වියට්නාම් නායකත්ව වෙනස වෙලඳ පොල ප්‍රතිසංස්කරන කඩිනම් කිරීමේ ගමනක් සංඥා කරයි

වියට්නාමයේ පාලක කොමියුනිස්ට් පක්ෂය හීනවන ආර්තිකයක් සහ ගැඹුරු වන සමාජ ආතතියක් හමුවේ, අප්‍රේල් අග දී එහි ඉහල නායකත්වයෙහි වෙනස්කම් ගනනාවක් සිදු කලේ ය. ඒවා, විදේශ ආයෝජන සුරක්ෂිත කර ගැනීමේ වෑයමක් ලෙස වෙලඳ පොල හිතවාදී ප්‍රතිසංස්කරන වේගවත් කිරීමක් සංඥා කරයි.

නායකත්ව පටිපාටියෙහි ඉතාමත් ම කැපී පෙනෙන වෙනස් කිරීම නම් 69 හැවිරිදි ජෙනරාල් ලී කා පියු ඔහුගේ පස් අවුරුදු නිල කාලයෙන් යන්තම් තුන් වසරක් ගත වූ තැන ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉවත් කිරීම ය. සිවිල් වැසියෙකු වන ඔහුගේ අනුප්‍රාප්තික 60 හැවිරිදි නොන් ඩුක් මාන් පසුගිය නව වසර තුල රටේ ජාතික මන්ත්‍රන සභාවේ ප්‍රධානියා විය.

පක්ෂ ජාතික සමුලූවේ දී නව නායකත්වයට ඒකමතිකව රබර් මුද්‍රාව තැබූව ද, තනතුරු මාරුව පැහැදිලිව ම ඉහලම පක්ෂ කවයන්හි තිරය පිටුපස කටුක කුලල්කා ගැනීම්වල ප්‍රතිපලයකි.

පියු නිලයෙහි තබා ගැනීම සඳහා කුඩාම විධායකයේ -- දේශපාලන මන්ඩලයේ -- පූර්ව තීන්දුව පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ චන්දයෙන් වෙනස් කරනු ලැබී ය. පියු 18 සිට 15 දක්වා ප්‍රමානයෙන් අඩු කල දේශපාලන මන්ඩලයෙන් සහ මධ්‍යම කාරක සභාවෙන් ද නෙරපන ලදි. වාර්තා වන ආකාරයට, පක්ෂ නායක්තවයේ වෙනසක් ඉල්ලමින් පක්ෂය තුල සහ රාජ්‍ය පරිපාලනයෙහි පියුගේ අසාර්ථකත්වය ගැන චෝදනා කරමින් සහ විරුද්ධවාදීන්ට එරෙහිව මිලිටරි ඔත්තු සේවාව යොදා ගැනීම විස්තර කෙරෙන අභ්‍යන්තර ලිපියක් තියෙට් විසින් බෙදා හැර ඇත.

එජන්සේ ෆ්‍රොන්සේ ප්රෙසේ වාර්තාවකට අනුව, පියු නෙරපීමේ පියවර පිටුපස හිටපු අගමැති චෝ වෑන් තියෙට් විසින් මෙහෙයවනු ලැබූ පක්ෂ 'උපදේශකවරු' තිදෙනෙකුගෙන් යුතු කන්ඩායමක් වී ය. ඔහුගේ නෙරපා හැරීමෙන් අනතුරුව පියු 'ඔහුගේ කටයුතුවල දී අත්වැරදි' සිදු කල බව පිලිගත් අතර මහලූ වයස හේතුවෙන් තනතුරෙන් ඉවත් වන බව කී ය.

බලාපොරොත්තු විය හැකි ලෙසට පියු ඉවත් කිරීම 'මහලු බව', 'අත්වැරදි' හෝ නිලධාරිමය ලෙස බලය දුෂ්පරිහරනය හා සම්බන්ධයක් නැත. ජාත්‍යන්තර මාධ්‍ය තුල කොමියුනිස්ට් පක්ෂයේ බෙදීම් සරලව සහ කිසියම් නොමග යවන සුලූ ආකාරයකට, එක් පසක 'දැඩි මතධාරීන්' ද අනෙක් පස 'මධ්‍යස්ථ මතධාරීන්' හෝ 'ප්‍රතිසංස්කාරකයන්' අතර වූවක් ලෙස සඳහන් කෙරින. පියු ෂෙන් මාන් සමාජවාදීහු හෝ කොමියුනිස්ට්වාදීහු නො වෙති. ඔවුහු බොහෝ කලෙකට පෙරාතුව සමාජවාදයේ මූලික මූලධර්මවලින් බිඳී ගිය සහ 'තනි රටේ සමාජවාදය' නම් ජාතිකවාදී දෘෂ්ටිවාදය මත තමන් ම පදනම් වූ ස්ටැලින්වාදී පක්ෂයකට අයත් වූවෝ වෙති.

මෙම සන්දර්භය ඇතුලත 'දැඩි මතධාරී' පියු, සුවිශේජිතව ම රාජ්‍ය නිලධරයට අයත් වන සහ 1986 දී ඇරඹුන වෙලඳ පොල ප්‍රතිසංස්කරන හෝ 'ඩොයි මොයි' සන්තතියෙන් තමන්ගේ උවමනාවන් තර්ජනයට ලක් වුනු රාජ්‍ය ව්‍යවසායවල කලමනාකාරීත්වයට සම්බන්ධිත කොමියුනිස්ට් පක්ෂය තුල ස්ථරයක් නියෝජනය කරයි. ඊනියා මධ්‍යස්ථ මතධාරීන්, වෙලඳ පොල සහ පුද්ගලික ව්‍යවසායවල ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන බාධක තව දුරටත් ඉවත් කරන ලෙස පීඩනය යොදවන අතර සමහර අවස්ථාවන්හි දී ඔවුන්ගේ ම ව්‍යාපාර ස්ථාපිත කිරීමෙන් ඉසුරුමත් කර ගැනීමට මාන බලයි.

'වියට්නාමයෙහි බොහෝ සෙයින් ම නිපුන, බලයට නගින්නන්ගෙන් අයකු' ලෙස එක් අටුවාකරුවකු විසින් විස්තර කරනු ලැබූ මාන්ගෙන් පෞද්ගලීකරනය වේගවත් කිරීම හෝ රාජ්‍ය ව්‍යවසාය වසා දැමීම සහ විදේශ ආයෝජනයට සහ පෞද්ගලික ව්‍යවාසය සඳහා තව දුරටත් නීතිරීති ලිහිල් කිරීම බලාපොරොත්තු වෙයි. එක්සත් ජනපදය ද ඇතුලූව, වියට්නාමයෙන් බැහැර පුලූල් ලෙස සංචාරය කර ඇති සුලු ජ්යෙෂ්ට නිලධරයන් පිරිස අතුරින් ඔහු ද අයකු බව වොෂින්ටන් පෝස්ට් පුවත් පත පෙන්වා දුන්නේ ය. පුවත් පත සඳහන් කල පරිදි, 'ගිය අවුරුද්දේ ඔහු වොෂිංටනයේ සංචාරය කල පසු' එක් එක්සත් ජනපද නිලධරයකු පැවසුවේ, 'ඔහු අපිට ගනුදෙනු කල හැකි මිනිසකු ලෙස අප තුල හැගීමක් ශේෂ වී ය' යනුවෙනි.

මාන්ව තෝරා ගැනීමේ දී අවුරුදු හතරක සාකච්චාවලින් අනතුරුව අවසානයේ පසුගිය ජුලියේ අත්සන් තැබූ එජ-වියට්නාම වෙලඳ ගිවිසුම වලංගු කිරීමට වොෂිංටනය දිරිමත් කිරීම කෙරෙහි හැනෝයි ඇස ගසා ගෙන ඇති බව නිසැක ය. ඔවුන් අනුමත කිරීමේ තමන්ගේ නිල මුද්‍රාව ලබා දී තිබිය දීත් එජ කොංග්‍රස ගනුදෙනුව සම්මත නො කර එය වෙනත් වෙලඳ අයිතමයන් සමග අසුරා තබා ඇති අතර එය අවුරුදු ගනන් නො වෙතොත් මාස ගනන් ප්‍රමාද විය හැකි ය.

