ඉන්දියාවේ හමුදා ප්‍රධානියා බීජේපී ආන්ඩුවේ මුස්ලිම්-විරෝධී පුරවැසි නීතියට එරෙහි මහජන විරෝධතා හෙලාදකී
Indian army chief denounces mass protests against BJP government’s anti-Muslim citizenship law
වසන්ත රූපසිංහ හා කීත් ජෝන්ස් විසිනි, 2019 දෙසැම්බර් 30
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) අනෙකුත් නායකයන්ගේ පච ප්රතිරාවය කරමින්, ප්රචන්ඩ විරෝධතාවල නිරත වීම ගැන, ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් බිපින් රාවත්, බීජේපීයේ මුස්ලිම්-විරෝධී පුරවැසි සංශෝධන පනතේ (සීඒඒ) විරුද්ධවාදීන්ට චෝදනා කර තිබේ.
විශේෂයෙන් ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඉලක්ක කර ගනිමින් රාවත් දෙසැම්බර් 26දා , “ගිනි තැබීම් හා ප්රචන්ඩ ක්‍රියා” ඇවිලවූයේ යයි ඔවුන්ට චෝදනා නැඟීය.
මේ මස මුල දී ආන්ඩුව මුස්ලිම්වරුන්ට වෙනස්කම් කරන සීඒඒ පනත පාර්ලිමේන්තුව හරහා තල්ලු කරගෙන නීතියක් බවට පත්කල තැන් පටන් ශිෂ්‍යයෝ ඉන්දියාව සොලවා ඇති විරෝධතාවන්ගෙන් බොහොමයකට නායකත්වය දී ඇත.
විරෝධතාවල දී දුසිම් දෙකකට වැඩි පුද්ගලයන් මියගොස් ඇති අතර, ඉන් බොහෝ දෙනෙකු බීජේපී ප්‍රාන්ත ආන්ඩුව විසින් පුද්ගලයන් හතරදෙනෙකුට වැඩි පිරිසක් එක්රැස්වීම දින 15කට තහනම් කොට, දුටු තැන වෙඩි තැබීම සඳහා ආරක්ෂක හමුදාවන්ට අවසර දී ඇති උත්තර් ප්‍රදේශ්හි පොලීසිය විසින් මරාදැමූවන් ය.
බීජේපීය විසින් “මානවවාදී” යයි නරුම ලෙස හුවාදක්වන සීඒඒ පනත, ඉන්දියාව වනාහි මුස්ලිම් සුලුතරය විරෝධය නො පා ජීවත් වන “හින්දු ජාතියක්” ලෙස අවධාරනය කිරීම ඉලක්ක කරගෙන සිදු කරන වර්ගවාදී ප්රකෝපකරන මාලාවක නවතම එක යි.
මෙම නීතිය, මුස්ලිම්වරුන් හැර 2015ට පෙර ඇෆ්ගනිස්තානයේ, බංග්ලාදේශයේ හා පකිස්තානයේ සිට ඉන්දියාවට සංක්‍රමනය වූ පුද්ගලයන්ට හෝ එසේ සංක්‍රමනය වූ මුතුන් මිත්තන් සහිත පුද්ගලයන්ට ඉන්දීය පුරවැසි භාවය කඩිනමින් සම්පාදනය කරයි. එය සම්මත වීම පෙන්නුම් කරන්නේ, ඉන්දියාවේ බිලියන 1.3 වන මුලු ජනතාවම තමන් පුරවැසියන් බව බලධාරීන් සෑහීමට පත්වන පරිදි සනාථ කලයුතු වන්නා වූ ජාතික පුරවැසි ලේඛනයක් සඳහා බීජේපීයේ සැලැස්ම, යථාර්ථයේ දී දුගී මුස්ලිම්වරුන් බියවැද්දීම හා ඔවුන්ට අඩන්තේට්ටම් කිරීම ඉලක්ක කරගත්තක් බව යි. මෙයට හේතුව, මුස්ලිම්වරුන්, එනම් මුස්ලිම්වරුන් පමනක්, “රාජ්‍යයක් රහිත” යයි ප්‍රකාශයට පත්කරනු ලැබ, ඔවුන්ගේ පුරවැසි අයිතීන් අහෝසි කොට රඳවාගැනීමට හා පිටුවහල් කිරීමේ තර්ජනය යටතේ පසුවන නිසා ය.
