ඉදිරිදර්ශන

ලෝක ආර්ථික සංසදයේ ගෝලීය අවදානම් වාර්තාව: ධනේශ්වර අර්බුදයේ විනාශකාරීත්වය පිලිබඳ චිත්‍රනයක්

[මෙය World Economic Forum’s global risk report: A devastating picture of the capitalist crisis මැයෙන් 2023 ජනවාරි 18 පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

වසර ගනනාවක් පුරාවට පාලක පන්තීන්ගේ දෘෂ්ටිවාදීන්, නිරන්තරයෙන් මාක්ස්වාදීන්ට, අතිශෝක්තියෙන් දැක්වීම මෙන්ම “ව්‍යසනවාදී වීම” සම්බන්ධයෙන් පවා චෝදනා කලේ, ශිෂ්ඨාචාරයේ අනාගතයම අනතුරේ හෙලන ධනවාදයේ ගැඹුරු වන ප්‍රතිවිරෝධයන් ඔවුන් විසින් දිග්ගස්සමින් සිටින අතරතුරය.

එවැනි තක්සේරුකිරීම් සමග එකඟවන සහ ඒවා නිමක් නැතුව මාධ්‍ය සහ ශාස්ත්‍රාලීය ආයතන හරහා වමාරන පිරිස්, මෙම සතියේ ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික මන්ඩපයේ (ඩබ්ලිව්ඊඑෆ්) වාර්ෂික එකමුතුව වෙනුවෙන් සූදානම් කෙරුනු “2023 සඳහා වූ ගෝලීය අවදානම් වාර්තාව” පරීක්ෂා කර බැලීම වටී.

ඩබ්ලිව්ඊඑෆ් විසින් නියෝජනය කරන පාලක ප්‍රභුවේ පාලනයෙන් පරිභාහිරව, විනාශය දෙසට වේගයෙන් රූටා යන සමාජ ආර්ථික පද්ධතියක විනාශකාරී චිත්‍රයක් වාර්තාව විසින් සිතුවම් කරයි.

2020 ජනවාරි 20, සඳුදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට පෙර FILE -A පොලිස් ආරක්ෂක නිලධාරියෙක් හෝටලයක වහලය මත මුර සංචාරයේ යෙදෙමින් [AP Photo]

විධායක සාරාංශය ආරම්භ වන්නේ, මෙම දශකයේ මුල් වසරවල් “මානව ඉතිහාසයේ විශේෂයෙන් විනාශකාරී කාල පරිච්චේදයක් ” ඇඟවුම් කර ඇතැයි සඳහන් කරමින්ය.

ඊට පසුව ඇති පරිච්චේදය සම්පූර්නයෙන්ම උපුටා දැක්වීම වටී:

2023 වර්ෂය ආරම්භ වන විට ලෝකය මුලුමනින්ම නැවුම් සහ බියජනක ලෙස හුරුපුරුදු අනතුරු මාලාවකට මුහුන දෙමින් සිටී. මේ පරම්පරාවේ ව්‍යාපාරික නායකයන් සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් ගෙන් ස්වල්පයක් දෙනා පමනක් අත්විඳ ඇති, “පැරනි අනතුරු” - උද්ධමනය, ජීවන වියදම ඉහල යාම, වෙලඳ යුද්ධ, නැගී එන ආර්ථිකයන්ගෙන් ප්‍රාග්ධනය පිටතට ගලා යාම, පුලුල්ව පැතිරුනු සමාජ අසහනය, භූ දේශපාලනික අභිමුඛ වීම සහ න්‍යෂ්ටික යුද්ධයක අවතාරය - ආපසු පැමිනීම දැක ගැනීමට හැකිවී ඇත. නය වල තිරසාර නොවන මට්ටම්, මන්දගාමී වර්ධනයේ නව යුගයක්, පහල ගෝලීය ආයෝජනය, ප්‍රති-භූ ගෝලීයකරනය, දශක ගනනාවක ප්‍රගතියකට පසු මානව වර්ධනයේ පහත වැටීමක්, සීග්‍ර සහ සීමා විරහිත ද්විත්ව භාවිත (සිවිල් සහ මිලිටරි ) තාක්ෂනයන්ගේ වර්ධනය, දේශගුන විපර්යාසයන්ගේ බලපෑම් සම්බන්ධයෙන් වර්ධනය වන පීඩනය සහ 1.5C ලෝකයකට සංක්‍රමනය වීම සඳහා නිරන්තරයෙන් කුඩා වෙමින් පවතින අවකාශයක් තුල ඇති අභිලාෂයන්, ඇතුලු ගෝලීය අවදානම් වපසරිය යේ සාපේක්ෂවශයෙන් නව වර්ධනයන් විසින් මේවා තියුනු කෙරී ඇත. මේවා එකට එක්ව පැමිනීමට නියමිත පෙරනොවූ විරූ, අවිනිශ්චිත සහ ආකූල දශකයක් හැඩගස්වමින් සිටී.

වර්තමාන තත්වය පිලිබඳ මාක්ස්වාදී විශ්ලේශනය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නව වසරේ ඉදිරි දර්ශනයේ (2023: ගෝලීය ධනේශ්වර අර්බුදය සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනය වන ප්‍රහාරය) ඉදිරිපත් කෙරෙන්නේ, ක්‍රමයෙන් වර්ධනය වන ලෝක ධනවාධයේ අර්බුදය “තීරනාත්මක සන්ධිස්ථානයකට සමාන තත්වයක් කරා ලඟා වී ඇත: එනම්, ඒවා සමාජ පිපිරීමක් කරා ගමන් කිරීමට නොදී පාලනය කිරීමට ආන්ඩුවලට පවතින හැකියාව ඉක්මවා ගිය ලක්ෂ්‍යයකට අර්බුදයේ ගතිකය සම්ප්‍රාප්තවී තිබේ” යනුවෙන් සඳහන් කරමින්ය.

තමන්ට අනන්‍ය වූ ආකාරයකට, ගෝලීය අවදානම් වාර්තාවේ ඇති සියල්ල විසින් විශ්ලේෂනයේ ඇති සත්‍යවාදී බව සනාථ කරන අතර එය ඊනියා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වබ්ලිව්ඊඑෆ්එම් ලියවිල්ලට ඉතා සුලු ආවරනයක් පමනක් ලබාදීමට හෝ කොහෙත්ම අවරනයක් ලබා නොදීමට හේතු වන්නට ඇත.

නිරන්තරයෙන් නරක අතට හැරෙන ආර්ථික දැක්ම, යුක්රේනයට පමනක් සීමා නොවී වඩා පුලුල්ව පැතිරුනු භූදේශපාලනික ගැටුම් සහ ආතතීන්ගේ තීව්‍ර වීම, සෞඛ්‍ය සහ සෞඛ්‍ය සේවාවන්ගේ සීග්‍ර පිරිහීම, සහ කාලගුනික වශයෙන් සහ ජෛව විවිධත්වයේ පිරිහීම වශයෙන් ගත්කල දේශගුනික විපර්යාසයේ බලපෑම්ද ඇතුලුව ගැඹුරු වන අර්බුද මාලාවක් වාර්තාව විසින් දක්වයි.

2022 දී සිදු වූ වඩාත්ම වැදගත් හැරීගැනීම් වලින් එකක් වූයේ 2008 ගෝලීය මූල්‍ය අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ආරම්භ කරන ලද සහ කෝවිඩ්-19 වසංගතයේ ආරම්භයේ දී ඇතිවූ 2020 මාර්තු මූල්‍ය අර්බුදයෙන් පසුව දීර්ඝ කරන ලද අතිශය අඩු පොලී අනුපාත තන්ත්‍රය අවසන් කිරීමයි. වැටුප් වෙනුවෙන් කෙරෙන කම්කරු පන්තියේ ගෝලීය නැගීසිටීම මර්ධනය කිරීමට ෆෙඩරල් රිසර්ව් බැංකුව සහ අනෙකුත් ප්‍රධාන මහා බැංකු විසින් විසින් ක්‍රියාවට නංවන ලද මූල්‍ය දැඩි කිරීම්, ලෝක ආර්ථිකය අවපාතයක් දක්වා ගෙනයමින් සිටී.

නමුත් ඩබ්ලිව්ඊඑෆ් වාර්තාවට අනුව:

ඇතැම් ආර්ථිකයන් බලාපොරොත්තු වුවාට වඩා ආර්ථික වර්ධනයේ මන්දගාමීත්වයක් අත්වින්ඳද, පහල පොලී අනුපාතිකයන්ගේ යුගයේ අවසානය ආන්ඩුවලට, ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට අර්ථභාරී ප්‍රථිපලයන් අත්කර දෙනු ඇත. වඩා නිවැරදිව ගතහොත්, වක්‍ර බලපෑම සමාජයේ වඩාත්ම දුර්වල කොටස්වලට සහ දැනටමත් බිඳෙන සුලු තත්වයේ පවතින රාජ්‍යන්ට අත්විඳීමට සිදුවනු ඇත්තේ ඉහල නගින දරිද්‍රතාවය, බඩගින්න, දරුනු උද්ඝෝෂන, දේශපාලන අස්ථාවරත්වය සහ ඇතැම්විට රාජ්‍ය බිඳ වැටීමටද දායකත්වය සපයමින්ය. තමන්ගේ රටවැසියන් විශාල ප්‍රමානයක් උද්ධනමය කා නොවද්දමින් දිග්ගැස්සුනු ජීවන වියදම් අර්බුදයෙන් බේරා ගැනීම -සහ ආර්ථික පිරිහීමක්, නව බලශක්ති පද්ධති කරා වඩ වඩාත් හදිසි සංක්‍රමනය වීමක් සහ අඩු ස්ථාවරත්වයක් සහිත භූ දේශපාලනික වටපිටාවක් නිසා ආදායම පිඩනයට ලක්වන වට පිටාවක් තුල නය සහ සේවා වියදම් සපුරාගැනීම , අතර භයානක තුලනය කිරීමකට මුහුන දීමට ආන්ඩුවලට දිගින් දිගටම සිදුවනු ඇත.

ආර්ථික පීඩනය මැදි ආදායම් ලබන කන්ඩායම මත කඩා වැටීමත් සමග, සමාජ අසහනය සහ දේශපාලන අස්ථාවරත්වය සංවර්ධනය වෙමින් පවතින රටවලට පමනක් සීමා නොවනු ඇතැයි වාර්තාව අනතුරු අඟවයි:

මානව සංවර්ධනයට සිදුවන හානි කෙරෙහි සහ සමාජ ප්‍රගමනයේ සිදුවන පරිහානිය කෙරෙහි වර්ධනය වන පුරවැසි ඉච්ඡාභංගත්වය, වටිනාකම් සහ සමානාත්මතාව අතර පුලුල් වෙමින් පවතින පරතරය සමග එකට එක්ව ලෝකයපුරා පවතින දේපාලන පද්ධතීන්ට පැවැත්ම පිලිබඳ අභියෝගයන් මතු කරමින් සිටී.

ගෝලීය ආර්ථිකය මන්දගාමී වීම සහ ලෝකයේ බොහෝ ප්‍රදේශ වල ආර්ථික අවපාතයක් වර්ධනය වීම භූ දේශපාලනික ආතතීන් සහ ගැටුම් ඉහල නංවනු ඇත:

ගෝලීය බලයන් අතර වඩ වඩාත් වර්ධනය වන ගැටුම් සහ ඊලඟ වසර දෙක පුරාවට වෙලඳ පොලට සිදු වෙන රාජ්‍ය මැදිහත්වීමත් සමග ආර්ථික යුද්ධය සාමාන්‍යයක් බවට පත් වෙමින් පවතී.

ආර්ථික පිලිවෙත් ආරක්ෂකවාදී ලෙස යොදා ගැනීම වෙනුවට “අනෙකුත් අයගේ නැගීම සීමා කිරීම සඳහා වඩ වඩාත් ප්‍රහාරත්මකව යොදා ගැනෙනු ඇත.”

එජ සහ අනෙකුත් අයගේ දල ජාතික නිෂ්පාදිතයෙන් කොටසක් ලෙස මිලිටරි වියදම් වැඩිකිරීම සම්බන්ධයෙන් වාර්තාව අවධානය යොමු කරන අතර ජපානය එහි මිලිටරි වියදම් දෙගුන කිරීමට ගෙන ඇති තීරනය සම්බන්ධයෙන්ද සඳහන් කරයි:

විශේෂයෙන්ම පරීක්ෂන සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පුලුල්ව පැතිරුනු ආරක්ෂක වියදම්, අනාරක්ෂිතභාවය ගැඹුරු කල හැකි අතර ගෝලීය සහ කලාපීය බලවතුන් අතර වඩා ඉහල මට්ටමේ අවි ආයුධ කෙරෙහි තරඟයකට අනුබල දිය හැකිය.

මේ සමගම ආරක්ෂාව, වෙලඳාම, නව නිපැයුම් සහ ආයෝජනය හරහා රටවල් එකට බැඳ තබන රටවල් කාන්ඩ වල නැගීම සිදුවිය හැක.

වාර්තාව සඳහන් නොකලත් මෙම තක්සේරුව, “නිදහස් වෙලඳ පලෙහි ” මෙහෙයුම් හරහා නිෂ්පාදනයේ සහ මූල්‍යයේ භූගෝලීය කරනය සාමය හා සමෘධිය කරා මෙහෙයවනු ඇත යන ලෝක ආර්ථික සංසදයේ කලින් සිදු කරන ලද ප්‍රකාශය මුලුමනින්ම විනාශ කොට දමයි.

එවැනි ඓන්ද්‍රීය සාමකාමී වර්ධනයක් විය නොහැක්කක් වන්නේ ගෝලීය ආර්ථිකය සහ ධනවාදය මුල් බැසගෙන ඇති ජාතික ආර්ථික පද්ධතිය අතර ඇති ප්‍රතිවිරෝධය විසින් ලෝකය තියුනු ලෙස බෙදන නිසාය යන, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් අවධාරනය කරන ලද කරුන, සෝවියට් සමූහ ආන්ඩුව විසුරුවා හැරීමත් සමග දියුනු වූ එම විශ්ලේශනය විසින් නොසලකා හැරියේය.

සාක්ෂිවලට ප්‍රතිපක්ෂව, පෙනෙන ආකාරයට කොවිඩ් වසංගතය අවසන්ය යන මතය පිලිගනිමින්, වසංගතයේ ප්‍රමානය පිලිබඳ කුඩා විශ්ලේෂනයක් ඩබ්ලිව්ඊඑෆ් වාර්තාවේ අන්තර්ගත වේ. නමුත් එය සෞඛ්‍ය සේවාවේ අර්බුදය කෙරෙහි සහ සෞඛ්‍ය සේවා පද්ධති “තියුනු වන මූල්‍ය පීඩනයට” මුහුන දෙමින් සිටින තත්වයක් යටතේ තවත් වසංගත ඇතිවීමේ අනතුර කෙරෙහි අවදානම යොමු කරයි.

එය මෙසේ පවසයි:

කෝවිඩ්-19 සිරස්තලවලින් ඉවත්ව යන විට, අනාගත වසංගත සහ අනෙකුත් ගෝලීය සෞඛ්‍ය තර්ජන සඳහා සූදානම් වීමේදී උදාසීන භාවයක් ඇති වන බව පෙනේ. මූල්‍ය ඒකාග්‍රතාය විසින් අවධානය සහ සම්පත් වෙනත් තැනකට හරවා යැවීමේ අවදානමක් ඇති මොහොතක සෞඛ්‍ය සේවා පද්ධති විසින් කම්කරුවන් දැඩි විඩාවට පත්වීමට සහ අඛන්ඩ හිඟයන්ට මුහුන දෙයි. ඉදිරි දශකය තුල, නිදන්ගත රෝගද පවතින පසුබිමක් මධ්‍යයේ නිතර නිතර හා පුලුල්ව පැතිර යන බෝවන රෝග පැතිරයාම්, ලොව පුරා අඩපන වූ සෞඛ්‍ය සේවා පද්ධති අසාර්ථක වීමේ අද්දරට තල්ලු කිරීමේ අවදානමක් ඇත.

දේශගුනික විපර්යාසවල බලපෑම් සහ පරිසර පද්ධතිවල විසංයෝජනය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ද අඛන්ඩව ඉහල යනු ඇත්තේ, සාර්ස් සහ කොවිඩ්-19 මෙන් සත්වයන්ගෙන් ආරම්භ වී මනුෂ්‍යයන්ට වෙත හුවමාරු වන රෝග වැඩි වීමට තුඩු දෙමින්ය.

මානව ප්‍රගතියේ වෛෂයික මිනුමක් වන්නේ ආයු අපේක්ෂාව වැඩි වීමයි. අද, දෙවන ලෝක යුද්ධයෙන් පසු පලමු වතාවට එය පිරිහීමට පටන් ගෙන තිබේ. වාර්තාවට අනුව: “මිනිසුන් වඩා වැඩි වසර ගනනක් අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර ඉතාම ඉක්මනින් වසංගතයේ බලපෑමට එහා ගිය වඩා තිරසාර ආයු අපේක්ෂාවේ ආපසු හැරීමකට අපි මුහුන දිය හැකිය. ”

දේශගුනික විපර්යාස සම්බන්ධ ප්‍රශ්නය ගත කල, ගෝලීය උනුසුම සෙල්සියස් අංශක 1.5 ට අඩුවෙන් තබා ගැනීමේ අපේක්ෂාව වියැකී යාමත් සමග, දේශගුන සහ පාරසරික ප්‍රශ්න ඊලඟ දශකය තුල ප්‍රධාන ප්‍රභවයක් වන අතරම ඒවා අපි අවම වශයෙන් සූදානම් වී සිටී යැයි පෙනෙන අවදානම්ද වේ.

එය මෙසේද සඳහන් කරයි:

දේශගුනික ඉලක්ක පිලිබඳ ගැඹුරු, සාමූහික ප්‍රගතියක් නොමැතිකම, ශුද්ධ ශුන්‍යය සාක්ෂාත් කර ගැනීම සඳහා විද්‍යාත්මකව අවශ්‍ය දේ සහ දේශපාලනිකව කල හැකි දේ අතර ඇති අපසරනය හෙලිදරව් කර ඇත.

කෙසේ වෙතත්, ඩබ්ලිව්ඊඑෆ් මග හැරීමට තෝරා ගන්නා කොවිඩ් තුරන් කිරීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ද එම කරුනම ඉදිරිපත් කල හැකිය. එය ලොව පුරා ආන්ඩු විසින් අනුගමනය කරනු ලබන මහා පරිමාන ආසාදන පිලිවෙත පිලිබඳ පැහැදිලි කිරීමකට පවා නොපැමිනෙන්නේ එහි අර්ථය වන්නේ, ගෝලීය ආර්ථිකය පදනම් වූ සහ පුද්ගලික ලාභයේ අවශ්‍යතාව සමග ගැටෙන තැනදී විද්‍යාව යොදාගැනීම නොහැකි කරවන ධනපති දේපල සබඳතාවන් යන 'ශුද්ධස්ථානය' ස්පර්ශ කිරීම නිසාය.

තත්වය සාරාංශ ගත කරමින් වාර්තාව පවසන්නේ වර්තමාන සහ අනාගත අවදානම්
'බහු අර්බුද' එනම් සමස්ත බලපෑම එක් එක් කොටසෙහි එකතුව ඉක්මවන සංයෝජන බලපෑම් සහිත එකිනෙකට සම්බන්ධ ගෝලීය අවදානම් සමූහයක් සෑදීම සඳහා එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන බවයි.

නැතිනම් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අලුත් අවුරුදු ඉදිරිදර්ශනය පැහැදිලි කරන පරිදි, ධනවාදයේ අර්බුදය “තීරනාත්මක සන්ධිස්ථානයකට” ලඟා වී තිබේ. ධනේශ්වර ආන්ඩුවල ක්‍රියා වඩ වඩාත් අතාර්කික වන අතර අර්බුදය සමනය කරනවා වෙනුවට එය තීව්‍ර කරයි යන තීරනාත්මක කරුනද එම ඉදිරි දර්ශනය ඉදිරිපත් කරයි.

ඩබ්ලිව්ඊඑෆ් වාර්තාවේ සමාප්තියේ දී ද එම කරුනම වෙනත් ආකාරයකින් දක්වා ඇත:

ඵලදායි ප්‍රතිචාරයක අවශ්‍යතාවය අවම කිරීමකින් තොරව, වර්තමාන අභියෝගවලට ප්‍රමුඛත්වය දීම, අනාගත අවදානම් සඳහා සූදානම් වීම සඳහා යොමු කරනවා වෙනුවට, අර්බුද කලමනාකරනය මගින් සම්පත් අවශෝෂනය කර ගන්නා අඛන්ඩ ගෝලීය කම්පනවල විනාශකාරී-චක්‍රයක් බවට ඉක්මනින් පිරිහී යා හැකිය. කෙටි කාලීනව තීරන ගැනීමෙන් සංකීර්න අභියෝග විසඳිය නොහැක - කෙසේවෙතත් දැනට දිග හැරෙමින් පවතින අර්බුද හමුවේ දිගුකාලීන චින්තනය පමනක් ප්‍රමානවත් නොවේ.

මතකයට නැගෙන රූපය වන්නේ මුළු ව්‍යුහයම ගංවතුරට ගසාගෙන යන විට වේල්ලේ සිදුරකට ඇඟිල්ලක් ඔබාගෙන සිටින පිරිමි දරුවායි.

ගැඹුරු වන අර්බුදයට පාලක පන්තීන්ට යම් ප්‍රගතිශීලී විසඳුමක් ඇතැයි යන මිත්‍යාව යටතේ තවමත් වැඩ කරන ඕනෑම අයෙක් අවසාන ඡේදය කියවිය යුතුය.

එහි අපට පහත සඳහන් දේ දැක ගත හැකිය:

සංකීර්න අවදානම් ඉදිරි දැක්මක් තුල ජාතික සූදානම සහ ගෝලීය සහයෝගීතාව අතර වඩා හොඳ සමතුලිතතාවයක් තිබිය යුතුය.කඩා වැටෙන අර්බුදවලින් මිදීමට මාර්ගයක් හැඩගස්වා ගැනීමට සහ එය කුමන ස්වරූපයක් ගත්තද ඊලඟ ගෝලීය කම්පනය සඳහා සාමූහික සූදානම ගොඩනඟා ගැනීමට, අපි එක්ව ක්‍රියා කළ යුතුය. නායකයින් සංකීර්නත්වය වැලඳ ගත යුතු අතර ශක්තිමත්, සමෘද්ධිමත් හවුල් අනාගතයක් නිර්මානය කිරීම සඳහා සමබර දැක්මක් මත ක්‍රියා කල යුතුය.

වෙනත් වචන වලින් කිවහොත්, පාලක ප්‍රභූව, අන් සියල්ලට,මත වඩා සාමුහික වත්කම ඩොලර් ට්‍රිලියන ගනනක් වන, දශක ගනනාවක් පුරා සිය ක්‍රියාකාරීත්වය මානව වර්ගයා පැවැත්ම පිලිබඳ අර්බුදයකට තුඩු දී ඇති ඩාවෝස් හී රැස්ව සිටින කතිපයධීකාරීත්වය කෙසේ හෝ ක්ෂනිකයකින් වෙනස් වී මේ මහා විනාශයෙන් එලියට යන ගමනට නායකත්වය දිය යුතුය.

ඇත්ත වශයෙන්ම, ගැඹුරු වන ව්‍යසනය නැවැත්වීමට ඔවුන්ට පිලිවෙත් නොමැති අතර ඔවුන්ට කිසිදු පිලිවෙතක් වර්ධනය කලද නොහැක, මන්ද, අවසාන විග්‍රහයේ දී එය මුල් බැස ඇත්තේ ඔවුන්ගේ මනස තුල නොව, ඔවුන් සියල්ලට ඉහලින් ආරක්ෂා කරන ධනේශ්වර නිෂ්පාදන මාදිලියේ වෛෂයික ප්‍රතිවිරෝධතා තුල බැවිනි.

ධනේශ්වර පාලක පන්තීන් සහ ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් මානව ප්‍රගතියට ඇති ප්‍රධාන බාධාවන් වේ. ඔවුනට වැඩපිලිවෙලක් නොමැති බව එයින් අදහස් නොකෙරේ. ඔවුනට වැඩපිලිවෙලක් ඇත. එනම් ඔවුන්ගේ පද්ධතියේ අර්බුදයේ සම්පූර්න බර කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ පිට මත පැටවීමයි.

ඉතිහාසය විසින් ඔවුන්ව හෙලා දකින නමුත්, ඔවුන් අතිවිශාල සම්පත් සහ සියවස් ගනනාවක ප්‍රතිවිප්ලවවාදී දේශපාලන අත්දැකීම් සහිත තවමත් ජීවමාන සමාජ බලවේගයකි. ඉදිරිය සඳහා මාවත වැටී ඇත්තේ මාර්ගය වෙනස් කරන ලෙස ඔවුන්ට කරන ආයාචනා තුල නොව ඔවුන්ව ඉවත් කිරීම සඳහා ඊටත් වඩා ශක්තිමත් සමාජ බලවේගයක - කම්කරු පන්තියේ- බලය කැඳවුම් කිරීම තුලය.

එහෙත් එම දැවැන්ත බලය විභවයක සිට යථාර්ථයට පරිවර්තනය වීමට නම් කම්කරු පන්තිය, පැහැදිලිව සකස් කරන ලද, අද වන විට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පමනක් නියෝජනය කරන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ශතවර්ෂයක් පුරා නොනවතින දේශපාලන හා න්‍යායික අරගලයක ගමන් මග තුල උකහා ගන්නා ලද ඓතිහාසිකව වර්ධනය කෙරුනු වැඩසටහන සහ මූලෝපායික පාඩම් මත පදනම් වූ වැඩසටහනකින් සන්නද්ධ විය යුතුය.

නිගමනය ඉතා සරල එකකි. ලෝසවෙඅ යේ නව වසරේ ඉදිරිදර්ශනය ගෙනහැර දක්වා ඇති පරිදි, මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය රඳා පවතින්නේ සමාජවාදයේ ජයග්‍රහනය මත වන අතර, මෙම අත්‍යවශ්‍ය අරමුන සාක්ෂාත් කර ගැනීම රඳා පවතින්නේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක ගොඩ නැගීම මත ය.