ලංකාවේ කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත මහා ව්‍යාපාර පසුගිය වසරේ වාර්තාගත ඉපැයීම් ලබා ඇති බව දෙසැම්බර් 20 දා ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේය. එසේ සිදුව ඇත්තේ රටේ අධි උද්ධමනයක් සහිත දරුනුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ කම්කරුවන් සහ දුප්පතුන් වඩ වඩාත් දරිද්‍රතාවයට ඇද වැටෙමින් පවතින තතු යටතේය.
“2022 සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම්වල ඉපැයීම් සියයට 87 ක ප්‍රබල වර්ධනයක් වාර්තා කර ඇති,” බවත් ,“සමාගම් ශුද්ධ ආදායම් රැක ගෙන ඇති,” බවත් මිරර් වාර්තා කරන්නේ සීටී සීඑල්එස්ඒ සෙකියුරිටීස් බ්රෝකර් සමාගම විසින් කොටස් වෙලඳපාල ඉපැයීම් ගැන කෙරුනු සමීක්ෂන වාර්තාවක් උපුටා දක්වමිනි. මෙම “ප්‍රබල වර්ධනය” පසුගිය මාස 12 ක දත්ත මත ගනනය කෙරී තහවුරු කරනු ලැබ ඇත.
සමාගම්වල නාමයන්, නිශ්චිතවම සඳහන් නොකලද මේවා අතර ඉක්මනින් විකිනෙන පාරිභෝගික භාන්ඩ (එනම් කිරි, පලතුරු සහ එලවලු, පැනිබීම, බියර් සහ ඇස්ප්‍රින් වැනි විවිධ පොදු ඖෂද වර්ග අලෙවි කරන සමාගම්), තොග වෙලඳාම්, බලශක්ති, විදුලිය, දුරකථන පහසුකම් සහ සෞඛ්‍යාරක්ෂන සේවාවන් සපයන සමාගම් පවතින බව මිරර් වාර්තා කරයි.
තවද සමාගම්වල ඉපැයීම් ඉහලයාම් ගැන වෙනත් මාධ්‍යයන් ගනනාවක්ද සනාථ කර ඇත. ශ්‍රීලංකාබිස්නස්.කොම් (srilankabusiness.com) වෙබ් අඩවියද සඳහන් කරන්නේ, 2022 ජනවාරි - ඔක්තෝබර් කාලසීමාව සඳහා වෙලඳ භාන්ඩ අපනයනය 2021 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඩොලර් බිලියන 11 දක්වා සියයට 9.33 කින් වැඩි වී ඇති බවයි. මෙම මහා ව්‍යාපාර අතර එයිට්කන් ස්පෙන්සර් පීඑල්සී, ලංකා අයිඕසී, හේලීස් සමූහය, වැනි ප්‍රධාන පෙලේ සමාගම් වේ.
* එයිට්කන් ස්පෙන්සර් සමාගම ගිය වසරේ අප්‍රේල් සිට සැප්තැම්බර් 30 දක්වා වත්මන් මූල්‍ය වර්ෂයේ (මූල්‍ය වර්ෂය 2022 අප්‍රේල් මාසයේ ආරම්භ විය) මාස හය සඳහා බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 8.5 ක් උපයමින් “සීග්‍ර වර්ධනයක්“ පෙන්වූ බව නොවැම්බර් 8 දා ඩේලි එෆ්ටී පුවත්පත වාර්තා කලේය.
* ඉන්ධන මිල ඉහල යාමෙන් ඉන්දියන් ඔයිල් කෝපරේෂන් හි ශාඛාවක් වන ලංකා අයිඕසී සමාගම, වසරේ සැප්තැම්බර් කාර්තුවේදී “අහස උසට නැගුනු ” ලාභ උපයා ගත් බව ඔක්තෝබර් 28 වැනි දින ඉකොනොමිනෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කල අතර එය 'සැප්තැම්බර් 30 න් අවසන් වූ තුන්වන කාර්තුව තුල ශුද්ධ ලාභය රුපියල් බිලියන 12.3 ක් දක්වා 43 ගුනයකින් [ගිය වසරේ අනුරූපී කාල සීමාවට සාපේක්ෂව] ඉහල“ ගිය බවද වාර්තා කලේය.
