භාන්ඩාගාරය රාජ්‍ය වියදම් සියයට 10කින් කපා හරින ලෙස නියෝග කරයි
දිල්රුවන් විතානගේ විසිනි, 2019 ඔක්තෝබර් 10
සියලුම රාජ්‍ය ආමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු වල වියදම් ඉදිරි මාස තුනක කාලය තුල සියයට 10කින් අඩු කරන ලෙස නියෝග කරමින් මහා භාන්ඩාගාරයේ ලේකම් ආර්.එච්.එස් සමරතුංග විසින් චක්‍රලේඛයක් නිකුත් කොට ඇති බව ඔක්තෝබර් මස 7 වන දින සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කලේය.
“අත්‍යවශ්‍ය නොවන” සහ දැනට ආරම්භ කර නොමැති ව්‍යාපෘති නවතා දැමීම, අදාල ආයතන වල විදේශ ගමන් සීමා කිරීම, ලී බඩු රථවාහන ආදිය මෙම කාලය තුලදී මිලදී ගැනීම අත් හිටුවීම එම නියෝග වලට ඇතුලත්ය.
භාන්ඩාගාරයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කොට ඇත්තේ “අපේක්ෂිත ආර්ථික ඉලක්ක ලඟා කර ගැනීමට නොහැකි වීම” සහ නය ලබා ගැනීමට ඇති අපහසුතා මෙම තීරනයට විශේෂයෙන් බලපෑ බවය. ඔහු වැඩි දුරටත් සඳහන් කොට ඇත්තේ ලබන ජනවාරි මාසයේ සිට රාජ්‍ය අංශයේ සේවක වැටුප් ගෙවීමට අවශ්‍ය අමතර රුපියල් බිලියන 120ක් පමන වැය කිරීමට සිදු වීම මෙම තීරනයට එක් හේතුවක් බවය. එහෙත් මෙය නැගී ඇති වර්ජන රැල්ල ආපසු හැරවීමට දුන් පොරොන්දුවක් පමනකි.
අලුතින් නිකුත් කර ඇති නියෝගය ජූනි මාසයේදී රාජ්‍ය ආයතන වල දිගුකාලීන ප්‍රාග්ධන වියදම් සියයට 15කින් අඩුකිරීමට ආන්ඩුව නියම කිරීමෙන් පසු මාස හතරක් තුල රාජ්‍ය වියදම් කප්පාදු කිරීමට ලක් කරන දෙවැනි වතාවයි. එය යුක්ති සහගත කෙරුනේ ආන්ඩුවේ මුදල් හිඟය, අපේක්ෂිත බදු ආදායම් රැස්කරගැනීමට නොහැකි වීම, අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තයට සහන ලබා දීම සඳහා අමතර රුපියල් මිලියන 99ක් අවශ්‍ය වීම ආදී හේතු දැක්විම මගිනි.
වැටුප් වැඩිවීම් ඇතුලු ඉල්ලීම් මුල් කරගනිමින් දුම්රිය කම්කරුවන්, විශ්ව විද්‍යාල සේවකයන්, ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තියේ අරගල මාලාවක් පුපුරායාම මධ්‍යයේ නිකුත් කෙරුනු රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ නියෝගය නිකුත් කෙරුනි. එයින් පෙන්නුම් කෙරෙන්නේ ඉහත ඉල්ලීම් ඉටු කිරීමට ආන්ඩුවට කවර හෝ පදනමක් නොමැති බවත්, ආන්ඩුවට බලපෑම් දැමීම මගින් ඉල්ලීම් දිනාගත හැකි බව කියන වෘත්තීය සමිති වල සූත්‍රය කම්කරුවන් ගේ අරගල යටපත් කිරීමේ උගුලක් බවත් ය.
ඔක්තෝබර් මස 7 වන දින පැවති සම්මුඛ සාකච්ඡාවකදී මුදල් ඇමති මංගල සමරවීර “2016 වසරේ සිට ලබා ගත් සියලු නය යෙදවූයේ රාජපක්ෂ පාලන සමයේ ලබාගත් නය ආපසු ගෙවීමට පමනක්” බව ප්‍රකාශ කලේය. මෙය අතිශයෝක්ති සහගත වුවද ආන්ඩුව එරී සිටින අර්බුදයේ පරිමාව පෙන්නුම් කරයි.
