කලාවේ සහ ප්රකාශනයේ නිදහස ඇතුලු ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා පෙරමුන ගනිමු!
කලාවේ සහ ප්රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුවේ (කප්‍රනිආක) ප්‍රකාශය, 2019 සැප්තැම්බර් 24
ගෙවී යන වසර සනිටුහන් වන්නේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, ලංකාවේ කලාවේ හා ප්රකාශනයේ නිදහස ඇතුලු ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාර උත්සන්න කල වසරක් ලෙසයි.
සම්මානලාභී තරුන ලේඛක ශක්තික සත්කුමාර, තම ෆෙස්බුක් ගිනුමේ පලකල “අර්ධ” නමැති කෙටි කථාවක් හේතුවෙන්, සිංහල වර්ගවාදී හා බෞද්ධ අන්තවාදී සංවිධානවල උසිගැන්වීම් මත, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මාස සතරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබුනි. අගෝස්තු 08 වන දා ඔහු මහාධිකරන ඇප පිට නිදහස් කරගැනීමට හැකි වුවද, ඔහුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමේ අවදානම තවමත් පවතී.
මෙම නව ප්‍රහාරය, ”ඉගිල්ලෙන මාලුවෝ”, “උසාවිය නිහඬයි”, “අක්ෂරය” වැනි සිනමාපට මෙන්ම, “මේරි නම් වූ මරියා”, “බුදුන්ගේ රස්තියාදුව” වැනි කලා නිර්මාන රැසක්ම පාලක පන්තියේ දඬු අඬුවට අසුකල මර්දන පරිපාටියකම ඉහල පියවරකි.
කලා කෘතියට අමතරව නිර්මාපකයාටද එරෙහිව මර්දනය, අලුගෝසු නීති භාවිතා කීරීම, අත්අඩංගුවට ගැනීම්, සිරගත කිරීම් හා අමුඅමුවේ ඝාතනය කිරීම් වැනි මුර්ග ක්‍රියා දක්වාම ගෙන යාම ලංකාවේ ධනපති පාලක පන්තියට නුහුරු දේ නොවේ. පොලීසිය සත්කුමාරට එරෙහිව යොදාගත්තේ, පැරනි බි්රතාන්ය යටත්විජිත නීතියක් වන දන්ඩ නීති සංග්‍රහයේ 291බී වගන්තිය හා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනතේ 3(1) වන වගන්ති යි. මෙම මර්දක පනත මීට පෙර මාලක දේවප්‍රියගේ ”කනට පාරක්” යන රේඩියෝ කතා මාලාවට එරෙහිව ද යොදා ගැනුනි.
සත්කුමාරගෙන් පසු, දිල්ශාන් පතිරත්න, කිංග්ස්ලි ගුනතිලක, කුසල් පෙරේරා වැනි කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට එරෙහිව ද මෙම නීති යොදාගැනීමට ආන්ඩුව උත්සහ කලේ ය . කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුලු විකල්ප ලෙස සිතන මතන, ලියන හා ප්‍රකාශන කරන පුද්ගලයන්ට එරෙහිව රාජ්‍ය වාරනය හා භීතිය අද අභිමුඛ කොට ඇත.
ප්‍රහාරයේ පන්තිමය හා ජාත්‍යන්තර ස්වභාවය
සිංහල බෞද්ධ නඩවල ප්රකෝපකරන අනුව සත්කුමාර අත්අඩංගුවට ගැනීමට ආන්ඩුව ක්‍රියාත්මක වූයේ, කම්කරු පීඩිත මහජනතාව වාර්ගික රේඛා ඔස්සේ බෙදා දැමීම සඳහා පාලක පන්තියට පවතින අවශ්‍යතාව අනුව ය. විශේෂයෙන් දෙමල ජනයාට එරෙහි තිස් අවුරුදු සිංහල ස්වෝත්තමවාදී ලේවැකි යුද්ධය මගිනුත්, ඉන් පසුව මුස්ලිම් මහජනතාවට එරෙහිව දිගේලි කෙරුනු වර්ගවාදී ප්රහාරයන් මගිනුත් ප්‍රකාශිත වූයේ පාලක පන්තියේ මෙම ප්රතිගාමී අවශ්‍යතාව යි.
මහජනතාවට එරෙහි මෙම මිනීමරු ප්‍රහාර හුදෙක් ලංකාවට පමනක් සීමා වූ “ජාතික ප්‍රශ්නයක්” නොවේ. එය, ප්රජාතන්ත්රීය අයිතීන්ට එරෙහිව ධනේශ්වර ඒකාධිපතිත්වයන් අටවා ගැනීම සඳහා ඉන්දියාව ඇතුලු මෙම කලාපයේ සියලු රටවල හා ජාත්‍යන්තර පරිමානව පාලක පන්තිය දරන මුර්ග ව්‍යායාමයක කොටස් ය.
මෙම ප්රහාරයන්ගේ මූලය පවතින්නේ, 2008 ඇමරිකාවේ වෝල් වීදියේ බැංකු කඩාවැටීමත් සමග ලොව අස්සක් මුල්ලක් නෑර හඹා ගිය ලෝක ධනපති ආර්ථික හා මූල්‍ය අර්බුදය තුල ය. මෙම තතු යටතේ, පාලක පන්තීන් හැරීගෙන ඇත්තේ, විශාල සංගත හා බැංකු වල ලාභ පොදි තරකිරීම සඳහා කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමමින් දක්ෂිනාංශික ෆැසිස්ට් හා මිලිටරි-පොලිස් රාජ්‍යයන් ඇටවීම කරා ය.
ජුලියන් අසාන්ජ් හා චෙල්සි මැනිං
ප්රකාශනයේ නිදහස ඇතුලු ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ජාත්‍යන්තර ප්‍රහාරයේ උච්චතම අවස්ථාවක් වන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් ලොවපුරා සිදුකල යුද අපරාධ සහ තන්ත්ර මාරු කුමන්ත්රන හෙලිදරව් කල විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ, මාධ්‍යවේදී ජුලියන් අසාන්ජ් බොරු නඩු අටවා දඩයම් කිරීමට ඇමරිකානු, බි්රතාන්ය සහ ඕස්ටේ්රලියානු අධිරාජ්‍යවාදීන් ප්රමුඛ පාලක පන්තීන් දරන රුදුරු ප්රයත්නය යි.
ඉරාකය තුලදී ඇමරිකානු හමුදාව සිදුකල යුද අපරාධ රැගත් ”කොලැටරල් මර්ඩර්” වීඩියෝපටය වීකිලීක්ස් වෙබ් අඩවියට යොමුකල හිටපු යුද සෙබලෙක් වන චෙල්සි මැනිං සිරගතකර තබමින් අසාන්ජ්ට එරෙහිව සාක්ෂි දීමට ඇයට බලකරමින් තිබේ. අසාන්ජ් හා මැනිං කල ”වරද” වන්නේ, ලෝක මහජනතාවට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සත්‍ය මිනීමරු ස්වරූපය හෙලිදරව් කිරීම යි.
ප්රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට කැපවෙන සෑම ව්යපාරයක්ම අවශ්‍යයෙන්ම කම්කරු පොදු මහජනතාවගේ අසහාය වීරයන් වන අසාන්ජ් හා මැනිං ආරක්ෂා කර ගැනීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දියත් කර ඇති ගෝලීය උද්ඝෝෂනයට එක්විය යුතු වේ.
දේශපාලන වැඩපිලිවෙලක අවශ්‍යතාවය
ඒ හෝ මේ කලා කෘතියකට හෝ මාධ්‍යයකට මෙන්ම ඒවායේ නියැලෙන්නන්ට එල්ල කෙරෙන ප්‍රහාර මෙම සමස්ත ක්‍රියාදාමයෙන් වෙන්කොට, උසාවිය තුල විසඳා ගත හැකි නීතිමය ප්‍රශ්නයකට හෝ ධනපති ආන්ඩුවට හෝ පාර්ලිමේන්තුවට බලපෑම් දමා විසඳාගත හැකි ප්‍රශ්නයක් බවට ලඝු කිරීම අතිශයින් විනාශකාරී දේශපාලන මංමුලාවකි.
කලාවේ හා ප්රකාශනයේ නිදහස ඇතුලු සෑම ප්රජාතන්ත්රීය අයිතියක්ම ආරක්ෂා කරගත හැකි වන්නේ, එම අයිතීන් වලට එරෙහි ප්‍රහාරයේ මූලය වන ධනපති ක්‍රමය හා එහි ප්රතිගාමී මර්දක නීතිද අහෝසි කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත සටන් වැදීමෙන් පමනි.
එම විප්ලවවාදී වැඩපිලිවෙල ක්රියාවේ දැමීමට හැකි එකම ඓතිහාසික වසයෙන් බලගතු පන්තිය වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ නායකත්වය යටතේ, ධනපති පන්ති පාලනයට සෘජුව හෝ වක්‍රව සහයෝගී සියලු සංවිධානවලින් ස්වාධීනවූ, පුලුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම හදිසි කර්තව්‍යය බවට පත්ව ඇත.
කප්‍රනිආක පිහිටුවීම
මෙම දේශපාලන ඉදිරි දර්ශනය මත පදනම් වෙමින් කලාවේ සහ ප්රකාශනයේ නිදහස ආරක්ෂා කර ගැනීමට සටන්වදින ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීම සඳහා, ජුනි 24 දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හරහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) කල කැඳවීමට අනුව, සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), අගෝස්තු 09 දා, කොලඹ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී කලාවේ සහ ප්රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) පිහිටුවීය.
මෙම කමිටුව පිහිටුවීම, ලංකාවේත්, මෙම කලාපය තුලත්, ජාත්‍යන්තරවත්, ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය පුලුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීමේ වැඩපිලිවෙලක දැවැන්ත ප්රාරම්භයකි.
කමිටුව එදිනම සම්මත කල කරුනු අටකින් යුතු යෝජනාවලිය මගින් සත්කුමාරට හා අනෙකුත් කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට එරෙහි සියලු නඩු කටයුතු අහෝසිකල යුතු බවත්, ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ඕනෑම ආකාරයක මර්දනයකදී ඔවුන් ආරක්ෂා කරන බවත්, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත අහෝසි කල යුතු බවටත් තීන්දු ගත්තේය.
ක්‍රියාකාරී කමිටුවේ සංයුතිය හා ස්වභාවය
ප්රජාතන්ත්ර අයිතීන් සුරැකීමට මූලධර්මාත්මකව කැපවීමේ පදනම මත සියලු ප්රගතිශීලී, සමාජවාදී හා වාමාංශික පුද්ගලයින්ගේ හා සංවිධානවල, සහක්රියාකාරිත්වය කප්‍රනිආක ඉල්ලා සිටී. එය විශේෂයෙන් දේශපාලන දකුන බැහැර කරන අතර මහජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් මර්දනය කිරීම සඳහා ධනපති ආන්ඩුවලට ඍජු හෝ වක්‍ර සහයෝගය ලබා දුන් හා දෙමින් සිටින සෑම සංවිධානයකින්ම ස්වාධීනවීමේ දේශපාලන ආස්ථානය මත පිහිටයි.
කප්‍රනිආක සමග එක්වන්න
ධනපති ආන්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී ප්රහාරයන්ට එරෙහිව, රැස්වීම්, උද්ඝෝෂන, පෙලපාලි හා ප්‍රසිද්ධ සමුලු පවත්වමින් සත්කුමාර ඇතුලු කලාකරුවන්, මාධ්‍යවේදීන් ආරක්ෂා කරගැනීම සඳහා කප්‍රනිආක ක්‍රියාත්මක වෙයි. එම සටනට එක්වන ලෙස කලාවට ලැදි, ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට කැපවෙන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.
Follow us on