* හේලීස් සමූහය, වත්මන් මූල්‍ය වර්ෂයේ දෙවන කාර්තුවේත්, පලමු අර්ධයේත් බදු ගෙවීමෙන් පසු ලාභයක් උපයමින් “සුවිශේෂී කුසලතාවයක්” දක්වා ඇති බව marketscreener.com වෙබ් අඩවිය වාර්තා කලේය. මේ අනුව, දෙවන කාර්තුවේ ලාභය සියයට 62 කින් රුපියල් බිලියන 7.1 ක් දක්වාද, පලමු අර්ධ වර්ෂයේ සියයට 193 කින් රුපියල් බිලියන 14.5 ක් දක්වාද වැඩි විය.
ගිය වසරේ පලමු කාර්තුවේදී ආහාර පාන සහ දුම්කොල, ප්‍රාග්ධන භාන්ඩ, විවිධාංගීකරනය වූ මූල්‍ය, ප්‍රවාහන සහ පාරිභෝගික සේවා සමාගම් කොවිඩ්-19 වසංගතය දරුනු ලෙස බලපෑ 2021 වසරේ අනුරූපී කාලසීමාවට සාපේක්ෂව සියයට 303 කින් දැවැන්ත ආදායම් ලබා ඇති බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2022 ජූනි 28 දා වාර්තා කලේය.
රටේ සමස්ත අපනයනවලින් සියයට 40 ක් පමන වන ඇඟලුම් කර්මාන්තයේ අපනයන ආදායම්, දෙසැම්බර් 20 වැනිදා ඩේලි එෆ්ටී පුවත්පතේ වාර්තාවකට අනුව, වසරේ පලමු මාස 11 තුල ඇමරිකානු ඩොලර් (ඇඩො) බිලියන 5.14 ක එදාමෙදා තුර ඉහලම අගයකට ලඟා වී ඇත. මෙම ආදායම 2021 වසරේ මෙම කාලයට සංසදානාත්මකව සියයට 12.3 ක වර්ධනයකි. තවද, මෙය කොරෝනා වසංගතයට පෙරාතු 2019 වසරේ ආදායම වූ ඇඩො බිලියන 4.84 ද ඉක්මවා යාමකි.
ලංකා ඉතිහාසයේ දරුනුතම ආර්ථික අර්බූදය හමුවේ සමාගම් ඉපැයීම් ඉහල දමා ගන්නා ලද්දේ රජයේ දැඩි ආර්ථික ප්‍රතිපත්තීන් නිසා මහජනතාවගේ පරිභෝජනය අඩු වී ඇති තතු යටතේ බව දෙසැම්බර් 20 දා ඩේලි මිරර් පුවත්පත පිලිගෙන ඇත.
මිරර් ට අනුව, “සැප්තැම්බරයේ දී සියයට 70 මට්ටමට නැගුනා වූද, ජනතාවට භාන්ඩ මිලදී ගැනීම සහ පරිභෝජනය කිරීම අපහසු කිරීමට තුඩුදුන්නාවු ද අති-උද්ධමනය පාලනය කිරීම සඳහා මේ වසරේ ආරම්භයේ සිට දැඩි මූල්‍ය හා ආදායම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලද, සමාගම් සාපේක්ෂව හානියක් නොමැතිව දුෂ්කර කාල පරිච්ඡේදය තුලින් ගමන් කල බව පෙනේ.”
සමාගම්වල ආදායම් ඉහල ගොස් ඇත්තේ අති-උද්ධමනය යටතේ, ආන්ඩුව විසින් අනුගමනය කරන ලද දෘඩතර මූල්‍ය ප්‍රතිපත්තීන් තිබියදී මෙන්ම මහජනතාව විසින් භාන්ඩ මිලදී ගැනීම අඩු වී ඇති තතු යටතේය.
තවද මිරර් වාර්තාව සඳහන් කරන්නේ “මෙම වසරේ ව්‍යාපාරික [භාන්ඩවල] පරිමාවන් තියුනු ලෙස පහත වැටුනද,”... “මෙම සමාගම් තම [ලාභයන්හි] සීමාවන් ආරක්ෂා කර ගැනීම සඳහා අය කරන ලද [භාන්ඩවල] ඉහල මිල ගනන්” හේතුවෙන් ආදායම් වැඩිකරගෙන ඇති බවයි.
මෙහි සැබෑ අර්ථය වන්නේ රටේ දරුනුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ, කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ වියදමින්, ඔවුන් දරිද්‍රතාවයට හා කුසගින්නට තල්ලු කරමින් සුපිරි ලාභ ගසාකෑමට මහා ව්‍යාපාරයන්ට හැකි වී ඇති බවයි. මෙම ඇතැම් සමාගම්වල ශුද්ධ ලාභ පිලිබඳව නිශ්චිත තොරතුරු වාර්තා වී නැත. මිල ගනන් අහස උසට නගිද්දී කම්කරුවන්ට හා දුගීන්ට අවශ්‍ය පරිභෝජන භාන්ඩ කපා දමමින් අත්‍යවශ්‍යම දෑ මිලදී ගැනීමට බලකෙරී ඇත.
ශ්‍රී ලංකාව පිලිබඳව ලෝක ආහාර වැඩසටහන (ඩබ්ලිව්එෆ්පී) විසින් 2022 නොවැම්බරයේ නිකුත් කෙරුනු වාර්තාවේ, අධි උද්ධමනය, විශේෂයෙන් ආහාර උද්ධමනය මධ්‍යයේ ජනතාව මුහුන දෙන බිහිසුනු තත්වයන්, එනම්, කුසගින්න, මන්දපෝෂනය, මිනිසුන්ගේ ක්‍රය ශක්තියේ අඩුවීම පිලිබඳව අනතුරු අඟවා ඇත.
මේ වාර්තාවට අනුව ජනගහනයෙන් සියයට 30කට වැඩි ප්‍රමානයක් හෝ මිලියන 6කට වැඩි ජනතාවක් “ආහාර අනාරක්ෂිත තත්වයක පසුවන අතර ඔවුනට මානුෂීය ආධාර අවශ්‍ය වේ.” වසංගතය හේතුවෙන් මිලියන භාගයක ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහලට වැටී ඇති බවට ලෝක බැංකුව ඉදිරි පත්කරන ඇස්තමේන්තුව ගැන සඳහන් කරමින් එය අනතුරු අඟවා ඇත්තේ 'ආර්ථික අර්බුදය නිසා බොහෝ පවුල් සාගින්නට සහ දරිද්‍රතාවයට තල්ලු කරනු ඇත,” යනුවෙනි. පවුල්වලින් සියයට 86ක් ලාභදායක, අඩු පෝෂ්‍යදායී ආහාර මිලට ගනිමින්ද, අඩුවෙන් ආහාර ගනිමින්ද, සමහර අවස්ථාවලදී ආහාර ගැනීම සම්පූර්නයෙන්ම අත්හැර දමමින්ද ජීවත් වෙති' යනුවෙන් ද එය වාර්තා කරයි.
ඩබ්ලිව්එෆ්පී විසින් නිකුත් කෙරුනු වාර්තාවලට අනුව නාගරික දුප්පතුන්ගේ ආහාර අනාරක්ෂිතභාවය සියයට 34 ක්, ග්‍රාමීය ජනතාවගේ සියයට 36 ක් සහ වතු කම්කරුවන්ගේ සියයට 43 ක් වේ.
කොලඹ පාරිභෝගික මිල දර්ශකය උපුටා දක්වමින් ඩබ්ලිව්එෆ්පී නොවැම්බර් වාර්තාව සඳහන් කර ඇත්තේ, වසරින් වසර සටහන් කෙරෙන ආහාර උද්ධමනය ඔක්තෝබර් මාසයේදී සියයට 85.6 සිට නොවැම්බර් මාසයේදී සියයට 73.7 දක්වා අඩු වී ඇති බවත්, ආහාර නොවන භාන්ඩවල මිල උද්ධමනය ඔක්තෝබර් මාසයේ සියයට 56.3 සිට නොවැම්බර් මාසයේ සියයට 54.5 දක්වා අඩු වී ඇති බවත් ය. උද්ධමන වේගය අඩුවුව ද භාන්ඩ මිල ඉහලයාම අඛන්ඩව සිදුවේ.
කොරෝනා වසංගතයට සහ වත්මන් අර්බුදයට පෙර පවා මන්දපෝෂනය, “අනෙකුත් බොහෝ මධ්‍යම ආදායම් ලබන රටවලට වඩා” කාන්තාවන් සහ ලමුන් කෙරෙහි බලපා ඇති ආකාරය පිලිබඳව ඩබ්ලිව්එෆ්පී නොවැම්බර් වාර්තාව හෙලිදරව් කර ඇත. තවද එය අනතුරු ඇඟවූයේ, 'වත්මන් ආර්ථික අර්බුදය මෙය තවත් උග්‍ර කරනු ඇත,' යනුවෙනි. ආර්ථික අර්බුදයට සහ වසංගතයට පෙර පවා වයස අවුරුදු 5 ට අඩු ලමයින්ගෙන් සියයට 17 ක් මිටිභාවයටද, සියයට 15ක් ඔවුන්ගේ ශරීරයේ උසට වඩා සිහින් තත්වයකටද පත් වී ඇති බව සටහන් කර ඇත.
කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ බර කම්කරුවන් සහ දුගීන් මත පටවමින් සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ඒකාධිපති පියවරයන්ට මාරුවෙමින් තව තවත් මහා ව්‍යාපාරිකයින්ට ලාභ මිරිකා ගැනීමේ ප්‍රතිපත්ති නිර්මානය කරමින් සිටී.
වික්‍රමසිංහ ආන්ඩුවේ ආශිර්වාදය මත, නාමික වන්දි පවා නොගෙවමින් කම්කරුවන් රැකියාවෙන් නෙරපා හැරීමට, වැටුප් කප්පාදු කිරීමට, වැඩ බර වැඩි කිරීමට සහ සේවා කොන්දේසි කප්පාදු කිරීමට ව්‍යා පාරික හිමිකරුවන්ට අවසර දෙන ලදී.
අධි උද්ධමනය නිසා සියලු කම්කරුවන්ගේ වැටුප්වල අගය දැනට ම අඩකට සමාන මට්ටමකින් වාෂ්ප වී ඇත. ජීවිතය ගැටගසා ගැනීමට අරගල කරන කම්කරුවකුට රජය විසින් නිර්දේෂිත මූලික මාසික අවම වැටුප රුපියල් 16,500 ක් වේ. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කාබනික නිෂ්පාදනය බවට පරිවර්තනය කිරීමේ මුවාවෙන් රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක තහනම් කරමින් ආනයන වියදම් අඩු කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ගත් තීරනයත් සමඟ මිලියන සංඛ්‍යාත ගොවීන් දැඩි පීඩාවට පත්වූහ.
ආන්ඩුව විසින් දැන් ක්‍රියාවට දැමෙන රුදුරු කප්පාදු වැඩපිලිවෙල නිසා කම්කරුවන්ද, ගොවීන් ඇතුලු සෙසු දුගීන්ද දැනටමත් මුහුන දී ඇති නොඉවසිය හැකි සමාජ ආර්ථීක කොන්දේසි තවත් උත්සන්න වීමට නියමිත ය.