ශ්‍රී ලංකාවේ දෙමල පක්ෂ නායකයන් ජනාධිපති රාජපක්ෂ සමග වැඩකිරීමට සූදානම්
Sri Lankan Tamil party leaders ready to work with President Rajapakse
සුභාෂ් සෝමචන්ද්‍රන් හා එස්. ජයන්ත් විසිනි, 2020 පෙබරවාරි 4
පසුගිය මාසය මුල දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කල වැඩපිලිවෙල පිලිබඳ ව පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී, ආර්. සම්බන්ධන් හා එම්. ඒ. සුමන්දිරන් යන දෙමල ජාතික සන්ධාන (දෙජාස) නායකයෝ රාජපක්ෂ සමග වැඩකිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කල හ.
“ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්” සඳහා දෙජාස නායකයන් දෙදෙනා ම පිලිකුල් සහගත ලෙස රාජපක්ෂට ආයාචනා කලේ එයට ප්රතිඋපකාරී වසයෙන් දෙජාසයේ සහයෝගය පුදකරමිනි. “ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්” යන සුලභ වාක්‍ය ඛන්ඩය දෙමල ප්රභූව විසින් ආකාරගත ව යොදාගන්නේ, දේශපාලන බලය බෙදීමක් හෙවත් දෙමල ජාතිකයන්ගෙන් බහුතරය ජීවත් වන ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පලාත් පාලනය කිරීමට අවසර ලබාගනු වස් ආයාචනා කිරීමටයි.
එක්සත් ජනපද-හිතවාදී දෙජාස, ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ), දෙමල ඊලම් විමුක්ති සංවිධානය (ටෙලෝ) හා දෙමල ඊලම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්) ඇතුලත් වන දෙමල ධනේශ්වර පක්ෂවලින් සැදුම්ලත් සංවිධානයකි.
මාස තුනකට පෙර ජනාධිපතිවරනය සමයේ දෙජාස ප්‍රකාශ කලේ, “ආඥාදායක ප්රවනතා” සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට වඩා, එක්සත් ජාතික පක්ෂය (එජාප) හා එහි අපේක්ෂක සජිත් ප්‍රේමදාස “ප්රජාතන්ත්රවාදී” බව යි. ප්‍රේමදාසට ඡන්දය දෙන ලෙස දෙජාස දෙමල ජාතිකයන් ව උනන්දු කලේ ය.
දේශපාලන විකල්පයකින් තොර වූ හා රාජපක්ෂට පලල් ව වෛර කරන දෙමල ජනයා, මෙම නිර්දේශයන්ට ප්‍රතිචාර දක්වමින් ප්‍රේමදාසට ඡන්දය දුන් හ. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වාර්ගික යුද්ධයේ අවසන් වසර කිහිපය තුල ආරක්ෂක ලේකම් ලෙස ඉටුකල භූමිකාව හේතුවෙන්, රාජපක්ෂ දෙමල කම්කරුවන් හා දුගීන්ගේ වෛරයට පාත්රව සිටී.
එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව, රුදුරු ගැටුමේ අවසන් සති කිහිපය තුල කරන ලද ඉවබව නැති බෝම්බ හෙලීම්වලින් දෙමල සිවිල් වැසියන් දහස් ගනනක් ඝාතනය විය. ශ්‍රී ලංකාවේ හමුදාවට භාර වූ සිය ගනනක් වන තරුනයන් ගැන මෙතෙකුදු හෝඩුවාවක් නැත. සිවිල් වැසියන් 300.000 ක් පමන මිලිටරි කඳවුරුවලට ගාල් කරන ලද අතර, 11,000කට වැඩි තරුනයන් ඊනියා පුනරුත්ථාපන කඳවුරුවලට ඇදගෙන යන ලදී.
ප්‍රේමදාස හා එජාපය වඩා “ප්රජාතන්ත්රවාදී” යන දෙජාස කියාපැම අමු පචයකි.
ශ්‍රී ලංකාව 1948 දී ලත් නාමික නිදහසේ පටන් දෙමල-විරෝධී වෙනස්කම් ඇවිලූ එජාපය, කම්කරු පන්තිය බෙදා මර්දනය කිරීමට එය යොදාගත්තේ ය. එජාපය 1983 දී එල්ටීටීඊයට එරෙහි වාර්ගික යුද්ධය ඇවිලවී ය.
සජිත් ප්‍රේමදාසගේ පියා වූ ජනාධිපති ආර්. ප්‍රේමදාස උතුරේ හා නැගෙනහිරේ යුද්ධය යලි ඇරඹුවා පමනක් නො ව, 1988-1990 ගම්බද නොසන්සුන් සමයේ සිංහල තරුනයන් 60,000ක් සංහාරයට ලක්කිරීම ගැන දේශපාලනික ව වගකිව යුතු විය. එජාප නායකයෙක් හා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ඇමතිවරයෙකු ලෙස සජිත් ප්‍රේමදාස කොලඹ ආන්ඩුව කම්කරුවන් හා දුගීන් මත එල්ල කල ආර්ථික හා දේශපාලන ප්‍රහාර සියල්ලට අනුමැතිය දුන්නේ ය.
ගෝඨාභය රාජපක්ෂට “ආඥාදායක ප්රවනතා” තිබෙන බව කලින් ප්‍රකාශ කර ඇති දෙජාස නායකත්වය දැන් තානය වෙනස් කර ඇත.
අලුතින් පත්වූ ජනාධිපතිගේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය පිලිබඳ ව පසුගිය මාසයේ පැවති පාර්ලිමේන්තු විවාදයේ දී, දෙජාසහි සම්බන්ධන් ගෝඨාභය රාජපක්ෂට ප්රශස්ති ගායනා කලේ, රටෙහි පලමුවැනි “දේශපාලනඥයෙකු නො වන” ජනාධිපතිවරයා හා “සත්‍යය කතාකිරීමට හා නිවැරදි දෙය කිරීමට” සූදානම් පුද්ගලයෙකු ලෙස ඔහු ව විස්තර කරමිනි.
චාටු බස් දෙඩීම අඛන්ඩ ව ඉදිරියට ගියේ ය. “ඔහු යම් වරදක් කරන්නේ නම්, අපි ඔහුට උපදෙස් දී නිවැරදි කිරීම අවශ්‍ය ය. ඔහු සමග වැඩ කිරීමට අපි සූදානම්” යි සම්බන්ධන් ප්‍රකාශ කලේ ය.
ශ්‍රී ලංකාව “නයෙහි කරවටක් ගිලී සිටින” බව -මින් බොහොමයකට හේතු වන්නේ කොලඹ ආන්ඩුව විසින් යුද්ධය දියත් කිරීම යි- කී සම්බන්ධන්, නය ගෙවීමට රටෙහි ආදායම ප්‍රමානවත් නො වන බවත් කීවේ ය.
“අර්බුදය ජයගැනීමට අපනයන-පාදක නිෂ්පාදනය සමගින් යෝධ ආයෝජන හා සංවර්ධනය අවශ්‍ය යි ...(එහෙත්) ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ශ්‍රී ලංකාවේ සිදුවිය හැකි ආර්ථික ප්රාතිහාර්යය” දෙමල ප්රභූව ආන්ඩුවට සහයෝගය දීමට අසමත් වුවහොත් “වහා අතුරුදන් විය හැකි” යි ඔහු අනතුරු ඇඟවී ය.
එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් පසුව පැරනි මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් ඉන්දියාවට හා “ජාත්‍යන්තර ප්‍රජාවට” දුන් පොරොන්දුවලට ආන්ඩුව ගරු කරන්නේ නම් මෙම සහයෝගය ලැබෙනු ඇති බව සම්බන්ධන් තවදුරටත් කීවේ ය.
පලාත් සභාවලට වඩා වැඩි බලතල දෙන බවට ඉන්දියානු නායකයන්ට පොරොන්දු වූ මහින්ද රාජපක්ෂ, ඔහුගේ ආන්ඩුව “සංහිඳියාව” හෙවත් දෙමල පක්ෂ සමග සීමිත බලය බෙදීමකට සූදානම් බව ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ට පොරොන්දු විය.
කෙටියෙන් කියතොත් දෙජාස නායකයන්ගේ වර්තමාන ආයාචනය මෙය යි: ජාත්‍යන්තර ප්රාග්ධනය අද්දවා ගැනීම ඉලක්ක කරගන්නා රාජපක්ෂගේ ආර්ථීක කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමට ඔහුට අපගේ සහයෝගය අවශ්‍ය ය. අපි සූදානම් නමුත් ඒ සඳහා අපට යම් අල්ලසක් අවශ්‍ය ය.
2009 මැයි මාසයේ එල්ටීටීඊයේ පරාජයෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවට හා ඊනියා “ජාත්‍යන්තර ප්‍රජාවට” දුන් පොරොන්දු කවට උපායක් හා කොලඹ මත ජාත්‍යන්තර පීඩනය දුරු කිරීමේ උත්සාහයක් විය. ශ්‍රී ලංකාවේ දෙමල ජාතිකයන්ට වාර්ගික ව සම්බන්ධ තමිල් නාඩු දෙමල වැසියන් අතරින් ඔවුන් කෙරෙහි පලල් අනුග්‍රහයක් පලවී, ඉන්දියාව ඇතුලත දේශපාලන අස්ථාවරත්වයක් ජනනය කිරීම වැලැක්වීම නව දිල්ලියට අවශ්‍ය විය.
