ජෙනරල් මෝටර්ස් වැඩ වර්ජනය: පන්ති අරගලයට එදිරිව වාර්ගික බෙදීම්වල ප්රතිගාමී දේශපාලනය
The strike at General Motors: Class struggle vs. the reactionary politics of racial division
ගෝලීය ධනවාදයේ හදවත වන එක්සත් ජනපදය තුල, දැවැන්ත අරගලයක් සිදුවෙමින් පවතී. ලෝකයේ බලවත්ම කාර්මික සංගතයක් වන ජෙනරල් මෝටර්ස් සමාගමට එරෙහිව 46,000 කට අධික මෝටර් රථ කම්කරුවෝ වැඩවර්ජනයක නිරතව සිටිති. දශක ගනනාවක මර්දනයෙන් පසු, පන්ති අරගලය යලි පිබිදෙමින් පවතින අතර, එහි ප්‍රතිපල ලොව පුරා පැතිරෙනු ඇත.
මෝටර් රථ කම්කරුවන්ගේ ප්රකාශනය තුල විදහා දැක්වුනු ඇමරිකා එක්සත් ජනපදයේ පන්ති අරගලයේ දැවැන්ත සම්ප්‍රදායන්, එනම් සංගතවලට එරෙහි වීම, සමගිය සඳහා ඇති කැමත්ත හා පවතින සමාජයට වන සතුරුකම මතුපිටට නැග එමින් තිබේ. සංගත කලමනාකරනයේ අල්ලස් මෙවලමක් ලෙස එලිදරව් වී ඇති, එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිතියට වන විශ්වීය වෛරය මෙයට එකතු කල යුතු ය.
කම්කරුවන් තම හඬ සොයා ගැනීමට පටන් ගන්නේ එවැනි අවස්ථාවන්හිදී ය. පිකට් වැටවල දී, විවිධ වාර්ගික, ස්ත්‍රී පුරුෂ හා ජනවාර්ගික කම්කරුවන් එක්සත් කෙරෙන්නේ තමන් හවුලේ සූරාකෑමට භාජනය වීම පිලිබඳ පොදු සංකල්පය හා තමන් මෙන් ම තම දරුවන් වෙනුවෙන් අනාගතයක් සඳහා සටන් කිරීමට ඇති අධිෂ්ඨානය විසිනි. කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුකම ප්‍රකාශ කරන මෙක්සිකෝව, බ්‍රසීලය සහ ජර්මනිය යන රටවල සහයෝගීතාවයේ පනිවුඩ මගින් කම්කරුවෝ ධෛර්යමත් වී සිටිති.
සිදුවෙමින් පවතින සෑම දෙයක් ම ප්‍රතික්ෂේප කරන්නේ, කම්කරු පන්තියේ මරනය මෙන් ම පන්ති අරගලයේ අවසානය ද, උපකල්පන පූර්වක ව වර්ගය, ස්ත්‍රීපුරුෂ භාවය හා ලිංගිකත්වය කේන්ද්‍ර කර ගැනුන ගැටුම් ඒ තැන ගැනීම ද ප්‍රකාශ කර ඇති ප්රතිගාමී ආඛ්‍යානය යි. කම්කරු පන්තිය පවතිනවා පමනක් නො ව, මාක්ස් අවධාරනය කල පරිදි පන්ති අරගලය ලෝක ඉතිහාසයේ ගාමක බලවේගය වන්නේ ය.
මෙම කරුනු විසින් බිය පත් කරනු ලබන්නේ වාර්ගික හා ජනවාර්ගික බෙදීම් ඇවිස්සීමට හැකි සෑම දෙයක්ම කරමින් ප්‍රතිචාර දක්වන පාලක පන්තිය යි.
යන්තම් මීට මාසයකට පෙර, නිව්යෝර්ක් ටයිම්ස් සිය ඉරිදා සඟරාවේ පිටු 100කින් යුත් “1619 ව්‍යාපෘතිය” පිලිබඳ විශේෂ සංස්කරනයක් ප්‍රකාශයට පත් කලේ ය. මෙය ඇමරිකානු ඉතිහාසය පිලිබඳව වර්ගය මත පදනම් වුනු මුසාකරනයක් ඉදිරිපත් කලේ ය. “කලු ජාතිකයන්” සහ “සුදු ජාතිකයන්” අතර ගැටුම ඇමරිකානු සමාජයේ කේන්ද්‍රයේ පවතින බවත්, එමෙන්ම “කලු විරෝධී වර්ගවාදය මේ රටේ ඩීඑන්ඒ (ජාන පද්ධතියම) තුලම ක්‍රියාත්මක වන” බවත් ටයිම්ස්තීරු ලිපි රචක නිකොල් හැනා ජෝන්ස් ලිව්වා ය. ජනමාධ්‍යවල මෙන් ම රට පුරා විශ්වවිද්‍යාලවල ආක්රමනකාරී ව්‍යාපාරයක් ඔස්සේ මෙම සංකල්පය සක්‍රීයව ප්‍රචාරය කෙරෙමින් පවතී.
1619 ව්‍යාපෘතිය විශ්ලේෂනය කරමින් ලෝසවෙඅ සිය ප්‍රකාශයේ ලියා ඇති පරිදි, ටයිම්ස් ආඛ්‍යානයෙන් මුලුමනින් ම ඉවත් කර ඇත්තේ ඇමරිකානු කම්කරු පන්තියේ ඉතිහාසය හා වර්ධනය පිලිබඳ කිසියම් හෝ සඳහනකි. “කිසිදු පන්ති අරගලයක් නැති බැවින් අප්‍රිකානු-ඇමරිකානු ජනගහනයට හා නිදහස් වහලුන්ගේ ජනගහනයක් කම්කරු පන්තියේ තීරනාත්මක කොටසක් බවට පත් කල සිදුවීම් පිලිබඳ සැබෑ ඉතිහාසයක් නොමැති”බව ලෝසවෙඅසඳහන් කලේ ය.
සිවිල් යුද්ධයෙන් පසු දශක කිහිපය තුල පන්ති විඥානයට යටින් වල කැපීම සඳහා පාලක පන්තිය විසින් වාර්ගික බෙදීම් දැනුවත් ව හා හිතාමතා ම ප්‍රචාරය කල ආකාරය ටයිම්ස් වාර්තාව මුලුමනින් ම අතහැර දමා ඇත. මෙම විනාශකාරී දෘෂ්ටිවාදාත්මක යුද්ධයේ වඩාත් කැපී පෙනෙන උදාහරන අතර වූයේ 1920 හා 30 දශකවල ෆෝඞ් සහ අනෙකුත් මෝටර් රථ සමාගම් විසින් ප්‍රවර්ධනය කරන ලද ජාතිවාදය සහ යුදෙව් විරෝධය යි, මෙය ජය ගන්නා ලද්දේ, එවකට සමාජවාදයට හිතැති කම්කරුවන් විසින් නායකත්වය ගන්නා ලද, කාර්මික වෘත්තීය සමිති ස්ථාපනය කිරීම තුල දී ය.
පසුගිය අවුරුදු හතලිහ තුල, වාර්ගික බෙදීම් ප්‍රචාරය කිරීම ව්‍යාජ වාම දේශපාලනයේ කේන්ද්‍රීය අංගයක් බවට පත්ව ඇත. එය ඉහල මධ්‍යම පන්තියේ වරප්රසාදිත කොටස්වල අවශ්‍යතා මත පදනම් වූ සමාජවාදයට එරෙහි ප්රතිගාමී ප්රහාරයකි.
වර්ගවාදී ඓතිහාසික ආඛ්‍යානය සමකාලීන දේශපාලන අරමුනු සඳහා, එනම් කම්කරුවන් එකිනෙකාට එරෙහිව බෙදීම, පන්ති විඥානයේ වර්ධනය අවහිර කිරීම හා අවමංගත කිරීමට සේවය කරයි. මීට පෙර 2016 ජූලි මාසයේදී හැනා-ජෝන්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද රචනාවකදී, පොලිස් ප්රචන්ඩත්වයේ සිදුවීම්වලට ප්‍රතිචාර දක්වමින් ටයිම්ස් තීරු රචකයා “සුදු ඇමරිකානුවන්ගේ සහ කලු ඇමරිකානුවන්ගේ සාමූහික ජීවන අත්දැකීම් අතර ඇති විශාල පරතරය, සැබෑ සහානුභූතියක් ඇති වීම වලක්වාලයි” යනුවෙන් ලිවීය.
යමෙකු වැඩ වර්ජිත ජීඑම් කම්කරුවන් අතර මෙම “විශාල පරතරය” දකින්නේ කොතැන ද? කලු හෝ සුදු වේවා, වැටුප් පහත වැටීම, රැකියා වලට පහර දීම, සෞඛ්‍ය සේවා විනාශ කිරීම වැනි එකම අත්දැකීම් ඔවුන්ට ඇත. මෙය එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන්ට පමනක් නො ව, සෑම අංශයකම මෙන් ම ලොව පුරා සිටින සෑම කම්කරුවෙකුට ම සත්‍ය වන්නේ ය.
