සිරිසේන-වික්‍රමසිංහ පාලනය ලංකාවේ සිටින විදේශ සරනාගතයන්ට එරෙහි හිංසනයට රුකුල් දෙයි
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 මැයි 17
අප්‍රේල් 21 දා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව තුල සිටින විදේශීය සරනාගතයන් ට සහ රැකවරන පතන්නන් ට එරෙහිව සිංහල අන්තවාදීන් සිදුකරන හිංසනය සහ කායික ප්රචන්ඩත්වය මධ්‍යයේ ඊට උඩගෙඩි දෙන වැඩපිලිවෙලක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව යෙදී සිටි.
සරනාගතයන් හා රැකවරන පතන්නන් 1600 ට වැඩි පිරිසක් රට තුල සිටිති. ක්‍රිස්තියානින් සුලු පිරිසක් සිටින අතර බහුතරය පකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉරානය ඇතුලු රටවලින් පැමිනි මුස්ලිම් ආගමිකයෝ ය.
මැයි 7 වෙනිදා විදේශීය තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතයන් හා සෙසු විදේශීය ආයතන නියෝජිතයන් පිරිසක් හමු වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන “වර්තමාන තත්වයන් යටතේ” සරනාගතයන් ට රැකවරනය සැපයීමට පවතින “දුෂ්කරතා” ගැන සඳහන් කරමින් ඔවුන් වෙනත් රටවලට පටවා යැවීමේ අවශ්‍යතාවය අවධාරනය කර ඇත.
සිරිසේන සඳහන් කරන “වර්තමාන තත්වයන්” නිර්මානය කරන ලද්දේ ඔහු සහ වික්‍රමසිංහගේ ආන්ඩුව විසින්ම ය. සිරිසේන ඇතුලු ආන්ඩුවේ නායකයින් හා ආරක්ෂක සංස්තාපිතය පුර්ව අනතුරු ඇඟවීම් නොතකා අප්‍රේල් 21 ප්‍රහාරය සිදුවීමට ඉඩ හැර දැන් රට තුල හදිසි නීති පාලනයක් අටවා මුස්ලිම් විරෝධී ප්රචන්ඩත්වයකට කොන්දේසි හදා ඇත. සිරිසේන, වික්‍රමසිංහ සහ විපක්ෂය එය යොදා ගනිමින් සිටින්නේ අරගලවලට ඇදෙන කම්කරු පන්තිය තලා දමන පොලිස් පාලනයකට පාර කපා ගැනීමට ය.
විදේශීය සරනාගතයන්ට එරෙහිව ප්රකෝපකරනයන් අවුලුවාලීමට තල්ලුව සැපයුනේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ඉක්බිතිව ධනපති දේශපාලන සංස්තාපිතය හා ජනමාධ්‍ය විසින් මුස්ලිම් ජනයාට විරුද්ධව මුදාහැර ඇති වර්ගවාදී විෂ දුමාරය තුලිනි.
මැර තර්ජනයන් නිසා පදිංචි ස්ථානවලින් පලායාමට සිදු වූ සරනාගතයන් ආන්ඩුව විසින් දැන් කොටුකර දමනු ලැබ ඇත්තේ අන්ත රුදුරු කොන්දෙසිවලටය. එක්සත් ජාතීන්ගේ සරනාගතයන් පිලිබඳ කොමිසම යටතේ සිටින ඔවුන්ගෙන් 158 ක් මීගමුව පොලිස් ස්ථානයේ ද, 296 මීගමුව මුස්ලිම් පල්ලියේ සහ 609 පස්යාල අහමදියා මධ්‍යස්ථානයේ ද රඳවා සිටිති.
එලෙස රඳවා සිටින සරනාගතයන් අතර වයස අවුරුදු 4 ලමුන් 98 ක් ද, අවුරුදු 5-11 අතර 137 සහ අවුරුදු 15- 17 අතර 90 ක් ද වෙති. ප්‍රමානවත් තරම් සෞඛ්‍ය හා අනෙකුත් මූලික පහසුකම් ඔවුන්ට නැත.
