තම නිවාසවලින් ඉවත් කොට මහල් නිවාසවල පදිංචි කල නිවැසියෝ දැඩි අපහසුතාවන්ට මුහුනදෙති

රාජපක්ෂ ආන්ඩුව ද, අනුප‍්‍රාප්තික සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද, කොලඹ නගරයේ දුගීනිවාස බලහත්කාරයෙන් කඩා ඉවත්කර, ඒවායේ ජීවත් වූ කොටසකට පමනක් මෙතෙක් ලබා දී ඇති මහල් නිවාස ජීවත්වීමට නුසුදුසු තත්වයක පවතින බව එම නිවැසියෝ පවසති.

පසුගියදා ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන් තොටලඟ මුවදොර උයන හා දෙමටගොඩ සිරිසරපුර මහල් නිවාසයන්හි සිදුකල සංචාරයකදී එහි නිවැසියන් මෙම තොරතුරු අනාවරනය කලහ.

එම නිවැසියන්ගෙන් බොහෝ දෙනෙක් කලින් ජීවත්ව ඇත්තේ, සුපිරි නිවාස හා වානිජ සංකීර්නයක් ඉදිකිරීම සඳහා 2013 දී කඩා ඉවත් කෙරුනු, කොම්පඤ්ඤවීදිය දුම්රියපොල අසල පිහිටා තිබුනු දුම්රිය කම්කරු නිල නිවාසයන්හි හා අනෙකුත් දුගී නිවාසයන්හි ය.

චම්පික රනවක හා නිමල් සිරිපාල් ද සිල්වා යන ඇමතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන්, 2015 ඔක්තෝබර් 29 පැවති උලෙලකදී, මේ නිවාස සඳහා යතුරු ලබා දෙනවිට ඒවාට විදුලි හෝ ජල පහසුකම් නොතිබුනු බවත්, විදුලි සෝපානය කි‍්‍රයාත්මක නොවූ බවත්, ඔවුහු පැවසූහ.

නිවාස වලට ජල සැපයුම ලබා දී ඇත්තේ 2016 පෙබරවාරි මාසයේ අග භාගයේදී වන අතර නිවාස බොහොමයකට තවමත් විදුලි සම්බන්ධතා නොමැත. බොහෝ නිවැසියන්ට කොරිඩෝවේ හා පිවිසුම් මාර්ග වල ඇති විදුලි කෙවෙනි මගින් තාවකාලික රැහැන් යොදා ගනිමින් ඉතා අනතුරුදායක ආකාරයෙන් විදුලිය ලබා ගැනීමට සිදු වී ඇති ආකාරය ලෝසවෙඅ වාර්තා කරුවන්ට දැක ගත හැකි විය. ගොඩනැගිල්ලේ ප‍්‍රධාන විදුලි පැනලය අසල රැහැන් පොදියක් ඉතා නොසැලකිලිමත් ආකාරයෙන් පටලවා තිබුනි.

ගොඩනැගිල්ලේ ඉදිකිරීම් දෝෂ පැහැදිලිව දකින්නට ඇත. නිවාස තුල මෙන්ම පොදු ස්ථානවලද නිමාව ඉතා පහත් මට්ටමක පවතී. බොහෝ තැන් වල බිත්ති පුපුරා යාම දැනටමත් ආරම්භ වී ඇති අතර නිවැසියන් පැවසුවේ දොර ජනෙල් වල පියන් හා අල්ලු සිරවීම හා ගැලවී යාම් සාමාන්‍ය දෙයක් වී ඇති බවයි. කවුලු වියන් නිසි ලෙස සකසා නොමැතිවීමෙන් නිවාස තුලට වැසි ජලය කාන්දු වීම නිතර සිදුවන බවද වාර්තා විය. විදුලි සෝපානය ද මෙතෙකුදු නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන අතර, මැදිවියේ කාන්තාවක් පැවසුවේ හෘද රෝගියෙකු වන තමා මාසයක් ඇතුලත දෙවරක් විදුලි සෝපානය තුල සිරවී මහත් අපහසුතාවයකට ලක්වූ බවයි.

2013 වසරේදී එවකට පැවති රාජපක්ෂ ආන්ඩුව යටතේ, පර්චස් 525ක භුමි භාගයක් පුරා පැතිර තිබූ කොම්පඤ්ඤවීදියේ දුගී නිවාස කඩා දැමුනේ අවතැන් වූවන්ට වසර එකහමාරක් ඇතුලත නව නිවාස ලබා දෙන පොරොන්දුව යටතේය. ඉන්පසුව නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) මගින් “කොම්පඤ්ඤවීදිය දුම්රිය පොල පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය” නමින් මෙම ඉඩම පකිස්ථාන ඉදිකිරීම් හා දේපල සමාගමක් වන ඉම්පීරියල් බිල්ඩර්ස් සමාගමට පවරාදුන්නේ ඩෙස්ටිනි හා ඩෙස්ටිනි II යන සුපිරි නිවාස හා වෙලඳ සංකීර්න ඉදිකිරීම සඳහාය.

ව්‍යාපෘතියේ අරමුන ලෙස දක්වන ලද්දේ “කොලඹ නගර ක්ෂිතිජය හා අවට ප‍්‍රදේශය අලංකරනය කිරීමයි”. නිවාස අහිමි වූ දුම්රිය කම්කරුවන්ට ලබා දුන් බ්ලොක් A හා B නමින් හඳුන් වන මෙම මහල් නිවාස ද්විත්වය ඉදිකරන ලද්දේද ඉම්පීරියල් බිල්ඩර්ස් සමාගම විසිනි.

හතර දෙනෙකුගෙන් යුත් පවුලකට වර්ග අඩි 500 කින් යුත් නිවසක්, මේ යටතේ දුම්රිය් සේවකයන්ට ලැබිනි. නිවාස අහිමි වූ අනෙකුත් පවුල් වලට ලබා දෙන්නේ යයි පවසන බ්ලොක් Cක්‍ හා D යන මහල් නිවාස තවමත් නිමවී නැත. තට්ටු දොලහකින් යුත් මේ ගොඩනැගිල්ලේ යන්තමින් ඉදිකර ඇත්තේ තට්ටු දෙකක් පමනි.

ලෝසවෙඅ වෙත කරුනු දක්වමින් මහල් නිවාස වල පදිංචි එස්. නන්දලාල් නම් දුම්රිය සේවකයා පැවසුවේ, නිවාස කඩා දමීමෙන් පසු, වසර එකහමාරක් සඳහා නාසඅ මගින් මසකට රු. 150,00 ක් බැගින් නිවාස කුලිය ලෙස ලබා දුන් බවයි. “මේ පලාතේ ඒ ගනනට ගෙවල් නැති නිසා අපි වනාතමුල්ලේ පදිංචි වුනා. පලවෙනි අවුරුදු එකහමාරෙන් පස්සේ කුලිය සඳහා මුදල් දුන්නේ විටින් විට. කුලියයි අත්තිකාරම් මුදලයයි ගෙවා ගන්න බැරුව අපිට නය වෙන්න සිද්ධ වුනා. තාම අපි ඒ නය ගෙවනවා.”

පසුගිය ඔක්තෝබරයේ මෙම නිවාස කඩිමුඩියේ ලබා දෙන ලද්දේ දුම්රිය කම්කරුවන් කල පැමිනිලි හා උද්ඝෝෂන නිසා බවත්, නමුත් පදිංචි වීමට සිදුවූයේ විදුලිය හා ජලය නැති නිවාස වල බවත් ඔහු තව දුරටත් පැවසුවේය. “පසුගිය දෙසැම්බර් මාසයේ අපොස සාමාන්‍ය පෙල විභාගය කරපු මගේ දුව පාඩම් කලේ කුප්පි ලාම්පුවෙන්, අපි වතුර ගෙනාවේ බිම් මහලේ තියෙන පයිප්ප වලින්.”

කලින් මෙම භුමි භාගය පුරා ජීවත් වූ ජනතාව ඉන් තුනෙන් එකකටත් අඩු බිම් ප‍්‍රමානයක ගාල් කර ඉතිරි බිම් ප‍්‍රමානයේ සුපිරි නිවාස හා වෙලඳ සංකීර්න පද්ධතිය ඉදිකරගෙන යන්නේ දැවැන්ත ලාබ ගැරීමේ ව්‍යාපෘතියක් ලෙසය. මහල් 44 ක කුලූනු දෙකකින් යුත් මෙම සංකීරනයේ තනි කාමරයකින් යුත් කුඩාම නිවසක් රුපියල් මිලියන 7.2 කට මිලකර ඇත.

නිවාස කඩා දැමීමෙන් පසු තොටලඟ ඇතුලු විවිධ ස්ථානයන් හි තාවකාලික මඩුවල පදිංචි කල නිවැසියන්ට, රාජපක්ෂ ආන්ඩුව විසින් මුවදොර උයන මහල් නිවාස ලබාදුන්නේ පසුගිය ජනාධිපතිවරනය අභියස, 2014 දෙසැම්බර් මාසයේදී ය. ජනාධිපතිවරනයේදී වාසි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම පියවර ගැනුනු බව බොහොමයක් නිවැසියන්ගේ අදහස විය.

නාසඅ ට රුපියල් 50000 ක මූලික ගෙවීමකින් පසු, මාස තුනක් තුල තවත් 50000 ක් ගෙවීමේ පොරොන්දුව මත මහල් නිවාස ලබාදුන් අතර, මීට අමතරව රු. 2500ක මාසික මුදලක් කුලී වශයෙන් ගෙවීමට ද නිවැසියන්ට සිදු විය.

මැතිවරනය කිට්ටුවෙත්ම මූලික ගෙවීම රු. 25,000 දක්වා අඩුකල අතර, නොමිලේ නිවාස ලබාදෙන බව සඳහන් කෙරුනු සහ රාජපක්ෂගේ ඡායාරූපයක් අන්තර්ගත ලියැවිල්ලක් නිවැසියන්ට ලබාදී ඇත. එහෙත් සියල්ලන්ම මාසික කුලී මුදල වන රු. 2500 හා ඊට එකතුවන ජල සහ විදුලි ගාස්තුව ද ගෙවිය යුතුය.

දුගීබව හේතුවෙන් බොහෝ දෙනෙකුට මෙම කුලිය ගෙවිය නොහැකි තත්වයට පත්ව ඇති තතු තුල, නාසඅ නිලධාරීන් පැමින කුලී නොගෙවෙන අයගේ නිවෙස් අගුලූදා වසා දමන බවට තර්ජනය කර ඇත.

නිවැසියෙක් මෙසේ පැවසීය. “මෙහි වාසය කිරීම දුෂ්කරයි. වර්ග අඩි 450 ක ගෙයක මරනයක් තියා ගැනීමටවත් ඉඩක් නැහැ. උඩමහල් වලට සමහර වේලාවට වතුර නැහැ. කිසිම ප‍්‍රමිතියකට නිවාස ගොඩනගා නැහැ. වැසිකිලි නිතර උතුරනවා. කුනු දමීමට තැනක් නැහැ. සෝපාන දෙකයි තියෙන්නේ. එකක් බඩු ගෙනයාමට අනික මහ ජනයාට. දෙකම නිතරම කැඩිලා.”

වනාතමුල්ල දුගී නිවාස කඩා දමා එම නිවැසියන් බලහත්කාරයෙන් පදිංචි කෙරුනු දෙමටගොඩ සිරිසරපුර මහල් නිවාසයන්හි නිවසක වපසරිය වර්ග අඩි 380 කට සීමාවන අතර, 34 වත්තේ තමා කලින් පදිංචිව සිටි නිවාස වඩා ඉඩකඩ තිබූ බවට බොහෝ නිවැසියෝ මැසිවිලි නගති.

එකිනෙකට මුහුනලා තිබෙන නිවාස දෙකක් අතරින් දිවෙන කොරිඩෝරයේ පලල යන්තම් අඩි 4.5 කි. මහල් 11 කින් යුත් නිවාස සංකීර්නයට ප‍්‍රමානවත් තරම් විදුලි සෝපාන නොමැති බැවින් හා පවත්නා සෝපාන අතලොස්ස ද ප‍්‍රමිතීන්ට අනුකූල නොවන බැවින් නිවැසියෝ ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුන දී සිටිති. කොන්කී‍්‍රට් තට්ටුවක ඝනකම අඟල් 2.5 කට සිමාවී ඇති තතු තුල කොයි මොහොතේ හෝ කඩා වැටේද යන භීතියෙන් නිවැසියන් නිරතුරුව පෙලෙයි.

වනාතමුල්ලෙන් පලවා හරින ලද බොහෝ නිවැසියන්ට තම නිවාස සඳහා නීත්‍යානුකූල ඔප්පු තිබූ නමුදු ඒ සඳහා ඔවුනට කිසිදු වන්දියක් නොලැබුනි. එසේ වුවද ලබා දී ඇති මහල් නිවාසයේ පදිංචියට පෙර සෑම නිවසකින්ම රුපියල් ලක්ෂය බැගින් නාසඅ විසින් අයකරගෙන ඇත. වසර 20 ක් ගතවනතුරු රුපියල් 3960 බැගින් වූ මාසික වාරිකයක් ද ගෙවිය යුතු වන්නේ විදුලි හා ජල ගාස්තුවලට අමතරවයි.

රාජපක්ෂ ආන්ඩුව මගින් ආරම්භ කල මෙම ව්‍යාපෘති වික‍්‍රමසිංහ -සිරිසේන ආන්ඩු මගින් ඔජ වඩවමින් ඉදිරියට ගෙන යාම මගින් පෙනී යන්නේ, කොලඹ දුගී නිවාස සමතලා කොට එම ඉඩම්, දේශීය හා විදේශීය දේපල සමාගම් වලට පවරා දීම වර්තමාන රජයේ යෝජිත “මහා නගර” සැලසුම යටතේ තවත් ශක්තිමත් වනු ඇති බවයි.

මෙම වැඩ පිලිවෙල යටතේ තම නිවාසවලින් බලහත්කාරයෙන් ඉවත් කිරීම, බාල තත්වයේ නිවාස වල යලි ගාල් කිරීම හා මොනම වන්දියක්වත් නොමැතිව පාරට අද දැමීම වැනි දරුනු ප‍්‍රහාරයන්, කොලඹ දුගී පවුල් වලට පමනක් නොව, මෙතෙක් යම් යම් සීමිත සහනයන් භුක්තිවිඳි රාජ්‍ය සේවක පවුල් වලටද එල්ල කිරීමට නියමිතව ඇත.

Loading