මාන් ඔහුගේ වාර්තාවට අනුව වෘත්තීය නිලධරයේ සාරය බව පෙනෙන්නට තිබේ. ඔහු සෝවියට් සංගමය තුල වනාන්තර කලමනාකරනය පිලිබඳව පුහුනුව ලබා, 1963 දී කොමියුනිස්ට් පක්ෂයට බැඳී, 1970 ගනන් පසුභාගයේ දී ප්‍රාදේශීය වන සේවාවේ අධ්‍යක්ෂක පදවිය දක්වා ඉනිමග නැග ගෙන පසුව 1980 ගනන්වල දී මධ්‍යම කාරක සභා සාමාජිකත්වයට පත් විය. 1991 දී ඔහු දේශපාලන මන්ඩලයට එක්වී ය. 1963 සහ 1975 අතර එජ මැදිහත්වීමට එරෙහි දිග්ගැස්සුනු විප්ලවවාදී අරගලය තුල ඔහු සැලකිය යුතු භූමිකාවක් ඉටු නො කරා ය යනුවෙන් පෙනෙන කාරනය, ඔහු හෝංචි මින්ගේ නිත්‍යනුකූල නො වන පුත්‍රයකු ය යන කට කතාව -- මාන් විසින් විනීත ලෙස බැහැර කල -- පැතිර යාමට බොහෝ සෙයින් ම හේතුවන්නට ඇත. කොමියුනිස්ට් පක්ෂ කවයන් තුල දී සිවිල් වන නිලධාරියකු සහ මිලිටරි ප්‍රවීනයකු අතර තේරීම කිරා මැන බැලීමේ දී, වෘත්තාන්තය ඒකාන්තයෙන් ම ඔහුට හානියක් නො කරන්නට ඇත.

ජාත්‍යන්තර පුවත් පත් මාන්ව තෝරා ගැනීම පරීක්ෂාකාරී ලෙස පිලිගත්තේ ය.

එක්සත් ජනපදය පදනම් කර ගත් ඒජියා වීක් සඟරාව සඳහන් කලේ: 'කාලයට පෙරාතුව නො වේ. නිදහස් වෙලඳ පොල ප්‍රතිපත්ති දිරිමත් කල සහ ජාතියේ ජීවන තත්වයන් වෙනස් කල වියට්නාමයේ අති වැදගත් 1986 ඩොයි මොයි (ප්‍රකෘතිමත් කිරීම) ප්‍රතිසංස්කරන විශාල පෙලඹුමක් හාත්පසින් ඇති කලේ ය. ආයෝජකයෝ හදිසි වාසනාවක් දුටු අතර වාසිය ඩැහැ ගැනීමට කඩිනමින් දිව ගියහ. එහෙත් ප්‍රචාරය යථාර්ථයට වඩා යහපත් වී ය. මහත් පීඩාකාරී රතු පටිය සහ බහුලව පැතිරුනු දූෂනය පැමිනෙනවාට වඩා වැඩි විදේශ ආයෝජකයන් පිරිසක් ඉවත්ව යාමට ඉක්මනින් ම හේතු විය. බොහෝ දේ පොරොන්දු වූ ආර්තික වර්ධනය ඇනහිටියේ ය. සෑම දෙයක් ම වියට්නාමය ශක්‍ය ව්‍යාග්‍රයකු ලෙස අධිතක්සේරු කල බව හැනෝයිවල බටහිර බැංකුකරුවෙක් කියයි.'

බ්‍රතාන්‍යයේ මිනෑන්ෂල් ටයිම්ස් මෙසේ සඳහන් කලේ ය: 'මාන් මහතාගේ වරම පැහැදිලි ය -- එනම්, වියට්නාම ප්‍රගතියේ හුස්ම හිර කරන බහුලව පැතුරුනු දූෂනය අතුගා දැමීමට (හොංකොංවල දේශපාලන සහ ආර්තික අවදානම් පර්යේෂන ආයතනයේ මෑත පර්යේෂනයක දී වියට්නාමය 10කින් 9.75ක් ලකුනු ලබා ගනිමින් ආසියාවේ වැඩියෙන් ම දූෂිත රට විය.) සහ 1990 ගනන් මැද භාගයේ විදේශ ආයෝජන මට්ටම් යලි පන ගැන්වීමට රටට අවශ්‍ය ප්‍රතිසංස්කරන වේගවත් කිරීමට ය. ජාත්‍යන්තර ප්‍රතිචාරය සාධනීය වූ නමුදු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රාජ්‍ය තන්ත්‍රිකයන් සහ නිලධාරීන්, මාන් මහතාට ලඟා කර ගැනීමට හැකි වනුයේ කුමක් ද යන්න පිලිබඳව සුපරීක්ෂාකාරීව සුභවාදී විය.'

