රොහින්ග්‍යා සරනාගතයින් 100,000 ක් හුදකලා දූපතට යැවීමට බංග්ලාදේශය සූදානම් වේ
Bangladesh prepares to send 100,000 Rohingya refugees to isolated island
රොහන්ත ද සිල්වා විසිනි, 2020 ජනවාරි 23
බංග්ලාදේශ සරනාගතයින් පිලිබඳ සහන සහ සියරට පැටවීමේ කොමසාරිස් මහබුබ් අලාම් තලූක්ඩර් ජනවාරි 16 වන දින ප්‍රකාශ කලේ, බෙංගාල බොක්කෙහි පිහිටි කුඩා දූපතක් වන භාසන් චාර් “පදිංචියට සූදානම්” බවත්, රෝහින්ග්‍යා සරනාගතයින් 100,000 ක් පදිංචිකිරීමට “සෑම දෙයක්ම” සූදානම්ව ඇති බවත්ය.
බුරුම හමුදාව විසින් 2017 අගෝස්තු මාසයේ දී සිදු කරන ලද ජන සංහාර පරිමාන මර්දනයෙන් පසු රෝහින්ග්‍යා වැසියන් 700,000 ක් පමන බුරුමයෙන්, නැතිනම් මියන්මාරයෙන් පලා ගියහ. මීට පෙර බුරුමයෙන් පලාගිය අය සමඟ බංග්ලාදේශයේ මිලියන 1.1 කට අධික රෝහින්ග්‍යා සරනාගතයින් සංඛ්‍යවක්, පිරිසිදු ජලය හෝ නිසි සනීපාරක්ෂාව නොමැතිව පැල්පත්වල, වාසය කරති.
කොමසාරිස් තලූක්ඩර් දූපත “පදිංචියට සුදුසු” බව කියා සිටිය ද, දශක දෙකකට පමන පෙර බෙංගාල බොක්කේ මඩ සහිත ජලයෙන් මතුවූ, හුදෙකලා හා කලින් ජනාවාස නොවූ හා භෞතිකව ස්ථාවර නොවන දූපත, සුලි සුලඟට ගොදුරුවීමේ අවදානම ඇත. දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ආන්ඩුවේ සැලැස්මෙහි යෝග්‍යතාවය පිලිබඳව ප්‍රශ්න මතු කර තිබේ.
බංග්ලාදේශ ආන්ඩුව කුමක් ප්‍රකාශ කල ද, දූපතේ පවතින නවාතැන් හා යටිතල පහසුකම් කිසිසේත්ම ප්‍රමානවත් නොවන අතර ඒවා සිරගෙවල් වැනි ය.
අගමැති ෂීක් හසීනාගේ අවාමි ලීගය නායකත්වය දරන ආන්ඩුව, විදේශීය මාධ්‍යවේදීන්ට දූපතට යාම තහනම් කර ඇති අතර රෝහින්ග්‍යා සරනාගතයින් එහි යවන්නේ කවදාදැයි නිවේදනය කර නැත. මේ දක්වා පදිංචියට යාමට එකඟ වී ඇත්තේ 3,500 ක් පමනි.
ඩකා සිට කිලෝමීටර් 350 ක් පමන ගිනිකොනදිග බංග්ලාදේශයේ කොක්ස් බසාර් හි සරනාගතයින් 610,000 කට වැඩි පිරිසක් මේ වන විට තදබදයෙන් යුත් කඳවුරු වල, කටු කම්බි වැටවල් වලින් වටවී සිටිති. ආන්ඩුව, සරනාගතයින්ට කඳවුරුවලින් පිටවීම තහනම් කර ඇති අතර, අවට මාර්ගවල මුරපොලවල් පිහිටුවා ඇත. කඳවුරු තුල මර්දනයක් දියත් කර ඇති ඩකා ආන්ඩුව, සරනාගතයින් විසින් පවත්වාගෙන යනු ලබන වෙලඳසැල් වසා දැමීම, අන්තර්ජාල සේවා අවහිර කිරීම, ජංගම දුරකථන රාජසන්තක කිරීම සහ දිනපතා රාත්‍රී 8 ට ඇඳිරි නීතිය පැනවීම සිදුකරයි.
මීට අමතරව, රෝහින්ග්‍යා සරනාගතයින් බඳවා නොගන්නා ලෙස රජයේ බලධාරීන් හාම්පුතුන්ට අනතුරු අඟවා ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැනට අනියම් නාටාමිවරුන්, රාත්‍රී මුරකරුවන් සහ ඉදිකිරීම් කම්කරුවන් ලෙස ආදායමක් උපයා ගැනීමට උත්සාහ කරති. දරිද්‍රතාවයෙන් පෙලෙන සරනාගතයින් සඳහා සහන කටයුතු බොහොමයක් කරන රාජ්‍ය නොවන සංවිධාන 40 කට අධික ප්‍රමානයක වැඩ, විවිධ කඩතුරාවන් මත ආන්ඩුව විසින් අත්හිටුවා තිබේ.
රෝහින්ග්‍යා වැසියන්ට භාසන් චාර් වෙත යාමට බල කිරීම හෝ බංග්ලාදේශයෙන් පිටමං කිරීම සඳහා නිර්මානය කර ඇති මෙම රුදුරු ක්‍රියාමාර්ග, පසුගිය අගෝස්තු මාසයේදී රොහින්ග්‍යා සරනාගතයින් යලිත් වරක් බලහත්කාරයෙන් බුරුමයට යැවීමට ආන්ඩුව ගත් උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව වේගවත් විය.
බහුතරය කාන්තාවන් සහ ලමුන් වන රෝහින්ග්‍යා වැසියන් සරනාගතයින් ලෙස බංග්ලාදේශ ආන්ඩුව පිලිගන්නේ නැත. “බලහත්කාරයෙන් අවතැන් කල මියන්මාර ජාතිකයන්” ලෙස ඔවුන් අර්ථ දක්වා ඇත. නරක අතට හැරෙන මෙම තත්වය හා බලහත්කාරයෙන් නැවත පදිංචි කිරීමේ බියෙන් සමහර රෝහින්ග්යානුවන් බංග්ලාදේශයෙන් පලා යාමට පටන් ගෙන ඇත. මැලේසියාවට හෝ ඉන්දුනීසියාවට යාමට උත්සාහ කරමින් සිටියදී, කාන්තාවන් 69 ක් සහ ලමුන් 22 දෙනෙකු ඇතුළු සරනාගතයින් 200 ක් පමන, බුරුම නාවික හමුදාව පසුගිය මාසයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
බංග්ලාදේශ කඳවුරුවල සිටින රොහින්ග්‍යා ලමුන් 500,000 කට වැඩි පිරිසකට රජයේ පාසල්වලට යා නොහැකි අතර, විධිමත් අධ්‍යාපනයට ඇති ඉඩ ප්රස්ථා නවතා ඇත. එක්සත් ජාතීන්ගේ ලමා අරමුදල (යුනිසෙෆ්) සහ එහි හවුල්කරුවන් සරනාගත කඳවුරු තුල ඉගෙනුම් මධ්‍යස්ථාන 1,600 ක පමන පවත්වාගෙන යමින්, වයස අවුරුදු 4 ත් 14 ත් අතර ලමුන් 145,000 කට දිනකට පැය දෙකක් පමන බුරුම, ඉංග්‍රීසි, ගනිතය සහ ජීවන කුසලතා යන විෂයන් උගන්වයි.
කෙසේ වෙතත්, වයස අවුරුදු 15 ත් 18 ත් අතර ලමුන් සඳහා කඳවුරුතුල අධ්‍යාපන පහසුකම් නොමැත. තරුන ලමුන්, වැඩි වශයෙන් පිරිමි ලමුන්, ඉස්ලාමීය ආගමික ආයතනවලින් හෝ මද්රාසා වලින් ආගමික අධ්‍යාපනය ලබා ගනී.
සරනාගත ලමුන් සඳහා තාවකාලික පන්තිවලට පමනක් අවසර දී ඇති බව සඳහන් කල හියුමන් රයිට්ස් වොච් (එච්ආර්ඩබ්ලිව්) දෙසැම්බරයේ පල කල වාර්තාවක්, අපරාධ කල්ලිවලට ගොදුරු විය හැකි තරුන තරුනියන්ගේ “නැතිවූ පරම්පරාවක්” ගැන අනතුරු ඇඟවීය.
එච්ආර්ඩබ්ලිව් කියා සිටියේ කඳවුරු වලින් පිටත ගැහැනු ලමයින්ගේ තත්වය වඩාත් නරක බවයි.
ව්‍යාජ රැකියා පොරොන්දු මත තම ගොදුරු බවට පත්වන ඔවුන්ගෙන් සමහරෙක්, මිනිස් ජාවාරම්කරුවන් විසින් බලහත්කාරයෙන් ගනිකා වෘත්තීයට තල්ලු කරයි. ගැහැනු ලමුන් කඳවුරුවලදී පවා ලිංගික අතවර සහ ලමා විවාහයන් සිදු වීමේ ප්රස්ථාවට මුහුන දෙයි. “රෝහින්ග්‍යා සරනාගත ලමුන්, අධ්‍යාපනය ලැබීමට සහ හොඳ අනාගතයකට ඇති අවස්ථාව වාෂ්ප වී යන ආකාරය දෙස බලා සිටින අතර, වසර දෙකකට පසුවත් ඔවුන් පාසල්වලට ඇතුලත් කිරීමේ සැලසුමක්වත් නොමැත” යැයි එච්ආර්ඩබ්ලිව් හි සහකාර ලමා අයිතිවාසිකම් අධ්යක්ෂ බිල් වැන් එස්වෙල්ඞ් දෙසැම්බර් 3 දා මාධ්‍ය වෙත පැවසීය.
වැන් එස්වෙල්ඞ්ට්, “රෝහින්ග්‍යා වැසියන් මට මෙය පවසා ඇත: දරුවන්ට අධ්‍යාපනයට ප්‍රවේශයක් නොමැති නම් ඔවුන්ට හොඳ අනාගතයක් සඳහා ප්‍රවේශයක් නොමැති නම්, විකල්ප මොනවාද? මිනිස් ජාවාරමට ගොදුරු වීමට තුඩු දෙන බලාපොරොත්තු සුන්වීම... සාපරාධීත්වයට හා රැඩිකලීකරනයට ගොදුරු වීමට තුඩු දෙයි” යයි ඊට එකතු කලේ ය.
හසීනා, තම ආන්ඩුවේ රෝහින්ග්‍යා විරෝධී සරනාගත වාචාලයට අනුකූලව, පසුගිය නොවැම්බරයේ ඩකා ගෝලීය සංවාදය 2019 ට පැවසුවේ, රෝහින්ග්‍යා වැසියන් “බංග්ලාදේශයට පමනක් නොව කලාපීය ආරක්ෂාවට ද තර්ජනයක්” බවයි.
මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය වෙන, බිහිසුනු තත්වයන් යටතේ ජීවත් වන, බංග්ලාදේශයේ සිටින එකම මුස්ලිම් සරනාගතයින් රෝහින්ග්‍යා වැසියන් පමනක් නොවේ. බි්රතාන්ය පාලනය කල ඉන්දියානු උප මහාද්වීපයේ 1947 බෙදීම අතරතුර, නැගෙනහිර ඉන්දීය බිහාර් ප්‍රාන්තයෙන් පලා ගිය “බිහාර් මුස්ලිම්වරු” හෝ “අතරමං වූ පාකිස්තානුවන්” ද සිටිති.
හින්දු ඉන්දියාවේ නැගී එන මුස්ලිම් විරෝධී සංහාරයන්ගෙන් බේරීම සඳහා ඔවුහු, පසුව බංග්ලාදේශය බවට පත් වූ නැගෙනහිර පාකිස්තානයට පැන ගියහ. දුප්පත් හා අඩු අධ්‍යාපනයක් ලබා ඇති, බෙංගාලි වෙනුවට උර්දු භාෂාව කතා කරන දරිද්‍රතාවයෙන් පෙලෙන මෙම “බිහාර් මුස්ලිම්වරු”, මෝල් කම්කරුවන් හා කුඩා කඩකාරයන් ලෙස සේවය කරති.
බංග්ලාදේශ විසින් සරනාගතයින්ට හිංසා කිරීම ගෝලීය සංසිද්ධියක කොටසකි. ධනවාදයේ තීව්ර වන ලෝක අර්බුදයක තත්වයන් යටතේ, සෑම රටකම පාලක ප්රභූව පීඩිත සුලු ජාතීන්ට වෙනස්කම් කරමින්, කම්කරු පන්තිය බෙදීමට උත්සාහ කරන අතර ලාභ ක්රමයේ අසාර්ථකත්වයෙන් අවධානය වෙනතකට හැරවීම සඳහා ජාතිවාදය අවුස්සති.
සරනාගතයින්ට එරෙහිව යොමු කර ඇති මෙම මර්දනකාරී පියවර, එල්ල කර ඇත්තේ සියලු වැඩ කරන ජනතාවට එරෙහිව ය. ධනවාදය පෙරලා දැමීම සඳහා සටන් කරන කම්කරු පන්තියේ එක්සත් හා සමාජවාදී ව්‍යාපාරයකට පමනක් ම, එය නතර කල හැකිය.
Follow us on