ඕස්ට්‍රේලියාවේ “ඵලදායිතා” උද්ඝෝෂනය පිටුපස පවතින්නේ කුමක් ද

[මෙය What’s behind the Australian “productivity” campaign මැයෙන් 2023 සැප්තැම්බර් 15දා පල කල ලිපියේ පරිවර්තනය යි.]

විරැකියා අනුපාතය සියයට 50කින් ඉහල දමා ආර්ථික “වේදනාව” උග්‍ර කරමින් “උද්ධච්ඡ” කම්කරුවන්ට ප්‍රහාරයක් ඒල්ල කිරීමට ටිම් ගර්නර් නමැති දේපොල වෙලඳාම් බලවතා විසින් කරනු ලැබූ ඉල්ලීම දරුනු කෝපාග්නියක් ඇවිලවීය.

ඔහුගෙන් ඉල්ලා සිටිය ද ඊට පසු දින ගර්නර් අදහස් දැක්වූයේ නැත. ලාභ පද්ධතියේ සැබෑ තර්කනය එතරම් ම නග්න ලෙස හෙලිදරව් කරනු ලැබුනු නිසා, බ්‍රහස්පතින්දා වන විට, වඩා ඥානවන්ත පුද්ගලයන් ඉදිරියට පැමින තිබිනි.

ඒ අනුව, ඔහුගේ කෝපාග්නිය වෙනුවෙන් ගර්නර් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේ, “ඕස්ට්‍රේලියාවේ විරැකියාව හා ඵලදායිතාව පිලිබඳ ව මා පල කල සමහර අදහස් පිලිබඳ මා ගැඹුරින් ම පසුතැවිලි වන අතර ඒ්වා වැරදියි” යැයි කියමිනි.

කෙසේ වෙතත්, ගර්නර්ගේ ඔහුගේ සමාව යැදීම නිකුත් කරනවාත් සමග ම, ඵලදායිතාව ඉහල දැමීම සඳහා ඔහු කල කැඳවුම සමග සාරභූත වසයෙන් ගැලපෙන ආස්ථානයක් සහිත වාර්තාවක් ඵලදායිතා කොමිසම විසින් නිකුත් කලේ ය. ගර්නර් එතරම් ම පැහැදිලි ලෙස හෙලිදරව් කර තිබුනු ලාභ පද්ධතියෙහි සාරභූත පන්ති සබඳතා සැඟවීමට හා ආවරනය කිරීමට යොදා ගනු ලබන ගනන් බැලූ තානයන්ගෙන් එම වාර්තාව එහි විශ්ලේෂනය කැටි කොට දැක්වී ය.

වැඩ කරන පැයකට ප්‍රතිදානය (නිපැයුම) හෙවත් ඵලදායිතා මට්ටම්, යන්තම් වසරකට සියයට 1.1ක් දක්වා, එනම් වසර 60ක් තුල ඒවායේ අවම මට්ටම් දක්වා ඇද වැටී තිබුනු බව සටහන් කල එම වාර්තාව, 1990 ගනන්වල මට්ටම් පවත්වාගෙන ගියේ නම්, “අද දින පවතින ආදායම් මට්ටම් ඩොලර් 25,000කින් පමන වැඩි වනු ඇත” යි කියා සිටියේ ය.

ඵලදායිතා කොමිසමේ නියෝජ්‍ය සභාපති ඇලෙක්ස් රොබ්සන් (ඡායාරූපය: ග්‍රිෆිත් විශ්ව විද්‍යාලය) [Photo: Griffith University]

ඵලදායිතා කොමිසමේ නියෝජ්‍ය සභාපති ඇලෙක්ස් රොබ්සන්ට අනුව, ජුනි මාසය දක්වා වූ වසර තුල ඵලදායිතාව සියයට 3.6කින් ඇද වැටුනි. පසුගිය වසරේ මාර්තු දක්වා ගත වූ කාර්තු පහ තුල, එකක් හැර අනෙක් සෑම අංශයක් තුල ම එය ඇද වැටුනු අතර, වැඩ කරනු ලබන පැයකට දල දේශීය නිෂ්පාදිතය දැන් පවතින්නේ 2016 මාර්තු සිට ගනන් බැලූ කල අවම මට්ටමේ ය.

මෙම විශ්ලේෂනය විනිවිද යමින් එහි සාරභූත අන්තතර්ගතය හෙලිදරව් කිරීමට, ධනවාදයේ දේශපාලන ආර්ථිකය පිලිබඳ සමහර මූලික කරුනු ස්ථාපිත කිරීම අවශ්‍ය ය.

ප්‍රතිදානය හා ඵලදායිතාව වැනි භාෂිතයන් යොදා ගන්නා විට, සෑම විට ම පාහේ ඉස්මතු වන පින්තූරය වන්නේ භාන්ඩ හා සේවාවන්ගේ භෞතික ප්‍රමානයේ ඉහල යාමකි. එහෙත් ධනවාදයේ ඉලක්කය හා ගාමක බලය වන්නේ ද්‍රව්‍යමය සම්පත් නිෂ්පාදනය නො වේ. එය (ධනවාදය) මුලුමනින් ම ලාභයේ රූපයෙන් මුදල් සමුච්ඡය කරගැනීමකි.

නිපදවනු ලබන භාන්ඩ හා සේවාවන්ගේ භෞතික ප්‍රමානය මත පදනම්ව සමස්තයක් ලෙස හෝ පැයකට ප්‍රතිදානය ගනනය කල නො හැක. එය ඇපල් හා දොඩම් සන්සන්දනය කිරීම වැන්නකි.

ප්‍රතිදානයෙහි මිනුම වන්නේ මුදල් ය. එම නිසා, ශ්‍රමයෙන් සිදු කෙරෙන භෞතික නිෂ්පාදනයේ හෝ සේවාවන්ගේ ප්‍රතිපල වලින් මනිනු නො ලබන ඵලදායිතාව මැනෙන්නේ නිෂ්පාදන ක්‍රියාදාමයේ එකතු කරනු ලබන මුදල් ප්‍රමානය හෝ වටිනාකම මත යි.

මේ අනුව, සුවිශේෂී කර්මාන්තයක කම්කරුවන් ඔවුන් අතීතයේ දී නිපදවූවාට වැඩි භෞතික භාන්ඩ ප්‍රමානයක් නිපදවූ ව ද මූල්‍යමය භාෂිතයන්ගෙන් මනිනු ලබන ඔවුන්ගේ ඵලදායිතාව අවශ්‍යයෙන් ම ඉහල නො යා පැවතිය හැක.

උදාහරනයක් ලෙස, දෙන ලද කම්කරුවන් ප්‍රමානයක් වැඩි භාන්ඩ ප්‍රමානයක් නිපදවූ ව ද එහි මූල්‍යමය වටිනාකම ඇද වැටී ඇත්නම්, ඔවුන්ගේ ශ්‍රමයේ ඵලදායීතාව -එනම් වැඩ කරන සෑම පැයකට ම උත්පාදනය කරන මුදල් ප්‍රමානය- ඔවුන් වේගයෙන් හා වැඩියෙන් වැඩ කර තිබුන ද පහල ගොස් තිබෙනු ඇත.

අනෙක් අතට, ඕස්ට්‍රේලියාව තුල දැකගත හැකි ලෙස, පතල් හා කෘෂි කර්මාන්තවල ශ්‍රමයේ ඵලදායිතාව ඉහලින් ම පවතින්නේ, ආර්ථිකයේ වෙනත් ඕනෑ ම තැනකට වඩා මෙම කර්මාන්තයේ කම්කරුවන් වැඩියෙන් හෝ කඩිසර ලෙස වැඩ කරන නිසා නො ව, ඔවුන්ගේ ප්‍රතිදානයෙහි මිල වැඩි වී තිබීම නිසා ය.

මූල්‍යමය භාෂිතයන්ගෙන් මනිනු ලබන පැයකට ප්‍රතිදානය, කම්කරුවන් කොතරම් වැඩියෙන් වැඩ කරන්නේ ද යන්න සමග සම්බන්ධයක් නොමැති අතර, ජාතික හා ගෝලීය පරිමානයකින් ධනපති වෙලඳපොල තුල පවතින සබඳතා සමග සම්බන්ධය යන්න මෙහි දී පෙන්වා දිය යුතු කරුන යි. තව ද නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකරුවන් මිස කම්කරුවන් විසින් පාලනය කරනු නොලබන තාක්ෂනය සහ නිෂ්පාදනය සංවිධානය කිරීම ඇතුලු තවත් සාධක ගනනාවක් විසින් ඵලදායීතාව නීර්නය කරනු ලබයි.

සියලු ප්‍රධාන ආර්ථිකයන් තුල ශ්‍රමයේ ඵලදායීතාව ඇද වැටෙමින් තිබෙන නිසා පැහැදිලි ව ම ගෝලීය කොන්දේසි ක්‍රියාත්මක වේ. දශක හයක් තුල එහි අවම මට්ටමට එය ඇද වැටෙද්දී පවා, 2021 දක්වා ගෙවුනු වසර දහය පුරා, එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රන්සය, ඉතාලිය, ජපානය හා නවසීලන්තය යන රටවලට වඩා ඕස්ට්‍රේලියාවේ ශ්‍රමයේ ඵලදායීතාව වැඩි විය.

එහෙත් ශ්‍රමයේ ඵලදායිතාව බොහෝ සෙයින් පවතින්නේ කම්කරුවන්ගේ පාලනයෙන් බොහෝ ඔබ්බේය යන්න නො තකා, එය ඉහල දැමීම සඳහා වන උද්ඝෝෂනය -ඕස්ට්‍රේලියාවේ ඵලදායිතා කුසලතාවන් මත “ලේසරයක් වැනි” නාභිගත වීමක් ආන්ඩුවට ඇතැයි ලේබර් භාන්ඩාගාරික ජිම් චැලමර්ස් පැවසීම - තුල වැදගත් අරමුනු කිහිපයක් පවතී.

මිල අඛන්ඩ ව එක අගයේ පැවතීම හෝ ඇද වැටීම සිදු වන විට, ඵලදායිතාව ඉහල දැමීමට පවතින එක ම මාවත වන්නේ, බොහෝ විට නව තාක්ෂනය හරහා හෝ නිෂ්පාදිතය වෙලඳපොලට වේගයෙන් එන පරිදි කරන වැඩ වේගවත් කිරීමක් හරහා, නිෂ්පාදිතය මුදල් බවට හැරවීම වේගවත් කරමින් කෙරෙන ශ්‍රම බලකායේ අඩු කිරීමකි.

ධනපති ක්‍රමයේ සාරය වන්නේ කාලය යි. කාලය යනු මුදල් වන අතර, ගර්නර්ගේ බුරා පැනීමේ අභිප්‍රේරනයන්ගෙන් එකක් වූයේ එය යි.

ඔහු උත්සුක වූයේ ඔහුගේ ප්‍රාග්ධනය -මින් බොහෝ ප්‍රමානයක් අරමුදල්වලින් ගත් නය වන අතර ඒවාට ඔහු පොලී ගෙවමින් සිටී- භෞතික රූපයේ බොහෝ කාලයක් බැඳී පවතිමින්, වානිජකරුවන්ගේ හා අනෙකුත් කම්කරුවන්ගේ “ආකල්ප” හා “උද්ධච්ඡ භාවය” හේතුවෙන් ඇති තරම් වේගයෙන් ඉහල මුදල් ප්‍රමානයකට හැරෙන්නේ නැත යන්න යි.

මෙහි දී මූලික කාරනය වන්නේ, ඵලදායිතාව වනාහි භාන්ඩ හා සේවාවන් නිෂ්පාදනය ඉහල දැමීම සහ ද්‍රව්‍යමය සම්පත් ප්‍රසාරනය කිරීම පිලිබඳ දෙයක් නො වේ ය යන්න යි.

එය වනාහි සරල ව ම, කම්කරු පන්තියෙහි ශ්‍රමයෙන් අතිරේක හෝ අතිරික්ත වටිනාකම උකහා ගැනීම හරහා ප්‍රාග්ධනය ප්‍රසාරනය කිරීම සාරභූත ඉලක්කය වන ධනපති නිෂ්පාදන පද්ධතියෙහි අතුරු ඵලයකි.

අවසාන විග්‍රහයේ දී, මෙම අතිරික්තයෙහි මූලාශ්‍රය වන්නේ, වැඩ දිනයේ කාල පරාසය තුල දී, අමුද්‍රව්‍ය හා නිෂ්පාදන මාධ්‍යයන්ට කම්කරුවා එක් කරන වටිනාකම හා ඒ් සඳහා කම්කරුවා ලබන වටුප අතර වෙනස යි. ශ්‍රමයේ ඵලදායිතාව ඉහල දැමිය හැකි ප්‍රමානයට එහි අතිරික්තය විශාල වේ.

පලල් විරුද්ධත්වයක් ඇවිල වූ ගර්නර්ගේ අදහස් පලකිරීම්, මූල්‍යමය මාධ්‍යවලින් හා සංගත ලෝකයෙන් සහයෝගය ද ආකර්ශනය කර ගත්තේ ය.

ඊයේ, “ඵලදායිතා ප්‍රහේලිකාව මතට සත්‍යයේ බෝම්බ හෙලන්න” නමින් කතුවැකියක් දි ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් තුල පල කලේ ය. ගර්නර් සමාව ඉල්ලා තිබුනු අතර ම “ඕස්ට්‍රේලියාවේ පශ්චාත්-වසංගත ශ්‍රම ඵලදායකත්වය 2016 මට්ටම් කරා ලුහුටා යාමේ ගැඹුරු ප්‍රහේලිකාව සමග ඔහුගේ අවංක කතාව පොරබදනවා” යි එය සටහන් කලේ ය.

ඕස්ට්‍රේලියානු මහ බැංකුවෙහි (ආර්බීඒ) ඉවත් ව යන අධිපතිවරයා මෙන් ම අලුතින් එම තනතුරට පත් වන මිචලේ බුලොක් යන දෙදෙනා ම විරැකියා අනුපාතය අවම වසයෙන් සියයට 4.5 දක්වා වත් ඉහල නැගිය යුතු බව කියා ඇතැයි එය සටහන් කලේ ය.

ජුනි මාසයේ දී, බුලොක් පැහැදිලි කලේ -ඇය එයට කීවේ “ශ්‍රම ඉල්ලුම සීමා කිරීම” යනුවෙනි - ආර්බීඒහි කේන්ද්‍රීය අරමුන විරැකියාව බව යි. ශ්‍රම සැපයුම හා ඉල්ලුම අතර “තුලනය” මෑත දී වර්ධනය වී ඇති බවසඳහන් කල බුලොක්, මූල්‍ය පිලිවෙත සැලකිය යුතු ලෙස තද කිරීම “අපේක්ෂිත” භූමිකාව ඉටු කර ඇතැයි සටහන් කලා ය.

ගර්නර්ගේ දෝෂදර්ශනයෙන් පසුව ඉන් මඟහැරීමට සංගත ප්‍රධානීන් ප්‍රධාන වසයෙන් ක්‍රියා කල අතර, බලගතු හඬවල්වල සහයෝගය ඔහුට ලැබිනි. උදාහරනයක් ලෙස, ඕස්ට්‍රේලියානු ඛනිජ කවුන්සිලයේ සභාපති ඇන්ඩෲ මයිකල්මෝර් කියා සිටියේ, “අඛන්ඩ ව පවත්වාගෙන යා නො හැකි ජීවන රටාවක්” ආර්ථිකයේ සමහර අංශවල කම්කරුවන් විසින් භූක්ති විඳිමින් සිටින බවයි. “මෙම චක්‍රය බිඳ දැමීම සඳහා” විරැකියාවේ නැග්මක් අවශ්‍ය වන බව ඔහු කීවේ ය.

සැබෑ වැටුප් වර්ධනය සඳහා මාවත වන්නේ ඉහල දමන ඵලදායිතාව -එනම් වඩා තීව්‍ර සූරාකෑම- යන කියාපෑම සමගින්, පන්ති-යුද්ධයේ මෙම න්‍යාය පත්‍රය ආවරනය කිරීමට උත්සාහ කිරීම, ඵලදායිතා කොමිසමේ භූමිකාව යි.

කම්කරුවන් වඩා වෙහෙස වී වැඩ කර තිබුනේ නම්, ඔවුන්ට ලැබීමට තිබූ අතිරේක‌ ඩොලර් 25,000ක ආදායමක් කෙසේ හෝ ඔවුන් විසින් අහිමි කරගෙන ඇතැයි යන හිස් කියාපෑමට වඩා උස් හඬින් කරුනු කතා කරයි.

2012 මාර්තුවේ සිට, සමස්ත ආර්ථිකය හරහා ඵලදායිතාව ඉහල ගිය ද පැයකට ලැබෙන මූර්ත වැටුප් සියයට 0.2කින් අඩු විය. මේ වසර මුල දී පල කල දත්ත 2022 දී වාර්තාගත මූර්ත වැටුප්වල විශාලතම අඩු වීම කම්කරුවන් අත්දුටුවේය යන්න පෙන්නුම් කිරීමත් සමග මෙම රැල්ලේ වේගවත් වීම සටහන් වී තිබේ.