එක්සත් ජනපදය හා යුරෝපීය බලයන් ද චීනයෙන් දුරස්ථ වන ලෙසට කොලඹ ආන්ඩුව මත පීඩනය යොදා ඇත.
මහින්ද රාජපක්ෂගේ ප්රජාතන්ත්ර-විරෝධී තන්ත්රයට හා එල්ටීටීඊයට එරෙහි ඔහුගේ ආන්ඩුවේ රුදුරු යුද්ධයට වොෂින්ටනය අනුමැතිය දුන් නමුත්, බෙයිජිනය සමග කොලඹ ආන්ඩුවට පැවති සමිප සබඳතාවන්ට හතුරු විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී කොලඹට එරෙහි ව යෝජනා තල්ලු කරගැනීමට, යුද්ධය සමයේ රාජපක්ෂගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් එක්සත් ජනපදය විසින් කුහක ලෙස යොදාගත්තේ ය.
අවසානයේ දී, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා වික්‍රමසිංහගේ සහයෝගය සහිත ව, රාජපක්ෂ ඉවත් කිරීමට තන්ත්ර-මාරු මෙහෙයුමක් එක්සත් ජනපදය විසින් ක්‍රියාවට දැමී ය. සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ආ මෙම දේශපාලන මෙහෙයුමට අනුමැතිය දුන් දෙජාස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නියෝග කල ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට පිටුබලය දුන්නේ ය.
සම්බන්ධන් ආයාචනා කරමින් සිටින්නේ, උතුර හා නැගෙනහිර තුල දෙමල ධනේශ්වරයට වඩා විශාල පාලනයක් දීමට හිලවු ලෙස, ශ්‍රී ලංකාවේ ලාභ ශ්‍රමය හවුලේ සූරාකෑම හා ආන්ඩුවේ කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව ආන්ඩුව සමග දේශපාලන සැකැස්මකි.
දෙජාසයේ තර්කය ශක්තිමත් කිරීම සඳහා සුමන්දිරන් පාර්ලිමේන්තුව අමතා මෙසේ පැවසීය: ආන්ඩුවේ සමහර නායකයන් සිංගප්පූරුවේ ආර්ථික සාර්ථකත්වය ගැන කතා කරතත් “සිංගප්පූරුව සෞභාග්‍යය කරා ලඟා වූයේ එහි පුරවැසියන් අතර ජාතික සුසංවාදය කරා ලඟා වන අතර ය. සිංගප්පූරුව ශ්‍රේෂ්ඨ උදාහරනයකි...”
සුමන්දිරන්ගේ පනිවුඩය පැහැදිලි ය. “සිංගප්පූරුවේ ශ්‍රේෂ්ඨ ආදර්ශය” අනුගමනය කිරීම ශ්‍රී ලංකාවේ ආන්ඩුවට අවශ්‍ය නම් දෙජාස සහයෝගය දීමට සූදානම් හා කැමති ය.
ශ්‍රී ලංකාවේ දේශපාලන ප්රභූවේ අනෙකුත් සෑම කන්ඩායමක් මෙන් ම දෙජාස ද සිංගප්පූරුව උත්කර්ෂයට නැංවීම අර්ථභාරී ය. එහෙත් එම රට “ජාතික සුසංවාදයට” ආදර්ශයක් නො ව, වානිජ සංක්රමන මධ්‍යස්ථානයක් හා ජාත්‍යන්තර ප්රාග්ධනයේ කේන්ද්‍රයක් ලෙස රට නඩත්තු කරගෙන යාමට සාමාන්‍ය ජනයා රුදුරු මර්දන පියවරයන්ට භාජනය කරන පොලිස් රාජ්‍යයකි.
ශ්‍රී ලංකාවේ දේශපාලන ප්රභූවේ සෙස්සන් මෙන් දෙජාස ද එය වාඩි වී සිටින්නේ සමාජ වෙඩි බෙහෙත් ගබඩාවක් මත බව හොඳින් දනී. පසුගිය වසර දෙක, ආන්ඩුවේ ජාමූඅ වැඩපිලිවෙලට එරෙහි ව ගුරුවරුන්, විශ්ව විද්‍යාල කම්කරුවන්, දුම්රිය සේවකයන් හා වතු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ වැඩ වර්ජන හා විරෝධතා පුපුරා යාමකින් සංලක්ෂනය වී ඇත. සිංහල, දෙමල හා මුස්ලිම් වාර්ගික රේඛා කපාගෙන කම්කරුවන් එකමුතු කෙරුනු මෙම අරගල සිරිසේන-වික්‍රමසිංහ පාලනය පුපුරුවා හැරියේ පසුගිය වසරේ ජනාධිපතිවරනයේ දී එහි පරාජයට මග පාදමිනි.
