කොලඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු සහ ලංකාවේ පශ්චාත් නූතනවාදියෙකු වන සුමිත් චාමින්ද, තමන්ගේ ප්රමුඛ ගුරෙකු වන ස්ලොවීනියානු දාර්ශනික ස්ලැවෝයි ශිෂෙක් කොවිඩ්-19 වසංගතය පිලිබඳව ලියා ඇති “වසංගතය 2: අහිමි වූ යුගයක පුරාවෘත්ත [Pandemic 2: Chronicles of a Time Lost]” නමැති කෘතියේ කොටස් කීපයක් පරිවර්තනය කොට තම ෆේස්බුක් පිටුවේ පලකොට ඇත. ඉන් ඔහු කැසකවා ඇත්තේ “වසංගතය සමඟ ජීවත්වීම” හෙවත් මහජන ජීවිත බිල්ලට දෙමින් ආර්ථිකය විවෘතව තබාගැනීමේ සාපරාධී ධනපති පිලිවෙත සමඟ පෙලගස්වා ඇති ශිෂෙක්ගේ මතවාදයන් ලංකාව තුල ප්‍රවර්ධනය කිරීමයි.
2021 වසරේ පලකිරීම සඳහා ශිෂෙක් විසින් ලියන ලද “වසංගතය 2” සහ 2020 මාර්තු මාසයේදී පලකෙරුනු “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි [Pandemic! COVID-19 Shakes the World]” යන කෘති, චාමින්ද විසින් හඳුන්වා දෙන්නේ “අපේ කාලයේ අවෙහෙසකර ගෝලීය බුද්ධිමතා” විසින් “සමකාලීන අර්බුදයේ තීව්‍රතාව සහ ගැඹුර එතරම්ම තීව්ර න්‍යායික දැක්මකින්ද, එතරම්ම ගැඹුරු දාර්ශනික අවබෝධයකින්ද යුක්තව ග්රහනය කර ගැනීමට දරන ප්රයත්නයක්” ලෙසයි. මේ අතරින් 'කොවිඩ්-19 ලොව සසල කරයි' කෘතියේ සිංහල පරිවර්තනය චාමින්ද විසින් ග්රන්ථයක් ලෙස පලකොට ඇත.
චාමින්දගේ ප්‍රෝඩාකාරී හඳුන්වාදීම් වලට විපරීතව, පශ්චාත්-නූතනවාදයේ ප්රමුඛ පකාශක හා මනෝ විශ්ලේෂක ජැක් ලකාන්ගේ බැතිමතෙකු වන ශිෂෙක්, ධනේශ්වර විරෝධියෙකු මෙන්ම ඇතැම් විට “මාක්ස්වාදියෙකු' ලෙස දීර්ඝ කාලයක් පුරා පෙනී සිටිමින් මේවන විට විවෘත දක්ෂිනාංශිකයෙකු බවට පත්ව සිටින ව්‍යාජ-වාම හොර වෙදෙකි.
ශිෂෙක්ගේ ඉහත කෘතිය පැමිනෙන්නේ, කොවිඩ්-19 වසංගතය ඓතිහාසික ප්‍රේරක සිද්ධියක් ලෙස ධනේශ්වර පද්ධතියේ සියලු පරස්පර විරෝධතා තීව්රකොට, ධනේශ්වර පර්යාය කෙරෙහි කම්කරු පන්තියේ සහ තරුනයින්ගේ විශ්වාසයට වලකපමින් ඔවුනගේ විඥානයේ ප්රගාඪ වෙනසක් ඇති කරමින් තිබෙන තතු තුලය.
'වසංගතයේ දේශපාලන පාඩම් සහ 2021 සමාජවාදය සඳහා අරගලය' යන හිසින් සහ ජෝෂප් කිශෝර් සහ ඩේවිඩ් නෝර්ත් ගේ කර්තෘත්වයෙන් ජනවාරි 04 දා ලෝක සමාජවාදී වෙඩ් අඩවියේ පල කෙරුනු ඉදිරි දර්ශන ලිපියේ සඳහන් කෙරුනු පරිදී 'මහජන විඥානයේ වාම මාරුව සහ පන්ති අරගලය තීව්ර වීම පූර්ව විප්ලවවාදී තත්වයක ආරම්භක වර්ධනය පිලිබඳ පැහැදිලි ඇඟවුම් වනු ඇත.'
ශිෂෙක්ගේ සහ ඔහුගේ ගෝල සුමිත් චාමින්ද වැනි ව්‍යාජ-වාම හොර වෙදුන්ගේ ව්‍යායාමය වනුයේ, වමට හැරෙන මෙම කම්කරු සහ තරුන කොටස් ධනවාදයට ඇති එකම විකල්පය වන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත ස්වාධීනව බලමුලු ගැන්වීමෙන් වලකා ඔවුන් ධනවාදය තුලම සිර කිරීමයි.
කම්කරු පන්තිය ඇතුලු පීඩිත කන්ඩායම් කෙරෙන් මතුවන විරෝධතාවන්ට එරෙහිව කිහිපවරක්ම තම වෛරය වගුරුවා ඇති ශිෂෙක් වර්ගවාදය සහ සංක්රමන විරෝධය අවුලුවමින් ධනපති පාලක පන්තියේ මර්දනයන්ට මුක්කු ගසා ඇත. 2016 ජනවාරියේදී ජර්මනිය තුල සිටින සංක්රමනිකයන්, “ෆැසිස්ට්වාදීන්” ලෙස හංවඩු ගසන ලද තම ලිපියකින් [ ස්ලැවෝ ජිජැක්: ව්‍යාජ-වමේ සිට නව දක්ෂිනාංශයට] ඩර් ස්පීගල් පුවත්පත්පත ගෙන ගිය සංක්රමන විරෝධී උද්ඝෝෂනයට හේත්තු විය.
එමෙන්ම 2011දී දරිද්‍රතාවයට සහ පොලිස් ප්රහාරයන්ට එරෙහිව බ්‍රිතාන්‍යය තුල විරෝධතා දැක්වූ තරුනයින් “තිරිසනුන්” සහ “කඩසාප්පු මංකොල්ලකරුවන්” ලෙස හෙලා දුටු [ A right-wing rant against British youth from Slavoj ] ඔහු, එවක ඩේවිඩ් කැමරන් ආන්ඩුව දහස් ගනනින් පොලිස් කැරලි මර්දන භටයන් යොදවා එම තරුනයන්ට එරෙහිව ලිහා හල ප්‍රහාරයට උඩගෙඩි දුන්නේය.
ධනපති අවශ්‍යතා වෙනුවෙන් සෘජුවම පෙනී සිටීමෙන් තමන්ගේ බොරු වාම වෙස්මුහුනු ගැලවී යනු ඇතැයි යන භීතිය නිසා අතිශයින් ව්‍යාකූල භාෂා ශෛලියක සඟවා ඉදිරිපත් කරනු ලැබ ඇති ශිෂෙක්ගේ විසකුරු න්‍යායන් චාමින්ද විසින් ඊට නොදෙවෙනි කෛරාටික භාවයකින් පෙලගස්වනු ලබයි.
හැඳින්වීමේදී ශිෂෙක් පවසන්නේ “අප මේ ගැටලුව සමග ගනුදෙනු කරන ආකාරය අවසාන වශයෙන් රඳා පවතින්නේ මානව ජීවිතය පිලිබඳ අපගේ මූලික ස්ථාවරය මත” බවයි. එම “ස්ථාවරය” සෘජුව ඉදිරිපත් නොකරන ඔහු, ඒ සඳහා “අප සියල්ලන්ම දාර්ශනිකයන් විය යුතුය” යනුවෙන් පවසමින් හොරගල් අහුලයි.
බලලා ක්‍රමයෙන් මල්ලෙන් එලියට පනින්නට පටන්ගන්නේ ඊලඟ පරිච්ඡේදයේ සිටයි. ශිෂෙක් මෙසේ පවසයි.
