“ප්‍රශ්න එමටයි, නමුත් ඒකාබද්ධ අරගලයක් සංවිධානය කරන්න වෘත්තීය සමිති විරුද්ධයි” - හෙද සේවකයෝ
අපේ වාර්තාකරුවන් විසිනි , 2019 අප්‍රේල් 2
මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව නායකත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (රාසේඑහෙස) පසුගිය සතියේ දෙදින වර්ජනයක් කැඳවුම් කලේය. මාර්තු 26 හා 27 අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වලකින ලෙස රාසේඑහෙස සිය සාමාජිකයන් ට දැනුම් දී තිබුනි. රුපියල් 10,000 මාසික අනතුරු දීමනාවක් හා වාර්ෂික නිල ඇඳුම් දීමනාව රුපියල් 25,000 ක් දක්වා වැඩි කිරීම සහ උසස්වීම් පරිපාටිය විධිමත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් සංගමය විසින් ආන්ඩුවට සහ සෞඛ්‍ය බලධාරීන්ට ඉදිරිපත් කොට ඇත.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (රහෙනිස) සහ ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමස්ත ලංකා හෙද සංගමය (සලහෙස) වර්ජනයට සම්බන්ධ නොවූහ. වර්ජනය කෙරෙහි හෙද සේවකයන් අතර දකින්නට තිබුනේ මිශ්‍ර ප්රතිචාරයකි. ග්‍රාමීය හා මූලික රෝහල් වැනි ඇතැම් රෝහල වල රාසේඑහෙස සාමාජිකත්වයෙන් සැලකියුතු කොටසක් වර්ජනයට සම්බන්ධ වූ නමුත් කොලඹ ජාතික රෝහල, දකුනු හා උතුරු කොලඹ, පේරාදෙනිය, මහනුවර අනුරාධපුරය, කුරුනෑගල, ගාල්ල සහ කරාපිටිය ඇතුලු ශික්ෂන රෝහල්වල සහභාගිත්වය පැවතියේ ඉතා අඩු මට්ටමකය. හලාවත රෝහලේ කිසිදු හෙද සේවකයක් වර්ජනයට සහභාගී වී නැත. හලාවත මාදම්පේ ප්‍රාදේශීය රෝහලේ සහ බිංගිරිය දිස්තික් රෝහලේ බහුතරයක් හෙද සේවක, සේවිකාවන් වර්ජනයට සම්බන්ධ වී ඇත.
නිසි සංවිධානයක් නොතිබූ හෙයින් හා වෘත්තීය සමිතිවල කට්ටිවාදී පිලිවෙත් කෙරෙහි පවතින නොසතුට හා අවිශ්වාසය නිසා වර්ජනයට සම්බන්ධ නො වූ බව බොහෝ දෙනෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට ප්‍රකාශ කලහ. අවම වශයෙන් වර්ජනයේ ඉල්ලීම් මොනවාදැයි තමන් දැන නොසිටි බව ද ඇතැම් හෙදියෝ සඳහන් කලහ.
හලාවත රෝහලේ හෙදියක් ලෝසවෙඅ මෙසේ ප්‍රකාශ කලා ය: “අපේ රෝහලේ වර්ජනයක් සංවිධානය කරන්න සමිති නායකයන් කිසි කෙනෙක් මූලිකත්වය ගත්තේ නැහැ. ඒවගේම හෙද සමිති තුන ඒකාබද්ධව අරගලයක් කරන්නෙත් නැහැ. වර්ජනයට සම්බන්ධ නොවුනාට ප්‍රශ්න රාශියක් තියෙනවා. මගේ සේවා කාලය අවුරුදු 20 ක්. නමුත් මූලික වැටුප 45,000 යි. ඉගෙන ගන්න දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වියදම් අධිකයි.”
වෛද්‍ය, හෙද සහ කනිෂ්ඨ කාර්ය මන්ඩලය ඇතුලු රෝහල් කාර්ය මන්ඩලවල පවතින දැඩි ඌනතාවය හේතුවෙන් හෙදියන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි ඇය විස්තර කලා ය. රෝගීන් පස් දෙනෙකුට එක් හෙදියක් බැගින් නේවාසික වාට්ටුවල සිටිය යුතු වුවත් බොහොමයක් වාට්ටුවල (රෝගීන් 60 ටත් අධික වාට්ටුවල පවා) සිටින්නේ හෙදියන් දෙදනෙකු හෝ තුන් දෙනෙකු පමනි.
බාහිර රෝගී අංශ, සායන සහ අලුතින් ආරම්භ කරන ලද ඒකකවලටත් නිවාඩු ගැනීම් සහ මාරුවීම් වල දීත් යෙදවීමට හෙදියන් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වුවත් ප්‍රමානවත් තරම් නව බඳවා ගැනීම් සිදු නොවන නිසා අධික වැඩ කොටසක් හෙද සේවකයන් මත පැට වී ඇති බව ඇය සඳහන් කලා ය.
“හෙද සේවය පැය විසි හතරම ආවරනය කරන්න ඕන. සමහරදාට රාත්‍රි වැඩමුරවල දී වාට්ටුවේ එක හෙදියක් පමනක් වැඩ කරන අවස්ථා තියෙනව. කිසිම විවේකයක් නැහැ. අපිට අදාල නොවන වැඩකටයුතුත් කරන්න වෙනවා. නමුත් අපිට අනතුරු දීමනාවක් නැහැ. නිල ඇඳුම් දීමනාව ප්‍රමානවත් නැහැ”
බලයට පත්වන සියලුම ආන්ඩු විසින් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හෙද සේවකයන් පමනක් නොව වෛද්‍යවරු ඇතුලු සමස්ත රෝහල් කාර්ය මන්ඩලය ම බරපතල ප්‍රශ්න වලට මුහුන දී සිටින බව ඇය කීවාය.
හෙද කාර්ය මන්ඩලයේ අඩුව නිසා අතිකාල කිරීමට බල කෙරී ඇතත් අතිකාල ගෙවීම් නිසි ලෙස නොකරන බව ද එහි හෙද සේවකයෙකු පැවසුවේ ය. “සේවක පුරප්පාඩු නිසා පැය 100 ක් පමන අතිකාල කරන්න වෙලා තියෙනව. ආන්ඩුව දැන් අතිකාල ගෙවීම් කප්පාදු කරනවා. මේ රෝහලේ කනිෂ්ඨ කාර්ය මන්ඩලයේ සියයක පමන හිඟයක් තියෙනවා. සායන පවත්වන්න ප්‍රමානවත් ගොඩනැගිලි නැහැ. සමන් රත්නප්‍රියගේ සමිතියයි (රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය) ජවිපෙ සමිතියයි මේ ආන්ඩුව බලයට ගේන්න වැඩ කලා. දැන් කට වහගෙන ඉන්නවා. හාමුදුරුවන්ගේ සමිතිය මහින්ද රාජපක්ෂට කඬේ යනවා. ආන්ඩුවට සේවකයන්ටත් සෞඛ්‍ය අංශයටත් ප්‍රහාර එල්ල කරන්න හැකි වෙලා තිබෙන්නේ ඒ නිසා” බව ඔහු සඳහන් කලේය. සේවක හිඟය නිසා ඉසිලිය නොහැකි බරක් පැට වී ඇතිබව කනිෂ්ට සේවිකාවන් දෙදෙනෙක් පැවසූහ.
පේරාදෙනිය රෝහලේ රාසේහෙස සාමාජිකයන් 700 ක් පමන සිටින නමුත් වර්ජනයට සහභාගී වී ඇත්තේ 300 ක පමන පිරිසකි. ප්‍රධාන ශල්‍යාගාරය හා 15 වාට්ටුවේ හැර අනෙකුත් සියලු ඒකක වල වැඩ කටයුතු සාමාන්‍ය ලෙස සිදු වූ බව එහි හෙද සේවකයෝ පැවසූහ.
වර්ජනයේ ඉල්ලීම් ගැනවත් තමාට අවබෝධයක් නැති බව එහි වාට්ටු අංක 9 හෙදියක් පැවසුවා ය. “අපිට කිසිම සංවිධානාත්මක දැනුම්දීමක් කෙරුනේ නැහැ. අඩුම ගනනේ පත්‍රිකාවක් වත් බෙදුවේ නැහැ” තමන් සංගමයේ සාමාජිකාවක වුවත් වර්ජනයට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කල බව ඇය කීවාය.
වසර පහකට පමන පෙර මහින්ද රාජපක්ෂ පාලන කාලයේ හෙද සේවකයන්ගේ ගැටලු ගැන මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව ගෙන් ප්‍රශ්න කල විට ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැති බවත් ඒවා විසඳා ඇති බවත් ප්‍රකාශ කල බව ඇය සඳහන් කලාය. එම ඉල්ලීම් දැන් ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි වන්නේ මෙතෙක් කල් සංගමය විසින් සාමාජිකයන් රවටා ඇති බව යයි ද ඇය පැවසුවාය.
පසුගිය කාලය තුල විදුලි බල, ජල සම්පාදන, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් හා ගුරුවරුන්ගේ හා වතු කම්කරුවන්ගේ අරගල පැවතුනි. නමුත් ආන්ඩුව සහ අදාල බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කල තතු යටතේ හෙද සේවකයන්ගේ ඉල්ලීම් කෙරෙහි ආන්ඩුව යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවට විශ්වාස කල හැකිදැයි විමසු විට එබඳු කිසිදු විශ්වාසයක් නැතැයි ඇය සඳහන් කලාය.
පේරාදෙනිය රෝහලේ වාට්ටු අංක 6 හි සේවය කරන හෙදියක් පැවසුවේ තමා වසර 9 ක් රාසේහෙස සාමාජිකත්වය දැරුවත් වැඩ වර්ජනයට සහාය නොදෙන බවයි. එම වසර 9 තුල කිසිදු ඉල්ලීමක් දිනා දීමට සංගමය අසමත්ව වූ බව ද ඇය කීවාය.
වර්ජනයට සියලු වෘත්තීය සමිති එක් නොවීම ගැන කලකිරීමක් ඇති බව සමන් රත්නප්‍රිය නායකත්වය දරන රහෙනිස සාමාජිකාවක් වන මහනුවර රෝහලේ හෙදියක් පැවසුවාය. රහෙනිස කැඳවන වර්ජනයකට වුවද තමන් සහාය නොදක්වන බව ද ඇය සඳහන් කාලය.” වර්ජනයට ටික දෙනෙක් සම්බන්ධ වුනා.. නමුත් ඒකෙන් කිසිම බලපෑමක් ඇතිවුනේ නැහැ. සංගමයට සාමාජික මුදල් විදිහට අවුරුද්දකට ගෙවන රුපියල් 1200 නැති බැරි රෝගියෙකුට උපකාරයක් වශයෙන් දෙන එක ඊට වඩා හොඳයි. මම සංගමයෙන් ඉල්ලා අස්වෙනවා. මම ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවනවා. සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන පිලිවෙත් ගැන මට පැහැදීමක් තියෙනවා. සංගමයෙන් ඉල්ලා අස්වෙලා පක්ෂයට බැඳිල වැඩ කරන්න බලාපොරොත්තු වෙන” බව ඇය පැවසුවාය.
රාසේඑහෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ නායකත්වය සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට පන්දම් අල්ලන අතර, රහෙනිස, ජවිපෙ හා සලහෙස මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට සහ ඔක්තෝබර් 26 වෙනිදා රාජපක්ෂ අගමැතිකමට පත්කල සිරිසේනගේ දේශපාලන කුමන්ත්රනයේ දී “ජනතා පරමාධිපත්‍යය සහ ප්රජාතන්ත්රවාදය” රැකීමේ කඩතුරාව යටතේ යලි රනිල් වික්‍රමසිංහ එම තනතුරේ පිහිටුවීමට සහයෝගය දුන්හ.
ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ ඒ හෝ මේ කන්ඩායම සමග පෙල ගැසී සිටින මෙම සංවිධාන ක්‍රියාත්මක වන්නේ ධනපති ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා ප්‍රහාර කම්කරු පන්තිය මතට කඩාපාත් කිරීමට සහයෝගය දෙන ධනපති පාලක පන්තියේ ඒජන්ත සංවිධාන ලෙසය.
සෞඛ්‍යය, අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධන විනාශ කිරීම සහ කම්කරු පන්තියේ අයිතීන්ට කෙටීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ ක්‍රියාවට දමන ආර්ථික කප්පාදු පිලිවෙතේ කොටසකි. අධ්‍යාපනය සහ සෞඛ්‍යය යන දෙකටම මෙවර අයවැයෙන් වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 293 ක් පමනි. සෞඛ්‍ය සේවකයන් මෙන්ම මහජනතාව මෙම කප්පාදු පිලිවෙත් වල දුෂ්ට ආනිශංස වලට ඍජුව මුහුන දෙන අතර ඒවා වඩ වඩා උග්‍ර කෙරෙනු ඇත. ආරක්ෂක වැය වශයෙන් සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වඩා රුපියල් බිලියන 100 ක් එනම් බිලියන 393 ක් වෙන් කිරීම මෙම ප්රහාරයන් ට එරෙහිව අරගවලට එලැඹෙන කම්කරු පන්තිය තලා දැමීම සඳහා පාලක පන්තිය පැත්තෙන් කෙරෙන සූදානමකි.
හෙද සේවකයන් ඇතුලු කම්කරු පන්තිය මුහුන දෙන්නේ මෙම අන්තරායට සහ අභියෝගයන්ට ය. වෘත්තීය සමිතිවල කට්ටිවාදී භේදකරනයන් සහ පාවාදීම් කෙරෙහි දක්වන හුදු කෝපය හෝ කලකිරීම මෙම තීරනාත්මක ප්‍රශ්නවලට මුහුනදීමේ සුදුසු මාවතක් කම්කරු පන්තියට පෙන්නූම් කරන්නේ නැත.
වෘත්තීය සමිතිවලින් බිඳී ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් කම්කරු පන්තියේ සියලු ම කොටස් ධනපති අන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස සංවිධානය විය යුතු ය. එය ධනේශ්වර පක්ෂවලින් සහ ඔවුන්ට කත් අදින වෘත්තීය සමිති ඇතුලු සියලු සංවිධානවලින් ස්වාධීනව කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් සඳහා සටනේ ප්‍රථම පියවර වනු ඇත.
Follow us on