"ලේ තැවරුනු හා පිලිකුල් සහගත රොමානොව් රාජාන්ඩුවේ" හදිසි හා නින්දිත බිඳවැටීම මඟින් ඉතිරිකල රික්තය තුල, ලෙනින්ගේ වචන වලින් පැවසුවහොත් පෙට්රොග්රෑඩය තුල මතුව ආවේ, "ද්වන්ධ බලයේ" අඩමාන ආකෘතියකි. පෙබරවාරි නැඟීටීම තුල තරඟකාරී සමාජ බලවේග වටා දේශපාලන ගුරුත්වාකර්ෂන කේන්ද්‍ර දෙකක් පෙලගැසේ. එක් අතකින්, ලිබරල් ඩිමොක්රටිකයන්, ප්රතිසංස්කරනවාදීන් හා ජනතාවාදීන් කඩිමුඩියේ පිහිටුවාගත් තාවකාලික ආන්ඩුවයි. එම බල සංස්ථාව විදේශ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් පිලිගනු ලැබීය. අනෙක් අතින්, විශේෂයෙන් සමාජයේ දුප්පත්ම කොටස් අතර පුලුල් මහජන පදනමක් දිනා සිටින, කම්හල්වල හා සේනාංකවල තෝරාගත් නියෝජිතයන්ගේ පෙට්රොග්රෑඩ් සෝවියට් සභාවය. තාවකාලික ආන්ඩුව යුද්ධය අඛන්ඩව ගෙන යාමටත් ධනපති වරප්‍රසාද පවත්වා ගැනීමටත් ලැදිකම් දක්වන අතර පෙට්රොග්රෑඩ් සෝවියට් සභාව, සාම හා රැඩිකල් සමාජ වෙනස්කම් සඳහා වන ජනතා ඉල්ලීම්වල කාන්දම බවට පත්විය. මේ සංස්ථාවන්ගෙන් බාහිරව -පල්ලිය, වංශාධිපතිත්වය, පැරනි සාර්වාදී නිලධරය, ඉඩම් හිමියන් හා මිලිටරියේ ප්‍රභූ පැලැන්ති එක්ව ගොඩනැඟූ ප්රතිගාමිත්වයේ බලවේග පහර කෑ නමුත් ජයග්‍රහනය පිලිබඳ සහතිකය බොහෝ ඈතය.
පිටුවහලේ සිට ආපසු පැමිනි කමනෙව් හා ස්ටැලින් පක්ෂයේ පිලිවෙත තාවකාලික ආන්ඩුවට අනුගත කිරීමට උත්සාහ කිරීමත් සමඟ බොල්ශෙවික් පක්ෂය තුල මතභේද ඉස්මතු විය. එය පක්ෂ සාමාජිකත්වයේ බොහෝ දෙනෙකු කලබලයට පත් කලේය. මේ අතර ලෙනින් අනාවැකි පල කල ඈත සිට එවූ තම ලිපි, රුසියාවට එවන්ට පටන්ගෙන තිබුනි. ඒවායේදී ඔහු ධනේශ්වර නවතාවකාලික ආන්ඩුව විශ්වාස නොකට යුතු බවත් අවසානයේදී කම්කරු පන්තියට එරෙහිව ප්රතිගාමීන් සමඟ අත්වැල් බැඳගනු ඇති බවටත් අනතුරු ඇඟවීය. ඔහු මෙසේ පැවසීය. "සාර්වාදී ප්රතිගාමිත්වයට එරෙහි අරගලයේ නාමයෙන් කිසිවෙකු කම්කරුවන් අමතා, නව ආන්ඩුවට සහාය දිය යුතු යයි කියන්නේ නම්, ඔහු කම්කරු පන්තියේ ද්‍රෝහියෙකි, නිර්ධන පන්ති මාවතේ සතුරෙකි, සාමයේ හා නිදහසේ ද්‍රෝහියෙකි."
ලෙනින්ගේ දෙවන ඈත සිට එවූ ලිපියේ අත් පිටපත
තවමත් ස්විට්සර්ලන්තයේ පිටුවහලේ සිටි ලෙනින්, තම "ඈත සිට එවූ ලිපි" හතරේ පලමුවැන්න කෙටුම්පත් කරයි. ඒවා තුල ලෙනින්, පෙබරවාරි විප්ලවය පිලිබඳ තම විශ්ලේෂනය වර්ධනය කරයි. එය වනාහි එකිනෙකට සතුරු දේශපාලන හා සමාජ අවශ්‍යතා දෙකක සුවිශේෂී ප්රවාහයන් දෙකක ප්‍රතිපලය බව එහිදී ඔහු පැහැදිලි කලේය.
පලමු මතුපිට බැල්මෙන්ම පෙනී යන්නේ, විප්ලවය එතරම් ඉක්මනින් හා එතරම් රැඩිකල් ආකාරයකින් ජය ගත්තේ, අතිශයින්ම අද්වීතීය වූ ඓතිහාසික තත්වය ද මූලිකවම අසමානවූ සමාජ ප්රවාහයන් ද මූලිකවම විෂමජාතීය පන්ති ආසක්තයන් ද මූලිකවම විසංවාදී දේශපාලන හා සමාජ ව්‍යායාමයන් ද එකට වෙලීම හා කැපීපෙනෙන "අවිරෝධී" ස්වරූපයක ප්‍රතිපල වශයෙන්ය යන කාරනය නිසාය. ගුච්කොව්ලාට කොන්ස්තන්තිනෝපල් ද ප්රන්ස ධනපතීන්ට සිරියාව ද බ්‍රිතාන්‍ය ධනපතීන්ට මෙසපොතේමියාව ද යනාදී වශයෙන් අයත්කර ගැනීමේ අටියෙන්, මිලියන ගනන් රුසියානු කම්කරුවන් හා ගොවීන් අලුතෙන් සංහාරය කිරීමේ අරමුන සඳහා යුද්ධය වඩාත් බිහිසුනු හා නිර්දය ලෙස කරගෙන යාමේ අරමුන සඳහා අධිරාජ්‍යවාදී යුද්ධය අඛන්ඩව පවත්වාගෙන යාමට, බලය අල්ලා ගැනීම සඳහා මිලියුකොව්, ගුච්කොව් හා සමාගමට බල කෙරෙන ඇන්ග්ලෝ-ප්රන්ස අධිරාජ්‍යවාදී කුමන්ත්රනය විශේෂිතය. මෙය එක් අතකින් ද නඟර හා ගම්බද ජනතාවගේ සමස්ත දුගී කොටස් වලම ව්‍යාපාරයක්- පාන් සඳහා, සාමය සඳහා, අව්‍යාජ නිදහස සඳහා, විප්ලවවාදී ස්වභාවයේ කම්කරු පන්තික හා ජනතා ව්‍යාපාරයක් අනෙක් අතින් ද පැවතුනි.
අනිවාර්යයෙන්ම එකිනෙකට සතුරු ආසක්තයන්හි තාවකාලික සම්මිශ්රනයක් සහිත විප්ලවයේ වත්මන් අදියර, එහි සංක්රමනීය තත්වයෙන් ද ද්වන්ධ බලය පිලිබඳ සංසිද්ධියෙන් ද සංලක්ෂිත විය. යුද්ධය පවත්වගෙන යාමට හා පෞද්ගලික දේපොල ආරක්ෂා කිරීමට ද කැපවූ තවකාලික ආන්ඩුව එක් පසෙකින් විය. ලෙනින් එය විස්තර කලේ, "කම්කරු ආන්ඩුවක කලලය" ලෙසය.
ධනපති තාවකාලික ආන්ඩුවට මොනම සහයෝගයක් හෝ දීමට එරෙහිව ලෙනින් දැඩි ලෙස අනතුරු අඟවයි. ඒ වෙනුවට රුසියානු කම්කරුවන් හැරිය යුත්තේ, අනෙකුත් යුදවාදී රටවල තම පන්ති සහෝදරයින් හා සහෝදරියන් වෙතය. ඔවුන් සටන් කල යුත්තේ, "ගුච්කොව් මිලියුකොව්ගේ අර්ධ රාජාන්ඩුව වෙනුවට, ඉඩම් හිමියන්ගෙන් ගොවි ජනතාවගේ පූර්න ජයග්‍රහනය වෙනුවෙන් හා ප්රජාතන්ත්රවාදී සමූහාන්ඩුවක් වෙනුවෙන් හා ඉන් පසුව යුද්ධයෙන් හෙම්බත්ව සිටින ජනතාවට සාමය, පාන් හා නිදහස ලබාදිය හැකි එකම මාවත වන සමාජවාදය සඳහාය."
මාර්තු 20 බර්ලිනය: කම්කරුවෝ පෘසියානු රාජ්‍ය පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස මාක්ස්වාදී ෆ්රාන්ස් මේරිං පත්කර ගනිති
පෘසියානු රාජ්‍ය පාර්ලිමේන්තුවේ හා ජාතික පාර්ලිමේන්තුවේ කාල් ලිබ්නෙක්ට්ගේ මන්ත්‍රී ධුරය වෙනුවෙන් අයෙක් තෝරාගැනීම පිනිස බර්ලින් හා පොට්ස්ඩෑම්හි අතුරු මැතිවරන පවත්වනු ලබයි. අතුරු මැතිවරන පැවැත්වීමට නියමිත වුනේ, මිලිටරි අධිකරනයක් මඟින් කාල් ලිබ්නෙක්ට්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කරනු ලැබීම නිසාය. ඔහු දරුනු කොන්දේසි යටතේ වසර 4ට සිරගත කර තිබුනි. "යුද්ධය භංඟ වේවා! ආන්ඩුව භංඟ වේවා! යන සටන් පාඨ යටතේ බර්ලින්හි පොට්ස්ඩෑම් ප්ලාට්ස්හි 1916 මැයි 1දා යුද විරෝධී පෙලපාලියක් සංවිධානය කර එය ඇමතීම ඔහුට විරුද්ධව එල්ල කල චෝදනා විය. ඔහුගේ නඩුව විභාගයට ගත් 1916 ජූනි 28දා ඔහු නිදහස් කරන ලෙස බලකරමින් 55000ක් ලෝහ කම්කරුවෝ වැඩවර්ජනය කලහ.
යුදවාදී සමාජ ප්රජාතන්ත්ර පක්ෂය (එස්පීඩී), ලිබරල් ප්රගතිශීලී පක්ෂය හා අනෙක් අපේක්ෂකයින්ට එරෙහිව පාර්ලිමේන්තුව තුල පෙනී සිටීම සඳහා ආසනයක් ලබාගැනීමට හැකිවන පරිදි, අපේක්ෂක ලැයිස්තුවට තම සහකාර සටන් කරුවා වන ෆ්රාන්ස් මේරිංගේ නම ඇතුලුකරන ලෙස ලිබ්නෙක්ට් කියා සිටියේය. මේ වන විට සිරභාරයේ පසුවූ ලිබ්නෙක්ට් හා රෝසා ලක්සම්බර්ග් යන දෙදෙනා සමඟ ෆ්රාන්ස් මේරිං, එස්පීඩීය තුල ජාත්‍යන්තර මාක්ස්වාදී ප්රවනතාව හෙවත් Spartakusbriefe (ස්පාටකස් ලිපි) නිරන්තරයෙන් පලකිරීම නිසා ඒ නම ලත්, ස්පාටකස් කන්ඬායමට නායකත්වය දුන්නේය.
පලමු ලෝක යුද්ධය ඇරඹීමත් සමඟ මේ කන්ඬායම, අධිරාජ්‍ය ආන්ඩුවට හා එහි යුද ව්‍යායාමයට සහාය දුන්, ෆිලිප් ෂෙයිඩමාන්, ෆ්රෙඩ්රික් ඊබට් හා වෘත්තීය සමිති නායක කාල් ලිජියන් යටතේ එස්පීඩී නායකත්වයේ පිලිවෙතට විරුද්ධව දිරිමත් හා මූලධර්මාත්මක අරගලයක් ගෙන ගියේය. ස්පාටකස් කන්ඬායම, යුද්ධය අවසන් කිරීමට හා සමාජවාදය පිහිටුවීම සඳහා අධිරාජ්‍ය ආන්ඩුව පෙරලා දැමීමට කම්කරු ජනසමූහයන් බලමුලු ගැන්වීමේ විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වැදුනි.
මෙම ක්රියාමාර්ගික පදනම මත ෆ්රාන්ස් මේරිං, බර්ලිනයේ 11 වන මැතිවරන දිස්ත්‍රික්කයෙන් ඡන්ද 341ක් දිනා ගත්තේය. ඊට විපරිත ලෙස යුදවාදී සමාජ ප්රජාතන්ත්ර පක්ෂයේ අපේක්ෂකයාට ලැබුනේ ඡන්ද 48ක් පමනි. ධනපති ලිබරල් ප්රගතිශීලී පක්ෂ අපේක්ෂකයාට ලැබුනේ ඡන්ද 44ක් පමනි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ආසනයක් දිනාගැනීම පිනිස එස්පීඩී හා ලිබරල් ප්රගතිශීලී පක්ෂය, ෆ්රාන්ස් මේරිංට විරුද්ධව සන්ධානගත වෙමින් දැමූ උපාමාරුවල ප්‍රතිපල වශයෙන්, පෝස්ට්ඩෑම්-හැව්ලෑන්ඩ් ග්‍රාමීය මැතිවරන දිස්ත්‍රික්කයෙන් ජයගත්තේය.
බර්ලිනයේ මැතිවරන ප්‍රතිපල ඇඟවුම් කරන්නේ, ජර්මනියේ කාර්මික මධ්‍යස්ථානවල පන්ති විඥානයෙන් යුත්, සමාජවාදී අදහස් දරන කම්කරුවන් අතර යුද්ධය කෙරෙහි විරුද්ධත්වය වර්ධනය වීමය. ඔවුන්ට පැහැදිලිවම දැනී තිබුනේ තමන් රුසියානු සිදුවීම් වලින් දිරිමත් වන සෙයකි. හැම්බර්ග්හි සිල්ලර කඩ සාප්පු ඉදිරියේ පෙලගැසී සිටි කාන්තාවන් සමඟ මුසු වෙමින් සිටි පොලිස් ඔත්තුකරුවෙක් මෙසේ වාර්තා කරයි:
රුසියානු සිදුවීම් ජනතාව මත ඒවායේ ලාංචනය ඉතිරිකර තිබුනි. බොහෝ තැන්වලදී අදහස් පල වූයේ මෙසේය: "අප ද කල යුත්තේ රුසියාවේදී කම්කරුවන් කලා සේමය, එවිට මෙහි ද තත්වය ඉක්මනින්ම වෙනස් වනු ඇත."
මාර්තු 20 ලන්ඩනය: අධිරාජ්‍ය යුද කැබිනට්ටුව රැස්වෙයි
එක්සත් රාජධානියේ නායකයෝ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඩොමීනියන් රටවල් (ඔස්ට්‍රේලියාව, කැනඩාව, නිව්ෆවුන්ඩ්ලන්තය, නවසීලන්තය හා දකුනු අප්‍රිකාව) මෙන්ම, ඉන්දියාවේ යටත් විජිත පාලනයේ නියෝජිතයින් ද සමඟ යුද්ධයේ ප්‍රගතිය ගැන කථාකිරීමට යුද කැබිනට්ටුවක් ලෙස පලමු වරට රැස්වූහ. එවන් රැස්වීමක අවශ්‍යතාවය පැහැදිලි කරමින් 1916 දෙසැම්බරයේදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් ලොයිඩ් ජෝර්ජ් පාර්ලිමේන්තුව අමතා මෙසේ පැවසීය, "ජයග්‍රහනය සහතික කිරීම පිනිස පියවර ගත යුතුව තිබියදී ද ඔවුන්ගේ මෙන්ම අපේ ද උත්සාහයේ ප්‍රතිපල නෙලා ගැනීමේ හොඳම විධික්රම ගත යුතුව තිබියදී ද යුද්ධයේ ගමන් මඟ හා ප්‍රගතිය ගැන නිල වශයෙන් ඩොමීනියන් රටවල අදහස් විමසීමට කාලය එලඹ ඇතැයි අපට හැඟී ගොස් තිබේ.
අධිරාජ්‍ය යුද කැබිනට්ටුවක් සඳහා ඩොමීනියන් රටවල ආන්ඩු දිගු කලක් තිස්සේ ඉල්ලීම් කර තිබුනි. එම රටවල ධනපති පන්තියේ වැඩෙන ශක්තිය පිලිබඳ පිලිඹිඹුවකි බ්‍රිතාන්‍යයේ ආන්ඩුව එය පිලිගැනීම. ප්‍රතිපත්ති තීන්දු කිරීමේදී බ්‍රිතාන්‍ය ආන්ඩුව ප්රමුඛ තැන දරා සිටිය ද බ්‍රිතාන්‍ය යුද අරමුනු සඳහා අදාල තීරන වෙනම ගත යුතු අවස්ථාවල තමන්ගේම යුද කැබිනට්ටුව රැස්කරන ලදී. යුද්ධය නිමාවෙමින් තිබියදී 1918 පැරිසියේදී යලි විමර්ෂනය කිරීමට පෙරාතුව, අධිරාජ්‍ය යුද කැබිනට්ටුවේ රැස්වීම් මැයි මාසය මුල තෙක් පැවතෙනු ඇත.
මාර්තු 22 (පැරනි මාර්තු 9) වොෂින්ටනය: එක්සත් ජනපදය නිල වශයෙන් තාවකාලික ආන්ඩුව පිලිගනියි
නිල උත්සවයකදී රුසියානු අධිරාජ්‍ය යේ ඇමරිකානු තානාපති ඩේවිඩ් ෆ්‍රැන්සිස්, එසේ කල පලමු ජාතිය බවට පත්වෙමින්, නව තාවකාලික ආන්ඩුවට ඇමරිකාවේ නිල පිලිගැනීම ලබා දුන්නේය. ඔහු පිලිගන්නා ලද්දේ, විදේශ ඇමති පැවෙල් මිලියුකොව්ගේ නායකත්වයෙන් යුත් තාවකාලික ආන්ඩුවේ ඇමති කමිටුව විසිනි.
වොෂින්ටන් ඩීසී වෙත එදිනම යැවූ විදුලි පනිවිඩ දෙකකින් ෆ්‍රැන්සිස් වාර්තා කලේ, ඇමරිකානු පිලිගැනීම රුසියාවට "ආත්ම සවියක්" අත්කර දීම මිලියුකොව්ගේ පැසසුමට ලක්වූ බවයි. "ශ්‍රමිකයන් ආපසු වැඩට ගිය අතර ට්රෑම් රථ මාර්ග ක්‍රියාත්මක වේ", යනුවෙන් ෆ්‍රැන්සිස් ලියයි.
මාර්තු 23 (පැරනි මාර්තු 10) පෙට්රොග්රෑඩය: පැය අටේ වැඩ දිනය හඳුන්වාදීම
සෝවියට් සභාව හා කම්හල්, වැඩපොල අයිතිකරුවන්, පැය අටේ වැඩ දිනය හඳුන්වා දීමට එකඟ වෙති. එහෙත් පියුටිලොව්, ද මෙටල්, ද කේබල් හා නව ලෙස්නර් වර්ක්ස් ඇතුලු කම්හල් ගනනාවක ඒවන විටත් ක්‍රියාත්ම වෙමින් පැවති තත්වය නීත්‍යනුකූල කරනු ලබයි.
කම්කරු ව්‍යාපාරය ආරම්භ කෙරුනු අවධියේ පටන්ම රුසියාවේ කම්කරු පන්ති අරගලයන්හි, වැඩ දිනය කෙටි කිරීමේ ඉල්ලීම මුඛ්‍ය ක්රියාකලාපයක් ඉටු කලේය. 1896 ශාන්ත පීටර්ස්බර්ග්හි රෙදිපිලි කම්කරුවන් 30000කගේ පමන වැඩ වර්ජනයේදී ඉදිරිපත්වූ ප්‍රධාන ඉල්ලීමකි, එවකදී පැය 14ටත් වඩා දීර්ගවූ වැඩකරන දිනය කෙටි කිරීම. ඉතිහාසඥ ඇලන් වයිල්ඩ්මන්ට අනුව, පැය 10ක වැඩ දිනයක් ඉල්ලීමේදී පීටර්ස්බර්ග් කම්කරුවන් කෙරෙහි, "රබෝචි ඩෙන්" හෙවත් වැඩ දිනය යන පත්‍රිකාව බලපෑමක් ඇතිකර තිබුනි. මෙම පත්‍රිකාව, තරුන ලෙනින්ගේ නායකත්වයෙන් යුත්, Soiuz bor’ හෙවත් za osvobozhdenie rabochego klassa (කම්කරු පන්තියේ විමුක්තිය සඳහා අරගලයේ සංඟමය) යන සමාජ ප්රජාතන්ත්රවාදී කන්ඬායම විසින් 1896 පලමු භාගය තුල නිකුත් කර පුලුල් වශයෙන් බෙදාහරින ලදී. 1897 වැඩවර්ජනයෙන් සලිතවූ ආඥාදායකත්වයට, වැඩ දිනය සීමා කිරීමේ පලමු පියවර ගැනීමට බල කෙරුනි. එය නිල වශයෙන් දිනකට පැය 11.5ට සීමා කෙරුනි. 1905 විප්ලවයේදී පැය අටේ වැඩ දිනය විප්ලවකාරී ජනතාව රැලි කරන ප්‍රධාන සටන්පාඨය බවට පත් වුව ද එම ඉල්ලීම ඉටුකරගත නොහැකිව තිබුනි.
1917 පෙබරවාරි විප්ලවයෙන් පසුව, පැය අටේ වැඩ දිනය සඳහා අරගලයට නායකත්වය ගත්තේ, සාර් පෙරලා දැමීමෙන් පසුව රටපුරා හතු පිපෙන්නාක් මෙන් මතුවූ කම්හල් කමිටු විසිනි. පෙට්රොග්රෑඩයේදී පැය අටේ වැඩ දිනය හඳුන්වාදීම, සාමාන්‍ය වැඩ දිනය පැය 10.2 සිට පැය 8.4 දක්වා අඩු කිරීමට තුඩු දුන්නේය. කෙසේ වුවත් පැය අටේ වැඩ දිනය සියලු සේවායෝජකයින් නිල වශයෙන් බැඳුනු දෙයක් නොවීය. කුඩා වැඩපොලවල හා කම්හල් නොවන කර්මාන්තයන්හි සාමාන්‍ය වැඩ දිනය දිගටම පැය 10 ඉක්මවා පැවතීගෙන ගියේය. විප්ලවයෙන් පසුව ද අතිකාල වැඩ පුලුල් වශයෙන් පැතිර තිබුනි. කම්හල් කමිටු තවමත් මෙන්ෂෙවිකයන් හා සමාජ විප්ලවවාදීන්ගේ ආධිපතත්යය යටතේ පැවති තතු හමුවේ ඔවුන්, යුද පෙරමුනට අඛන්ඩ සැපයුම් සහතික කිරීම පිනිස අතිකාල වැඩ සඳහා එකඟත්වය පල කලහ.
මාර්තු 24 (පැරනි මාර්තු 11) පැරිසිය, ලන්ඩනය හා රෝමය: මිත්‍ර පාර්ශවය තාවකාලික ආන්ඩුව පිලිගත්හ
වොෂින්ටනය විසින් තාවකාලික ආන්ඩුව පිලිගනු ලැබීම මත පැරිසිය, ලන්ඩනය හා රෝමය ද එය පිලිගත්තේය. ලෙනින්ගේ පලමු "දුර සිට එවූ ලිපියේ" විශ්ලේෂනය එම පියවරෙන් සනාථ කෙරුනි. එහිදී ඔහු අවධාරනය කලේ, යුද්ධය වඩා හොඳින් කරගෙන යාම සඳහා බ්‍රිතාන්‍ය හා ප්රන්ස අධිරාජ්‍යවාදය, ප්රමුඛ රුසියානු ලිබරල්වාදී දේශපාලඥයින් සමඟ කුමන්ත්රනය කර ඇති බවයි. බටහිර හා ඇල්ප්ස් පෙරමුනු වලින් ජර්මානු හා ඔස්ට්‍රියානු හමුදා ඉවත් කර ගැනීම පිනිස, රුසියාව විසින් නැඟෙනහිර පෙරමුන පවත්වාගෙන යාම මිත්‍ර පාක්ෂිකයන්ට අවශ්‍යව තිබුනි.
බ්‍රිතාන්‍ය තානාපති ජෝර්ජ් බුකනැන් පසුව, තාවකාලික ආන්ඩුව සෝවියට් සභා සමඟ ඇති තරම් නිර්දය ලෙස කටයුතු නොකරනු ඇතැයි කනස්සල්ල පල කරන පනිවිඩ ලන්ඩනයට යවා තිබුනි:
ලවොව් සෝවියට් සභාවට හෝ හමුදාව තුල සමාජවාදී ප්රචාරනයට එරෙහිව දැඩි පියවර ගැනීමේ අදහසට දැනට කැමැත්තක් නොදක්වයි. මා ඔහුට කියන්නේ, එදිරිවාදී සංවිධානයක් විසින් නියෝග පනවන තත්වයකට ඔවුන් ඉඩ සලසා දෙනතාක් කල්, ආන්ඩුවට තත්වය පිලිබඳව නියමුවන් වීමට කිසිවිටෙක නොපුලුවන් බවයි. ඔහු පැවසුවේ සෝවියට් සභාව ස්වාභාවික ලෙසින් මිය යනු ඇති බවයි. හමුදාව තුල වත්මන් ප්‍රචාරනය පහව යනු ඇත. එවිට හමුදාවට පැරනි තන්ත්රය යටතේ මෙන් නොව මිත්‍ර පාර්ශවයට යුද්ධය දිනා ගැනීම සඳහා උපකාර කිරීමේ වඩා හොඳ ඉඩ ප්රස්ථා සැලසෙන බවයි.
දක්ෂිනාංශික ඇමරිකානු සමාජවාදියෝ, සන්නද්ධ කිරීම වෙනුවෙන් පෙනී සිටිමින් විල්සන් අනුමත කලහ
ඇමරිකාව යුරෝපීය යුද්ධයට ඇතුල් වීමට සූදානම් වීම හමුවේ, ඇමරිකානු සමාජවාදී පක්ෂය එකිනෙකාට විරුද්ධ කන්ඬායම් වලට බෙදන්නට පටන්ගත්තේය. දිගු කාලීන නායක ඉයුජින් ඩෙබ්ස් වාමාංශයට නායකත්වය දෙමින් ඕනෑම තත්වයක් යටතේ යුද්ධයට විරුද්ධ විය. කෙසේ වෙතත් පක්ෂ යාන්ත්‍රනය පාලනය කලේ, මොරිස් හිල්කයිට් විසින් නායකත්වය දුන් ප්රතිසංස්කරනවාදී කොටස්ය. ඔවුන් යුද විරෝධී කටමැත දොඩන ගමන් ජාතික දේශප්‍රේමයට අනුගත විය.
එය පමනක් දක්ෂිනාංශයට සෑහුනේ නැත. ප්රමුඛ සමාජවාදීන් විසින් අත්සන් තබන ලද යෝජනා දෙකකින් කියා සිටියේ මිලිටරි සූදානම හා විල්සන්ට දේශපාලන සහයෝගය දිය යුතුය කියාය. අත්සන් තැබූ අය අතර,නවකථාකරු අප්ටන් සින්ක්ලෙයාර්, මිලියනපති පරාර්ථකාමියෙකු වන ජේම්ස් ග්‍රේහැම් ස්ටෝක්ස් හා ඔහුගේ කාර්යධර බිරිඳ වන රෝස් පැස්ටර් ස්ටෝක්ස්, නවකථාකරු ජැක් ලන්ඩන්ගේ වැන්දඹු භාර්යාව වන චාර්මියන් ලන්ඩන්, රචක විලියම් ඉන්ග්ලිශ් වැලින්ග්, මාධ්‍යවේදී චාල්ස් එඩ්වඩ් රසල්, කවියෙකු හා නාට්‍ය රචකයෙකු වන ජෝර්ජ් ස්ටර්ලින්, එවන් මත දරන කතුවරයෙකු වන චාලොට් පර්කිංස් ගිල්මන් ද වූහ.
මාර්තු 25 (පැරනි මාර්තු 12) පෙට්රොග්රෑඩය : ලෙව් කමනෙව් හා ජෝසෆ් ස්ටැලින් පිටුවහලේ සිට ආපසු පැමිනේ
1917 වර්ෂය පුරාම බොල්ෂෙවික් මධ්‍යම කාරක සභිකයින්ව සිටි ලෙව් කමනෙව් හා ජෝසෆ් ස්ටැලින් යන දෙදෙන, තම පිටුවහලේ සිට පෙට්රොග්රෑඩයට පෙරලා පැමිනි අතර බොල්ෂෙවික් ප්‍රධාන පුවත්පත වන ප්රව්ඩාහි (සත්යනය) සංස්කාරක වගකීම් බාරගත්හ. මේ බලතල හමුවේ ඔවුහු, රුසියානු විප්ලවය පිලිබඳ මෙන්ෂෙවික් අවධි දෙකේ සංකල්පයට දැඩි ලෙස අනුගත වූහ. ඒ අනුව සාර් පෙරලා දැමීම විප්ලවයේ ධනපති ප්රජාතන්ත්රවාදයේ දිග්ගැස්සෙන අදියරක් විවෘත කෙරේ. එබැවින් සාර් පෙරලා දැමීමෙන් පසුව නිකුත්වූ ප්රව්ඩා පලමු කලාපයේම ප්‍රකාශ කෙරුනේ, "අති මූලික ගැටලුව වන්නේ, ප්රජාතන්ත්රවාදී සමූහාන්ඩුවක් පිහිටුවීමයි" යනනුවෙනි.
මෙන්ෂෙවිකයන් මෙන්ම ඔවුන් ද "විප්ලවයේ ආරක්ෂාව" සඳහා ජර්මනියට එරෙහි යුද්ධය පවත්වාගෙන යාමට තාවකාලික ආන්ඩුවට සහාය දිය යුතු බව කියා සිටියේය. ඔවුන්ගේ පිලිවෙත පිලිඹිඹු කලේ, රුසියාව තුල බොල්ශේවික් පක්ෂයේ සැලකිය යුතු කොටසක් අතර පැවති ප්‍රධාන මනෝ භාවයයි. ඒ අනුව බොල්ශේවිකයෙක් වූ ඇලෙක්සැන්ඩර් ෂ්ලියාප්නිකොව් මෙසේ සිහිපත් කරයි: "ධනපති සම්බන්ධතා, යෝග්‍ය වන සියලු ආකාරයේ "නිදහස" ඉස්මතු වන ආකාරයෙන්, වැඩවසම් සම්බන්ධතා බිඳ වැටීමේ අවධියක් අප පසුකරමින් සිටීය යන්න පිලිබඳව අපි මෙන්ෂෙවිකයන් සමඟ එකඟ වීමු." ට්‍රොට්ස්කි සිය රුසියානු විප්ලවයේ ඉතිහාසය තුල මෙසේ පැවසීය: "ප්රජාතන්ත්ර විප්ලවයේ සීමා ඉක්මවා යාමට දක්වන බිය, කල් බැලීම, අනුගතවීම හා සම්මුතිවාදීන් හමුවේ පසුබෑම පිලිබඳ ප්‍රතිපත්තියක් අන කරයි."
මෙම පිලිවෙතට විරුද්ධ වුනේ ලෙනින් හා ට්‍රොට්ස්කි පමනක් නොවේ. ශාන්ත පීටර්ස්බර්ග්හි ආනුභාවය සහිත විබෝග් දිස්ත්‍රික් කමිටුව හා ආනෙකුත් ප්‍රාදේශීය පක්ෂ සංවිධාන ද ඊට විරුද්ධ විය. ඉන් පසුව එලඹි සති හා මාස, විප්ලවයේදී බොල්ෂෙවික් පක්ෂයේ මූලෝපාය හා ඉදිරිදර්ශනය පිලිබඳව පක්ෂ අභ්‍යන්තරයේ කටුක අරගලයක කාලයක් බවට පත් විය.
මාර්තු 26 (පැරනි මාර්තු 13) නිව් යෝර්ක්: ඇමරිකානු සමාජවාදීහු ට්‍රොට්ස්කිට සමු දෙති
ට්‍රොට්ස්කිට සමු දීමේ උත්සවයට 800ට වැඩි සමාජවාදීන් පිරිසක්, 127වන වීදියේ හාලෙම් රිවර් කැසිනෝවට රැස්ව සිටියහ. විප්ලවයට සහායවීම සඳහා ට්‍රොට්ස්කි පෙට්රොග්රෑඩ් වෙත ගෙනයාමට ඩොලර් 300ක් පමන එකතු කර දෙන ලදී.
හිටපු ඇමරිකානු කොමියුනිස්ට්වාදියෙකු වන ලුඩ්විග් ලෝර්ට අනුව, ඇමරිකාවේ ගත කල සති 10ක පමන කාලය තුල "ට්‍රොට්ස්කි විශාල හා උද්යෝගිමත් අනුගාමිකයන් පිරිසක් ගොඩනඟා ගත්තේය. ඔහු සටන් කිරීමට සූදානම් හා නොතකා නොහැරිය හැකි දේශපාලන කන්ඬායමක්, ව්‍යාපාරයක් ගොඩනඟා තිබුනි." කෙනත් ඩී ඇකර්මන් යන චරිතාපදායකයාගේ වචන වලට අනුව "රුසියානු විප්ලවයත් සමඟ දැන් ඔහු, වාමාංශය එක්සත් කරන චරිතය ලෙස ඉස්මතු විය."
ට්‍රොට්ස්කි පැය දෙකක් කථා කලේය. පලමුව රුසියානු බසින් සිය අදහස් පල කල ඔහු, යලි ඒවා ජර්මන් බසින් පැවසීය. ඔහුගේ කථාව "බලවත් හා මනබඳින" සුලුය. එසේ කීවේ එහි සිටි අරාජකවාදියෙකු වන එමා ගෝල්ඩ්මන්ය.
ට්‍රොට්ස්කි ඇමරිකාව හැර යාම ගැන සිය කනගාටුව පල කරමින් මෙසේ කීවේය. "විප්ලවය කැඳවූ විට විප්ලවවාදීන් ඒ අනුව කටයුතු කල යුතුය." නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ ඔත්තුකරුවෙක් ට්‍රොට්ස්කිගේ අදහස් මෙසේ ගෙන හැර දක්වයි: "මම පෙරලා රුසියාවට යන්නේ තාවකාලික ආන්ඩුව පෙරලා දැමීමටයි.... මෙහි සිටින ජනතාව විසින් ද අන්තයට කුනුවී ඇති මේ රටේ ධනපති ආන්ඩුව පෙරලා දමනු දැකීම මට අවශ්‍ය ය."