ජවිපෙ ගුරු සමිති සම්මේලනය

ජවිපෙ පාලනයක් බලයට ගෙනඒමේ මැතිවරන උද්ඝෝෂන වේදිකාවක්

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවන වෘත්තීය සමිතියක් වන ලංකා ගුරු සේවා සංගමයේ (ලංගුසේස) පුත්තලම දිස්ත්‍රික් සම්මේලනය මේ මස 14 දා හලාවත, ලේඩි රෝස් ශාලාවේ දී පැවැත්වුනි.

ලංකා ගුරු සේවා සංගමයේ (ලංගුසේස) පුත්තලම දිස්ත්‍රික් සම්මේලනය 2023 දෙසැම්බර් 14(ලෝසවෙ

“අධ්‍යාපනය ඉවරයි, ගුරු-සිසු අයිතීන් දිනන්නේ කෙසේ ද ?” යන හිසින් පැවති සම්මේලනය මුලුමනින්ම කැප කර පැවතියේ, ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ (ජාජබ) ආන්ඩුවක් ලබන වසරේ පැවත්වෙන මැතිවරනයකින් බලයට ගෙන ඒම සඳහා, ජනාධිපති වික්‍රමසිංහගේ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව ගුරුවරුන් අතර වැඩී ඇති කෝපය ගසා කෑම සඳහා ය.

සම්මේලනයට ගුරුවරු 200 ක් පමන සම්බන්ධ වී සිටියහ. රටපුරා අනෙකුත් දිස්ත්‍රික්කවල ද විවිධ අංශවල ජවිපෙ ට අයත් වෘත්තීය සමිති උක්ත අරමුන මත විවිධ සම්මේලන හා රැස්වීම් පවත්වමින් සිටී. මෙම සම්මේලන සහ රැස්වීම් වලදී මූලික වසයෙන් සිදු කෙරෙනුයේ, ශ්‍රී ලංකාව මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය ලෝක ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයක ප්‍රකාශනයක් නොව මෙතෙක් පැවති ධනපති ආන්ඩු අනුගමනය කල ආර්ථික පිලිවෙත්වල ප්‍රතිඵලයක් බව කියාපාමින්, ජවිපෙ/ජාජබ ආන්ඩුවක් බලයට ගෙනඒමෙන් ධනපති ක්‍රමය තුලම 'නිරවද්‍ය ආර්ථික පිලිවෙත්' ක්‍රියාවට දමා මෙම අර්බුදය ජයගත හැකිවෙතැයි යන ප්‍රලාපය තොරොම්බල් කිරීමයි.

මෙම කාර්යය සඳහා “ආරාධිත දේශකයෙකු” ලෙස ජාජබ නියෝජිතයෙකු සහ කැලනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ චන්දන අබේරත්න හලාවත සම්මේලනයට කැඳවා තිබුනි. රට තුල දිග හැරෙන සමාජ ‌ඛේදවාචකයට හේතුව, “අවුරුදු 75 තිස්සේ, විශේෂයෙන් 1977 පස්සේ මේ රට පාලනය කරපු පාලකයො ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය හා දූෂිත දේශපාලනය” බව ඔහු එහි දී පැවසීය.

අබේරත්න එසේ පවසනුයේ, 1977 දී ජේ.ආර්.ජයවර්ධනගේ ආන්ඩුව බලයට පැමිනීමෙන් පසු ලංකාව එතෙක් අනුගමනය කල ධනේශ්වර ජාතික ආර්ථික නියාමන පිලිවෙත් නැතහොත් “සංවෘත ආර්ථික පිලිවෙත්” හැර දමා, ජාත්‍යන්තර ප්‍රාග්ධනයට රට විවෘත කිරීමේ “විවෘත ආර්ථික පිලිවෙත්” ක්‍රියාවට දැමීම සම්බන්ධයෙනි.

නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වන ධනපති ක්‍රමය තුල අන්‍ය විකල්පයන් පැවතියදී ජයවර්ධන විසින් අත්තනෝමතික ලෙස මෙම “විවෘත ආර්ථික පිලිවෙත්” තෝරාගත් බවට විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධාන මෙන්ම, අබේරත්න වැනි ඊනියා ශාස්ත්‍රාලිකයන් දශක ගනනාවක් පුරා ඉදිරිපත් කරන තර්ක-විතර්ක, ධනපති නිෂ්පාදන සබඳතාවන්ගේ ඓතිහාසික පරිනාමය පිලිබඳ කවර හෝ විද්‍යාත්මක විමසීමකින් තොර හුදු ප්‍රලාපයන් ය.

ධනපති නිෂ්පාදන ක්‍රමයේ හදවතේම පවත්නා ප්‍රවනතාවක් වන ලාභ රේට්ටු කඩා වැටීමට ප්‍රතිචාරයක් ලෙසින්, ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින්, 1970 ගනන් අග දී, නවීන පරිඝනක-අන්තර්ජාල තාක්ෂනය සහ කන්ටේනර් ක්‍රමය මත පාදක වෙමින් ආසියාව ඇතුලු ලොව පුරා ලාභ ශ්‍රම තටාක වෙත නිෂ්පාදනය ව්‍යාප්ත කොට ඒකාග්‍ර කර ගන්නා ලදී. “විවෘත ආර්ථික පිලිවෙත්” නමින් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකවූයේ මෙම නිෂ්පාදනයේ භූගෝලීයකරන සන්තතිය යි.

ලංකාව ඇතුලු මෙම රටවල් ලාභ ශ්‍රම තටාක බවට පත්කල හැකිවනුයේ කම්කරු පංතියේ සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දැමෙන රුදුරු මර්දනයක් යටතේ බව ධනපති පාලකයෝ දැනුවත්ව සිටියහ. 1980 මහවැඩවර්ජනයේදී රාජ්‍ය ක්ෂේත්‍රයේ කම්කරුවන් ලක්ෂයක් රැකියාවෙන් දොට්ට දමමින් මෙම කලාපයේ සහ සමස්ත ආසියාවේ ඒ සඳහා ආරම්භකත්වය ගත්තේ, ජේ.ආර්.ජයවර්ධන විසිනි. අනතුරුව චීනය, ඉන්දියාව, බංග්ලාදේශය සහ වියට්නාමය ආදී රටවල් හි ධනපති පාලකයෝ ද කම්කරු පංතිය මුර්ග ලෙස පාගා දමමින් ජාත්‍යන්තර ප්‍රාග්ධනයට අවශ්‍ය ලාභ ශ්‍රම තටාකයන් නිර්මානය කර දුන්හ.

අබේරත්න ඇතුලු ජවිපෙ/ජාජබ ට ඇත්තේ මීට වෙනත් විසඳුමක්ද? නැත. ජවිප/ජාජබ නායක අනුර කුමාර දිසානායක දෙසැම්බර් 12 වන දා පාර්ලිමේන්තුව තුල කතාවෙන් එය සනාථ වේ. ලංකාවට සෘජු ආයෝජන පැමිනීමේ මන්දගාමිත්වය සම්බන්ධයෙන් පසුගිය ආන්ඩුවලට දොස් පවරමින් ඔහු මෙසේ පැවසීය: ' 1978 සිට 2021 දක්වා ලංකාවට සෘජු ආයෝජන ඇවිත් තිබෙන්නෙ (එජ ඩොලර්) බිලියන 20 යි. නමුත් වියට්නාමෙ බැලුවොත් 2000 සිට 2021 දක්වා බිලියන 178 ක් ඇවිත් තිබෙනවා. අපි දකුනු කොරියාව බැලුවොත් 2000 සිට 2021 දක්වා බිලියන 233 ක් ඇවිත් තිබෙනවා.'

සාපේක්ෂව අඩුවැටුප් මට්ටම් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මුර්ග ලෙස පාගා දැමීම එම රටවලට ආයෝජන ගලායාමේ අති මූලික හේතුව බව දිසානායක වසන් කරයි. ජවිපෙ/ජාජබ ආන්ඩුවක් යටතේ, ආයෝජන ගෙන්වාගත හැක්කේ, ඔහු විසින් නම් කරන රටවල් වලටත් වඩා වැටුප් මට්ටම් පහත හෙලීමෙන් සහ මීටත් වැඩි මර්දනයක් දියත් කිරීමෙන් පමනි. ඔහු කඳුලු සලන්නේ එය පසුගිය දශක කීපය තුල ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙනි.

ධනපති පාලක පන්තියේ අනෙකුත් කොටස් ජාතික ආර්ථිකය නංවාලීම ගැන කරන ප්‍රකාශ හා ජවිපෙ/ජාජබ දැන් “ජාතික නිෂ්පාදනය වැඩි කිරීම” සඳහා කරන ප්‍රකාශවල වෙනසක් නැත. එහි තේරුම වන්නේ දෙස්, විදෙස් මහ ධනපතියන්ගේ ලාභ තර කිරීම සඳහා කම්කරු පන්තිය සූරාකෑම වඩාත් තීව්‍ර කිරීමයි.

ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නලින්ද ජයතිස්ස වැනි ජවිපෙ නායකයන් තම පාලනයක් යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාල, පෞද්ගලික පාසල්, රෝහල් සඳහා ඉඩ ලබා දෙන බවත්, පෞද්ගලික දේපලවලට කිසිදු ලෙසකින් අත නො තබන බවටත් මහා ව්‍යාපාරික සංසද හා ධනපති මාධ්‍ය හමුවේ දැනටමත් සපථ කර තිබේ.

මහජන අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය යන ක්ෂේත්‍රයන්හි ඓතිහාසික බිඳවැටීම, උද්ධමනය, මූර්ත වැටුප් පහල වැටීම, දැවැන්ත විරැකියාව, වේගයෙන් වැඩෙන දරිද්‍රතාව සහ මන්දපෝෂනය යන මේ සියල්ල, ජවිපෙ/ජාජබ පවසන අයුරින් හුදෙක් දූෂනයේ හෝ වැරදි පිලිවෙත් වල ප්‍රතිවිපාකයන් නොව අර්බුද ග්‍රස්ත ධනපති ක්‍රමයේ නිර්මිතයන් ය.

කෝවිඩ්-19 වසංගතය, එජ-නැටෝ බලයන්ගේ මෙහෙයවීම මත රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල කරගෙන යන යුද්ධයෙන් සහ පලස්තීන මහජනයාට එරෙහි ඊස්රායලය යුද්ධය මගින් තවත් ගැඹුරු වන ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බූදය මානව වර්ගයා රැගෙන යමින් තිබෙන්නේ න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් දිසාවටයි.

මනුෂ්‍ය වර්ගයා ඒ සා පරිමාන ව්‍යසනයක් දෙසට ඇදගෙනයන ධනපති ක්‍රමය තුලම විසඳුම් ඇතැයි කියාපාන ජවිපෙ/ජාජබ ධනපති ආන්ඩුවක් බලයට ගෙනඒමෙන්, ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තියට තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු ගත හැකි වෙතැයි සිතීම ඉමහත් මුලාවකි.

ලංකාවේ ධනපති පන්ති පාලනය රැකදීම සඳහා සෑම ධනපති පක්ෂයක් සමග ම විවෘතව වැඩ කොට ඇති ජවිපෙ දැන් සූදානම් වී සිටින්නේ, සිය ඉතිහාසයේ දරුනුතම අර්බූදයේ ගිලී සිටින ලංකාවේ ධනපති පන්ති පාලනය සියතට ගනිමින් ගරා වැටෙන ධනපති ක්‍රමය ට මුක්කුව ගැසීමටයි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ලංකාවේ අර්බූදයෙන් “ගොඩ ඒමට මහජනයාට රිදුම් දෙන තීන්දුවලට යෑමට සිදු වනවා. ඒ සඳහා ජනවරමක් සහිත ආන්ඩුවක් අවශ්‍යය” යැයි පසුගිය වසරේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ මේ කාරනයයි.

කම්කරු පංතියට තම අයිතීන් තහවුරු කරගත හැක්කේ, විදේශ නය ගෙවීම පැහැර හරින, මහ ධනපතියන්ගේ බැංකු, සමාගම් හා මහා පරිමාන වතු කම්කරු පන්ති පාලනයක් යටතේ ජනසතු කරන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි. එය, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ අත්‍යන්ත කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂය නායකත්වය දෙන ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව, ලංකාවේත්, ජාත්‍යන්තර පරිමානවත් අනෙකුත් අංශවල ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක ක්‍රියාමාර්ගය යටතේ සටන් වැද සිටින්නේ මෙම ඉදිරිදර්ශනයටයි.

සම්මේලනයේ දී අබේරත්ත සහ ලංගුසේස ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කල ප්‍රකාශ තුලින්, ජවිපෙ/ජාජබ ධනේශ්වර ජාතිකවාදී වැඩපිලිවෙලෙහි බංකොලොත්කම පමනක් නොව, ධනපති ක්‍රමය රැක දෙනුවස් ජවිපෙ වෘත්තීය සමිති යෙදී සිටින ප්‍රතිගාමී ක්‍රියාකලාපය ද ගැඹුරින් හෙලිදරව් විය.

“මෑත කාලයේ දී වෘත්තීය අරගලයකින් යම් ජයග්‍රහනයක් ලබා ගත්තා නම් ඒ ඔබේ ජයග්‍රහනය” යයි කියා සිටි අබේරත්න, “දුෂිත පාලනයට” එරෙහිව මහජනයා බලමුලු ගැන්වීම සඳහා ගුරුවරුන්ට ප්‍රමුඛ කාර්යභාර්යක් ඇතැයි පැවසීය. අබේරත්න වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා ගුරුවරුන් දරදිය ඇදියයුතු බවයි.

සත්‍යය නම් ගුරුවරු ද ලද ජයග්‍රහනයක් නො මැති බවයි. අබේරත්න සඳහන් කරන්නේ, 2021 වසරේ ඔන් ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී ගුරුවරු දින 1,00 ටත් වැඩි කාලයක් ගෙන ගිය වර්ජනය පිලිබඳවයි. එහිදී, සොච්චම් වැටුප් වැඩිවීමක් ලබා දෙමින් වර්ජනය නතර කිරීමට ආන්ඩුව තීරනය කලේ සමිති නිලධරයට පිටින් ගුරුවරුන්ගේ විරෝධය වැඩෙන තත්වය තුලයි.

ශ්‍රේනි වලට අනුපාතිකව රුපියල් 5,000 සිට රුපියල් 15,000 ක් දක්වා වූ මෙම සොච්චම් වැඩිවීම, උද්ධමනය මගින් අතුගෑවී ගොස් ඇත. අනෙක් අතින්, වසර 24 ක් පුරා පැවති වැටුප් විෂමතාවය පූරනය කිරීමට ලබාදියයුතු හිඟ වැටුප් මේවනතෙක් ලැබී නොමැත. ඒ වන විට විශ්‍රාම ගොස් සිටි ගුරුවරුන්ට මේ කිසිවක් නොලැබුනි. ගුරුවරුන් ලද “ජයග්‍රහනය” එයයි.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව මේ අය-වැයේ දී විසඳීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත තමන් ඇතුලු ගුරු වෘත්තීය සමිති නායකයන්ට ඔක්තෝබර් මාසයේ පැවැති සාකච්ඡාවලදී පොරොන්දු බව ජයසිංහ කියා සිටියේ ය. “අපි දන්නවා මේක බොරුවක් කියලා. නමුත් ගුරුවරු බලන් හිටියා අය-වැය එනකන්” යැයි ජයසිංහ වැඩිදුරටත් කියා සිටියේ ය.

අය-වැයෙන් කිසිවක් නොලැබෙන බව දැන සිටි ජයසිංහ සිදු කලේ කුමක් ද? තමා දැනසිටි දෙය ගුරුවරුන්ට ප්‍රකාශ කර, ගුරු වැටුප් දිනා ගැනීම සඳහා විකල්ප වැඩපිලිවෙලක් යෝජනා කලේ ද? නැත. ඒ වෙනුවට ඔහු සිදු කලේ ගුරුවරුන් රැවටීම සඳහා සීමිත විරෝධතා කිහිපයක් කැඳවීම පමනි. ජයසිංහගේ ක්‍රියාකලාපය, කම්කරු පන්තිය තුල මිත්‍යාවන් වගාදිගා කරමින් ඔවුන් ධනපති ක්‍රමයට බැඳ තැබීමට සමිති නිලධරය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ කදිම නිදසුනකි.

ධනපති ක්‍රමය පරමය ලෙස පිලිගනිමින් ධනපති ආන්ඩුවලට බලපෑම් දමා සහන දිනා ගත හැකිය යන වැඩපිලිවෙල මත පදනම් වී ඇති වෘත්තිය සමිති, ධනවාදයේ අර්බූදයේ කාලපරිච්ඡේදයේ දී එම අර්බූදයේ බර කම්කරු පන්තිය මත පටවන ආන්ඩුවල හා මහා සංගතවල උපකරන බවට පරිවර්තනය වී ඇතිබව මේ සම්මේලනය තුලින් යලි තහවුරු වෙයි.

Loading