සාර්ගේ රුසියානු අධිරාජ්‍යය පලමුවන ලෝක යුද්ධයේ බරින් කොර ගසද්දී ඇමරිකානු ආන්ඩුව, සටනට අවතීර්න වීමට සූදානම්වේ. මහා බ්‍රිතාන්‍ය, ප්රන්සය හා රුසියාව එක් පසෙකිනුත්, ජර්මනිය හා ඔස්ට්‍රියා-හංගේරියාව අනෙක් පසිනුත් 1914දී පැටලුනු යුද්ධයේදී ඇමරිකාව, නිල වශයෙන් මධ්‍යස්ථ ආස්ථානයක් ගෙන සිටියේය. ඇමරිකානු කම්කරුවන් හා ගොවීන් අතර පැවති යුද විරෝධී මහජන මතය පාර්ශවීය වශයෙන් ඊට බලපෑවේය. යුද්ධය කෙරීගෙන යද්දී මධ්‍යස්ථ භාවය වඩ වඩාත් ව්‍යාජයක් බවට පත් විය. ට්‍රොට්ස්කිගේ වචන වලින් ඒ, විල්සන්ගේ රාජ්‍යතාන්ත්‍රික "තක්කඩිකමේ හා ප්‍රජාතාන්ත්‍රික ධර්මිෂ්ඨකමේ සම්මිශ්රනයක්" තුලය. ඇමරිකානු කර්මාන්තය, මිත්‍ර පාර්ශවයේ හමදාව සන්නද්ධ කිරීම ද බැංකු ඔවුන්ගේ යුද්ධයට අරමුදල් සම්පාදනය කිරීම ද හමුවේ, නොවූ විරූ විවෘත භාවයකින් යුක්තව වොෂින්ටනය, බ්‍රිතාන්‍යයට හා ප්රන්සයට ආධාර කලේය. 1917 වන විට ප්රශ්නය වූයේ එසේ වේ ද යන්න නොව ඒ කවදා ද යන්නයි.
පෙබරවාරි 27දා ( පැරනි පෙබ. 14) පෙට්රෝග්රෑඩය: රුසියානු අගනුවර තුල වැඩවර්ජන එක දිගට
බොල්ෂෙවිකයින් විසින් කැඳවන ලද වැඩ වර්ජන එක දිගට පැවැත්වෙද්දී, ඩූමා සභාවේ නව සැසි වාරය ටෝරයිඩ් මාලිගයේදී පැවැත්වෙන අතර තුර මෙන්ෂෙවිකයෝ, ඩූමාවට සහාය පල කරන වර්ජනයක් කැඳවූහ. විවිධ කම්හල් 50ක 84,000ක් පමන කම්කරුවෝ වර්ජනයට එක්ව සිටියහ. පෙලපාලිකරුවන් අත්අඬංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කල නමුත් කම්කරුවෝ පෙරලා සටන් වැදුනහ.
1914 යුද්ධය පුපුරා යාමත් සමඟ වැඩවර්ජන පසුබා ගිය නමුත් කම්කරුවෝ, යුද ආර්ථිකයේ වැඩෙන පීඩාව හමුවේ වැඩ වර්ජන රැල්ලකින් ඊට ප්‍රතිචාර දැක්වූහ. 1945 හා 16 අතර රුසියානු අධිරාජ්‍යය තුල වැඩ වර්ජන සංඛ්‍යාව 539,528 සිට 957,075 දක්වා වැඩි විය.
1917 මුල කම්කරු පන්තියේ අරගල රැල්ල නව පරිමානයක් අත්කර ගත් අතර ඒවා වඩ වඩාත් දේශපාලනික වර්ජනවල ස්වරූපය ගත්තේය. පෙබරවාරි මුල් සති දෙක තුල දේශපාලන වැඩ වර්ජන වලට කම්කරුවන් 575,000ක් සහභාගී වූ බවට ට්‍රොට්ස්කි ගනන් බැලීය. යුද්ධය ඇරඹීමෙන් පසුව පෙට්රෝග්රෑඩය වැඩ වර්ජනවල මධ්‍යස්ථානය බවට පත් වෙමින් තිබුනි. 1914 පටන් දේශපාලන වර්ජන වලින් සියයට 72ක්ම ඇති වුනේ මෙහිය. 1916 අග හා 1917 මුල කම්කරු පන්තියේ ආතති සහගත මනෝ ගතිය විස්තර කරමින් හිටපු ලෝහ කම්කරුවෙකු හා බොල්ෂෙවික් මධ්‍යම කාරක සභික ෂ්ලියාප්නිකොව් පසුව සඳහන් කල පරිදි: “සමහර විට සුරුවම් බෑමක් හෝ වෙනත් ආකාරයේ ශබ්දයක් කම්හල නතර කිරීමේ සංඥාවක් ලෙස කම්කරුවන් සැලකීය.”
පෙබරවාරි 28 වොෂින්ටනය හා ලන්ඩනය: ජර්මනිය හා ඇමරිකාව යුද්ධයේ අද්දර
දින කිහිපයකට පෙරාතුව බ්‍රිතාන්‍යයේ ලැකෝනියා නෞකාව, ජර්මානු සබ්මැරින් ප්‍රහාරයකින් ගිලී යාමෙන් අනතුරුව, ඇමරිකානු හා බ්‍රිතාන්‍ය මාධ්‍යය පිරී තිබුනේ, ඇමරිකාව හා ජර්මනිය අතර එලඹෙන යුද්ධයක් පිලිබඳ සමපේක්ෂනාත්මක ලිපි වලිනි. ලන්ඩන් ටයිම්ස් පත්‍රය මෙසේ පැවසීය: “අඩුම තරමින් ඇමරිකානු කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ කාරනය, ලැකෝනියා අපරාධය ජනාධිපති විල්සන් අනතුරු ඇඟවූ පරිදි, ‘ඇමරිකානු ස්වෛරීත්වයට එරෙහි සමාව නොදිය හැකි වරදක්’ බවට පත් කලේය. ඩේලි ක්‍රොනිකල් සඳහන් කලේ: “ලැකෝනියා සිද්ධිය විවෘත ක්‍රියාවක් නොවුනා නම්, කුමක් විය හැකිදැයි වටහා ගැනීම තරමක් දුෂ්කර වනු ඇත.”
මාර්තු 1 (පැරනි පෙබ. 16) පෙට්රෝග්රෑඩය: බලධාරීහු පාන් සලාක හඳුන්වාදෙති
රුසියානු අධිරාජ්‍යය තුල ආහාර අර්බුදය නරක අතට හැරෙමින් තිබියදී පෙට්‍රෝග්‍රෑඩ් අධිකාරීහු, දැනටමත් සාගතයට මුහුනදී සිටි ජනතාව සඳහා පාන් සලාක හඳුන්වා දෙති. අවසානයේ විප්ලවයට තුඩු දුන් සමාජ අර්බුදය තුල සාගතය ඉටු කල ක්‍රියාකලාපය ගැන ට්‍රොට්ස්කි සිය “විප්ලවයේ එලිපත්ත මත” ලිපිය තුල නව ලෝකය හෙවත් නොවි මීර් හි මෙසේ ලිවීය: “යුද්ධයේ පැටලී සිටින සියලු රටවල ආහාර සැපයුමේ බිඳ වැටීම, ජනතාවන් අතර අසහනය හා කෝපය දැල්වූ වඩාත් ක්ෂනික, වඩාත් අසාධ්‍ය හේතුව විය. යුද්ධය සඳහා සමස්ත උමතුව සියල්ලටත් වඩා පැහැදිලිව ඔවුන් ඉදිරියේ ගෙනහැර පෑවේ: ජීවත් වීමේ මාධ්‍ය සම්පාදනය කල නොහැක්කේ, මරනයේ අවි නිර්මානය කිරීම අවශ්‍යව තිබූ බැවින්ය” යන්නයි.
වොෂින්ටන් ඩීසී, මාර්තු 1: විල්සන්, සිමර්මන් එවූ විදුලිපනිවිඩය ප්‍රසිද්ධියට පත් කරයි
ඇමරිකාව යුද්ධය තුලට කඩාවැදීම පිනිස ගනන් බලා දරනු ලබන ව්‍යායාමයකදී ජනාධිපති වුඩ්රෝ විල්සන්, ජර්මානු විදේශ ඇමති ආතර් සිමර්මන් මෙක්සිකානු ආන්ඩුවට යැවූ පනිවිඩය විකේතනය කරමින් එම සම්පූර්න පනිවිඩයම ප්‍රසිද්ධියට පත් කලේය. විදුලි පනිවිඩය වනාහි, මෙක්සිකානු ඇමරිකානු යුද්ධයේ ප්‍රතිපලයක් වශයෙන් දශක හතකට පෙර ඈඳාගනු ලැබූ ඇමරිකාවේ නිරිතදිග භුමි භාගය ආපසු ලබා ගැනීම පිනිස මෙක්සිකෝව ඇමරිකාවට එරෙහිව පිහිටුවීමේ උත්සාහයක් විය.
මාර්තු 2 (පැරනි පෙබ. 19) පෙට්රෝග්රෑඩය: ආහාර අර්බුදය මුල්කරගත් පෙලපාලි හටගැනීම
පාන් ඉල්ලා පෙට්රෝග්රෑඩයේ අලෙවිසැල් ඉදිරිපිට සෙනඟ රැස්කයි. ඔවුන් වැඩි දෙනෙක් කාන්තාවන්ය. දිනකට පසුව නගරයේ බොහෝ ප්‍රදේශවල බේකරි වසා දැමුනි. ට්‍රොට්ස්කි පසුව මේ සිදුවීම් හැඳින්වූයේ, “දින කිහිපකින් එලඹෙන විප්ලවයේ ඌෂ්න අකුනු” ලෙසය.
මේ වන විට යුද්ධය ජීවිත 1,700,000ක් වනසා දමා තිබුනි. මිලියන දෙකක් පමන මිනිසුන් තුවාල ලැබීය. තවත් මිලියන 4ක් දෙනා සිරකරුවන් බවට පත්වූහ. මේ අතර යුද ආර්ථිකය හා යුද්ධයේ බිහිසුනුකම සිවිල් ජනතාව හමුවට ගෙනාවේ අතිශය දරුනු සමාජ කාලකන්නිකමකි.
මෙම වර්ධනයන් මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා ගොවීන්ගේ විඥානය මත ඇති කලේ ප්රගාඪ බලපෑමකි. “විප්ලවයේ එලිපත්ත මත” ලේඛනය තුල ට්‍රොට්ස්කි මෙසේ ලිවීය. “මීට පෙර විප්ලවවාදී උද්ඝෝෂන ගැන වචනයක්වත් අසා නැති කම්කරුවන්ගේ පුලුල්ම කොටස්, යුද්ධයේ සිදුවීම්වල බලපෑම යටතේ පාලකයින් කෙරෙහි දැඩි අප්‍රසාදයක් පල කිරීමට පටන් ගත්හ. මේ අතර කම්කරු පන්තියේ වැඩි දියුනු කොටස්, නව සිදුවීම් විවේචනාත්මකව යලි අගැයීමේ ක්‍රියාවලියකට අවතීර්න වූහ. රුසියාවේ සමාජවාදී නිර්ධනීන්, ජාත්‍යන්තරයේ වඩාත්ම ආනුභාවයක් සහිත කොටස් ජාතිකවාදයට ඇද වැටීමෙන් ලත් කම්පනයෙන් ගොඩ ඒමට පටන්ගෙන තිබුනි. ඔවුන්, නව යුගය අප කැඳවා ඇත්තේ විප්ලවවාදී අරගලය මෘදු කිරීමට නොව දෘඩ කිරීමට ය යන අවබෝධයෙන් යුතු විය.”
මාර්තු 2 සැන් ජුවාන්, පුවටෝරිකන් වරුන්ට ඇමරිකානු පුරවැසිකම ලබාදී බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගැනීමට ගොදුරුකර ගනී
1917 මාර්තු 2දා ඇමරිකානු කොන්ග්රස් මන්ඩලය, පුවටෝරිකන් ජනතාව ඇමරිකානු පුරවැසියන් බවට පත් කරන ජෝන්ස්-ෂැෆරොත් පනත සම්මත කලේය. පුවටෝරිකාව, 1898 කොල්ලකාරී ස්පාඤඤ ඇමරිකානු යුද්ධයේදී වොෂින්ටනය විසින් අල්ලා ගන්නා ලද කැරිබියන් දූපත්වල නැඟෙනහිර කොනෙහි පිහිටි දුගී දුප්පත් දිවයින් ජාතියකි.
ප්‍රාදේශීය ව පෙනී සිටි නව පුවටෝරිකානු පුරවැසියන්ට ජනාධිපති මැතිවරන වලදී ඡන්ද අයිතිය නොමැතිවූ අතර ඔවුන්ට සෙනේට් සභිකයින් හෝ කොන්ග්රස් සභිකයින් පත්කර ගැනීමේ අයිතියක් ද නොවීය. කෙසේ වෙතත් ඔවුන්ට ඇමරිකාවේ මිලිටරියට බලහත්කාරයෙන් බඳවා ගැනීම සඳහා සුදුසුකම් තිබුනි.
ඔවුන්ට දැන් නිදහසේ ඇමරිකාව තුලට ඇතුලුවීමේ හැකියාව තිබුනි. යුරෝපයේ යුද්ධය, ඇමරිකාවේ සම්ප්‍රධායික ශ්‍රම සැපයුම කපාහැරියේය. ඒ ඇමරිකානු ආර්ථිකය සිය මිත්‍ර රටවල් වලින් කෙරුනු යුද ආම්පන්න ඉල්ලුම සපුරාලීමට පූර්න සේවා නියුක්ති තත්වයකට පත්වෙමින් තිබියදී හා ඇමරිකාව ජර්මනියට එරෙහිව යුද්ධයට සූදානම් වෙමින් සිටියදීය.
මාර්තු 3දා වෝර්සෝව: නැඟෙනහිර යුරෝපීය යුදෙව්වන්ගෙන් සියයට 35ක් “සම්පූර්නයෙන් අසරන භාවයට” පත්වෙති.
ඇමරිකාව තුල ක්‍රියාත්මක වන යුදෙව් සහන සංවිධාන ගනනාවක් නියෝජනය කරන ඒකාබද්ධ බෙදාහැරීමේ කමිටුව විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, යුරෝපයේ යුදවාදී රටවල ගනන් බලා ඇති මිලියන 7ක යුදෙව්වන්ගෙන් තුනෙන් එකකටත් වඩා, “ජීවිතය ගැටගසා ගැනීම සඳහා ආහාරවල ස්වරූපයෙන් ලැබෙන දෛනික සහන මත පදනම්ව, සම්පූර්නයෙන් අසරන භාවයට පත්ව සිටිති.” වෝර්සෝවේ 500,000ක යුදෙව්වන්ගෙන් දෙකෙන් එකක් ද වූද්ච්හි (Lodz) යුදෙව්වන්ගෙන් දෙකෙන් එකක් ද මුලුමනින්ම අසරන වී සිටිති. ලිතුවේනියාවේ තත්වය ද එසේම යයි වාර්තාව පෙන්වා දෙයි.
පෞද්ගලික ප්‍රධානයන් බලාපොරොත්තු වන වාර්තාව සඳහන් කරන්නේ, “ඒකාබද්ධ බෙදිහැරීමේ කමිටුවට වැටහීගොස් ඇති අන්දමට සාගතයට මුහුනපා සිටින සියල්ලන්ගේම ජීවිත බේරාගත නොහැකි බවයි. හුදෙක්ම ප්රශ්නය, බේරාගත හැකි ජීවිත සංඛ්‍යාව කොපමන ද යන්නයි.” ප්‍රථම ලෝක සංග්‍රාමය අවධියේ සාගතය හා යුද්ධයේ ජන සංහාර නිසා නැඟෙනහිර යුරෝපයෙන් පලා ගිය යුදෙව්වෝ, ජර්මනිය හා බටහිර යුරෝපීය රටවල ලැගුම් ගැනීමට උත්සාහ කලහ.
මාර්තු 3, කැලිෆෝනියාවේ හොලිවුඩ්: ජොන් ෆෝර්ඩ් අධ්යක්ෂනයේ මංගල පියවර තබයි
යුනිවසල් ස්ටුඩියෝහි සහායක බයිසන් චලන රූප ආයතනය, ටොනාඩෝ චිත්‍රපටය නිකුත් කලේය. එය ජොන් ෆෝර්ඩ් අධ්යක්ෂනයේ මංගල පියවරයි. ඔහු කිසිදු අවියක් අත නැතිව ම්ලේච්ඡයින්ට මුහුනදීම නිසා “තුවක්කුවක් නැති මිනිසා” වශයෙන් විරුදාවලී ලත් ජැක් ඩේටන් නමැති සංක්රමනික විරුවා ලෙස ද චිත්‍රපටය තුල රඟපායි. ඩේටන් කොල්ලකරුවන්ගෙන් ගමක් බේරාගන්නා අතර තෑගි මුදල ජීන් හතවේ නම් අයර්ලන්තයෙන් පැමිනි සිය මව වෙත යවයි. ෆෝර්ඩ් ද සංක්රමනික අයර්ලන්ත යුවලකගේ පුතාය. 1917 සිට ඔහු දිගු හා ප්‍රකට අභිවෘත්තියක් අරඹයි. ඔහු 1917දී තවත් නිහඬ චිත්‍රපට නවයක් ද 1927දී 62ක් ද නිපදවයි.
මාර්තු 4, වොෂින්ටන් ඩීසී: විල්සන් දෙවැනි වරටත් ජනාධිපති ලෙස දිව්රුම් දෙයි
ඇමරිකානු ජනාධිපති ලෙස වුඩ්රෝ විල්සන් දෙවන වතාවටත් දිව්රුම් දෙයි. ඔහු සිවිල් යුද්ධයෙන් පසුව ධවල මන්ඳිරයට පා තැබූ දෙවන ඩිමොක්රටික් පක්ෂ ජනාධිපතිය. විල්සන් සිය ප්‍රථම ජයග්‍රහනය ලැබුවේ, රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රගතිශීලියෙකු ලෙස තරඟ වැදුනු තියඩොර් රූස්වෙල්ට් හා, සිටින ජනාධිපති විලියම් ටෆ්ට් අතර භේදයක් නිර්මානය කරමිනි. ඔහු දෙවන වර ජයගත්තේ “ඔහු අප යුද්ධයට පැටලුවේ නැත” යන සටන් පාඨය යටතේය.
කෙසේ වුවත් විල්සන්ට, ඇමරිකාව යුද්ධයෙන් ඉවත්කර තැබීමේ අදහසක් නොතිබුනි. සිමර්මන් විදුලි පනිවිඩය ප්‍රසිද්ධ කිරීමට ගත් තීරනය මෙන්ම, ඔහුගේ පදවි ප්‍රාප්ත කථාව ද සැලසුම් කර තිබුනේ, ඇමරිකාව යුද්ධය සඳහා සූදානම් කිරීමටය. ලිබරල් ජාත්‍යන්තරවාදයේ කොන්දේසි තුල බඩගෑ මෙම විල්සන්, ඔහුම කියන පරිදි ජර්මානුවන් විසින් නැති භංඟ කරනු ලැබීය.