මෙම සරනාගතයන් හම්බන්තොට රිදියාගම රැඳවුම් කඳවුරක කොටු කිරීමට සිරිසේනගේ අනුමැතිය ඇතිව දකුනු පලාත් ආන්ඩුකාර කීර්ති තෙන්නකෝන් යෝජනා කර ඇත. එහෙත් එහි අවශ්‍ය තරම් නවාතැන්, වැසිකිලි හා ජල පහසුකම් නැති හෙයින් ආන්ඩුවේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සරනාගතයන් පිලිබඳ මානව හිමිකම් කොමිසම එකඟ වී නැත. ඉන් උරනවී කොමිසමට දෝෂාරෝපනය කල තෙන්නකෝන් එම ප්‍රදේශයට වින්දිතයන් ගෙන ඒමට විරුද්ධව වර්ගවාදී නඩයක් කල උද්ඝෝෂනයකට මුවාවී යෝජනාව අහවරයයි උද්ධච්ච ලෙස කියා ඇත.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුලු මානව හිමිකම් සංවිධාන 10ක් මැයි 10 දා ආන්ඩුවට ලියූ ලිපියකින් “සරනාගතයන් ජීවිත හා නිදහස අවදානමට ලක්කෙරන සේ පිටුවාහල් කිරීමකට හෝ සියරටවලට යාමට බලකෙරෙන තත්වයක් ඇති නොකරන ලෙස” ඉල්ලා ඇත. එම ලිපිය පෙන්වා දී ඇත්තේ එසේ කිරීමක් “හිංසනයට ලක් නොකිරීමේ ජාත්‍යන්තර නීතිමය මූලධර්මය උල්ලංඝනය කිරීමක්” බවයි.
ලංකාවේ කම්කරුවන් හා පීඩිතයින් හිංසනයට ලක්කිරීමේ ඉතිහාසයක් ඇති කොලඹ පාලක පන්තිය එම මූලධර්මයට පයින් ගසා සරනාගතයන්ගෙන් ගැලවීමට වලිකයි.
අන්තවාදී ත්රස්තවාදීන්ගේ හිංසනයන් නිසා පකිස්තානයෙන් ලංකාවට පලාවිත් සිටින අහමදියා මුස්ලිම් පවුල් සංඛ්‍යාව 600 ක් පමන වෙති. මෙරට තුල දී ද සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්‍රහාරවලට සහ ප්‍රධාන මුස්ලිම් ආගමික නිකායන්ගේ විරෝධයට ඔව්හු මුහුන දෙති. ශ්‍රී ලංකාවේ ආන්ඩුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන වලින් ආහාර සහ සමහර ආධාර සැපයෙන නමුත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ප්‍රමානවත් නැත. ඔවුන් දිනකට එක කෑම වේලකින් යන්තම් දිවි ගැටගසා ගන්නාබව වාර්තාවලින් හෙලිවේ.
ඬේලි මිරර් පුවත්පතේ පලවූ ලිපියකට අනුව මීගවුව පොලිස් ස්ථානයේ රඳවා සිටින සහිර් අහමඞ් සහ ඔහුගේ පවුල පකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ආවේ අන්තවාදී මැර කන්ඩායමක් විසින් එල්ල කල බෝම්බ ප්‍රහාරයකින් අහමදියා මුස්ලිම් වරුන් 80 ක් ජීවිතක්ෂයට පත් වීමෙන් පසුවය. මීගමුවේ කුලී නිවසක පදිංචිව සිටි ඔහුට අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු එල්ල වූ මැර තර්ජන නිසා තමන් සතු සියලු දේ අතහැර දරුවා සහ බිරිඳ සමග ඇඳිවත පිටින් අප්‍රේල් 25 වෙනිදා කුලී නිවසින් ඉවත් වීමට සිදුවිය.