“නිතර කන වැකෙන අදහසක් නම් බටහිර ලෝකයේ වෙසෙන අප මරනය සමග ගනුදෙනු කරන ආකාරය වෙනස් කර ගන්නට වසංගතයෙන් බල කෙරෙනු ඇත යන්නයි; එනම් අපට අපගේ අනියතභාවය සහ අපගේ පැවැත්මේ බිඳෙනසුලු භාවය පිලිගන්නට බල කෙරෙනු ඇති බවයි. නොපවතින තැනකින් වෛරසයක් පැමිනි කල්හි අප දැන සිටි ජීවිතය අවසන් වී යයි.'
'ඈත පෙරදිග ජනතාව වසංගතය සමග ගනුදෙනු කිරීමේදී වඩා සාර්ථක වී ඇතැයි අපට පවසනු ලබන්නේ මෙනිසාය. ඒ ඔවුනට මරනය යනු හුදෙක් ජීවිතයේ කොටසක් පමනක් වන නිසාය; දේවල් පවත්නා ආකාරය වන නිසාය. බටහිර වෙසෙන අප මරනය ජීවිතයේ කොටසක් ලෙස භාර ගන්නේ වඩ වඩාත් අඩුවෙනි.”
සරලවම කිවහොත්, ශිෂෙක් සහ ඔහු අනුයන චාමින්ද මානව ජීවිතය පිලිබඳ දරන “ස්ථාවරය” වනුයේ “මරනය ජීවිතයේ කොටසක් ලෙස භාරගත යුතුය” යන්නයි. ධනපතියන්ගේ ලාභය උදෙසා කම්කරුවන් වැඩට දැක්කීමේදී ලොව පුරා පාලක පන්තීන්ද ජීවිත සම්බන්ධයෙන් දරන “ස්ථාවරය” මෙයින් වෙනස් නොවේ.
ශිෂෙක්ගේ “නව ජීවිතය” සහ ධනපති පාලකයන්ගේ 'නව සාමාන්‍යය'
වසංගතය හැකිතාක් පැතිරෙන්නට ඉඩදීමෙන් සමාජයීයව ප්‍රතිශක්තිය ඉහල නංවා තවදුරටත් එය ව්‍යාප්ත නොවන තත්වයට පත්කීරීමේ මිනීමරු ප්‍රතිපත්තිය වන 'රංචු ප්‍රතිශක්තිකරනය (herd immunity)” ක්‍රියාවට දැමීමේදී ඒ සඳහා බිලිදිය යුතු මිලියන සංඛ්‍යාත ජීවිත දෙස, මෙම “වම්මු” බලන්නේ, ධනපති පාලක පන්තියේ නරුම ස්ථාවරයේම පිහිටමිනි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සහ ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සභාපති, ඩේවිඩ් නෝර්ත් විසින් “වසංගතය, ලාභය සහ දුක් පීඩා විඳ මියයාම පිලිබඳ ධනේශ්වර සාධාරනීකරනය” යන මැයෙන් පලකල ලිපියක මෙවැනි ආස්ථානයන් හෙලා දුටුවේ, වසංගතයට ඵලදායී ප්‍රතිචාරයක් දැක්වීම වලක්වාගෙන සිටින සමාජ ආර්ථික උත්සුකයන් පිලිබඳ පරීක්ෂාවක් කිරීම මඟහැර යමින්, ' මනුෂ්‍ය ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් වැඩිමනත් සැලැකිල්ලක් දැක්වීමට එරෙහි තර්ක වඩ වඩාත් ලැජ්ජා විරහිත මට්ටමකට ඇද දැමීමක්” ලෙසයි.
තම කෘතිය පලකරන මොහොත වන විට මිලියන 2ක් ජීවිත බිලිගෙන තිබූ වසංගතය, සාමාන්‍යයෙන් ගෝලීයව සිදුවන දෛනික මරනවල හේතුකාරක අතරින් තවත් එකක් ලෙස සැලකිය යුතු බව ඒත්තු ගැන්වීම සඳහා ශිෂෙක් තවත් ඉදිරියට යයි. මහජනතාවන් ඉහල යන මරන සංඛ්‍යාවට පමනක් අවධානය යොමුකරමින් පිලිකා හෝ හෘද රෝග යනාදී සෙසු හේතූන් මරනයට පත් වන විශාල සංඛ්‍යා ව නොතකා සිටීමට යොමුවී ඇතැයි ඔහු පවසයි. ඔහුගේ යෝජනාව වන්නේ “මරන අනුපාතය දෙස තුලනාත්මකව බලමින්” ඒ සමග ජීවත් වීමට මහජනතාව සූදානම් විය යුතු බවයි.