ඩිමොක්රටික් පක්ෂය සහ ව්‍යාජ වම්මුන් විසින් ජාතිවාදයේ බලකොටු ලෙස හෙලා දුටු, බටහිර වර්ජීනියා හා කෙන්ටකීවල සිට ඔක්ලහෝමා හා ඇරිසෝනා දක්වා ප්‍රාන්තවල, පසුගිය වර්ෂය තුල ගුරුවරුන්ගේ වැඩ වර්ජන අත්දැක තිබේ. පසුගිය මාසයේ ඇමරිකානු දකුනේ මෑත ඉතිහාසයේ විශාලතම වැඩ වර්ජනය, ඒටීඇන්ඞ්ටී සමාගමේ කළු හා සුදු කම්කරුවන් පොදු අරගලයක දී එකට සම්බන්ධ කලහ. පෝටෝ රිකෝ හා ප්රන්සයේ සිට ඇල්ජීරියාව, හොංකොං සහ සුඩානය දක්වා විශාල පෙලපාලි පැතිරී තිබේ.
අධිචෝදනා ලැබ සිටින යූඒඩබ්ලිව් නිලධාරීන් අතර වාර්ගික භේදයක් ඇති බව ද පෙන්වා දිය යුතු නැත. ඔවුන් අතර කම්කරුවන්ගෙන් සොරකම් කිරීමට හා සමාගම්වලින් අල්ලස් ලබා ගැනීමට සමාන හැකියාවක් පෙන්නුම් කල කලු සහ සුදු විධායකයෝ වෙති. මෙය සුලුතර ජනගහනය අතර සමාජ අසමානතාවේ දැවන්ත වර්ධනයේ කොටසක් වන්නේ, ශාස්ත්රාල, ආන්ඩුව, සංගත පාලක මඩුලු හා වෘත්තීය සමති සංවිධාවල බලවත් හා වරප්රසාදිත තනතුරුවලට කුඩා සුලුතරයක් ගෙන ඒම සමගිනි.
“සුදු වරප්‍රසාදය” එසේත් නැතිනම් පිරිමි වරප්‍රසාද හා පුරුෂාධිපත්‍යය ගැන කතා කරමින් පිකට් වැටවලට පැමිනෙන ඕනෑම කෙනෙකු දැකිය යුත්තේ, කම්කරුවන් එකිනෙකාට එරෙහිව බෙදීමට උත්සාහ කිරීම සඳහා කුලියට ගත් සමාගම් ප්රකෝපකාරියෙකු ලෙස ය. ඩිමොක්රටික් පක්ෂය වටා ඇති සංවිධාන බොහෝ දුරට මෝටර් රථ කම්කරුවන්ගේ අරගලය නො සලකා හැර ඇති අතර, ඔවුන් මැදිහත් වන තාක් දුරට වාර්ගික හා ස්ත්‍රී පුරුෂ දේශපාලනය එන්නත් කරන අතරම, යූඒඩබ්ලිව් සංවිධානය ශක්තිමත් කිරීමට දරන උත්සාහයක් වනු ඇත.
සියලු වාර්ගික, ජනවාර්ගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය හරහා එක්සත් ජනපදයේ කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලය ලොව පුරා කම්කරුවන් ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතා මත එක්සත් කිරීමේ අරගලයේ කොටසකි. ඩිමොක්රටික් පක්ෂයේ විශේෂත්වය වන වාර්ගික හා අනන්‍යතා දේශපාලනය, එක්සත් ජනපදයේ කම්කරුවන් ලතින් ඇමරිකාව හා ආසියාවේ තම පන්ති සහෝදර සහෝදරියන්ට එරෙහිව කෙටවීම ඉලක්ක කර ගනිමින්, ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් ප්‍රචාරය කරනු ලබන හා ඩෙමොක්‍රටිකයින් විසින් පහසුකම් සපයනු ලබන සංක්රමන-විරෝධී ස්වෝත්තමවාදයේ ඌන පූරනය වේ.
ජෙනරල් මෝටර්ස් වැඩවර්ජනය වඩාත් පුලුල් ප්රවනතාවයක අවධියකි. පන්ති අරගලයේ වර්ධනය යනු ජාතිය, වර්ගය, ජනවාර්ගිකත්වය, භාෂාව හෝ ස්ත්‍රී පුරුෂ භාවය යන රේඛා ඔස්සේ කම්කරු පන්තිය බෙදීමට දරන සියලු උත්සාහයන් ගැඹුරින් වලක්වන වෛෂයික ක්‍රියාවලියකි. පන්ති අරගලය වර්ධනය වී විවෘතව ධනවාදී විරෝධී හා සමාජවාදී ස්වභාවයක් ගන්නා විට, වාර්ගික අනන්‍යතා දේශපාලනයේ ස්වභාවය සහ භූමිකාව සහ එය ප්‍රචාරය කරන සංවිධාන වඩාත් පැහැදිලිව හෙලිදරව් වනු ඇත.
ජෝශප් කිෂෝර්
Follow us on