ඔවුන් දැන් රැඳී සිටින්නේ පස්යාල අහමදියා මධ්‍යස්ථානයේ ය. ආහාර සහ ජලය ලැබෙන නමුත් ප්‍රමානවත් තරම් වැසිකිලි සහ සෞඛ්‍ය පහසුකම් නැති බව අහමඞ් මාධ්‍යට පවසා ඇත. “ලමයි නිතරම ලෙඩ වෙනවා. ඊයේ වෛද්‍යවරු ඇවිල්ලා හැම කෙනෙක්ම පරීක්ෂා කරලා බෙහෙත් සහ සමහර පරීක්ෂන නියම කලා. ඒවා කරගන්න වෙන්නේ පිටතින්. එහෙම කිරීම දුෂ්කරයි. නමුත් මගේ පුතා අසනීපෙන් ඉන්න නිසා කෙසේ හෝ ඒවා කර ගත යුතුයි” ඔහු පවසා ඇත.
නීත්‍යානුකුල තත්වයක් නැති නිසා රැකියාවක් කිරීමේ අයිතිය හා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ද ඔවුන් ට අහිමි වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබෙන සුලු දීමනාව හා රාජ්‍ය නොවන සංවිධාන සහ පුන්‍ය ආයතනවලින් ලැබෙන ආධාර එදිනෙදා අවශ්‍යතාවයන් ට ප්‍රමානවත් නොවන හෙයින් සන්තකයෙහි තිබෙන කනකර බඩු පවා විකිනීමට සිදු වී ඇත.
පස්යාල අහමදියා මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් නැත. කාන්තාවන් සහ ලමුන් රාත්‍රියට ගොඩ නැගිල්ල ඇතුලත නිදා ගන්න අතර පිරිමින්ට ලීවලින් තැනූ තාවකාලික ඇඳන්වල එලිමහනේ නිදා ගැනීමට සිදු වී ඇත. “බීමට ප්‍රමානවත් තරම් ජලය අපට තිබෙනවා. නමුත් නෑමට සහ රෙදි සේදීමට අවශ්‍ය තරම් ජලය නැහැ.” ශ්‍රී ලංකාවේ අහමදියා මුස්ලිම් ප්‍රජා මධ්‍යස්ථානයේ සභාපති හෆීස් අහමඞ් මාධ්‍යට පවසා ඇත. “අපට අනෙකුත් පහසුකමුත් අඩුයි. වඩා හොඳ තැනකට ඔවුන්ව ගෙනයාමට ආන්ඩුවට හැකිවෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා” ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1951 සරනාගත ප්රඥප්තියට හෝ ඒ සම්බන්ධ 1967 පරිපාටියට ශ්‍රී ලංකාව අත්සන් කර නොතිබීම මෙරට පාලක පන්තියේ ප්රජාතන්ත්ර විරෝධී දුෂ්ට පිලිවෙත පිලිබඳ පිලිකුල් සහගත තවත් උදාහරනයකි. ඔව්හු එය සරනාගතයන් සහ රැකවරන පතන්නන් පිටු දැකීම සඳහා වූ වරපත්‍රයකි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ අනුමැතිය ඇතිව මෙරටට පැමිනෙන සරනාගතයන් තුන්වන රටකට පිටුවහල් කෙරෙයි.
මීගමුව පොලිස් ස්ථානයේ ගරාජය තුල රඳවා සිටින අයිඩා පනාහි ඇෆ්ගනිස්තාන ජාතික තරුනියකි. ඇෆ්ගනිස්තානයට එරෙහි එක්සත් ජනපද යුද්ධය නිසා ඇගේ දෙමාපියන් ඉරානයට පලා යනවිට ඇය සිටියේ මවගේ කුසතුල බවමිරර් පත්‍රයට පවසා ඇත.
“මා ඉපදුනේ මගේ දෙමාපියන් රැකවරනය පතා වසර නවයක් ඉරානයේ සිටිය දී. අපට අවසර නොදුන් නිසා පාසල් යන්න නොහැකි වුනා. ඉරානයෙන් පලා එන විට මගේ වයස අවරුදු නවයයි. ඉරානය ගැන අවසාන වශයෙන් මගේ මතකයෙහි පවතින්නේ අප ඒමට පෙර මගේ මව මාවත් රැගෙන එක ගමන් මල්ලක් පමනක් අතැතිව ආච්චිගේ නිවසට ගිය හැටි. අප සතුව තිබු බොහෝ දේවල් එහි දමා ආවා. ඉරානය ගැන බිඳ වැටුනු බලාපොරොත්තු සහිතව අප 2015 දී ශ්‍රී ලංකාවට ආවා.
