ ප්‍රධාන චරිතය යි.

Share this article: