ශ්‍රී ලංකාවේ ජනාධිපති වර්ගවාදී ආඥාදායක පාලනයක් සඳහා න්‍යාය පත්‍රය ඉදිරිපත් කරයි
කේ. රත්නායක විසිනි, 2020 ජනවාරි 10
අත්තනෝමතික ලෙස මාසයකින් කල්දමා, ජනවාරි 3දා යලි කැඳවන ලද පාර්ලිමේන්තුව ඉදිරියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ආන්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කලේ ය.
දුගී භාවය තුරන් කිරීම ඇතුලු සමාජ ප්‍රශ්න ආමන්ත්රනය කිරීම පිලිබඳ පූච්චානම්වලින් ආවරනය කර තිබූ රාජපක්ෂ පාර්ලිමේන්තුවට කල පලමු කතාව, ආඥාදායක සිංහල අධිපතිවාදී පාලනයක් ශක්තිමත් කිරීම අවධාරනය කලේ ය.
නොවැම්බර් 16දා පැවති ජනාධිපතිවරනයෙන් බලයට පත්වීමෙන් අනතුරු ව ඔහු ගත් පලමු පියවර වූයේ, අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දුන් ආන්ඩුව නෙරපීම විය. වික්‍රමසිංහ ඊට ඉතසිතින් අනුමැතිය දුන්නේය. ඔහු පැවති ආන්ඩුව විස්ථාපනය කලේ තම වැඩිමහල් සහෝදරයා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස පත්කෙරුනු සුලුතර ආන්ඩුවකිනි. මෙම සුලුතර ආන්ඩුව සමන්විත වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) කන්ඩායමෙනි.
කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමෙන් පසු, රාජපක්ෂ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශය හා තවත් ආයතන කිහිපයක් තමන්වෙත පවරාගත්තේ ය. විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න ආරක්ෂක ලේකම් ලෙස පත්කිරීම ඇතුලු ව සන්නද්ධ හමුදාවල හිටපු ජනරාල්වරුන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් රාජ්‍ය ආයතන කිහිපයක මූලික තනතුරු පිරවීමට ද ඔහු පියවර ගත්තේය.
ආන්ඩුවේ පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට ජනතාව තමන්ට “ජනාධිපතිවරනයේ දී පැහැදිලි ජනවරමක්” දුන් බව පාර්ලිමේන්තුවට කල කතාවේ දී රාජපක්ෂ කීවේ ය. ඊනියා පැහැදිලි ජනවරම ගැන ඔහුගේ කියාපෑම, පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව සමාජ හා ජීවන කොන්දේසි මත එල්ල කල ප්‍රහාර කෙරෙහි වැඩකරන ජනයාගේ දැවැන්ත විරෝධය ගසාකෑම මිස වෙනකක් නො වේ.
සිරිසේන-වික්‍රමසිංහ පාලනයට පිටුබලය දුන් ව්‍යාජ-වාම කන්ඩායම්, දෙමල ජාතික සන්ධානය (දෙජාස) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), එමගින් එකම විපක්ෂය ලෙස පෙනී සිටීමට ශ්‍රීලපොපෙට උදවු කල හ. එහෙත් රාජපක්ෂ ආන්ඩුව වාඩි වී සිටින්නේ පුපුරායාමට ආසන්න කාල බෝම්බයක් මත බව එය හොඳින් දනී. ජනාධිපතිවරනය පවත්වන ලද්දේ ජාත්‍යන්තර පන්ති අරගලවල කොටසක් ලෙස ලංකාවේ කම්කරුවන්ගේ පෙරලිකරිත්වය වඩ වඩා වැඩිදියුනු වන තත්වයක් මධ්‍යයේ ය.
රටේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සඳහාත්, “ජාතික ආරක්ෂාව ශක්තිමත්” කිරීමටත් “ශක්තිමත් ආන්ඩුවක්” අවශ්‍ය බව තේරී පත්වූ තැන් පටන් ජනාධිපතිවරයා පුනරුච්ඡාරනය කලේ ය. මහමැතිවරනයක දී තුනෙන් දෙකක බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගැනීම සඳහා ඔහුගේ විධායක බලතල භාවිතා කොට පාර්ලිමේන්තුව මාර්තු මාසයේ විසුරුවන බව ඔහු අවධාරනය කර තිබේ.
“ප්‍රමුඛස්ථානය දරන්නේ ජාතික ආරක්ෂාව” යි යලිත් අවධාරනය කල රාජපක්ෂ, ජාතික ආරක්ෂක යාන්ත්‍රනය ශක්තිමත් කිරීමේ පියවර ඔහු දැනට මත් ගෙන ඇති බව විස්තර කලේ ය.
“මව්බිම ත්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, හොරකමෙන්, සම්පත් පැහැර ගන්නන්ගෙන්, මත්ද්‍රව්‍ය උවදුරෙන්, මහජන සාමයට බාධාවීම්වලින්, කාන්තා හා ලමා දූෂනවලින් තොර රටක්” බවට පත් කිරීමේ පියවර ආන්ඩුව විසින් ගනු ඇත. ත්රස්තවාදයට, අන්තවාදයට හා මහජන සාමයට බාධාවීම්වලට එරෙහි ව සටන් කිරීම පිලිබඳ පාලක පන්තියේ සූත්‍ර වනාහි, කම්කරුවන් හා දුගීන් අතරින් අනිවාර්යයෙන් පැනනැගීමට නියමිත අරගල; ජාතික ආරක්ෂාව රැකීමේ නාමයෙන් තලා දැමීමට සූදානම් වීම මිස වෙනකක් නො වේ.
ව්‍යවස්ථාව යලි ලිවීම අවශ්‍ය බව අවධාරනය කල රාජපක්ෂ, 19 වතාවක් සංශෝධනය කර ඇති අදට නො ගැලපෙන 1978 ව්‍යවස්ථාව “එහි නෛසර්ගික ආකූලත්වයන් හා ව්‍යාකූලත්වයන් නිසා බොහෝ ගැටලුවලට හේතු වී ඇති” බව ප්‍රකාශ කලේ ය. “පැහැදිලි තීරන ගත නො හැකි හා අනවරත ව අන්තවාදයේ බලපෑම යටතේ පවතින පාර්ලිමේන්තුවක් රටට ගැලපෙන එකක් නො වෙයි.”
1978 දී ජේ. ආර්. ජයවර්ධන ආන්ඩුව විසින් විධායක ජනාධිපති ධුරය නිර්මානය කරමින් අධිපතිවාදී ව්‍යවස්ථාවක් ගෙන ආවේ ව්‍යවස්ථාදායක හා අධිකරනය රබර් මුද්‍රාවන් බවට පත්කරමිනි. එහි අභිප්‍රාය වූයේ ආන්ඩුවේ “විවෘත වෙලඳපොල ආර්ථික පිලිවෙත්වලට” එරෙහි සමාජ විරෝධය තලාදැමීම යි. මෙම පියවර, වසර 26ක් පැවති බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධයක් තුලින් කුලුගැන්වුනු දෙමල-විරෝධී වාර්ගික ප්රකෝපකරනයන් තීව්ර කිරීම සමග අත්වැල් බැඳගත්තේ ය.
තමන් බලයට පත්වූ තැන් සිට ජනාධිපතිගේ විධායක බලතල සීමාකර ඇති 19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කල යුතු බව රාජපක්ෂ අවධාරනය කරමින් සිටී. ව්‍යවස්ථාව මත ඇති “අන්තවාදයේ බලපෑම” කවරක්දැයි රාජපක්ෂ විස්තර කලේ නැත. ඔහු එයින් අදහස් කල බව පෙනෙන්නේ, සමානුපාතික නියෝජනය යටතේ බහුතර ආසන සංඛ්‍යාවක් පවතින පක්ෂයකට ආන්ඩුවක් තැනීමේ දී දෙමල හා මුස්ලිම් සුලුතර පක්ෂවල සහයෝගය සෙවීමට සිදුවන බව යි.
සටන්කාමී කම්කරු පන්තියට එරෙහිව පියවර ගැනීම පිනිස ශක්තිමත් ආන්ඩුවක් ස්ථාපනය කිරීම සඳහා 1978 ආඥාදායක ව්‍යවස්ථාවෙන් ද ඔබ්බට යන තමන්ට කිසිදු බාධාවක් නැති නව නීතියක් ලිවීම ජනාධිපතිට අවශ්‍ය කරයි.
ඔහු වර්ගවාදය අන්තයට ම භාවිතා කරනු ඇත. “අපි සෑමවිට ම බහුතර ජනයාගේ අභිලාෂයන්ට ගරු කල යුතු” යැයි රාජපක්ෂ ප්‍රකාශ කලේ ය. ව්‍යවස්ථාව “සෑමවිට ම රටේ ඒකීය භාවය ආරක්ෂා කරමින් බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂනය කරනු ඇති” බව කී ඔහු “තමන් කැමති ආගමක් ඇදහීමට සියලු පුරවැසියන්ට ඇති අයිතිය ආරක්ෂා කරන” බව සඳහන් කලේ ඒවාට විශේෂයක් නැතිබව අඟවමිනි.
මෙම ප්‍රකාශ ඔහුගේ පාලනය සිංහල-බෞද්ධ බහුතරය මත පදනම් කරන බව අවධාරනය කිරීමකි. 1948 නාමික නිදහසේ පටන්, ශ්‍රී ලංකාවේ පාලක ප්රභූව කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා දෙමල වැසියන්ට එරෙහි වෙනස්කම් කිරීම් ක්රමානුකූල ව යොදාගත්තේ ය. එහි කොටසක් ලෙස සිංහල භාෂාව ප්‍රධාන නිල භාෂාව ලෙසත් බුද්ධාගම රාජ්‍ය ආගම ලෙසත් ස්ථාපිත කරන ලදී. ශ්‍රීලපොපෙහි මැතිවරන උද්ඝෝෂනයෙහි ප්‍රධාන කුලුන වූයේ, සිංහල හා බෞද්ධ ෆැසිස්ට්වාදී කන්ඩායම්වලට පිටුබලය දෙමින් දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී ප්‍රචාරනය තීව්ර කිරීම යි.
නිදහසින් වසර 70කට පසුවත් රට පවතින්නේ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයක් තුල යයි ඔහු සිය තැවුල ප්‍රකාශයට පත්කලේය. රටෙහි සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය “කැපකිරීම් කිරීමට අපි සූදානම් විය යුතු” යි ඔහු වැඩිදුරටත් කීවේ ය. මෙය, ලෝක ධනවාදයේ පද්ධතිගත අර්බුදයෙහි කොටසක් වන ආර්ථික අර්බුදයෙහි බර මහජනතාව මත පැටවීමට භාවිතා කරන භාෂාව යි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනවන “ආර්ථික ප්රතිසංස්කරන වැඩසටහන” ආන්ඩුව විසින් ක්‍රියාවට දමන බව මුදල් අමාත්‍යාංශය දැනට මත් ප්‍රකාශ කොට ඇත. රජයට අයත් සංස්ථා හා දෙපාර්තමේන්තු පුද්ගලීකරනය හෝ “වානිජකරනය,” සීමිත සුභසාධන කැපීම හා නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය තවදුර ඛාදනය කිරීම මෙම කප්පාදු වැඩසටහනට ඇතුලත් ය.
ආන්ඩුවේ සැබෑ න්‍යාය පත්‍රය වන්නේ ජාත්‍යන්තර ආයෝජකයන්ට හා රට තුල සංගත අංශයට පහසුකම් සැලසීම යි. මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය මාසයේ එකතු කල අගය මත බද්ද (වැට්) හා ආදායම් බද්ද අඩුකරමින් සංගත අංශයට බදු සහන දුන්බව රාජපක්ෂ යලි මතක් කලේ ය. ජාත්‍යන්තර වෙලඳාම, ආයෝජන හා සංචාරක කර්මාන්තය සඳහා වන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම පිනිස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පැවති ආන්ඩුවේ ඊනියා සංවර්ධන වැඩසටහන ද ඔහු මතක් කලේ ය.
“රට සුවිශේෂී ස්ථානයක පිහිටා තිබීම, මෑත කාලයේ භූදේශපාලනයේ දී ශ්‍රී ලංකාව කෙරෙහි සැලකිය යුතු අවධානයක් ජනිත කර ඇතැ” යි කී ජනාධිපතිවරයා, එහෙත් ඔහුගේ ආන්ඩුව “අපේ නිදහස කිසි දිනක පාවා නො දෙමින් ස්වාධීන විදේශ පිලිවෙතක් අනුගමනය කරන” බව ප්‍රකාශ කලේ ය.
ශ්‍රීලපොපෙ නායකයෝ ජනාධිපතිවරනය සමයේ ද එවන් පූච්චානම් භාවිතා කල හ. එක්සත් ජනපදය සමග සහස්ර අභියෝග සංස්ථා ගිවිසුම (එම්සීසී) අත්සන් කිරීමට පැවති ආන්ඩුවේ සූදානම ඔවුන්ගේ අධාරකරුවන් විසින් විවේචනය කලේ ය. වොෂින්ටනය සමග වන ප්‍රවේශ හා හරස් සේවා ගිවිසුම සහ හමුදා තත්ත්ව ගිවිසුම ද ඔවුන්ගේ විවේචනයට ලක් විය. මෙම ප්‍රචාරය යොදා ගන්නා ලද්දේ හුදෙක් මහජනයා අතර පවතින අධිරාජ්‍ය-විරෝධී මනෝගතීන් ගසාකෑමට පමනි.
එහෙත්, ඔවුන් එවන් පූච්චානම් නවත්වා ඇතුවා පමනක් නො ව, එම්සීසී ගිවිසුමේ වාසි අවාසි සෙවීමට කමිටුවක් ද පත්කර ඇත. එක්සත් ජනපදය විසින් රුසියාව හා චීනය ඉලක්ක කරගන්නා භූ-දේශපාලනික ආතතීන් තියුනු වෙද්දී, වොෂින්ටනය විරසක කරගැනීමේ ඉඟියක් වත් නො පෑමට කොලඹ පාලක ප්රභූව ප්‍රවේශම් සහගත ය. සිරිසේන --වික්‍රමසිංහ ආන්ඩුව ලංකාව එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ඉන්දු-පැසිෆික් කලාපය තුල චීනයට එරෙහිව ගෙනයන මිලිටරි වැඩකටයුතු සමග ඒකාග්ර කිරීම රාජපක්ෂ ආන්ඩුවද ඉදිරියට ගෙනයයි.
ඊනියා විපක්ෂයෙන් කිසිදු විරෝධයක් නොමැති ව තම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට රාජපක්ෂට ඉඩ ලැබී ඇත.
එජාපය දිග්ගැස්සුනු අර්බුදයකින් පසුව එහි පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරයට පත්කර ඇත. ජනාධිපතිවරයාගේ කතාව පිලිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී කතාකරමින් ප්‍රේමදාස මෙසේ කීවේ ය: “ඔබ ඔබගේ ප්රගතිශීලී පොරොන්දු ක්‍රියාත්මක කිරීමට සැලකිලිමත් නම් පාර්ලිමේන්තුවේ සභිකයන් 225 ම ඔබට පක්ෂ ව ඡන්දය දෙනු ඇත. නවීන විපක්ෂයක් ලෙස ක්‍රියාකරන අපි ආන්ඩුවේ යහපත් ක්‍රියාවන්ට සහයෝගය දෙන්නෙමු.”
ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ජනාධිපතිගේ කතාවෙන් පසු ජනවාරි 3දා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කලේ ආන්ඩුවේ සියලු “යහපත් ක්‍රියාවන්ට” ඔහුගේ පක්ෂය සහයෝගය දෙන බව යි.
ශ්‍රී ලංකාව “බහුවිධ” සමාජයක් ලෙස සලකන්නැයි ජනාධිපතිවරයාගෙන් අයැද සිටි අතරම දෙජාස නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් නව ව්‍යවස්ථාවකට සහයෝගය පලකලේ ය.
තමන් අතර උපායාත්මක වෙනස්කම් තිබුන ද “විරුද්ධ” පක්ෂවලට කම්කරු පන්තියට මුහුන දීමේ ප්රශ්නයේ දී කිසිදු වෙනස් කමක් නැත. කම්කරු පන්තියේ පෙරලිකාරිත්වයකට මුහුන දෙන රාජපක්ෂ අනුගමනය කරන්නේ සෑම රටක ම පාලක පන්තීන් මෙන් ම ආඥාදායක පාලනයක මාවත යි. රාජපක්ෂ එලඹෙන මැතිවරනයට සූදානම් වෙමින් සිටින්නේ ඉන් බලය තවත් ශක්තිමත් කරගෙන කම්කරුවන් හා දුගීන් මත කඩා පැනීමටයි.
ව්‍යාජ-වාම කන්ඩායම් හා වෘත්තීය සමිති විසින් පිටුබලය දෙන “විපක්ෂ” ධනපති පක්ෂයක් සමග එක්ව කම්කරුවන්ට තම අයිතීන් රැකගැනීමට හා ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව සටන් වැදිය නො හැක. ධනපති පන්තියේ සෑම කොටසකින් ම තම පන්ති ස්වාධීනත්වය තහවුරු කරගත යුතු කම්කරුවන් සමාජවාදී පිලිවෙත් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීමට ගම්බද දුගීන් හා තරුනයන් රැලි කරගත යුතු ය. මෙම අරගලය ක්‍රියාවට දැමිය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු වෙමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස පමනි. ලෝක බලවතුන් මානව වර්ගයා ඇදගෙන යන තුන්වන ලෝක යුද්ධයක තර්ජනයට, ආඥාදායකත්වයට හා සමාජ අසමානතාවයට එරෙහිව සටන් කිරීම කම්කරු පන්තිය ඉදිරියේ ඇති කර්තව්‍යයන් ය.
මෙම ඉදිරිදර්ශනය සාකච්ඡාවට ගැනීමට සමාජවාදී සමානතා පක්ෂය විසින් ජනවාරි 12 ඉරිදා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සවස 3ට පවත්වන රැස්වීමට සහභාගි වන ලෙසත් මෙම අරගලය හා ඒකාබද්ධ වන ලෙසත් කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලමු.
Follow us on