ආර්තික හා සමාජ ගැටලූ

නායකත්ව වෙනස්කම් පැහැදිලිවම මෙහෙයවනු ලැබුවේ ආර්තිකය සහ වැඩෙන සමාජ ආතතිය පිලිබඳ උත්සුකතාවලිනි. ආන්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව සියයට 7.5 පෙර දැකීමට සන්සන්දනාත්මකව වසරේ පලමු කාර්තුවේ දී 7.2කින් ආර්තිකය වර්ධනය විය. 2001 ආර්තික වර්ධනය සියයට 5.8 විය හැකි යයි සොලමන් ස්මිත් බාර්නි අනාවැකි පල කලේ ය. කෙසේ වෙතත්, අනෙකුත් සංඛ්‍යා මූලික ආර්තික ගැටලූ දක්වයි.

1997-98 ආසියානු මූල්‍ය අර්බුදයට අනතුරුව වියට්නාමයේ විදේශීය සෘජු ආයෝජන 1995-97 අවුරුදුවල ඩොලර් බිලියන 2ක තරම් වාර්ෂික සංඛ්‍යාවක සිට 2000 දී යන්තම් ඩොලර් මිලියන 500ක් දක්වා තියුනු ලෙස පහල වැටුනි. 1996 දී වාර්තාගත ඩොලර් බිලියන 8.6ක ආයෝජන පොරොන්දුවලින් ඉෂ්ඨාර්ථය වූයේ ඩොලර් බිලියන 2.6ක් පමනි. එහෙත් 1999 වන විට ආයෝජන පොරොන්දු ඩොලර් බිලියන 1.5කට පහත වැටුනි.

විදේශීය ආයෝජන සහ පුද්ගලික ව්‍යවසාය දෙසට හැනෝයිවල නැඹුරුවීමේ ප්‍රතිපලයක් ලෙස රාජ්‍ය අංශය පැහැදිලි ලෙසම පහත වැටුනි. කාර්මික නිෂ්පාදනයේ රාජ්‍ය පංගුව 1990 සියයට 62 සිට 2000 දී සියයට 42ට පහත වැටුනු අතර එම කාලය තුල ම රජයට අයිති ආයතනවල රැකියාවේ යෙදුනු පුද්ගල සංඛ්‍යාව මිලියන 2.5 සිට මිලියන 1.6 දක්වා වැටුනි. රටේ රාජ්‍ය ව්‍යවසායක 5400ක් ඩොලර් බිලියන 12.9 පමන වූ මුදලකට නය වී සිටින අතර රාජ්‍ය නිලධාරීන්ට අනුව ඒවායින් සියයට 75 සහ සියයට 80 අතර ප්‍රමානයක් ක්‍රියාත්මක වනුයේ තම වත්කම්වලට වඩා නයගැතිව ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු සැලසුම් ඉල්ලා සිටින්නේ ආරම්භයේ දී ප්‍රාග්ධන කොටස් බවට පත්කිරීමේ ක්‍රියාවලිය හෙවත් පුද්ගලික අංශවලට කොටස් මාරු කිරීම තුලින් රාජ්‍ය අංශය සුවිධානය කිරීම සහ පුද්ගලීකරනය සිදු කිරීම යි. මේ දක්වා වඩා කුඩා සහ ආන්තික තත්වයේ පවත්නා රාජ්‍ය ආයතන පමනක් ඉලක්ක කර ගෙන ඇති නමුත් එය කෙරී ගෙන යාමේ දී, ප්‍රතිව්‍යහකරනය, දැනටමත් ඉහල මට්ටමක තිබෙන රටේ විරැකියාව වැඩි කරනු ඇත.