පරිච්ඡේදය අවසානයේදී වඩාත් විවෘතව කාරනාවට බසිමින් ශිෂෙක් පවසන්නේ, “ඉදින්, දැන් අසීරුතම අභියෝගය වන්නේ ලොක් ඩවුන් තත්ත්වයෙන් පිටමං වී වෛරසමය වාතාවරනයක් තුල නව ජීවිතයක් සොයා ගැනීමයි”. මෙම “නව ජීවිතය” වූ කලී වසංගතය මධ්‍යයේ කම්කරුවන් යලි වැඩට දැක්කීම සහ පාසල් විවෘත කිරීම ඇතුලු ආසාදිතයන් පිම්මේ ඉහල නැංවීමට හේතුවී ඇති 'නව සාමාන්‍යය' නම් වූ සාපරාධී ධනපති පිලිවෙත හැර අනෙකක් නොවේ.
චාමින්ද තම ෆේස්බුක් පිටුව තුල පලකරමින් සිටින ශිෂෙක්ගේ මෙම න්‍යායන් සහ ගෝලීයව මෙන්ම ලංකාවේ ධනපති පාලක පන්තිය පල කරන අදහස් සහ ක්රියාපිලිවෙත් අතර පවත්නා සමානකම යලි යලිත් පෙන්වා දෙන්නේ ව්‍යාජ වම්මුන් ධනපති ක්රමයේ සෘජු ඒජන්තයින් ලෙස ක්‍රියාත්මක වන්නේය යන කාරනයයි. නිදසුන් ලෙස, පසුගිය වසර අගදී, රට පූර්නව විවෘත කිරීම සඳහා පියවර ගනිමින් සිටි ජනාධිපති රාජපක්ෂ වානිජ මන්ඩලය අමතමින් පැවසුවේ, “අපි සියලු දෙනාම මෙම නව සාමාන්‍යයට හුරුවිය යුතුයි. යම් යම් ආකාරවලින් මෙම නව සාමන්‍යය යහපත් ප්‍රතිඵල අත්කරදෙනවා විය හැකියි” යනුවෙනි.
ධනපති ආන්ඩු, වසංගතයේ ප්රමුඛ ගොදුරුබවට පත්වී සිටින කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා පුලුල් ලෙස සෞඛ්‍ය පහසුකම් ඉහල නැංවීම, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් ඇතුලු අධ්‍යාපන ආයතන වසා දැමීම, වසා දැමෙන සියලු ආයතන වල සේවකයන්ට පූර්න වැටුප් ලබාදීම සහ ආදායම් අහිමිවන අයට වන්දි ලබාදීම ආදිය වෙනුවට, මර්දනකාරී පිලිවෙත් මහජනතාව මත පටවමින් සිටියි. එම පිලිවෙත් වලට කම්කරුවන් සහ පීඩිතයන් අනුගත විය යුතු බව තහවුරු කිරීමේ උත්සාහයන් චාමින්ද විසින් ඉදිරිපත් කරන ශිෂෙක්ගේ ලේඛන පුරා දැකගත හැකිය.