සීඒඒ කෙරෙහි විරෝධය වාර්ගික, කුල හා ජනවාර්ගික-ප්‍රාදේශීය රේඛා කපාගෙන ගොස් ඇත්තේ, එහි තීව්‍රතාව සමගින් සමස්ත දේශපාලන සංස්ථාපිතය වික්ෂිප්තයට පත්කරමිනි. පසුපසට තල්ලු කරන ලද බීජේපී ආන්ඩුව මෙයට ප්‍රතිචාර දක්වා ඇත්තේ රාජ්‍ය ප්රචන්ඩත්වය හා මඩගැසීමේ ව්‍යාපාරයක් සමගිනි.
“අපි දැන් අත්දකිමින් සිටින්නා වූ, විශ්ව විද්‍යාල හා පාසල් සිසුන් විශාල සංඛ්‍යාවක් විසින් කරන පරිදි, අපේ නගර හා උපනගරවල ගිනි තැබීම් හා ප්රචන්ඩත්වය සිදුකිරීමට මහජනතාව යොමු කරන, එනම්, මහජනතාව අයෝග්‍ය දිශාවන් ඔස්සේ යොමු කරන්නන් නායකයන් නො වේ” යි ඉන්දීය හමුදා ප්‍රධානියා ප්‍රකාශ කලේ ය.
දෙසැම්බර් 25දා කතාකල මෝදි ද ඒ හා සමාන ව සීඒඒ-විරෝධී විරෝධතා ප්රචන්ඩ යයි මඩගැසී ය. “පුරවැසි පනත බලාත්මක කිරීමෙන් පසු මහජනයා විරෝධතා දක්වන හා රාජ්‍ය දේපොල විනාශ කර ඇති ක්‍රමය” හෙලා දුටු අගමැති, “පොලීසියට ගරුකරන” ලෙස මහජනයාට අනකලේ ය. මුස්ලිම්වරුන්ට එරෙහි ප්රචන්ඩත්වය ඇවිලවීම නිසා අපරාධ චෝදනාවන්ට ලක්වී සිටින උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගි ආදිත්‍යනාත් පසෙකින් සිටිමින් කතාකල මෝදි, පුරවැසිභාවය පිලිබඳ ෆැසිස්ට්වාදී සංකල්පයක් ඉදිරියට දැමී ය. මහජනයාට අයිතිවාසිකම් තිබෙන බව පිලිගත් ඔහු, “එහෙත් (රාජ්‍යය කෙරෙහි) පවතින වගකීම් හා රාජකාරිවලට විශාල පරාසයක් තිබෙන නිසා අයිතිවාසිකම්වලට සීමාවන් තිබේ” යි ප්‍රකාශ කලේ ය.
සීඒඒ-විරෝධී උද්ඝෝෂනය ප්රචන්ඩ යයි ලේබල් ගැසීමට ආන්ඩුව දරන උත්සාහයට, විරුද්ධ පක්ෂ හා ඉන්දියාවේ ඉංග්‍රීසි-භාෂාවෙන් පලවන ව්‍යාපාරික මාධ්‍ය පවා අභියෝග කරමින් සිටිති.
විශේෂයෙන් ම, ඉහල මිලිටරි නිලධරය දේශපාලනයට මැදිහත්වීමෙන් වැලකී සිටීමේ ව්‍යවස්ථාමය බැඳීම හමුදා ප්‍රධානියාගේ ප්‍රකාශ මගින් බරපතල ලෙස හා පෙර නුවූ විරූ ලෙස උල්ලංඝනය කිරීමක් නියෝජනය කරන නිසා එයට විරුද්ධ අදහස් දැක්වීම් විශාල වසයෙන් ඉහල ගොස් ඇත.
“මායිම පැනීම” යන හිසින් තද වචන සහිත ව කතුවැකියක් ලියූ ඉන්දියන් එක්ස්ප්‍රස් පත්‍රය, “සන්නද්ධ හමුදාවන් පාලක පක්ෂයේ විස්තීර්නයක් හෝ උපකරනයක් නො වනවා මෙන් ම, දේශපාලනයේ ආධිපත්‍යධාරී හවුල්කරුවෙක් ද නො වන්නේ ය” යන ප්රජාතන්ත්රවාදී-ව්‍යවස්ථාමය “පටිපාටිය” උල්ලංඝනය කරන නිසා, සීඒඒ-විරෝධී විරෝධතා රාවත් විසින් හෙලාදැකීම් “පැහැදිලි ලෙස නොහොබිනා” යි කීවේ ය.
“විරෝධතාවන් සාපරාධීකරනය” කිරීමට මෝදි ආන්ඩුව දරන “උත්සාහයන්,” රාවත්ගේ ප්‍රකාශ මගින් “ශක්තිමත් කරන” බවට නිවැරදි ලෙස අනතුරු ඇඟවූ එක්ස්ප්‍රස් පත්‍රය, විරෝධතා “බොහෝසෙයින් ස්වයං-සිද්ධ ව, නායකයෙක් රහිත ව, සාමකාමී ව පැවතී හා තවමත් පවතින” බව වැඩිදුරටත් සඳහන් කලේ ය.
“පොලිස් බැටන් ප්‍රහාර හා අත්තනෝමතික රඳවාගැනීම්, අන්තර්ජාලය අත්හිටුවීම” හා පුද්ගලයන් හතරදෙනෙකුට වැඩි පිරිසක සියලු රැස්වීම් තහනම් කිරීම සඳහා “(අපරාධ විධිවිධාන සංග්‍රහයේ) 144වන වගන්තිය පැනවීම” මගින් විරෝධතාකරුවන් සමග සාකච්ඡාවක නිරත වීමට ආන්ඩුවට පවතින “නො හැකියාව හා අසමත් කම ආවරනය කිරීමට උත්සාහ කිරීම” හේතුවෙන් ආන්ඩුවට තරවටු කිරීම දක්වා එක්ස්ප්‍රස් කතුවැකිය ඉදිරියට ගියේ ය.
බොහෝ ඉන්දීය මාධ්‍ය මෙන්, “ආයෝජක ගැති” පියවර ගැනීමටත්, වොෂින්ටනය සමග වන ඉන්දියාවේ චීන-විරෝධී මිලිටරි-මූලෝපායික හවුල්කාරීත්වය විස්තාරනය කරගැනීමටත් හොඳ ම ඉත්තා ලෙස මෝදි දැකගත් හා මේ දක්වා බීජේපී ආන්ඩුවට විශාල වසයෙන් සහයෝගය දී ඇති ඉන්දියන් එක්ස්ප්‍රස් විසින් රාවත් හා බීජේපීය විවේචනය කිරීම වඩා අර්ථභාරී ය.
එහෙත් සීඒඒ කෙරෙහි විරුද්ධත්වයේ විශාලත්වය හා බීජේපීයේ හින්දු අධිපතිවාදී ප්‍රහාරය මූලික රාජ්‍ය ආයතන අස්ථාවර කොට නීතිවිරෝධී කරනු ඇතැයි පවතින බිය, ඊට නැවතීමේ තිත තැබිය යුතුය යන හැඟීම පාලක ප්රභූවේ සමහර කොටස්තුල ඇති කර තිබේ.
“සාමකාමී විරෝධතාවන්ට ඇති අවකාශය” හා ජාතික පුරවැසි ලේඛනය සමගින් ක්ෂනික ව ඉදිරියට යාමේ එහි සැලසුම් සීමාකිරීම සහ ඒ වෙනුවට නව-ලිබරල් “ප්රතිසංස්කරන” තල්ලු කරගැනීම මත අවධානය යොමු කර අඩියක් පස්සට ගන්නා ලෙස ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත බීජේපී ආන්ඩුවෙන් ඉල්ලා ඇත.
මුලුමනින් ම පාහේ හෙලිදරවුකාරී භාෂාවෙන් කථාකරන ටයිම්ස් කතුවැකියක් “කාලකන්නිභාවය, වියවුල හා ආර්ථික විනාශය ගැන පෙරනිමිති පලකරමින් රොක්වන කුනාටුවක්” ගැන අනතුරු ඇඟවී ය. “මෙම මතභේදයෙන් අඩියක් පස්සට ගෙන, ඉන්දියාවේ ආර්ථික පල්වීමේ පුදුම සහගත විශාලත්වය ලෙස ජාමූඅ සඳහන් කර ඇති දෙය මත ජාතියේ අවධානය නාභිගත කරන” ලෙස ඉන්පසු එය ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.
එහෙත් අගමැති හා ආන්ඩුව, සීඒඒ පනත ක්‍රියාත්මක කරමින් හා “නීති-විරෝධී සංක්රමනිකයන්” මත කඩාපනිමින් ඉදිරියට යන බවට සපථ කරමින් සිටිති.
වැඩෙන විරෝධයේ හා ඇදවැටෙන ආර්ථිකයක කොන්දේසි මධ්‍යයේ, කම්කරු පන්තියට එරෙහි ව ඔවුන්ගේ ෆැසිස්ට්වාදී හින්දු අධිපතිවාදී පදනම බලමුලුගැන්වීමටත්, වැඩෙන සමාජ කෝපය ප්රතිගාමී දිශාවකට යොමුකිරීමටත්, ඉන්දියාවේ කම්කරුවන් හා පීඩිතයන් එකිනෙකාට එරෙහි ව වාර්ගික රේඛා ඔස්සේ පිහිටුවීමටත්, හින්දු වර්ගවාදය ඇවිලවීම අවශ්‍ය බව ඔවුහු දැකගනිති.
උත්තර් ප්‍රදේශ් (යූපී) මහ ඇමති යෝගි ආදිත්‍යනාත්ට පසෙකින් දෙසැම්බර් 25දා මෝදි පෙනී සිටීම සුවිශේෂී වසයෙන් ප්රකෝපකාරී විය.
හින්දු පූජකයන්ගේ නායකත්වය යටතේ සීඒඒට එරෙහි සමස්ත මහජන විරෝධය සාපරාධීකරනය කිරීමටත්, මාරාන්තික මර්දනය යුක්ති සහගත කිරීමටත් උත්තර් ප්‍රදේශ් ආන්ඩුව 144වන වගන්තිය යොදාගෙන ඇත. මේ දක්වා, ඉන්දියාවේ ජනගහනයෙන් වැඩි ම හා ඉහල ම දුගී භාවයෙන් යුත් ප්‍රාන්තයක් වන එහි අවම වසයෙන් 21 දෙනෙකු මරා දමා ඇත.
ප්‍රාන්ත අගනුවර වන ලක්නව්හි දී මෝදි සමග වේදිකාව අරක් ගැනීමට පෙර හා එතැන් සිට ආදිත්‍යනාත්, කඩාපැනීමට පොලීසිය පොලඹවමින් දහනශීලී ප්‍රකාශ මාලාවක් ම කර ඇත. “රාජ්‍ය දේපොලවලට හානිකිරීම” නිසා ආරක්ෂක හමුදාවන් විරෝධතාකරුවන්ගෙන් “පලිගනු” ඇතයි සපථ කිරීමත්, “හානිපූර්නය” කිරීම සඳහා විරෝධතාකරුවන්ගේ දේපොල අල්ලාගැනීමට නියෝග කිරීමත් මේවාට අයත් ය.
“සෑම කැරලිකරුවෙක් ම...හා සෑම හිරිහැර ඇති කරන්නෙක් ම කම්පනයට පත්කරන” බවටත්, “යෝගි ආදිත්‍යනාත් ආන්ඩුවේ දෘඪභාවය දැකගැනීමෙන් පසු නිශ්ශබ්ද වී ඇති” බවටත් කයිවාරු ගසමින් ආදිත්‍යනාත් දෙසැම්බර් 27දා ට්විටර් පනිවුඩයක් පලකලේ ය.
උත්තර් ප්‍රදේශ් බීජේපී ප්‍රාන්ත ආන්ඩුවේ පෙලඹවීම මත පොලීසිය විසින් සිදුකරන ලද සාපරාධී ක්‍රියාවන් ලේඛනගත කරන මාධ්‍ය වාර්තා ඉන්දියාවේ හා ජාත්‍යන්තර මාධ්‍යවලින් ඉස්මතු වෙමින් තිබේ. මීරුත්හි දුගී නිවහන් ප්‍රදේශයක සීඒඒ-විරෝධී විරෝධතාකරුවන් පන්නා දැමීමෙන් පසුව පොලීසිය කල ඉව බව නැති වෙඩිතැබීමේ දී දුගී මුස්ලිම් කම්කරුවන් හතරදෙනෙකු මරාදැමීම; ත්‍රස්ත කිරීම, පකිස්තානයට පිටුවහල් කරන බවට තර්ජනය කිරීම හා දේපොල විනාශ කරමින් බොහෝ නගර හා උපනගරවල මුස්ලිම්වරුන්ගේ නිවාසවලට කඩාපැනීම; සහ ප්රමුඛ පෙලේ මානව හිමිකම් ක්රියාකාරිකයන් ඇතුලු දහස් ගනනක් කල්තියාම අත්අඩංගුවට ගැනීම මීට ඇතුලත් ය.
තවත් නො වරදිනසුලු ආඥාදායක පියවරක් ගනිමින් ආන්ඩුව, හමුදා ප්‍රධානී රාවත් අලුතින් නිර්මානය කරන ලද ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී (සීඩීඑස්) තනතුරට උසස් කිරීම පිලිබඳව නිවේදනය කිරීමට යන බව වාර්තා වේ.
ඉන්දියාවේ පලමු වරට සීඩීඑස්හි වයස 65 වන තෙක් සේවය කල හැකි වන පරිදි ඉන්දියාවේ මිලිටරිය පාලනය කරන නීති ආන්ඩුව විසින් දෙසැම්බර් 28දා වෙනස් කලේ ය. මෙම වෙනස, එක්සත් ජනපද ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති තනතුරට සමාන ව ස්ථාපිත කොට ඇති නව තනතුරේ, දෙසැම්බර් 31දා විශ්‍රාම යාමට නියමිත ව සිටි රාවත්ට සේවය කල හැකි පරිදි කල වෙනසක් යයි, ඉන්දීය මාධ්‍ය එකපැහැර අර්ථකථනය කර ඇත.
වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතරින් යුද හමුදා ප්‍රධානී තනතුරට මෝදි විසින් උසස් කරන ලද රාවත්, පකිස්තානයට එරෙහි ආන්ඩුවේ යුදවාදී ආස්ථානය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින්නෙකි. සීඒඒ විරෝධතා ගැන පසුගිය සතියේ පලකල අදහස් සමගින් ඔහු සංඥා කලේ, කාෂ්මීරයේ වේවා දැනට සිදුකරන පරිදි සමස්ත රට පුරා වේවා, ආන්ඩුව විසින් වඩ වඩා රාජ්‍ය ප්රචන්ඩත්වයට යොමු වීමට ආරක්ෂක මාන්ඩලික ප්‍රධානියා ලෙස බලගතු ලෙස සහයෝගය දෙනු ඇති බව යි.
මෑතක් වනතුරු ඉන්දියානු ධනේශ්වරයේ සාම්ප්‍රාදායික ආන්ඩු පක්ෂය වූ කොංග්රස් පක්ෂය, ඔවුන්ගේ සහචර ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ සහ බටහිර බෙංගාලයේ ත්‍රිනමූල් කොංග්‍රසය හා තමිල්නාඩුවේ ඩීඑම්කේ පක්ෂය වැනි බීජේපීයෙහි පැරනි සහකරුවන් වන විවිධාකාර වාර්ගික-ප්‍රාදේශීය පක්ෂ, මෝදි ආන්ඩුවට එරෙහි විරෝධය, ඉන්දියානු සංස්ථාපිත දේශපාලනයෙහි ප්රතිගාමී රාමුව තුලට කොටු කිරීමට උත්සාහ දරමින් සිටිති.
මෙහි දී ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපිඑම්) හා එහි සහෝදර පක්ෂය වන ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) විසින් සුවිශේෂී ලෙස අන්තරායකාරී භූමිකාවක් ඉටුකරමින් සිටිති. නව-ලිබරල් ප්රතිසංස්කරනවලට හා වොෂින්ටනය සමග සමීප සබඳතා සඳහා නායකත්වය දී ඇති කොංග්රස් ආන්ඩුවලට සහයෝගය දෙමින්, ස්ටැලින්වාදී පක්ෂ සහ ඒවායේ සීඅයිටීයූ හා ඒඅයිටීයූසී වෘත්තීය සමිති සම්මේලන, “හින්දු ෆැසිස්ට්වාදී බීජේපීයට” විරුද්ධ වීමේ නාමයෙන් දශක ගනනක් තිස්සේ පන්ති අරගලය ක්රමානුකූල ව මර්දනය කර ඇත. යථාර්ථයේ දී, ඉන්දීය සංස්ථාපිතයේ අනෙකුත් පක්ෂ මෙන් ම කොංග්‍රසය ද හින්දු දක්ෂිනාංශයට අනුගත වී, එයට නිදැල්ලේ ක්‍රියාත්මක වීමට ඉඩ දී ඇත.
ලොව පුරා මෙන් ම ඉන්දියාවේ ද ප්රජාතන්ත්ර අයිතීන් සඳහාත්, වර්ගවාදී හා ෆැසිස්ට්වාදී ප්රතිගාමීත්වය පරාජය කිරීමේත් සටනට, කුනුවන ධනේශ්වර සමාජ පර්යායට එරෙහි සටන තුල කම්කරු පන්තිය, සමාජ සමානතාව සඳහා දේශපාලනික ව ස්වාධීන ලෙස බලමුලුගැන්වීම අවශ්‍ය කරයි.
Follow us on