ලෝක බැංකුවට අනුව මිලියන 25ක් පමන ජනතාව -- ශ්‍රම බලකායෙන් සියයට 60ක් -- එක්කෝ රැකියා විරහිතය නැතිනම් තත්වයට පහල රැකියාවල ය. ඇත්ත වසයෙන් ම රැකියා රහිත කොටස නාගරික ප්‍රදේශවල දී ශ්‍රම බලකායෙන් සියයට 10ක් සහ ග්‍රාමීය ප්‍රදේශවල දී සියයට 30ක් වෙයි. සෑම අවුරුද්දකම මිලියනයක් පමන ජනයා ශ්‍රම බලකායට එක් වන අතර රැකියා අවස්ථා ප්‍රමානයට වඩා එය ඉතා ඉහල ය. මිලියන 82ක මුලූ ජනගහනයෙන් මිලියන 30ක් පමන ජනයා දිලිඳු බවේ ජීවත් වෙතැයි ලෝක බැංකුව තක්සේරු කරයි.

වියට්නාම් ආර්තිකය පෞද්ගලික ව්‍යවසායවලට සහ විදේශීය ප්‍රාග්ධනයට විවෘත කරනු ලැබ ඇති හෙයින් තමන්ගේ ම වාසිය සඳහා එම තත්වය ගසා කෑමට නිලධරය මාන බැලී ය. මිලියන 2ක් තරම් වන මුලූ සාමාජිකත්වයෙන් පාක්ෂිකයන් 69,000ක් පෙර පස් අවුරුද්ද තුල දූෂිත ක්‍රියා පිලිබඳව වැරදිකරුවන් බව මෑත අභ්‍යන්තර පරීක්ෂනයක දී හෙලි වී ඇත.

එක්තරා දුරකට, 'වංචාවේ' ඉහල මට්ටම් කොමියුනිස්ට් පක්ෂ ශ්‍රේනි ඇතුලත බොක්ලොට් හෝ 'සූරාකෑම' පිලිබඳව කෙරෙන විවාදයකට සම්බන්ධිත ය -- එනම්, සාමාජිකත්වයට තමන්ට ම පුද්ගලික ව්‍යාපාරවල යෙදීමේ අයිතිවාසිකමක් ඇද්ද නැද්ද වග. රාජ්‍ය අංශයේ සීමිත සහ ඇකිලෙන ස්වභාවය නිසා පක්ෂ සාමාජිකත්වයට අවස්ථාවන් සහ රැකියා සඳහා පෞද්ගලික ව්‍යවසාය දෙසට යොමුවීමට බල කෙරෙයි.

නායකත්වය සමස්තයක් ලෙස ධනවාදයට කොල එලිය දල්වා ඇති හෙයින් 'සූරාකෑම' පිලිබඳව විවාදය, තමන්ගේ විරුද්ධවාදීන්ට නාස්ලනුව දමා ගැනීමේ ඊනියා දැඩි මතධාරීන්ගේ කුහක වෑයමකි. ෆාර් ර්ස්ටන් ඉකොනමික් රිවීව්හි එක් පක්ෂ සාමාජිකයකු -- වියට්නාම වෙලඳ හා කාර්මික සම්මේලනයේ විධායක උප සභාපති පෑම චි ලෑන් -- සටහන් කර තිබූ අයුරු: 'වියට්නාම නීතිය යටතේ පුද්ගලික ව්‍යවසාය ක්‍රියාත්මක වෙයි. සියලූ නීති පක්ෂය සහ නායකත්වය විසින් අනුමත කෙරින. ඉතින් ඇයි අපි පක්ෂ සාමාජිකයන්ට ව්‍යාපාර කිරීමට අවසර නො දෙන්නේ?'

සඟරාව, පෞද්ගලික දේපලට සහ ව්‍යාපාරවලට වන බාධක ඉවත් කිරීමට ඇති අවශ්‍යතාව පිලිබඳව වඩාත් දෘඩතර වියට්නාම් ආර්තිකඥයෙක් ද උපුටා දැක්වී ය. 'වියට්නාමය පෞද්ගලික අංශය බලගතු සූරාකන්නන් යැයි ඔවුන්ට තර්ජනය කරමින් ඔවුන්ව ත්‍රස්ත කිරීම නැවැත්විය යුතු ය. වියට්නාමය එසේ කිරීමෙන් සිතාමතා හෝ නො සිතා හෝ විරැකියාව ඉහල යැවීම ද කාලකන්නිකම නිර්මානය කිරීම ද සිදු කරයි. මෙය නො සලකා හැරිය හොත්, සමාජ සහ දේශපාලන අස්ථාවරත්වය නිර්මානය කරන අතර පක්ෂය සටන් වැදී සිටින සියලූම අයහපත් දේ -- ගනිකා වෘත්තිය, මත්ද්‍රව්‍ය සහ අපරාධ -- සඳහා සරු පසක් සපයා දෙයි.