“රාජ්‍යය අප මත අපගේ මූලික නිදහස උල්ලංඝනය කරන නියෝග පනවමින් සිටියි” යනුවෙන් ධනපති ආන්ඩු වල මර්දනකාරී පියවර වලට එරෙහිව බොරු විරුද්ධත්වයක් ආරූඪ කරන ලද සිරසක් යොදමින් ශිෂෙක්ගේ කෘතියේ දෙවන පරිච්ඡේදයට චාමින්ද විසින් කරන හැඳින්වීමේ මෙසේ සඳහන් වේ. “ඔහු (ශිෂෙක්) වසංගතය පිලිබඳ තම පලමු කෘතියේදී අවධාරනය කල පරිදිම මේ කෘතියේදී ද දරන ස්ථාවරය වූයේ වසංගතයේ අභියෝගයට මුහුන දීම සඳහා ඇතැම් විට අපට අපගේ පුද්ගලික නිදහසට බාධා කෙරෙන ආකාරයේ ක්‍රියාමාර්ග සමග පවා එකඟ වන්නට සිදු වන බවයි”.
ලොවපුරා ආන්ඩු වසංගතය පාලනය කිරීමේ මුවාවෙන් ගන්නා ලද පියවර මාලාවන් හුදෙක් 'පුද්ගලික නිදහසට බාධා කෙරෙන' දෑ ලෙස ලඝු කල හැකි නොවේ. වසංගතය මැද වඩාත් උග්‍ර කෙරී පවතින රැකියා සහ ජීවන කොන්දේසි වලට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාවන් අතරින් මතුවෙමින් තිබෙන අරගල රැල්ල වඩා පුලුල් ලෙස මර්දනය කිරීම මෙම පියවරවල එල්ලය යි.
චාමින්ද මෙලෙස ලියුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වසංගතය සීඝ්රයෙන් පැතිරයාම පිලිබඳව මහජනතාව මත වරද පටවමින් “නිරෝධායන නීති කඩන්නන්” හඹායාම සඳහා ඩ්‍රෝන යානා බලකායක් ස්ථාපනය කිරීමෙන් දින කිහිපයකට පසුවය. කම්කරු පන්තික අරගල සහ අනෙකුත් මහජන විරෝධතා පිලිබඳව දැඩි සෙවිල්ලක යෙදී, ඒවාට නායකත්වය දෙන්නන් සමීපව හඳුනාගෙන ඔවුන් දඩයම් කිරීම සහ අවසානයේ එම අරගල තලා දැමීම මෙම යාන්ත්රනයේ අරමුනයි.
ව්‍යාජ-වම්මුන්ගේ පන්ති පදනම
ශිෂෙක් සහ චාමින්ද වැනි ව්‍යාජ වම්මු වසංගතය හමුවේ ධනපති ආර්ථිකය අඩපන වීම ගැන දැඩි කනස්සල්ලෙන් පසුවෙති. එම කනස්සල්ල ගලා එන්නේ ඔවුන් නියෝජනය කරන සමාජ පන්තිය වන ඉහල මධ්‍යම පන්තියේ අවශ්‍යතාවයන්ගෙනි. පසුගිය දශක කීපය තුල, ඉමහත් ලෙස ධනවත් වූ මෙම ඉහල මධ්‍යම පන්තික කොටස් ඇතුලත් වනුයේ සමාජයේ ඉහලම ආදායම ලබන සියයට දහයේ පහලම ස්ථරයටය. ඔවුනගේ විරෝධය පවතින්නේ පතුලේ සිට ඉහලට ඇදී එන සමාජ ධනය එකී සියයට දහය තුල සමානව බෙදී නොයාමෙන් ඇතිවන අසමානතාවය කෙරෙහි මිස, බිලියන සංඛ්‍යාත ජනයා විරැකියාවට, දරිද්‍රතාවයට සහ මන්දපෝෂනයට ඇද දමමින් ගෝලීය ධනවාදය විසින් නිර්මානය කොට ඇති ආන්තික සමාජ අසමානතාවට නොවේ.
ධනපති ක්රමයේ ඉහඳ පනුවන් වන ශිෂෙක් සහ චාමින්ද වැනි “වම්මුන්ට” ඇති හිසරදය වන්නේද කම්කරු පන්තිය තුල වැඩෙන විරෝධයයි. ධනපති පාලක පන්තිය විසින් එම විරෝධය මැඩීමට ගනු ලබන පියවර විඳ දරාගත යුතු බව කම්කරු පන්තියට පවසන්නේ එබැවිනි.
