ඖෂධ විෂවී සිදුවන මරන සංඛ්‍යාව ඉහල යාම මහජන සෞඛ්‍ය පද්ධතියේ ආන්තික පරිහානියේ පිලිබිඹුවක්

ඖෂධ ආසාත්මිකතාව (විෂවීම) හේතුවෙන් ලංකාව තුල මෑතදී පැනනැගි මරන රැල්ල ඉදිරියට යමින්, එවන් මරන බවට සැක කලහැකි සිද්ධීන් දිවයිනේ විවිධ පලාත් වලින් නිරන්තරව වාර්තා වෙමින් පවතී. ජූලි 16 සෙනසුරාදා, හෙට්ටිපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පෙන්ටවලන්ට් (Pentavalent) එන්නත ලබා දීමෙන් අනතුරුව, එදින රාත්‍රියේදී ඇතිවූ සාංකූලතාවයන් හේතුවෙන් කුලියාපිටිය රෝහලට ඇතුලත් කල සිව් මස් බිලිඳියක් මිය යාම මෙහි ආසන්නතම සිදුවීමයි.

සෞඛ්‍ය සේවකයින්ගේ 2022 ජූලි 7 වන දින කොලඹදී පැවති විරෝධතා පාගමනක කොටසක් [ඡායාරූපය: WSWS]

ජූලි 11 වනදා පේරාදෙනිය ශික්ෂන රෝහලට ඇතුලත් කල විසිඑක් හැවිරිදි තරුනියක්, සෙෆ්ට්‍රිඇක්සෝන් (Ceftriaxone) නමැති ප්‍රතිජීවක එන්නතක් ලබා දීමෙන් පසුව මරනයට පත් වූවාය. මහනුවර රෝහලේ රෝගීන් දෙදෙනෙකුට එම ඖෂධයෙන්ම අසාත්මිකතා ඇති විය. මෙවන් මරන සහ ආසාත්මිකතාවයන් පහලොවකට වැඩි සංඛ්‍යාවක් මීට පෙර කොලඹ, රාගම, නුවරඑලිය, කිලිනොච්චි සහ පානදුර රෝහල් වලින් වාර්තා විය.

ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීහු මෙම තත්වය සාමාන්‍යකරනය කිරීමට ආරම්භයේ සිටම උත්සාහ කලහ. ඒ අනුව, නිර්වින්දන එන්නතක් භාවිතයෙන් ජූලි 5 වනදා ජාතික අක්ෂි රෝහලේ සිදුවූ මරනය හෘදයාබාධයක් නිසා සිදුවූ බවට මරන පරීක්ෂනයෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුනවර්ධන වහාම ප්‍රකාශ කලේය.

වෛද්‍ය විශේෂඥයන්ට අනුව මෙම සැක සහිත මරන වලට හේතූන් නිර්නය කිරීම හුදු සරල මරන පරීක්ෂනයකින් කල නොහැකිවන අතර ඊට පටකවේදී සහ ක්ෂුද්‍ර ජීවී පරීක්ෂන වැනි සංකීර්න පරීක්ෂන අත්‍යවශ්‍යය. එවන් පරීක්ෂන මගින් ඖෂධ වල ප්‍රමිතීන් පිලිබඳ ප්‍රශ්නය එලිමහනට පැමිනෙන බැවින් ආන්ඩුව එවන් පරීක්ෂන මගහරිමින් සිටී.

ඖෂධ ආසාත්මිකතාව හේතුවෙන් සිදුවන මරන සම්බන්ධයෙන් ආන්ඩුව මුලුමනින්ම වගකිව යුතුය. කෝවිඩ්-19 වසංගතයත් සමග ගැඹුරු වූ ආර්ථික අර්බුදය හමුවේ, ගෝඨාභය රාජපක්ෂගේ සහ රනිල් වික්‍රමසිංහගේ ආන්ඩු ආනයන වියදම් දැඩිලෙස කපා දැමීම හේතුවෙන් ප්‍රමිතියෙන් සහ මිලෙන් අඩු ඖෂධ ගෙන්වීම මෙම මරන වලට මූලිකම හේතුව යි.

ප්‍රමිතියෙන් බාල බවට සහ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ලැබුනු පැමිනිලි හේතුවෙන් ජනවාරි මාසයේ සිට මේ දක්වා ඖෂධ සහ ශල්‍ය උපකරන වර්ග 64 ක් භාවිතයෙන් ඉවත් කොට ඇති බව, ජූලි 17 දා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයමත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඊට දැඩි සත්කාර ඒකක සඳහා පවා අවශ්‍ය වන අක්ෂි කාච, සේලයින් කැනයුලා, ඇස්ප්‍රීන්, බෙතඩීන්, කෝ-ඇමොක්සික්ලව්, ඩෝබියුටමින් මෙට්‍රනයිඩසොල්, පිපරසිලින්, සේලයින්, කැනයුලා ඇතුලු ඖෂධ හා ශල්‍ය උපකරන අයත් වේ.

වැඩුනු මහජන විරෝධය හමුවේ සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල, එදිනම, 'සිද්ධීන් ගැන සොයා බැලීමට' හත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කලේය. ධනපති ආන්ඩු පත් කරන අනෙකුත් කමිටු මෙන්ම, මෙම කමිටුව ද මහජන විරෝධය අපසරනය කිරීමේ ඇස්බැන්දුමක් පමනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙවැනිම ව්‍යාජ ව්‍යායාමයක යෙදී ගත්තේය. ජූලි 14 දා සොඛ්‍ය අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් කැඳවූ ඔහු, බාල ප්‍රමිතියෙන් යුත් ඖෂධ සම්බන්ධ වගකීම ඔවුනට පවරා තමා ඇතුලු ආන්ඩුවේ අත සෝදාගනුවස්, මෙසේ ප්‍රශ්න කලේය: 'ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ හෝ එක්සත් රාජධානියේ ආහාර සහ ඖෂධ අධිකාරියෙන් (එෆ්ඩීඒ) නොවිමසන්නේ මන්ද?'. ජාතික ඖෂධ නියාමන අධිකාරිය (එන්එම්ආර්ඒ) හරහා නොගොස් ඔබට 'ඝෘජුවම ඖෂධ ඇනවුම් කලහැකිදැ' යි ඔහු තවත් ප්‍රශ්නයක් නැගීය.

වික්‍රමසිංහ මෙම ප්‍රශ්න නගනුයේ, ඔහුගේ ආන්ඩුව ද ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු විසින් ඖෂධ නියාමන අධිකාරිය මුලුමනින් අඩපන කොට ඇති තත්වයකයි. එහි තත්ව නියාමනයට සේවකයින් 60 දෙනෙක් අවශ්‍ය නමුත් එහි සේවයේ නිරත වන්නේ 10 දෙනෙකි. 70 දෙනෙක් අවශ්‍ය ලියාපදිංචි කිරීම් සඳහා සිටින්නේ 30ක සේවක සංඛ්‍යාවකි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජූලි 1 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ, ප්‍රමිතියෙන් අඩු ඖෂධ වලට නිසි පරීක්ෂනයකින් තොරව රිංගා යෑමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙනුවස් අධිකාරිය මෙලෙස හිතාමතා අඩපනකොට ඇති බවයි.

බෝවන රෝග පිලිබඳ ජාතික ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අද දෙරන වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඉදිරිපත්කල කරුනු වලින් මෙය තවදුරටත් සනාථ වේ. වෛද්‍ය විශේෂඥ කමිටුව අනුමත නොකරන සහ ලියාපදිංචි නොකල ඖෂධ, “ඖෂධ නියාමන අධිකාරයේ අධ්‍යක්ෂ මන්ඩලය' විසින් ආනයනය කරන බව ඔහු එහිදී පැවසීය. ඒ පිලිබඳව අධිකාරියේ සභාපතිවරයාගෙන් විමසූ විට, සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ ගෙන්වීමට තීරනය කොට තිබේනම් අධිකාරියට ඒ සඳහා අනුමැතිය දීමට සිදුවනබව ඔහු පැවසුවේයැයි විජේවික්‍රම සඳහන් කලේය.

ලංකාවේද ප්‍රකාශයට පත්ව ඇති ඖෂධ ආසාත්මිකතාව ඉහලයාම ජාත්‍යන්තර ප්‍රපංචයකි. ඉන්දියාවෙන් එක්සත් ජනපදයට ගෙන්වන ලද අක්ෂි ශෝධන දියර විශේෂයක් බැක්ටීරියා ආසාදනයට හේතුවී ඇති බවට සැක පහල කෙරෙන උත්සුකයන්, එරට රෝග පාලන සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය (සීඩීසී) සහ එෆ්ඩීඒ විසින් පලකොට ඇත. ඉන්දියාවේ චෙන්නායි පාදක කොටගත් ග්ලෝබල් ෆාර්මා හෙල්ත්කෙයාර් නම් සංගතයේ නිෂ්පාදනයක් වන එස්‍රිකෙයා (EzriCare) අක්ෂි දියරය දූෂිත බවට පල වූ වාර්තාවක්ගෙන් පසු, එම දියර කුප්පි 50,000 ක් ආපසු ගෙන්වා ගැනීමට සංගතයට සිදුව අති බව එෆ්ඩීඒ ප්‍රකාශ කලේ යැයි, ද හින්දු වෙබ් අඩවිය වාර්තා කලේය.

රෝහල්තුල පවත්නා ඖෂධ හිඟය ගැන ඉහත සාකච්ඡාවේදී කතාකල ජනාධිපති වික්‍රමසිංහ, එක් එක් රෝහල තුල පවත්නා ඖෂධ තොගයන් පිලිබඳ තොරතුරු නිතිපතා යාවත්කාලීන කෙරෙන 'ජාලීය පද්ධතියක්' තිබේනම් මෙම හිඟය මග හරවාගත හැකි බව පැවසීය. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ හෝ රජයේ රෝහල් තුල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 160 ක තොග 'ශුන්‍ය' වන තතු තුල, ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කොට ඖෂධ තොග වහා ගෙන්වීමෙන් තොරව, එවන් 'ජාලීය පද්ධතියක්' ස්ථාපිත කිරීමෙන් හිඟය මග හරවාගත හැකිවෙතැයි යන්න අභූතයකි. එම ඖෂධ 160 ද ඇතුලත් ඖෂධ වර්ග 300 ක පමන හිඟයක් රෝහල් තුල පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය දා අනාවරනය කලේය.

ඖෂධ විෂවීමෙන් සිදුවන මරන සම්බන්ධයෙන් ආන්ඩුවේ නරුම නොතැකීම ප්‍රකාශයට පත් කරමින් ඇමති රඹුක්වැල්ල 18 දා පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය: “ඉස්පිරිතාලයට යනවා නම් ලක්ෂයක් ඒ ලක්ෂයම ආපහු යහතින් එන්නෙ නැහැ. ඒ නිසාම තමයි මල් ශාලාවක් දාලා තියෙන්නෙ ඉස්පිරිතාල ඉස්සරහ. මේක තමයි යතාර්ථය.”

මෙම ජීිවිත අහිමිවීම් රඹුක්වැල්ලට හුදු ස්වභාවික මරනයන් ය. ඊට විපරීතව, ඒවා, සෞඛ්‍ය වියදම් කපා දමනුවස් නිසි ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතාවේ යෙදීමෙන් සිදු කෙරෙන මනුෂ්‍ය ඝාතනයන් ය.

ප්‍රමිතියෙන් අඩු ඖෂධ භාවිතය සහ ඉන් ජනිතව ඇති මරනීය ආසාත්මිකතා මගින් තියුනුව පිලිබිඹු කෙරෙන්නේ මහජන සෞඛ්‍ය පද්ධතියේ ආන්තික පරිහානියයි. රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය මධ්‍යස්ථාන ඖෂධ හිඟයෙන්, සේවක හිඟයෙන්, දුර්වල යටිතල පහසුකම් හේතුවෙන් කඩාවැටීමේ අද්දරට ගෙනැවිත් පවතී. අනෙක් පසින් ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යටතේ මහජන සෞඛ්‍ය සේවය පුද්ගලීකරනය කරමින් සිටී. ගෙවන වාට්ටු ඇති කිරීම එහි පලමු පියවරයි.

මෙම තතු නිර්මානය කර ඇත්තේ කෝවිඩ් වසංගතයෙන් සහ යුක්‍රේනයට එරෙහිව නැටෝ සංවිධානය ගෙන යන යුද්ධයෙන් ගැඹුරු කෙරී ඇති ලෝක ධනවාදයේ අර්බුදයෙනි. වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ලෝකය පුරා ආන්ඩු මෙම අර්බුදයේ බර මහජනතාව මත පැටවීමට කප්පාදු සහ පුද්ගලීකරන ප්‍රහාරයන් තියුනු කරමින් සිටිති.

ලංකාව සම්බන්ධයෙන් ගත් කල 2022 අය වැයෙන් ඊට පෙර වසරට සාපේක්ෂව සෞඛ්‍යය සඳහා වියදම් බිලියන හයකින් කප්පාදු කල අතර මේ වසර සඳහා වෙන්කොට ඇත්තේ බිලියන 322 සොච්චමකි. ආන්ඩුව මහජන සෞඛ්‍ය සේවය කප්පාදු කරමින් එය වල දැමීමට කටයුතු කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලට වඩවඩාත් විනිවිදීමට මහා සංගත වලට ඉඩ සලසනු පිනිසය. දැනටමත් ඖෂධ ක්ෂේත්‍රය තුල නිර්මානය කර ඇති ව්‍යසනකාරී කොන්දේසි එහි ප්‍රතිවිපාකයන් ය.

ගෝලීය ධනේශ්වර අර්බුදය හමුවේ ලොවපුරා කම්කරු-පීඩිත මහජනතාව මිලියන සංඛ්‍යාතව දරිද්‍රතාවයට ඇද වැටෙද්දී, ලොවපුරා ලාභ පීරා යන සංගත වලට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩොලර් බිලියන ගනනින් ලාභ උපයා දෙන අංශයකි. පසුගිය වසරේදී ෆයිසර් ඖෂධ සමාගම ඖෂධ ඉතිහාසයේ පලමු වතාවට වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන සියය ඉක්මවා ගියේය.

අනෙක් අතින් ඖෂධ සමාගම් සිය ලාභ වැඩිවැඩියෙන් යොදාගනු ලබන්නේ පවත්නා ඖෂධ ගුනාත්මක වශයෙන් වර්ධනය කිරීමට හෝ නව ඖෂධ නිශ්පාදනයට නොව කොටස් වෙලඳපොල හරහා සමපේක්ෂනයෙන් ලාභ ඉපයීමටය. ද ලේවර් වාර්තා කලේ මහා ඖෂධ සමාගම් 2012 සිට 2021 දක්වා කොටස් වෙලඳපොල තුල යලි මිලදී ගැනීම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 747 ක් වෙන් කර ඇති බවයි. එම කාලය තුල පර්යේශන සහ නව අධ්‍යයනයන් සඳහා වෙන් කොට ඇත්තේ ඩොලර් බිලියන 660 කි. මෙම 2008 මූල්‍ය අර්බුදයෙන් තියුනු ලෙස ඉහල නංවා ඇති මූල්‍ය සමපේක්ෂනයේ පිලිවෙත් ඖෂධවල ප්‍රමිතියට බලපා ඇති බවට කිසිදු සැකයක් නැත.

මිනිස් ජීවිත වලට ඉහලින් ධනපති ලාභය තැබීමේ මෙම පිලිවෙත මත වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දැක්කීම හේතුවෙන්, කෝවිඩ් වසංගතයෙන් ලංකාව තුල 16,000 කට අධික ජීවිත අහිමි වූ අතර, දැන් එය බාල ප්‍රමිතියෙන් යුත් ඖෂධ ඇතුලු තවත් අංශ ඔස්සේ ඛේදජනක ප්‍රතිවිපාක ජනිත කරමින් පවතී. මෙම තතු පෙන්නුම් කරන්නේ ධනපති ක්‍රමය මහජනතාවට මරනය හැර අන් යමක් දිය නොහැකි යල් පැන ගිය පද්ධතියක් බවයි.

කෙසේ වෙතත් ලංකාවේ විරුද්ධ පක්ෂ, ව්‍යාජ වාම පක්ෂ සහ වෘත්තිය සමිති සෑම විටම කටයුතු කරන්නේ, කම්කරු-පීඩිත මහජනතාව මුහුනදෙන මෙම ව්‍යසනකාරී තත්වය ධනපති ක්‍රමයේ නිර්මිතයක් බව වසන් කිරීමටයි. ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයන්ගේ සහ මහජනතාවගේ විරෝධතා වැඩෙන තතු තුල ඔවුහු එය ධනපති ක්‍රමයෙන් වියෝකොට හුදෙක් සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රශ්නයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ දරති.

සමගි ජන බලවේගය ජූලි 17 දා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට තීන්දු කල අතර, එහි නායක සජිත් ප්‍රේමදාස 'සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ත්‍රස්තය' සොයා බැලීමට තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කොමිටියක් පත් කලේය. මේ සියල්ල ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය ගසාකෑමේ ප්‍රෝඩාවන් පමනි.

එදිනම සෞඛ්‍ය ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය සමග එක්ව විරෝධතාවයක් පැවැත්වූයේය.

ගුනාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීම සඳහා මහජනතාවට ඇති මූලික අයිතියට එල්ල කෙරෙන මෙම ප්‍රහාරයන්ගේ මූලය වන ධනවාදයට එරෙහි සටනකින් තොරව, එම අයිතිය ඇතුලු මූලික සමාජ අයිතීන් කිසිවක් ආරක්ෂා කල නොහැක. එම සටන වනාහි, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.

මහා සංගත සතු ඖෂධ නිෂ්පාදනාගාර ඇතුලු දැවැන්ත කම්හල්, බැංකු සහ වතුයායයන් කම්කරු පංති පාලනය යටතේ ජනසතු කරමින්, ලාභය වෙනුවට මානව අවශ්‍යතා වෙනුවෙන් සමස්ත ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම එම සටනේ අරමුනයි. කම්කරු පංතිය, ගොවීන් ඇතුලු පීඩිත ජන කොටස් තමා වටා රැලිකර ගනිමින්, එම ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට බලයට ගෙන ඒමට සටන් වැදිය යුතුය.

ගුනාත්මක මහජන සෞඛ්‍ය සේවයකට අවශ්‍ය කෙරෙන බිලියන සංඛ්‍යාත මුදල් වෙන්කල හැක්කේ, ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස පිහිටුවන, එවන් කම්කරු-ගොවි ආන්ඩුවකට පමනකි,

Loading