කෙසේ වෙතත්, වියට්නාමය තුල තවත් දුරට වෙලඳ පොල මුදා හැරීමෙන් විරැකියාව අවසන් කරනවා වෙනුවට පොහොසතුන් සහ දුප්පතුන් අතර තියුනු බෙදීම්වලට සහ සමාජ ආතතිය ඉහල දැමීමට අනිවාර්යයෙන් ම තුඩු දෙනු ඇත. පෙබරවාරියේ දී මධ්‍යම කඳුකරයේ ඩැක්ලැක් සහ ගියා ලායි පලාත්වල වාර්ගික සුලූතරයන් අතර ඉඩම් සහ ආගමික නිදහස උදෙසා සැලකිය යුතු ප්‍රමානයේ විරෝධතා පුපුරා ආවේ ය. එඩේ, ගයරායි සහ අනෙකුත් සුලූතරයන්ට අයත් දහස් ගනන් ජනයා, යලි පදිංචි කල උතුරේ සංක්‍රමනිකයන් තමන්ගේ පාරම්පරික ඉඩකඩම් පැහැර ගැනීම අවසන් කරන සේ ඉල්ලා සිටියේ ය.

හැනොයි පාලනය, විසිදෙනෙකු පමන ජනයා අත් අඩංගුවට ගනිමින් විරෝධතා තලා දැමූ අතර පෙලපාලි ඇවිස්සීම පිලිබඳව එක්සත් ජනපද උද්ඝෝෂකයන්ට දොස් පැවරී ය. වියට්නාම් යුද සමයේ දී එක්සත් ජනපද මිලිටරිය ජාතික විමුක්ති පෙරමුනු හමුදාවන්ට එරෙහි ක්‍රියාන්විතයන්හි දී කඳුකර ගෝත්‍රික ජනයා කුලී මිනීමරුවන් ලෙස යොදා ගත්තේ ය. එක්සත් ජනපදය පදනම් කර ගත් මෙන්ටැග්නාඩ් පදනම වියට්නාමයේ වාර්ගික සුලූතරයන් හා සබඳතා පවත්වාගෙන යාම පිලිබඳව සාක්ෂ්‍ය ඇති අතර විරෝධතාවන්ගේ යටින් පවතින මූලාශ්‍රය ඇත්තේ ආන්ඩුවේ ආගමික මර්දනය සහ මෙම කන්ඩායම් අයිතිය කියා සිටින ඉඩකඩම් මත කෝපි වගාව බලහත්කාරයෙන් පැතිරවීම තුල ය. කෝපි වියට්නාමයේ ප්‍රධාන අපනයනයන්ගෙන් එකක් වන නිසාවෙන් නිෂ්පාදනය තව දුරටත් පුලූල් කිරීමට පීඩනයක් තිබේ.

ආර්තික ප්‍රතිසංස්කරනයේ අද්වකාත් කෙනෙකු මෙන් ම ඔහු වියට්නාමයේ වාර්ගික සුලූතර කන්ඩායම් 53න් එකක් වන මේ වාර්ගිකයකු වීම පක්ෂ නායකයා ලෙස මාන්ව තෝරා ගැනීමට බලපෑ තවත් හේතුවකි. වියට්නාමයේ කෝටියක සුලූතර ජනගහනයෙන් හතරෙන් තුනක් දිලිඳුභාවයේ දිවි ගෙවන අතර ඔවුහු රටේ වැඩියෙන් ම පීඩිත සමාජ ස්ථරවලට අයත් වෙති. නව පක්ෂ ප්‍රධාන ලේකම් කඳුකර ගෝත්‍රිකයන් අතර දැන් තිබෙන අසහනය සමනය කිරීමේ භූමිකාවක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව නිසැක ය.

අදාල වෙනත් ලිපි

වියට්නාමයේ නව ඉඩම් නීති ගම්බද දරිද්‍රතාව උග්‍ර කරයි

1999 පෙබරවාරි 05

[මෙම ලිපිය 2001 මැයි 09 වැනි දින ඉංග්‍රීසි බසින් පල වූ ලිපියක පරිවර්තනයකි.]

Loading