ධනපති පන්තියේ ප්‍රහාරවලට මුක්කු ගැසීමෙන් තමන් කම්කරු පන්තිය ඉදිරියේ හෙලිදරව්වීම ගැන බියවන චාමින්ද “අප වසංගතයට අදාලව කෙරෙන රාජ්‍යයේ මැදිහත්වීම් පිලිපැදිය යුත්තේ රාජ්‍යයේ අධිකාරීවාදී යාන්ත්රනයන් ශක්තිමත් වීමේ අනතුර ගැනද දැනුවත්භාවයකින් යුක්තවය” යනුවෙන් පුහු වාක්‍ය ඛන්ඩයක්ද තම ප්රතිගාමී යෝජනා වලට යටින් එල්ලයි.
කම්කරුවන්ට වසංගතය මැද රැකියාවේ යෙදීමට සිදුවීම පිලිබඳ සාකච්ඡා කෙරෙන ඉන් පසුව එන පරිච්ඡේදයකට තමන් ලියන හැඳින්වීමේදී චාමින්ද ප්‍රශ්න කරන්නේ කම්කරුවා හට තම ජීවිත පැවැත්ම සහ ජීවනෝපාය යන දෙකින් එකක් තෝරා ගන්නට සිදු වීමේ තත්ත්වය අප වෙනස් කල යුතු නොවේද? යනුවෙනි. එහෙත් ඊලඟට ඔහු ඉදිරිපත් කරන ශිෂෙක්ගේ පරිවර්තනය පුරාම දකින්නට ලැබෙන්නේ ඊට සෘජු පිලිතුරක් දීම ඔහු විසින් හිතාමතාම මගහැර යන ආකාරයයි. ඒ වෙනුවට ඔහු කරන්නේ එකිනෙකට අසම්බන්ධිත විවිධ උපුටාගැනීම් තොගයක් ගෙන හැර දක්වමින් ඒ අතරට ධනපති ක්රමයේ සාපරාධී පිලිවෙත් කම්කරු පන්තිය විසින් ඉවසා දරාගත යුතුය යන්න තව තවත් තහවුරු කිරීම සඳහා කරුනු ඉදිරිපත් කිරීමයි.
ඔහු මෙසේ පවසයි: “වසංගතය සහ ලොක් ඩවුන් කිරීම් හමුවේ සුවිශාල අසමානතාවක් වර්ධනය වන බව පිලිගන්නට අපට බල කෙරේ; මිනිසුන්ට ඔවුන්ගේ රැකියා අහිමි වී යයි; දැනටමත් අති මහත් ධනයක් තිබෙන විශාලතම සමාගම්වලට සුවිශාල වාසි හිමිවන දැවැන්ත ඇප දීමක් ක්‍රියාවට නැංවේ; සහන හිමි විය යුතු අත්‍යවශ්‍ය සේවාවල නිරත කම්කරුවන්ට දිගටම වැඩ කරන ලෙසට බල කෙරේ.”
සෑම රටකම ආන්ඩු කම්කරු-පීඩිත මහජනතාවන් වසංගත අවදානමෙන් මුදා ගැනීම සඳහා වියදම්කල හැකිව තිබූ ධනය ට්‍රිලියන ගනනින් මහ බැංකු හරහා දැවැන්ත සමාගම්වල ආර්ථික කඩාවැටීම් වලක්වා ගැනීම සඳහා පොම්ප කිරීමේ ක්‍රියාවලිය හෙවත් ඇපදීම, වසංගතය මධ්‍යයේදී ධනපති ක්රමයේ සාපරාධීත්වය ඉහලම මට්ටමින් හෙලිදරව් කල ප්රපංචයකි. මෙම ව්‍යාජ වම්මු පවසන්නේ ඒ හරහා නිර්මානය වන අසමානතාවය කම්කරුවන් පිලිගත යුතු බවයි!
තම විසකුරු තර්කයන් තවත් ඉදිරියට ගෙන යමින් කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ කිසියම් ආකාරයක විශ්වීය මූලික ආදායමක් තහවුරු කිරීම සහ සියල්ලන්ටම සෞඛ්‍ය ආරක්ෂාව ලබා දීම ආදී දේවල් කිරීමට එය විසින් බලධාරීන්ට බල කරනු ලැබ තිබෙන නමුත් අනික් පසින් මහා සමාගම් විසින් දේපල ගොඩ ගසා ගනු ලැබීම සහ රාජ්‍යය විසින් ඒවා ගලවා ගනු ලැබීම දක්නට ලැබෙන බව ශිෂෙක් පවසයි. එයින් යලිත් වරක් පෙන්නුම් කරන්නේ වසංගතය මැද ලෝක කම්කරු පන්තියට ආහාර, පූර්න වැටුප් සහ සෞඛ්‍ය සේවා ලබා දීමට “මුදල් නැතැ” යි යන්න දකුනේ සිට ව්‍යාජ වම දක්වා ධනේශ්වර දේශපාලනඥයින් සහ ඔවුන්ගේ නියෝජිතයන් මතුරමින් සිටින ආකාරයයි.
ශිෂෙකියානු කොමියුනිස්ට්වාදය
මෙම බොරු වම්මුන් ගොඩනගන තර්කය වඩාත් සරල කර ගතහොත්, ඔවුන් පවසන්නේ “ජීවිත ආරක්ෂා කරගැනීමේ ක්‍රියාවලියේදී ධනපති ලාභයට අත නොතැබිය යුතු” බවයි. චාමින්ද විසින් “වාම ජනතාවාදයක් කරා” යන සිරසින් කොටස් වශයෙන් පලකරන මෙවැනිම විකෘත න්‍යායන්ගේ එකතුවක් තුල “ශිෂෙකියානු කොමියුනිස්ට්වාදය” ලෙස නම් කරමින් ඔහු මෙම “වැඩපිලිවෙල” තවත් විස්තාරනය කරයි. ඔහු පවසන්නේ එය, “ගම් නගර මට්ටමේ ජනතාවගේ ස්වේච්ජා සහභාගීත්වය සහිතව කොරෝනා අර්බුදයට මුහුන දීමේ විකල්ප වැඩසටහනක්” ලෙසයි.
එක එල්ලේම පෙනන පරිදි මෙය ධනපති පාලකයන් සම්පූර්නයෙන්ම වගකීමෙන් මුදාහැරීම සඳහා යෝජනා කෙරෙන අන්ත ප්රතිගාමී වැඩපිලිවෙලකි. ධනපතියන්ට වසංගත තත්වය ගසාකමින් ඇති තරම් ලාභ පොදි ගසාගැනීමට අවස්ථාව ලබාදෙමින් මහජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන තමන්ට හැකි පමනින් බලාගත යුතුය යන මෙම නරුම යෝජනාවට සම්භාව්‍ය මාක්ස්වාදයේ එන කොමියුනිස්ට්වාදය සමඟ කවර හෝ සම්බන්ධයක් නැත.
සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව කොමියුනිස්ට්වාදය යනු, නිෂ්පාදන මාධ්‍යන්ගේ පුද්ගලික අයිතිය මත පාදකව ලාභය සඳහා කෙරෙන ධනේශ්වර නිෂ්පාදනය සහ නිෂ්පාදනයේ සාමාජයීයකරනය අතර පවත්නා පරස්පර විරෝධයත්, ධනවාදය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය සහ ගෝලීය නිෂ්පාදන ආර්ථිකය අතර පවත්නා පරස්පරවිරෝධයත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී මැදිහත්වීමකින් ඓතිහාසිකව ජයගෙන, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පොදු අයිතිය සහ මානව අවශ්‍යතා මත සමස්ත ගෝලීය ආර්ථිකය තාර්කිකව ප්‍රතිසංවිධානය කර ගැනෙන ජාත්‍යන්තර සමාජවාදී නිෂ්පාදන ආර්ථික ක්රමයක ඉහල සමාජ සංවර්ධන අවධියකි.
ශිෂෙක්ගේ විකෘත න්‍යායන්ට මුලුමුනින් ප්රතිකූලව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සිය ප්රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) තුල ඉදිරිපත් කර ඇති ඉදිරි දර්ශන තුල වසංගතය වනාහි, ධනපති ක්රමයේ ඉහත ප්රතිවිරෝධතා වඩාත් සාපරාධී ස්වරූපයෙන් පුපුරවා හරින ලද ඓතිහාසික “ ප්‍රේරක සිදුවීමක්” ලෙස ගුනාංගීකරනය කර ඇත.
මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා ධනේශ්වර පද්ධතිය පෙරලාදමමින් සහ සමාජ හා දේශපාලන ජීවිතයේ සියලු අංශ මත ධනේශ්වර පන්තිය පවත්වා ගෙන යන මාරාන්තික ග්රහනය බිඳ දැමීම අත්‍යවශ්‍ය කෙරී ඇත. ඒ සඳහා ශක්‍යතාවය පවතින්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය තමන්ගේ නායකත්වය යටතේ අවශේෂ පීඩිතයන් බලමුලුගන්වා ගත් සමාජවාදී ව්‍යාපාරයකට පමනි.
“ධනවාදයට එරෙහිව සමාජවාදය: වසංගතය සහ ගෝලීය පන්ති අරගලය” යන මැයෙන් ලෝසවෙඅ තුල පලවූ ඉදිරිදර්ශන ලිපියේ වසංගතය මධ්‍යයේ ධනපති පන්තියේ සහ කම්කරු පන්තියේ උත්සුකයන් සමහන් කල නොහැකි ලෙස ප්රතිමුඛ වන ආකාරය වඩාත් පැහැදිලි වී ඇති බව මෙසේ අවධාරනය කරයි:
'පාලක පන්තියේ ස්ථාවරය ධනේශ්වර දේපල ආරක්ෂා කිරීම ලෙස ඉදිරියට යයි: එහි අවශ්‍යතා වනුයේ නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය සහ ජාතික රාජ්‍යයේ භූ මූලෝපායයි. කම්කරු පන්තියේ ආස්ථානයෝ වෛෂයිකව සමාජවාදය කරා යාමට උත්සාහ කරති: එනම් ලාභ ක්‍රමය හා ශ්‍රමය සූරාකෑම අවසන් කර, මානව අවශ්‍යතා මත පදනම්ව විද්‍යාත්මකව සැලසුම් කෙරුනු ආර්ථික ජීවිතයේ ප්‍රතිසංවිධානය කිරීමකින් හා ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම තුලින් මානව වර්ගයා ගෝලීය වශයෙන් එක්සත් කිරීමකින් නිෂ්පාදන ක්‍රමය ප්‍රතිස්ථාපනය කිරීමයි.'
ධනපති ක්‍රමය මුලුමනින් වැලඳගෙන සිටින ව්‍යාජ වම්මු මෙම ඉදිරිදර්ශනයට මුලුමනින්ම සතුරුය. වසංගතය මැද ධනේශ්වර අර්බුදයේ තීව්ර වීම සහ ඒ සමඟ එන තියුනු සමාජ ධ්රැවාන්තගත වීම, ශිෂැක්, චාමින්ද සහ ඔවුන්ගේ ව්‍යාජ වාම සහචරයින් ඇතුලත් වන පන්තියට ඔවුන්ගේ සැබෑ වර්නය පෙන්වීමට බලකර තිබේ. තවදුරටත් ඔවුන්ට තම දක්ෂිනාංශික දේශපාලනය, ඔවුන්ගේ ව්‍යාජ-වාම දෙඩවිලි තුල සැඟවිය නො හැකිය. මෙම ව්‍යාජ-වම්මුන්ගේ වේගවත් දක්ෂිනාංශික ගමන සංඥා කර සිටින්නේ ධනපති ක්‍රමයට විරුද්ධ කම්කරුවන්ගේ අරගල වලට එරෙහි ෆැසිස්ට් පන්නයේ ප්‍රහාර හැටියටම ඉදිරිකාලයේදී ඔවුන්ගේ ප්‍රතිචාර එලිමහනට පැමිනෙනු ඇති බවයි.