ඔක්තෝබර් මස 8 වන දින ඬේලි මිරර් පුවත්පතට ලියූ ලිපියකින් වෙරිටේ රිසර්ච්හි අධ්‍යක්ෂකවරයෙකු සඳහන් කර තිබුනේ ලංකාවේ ආර්ථිකය නය උගුලක සිරවී සිටින ලක්ෂන පෙන්නුම් කරන බවයි. “නය උගුලක් යනුවෙන් හඳුනාගන්නේ ලබා ගන්නා නය වලින් විශාල ප්‍රමානයක් කලින් ලබාගත් නය ගෙවීමට සිදු වී තිබීම සහ දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව නය ප්‍රමානය අඛන්ඩව ඉහල යාමක් මගින් නය පරිමාව පාලනය කරගැනීමට අපහසු තත්ත්වයක්” බව ඔහු සඳහන් කලේය.
ඔහුට අනුව 2015-2018 කාලය තුල ලංකාවේ මුලු නය ප්‍රමානය සියයට 34කින් ඉහල ගොස් තිබේ. මෙම නය වලින් සියයට 70ක් යොදා ගෙන ඇත්තේ නය සඳහා පොලී ගෙවීමට ය. මේ අතර 2018 තුලදී සමස්ත රාජ්‍ය නය ප්‍රමානය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 83ක් තරම් ඉහල නැග ඇති බවත් එය 2019 වසරේදී සියයට 85ක් විය හැකි බවත් පුරෝකතනය කර ඇත.
පසුගිය සැප්තැම්බර් මාසයේදී මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කලේ “නය කලමනාකරනය” කිරීම ආන්ඩුවට ඇති විශාලතම අභියෝගය බවය. පසුගිය වසරේ නය ආපසු ගෙවීම් ඇමරිකානු ඩොලර් බිලියන 5ක් වූ අතර මෙම වසරේදී එය බිලියන 6ක් තරම් ඉහල අගයක් වන බවද, 2021 සිට ඉදිරි වසරවල් සඳහා බිලියන 4ක් බැගින් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කලේය.
ආන්ඩුවේ මුල්‍ය ප්‍රතිපත්ති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් සමීපව නිරීක්ෂනය කෙරෙයි. මූල්‍ය අර්බුදයේ කරවටක් ගිලී සිටින ආන්ඩුව 2016දී ඩොලර් බිලියන 1.5ක නයක් ලබා ගන්නා ලදී. එහි ප්‍රධාන කොන්දේසියක් වන්නේ අයවැය හිඟය 2020 වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5ක් දක්වා පහත හෙලීමය. අයවැය හිඟය 2018 වසරේදී සියයට 5.5ක පැවති අතර මෙම වසරේදි සියයට 5.6ක් විය හැකි බවට ගනන් බලා තිබේ.
මෙහි අර්ථය නම් අයවැය හිඟය 3.5 මට්ටමට ගෙන ඒම සඳහා ඉදිරි වසර තුල සමාජ වියදම් කප්පාදුවත්, බදු ඉහල නැංවීමත්, රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය කිරීමත්, මහජනයාගේ අත්‍යවශ්‍ය සේවා සඳහා ගාස්තු අය කිරීමත් රුදුරු මට්ටමකට නැංවීමට බලයේ සිටින ආන්ඩුවට සිදුවනු ඇති බවය.
ලංකාවේ මෙම අර්බුදය ගෝලීය ආර්ථිකයේ සිදුවන පසුබැසීම් වල ප්රකාශනයකි. පසුගිය සතියේ එක්සත් ජනපදයේ කාර්මික නිෂ්පාදනය 2008 වසරට පසුව පහලම අගය වාර්තා කරමින් ආර්ථික පසුබැසීමේ අවධියකට එලඹ ඇති බව සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කෙරිනි. තවද ලෝක වෙලෙඳ සංවිධාන ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කලේ මෙම වසරේ ලෝක වෙලෙඳාම වසර දහයක් තුලදී අඩුම අගයක් වාර්තා කල හැකි බවය.
ලෝක වෙලෙඳ පොලේ භාන්ඩ හා සේවා සඳහා ඉල්ලුම පහත වැටෙන තතු යටතේ විශේෂයෙන් එක්සත් ජනපදය චීනය සමඟ මෙන්ම මෑත කාලීනව යුරෝපා සංගමයට එරෙහිවද වෙලෙඳ යුද්ධය පෙර නොවූ විරූ මට්ටමකට ඉහල නංවා ඇත.
මෙම කොන්දේසි හමුවේ යුරෝපයේ සහ ඇමරිකාවේ වෙලෙඳපොලවල් හැකිලී යද්දි අපනයන ආදායම් මෙන්ම විදේශ ඉපයීම් කඩා වැටෙන තතු යටතේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය දිගින් දිගටම පහත වැටෙමින් පවතියි. ආර්ථික වර්ධනය වේගය 2016, 2017, 2018 යන වසර වලදී පිලිවෙලින් සියයට 4.4, 3.4 සහ 3.2 ක් ආදී වශයෙන් පහත වැටිනි. ත්‍රස්ත ප්‍රහාරය හමුවේ සංචාරයක ඉපයීම් පහත වැටීමත් සමඟ 2019 වසරේදී ආර්ථික වර්ධන වේගය සියයට 2.6ක් තරම් පහත අගයක් වනු ඇති බවට ගනන් බලා ඇත.
ලොව අනෙකුත් රටවල පාලක පන්තීන් අනුයමින් ධනපති සමාගම් වෙත ලාබදායී නය සම්පාදනය කොට නිෂ්පාදනය ඉහල නංවා ගැනීමේ මංමුලාසහගත ප්රයත්නයක යෙදෙන මහ බැංකුව මෑතදී සියයට දෙකකින් පොලී අනුපාත පහත හෙලන ලෙස වානිජ බැංකු වලට නියෝග කරන ලදී.
ඉදිරියේදී කවර කන්ඩායමක් බලයට පත් වුවද ආර්ථික සහ නය අර්බුදයට කවර හෝ ශක්‍ය විසඳුමක් ධනපති පන්තියට නැති නිසා ජාමුඅහි නියෝග පිලිපැදීමට බැඳී සිටියි.
නය සහ විදේශ විනිමය අර්බුදයක ගිලීසිටින ඉක්වදෝරයේ ලෙනින් මොරේනෝගේ ආන්ඩුව මෙම වසරේ මුලදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4.2ක නයක් ලබා ගත්තේය. ඒ සඳහා වසර 40ක් පමන පැරනි ඉන්ධන සහනාධාරය අත්හිටුවීම, රාජ්‍ය අංශයේ වැටුප් සියයය 20කින් කපා හැරීම, රාජ්‍ය අංශයේ සේවකයන්ගේ එක් දිනක වැටුපට සමාන මුදලක් සෑම මාසයකම ආන්ඩුවට පරිත්‍යාග කිරීමට සිදුවීම ඇතුලු පුලුල් කප්පාදු වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට එරෙහිව දැවැන්ත මහජන විරෝධතා ඉක්වදෝරයේ පැන නැගී ඇත. පච පොරොන්දු මගින් මහජනයා මුලාකොට බලයට එන ඕනෑම පක්ෂයක් ලංකාව තුල ද ක්‍රියාවට දමනු ඇත්තේ මේ හා සමාන වැඩපිලිවෙලකි.
ඉක්වදෝර් ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය ඇතිව කම්කරුවන්ගේ නැගිටීම තලා දැමීමට හමුදාව මුදා හාරිමින් සිටියි. ලංකාවේ ධනපති පක්ෂ ජනාධිපතිවරනය තුල තරඟ වදින්නේ පොලිස් රාජ්‍ය සැලසුම් ඍජුව ක්‍රියාවට දැමීමට සමත් ආන්ඩුවක් බලයට ගෙන ඒමේ එල්ලය ඇතිවය. ආර්ථික අර්බුදය තුලින් පැන නංවා ඇති මෙම අන්තරායන් කම්කරුවන් තරුනයන් බැරෑරුම්ව ගත යුතුය.
Follow us on