ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ දෙසැම්බර් 29දා මාධ්‍ය වෙත පැවසුවේ, “ඕනෑම ආන්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමඟ වැඩසටහන නැවත සාකච්ඡා කල හැකි” නමුත් “තෝරාගත් මාවත බිඳී ගියහොත් ජාත්‍යන්තරව කිසිදු සහයෝගයක් නොලැබෙනු ඇති” බවයි.
2023 මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ඇප නයක් ලබා ගැනීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අන්ඩුව එකඟ වූ වැඩපිලිවෙල ගැන කතා කරමින් ඔහු මේ බව කියා සිටියේය. මහ බැංකු අධිපති වීරසිංහ ලංකාව තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හොරනෑවයි.
වීරසිංහගේ අනතුරු ඇඟවීම සිදු කෙරෙන්නේ, තමන් ජාමූඅ වැඩපිලිවෙල 'යලි සාකච්ඡා' කරන බව පවසමින්, ජාමූඅ රුදුරු කප්පාදු පියවරයන්ට එරෙහි මහජන කෝපය ගසාකෑමට ප්‍රධාන විරුද්ධ පක්ෂ දෙක වන සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) උත්සාහ දරන පසුබිම තුලදීය.
ආර්ථික කඩාවැටීම පිලිසකර කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයෑම සම්බන්ධයෙන් සජබ නායක සජිත් ප්‍රේමදාස මීට පෙර විවේචන ඉදිරිපත් කලේය. පසුගිය සැප්තැම්බරයේදී ජාමූඅ කන්ඩායම කොලඹදී හමුවීමෙන් පසු, 'සජබ ආන්ඩුවක් යටතේ වැඩකරන ජනතාවගේ සහ මහජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ගිවිසුම වෙනස් කෙරෙනු ඇත' යනුවෙන් ඔහු කියා පෑවේය. දෙසැම්බර් මාසයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ විමසීමකට පිලිතුරු දෙමින් සජබ නායක, ඔහුගේ අනාගත පාලන තන්ත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව ගැන “යලි සාකච්ඡා” කරනු ඇති බව කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුනේ නායක, අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ප්‍රකාශකයින්ද කරන්නේ, ජනතාවට අහිතකර වගන්ති ඉවත් කිරීම සඳහා ජාමූඅ ගිවිසුම නැවත සාකච්ඡා කරන බවට කෙරෙන ප්‍රලාපය තොරොම්බල් කිරීමයි.
මෙම ප්‍රකාශ සිදු කරන්නේ ජනතාව රැවටීම සදහාය. මෙම පක්ෂවලට ආන්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් ලැබුනහොත් කප්පාදු වැඩපිලිවෙල වික‍්‍රමසිංහට වඩා නිර්දය ලෙස ක‍්‍රියාත්මක කරනු ඇත.
මෙම පසුබිම තුල, වීරසිංහගේ දැඩි ප්‍රහාරය ඉලක්ක කෙරුනේ ජාමූඅ වැඩසටහන සමඟ සෙල්ලම් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය ඉඩ නොතබනු ඇති බවට අවධාරනය කිරීමටයි. කාලානුරූපව ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා සාකච්ඡා අඛන්ඩ ක්‍රියාවලියක් වනු ඇති බව ඔහු පැවසීය: “නමුත් ප්‍රධාන අංගය වන්නේ වැඩසටහන සමඟ අප ඉදිරියට යා යුතුය යන්නයි…”
ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “නය ප්‍රතිව්‍යුහගත කිරීමේ වසර 10 ක කාලය තුල අපි මෙම දිශාවට යා යුතුයි. එය වෙනස් වුවහොත්, නය සහන පිලිබඳ ඔවුන්ගේ තීරනයද වෙනස් කල හැකියි. මෙය කැඩුනොත්, අපි මේකට තවදුරටත් සහයෝගය දෙන්නේ නැහැ කියලා ඔවුන් කියන්න පුළුවන්. එහෙම වුනොත් අපට වසරකට ඩොලර් බිලියන 6ක් නය ආපසු ගෙවීමට සිදුවනු ඇති [එය කල නොහැකි දෙයක්].
වීරසිංහ සඳහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් ක්‍රියාවට නංවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන විදේශ නය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියයි. තවමත් ශ්‍රී ලංකාවට “සහනයක්” ලබාදීමට විදේශ නය හිමි රටවල් එකඟතාවකට පැමින නැත. ඊට එක් හේතුවක් නම්, ප්‍රධාන නය හිමි චීනය කෙරේ පවතින භූ දේශපාලනික විරෝධයයි. අනෙක් හේතුව නම් මෙම නයහිමියන් තමන් සතු නයවලින් සොච්චම් මුදලක් පවා 'සහනයක්' ලෙස අඩු කිරීමට අකමැති වීමයි.
කෙසේ වෙතත්, 2022 අප්‍රේල් මාසයේදී එවකට ආන්ඩුව විසින් පැහැර හරින ලද පොලී සමඟ නය ගෙවීම සඳහා ජනතාවගෙන් අරමුදල් මිරිකා ගැනීම සඳහා ජාමූඅ විසින් නියම කරන ලද දරුනු කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව බැඳී සිටී. මෙම පියවරයන් අතර අධික බදු පැනවීම, සහනාධාර කප්පාදු කිරීම, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය සහ උද්ධමන ප්‍රතිපත්ති පැනවීම ඇතුලත් වේ.
2022 සැප්තැම්බර් වන විට ආහාර උද්ධමනය සියයට 90 දක්වාත් සාමාන්‍ය උද්ධමනය සියයට 70 දක්වාත් ලඟා විය. වැඩි වූ භාන්ඩ මිල පහල යෑමක් සිදු නොවූ අතර තවත් ඉහල ගියේය. ජාමූඅ හි නියෝග අනුව රාජ්‍ය අංශයේ ආයතන 430ක් විකිනීම, පෞද්ගලීකරනය කිරීම හෝ වසා දැමීම මඟින් රැකියා ලක්ෂ ගනනක් විනාශ කරනු ඇත.
මේ වසර ආරම්භයේ සිට එකතු කල අගය මත බද්ද (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කල අතර අත්‍යවශ්‍ය භාන්ඩ 97ක් සඳහා අලුතින් වැට් බද්ද අය කෙරේ. ඛනිජ තෙල්, පොහොර සහ පිසින ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සමහරක් ඊට අයත්වේ.
2023 සඳහා වූ මූල්‍ය ස්ථායීතා සමාලෝචනය (FSR) දෙසැම්බර් 30 වැනි දින මහ බැංකුව විසින් නිකුත් කරන ලද අතර, ඉන් මෙසේ අනතුරු ඇඟවිනි; “... ජාමූඅ පුළුල් කල අරමුදල් පහසුකම් ගිවිසුමේ අපේක්ෂා කරන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරන ඔස්සේ අඛන්ඩ ප්‍රගතිය අත්‍යවශ්‍ය වේ… මෙම දුෂ්කර හා පටු මාවත ඔස්සේ ගමන් කිරීම අභියෝගාත්මක වුවද, මෙම මාර්ගයෙන් යම් අපගමනය වීමක් මූල්‍ය පද්ධතියට සහ ආර්ථිකයට අහිතකර සහ ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාක ගෙන එනු ඇත.”
නය ලබා දීමේ තීරනය නිවේදනය කරමින් ජාමූඅ හි ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර්, ශ්‍රී ලංකාව සඳහා වන එහි වැඩසටහන “කුරිරු අත්හදා බැලීමක්” වන බව කියා සිටියේය. කම්කරු පන්තිය සහ ග්‍රාමීය ජනතාව මෙම 'අත්හදා බැලීමට' මුහුන දෙමින් සිටින අතර අන්ත දරිද්‍රතාවය, කුසගින්න, සමාජ ව්‍යසනය සහ අඛන්ඩව ඉහල යන සමාජ අසමානතාවයට ලක්වී තිබේ.
දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට හතරේ සිට සියයට හතක් දක්වා ඉහල නැංවීමට මහ බැංකුව පසුගියදා මුදල් අමාත්‍යවරයාගෙන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් අනුමැතිය ලබා ගත්තේය. මෙමගින් මහ බැංකුවට මුදල් මුද්‍රනය කිරීමටත්, මහා ව්‍යාපාරිකයන්ට වැඩියෙන් නය නිකුත් කිරීම සඳහා බැංකුවලට ඔවුන්ගේ ද්‍රවශීලතාවය වැඩි කිරීමට වැඩි මුදලක් පොම්ප කිරීමටත් හැකි වේ.
පසුගිය මාසයේ ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද වාර්ෂික ජාත්‍යන්තර නය වාර්තාවෙන් හෙලි වූයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් ඔවුන්ගේ රාජ්‍ය නය ගෙවීම සඳහා 2022 දී ඩොලර් ට්‍රිලියන භාගයක් පමන වැය කල බවයි. සෞඛ්‍ය, අධ්‍යාපනය මෙන්ම තීරනාත්මක අනෙකුත් සමාජ අවශ්‍යතා වන දේශගුනික විපර්යාස වල ප්‍රතිඵලයන්ට මුහුන දීම ආදිය සඳහා වන අරමුදල් මේ සඳහා යෙදවිනි. පෙර වසරට වඩා සියයට පහකින් ඉහල ගිය මෙම ගෙවීම් 2023-2024 සඳහා වාර්තාගත වැඩිම ගෙවීම් ලෙස සියයට 10න් ඉහල යා හැකිය.
සජබ සහ ජවිපෙ/ජාතික ජන බලවේගය ඇතුළු ඕනෑම ධනේශ්වර පක්ෂයක් විසින් නායකත්වය දෙන අනාගත ආන්ඩුවක්, කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කරමින් කම්කරුවන්ගේ, දුප්පතුන්ගේ සහ අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ වියදමින් පොලී සමඟ නය ආපසු ගෙවනු ඇත.
විසඳුමක් ඇත්තේ කම්කරු පන්තියට පමනි: එය විදේශ නය සම්පූර්නයෙන් ප්‍රතික්ෂේප කිරීමයි. ධනේශ්වර පාලනයට පැලැස්තර දැමීම සඳහා අනුප්‍රාප්තික පාලන තන්ත්‍රයන් විසින් ලබාගත් ඇප නය සඳහා කම්කරු පන්තිය වගකිව යුතු නොවේ. ධනේශ්වර පන්තියට මෙන් කම්කරු පන්තියට ලාභ උවමනාවක් නැත.
එවන් නිර්භීත, විප්ලවවාදී මුලපිරීමක් ගැනීමේදී, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ මිත්‍රයා වන්නේ ඔවුන්ගේ සමාජ හා ජීවන තත්වයන්ටද ඒ් හා සමාන ප්‍රහාරයකට මුහුන දී සිටින ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් ය. ඔවුහු තම අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අරගලයේ මාවතේ ගමන් කරමින් සිටිති.
එසේම, විදේශ නය ප්‍රතික්ෂේප කිරීමේ මෙම පියවර සමාජවාදී ප්‍රතිපත්තිවල පදනම මත ධනේශ්වර පාලන තන්ත්‍රයේ කප්පාදු වැඩ පිලිවෙලට එරෙහිව කම්කරු පන්තියේ එක්සත් කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීමේ පුලුල් අරගලයක කොටසකි. ජාමූඅ වැඩපිලිවෙලට සහාය දක්වන ධනේශ්වර ගැති වෘත්තීය සමිති එවන් අරගලයකට සතුරු ය. අරගලය තමන්ගේ අතට ගැනීමට වෘත්තීය සමිතිවලින් හා ධනේශ්වර පන්තියේ සෑම කන්ඩායමකින්ම ස්වාධීනව සෑම වැඩපලකම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි.