ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත ජනගහනය රැඳවිය හැකි උපරිමය මෙන් දෙගුනයක් වෙයි: ගැඹුරුවන සමාජ අසමානතාවයේ බලගතු ප්‍රකාශනයක්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල දැනට සිටින සිරකරුවන් සහ සැකකරුවන් සංඛ්‍යාව, නිසි ඉඩකඩ සහිතව එහි රැඳවිය හැකි උපරිමය මෙන් දෙගුනයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෑතම සංඛ්‍යා ලේඛන වලින් අනාවරනය වෙයි.  බන්ධනාගාරවල පවත්නා ඉඩකඩ 13,241 දෙනෙකුට පමනක් ප්‍රමානවත් වන නමුදු, මෙි වනවිට 28,899 දෙනෙකු ඒවායේ රඳවා සිටී. ඉන් 9,981 ක් සිරකරුවෝ වන අතර 18,918ක් සැකකරුවෝ වෙති.

2020 නොවැම්බරයේදී මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 ක් පොලීසිය විසින් ඝාතනය කිරීමට එරෙහිව පැනනැගි විරෝධතාව wsws-photo

2020, 2021 සහ 2022 වසරවල බන්ධනාගාර ගතකල සමස්ත සැකකරුවන් සංඛ්‍යාව පිලිවෙලින් 90,362, 62,426 සහ 108,250 වෙයි. 2020 වසරේ වඩාත් ඉහල සංඛ්‍යාවක් පෙන්නුම් කෙරෙනුයේ, කෝවිඩ්-19 වසංගතය සම්බන්ධිතව පනවා තිබූ සංචරන සීමා කඩකල බවට චෝදනා කරමින් දසදහස් සංඛ්‍යාත මහජනතාව අත්අඩංගුවට ගෙන රඳවා තැබීම හේතුවෙනි. 2020 එම ව්‍යාතිරේකය හැරුනුකොට, සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වනුයේ, විවිධ අපරාධ චෝදනා මත බන්ධනාගත කෙරෙන පිරිමි සහ ගැහැනු සංඛ්‍යාව 2020 සිට වේගයෙන් ඉහල යන බවයි.

ගැඹුරුවන ආර්ථික අර්බුදය අපරාධ ඉහල යාමට තුඩුදෙන ප්‍රධානතම සාධකයක් බව ජාතික සහ ජාත්‍යන්තර සමීක්ෂන වලින් සනාථ කෙරි පවතී. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල තම සමීක්ෂනයක නිගමන අනාවරනය කරමින්, 2023 ජනවාරි 08 සන්ඩේ ටයිම්ස් පුවත්පතට මෙසේ පවසා ඇත. 'ආර්ථික අර්බුදය සහ අපරාධ රේට්ටුව අතර ඇත්තේ බලගතු සහසම්බන්ධයකි. දරිද්‍රතාව ඉහල යත්ම අපරාධ රේට්ටුව ද ඉහල යයි.' පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, 2020 න් පසු අපරාධවල වේගවත් වැඩිවීමක් ඇති බවයි. 2020 දී 31,098 ක් වූ බරපතල අපරාධ සංඛ්‍යාව 2021 වන විට 35,434 ක් වී ඇත.

'මිනිසුන්ට ඔවුන්ගේ ආදායම අහිමි වුවහොත්, ඔවුහු විකල්පයක් සෙවීමට උත්සාහ කරති, නමුත් ආර්ථික අර්බුදය ගැඹුරු වීමත් සමඟ මිනිසුන්ට එය කල නොහැක. කෙසේ වෙතත්, ඔවුන්ගේ පවුල් රැකබලා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වන අතර, මෙය කන්ඩායම් වශයෙන් මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා යොමු වීමට ඔවුන්ව පොලඹවනු ඇත.'

කෝවිඩ්-19 වසංගතයෙන් ගැඹුරු කෙරුනු ලෝක ධනේශ්වර අර්බුදය, නැටෝ බලයන් විසින් රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධයෙන් වඩාත් තීව්‍ර කෙරී ඇති අතර, ලංකාව තුල එය ගැඹුරින්ම ප්‍රකාශයට පත්වෙයි. ලංකාවේ ආන්ඩුව ඇතුලු ලොවපුරා පාලක පංතීහු එම අර්බුදයේ සියලු බර, විවිධ කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටිති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ලබා ගන්නා ඩොලර් බිලියන 3 ක ඇපනය වෙනුවෙන් පනවා ඇති කප්පාදු හරහා ලක්ෂ සංඛ්‍යාත ජනයාට රැකියා සහ ආදායම් මාර්ග අහිමි වෙමින් පවතී. ලර්න්ඒෂියා (LirneAsia) ආයතනයේ සමීක්ෂනයකට අනුව, 2019 සිට 2023 දක්වා, ශ්‍රී ලංකාවේ දිලිඳු ජනගහනය සියයට 31 කින්, එනම් මිලියන 4 සිට මිලියන 7 දක්වා වැඩිවී ඇත.

දරිද්‍රතාවයේම ප්‍රතිඵලයක් වන පාසල් හැරයාම සහ අපරාධ අතර සහසම්බන්ධතාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන මගින්ම ප්‍රකාශයට පත්වේ. බන්ධනාගාරවල සමස්ත රැඳවියන්ගෙන් සියයට 73 ක් ම 8 වන ශ්‍රේනියේදී පාසල් හැරගියවුන් ය. සමස්ත රැඳවියන්ගෙන් සියයට 70 ක් විවාහකයෝ වෙති.

මෙම සමාජ ඛේදවාචකය වනාහි, නිෂ්පාදන මාධ්‍යයන්හි පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති නිෂ්පාදන ආර්ථික ක්‍රමයේ නිර්මිතයකි. ධනපති ක්‍රමයේ අංග ලක්ෂනයක් වන, සමාජ ධනය, සමාජ පතුලේ සිට ඉහලට ඇදී යමින් ධනවත් අතලොස්සක් අතර සංකේන්ද්‍රනයවීම පසුගිය දශක කීපය තුල වඩාත් වේගවත් වී ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කල දිවයිනෙහි සමස්ත වත්කමෙන් සියයට 63.8 ක් හිමිකරගෙන සිටින්නේ ධනවත්ම සියයට 10 විසිනි. පහලම අර්ධයට හිමිව ඇත්තේ සියයට 4.3 ක් පමනි.

මෙලෙස ගැඹුරුවන සමාජ අසමානතාව හේතුවෙන්, ජනගහනයෙන් අතිමහත් බහුතරයකට, ශීලාචාරව ජීවත්වීමේ සියලු මංපෙත් අහුරා දැමෙමින් පවතී. රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ නිවාස ඇතුලු මූලික සමාජ අයිතීන් පවා අහිමි කෙරුනු මෙම දුගී ජනයා, ඔවුන් පත්ව සිටින මංමුලාසහගත තත්වය හේතුවෙන්ම මත්ද්‍රව්‍ය වලට සහ මංපැහැරීම් ඇතුලු අපරාධ වලට යොමුවෙති. බන්ධනාගාර ජනගහනයෙන් සියයට 40 කටම එරෙහි චෝදනාව වනුයේ මත්ද්‍රව්‍ය පානය සහ වෙලඳාම බව එක් සමීක්ෂනයකින් පෙන්වා දෙයි. කාන්තා රැඳවියන්ගෙන් සැලකියයුතු සංඛ්‍යාවකට එරෙහි චෝදනාව වනුයේ ගනිකා වෘත්තියේ යෙදීමයි. අධිකරනයෙන් ඇප මත නිදහස් කල ද ඇප මුදල් ගෙවීමේ නොහැකියාව හේතුවෙන් දිගුකල් බන්ධනාගාරයේ රැඳී සිටින අය ද බොහෝ වෙති.

මෙම බන්ධනාගාර වල තත්වය, පාලක පංතිය මහජනයා කෙරෙහි දක්වන නොතැකීම ගැඹුරින්ම ප්‍රකාශයට පත් කරයි. 2018 දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (ශ්‍රීලමාහිකො) කල සමීක්ෂනයකින් පහත කරුනු සොයා ගනී: 'බන්ධනාගාර පද්ධතිය පිරීතිරී ඇති අතර සම්පත් ඌනතාවයෙන් පෙලේ; බන්ධනාගාර පද්ධතිය විසින් අවධාරනය කරනුයේ දන්ඩනීය අංශය මිස පුනරුත්ථාපනය නොවේ.'

රැඳවියන්ට සලකන ආකාරය සහ බන්ධනාගාරවල පවත්නා කොන්දේසි 'මූලික ජීවන මට්ටම් වලට බොහෝ පහත්' බව පවසන ශ්‍රීලමාහිකො වාර්තාව, 'සිරකරුවන්ට හිමි සෞඛ්‍යාරක්ෂන ප්‍රවේශයන් සහ පුනරුත්ථාපනයවීමේ අවස්ථා' ඉතා දුර්වල බව කියා සිටී. 'බන්ධනාගාර ජනගහනය එහි ධාරිතාවමෙන් කීප ගුනයක් වීම මීට ප්‍රධාන හේතුවයි.'

සිරකරුවන්ගෙන් කරන ලද විමසීම් වලට අනුව, ඉඩකඩ නොමැතිකමින් බොහොමයක් සිරකරුවන් නිදාගනු ලබන්නේ මාරුවෙන් මාරුවටය. රාත්‍රි කාලයේදී වැසිකිලි යාමට පහසුකම් නොමැති බැවින් පොලිතීන් මලු වලට මුත්‍රාකොට සහ මලපහකොට උදෑසන වනතෙක් ඒවා තබාගෙන සිටීමට සිදුවන බව ඔවුන් පවසා ඇත. ඔවුන්ට අනුව, බන්ධනාගාර වලින් ලැබෙන ආහාර ද ඉතා පහත් තත්වයේ පවතී.

සිරකරුවන් විශේෂයෙන්ම උත්සුකව ඇත්තේ, තම පවුල්වල ආදායම් උපයන්නන් ලෙස සිටි ඔවුන් සිරගත වීමෙන් පසු තම දරුපවුල් වලට උදා වී ඇති තත්වය සම්බන්ධයෙනි. 'අපිටනම්, දිය රහට හරි තුන්වේලම කන්න ලැබෙනවා. ඒත් අපේ දරුපවුල් වලට එක වේලක්වත් කන්න බැරි තත්වයක් තියෙන්නෙ' යැයි එක් සිරකරුවෙකු පවසා ඇත.

අධික තදබදය සහ අපිරිසිදුකම හේතුවෙන් බෝවෙන රෝග පැතිරයාමේ සම්භාවිතාව ද ඉතා ඉහලය. කෝවිඩ්-19 වසංගතය බන්ධනාගාර තුල වේගයෙන් පැතිර යද්දී, 2020 නොවැම්බර් අග, අදාල සෞඛ්‍ය පහසුකම් සහ වෙනත් ඉල්ලීම් මත උද්ඝෝෂනය කල මහර බන්ධනාගාරයේ සිරකරුවන්ට එරෙහිව, එවකට පැවති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව එල්ල කල පොලිස් ප්‍රහාරයෙන් සිරකරුවන් 11 ක් මිය ගියහ. සිරකරුවන්ට එරෙහිව කුරිරුම ආකාරයේ පොලිස් ප්‍රචන්ඩත්වයන් සම්බන්ධයෙන් අනුපාප්තික ආන්ඩු කුප්‍රකට ය.

බොහෝ සිරකරුවන් රටේ දුප්පත්ම ස්ථරයන්ට අයත් බව ඉහත ශ්‍රීලමාහිකො වාර්තාව පෙන්වා දෙයි. “දරිද්‍රතාවය, සියලු වයස්වලට, ජන වර්ගයන්ට සහ ආගම්වලට අයත් සිරකරුවන්ට පොදු වූ සාධකයකි” යනුවෙන් එහි සඳහන් විය. 'සිරකරුවන් බොහෝ විට ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරත්වය නොමැතිකම සහ දරිද්‍රතාවය ඔවුන් මුලින්ම අපරාධ වලට යොමු වීමට හේතු ලෙස සඳහන් කලහ.'

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු හේතුවෙන් මිලියන ගනනින් දරිද්‍රතාවට ඇද වැටෙන තතු තුල ඔවුන් අපරාධ වලට යොමුවීමේ සම්භාවිතාව වඩාත් ඉහල යමින් සිරගෙවල් පිරීතිරී යද්දී, ආන්ඩුවේ කප්පාදු වලට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්ට, තරුනයන්ට සහ අවශේෂ පීඩිතයන්ට එරෙහිව මුදාහැර ඇති රුදුරු රාජ්‍ය මර්දනය හරහා දසදහස් සංඛ්‍යාත මහජනයා සිරගෙවල් තුල ගාල් කිරීමට ජනාධිපති වික්‍රමසිංහ සැලසුම් කරයි.

ඒ සමගම, රාජ්‍ය වියදම් කප්පාදුව හේතුවෙන් සිරකරුවන්ට දැනට ලැබෙමින් පවත්නා ඉතා සීමිත ආහාර සහ සෞඛ්‍ය පහසුකම් පවා ඇටපොත්තටම කපා දමා ඔවුන් මන්ද පෝෂනයට, රෝගාබාධයන්ට සහ මරනයට ඇද දැමෙනු ඇත.

Loading