රාජපක්ෂ හා ශ්‍රීලපොපෙ මහජන සමාජ අතෘප්තිය ගසාකෑවේ, ජීවන තත්ත්වයන් වැඩිදියුනු කරන බවට විවිධ පොරොන්දු දෙන අතර ම, දෙමල හා මුස්ලිම් ජනයාට එරෙහි ප්රජාගනවාදී ප්‍රචාරනය තීව්ර කරන අතර ය.
තමන් “ශක්තිමත් ආන්ඩුවක්” ස්ථාපනය කරන බවට මහ ව්‍යාපාරිකය වෙත පොරොන්දු වූ රාජපක්ෂ, ආඥාදායක පාලන රූප සඳහා සූදානම් වෙමින් මිලිටරියට ආයාචනා කලේ ය. බලයට ඒමෙන් අනතුරු ව ආන්ඩුවේ මූලික තනතුරු සඳහා ඔහු ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන් ක්ෂනික ව පත්කලේ ය.
නව ශ්‍රී ලංකා ජනාධිපතිට සම්බන්ධන් කරන ආයාචනාවන්ට කොලඹ ආන්ඩුවේ ම්ලේච්ඡ වාර්ගික යුද්ධයට එක්සත් ජනපදය හා ඉන්දියාව දුන් සහයෝගය දේශපාලනික ව ආවරනය කිරීම, පැරනි රාජපක්ෂ ආන්ඩුවේ අපරාධකාරී ක්‍රියා සාධාරනීකරනය කිරීම හා එල්ටීටීඊය ලේවැකි ලෙස විනාශ කිරීමට දෙජාස දෙමින් සිටින සහයෝගය ද ඇතුලත් විය.
“එල්ටීටීඊය, සාධාරන, සාකච්ඡාවෙන් එලැඹෙන දේශපාලන විසඳුමකට එරෙහි බාධකයක් ලෙස ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරට ම විසින් දැකගත්තා” යි සම්බන්ධන් කීවේ ය. “එල්ටීටීඊයේ මිලිටරි පරාජය සාධාරන දේශපාලන විසඳුමක් සඳහා පූර්වායවයක් ලෙස දැකගත්තා.”
බෙදුනු රාජ්‍යයක් සඳහා එල්ටීටීඊයේ උද්ඝෝෂනය, මූලෝපායික ව පිහිටා ඇති දිවයින අස්ථාවර කරමින් දකුනු ආසියාව තුල තමන්ගේ භූ-මූලෝපායික අවශ්‍යතාවන්ට බාධා කරන්නක් ලෙස වොෂින්ටනය හා නව දිල්ලිය විසින් සැලකී ය. දෙමල බෙදුම්වාදී ව්‍යාපාරයට එරෙහි කොලඹ ආන්ඩුවල දශක ගනනක් දිවුනු යුද්ධය, හුදෙක් උතුර හා නැගෙනහිර එහි පාලනය යටතේ තබා ගැනීම මත පමනක් නො ව, කම්කරු පන්තිය බෙදා මර්දනය කිරීම පිනිස ප්‍රජාගනවාදය ඉදිරියට දැමීම මගින් ශ්‍රී ලංකාවේ ධනපති පාලනය ආරක්ෂා කිරීම මත ද කේන්ද්‍රගත විය.
අලුතින් පත්වූ ජනාධිපති රාජපක්ෂට දෙජාස කරන ආයාචනා, ගැඹුරු වන ගෝලීය ධනේශ්වර අර්බුදයට හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවීය පුනර්ජීවනයට ප්‍රතිචාර වසයෙන්, සෑම රටක ම දූෂිත “ජාතික ධනේශ්වරයේ” දක්ෂිනාංශික මාරුව පිලිබඳ තවත් පිලිබිඹුවකි.
නොකඩවා යුද්ධයට විරුද්ධ වූ ද උතුරින් හා නැගෙනහිරින් ශ්‍රී ලංකාවේ මිලිටරිය කොන්දේසි විරහිත ව ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටියා වූ ද වාර්ගික රේඛා කපාගෙන සියලු කම්කරුවන්ගේ එකමුතු ව වෙනුවෙන් සටන් වැදුනා වූ ද එකම දේශපාලන පක්ෂය වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, ඒ අතර ම සිංහල ස්වෝත්තමවාදයට හා දෙමල ජාතිකවාදයට විරුද්ධ විය. මෙම විප්ලවවාදී ඉදිරිදර්ශනය පදනම් වන්නේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා කරන සටන මත යි.
කතුවරු නිර්දේශ කරන තවත් ලිපි:
Follow us on