ශ්‍රී ලංකාවේ උතුරේ හා නැගෙනහිර අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධතා පවත්වති

විමල් රාසේන්ද්‍රන් හා එම්. කලයිමරන් විසිනි, 2019 සැප්තැම්බර් 17

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව ශ්‍රී ලංකාවේ ආන්ඩුව ගෙන ගිය දශක තුනක වාර්ගික යුද්ධය තුල දී පැහැරගත් හා මිලිටරියට යටත් වූ පසු අතුරුදන් වූවන්ගේ ඥාතීහු, අගෝස්තු 30දාට යෙදුනු ජාත්‍යන්තර අතුරුදන් වූවන්ගේ දිනයේ දී උතුරේ හා නැගෙනහිර බොහෝ ස්ථානවල දී විරෝධතා පැවැත්වූ හ.

තම දරුවන්, ස්වාමි පුරුෂයන් හා දෙමව්පියන් අහිමි වූ ස්ත්‍රීන්, වැඩිහිටියන් හා ලමුන් ඇතුලු සිය ගනනක් ජනයා මෙන් ම විශ්ව විද්‍යාල සිසුන් හා සමාජ ක්‍රියාකාරින්, පලාත් දෙකේ අගෝස්තු 30දා පැවති විරෝධතාවන්ට එක්ව සිටියේය.

වසර ගනනක් තිස්සේ අතුරුදන් වූ දෙමල වැසියන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන විරෝධතා මාලාවක අලුත්ම උද්ඝෝෂනය මෙය යි. මේ දක්වා, තම දරුවන් සොයාගැනීමට නො හැකි ව මෙම විරෝධතාවල යෙදුනු මව්පියන් අතරින් 35ක් මියගොස් ඇත.

අතුරුදන් වූවන්ගේ සමහර ඥාතීහු, වව්නියාවේ දින 900ක අඛන්ඩ විරෝධතාවක නියැලී සිටිති. වව්නියාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලය අසල පැවැත්වෙන මෙම විරෝධතාවට මාරුවෙන් මාරුවට පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් සහභාගි වෙති. අගෝස්තු 30දා, ඔවුහු වව්නියාවේ පන්ද්‍රිකෝඩකුලම් පිල්ලෙයාර් හින්දු කෝවිලේ සිට කිලෝමීටර 18ක් දුරින් පිහිටි ඕමන්තෙයිහි රම්බයිකුලම් දක්වා විරෝධතා පාගමනක් පැවැත්වූ හ.

යුද්ධය සමයේත් ඉන් පසුවත් ඕමන්තෙයිහි ප්‍රධාන මිලිටරි “පිරික්සුම් පොලක්” තිබුනි. මෙම පිරික්සුම් පොලේ දී තම ආදරනීයයන් මිලිටරියට භාරදීමට බොහෝ දෙනාට බලකෙරුනි.

උද්ඝෝෂනය අවසානයේ විරෝධතාකරුවෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාරදීම සඳහා ක්‍රිස්තියානි පූජකයෙකු වන ජෝසෆ් අන්තෝනිපිල්ලේ ජේසුදාසන්ට පෙත්සමක් භාරදුන් හ. විරෝධතාකරුවන් බියවැද්දීම සඳහා පොලීසිය විශාල ප්‍රමානයක් මෙහෙයවීමට ආන්ඩුව කටයුතු කර තිබුනි.

“මිලිටරියටයි! අප ඔබට භාරදුන් අපේ ආදරනීයයන් කොහි ද? අපට පිලිතුරු දෙනු!”, “ශ්‍රී ලංකා ආන්ඩුවටයි! බලරහිත අතුරුදන් වූවන්ගේ කාර්යාලය (ඕඑම්පී) පිහිටුවමින් ජාත්‍යන්තර ප්‍රජාව නො රවටනු!”, “දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පමා කරන්නේ ඇයි?”, “සුදුවෑන්වලින් පැහැරගත් අපේ දරුවන් කොහි ද?” යන සටන්පාඨ සහිත පුවරු හා අතුරුදන් වූවන්ගේ ඡායාරූප විරෝධතාකරුවෝ ඔසවාගෙන සිටියහ.

කිලිනොච්චියේ ද විරෝධතාවක් පැවැත්වුනි. මන්නාරම පුරවැසි කවුන්සිලය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් පුද්ගලයන් සිය ගනනකගේ සහභාගිත්වයෙන් මන්නාරම නගරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුනි. ඔවුහු පෙලපාලියක් ද පැවැත්වූ හ.