මෙහෙට එන්න පෙර ශ්‍රී ලංකාව කියල රටක් ගැන කවදාවත් මා අහල තිබුනේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතිව අප ශ්‍රී ලංකාවේ වසර හතරක් ඉන්නවා. මට බොහෝ ශ්‍රී ලාංකික මිතුරන් ඉන්නවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ දී මිනිසුන් ගනනාවක් මියගිය බව ඇසීමෙන් මා කම්පනයට පත් වුනා. ත්රස්තවාදයට බියෙන් එවන් තත්වයක් තුල අප ජීවත්වෙලා තිබෙනවා. ඔවුන්ගේ අත්දැකීම කුමක් ද කියල මට හිතා ගන්න පුලුවනි.” ඇය පවසා තිබුනි.
රාජා කාශ්මීර් ජාතික තරුන ස්වෙච්චා සේවකයෙකි. මරන තර්ජන නිසා බිරිඳ සමග ඔහු 2019 ජනවාරි 22 සංචාරක වීසා මගින් ශ්‍රී ලංකාවට පැමින තිබේ. සාවද්‍ය චෝදනා මත පකිස්තාන් හමුදාව විසින් කිහිප වරක් ඔහු අත් අඩංගුවට ගෙන ඇති අතර ජිහාඞ්වරුන්ට විරුද්ධ නිසා පකිස්තාන් මූලධර්මවාදීන්ගෙන් ද ඔහුට තර්ජන එල්ල වී තිබේ.
ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබුනි. “මගේ පවුල හිංසනයෙන් බේරා ගැනීම සහ මගේ ම ජීවිතය රැක ගැනීම සඳහා අප ශ්‍රී ලංකාවේ සරනාගත තත්වය ලබා ගැනීමට උත්සාහ කලා. මීගමුවේ කුලී ගෙයක මගේ බිරිඳයි පුතයි සමග හිටිය. අප්‍රේල් 21 වෙනිදා වෙන තුරු පුතා සාමකාමී මනසකින් හිටියේ. ප්රකුපිත මැර කන්ඩායමක් අපට ගල්වලින් පහර දීලා විනාඩි විස්සක් ඇතුලත නිවසෙන් පිට වෙන්න කිව්වා. ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරවීමේ වගකීම අයිඑස්අයිඑස් ත්රස්තවාදීන් විසින් බාර ගැනීම නිසා ඇයි සියලුම මුස්ලිම් මිනිස්සු පීඩා විඳිය යුත්තේ?
රාජා සහ ඔහුගේ පවුල ද රඳවා සිටින්නේ මීගමුව පොලිස් ගරාජය තුලය. “මෙම සියලුම දුස්කරතාවයන් අත්විඳින අතර මේ ආකාරයට සැලකීමට අප කල වරද කුමක් දැයි මිනිසුන්ගෙන් ඇසීමට මට අවශ්‍යයි. අපට කිසි දිනක නොලැබුන දෙයක් ලබා ගැනීමට සරනාගතයන් විදිහට අප නිතරම ප්‍රාර්ථනා කරනව.”
යමෙකුට තමන් කැමති රටක ජීවත් වීමට සහ කැමති රැකියාවක නිරතවීමට ඇති අයිතිය විශ්වීය මූලධර්මයකි. ශ්‍රී ලංකාවේ පාලක පන්තිය එය නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කර ඇත. කම්කරු පන්තිය පාලක පන්තියේ මෙම ප්රතිගාමී පිලිවෙත සහ සරනාගතයන්ට එරෙහි සිංහල අන්තවාදීන්ගේ ප්‍රහාර හෙලා දැකිය යුතු ය. ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම කම්කරු පන්තියේ ප්රජාතන්ත්රවාදී අයිතින් රැකගැනීම සඳහා ප්රතිගාමී ආන්ඩුවට හා පාලක පන්තියට එරෙහිව කරන පලල් අරගලයේ කොටසකි.
Follow us on