“ජාතියක් වශයෙන් අපගේම ජීවිතයෙන් පිටත රැඳී පැවති අනෙකුත් ප්‍රශ්න අපගේ අවධානයට බලහත්කාරයෙන් යොමුකරනු ලැබේ. ඒ පිලිබඳව පාලනයක් අපට ඇත්තේ නැත. අපට සිදුකර තිබෙන සමහර හානි ඉවසිය නොහැකිය..... සිදුවීම් මඟින්, අපගේ අයිතීන් පිලිබඳ වඩා ක්‍රියාශීලී යොමුවීමකට අප ඇද දමනු ඇත.... ”
“අපට දිග් විජයක් හෝ වාසි ලබාගැනීමේ ආසාවක් නැත. අනෙකුත් මිනිසුන්ගේ වියදමෙන් කිසිවක් ලබා ගැනීමට අපගේ අදහසක් නැත...එහෙත් අප තවදුරටත් ප්රාදේශීයවාදීන් නොවන්නෙමු. අප දැනටමත් පසුකරවිත් ඇති අර්බුදකාරී තිස් මාසයේ ඛේදනීය සිදුවීම්, අප ලෝක පුරවැසියන් බවට පත් කර තිබේ. ආපසු හැරීමක් ඇත්තේ නැත. ජාතියක් වශයෙන් අපගේම වාසනාව, අප එය භුක්ති විඳිය යුතු ද නැද් ද යන කාරනයට සම්බන්ධය.”
මාර්තු 5 වෙර්දොන් (Verdun): වෙර්දොන් ආසන්නයේ ජර්මානු ආක්රමනය කොර ගසයි
වෙර්දොන් අසබඩ නව ජීවයකින් යුත් ජර්මානු ප්‍රහාර වලින් අත්කරගත් ජයග්රහන, හොඳින් ස්ථානගතව සිටි ප්රන්සුවන්ට එරෙහිව වැදගැන්මකට නැති දේ බවට පත් කලේය. දරුනු බෝම්බ හෙලීමකින් පසුව කොරියරස් වනාන්තරයේ සැතපුම් එකයි තුන්කාලක් වූ යුද පෙරමුන දිගේ ජර්මානු මිලිටරිය මෙහෙයුම දියත් කලේය. සාරභූත වශයෙන් දැවැන්ත සොහොන් බිමක් බවට පත්වූ එම සටනෙන් දරුනු හානි සිදුවූ බව වාර්තා විය. වෙර්දොන්හි පලමු සටන මාස නවයක් තිස්සේ සිදු විය. ඒ 1916 පෙබරවාරි හා දෙසැම්බර් අතරතුරය. දෙපැත්තේම මිනිසුන් ලක්ෂ තුනකගේ ජීවිත විනාශ විය. තවත් ලක්ෂ ගනනකට තුවාල සිදු විය.
යුද භටයෙකු වූ 32 හැවිරිදි වියේ පසුවූ කර්ල්ස්රූහ් (Karlsruhe) හි අර්නස්ට් ෂ්මිත් අලුත්ම ප්‍රහාරයට සම්බන්ධ විය. පෙබරවාරි 10දා ඔහු ගෙදරට ලියා දැන්වූයේ, තමා සිටින්නේ, "මීටර් 7ක් ගැඹුරු අගලක් තුල මීයන්, ඌරුමීයන් හා උකුනන් සමඟ" බවයි. “කිසි විටෙකත් ඇඳුම් සෝදා පිරිසිදු කර ගැනීමට නොහැකි වූ බව” ඔහු ලියා තිබුනි. ඔහුගේ නිවසට ලැබුනු දෙවැනි ලිපිය ලියා තිබුනේ ඔහු මිය ගිය දවසේමය. ඒ මාර්තු 5දාය.