නැගෙනහිර පලාතේ කල්මුනේ හා මඩකලපුවේ දී ද ඒ හා සමාන පෙලපාලි හා රැස්වීම් පවත්වනු ලැබිනි. කොලඹ දී විරෝධතාවක් පවත්වන ලද අතර, මධ්‍යම කඳුකරයේ බොගවන්තලාවේ කර්කස්වර්ල්ඞ් වත්තේ තරුනයන් කන්ඩායමක් මෙම විරෝධතාවන්ට සහයෝගය පලකරමින් පිකට් උද්ඝෝෂනයක් පැවැත්වීම විශේෂ සිද්ධියක් විය.

දෙමල වැසියන්ටත් විශේෂයෙන් දෙමල තරුනයන්ටත් හිංසාකිරීම 1983 යුද්ධය ඇරඹූ තැන් පටන් උත්සන්න විය. 2006 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් යුද්ධය යලි ඇරඹූ පසුව ම්ලේච්ඡ මර්දනය තීව්‍ර කරන ලද අතර, පොලීසිය හා ආරක්ෂක හමුදාවන් විසින් දෙමල තරුනයන් දහස් ගනනක් අත්අඩංගුවට ගැනීම් හා අතුරුදන් කිරීම් සිදු කර ඇත. කප්පම් ලෙස රුපියල් මිලියන ගනන් ගැනිමෙන් පසු පුද්ගලයන් කිහිපදෙනෙකු නිදහස් කරන ලදී.

එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, මිලිටරිය විසින් එල්ල කරනල ලද ඉව බව නැති ප්‍රහාර හේතුවෙන් යුද්ධයේ අවසන් මාස කිහිපයේ සිවිල් වැසියන් 40,000ක් පමන ඝාතනයට ලක් වී ඇත. එම දිනවල කොටු වූ දෙමල සිවිල් වැසියන් 300,000ක් පමන මිලිටරිය විසින් පාලනය කෙරුනු රැඳවුම් කඳවුරුවලට බලහත්කාරයෙන් ගාල් කරනු ලැබී ය.

මිලිටරි ඔත්තු සේවය තරුනයන් මිනිසුන් හා ගැහැනුන් දහස් ගනනක් එල්ටීටීඊ සැකකරුවන් ලෙස එම කඳවුරුවලින් අල්ලා ගත්තේය. ඔවුන්ගෙන් 11,000ක් “පුනරුත්ථාපනය” කිරීමෙන් පසු නිදහස් කරන ලද නමුත්, බොහෝ දෙනා අතුරුදන් විය. පුද්ගලයන් 23,586ක් අතුරුන් ව ඇති බව සමහර වාර්තා පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ බලහත්කාරී අතුරුදන් කිරීම් පිලිබඳ කාර්යසාධක කන්ඩායම 2016 දී නිකුත් කල වාර්තාවක්, එම ක්‍රියා සිදුකරන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ පසු වූ බව සඳහන් කලේ ය. දෙමල වැසියන් සියයකට වැඩි පිරිසක් තවමත් බන්ධනාගාර තුල හිංසාවට ලක්වෙමින් සිටින අතර, ඔවුන්ගෙන් සමහර අය චෝදනා රහිත ව දශකයකට වැඩි කාලයක් රඳවාගනු ලැබ ඇත.

2015 ජනාධිපතිවරනයේ දී, දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඇතුලු සියලු ප්‍රතිගාමී බලවේගයන්ගේ ආධාරය සහිත ව සිරිසේන බලයට පත් විය. සිරිසේන යුද්ධයට ගොදුරුවූවන්ට වන්දි ගෙවීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා මිලිටරිය වාඩිලාගෙන සිටින සිවිල් ඉඩම් ආපසු ලබාදීම කරනු ඇතැයි දෙජාස කීවේ ය. මෙම පොරොන්දු ජනතාව රවටා, එක්සත් ජනපද-හිතවාදී තන්ත්‍ර-මාරුව සඳහා ඔවුන්ගේ ඡන්ද ලබාගැනිම සඳහා වූ ඒවා විය. මිලිටරිය විසින් අල්ලාගෙන සිටින ඉඩම්වලින් කොටසක් ආපසු දීම හැර මෙම පොරොන්දු ඉවත දමා ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මෑත දී “ඔවුන් (අතුරුදන් වූවන්) මියගියා වන්නට ඇති” යි ප්‍රකාශ කල නමුත් ඒ කෙසේදැයි විස්තර කලේ නැත.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව 2017 සැප්තැම්බරයේ ඕඑම්පී විවෘත කලේ ය. එහෙත් එය ඇස්බැන්දුමක් පමනක් බවට පත්ව ඇත.

අතුරුදන් වූවනගේ ඥාතීන් සහභාගි වන විරෝධතා සංවිධානය කරන දෙජාස ඇතුලු සියලු දෙමල ධනපති පක්ෂ හා පූජකයන්, විදේශගත දෙමල කන්ඩායම් හා රාජ්‍ය නො වන සංවිධාන, ප්‍රශ්න විසඳීම සඳහා එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පීඩනය යෙදිය හැකි ය යන මිථ්‍යාව වපුරා ඇත. පසුගිය සතියේ විරෝධතා යොමුකර තිබුනේද මේ සඳහායි. යථාර්ථයේ දී මෙම සංවිධාන සිදුකරන්නේ, ජනයා අතර පවතින කෝපය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගැනීම සඳහා සැබෑ අරගලයක් දියත් කිරීමට යොමුවීමෙන් වලක්වා අපසරනය කිරීම යි.

එල්ටීටීඊය එහි බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අනුව එක්සත් ජනපදයේ හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන්ගේ සහයෝගයට ආයාචනා කලේ ය. එහෙත් එක්සත් ජනපදය හා ඉන්දියාව ඇතුලු අනෙකුත් බලයන්, ඔවුන්ගේ භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට අනුව එල්ටීටීඊයට එරෙහිව කොලඹ ආන්ඩුවේ යුද්ධයට පිටුබලය දුන්නේ ය.

රාජපක්ෂ තන්ත්‍රයේ ප්‍රධාන අරමුදල් හා යුද්ධායුධ සම්පාදකයා ලෙස බෙයිජිනය ඉස්මතුවීමත් සමග යුද්ධයේ අවසන් මාස කිහිපයේ වොෂින්ටනය කොලඹ ආන්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විවේචනය කිරීම ඇරඹී ය.

එක්සත් ජනපදය ලෝකයේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්ගෙන් ප්‍රමුඛයා වෙයි. එහෙත් , මානව හිමිකම්වල ආරක්ෂකයෙක් ලෙස ව්‍යාජව පෙනීසිටිමින් බෙයිජිනයෙන් ඈත්වන ලෙසට රාජපක්ෂ ආන්ඩුව මත පීඩනය යෙදීම සඳහා එහි යුද අපරාධ යොදාගත්තේ ය. අවසානයේ දී, රාජපක්ෂ ඉවත් කොට වික්‍රමසිංහගේ ද උදව්ව සහිත ව සිරිසේන බලයට ගෙන ඒම සඳහා එය තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැම්මේ, ඉන්දියන් සාගරයේ මූලෝපායික ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව, චීනයට එරෙහි මිලිටරිවාදී ධාවනය තුලට ගාල් කරගැනීමට යි.

එල්ටීටීඊයේ හොරනෑව ලෙස ක්‍රියාකරමින් සිටි අවුරුදුවල දෙජාස, එය එක්සත් ජනපදයට කල ආයාචනාවන්ට උද්‍යෝගිමත් ලෙස සහයෝගය දුන්නේ ය. යුද්ධයෙන් පසු දෙජාස, වොෂින්ටනයේ ව්‍යාජ මානව හිමිකම් උද්ඝෝෂනය සමග පෙලගැසුනි. තන්ත්‍ර-මාරු මෙහෙයුමට සහයෝගය දුන් එය, කොලඹ ආන්ඩුවේ වොෂින්ටන-හිතවාදී පියවරයන්ට නොපැකිල සහාය දුන්නේය. දෙජාස සමග උපායාත්මක මතභේද පමනක් ඇති අනෙකුත් දෙමල පක්ෂ, මූලික වසයෙන් එක්සත් ජනපද-හිතවාදී වැඩපිලිවෙලක් අනුගමනය කරති.

මෙම සංවිධානවලින් එකක් වත් දෙමල කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නියෝජනය නො කරති. ඒවා දෙමල කම්කරුවන්ගේ හා දුගීන් අතර පවතින විරෝධය පීලිපන්නවා, ප්‍රධාන බලයන්ට හා එක්සත් ජාතීන්ට නිෂ්ඵල ආයාචනා කිරීම සදහා මෙහෙයවීමට එකට ක්‍රියාකරති. කොලඹ පාලක ප්‍රභූව මෙන් ඔවුහු ද සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් වාර්ගික රේඛා කපාගෙන එකමුතු වීමට ද ඔවුන් දකුනු ආසියාවේ හා ජාත්‍යන්ත කම්කරු පන්තිය සමග එක්සත් කමකට ගෙන ඒමට ද වර්ධනය වන කොන්දේසි කෙරෙහි භීතියට පත්ව සිටිති.

දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා යුද්ධයේ විනාශයෙන් අතිකෙරුනු ප්‍රශ්නවලට ධනපති පාලනය යටතේ හෝ ධනපති පද්ධතිය තුල හෝ මහා බලවතුන්ට ආයාචනා කිරීමෙන් ඉටු කරගත නො හැක. දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් තලා දැමීමේ හා ශ්‍රී ලංකාව තුල යුද්ධයේ මූලාශ්‍රය වන්නේ, ලෝක ධනවාදයට බැඳී ඇති ශ්‍රී ලංකාවේ ධනපති පාලනය යි. දෙමල වැසියන්ට වෙනස්කම් කල එය, කම්කරු පන්තිය බෙදීමට වාර්ගික ආතතීන් ඇවිලවී ය. කම්කරුවන්ට හා දුගින්ට තම ප්‍රජාතන්ත්‍ර අයිතීන් සාක්ෂාත් කරගත හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටන තුල ධනවාදය පෙරලා දැමීමෙන් පමනි.

ඕමන්තෙයි විරෝධතාවේ දී ලෝසවෙඅ සමග කතා කල අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීහු, දෙජාස හා ආන්ඩුව කෙරෙහි ඔවුන් අතර පවතින විරෝධය ප්‍රකාශ කල හ.

ඕමන්තෙයි පැවති විරෝධතාව

අනියම් කම්කරුවෙක් වන දේවදාසන්, අවසන් යුද්ධයේ දී තම සහෝදරයා අතුරුදන් වන විට ඔහුගේ වයස 19ක් බව කීවේ ය. “පහුගිය අවුරුදු 10 තිස්සේ මං ඔහු ව හෙවුවත්, ඔහු කොහේදැයි මම තවමත් දන්නේ නැහැ. ඔහු හොයා දෙන බවට දෙජාස මන්ත්‍රීන් වන ශ්‍රීධරන් හා සිවාජිලිංගම් පොරොන්දු වීමෙන් පසු වසර ගනනක් ගත වී තිබෙනවා. මැතිවරනයක් ඒමට නියමිත යි. එම බොරු ම කියාගෙන ඔවුන් පෙරලා අප වෙත එයි. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ කර ඇත්තේ අප රැවටීම යි” යි ඔහු කීවේ ය. “ලොව පුරා මානව හිමිකම් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය කතා කරනවා. එය අපේ ගැටලු විසඳාවි යයි මම තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ” යි ඔහු කීවේ ය.

මහේෂ්වරී

මල්ලාවි සිට පැමිනි 61 හැවිරිදි පී. මහේෂ්වරීට හා 59 හැවිරිදි සන්තානම්මාට කීමට ද ඇත්තේ ද එම කතාව ම යි. මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවියෙක් වන නීකිලාන්, අතුරුදන් වන විට 21 හැවිරිදි වියේ පසු වූ තම පුත්‍රයා සොයමින් සිටී. “එල්ටීටීඊය පලමුවෙන් මගේ පුතා අල්ලා ගත්තා, තුවාල වුනා ම ඔහු ආපසු පැමිනියා. 2009 අප්‍රේල් 20දා ඉරනයිපලෙයි හන්දියෙදි මම මගේ පුතා ව හමුදාවට භාර දුන්නා. එතන ඉඳන් මගේ පුතා ආගිය අතක් නැහැ” යි ඔහු කීවේ ය.

සන්තානම්මා

නීකිලාන් මිලිටරිය විසින් පවත්වාගෙන යන වව්නියාවේ කඳවුරකට රැගෙන යන ලදී. වව්නියාව රෝහල ඇතුලු සෑම තැනක ම ඔහු පුතා ව සෙව්ව ද පලක් නො වී ය. “මම නඩුවක් පවරන්න උත්සාහ කරනකොට සාක්ෂිකරුවෙක් ගේන්න කියලා මට කියනවා. මමත් [පුතාගේ අතුරුදහන්වීම ගැන] සාක්ෂිකරුවෙක් තමයි,” ඔහු අවධාරනයෙන් කීවේය.

Share this article: