අර්නස්ට් මැන්ඩෙල්ගේ "නව-ධනවාදය" පිලිබඳ හජාජාක හෙලිදරව් කිරීම සහ ගෝලීය ආර්ථික අර්බුදය පිලිබඳ විශ්ලේෂනය: 1967-1971

2023 ජූලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සසප (එක්සත් ජනපදය) ජාත්‍යන්තර ගිම්හාන පාසලේදී, සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියාවේ) සහකාර ජාතික ලේකම් මැක්ස් බොඩි විසින් පහත දේශනය පවත්වන ලදී. (ඉංග්‍රීසි ලිපියට මෙතැනින් පිවිසිය හැකියි.)

ලියොන් ට්‍රොට්ස්කි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගයේ සමාජවාදය සඳහා අරගලය යන මැයෙන්, සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පැවැත්වූ ආරම්භක දේශනය 2023 අගෝස්තු 24 දින ද, හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික සහ දේශපාලන පදනම් යන මැයෙන්, ක්ලාරා වයිස් සහ ජොහැන්නස් ස්ටර්න් විසින් පැවැත් වූ දෙවන දේශනය 2023 සැප්තැම්බර් 23 දින ද, පැබ්ලෝවාදී සංශෝධනවාදයේ සම්භවයන්, හතරවන ජාත්‍යන්තරය තුල භේදය සහ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම යන මැයෙන් සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් විසින් පැවැත් වූ තෙවන දේශනය 2023 ඔක්තෝබර් 03 වන දින ද, බ්‍රසීලියානු සමාජවාදී සමානතා කන්ඩායමේ (ජීඑස්අයි) නායක සාමාජිකයෙකු වන තෝමස් කැස්ටන්හයිරා කියුබානු විප්ලවය සහ 1963 මූලධර්ම විරහිත පැබ්ලෝවාදී යලි එකමුතුවට එස්එල්එල් දැක්වූ විරුද්ධත්වය මැයෙන් පැවැත් වූ දේශනය 2024 පෙබරවාරි 25 දින ද, ලංකාවේ “මහා පාවාදීම,” හතරවන ජාත්‍යන්තරය සඳහා ඇමරිකානු කමිටුව පිහිටුවීම සහ වර්කර්ස් ලීගය ආරම්භ කිරීම මැයින් කැනඩාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් කීත් ජෝන්ස් පැවැත් වූ දේශනය මාර්තු 13දින ද පල කෙරින

ලෝසවෙඅ, අනෙකුත් සියලු දේශන ඉදිරි සතිවල ප්‍රකාශයට පත් කරනු ඇත.

හැඳින්වීම

1967-1971 කාලපරිච්ඡේදය සමාජමය, දේශපාලනමය හා ආර්ථිකමය වශයෙන් අතිශය පෙරලිසහගත විය. සමාජවාදී විප්ලවය පිලිබඳ ප්‍රශ්නය මේසයෙන් බැහැරව ඇති බවටත්, දශක ගනනාවක් සාමය හා ස්ථාවරත්වය පවතිනු ඇති බවටත් ලිබරල් ක්ෂමාලාපකයින්ගේ හෝ සුලු ධනේශ්වර සංශෝධනවාදීන්ගේ පොරොන්දුවලට විපරීතව, ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධතා ජයගෙන නොමැති බව 1960 ගනන්වල අගභාගයේදී සනාථ විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ උත්පාතය තුල ධනවාදය පවත්වා ගැනීම සඳහා ස්ථාපිත කරන ලද සියලු ආර්ථික මුක්කු වේගවත් අනුක්‍රමික සන්තතියක් තුල බිඳ වැටුනි.

1960 ගනන්වල අගභාගය අවබෝධ කර ගැනීම සඳහා, එම කාල පරිච්ඡේදය එහි ඓතිහාසික සන්දර්භය තුල තැබීම වැදගත් වේ. 1914 පටන්, වසර 30 ට වැඩි කාලයක් මුලුල්ලේ ලෝකය ලේ වැකි සහ ම්ලේච්ඡ කැලඹීම්වලින් ආකූල විය. පලමුවන ලෝක සංග්‍රාමයේ බිහිසුනු බව, ලෝක ව්‍යාප්ත වසංගතයක්, මහා අවපාතය, ෆැසිස්ට්වාදයේ නැගීම සහ වඩාත් දියුනු කම්කරුවන්ගේ කොටස් කායිකව විනාශ කිරීම, ස්ටැලින්වාදී විරේක කිරීම්, දෙවන ලෝක යුද්ධය සහ හොලෝකෝස්ටය (සමූලඝාතනය) මෙයට ඇතුලත් විය.

1945 දී යුරෝපය මතු වූයේ බොහෝසෙයින් ක්ෂය වූ නිෂ්පාදන බලවේගයන්ගේ සහ අධිරාජ්‍යවාදී සංහාරයත් එහි ප්‍රතිවිපාකත් තුල අතුගා දමන ලද ජනගහනයෙන් අතිමහත් පදාසයක නටබුන් මත ය.

යුද්ධයෙන් අනතුරුව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතා ලෙස මතු වූ එක්සත් ජනපදය, ලෝක ධනේශ්වර පර්යාය ස්ථාවර කිරීමට උත්සාහ කලේය. මෙය ඉටුකිරීමට හැකි වූයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ සියල්ලටත් වඩා ස්ටැලින්වාදී පක්ෂ විසින් ධනවාදයට අවශ්‍ය හුස්ම ගැනීමේ ඉඩප්‍රස්ථාව ලබා දුන් බැවිනි. දෙවන ලෝක යුද්ධයේ ම්ලේච්ඡත්වයෙන් පසුව කම්කරුවන්ගේ දැවැන්ත විප්ලවවාදී ව්‍යාපාර මර්දනය කිරීමට සහ ගෙල සිර කිරීමට ඔවුහු ධනේශ්වර ආන්ඩු සමග සහයෝගයෙන් වැඩ කලහ.

මෙම ස්ථාවරත්වයේ ආර්ථික පදනම වූයේ, නිෂ්පාදන ක්‍රමවල ප්‍රගතිය හේතුවෙන් ඇමරිකානු කර්මාන්ත හිමි කරගත් ආර්ථික ශූරත්වයට අමතරව, යුද්ධය අතරතුර යුරෝපීය සහ ආසියානු ආර්ථිකයන් විසින් අත්විඳින ලද පුලුල් හානිය යි.

එහෙත් මතුපිටින් අතිවිශාල ස්ථාවරත්වයක් දෘශ්‍යමාන වූ සහ ඇතැම් රටවල කම්කරුවන්ගේ සමාජ තත්වයන් වැඩිදියුනු කිරීමට තුඩු දුන් මෙම ආර්ථික පුනර්ජීවනය ම, එහි බිඳවැටීමේ කොන්දේසි ද සකස් කලේය.

පශ්චාත් යුද සමය හතරවන ජාත්‍යන්තරය මත දැවැන්ත දේශපාලන පීඩනයන් යෙදීය. බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන්, සමාජවාදී කම්කරු සංගමය (එස්එල්එල්), 1950 ගනන් අග සහ 1960 ගනන්වල ට්‍රොට්ස්කිවාදයේ අඛන්ඩතාවයේ සන්තතිය සුරැකීමේ අත්‍යවශ්‍ය භූමිකාව ඉටු කලේය. නව ශාඛා ආරම්භ කිරීම ඇතුලුව මෙම කාල පරිච්ඡේදය තුල සිදු කරන ලද කාර්යයන්, අවස්ථාවාදී පරිහානිය හමුවේ, ලොව පුරා ජාත්‍යන්තර කමිටුවේ වර්ධනය සඳහා පදනම දැමීය.

පශ්චාත් යුද උත්පාතය, 1960 ගනන්වල අගභාගය සහ දෘශ්‍යමානයට යටින් පවතින ප්‍රතිවිරෝධතා විශ්ලේෂනය කිරීමේදී, අපි දේශපාලන අර්ථ ශාස්ත්‍රය, ධනේශ්වර සංවර්ධනයේ ගමන් මග සහ ධනවාදයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා, ධනවාදයේ බිඳවැටීමට තුඩු දෙන ආකාරය පිලිබඳ ගැටලු සලකා බලන්නෙමු.

අර්නස්ට් මැන්ඩෙල්—හතරවන ජාත්‍යන්තරයේ පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ නායක
අර්නස්ට් මැන්ඩෙල්

අර්නස්ට් මැන්ඩෙල් විසින් ඉදිරිපත් කරන ලද ආස්ථානයන් තේරුම් ගැනීමට මෙම තීරනාත්මක ප්‍රශ්න සමඟ කටයුතු කිරීම අවශ්‍ය වේ. කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව පැබ්ලෝවාදය විසින් ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ ආර්ථික සාධාරනීකරනය සැපයීමට මැන්ඩෙල් උත්සාහ කලේය. 20 වැනි සියවසේ මුල් භාගයේ ම්ලේච්ඡත්වයට හේතු වූ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා අධිරාජ්‍යවාදී බලවතුන් විසින් විසඳාගත් නව අවධියකට ධනවාදය ලඟා වී ඇති බව ඔහු කියා සිටියේය. ඔහු මුලදී මෙම නව කාල පරිච්ඡේදය හැඳින්වූයේ 'නව-ධනවාදය' ලෙසිනි.

මුලින්ම කේන්ද්‍රීය කරුන ඉදිරිපත් කරන්නේ නම්, මැන්ඩෙල්ගේ පැබ්ලෝවාදය වැලඳ ගැනීම වැරදි ආර්ථික න්‍යායකින් ගලා ආවා නොව, සිදුවූයේ එහි ප්‍රතිලෝමයයි. ඔහුගේ ආර්ථික විශ්ලේෂනය පදනම් වූයේ, ධනවාදයේ මිනී වල හාරන්නා ලෙස කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කිරීම මත ය.

මැන්ඩෙල් සංශෝධනවාදී එක්සත් ලේකම් මන්ඩලයේ දිගුකාලීන නායකයා විය. 1923 දී ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි උපත ලද ඔහු, දෙවන ලෝක යුද්ධය පුපුරා යාමෙන් පසු බෙල්ජියමේ දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට සම්බන්ධ විය. යුද්ධයෙන් පසුව, සහ තවමත් ඔහුගේ විසි ගනන්වල මුල් භාගයේදී, ඔහු, ඒ වන විට, ස්ටැලින්වාදයට ප්‍රගතිශීලී භූමිකාවක් ඇතැයි යෝජනා කරන ඕනෑම ප්‍රවනතාවකට දැඩි ලෙස විරුද්ධ විය. 1940 ගනන්වල අග භාගයේ පැබ්ලෝවාදයේ මතුවීමත් සමඟ මෙය වෙනස් විය.

පශ්චාත් යුද අර්බුදයෙන් ක්ෂනික ඉක්බිත්තේ ධනේශ්වර පාලනයේ යලි-ස්ථාවර වීමට මැන්ඩෙල් අනුගත විය. 1914 ලෝක ධනවාදයේ බිඳවැටීමට තුඩු දුන් සහ කම්කරු පන්තිය විප්ලවවාදී අරගලවලට තල්ලු කල ප්‍රතිවිරෝධතා ජයගෙන ඇති බව ඔහු කියා සිටියේය.

මෙම ආස්ථානය සඳහා කේන්ද්‍රීය සාධාරනීකරනය වූයේ, 1930 ගනන්වල සිදු වූවාක් මෙන්, අධිරාජ්‍යවාදී බලවතුන් ව්‍යසනකාරී අර්බුදයක් මතුවීමට යලි කිසිදා ඉඩ නොතබන බවයි. ධනවාදයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා අනිවාර්යයෙන්ම එහි බිඳවැටීමට තුඩු දෙන බවට වන මාක්ස්වාදයේ කේන්ද්‍රීය මූලධර්මය ඔහු ප්‍රතික්ෂේප කලේය. එබැවින්, මැන්ඩෙල්ගේ විශ්ලේෂනයෙන් ගලා එන්නේ, සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික අවශ්‍යතාවයක් තවදුරටත් නොපවතින බව යි.

මැන්ඩෙල් 1964 දී වාර්ෂික සෝෂලිස්ට් රෙජිස්ටර් ප්‍රකාශනය සඳහා පල කරන ලද ලිපියක මෙසේ ලිවීය:

සීතල යුද්ධයේ සහ ලෝක පරිමානයෙන් ධනේශ්වර විරෝධී බලවේගවල නැගීමේ කොන්දේසි යටතේ, 1929 ආකාරයේ, අවපාතයේ පුනරාවර්තනය වීමක් කෙසේ හෝ වලක්වා ගැනීමේ අවශ්‍යතාවය, ධනවාදයට ජීවිතය සහ මරනය පිලිබඳ ප්‍රශ්නයක් බවට පත්ව ඇත. ප්‍රති-චක්‍රීය ප්‍රතිපත්තිවල (ආර්ථික චක්‍රයේ බලපෑම් වලට ප්‍රතිරෝධය දක්වන ප්‍රතිපත්තිමය පියවරයන් - පරිවර්තක) ශිල්පීය ක්‍රම සහ එක් එක් රාජ්‍යය විසින් මිලදී ගැනීමේ බලය යලි බෙදා ගැනීම වැඩිවන පරිමානයෙන් වර්ධනය විය. රාජ්‍යය දැන් සෘජුව සහ වක්‍රව පුද්ගලික ලාභය, සැඟවූ සහනාධාරවල සිට “අලාභ ජනසතුකරනය” දක්වා විහිදෙන ආකාරයෙන් සහතික කරන අතර සමකාලීන ධනවාදයේ මෙම අංගය දැන් එහි වඩාත්ම කැපී පෙනෙන ලක්ෂනයක් බවට පත්ව තිබේ. [1]

වෙනත් වචන වලින් කිවහොත්, අධිරාජ්‍යවාදී රාජ්‍යයට දැන් ධනවාදයේ ප්‍රතිවිරෝධතා සංවරනයන් සහ තුලනයන් මාලාවක් හරහා ජය ගැනීමට හැකි වී තිබේ. මාක්ස්වාදී ඌරුවකින් සැරසුනු, කේන්සියානුවාදය නම් වූ පාරිභාෂික වචනයෙන් හඳුන්වන පිලිවෙත තුලින්, එනම් රාජ්‍යයේ මැදිහත්වීම හරහා ආර්ථිකය නියාමනය කිරීම තුලින්, 1930 ගනන්වල පරිමානයේ බිඳවැටීමක් වලක්වා ගැනීමට ධනේශ්වර පාලක පන්තීන්ට හැකිවිය,. පැබ්ලෝවාදී දියකරහැරීමීවාදයේ ආර්ථික සාධාරනීකරනය මෙය විය.

බ්‍රිතාන්‍යයේ කම්කරු පාලනය සඳහා වූ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද බටහිර යුරෝපය සඳහා සමාජවාදී උපාය මාර්ගයක් යන මැයෙන් 1965 දී පල කරන ලද පොත් පිංචක මැන්ඩෙල්ගේ ආස්ථානය, සමහර විට වඩාත්ම පැහැදිලි ආකාරයෙන් දක්වා ඇත. මෙම ආයතනය, විවිධ පූර්ව-ස්ටැලින්වාදීන්, කම්කරු “වම්මුන්” සහ වෘත්තීය සමිති උපකරනවල “වාම” කොටස් වලින් සමන්විත සංවිධානයකි.

එය මෙසේ ආරම්භ කරයි:

බටහිර යුරෝපයේ සමාජවාදී මූලෝපාය පිලිබඳ විවාදය ඇරඹිය යුත්තේ, ඉදිරි දශකය තුලදී, 1929-1933 සමග සැසඳිය හැකි තරමේ බැරෑරුම්කමකින් යුත් ලෝක යුද්ධයක් හෝ ආර්ථික අර්බුදයක් හෝ ඇති නොවනු ඇතැයි යන පූර්ව උපකල්පනයෙනි. [2]

මැන්ඩෙල්ගේ සංශෝධනවාදයේ මූලික ඉදිරිදර්ශනය සහ එය මාක්ස්වාදයේ පදනම වෙතම යොමු කර ඇති බව මෙයට වඩා පැහැදිලිව ඉදිරිපත් කල නොහැක.

විප්ලවවාදී පක්ෂයේ මූලෝපාය කුමක්ද? එය පදනම් වී ඇත්තේ, දේශපාලන බලය සඳහා අරගලයට කම්කරු පන්තිය සූදානම් කිරීම විප්ලවවාදී පක්ෂයේ මූලික කර්තව්‍යය බවට පත් කෙරෙන, යුද්ධ සහ විප්ලවයන්ගේ යුගයේ ස්වභාවය අවබෝධ කර ගැනීම මත ය.

ට්‍රොට්ස්කි, ලෙනින්ගෙන් පසු තුන්වන ජාත්‍යන්තරය තෘතිය තුල මෙම අතිශයින් වැදගත් ප්‍රශ්නය සලකා බැලීය. එහිදී ඔහු මෙසේ ලිවීය:

මාක්ස්වාදය විසින්, ප්‍රථම වරට, පන්ති අරගලයේ පදනම මත බලය අත්පත් කර ගැනීමේ කර්තව්‍යය නිර්ධන පංතියේ විප්ලවවාදී පක්ෂ ඉදිරියේ තැබූ කාලයේ සිටම, විප්ලවවාදී මූලෝපායේ මූලික මූලධර්ම නියත ලෙසම සුත්‍රගත කලේ ය. [3]

ධනවාදය තවමත් නැඟී එමින් සිටි බැවින්, පලමු ජාත්‍යන්තරයට මෙම මූලධර්ම සුත්‍රගත කිරීමට හැකි වූයේ න්‍යායාත්මකව පමනි.

'දෙවන ජාත්‍යන්තරයේ යුගය', බර්න්ස්ටයින්ගේ කුප්‍රකට කියමන වන “ව්‍යාපාරය යනු සියල්ල යි, අවසාන ඉලක්කය නොවැදගත් ය” යන්නෙන් ප්‍රකාශයට පත් වූ එහි විධික්‍රම සහ දෘෂ්ටීන් ට තුඩු දුන් බව ට්‍රොට්ස්කි තවදුරටත් පැවසීය. වෙනත් වචන වලින් කිවහොත්, මූලෝපායික කර්තව්‍යය අතුරුදහන් වූ අතර, එය දෛනික ගැටලු සඳහා කැප වූ එහි අර්ධ උපක්‍රම සමඟ එදිනෙදා “ව්‍යාපාරය” තුල දිය වී ගියේය.

තුන්වන ජාත්‍යන්තරය පමනක් ම කොමියුනිස්ට්වාදයේ විප්ලවවාදී මූලෝපායේ උරුමය නැවත ස්ථාපිත කල අතර උපායික විධික්‍රම මුලුමනින්ම එයට යටත් කලේය.[4]

නමුත් මැන්ඩෙල්ට අනුව, පලමු ලෝක යුද්ධයත් සමඟ විවර වූ විප්ලවවාදී යුගය අවසන් වූ අතර ධනවාදයේ සාමකාමී ඓන්ද්‍රීය සංවර්ධනයේ නව කාල පරිච්ඡේදයක් ආරම්භ වී තිබුනි. දේශපාලන බලය පිලිබඳ ප්‍රශ්නය න්‍යාය පත්‍රයට ඇතුලත් වියහැකි තරමට ධනවාදයේ ප්‍රතිවිරෝධතා යලි කිසිදාක තීව්‍රතාවයකට පත් නොවනු ඇත!.

යථාර්ථයේ දී 1965-75 දශකය සනිටුහන් වූයේ, 1930 ගනන්වල මහා අවපාතයෙන් සහ පන්ති සටන් මාලාවක් පුපුරා යාමෙන් පසුව ඇති වූ වඩාත්ම අර්ථභාරී ආර්ථික අර්බුදයකිනි.

න්‍යෂ්ටික යුද්ධය පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත් කල, ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයක අද්දරට ගෙන ආ 1962 ඔක්තෝබර් කියුබානු මිසයිල අර්බුදය පැමිනියේ, එය භව්‍යතාවක් නොවන බවට මැන්ඩෙල් තිරසරව කල ප්‍රකාශයෙන් යන්තම් වසර දෙකහමාරකට පසුව ය.

පැබ්ලෝවාදී දියකරහැරීම්වාදයේ මූලික ප්‍රකාශනය වූයේ, ශතවර්ෂ ගනනාවක් තිස්සේ විකෘත කම්කරු රාජ්‍යයන් බිහි කරන, එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර න්‍යෂ්ටික යුද්ධයක් සමාජවාදී පරිවර්තනයේ පදනම වන යුද-විප්ලව ප්‍රවාදය බව ද සිහිපත් කල යුතුය. මැන්ඩෙල් ඔහු විසින් සොයා ගන්නා ලද නව යථාර්ථයන් කරා ගමන් කරන විට, දශකයකට වඩා මඳක් පෙර දී ඔහු පෙලගැසී සිටි ඉදිරිදර්ශනය සම්බන්ධයෙන් ඔහුට වගේවගක් නොතිබුනි.

සමාජවාදය පිලිබඳ ලෝක අපේක්ෂාව සහ පශ්චාත්-යුද උත්පාතය පිලිබඳ එස්එල්එල් විශ්ලේෂනය

අධිරාජ්‍යවාදී යුගයේ ස්වභාවය පිලිබඳ අවබෝධය මත පදනම් වූ දේශපාලන අර්ථශාස්ත්‍රය පිලිබඳ මාක්ස්වාදයේ කාර්යයසාධනයේ සාරය නම්, යටින් පවතින ප්‍රතිවිරෝධතා හෙලිදරව් කිරීම සඳහා ධනවාදය විසින් ජනනය කරන ලද දෘශ්‍යමාන ස්වරූපයන් විනිවිද යාම සහ මෙම පදනම මත, එම ප්‍රතිවිරෝධතා විසින් තමා ඉදිරියේ තබන කර්තව්‍යයන් සඳහා කම්කරු පන්තියේ පෙරටුගාමී බලඇනිය සූදානම් කිරීමයි. පන්ති අරගලයේ ක්ෂනික තත්වයන්ට හා වර්ධනයන්ට මුහුන දීමට උපක්‍රම වර්ධනය කල යුතු මුත් ඒවා මෙම පදනම මත පාදක විය යුතුය.

එපමනක් නොව, පන්ති අරගලයේ වර්ධනය එයට ඇතුලත් නොවන්නේ නම්, වෛෂයික තත්වය පිලිබඳ ඕනෑම විශ්ලේෂනයක් අර්ධ, අසම්පූර්න වනවා මෙන්ම, එය මූලික වශයෙන් දෝෂ සහිත ය. ඒ තුල වඩාත් වැදගත් වන්නේ, විප්ලවවාදී වැඩපිලිවෙලකින් හා ඉදිරිදර්ශනයකින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමට සහ සූදානම් කිරීමට විප්ලවවාදී පක්ෂය ගෙන යන අරගලයයි.

සමාජවාදය පිලිබඳ ලෝක අපේක්ෂාව [ඡායාරූපය: සමාජවාදී කම්කරු සංගමය] [Photo: Socialist Labour League]

මැන්ඩෙල්ගේ සියලු කෘතීන් මාක්ස්වාදයේ මෙම අත්‍යවශ්‍ය අංගයෙන් තොර වුවද, එය එස්එල්එල් විශ්ලේෂනය තුල කැපී පෙනෙන ලෙස ඉදිරිපත් වූ අතර 1961 දී සමාජවාදය පිලිබඳ ලෝක අපේක්ෂාව යන මැයෙන් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන ලේඛනය තුල බලගතු ලෙස හුවාදැක්විනි.

පැබ්ලෝවාදයට එරෙහි අරගලයට පදනම දැමු එස්එල්එල් 1959 පිහිටුවීමෙන් ටික කලකට පසු මෙම ලේඛනය සකස් කරන ලදී. 1950 ගනන්වල අග භාගයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) සැලකිය යුතු දුර්වලතාවයක් වූයේ ධනවාදයේ අර්බුදයමත් පරීක්ෂා කිරීමෙන් ඈත් වීමයි. මෙම මාරුව, පැබ්ලෝවාදයට එරෙහි ඔවුන්ගේ විරුද්ධත්වය මෘදු කිරීම සහ අවසානයේ යලි එකමුතු කිරීම කරා ගමන් කිරීම සමග සමීපව සම්බන්ධ විය.

මූලික කරුන ඉදිරිපත් කිරීම සඳහා, වෛෂයික ආර්ථික තත්වය පිලිබඳ විද්‍යාත්මක තක්සේරුවක් වර්ධනය කල හැක්කේ, සංශෝධනවාදයට එරෙහි අරගලයක් මත න්‍යායික කාර්යය පදනම් වන්නේ නම් පමනි. මෙම කාල පරිච්ඡේදය තුල එස්එල්එල් විසින් නිමවන ලද ලේඛනවල අන්තර්ගතය මෙම අත්‍යවශ්‍ය කරුනෙන් උකහා ගන්නා ලදී.

එස්එල්එල් ඉදිරිපත් කල දෙය සම්පූර්නයෙන්ම අද්විතීය විය. පශ්චාත් යුද උත්පාතයේ දෘශ්‍යමාන රුපාකාරයන් විනිවිද යාමට සහ මෙම වර්ධනයන්ට යටින් පැවති බලවේග හා ප්‍රතිවිරෝධතා පෙන්වීමට එය උත්සාහ කලේ, ය. කම්කරු පන්තිය විසින් දේශපාලන බලය අත්පත් කර ගැනීම පිලිබඳ ප්‍රශ්නය යලි මතු කරන මහජන අරගල පෙරට ගෙන එමින්, මෙම යටින් පවතින ක්‍රියාවලීන් ආර්ථික අර්බුදයකට තුඩු දෙන ආකාරය ඔවුන් ගෙනහැර දැක්වීය.

එහි විශ්ලේෂනයේ දී, එස්එල්එල්, මැන්ඩෙල් වැනි සංශෝධනවාදීන්ගේ උත්සාහයන් සහ පැබ්ලෝවාදී දියකරහැරීම්වාදයේ ආර්ථිකමය සාධාරනීකරනයක් ගොඩනැගීමේ ඔහුගේ උත්සාහය ප්‍රතික්ෂේප කලේ ය. මෙම ලේඛනය, එස්ඩබ්ලිව්පී යලි එකමුතු කිරීම දෙසට ගෙන යන ගමනට එරෙහි සටනේ කොටසක් ද විය.

එය ආරම්භ වන්නේ, ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් විශ්ලේෂනය කරන ලද, අධිරාජ්‍යවාදී යුගයේ ස්වභාවය පිලිබඳ සංයුක්ත විස්තාරනයකිනි:

මානව වර්ගයාගේ ඉතිහාසයට ධනවාදය ලබා දුන් ප්‍රගතිශීලී දායකත්වය බොහෝ කලකට පෙර ම අවසානය කරා ලඟා විය. දැනටමත්, 20 වැනි සියවසේ ආරම්භයේ දී, එය අධිරාජ්‍යවාදයේ අවසාන අදියර කරා—යුද්ධ හා විප්ලවයන්ගේ යුගයක් කරා—තල්ලු කර තිබුනි.[5]

ප්‍රතිමල්ලව ධනේශ්වර රාජ්‍යයන් අතර බෙදී ගිය ලෝක ගෝලය ලෝක යුද්ධ පුපුරා යාමේ ස්වරූපයෙන් “ප්‍රචන්ඩ ගැටුමකට” ගෙන ආ ආකාරය ලේඛනය දිගටම ගෙනහැර දක්වයි. මෙම රාජ්‍යවල පාලක පන්තීන්, යටත් විජිතවල ජාතික නිදහස් ව්‍යාපාරවල ස්වරූපයෙන් දෙස් විදෙස් කම්කරු පන්තියෙන් තම පාලනයට එල්ල වූ නිරන්තර අභියෝගයට මුහුන දුන්හ.

ධනවාදයට සාමකාමී සහ ස්ථාවර සංවර්ධනයක් සඳහා කොන්දේසි සහතික කිරීමට හැකි වීම වෙනුවට, 'සාපේක්ෂ වශයෙන් සාමකාමී කාලපරිච්ඡේදවල දී පවා එය පරිහානිය සහ සැහැසිකම කෙරෙහි නිත්‍ය නැඹුරුවක් පෙන්නුම් කලේය.'[6]

එස්එල්එල් විසින්, 1914 න් පසු වසරවලදී රාජ්‍යකරනයේ ප්‍රපංචය සහ මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය අඛන්ඩව පැහැදිලි කලේය:

ධනේශ්වර ඉතිහාසයේ නව යුගයේ ප්‍රකාශනය වූයේ, වඩාත් 'ප්‍රජාතන්ත්‍රවාදී' රටවල පවා, වර්ධනය වන මූල්‍ය-ප්‍රාග්ධනයේ සහ ඒකාධිකාරයේ බලය, පාලක පන්තියේ උපකරනයක් වන රාජ්‍ය යන්ත්‍රය මාධ්‍යයක් ලෙස යොදා ගනිමින් සමාජ හා ආර්ථික ජීවිතය සමකාලික කිරීම (synchronization) සහ මිලිටරි කොන්ත්‍රාත්තු කර්මාන්තයේ වැදගත්කම වැඩි කිරීම යි. [7]

නිශ්චිත කාලවලදී සහ ඇතැම් රටවල් තුල, ධනවාදයේ නෛසර්ගික ගැටලු ජයගෙන ඇති බව පෙනෙන්නට තිබුනද, මෙය සැමවිටම තාවකාලික බව පැහැදිලි විය. ඊටත් වඩා, ක්‍රියාත්මක කරන ලද සියලුම තාවකාලික යාන්ත්‍රනයන් ප්‍රතිවිරෝධතා ගැඹුරු කරන අතර අර්බුදය නව තලයකට ඔසවා තබයි. ලේඛනයේ සඳහන් වන පරිදි, 'අවසාන ප්‍රතිඵලය වන්නේ සමාජ හා ආර්ථික ප්‍රතිවිරෝධතා ගැඹුරු වීම සහ ධනවාදයේ අඛන්ඩ පැවැත්මෙන් මානව වර්ගයාට ඇති අන්තරාය ඉහල නැගීමයි.'[8]

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව මතු වූ දෘශ්‍යමාන රූපාකාරයන් සමඟ කටයුතු කිරීමේදී, 'ලෝක ඉදිරිදර්ශන' යෝජනාව පහත සඳහන් තීරනාත්මක කරුන ඉදිරිපත් කරයි:

දෘශ්‍යමානයේ දී, අද ධනවාදයේ විධික්‍රම, දියුනු රටවල ‘සුභසාධන රාජ්‍යවාදී’ පිලිවෙත සහ ‘යටත් විජිත ස්වාධීනත්වයේ’ පිලිවෙත යන දෙකම අතීතයට වඩා සාමකාමී ය. ඇත්ත වශයෙන්ම ඊනියා ‘නව ධනවාදයේ’ එවැනි පිලිවෙත් පැන නගින්නේ, පූර්ව යුද සමයේ ෆැසිස්ට්වාදයේ සහ දැඩි සන්නද්ධකරනයේ විධික්‍රමවලට සමාන අවශ්‍යතාවලින්ම වන අතර ඒවාට ඇත්තේ එකම අරමුනකි. එවැනි ලුම්පිත කොටස් සමග කරන මංමුලා සහගත සූදුවක් වන ෆැසිස්ට් ව්‍යාපාර නිර්මානය කිරීමේ විකල්පය, ධනේශ්වරය මගහැර යාමට කැමති අන්තරායකාරී ම එකකි. එය හැකි සෑම විටම තෝරා ගන්නේ, පාර්ලිමේන්තුව, නිලධරය, දේශපාලන පක්ෂ සහ සංවිධානාත්මක කම්කරු ව්‍යාපාරය හරහා ක්‍රියාත්මක වීම යි.

එලෙසම, යටත් විජිතවලදී, බලයෙන් හැර වෙනත් ක්‍රමවලින් රඳවා තබා ගත නොහැකි තම ස්ථානය රැක ගැනීමට අධිරාජ්‍යවාදීන් මංමුලා සහගත ලෙස සටන් කරයි. නමුත්, බලවේගයන්ගේ ලෝක තුලනය, මර්දනය තුලින් යටත් විජිත මත තම දේශපාලනික ආධිපත්‍යය රඳවා තබා ගැනීමට අධිරාජ්‍යවාදීන්ට අවස්ථාව සලසා දේ. ඔවුන්ගේ බුද්ධිමත් නියෝජිතයන් හැකි සෑම තැනකදී ම එය මගහැර යාමට උත්සාහ කරති. ක්‍රමවේදයේ මෙම වෙනස්වීම, ඒ හැටියට ගත්කල ධනවාදයේ කවර හෝ වෙනසක් පෙන්නුම් නොකරයි. [අවධාරනය ඈඳිනි] වත්මන් ගමන් මග ස්ථීර එකක් යැයි හෝ, අවශ්‍ය නම් විවිධ රටවල ධනේශ්වරය නැවත වරක් ෆැසිස්ට්වාදයේ පිහිට පැතීම හෝ තර්ජනාත්මක තනතුරු රැක ගැනීමට හෝ රඳවා ගැනීමට ජාත්‍යන්තරව බලය පාවිච්චි නොකරනු ඇතැයි උපකල්පනය කල නොහැක. [9]

මෙම ඡේදය එහි පූර්වඥානය සම්බන්ධයෙන් කැපී පෙනේ. එකල පැවති අනෙකුත් සෑම දේශපාලන ප්‍රවනතාවකට ම වෙනස් ලෙස, ධනේශ්වර මෙහෙයුම් මාදිලියේ දෘශ්‍යමාන රූපාකාරයන් සමඟ කටයුතු කිරීමට එස්එල්එල් සමත් වූ අතර, මෙම දෘශ්‍යමාන රූපාකාරයන් නෛසර්ගික ප්‍රතිවිරෝධතා හෙලි කරන්නේ කෙසේද යන්න පිලිබඳව ගැඹුරින් සොයා බලයි.

1960 දෙසැම්බර් සහ 1961 ජනවාරි බෙල්ජියම් මහා වැඩ වර්ජනයෙන් ද එස්එල්එල් දුරදිග යන නිගමනවලට එලඹුනු අතර, එහි දී කොංගෝවේ යටත් විජිතය අහිමි වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් බෙල්ජියම් ආන්ඩුව, බෙල්ජියම් ප්‍රාග්ධනය තරඟකාරී කිරීමට සහ යටත් විජිතය අහිමි වීමේ පිරිවැය කම්කරු පන්තිය මත පැටවීමට කප්පාදු පියවර මාලාවක් උසිගැන්වීමට උත්සාහ කලේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කම්කරුවන් 700,000 ක් පමන වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්න වූ අතර බෙල්ජියම් ආන්ඩුව එයට ප්‍රතිචාර දැක්වූයේ ෂොන්ඩාමරී නම් පොලිස් බලකාය භාවිතා කරමින් සහ නේටෝ හමුදා පවා යලි කැඳවමිනි.

මැන්ඩෙල් වැනි සෑම ධනේශ්වර ආර්ථික විද්‍යාඥයෙකුට ම සහ සෑම සංශෝධනවාදී සූත්‍රගත කිරීමකට ම එරෙහිව එස්එල්එල් පහත සඳහන් දේ ලිවීය: “60 ගනන්වල භව්‍යතාව ස්ථාවර අඛන්ඩ ප්‍රසාරනයක් නොව, ඒ වෙනුවට වැඩිවන දුෂ්කරතාවයකි: අවපාතයෙන් බිඳී ගිය ප්‍රධාන ධනේශ්වර රටවල් අතර වෙලඳපොල සඳහා අරගලයක් සහ අර්බුද. එවැනි තත්වයන් තුල ධනේශ්වර ලෝක ආර්ථිකයේ අවම සූදානමකින් සිටින එම කොටස් දැඩි පීඩනයන්ට ලක් වනු නිසැකය. 1960 දෙසැම්බර් සහ 1961 ජනවාරි බෙල්ජියමේ සිදුවීම්, අත්විඳීමට ඉඩ ඇති ආකාරයේ ගැටලු සහ ඒවාට එරෙහිව සටන් කිරීමට පාලක පන්තිය භාවිතා කරන විධික්‍රමවල පෙර නිමිත්තකි.' [10]

මෙම විශ්ලේෂනය සංශෝධනවාදයට එරෙහි අරගලයට සමීපව සම්බන්ධ විය. සමාජවාදී විප්ලවය ක්ෂනික න්‍යාය පත්‍රයෙන් බැහැරව ඇති කාලපරිච්ඡේදයේ විප්ලවවාදී පක්ෂයේ වඩාත්ම තීරනාත්මක සූදානම වන්නේ මාක්ස්වාදයේ, එනම් ට්‍රොට්ස්කිවාදයේ පදනම මත, සියලු ආකාර අවස්ථාවාදයන්ගෙන් වෙන්වීමයි. මෙය පදනම් වී ඇත්තේ, පක්ෂය යනු, පුපුරා යන මහජන අරගල දේශපාලන බලය සඳහා සවිඥානික සටනක් බවට පරිවර්තනය කිරීමේ ප්‍රධාන සාධකය බව වටහා ගැනීම මත ය.

මෙම තීරනාත්මක කාල පරිච්ඡේදය තුල එස්එල්එල් හි වැඩ කටයුතු, 1968 ප්‍රංශ මහා වැඩවර්ජනයේ දී පෙන්නුම් කල පරිදි, කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී ව්‍යාපාරවලට පමනක් නොව, ඇමරිකානු ධනවාදයේ අර්බුදයට ද මග පෑදුනු කාල පරිච්ඡේදයක් වන 1960 ගනන්වල පශ්චාත් කාලපරිච්ඡේදයේ මතුවන සංකීර්න ආර්ථික වර්ධනයන් පිලිබඳ අවබෝධය සඳහා පදනම දැමුවේය.

බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුම සහ මාෂල් සැලැස්ම

මෙයට මුහුන දීමට නම් අප පශ්චාත් යුධ සමයේ පිහිටුවා ඇති පද්ධතිය දෙස බැලිය යුතුය. යුද්ධයෙන් පසු එක්සත් ජනපද ආර්ථික ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය ඵලක දෙක වූයේ බ්‍රෙටන් වුඩ්ස් මූල්‍ය ක්‍රමය සහ මාෂල් සැලැස්මයි. පලමුවැන්න 1944 දී ආරම්භ වූ අතර ලෝක ආර්ථිකය නැවත ගොඩනැගීමේ පදනම විය. එය එක්සත් ජනපදයේ ආර්ථික ශක්තියේ පදනම මත එක්සත් ජනපද ඩොලරය ගෝලීය මුදල ලෙස ස්ථාපිත කලේය. රත්‍රන් අවුන්සයක් ඇමෙරිකානු ඩොලර් 35 ක ස්ථාවර විනිමය අනුපාතයකට පරිවර්තනය කල හැකි බවට සහතික විය. මෙම නව මූල්‍ය ක්‍රමය අධීක්ෂනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නිර්මානය කරන ලදී.

කෙසේ වෙතත්, නව මූල්‍ය පද්ධතියක් ස්ථාපිත කිරීමට එය ප්‍රමානවත් නොවීය. එක්සත් ජනපදයේ නිෂ්පාදිත භාන්ඩ මිලදී ගැනීමට සහ විකිනීමට එම භාන්ඩ සඳහා වෙලඳපොලක් අවශ්‍ය විය. මෙම ප්‍රශ්නය ප්‍රාග්ධන සංසරනයේ සාක්ෂාත්කරනය පිලිබඳ ප්‍රශ්නය සමඟ බැඳී ඇත.

ධනේශ්වර නිෂ්පාදනයේ අරමුන භාන්ඩ නිෂ්පාදනය නොවේ, මෙය අරමුනක් සඳහා වන මාධ්‍යයක් පමනි. ප්‍රාග්ධනයේ පරිපථය මුදල් වේ. මෙය පැහැදිලි කරන්නේ නම්, ශ්‍රම ශක්තිය, අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන මාධ්‍ය ඇතුලු භාන්ඩ මිලදී ගැනීමට මුල්‍ය ප්‍රාග්ධනය භාවිතා වේ. මේවා පසුව, කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම් උකහා ගැනීම සඳහා භාන්ඩ නිෂ්පාදනයට යොදා ගැනේ. මෙම අතිරික්ත වටිනාකම සාක්ෂාත්කරනය වන්නේ නිෂ්පාදනය කර ඇති භාන්ඩ විකිනීමෙන්, ඒවා මුදල් බවට පත් කිරීමෙනි; එවිට ප්‍රාග්ධන සංසරනය නැවත ආරම්භ කල හැකිය.

මෙම ක්‍රියාවලිය, සාක්ෂාත්කරනයේ ගැටලුව ලෙස හඳුන්වන දෙයට, එනම් භාන්ඩ නැවත මුදල් බවට පත් කිරීමට හේතු වේ. භාන්ඩ අලෙවි කල නොහැකි නම් හෝ අලෙවි කල හැක්කේ අඩු මිලට නම්, එයින් අදහස් වන්නේ, ඒවා තුල ඇති අතිරික්ත වටිනාකම්වලින් යම් ප්‍රමානයක් සාක්ෂාත්කරනය කර නොගත් බව ය.

කෙසේ වෙතත්, නිෂ්පාදනය, එනම් අතිරික්ත වටිනාකම උකහා ගැනීම, ධනේශ්වර පද්ධතියේ ගාමක බලවේගය වන අතර, සංසරනයේ කවර හෝ ගැටලුවක් අවසාන නිර්නයේදී මුල් බැස ඇත්තේ ඒ තුල බැවින් වඩා ගැඹුරට යා යුතුය.

එක් ස්ථානයක නිපදවන අතිරික්ත වටිනාකම තවත් ස්ථානයක දී සාක්ෂාත් කරගත යුතු බව මාක්ස් සඳහන් කලේය. නිෂ්පාදනය කරන භාන්ඩ මිලදී ගත හැකි අනෙකුත් ධනපතියන්ගේ පැවැත්ම මත අතිරික්ත වටිනාකම් සාක්ෂාත්කරනය රඳා පවතින බව ඔහු නිරීක්ෂනය කලේය. නිදසුනක් වශයෙන්, එක් කර්මාන්තයක ධනපතියන් වෙනත් ධනපතියන්ගේ හෝ පාරිභෝගිකයන්ගේ අනුරූපී ඉල්ලුමකින් තොරව භාන්ඩ නිෂ්පාදනය කරන්නේ නම්, නිෂ්පාදනය හරහා ජනනය වන අතිරික්ත වටිනාකම සම්පූර්නයෙන් සාක්ෂාත් කරගත නොහැක.

වමේ සිට දකුනට: ජනාධිපති හැරී එස්. ටෲමන්, රාජ්‍ය ලේකම් ජෝර්ජ් සී. මාෂල්, ආර්ථික සහයෝගිතා පරිපාලක පෝල් හොෆ්මන් සහ තානාපති ඇවෙරෙල් හැරිමන්, 1948 නොවැම්බර් 29 දින ඕවල් කාර්යාලයේදී මාෂල් සැලැස්ම ගැන සාකච්ඡා කරති.


යුද්ධයෙන් පසු යුරෝපීය ධනවාදය පන ගැන්වීමට ඇමරිකානු ධනවාදයට සිදුවූයේ ඇයිද යන්නට අපි මෙහි දී පැමිනෙමු. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අතීතයේ පැවති අන්තර් අධිරාජ්‍යවාදී එදිරිවාදිකම් ජයගත් නව, කාරුනික ස්වරූපයක් දක්වා පරිනාමය වී නොතිබුනි. එක්සත් ජනපදයෙන් උකහා ගන්නා ලද අතිරික්ත වටිනාකම සාක්ෂාත්කරනය සඳහා, එය ආර්ථික ප්‍රසාරනය සහ එක්සත් ජනපද භාන්ඩ සඳහා වෙලඳපොලක් මෙන්ම එක්සත් ජනපද ආයෝජන සඳහා ලාභදායී ක්ෂේත්‍ර සහතික කිරීමට, යුරෝපයෙන් ද උකහා ගත යුතු විය.

මේ සඳහා යුරෝපීය ධනවාදයේ පුනර්ජීවනය අත්‍යවශ්‍ය වූ අතර 1947-48 දී මාෂල් සැලැස්ම හඳුන්වා දීම පිටුපස පැවතියේ මෙය යි. එවැනි සැලැස්මක් ක්‍රියාත්මක නොකලහොත් යුරෝපය, අවපාතයකට නොවේ නම්, පසුබැස්මකට ලක් වනු ඇති බවත්, කම්කරු පන්ති අරගල පුපුරා යාමට තුඩු දෙන බවත්, දේශපාලන ස්ථාවරත්වයේ යාන්ත්‍රනයන් බිඳ දැමීමේ තර්ජනයකට තුඩු දෙනු ඇති බවත් හඳුනා ගන්නා ලදී. විශේෂයෙන්ම ඉතාලියේ සහ ප්‍රංශයේ, අපකීර්තිමත් ධනේශ්වරය නැවත සෑදලයට ඔසවා තැබූ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවල භූමිකාව මෙයට ඇතුලත් කල යුතු ය.

මාෂල් සැලැස්මේ තවත් අංගයක් වූයේ එහි සමස්ත යුරෝපීය ස්වභාවයයි. එක්සත් ජනපද කාර්මික විධික්‍රම හඳුන්වාදීමත් සමග යුරෝපීය ධනවාදයේ නිෂ්පාදන ධාරිතාව ඉහල දමනු ලැබූ අතර, එය කම්කරු පන්තිය සූරාකෑමේ වේගය වැඩි කරමින් අතිරික්ත වටිනාකම් ස්කන්ධය ඉහල නැංවීය.

එහෙත් මෙම ක්‍රියාවලියමත් ඇඟවුම් කරන ලද්දේ, 1961 දී එස්එල්එල් විසින් විශ්ලේෂනය කරන ලද ක්‍රියාදාමයක් වන, යුද්ධයෙන් ක්ෂනික ඉක්බිති සමය තුල එක්සත් ජනපදය භුක්ති විඳි කාර්මික ආධිපත්‍යය ඛාදනය වෙමින් පවතින බවයි. එක් අතකින් යුරෝපීය ආර්ථිකයේ පුනර්ජීවනය මගින් යුරෝපීය පාලක පන්තියේ දේශපාලන කේවල් කිරීමේ බලයේ සාපේක්ෂ වර්ධනයක් අත්දුටු අතර, අනෙක් පැත්තෙන් අතීතයේ මෙන් නොව, නව ආර්ථික ප්‍රතිවිපාක මාලාවක් දැකගත හැකි විය.

මෙහි තියුනු පිලිබිඹුවක් වන්නේ, පසුගිය වසර දෙකේ විශාල ලෙස සහ අඛන්ඩව පැවති ගෙවුම් ශේෂ හිඟයේ ප්‍රතිඵලයක් ලෙස ඩොලරය දුර්වල වීමයි. ඩොලරය අවදානමට ලක්වීම පිලිබිඹු කරන්නේ, අර්ධ වශයෙන් අනෙකුත් මුදල් ඒකකවල, විශේෂයෙන් මාර්ක්වල (ජර්මනියේ මුදල් ඒකකය) වැඩි ශක්තිය මෙන්ම ඉහල මිලිටරි වියදම් සහ ඌන සංවර්ධිත රටවලට දෙන ආධාර ද ඇතුලත් ඇමරිකානු මූලෝපායන්හි ලෝක වගකීම් ය. යුරෝපීය මධ්‍යස්ථානවල ඉහල පොලී අනුපාත ද අරමුදල් මාරු කිරීමට (transfer) හේතු වී ඇති අතර, ඩොලරයේ අවප්‍රමාන වීම ඩොලරයේ දුෂ්කරතාවන්ට තවදුරටත් දායක වන බව පෙනෙන විට—1960 ජූලි සහ සැප්තැම්බර් අතර සිදු වූවාක් මෙන්—මෙම සමපේක්ෂන චලනයන් වියරු ස්වභාවයක් අත් කර ගති.[11]

ලෝක බලවේගයක් ලෙස ඇමරිකානු ධනවාදයේ ආසන්න පරිහානිය, මෙම මුල් අවධියේදී ම යෝජනා කිරීම වැරදි බව එස්එල්එල් පෙන්වා දුන්නේය. එය එසේ වුවද, 'වේගවත් වර්ධනයක් අත්පත්කර ගැනීමට හෝ දැවැන්ත ආයුධ වියදම්වලින් මිදීමට එක්සත් ජනපද ආර්ථිකයට ඇති නොහැකියාව පෙන්නුම් කරන්නේ ශක්තිමත්ම ධනවාදය පවා අර්බුදයක පවතින බවයි.'[12]

1961 ලේඛනයේ විශ්ලේෂනය තුල තීරනාත්මක වූයේ විප්ලවවාදී නායකත්වයේ භූමිකාව හඳුනා ගැනීමයි. ප්‍රංශය දෙවන ලෝක සංග්‍රාමයෙන් 'යුරෝපයේ රෝගාතුර මිනිසා' ලෙස මතු වී තිබුනි.[13] පස්වන ජනරජයේ බොනපාට්වාදී නායකයෙකුගේ භූමිකාව රඟපාමින් චාල්ස් ඩි ගෝල් බලයට පත් කිරීම අර්බුදග්‍රස්ථ පාලන තන්ත්‍රයක ක්‍රියාවකි.

එක්සත් ජනපදය තුල, සමාජයේ ප්‍රධාන ස්ථරවල “නිද්‍රාව” බිඳී යාමේ සලකුනු හඳුනා ගැනීම, සුලු ධනේශ්වර බොහීමියාව සහ තරුනයින් රැඩිකලීකරනය කිරීම හරහා මතුවෙමින් තිබූ විවිධ ප්‍රවනතා හඳුනා ගැනීම සහ විශේෂයෙන් විශ්ව විද්‍යාල තුල සහ නැගී එන සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය ගැන සටහන් ඒ තුල (උක්ත ලියවිල්ල) ඇතුලත් ය.

සියල්ලටත් වඩා, ඇමරිකානු තත්වය තුල කැපී පෙනෙන සාධකය මාක්ස්වාදී පක්ෂයේ භූමිකාව බව එය සටහන් කලේය. එය, එස්ඩබ්ලිව්පීයේ උර මත තබා ඇති දැවැන්ත දේශපාලන වගකීම් සහ එම වගකීම්, “නිරපේක්ෂ පැහැදිලිකමකින් සහ ස්ථිර දේශපාලන ක්‍රියා මාර්ගයකින් තොරව ඉටු කල නොහැකි” බව පෙන්වා දුන්නේය.[14]

එස්ඩබ්ලිව්පීයේ විප්ලවවාදීන්ට මෙම අන්තරායන්ට එරෙහිව තමන්ගේම දේශපාලන වැඩකටයුතු ගැන වරින් වර පරීක්ෂා කර බැලීම අවශ්‍ය වේ. සාපේක්ෂ වශයෙන් දේශපාලනිකව හුදකලා තත්වයක සිටින, ප්‍රවාහයට එරෙහි නිරන්තර සටනක යෙදෙන එයට, සැබෑ හේතුවෙන් බැහැරවීමක් අනපේක්ෂිත ලෙස පක්ෂය තුලට රිංගා ගත හැකිය. කෙටි මාර්ග සෙවීම, ආගන්තුක ප්‍රවනතාවලට ඉඩ සලසන සන්ධාන, ශක්තිමත් න්‍යායික පදනමකින් තොරව ප්‍රතිසංවිධානය, ඇමරිකානු සුවිශේෂතා යැයි උපකල්පනය කරන ලද ආකාරගත අනුවර්තනයන්—මේවා 1917 පටන් කාලය තුල ඇමරිකානු සමාජවාදීන් නිරන්තරයෙන් පීලි පන්නවා ඇත. එස්ඩබ්ලිව්පීයේ නායකයින්ගේ අවධානය නිරන්තරයෙන් එවැනි අන්තරායන් වෙත යොමු කල යුතු අතර ඒවා ඔවුන්ගේ ම ප්‍රතිපත්තිවලට සහ චින්තනයට බලපානු ඇත.[15]

එස්එල්එල් හි දේශපාලන දිශානතිය සහ මෙම තීරනාත්මක දේශපාලන හා න්‍යායික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීම, පැබ්ලෝවාදයේ පීඩනය යටතේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දියකර හැරීම වැලැක්වීය. 1966 දී වර්කර්ස් ලීගය සහ 1968 දී විකොස [විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය] පිහිටුවීමේ පදනම ගොඩනැගුනේ පශ්චාත් යුද උත්පාතයේ පවතින ප්‍රතිවිරෝධතා පිලිබඳ අවබෝධයක් ඇතුලුව මෙම තීරනාත්මක පාඩම් ප්‍රගුන කිරීම සහ නැවත සකස් කිරීම මත ය.

ධනවාදයේ නැගී එන ප්‍රතිවිරෝධතා සහ බිඳවැටීම පිලිබඳ මාක්ස්වාදී න්‍යාය

කෙසේ වෙතත්, මෙය කිසිදු ආකාරයකින් පශ්චාත්-යුධ උත්පාතයේ පීඩනය හෝ එය ගෙන ආ ප්‍රතිවිරෝධතා පිලිබඳ ප්‍රශ්නය අවසන් කලේ නැත. මැන්ඩෙල්, පැබ්ලෝවාදය වැලඳගෙන, දේශපාලන ආර්ථික ක්ෂේත්‍රය තුල එහි ප්‍රධාන මතවාදියෙකු බවට වර්ධනය වෙමින්, විශ්වවිද්‍යාල මන්ඩපවල වඩාත්ම ප්‍රමුඛව කියවනු ලබන සහ සංශෝධනවාදීන් දෙසට යොමු වූ අයෙකු බවට පත්විය.

මෙම කාල පරිච්ඡේදය තුල එස්එල්එල්, ව්‍යසනකාරීත්වය හා අතිශයෝක්තිය සම්බන්ධයෙන් අඛන්ඩව ප්‍රහාරයට ලක් විය. එහෙත් 1960 ගනන් අග වන විට එස්එල්එල් විසින් හඳුනාගත් ප්‍රතිවිරෝධතා හිස ඔසවා තිබුනි.

1958 දී බ්‍රෙටන් වුඩ්ස් ක්‍රමය සම්පූර්නයෙන් ක්‍රියාත්මක කිරීමෙන් සහ ඉංග්‍රීසි පවුම ඩොලරයට සම්පූර්නයෙන්ම පරිවර්තනය කිරීමෙන් පසුව, ලන්ඩන් නගරය, අද යුරෝ-ඩොලර් වෙලඳපොල ලෙස හැඳින්වෙන ගෝලීය මූල්‍ය ක්‍රමයේ තිඹිරිගෙය නිර්මානය කිරීමට මූලික විය.

1967 නොවැම්බරයේදී, ගෙවුම් ශේෂ හිඟය හේතුවෙන් බ්‍රිතාන්‍යය අපනයනවලට වඩා ආනයන සඳහා වැඩි මුදලක් වැය කල නිසා, අගමැති හැරල්ඩ් විල්සන්ගේ ආන්ඩුව, බ්‍රිතාන්‍ය අපනයන ජාත්‍යන්තර වෙලඳපොලට වඩාත් ආකර්ශනීය කිරීම සඳහා පවුම අවප්‍රමානය කිරීමට උත්සාහ කලේය. රත්‍රන් යනු වටිනාකමේ සුරක්ෂිත ගබඩාවක් ලෙස දුටු ආයෝජකයින්, එක්සත් ජනපද රන් සංචිත මත දැවැන්ත පීඩනයක් ඇති කරමින්, තම ඩොලර් රත්‍රන් සඳහා හුවමාරු කර ගැනීමට උත්සාහ කිරීම නිසා මෙය ඩොලරයට විරුද්ධ ධාවනයක් ප්‍රේරනය කලේය.

1968 මාර්තු වන විට රන් තටාක අර්බුදය (Gold Pool Crisis) මතු වූ අතර, බ්‍රෙටන් වුඩ්ස් හි නව මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රය වන රත්‍රන් වල එකඟ මිල තර්ජනයට ලක් වූ බැවින් සති කිහිපයක් සඳහා රත්‍රන් වෙලඳපොලවල් වසා දමන ලදී. 1971 දී රත්‍රන් පිටුබලය ඉවත් කිරීමේ අපේක්ෂාවෙන්, රත්‍රන් මිලකරනයේ වැඩි නම්‍යශීලී බවක් සඳහා ඉඩ සලසන නව ද්වි-ස්ථර පද්ධතියක් සමඟ වෙලඳපල නැවත විවෘත විය.

1971 දී රත්‍රන්-ඩොලර් සම්බන්ධය බිඳුනි. ජනාධිපති රිචඩ් නික්සන්, සෘන අගයට ගිය වෙලඳ ශේෂයේ අඩුවන පීඩනයට ප්‍රතිචාර දැක්වූයේ, ඩොලරයේ රත්‍රන් පිටුබලය ඉවත් කිරීම මගිනි. බ්‍රෙටන් වුඩ්ස් මුදල් පද්ධතියේ ප්‍රධාන ඵලකය (plank) අවසන් විය.

එක්සත් ජනපද ධනවාදයේ විශාල අර්බුදයක් වර්ධනය වීම වැලැක්වීම සඳහා මෙය සිදු කරන ලදී. බ්‍රෙටන් වුඩ්ස් නඩත්තු කිරීමේ එකම ක්‍රමය වනු ඇත්තේ, එක්සත් ජනපද මූල්‍ය වෙලඳපොලවල් වෙත ආපසු ඩොලර් ගලා ඒමට තුඩු දෙන එක්සත් ජනපදයේ පොලී අනුපාත ඉහල දැමීමයි. කෙසේ වෙතත්, මෙය එක්සත් ජනපදයේ සහ යුරෝපයේ අවපාතයක් ඇති කරනු ඇත. වඩ වඩාත් සටන්කාමී අරගල මාලාවක් තුල කම්කරු පන්තිය පෙරට එන කොන්දේසි යටතේ, මෙය විශාල දේශපාලන අර්බුදයක් අවුලුවාලනු ඇත.

මේ කෙටි කාලය තුල ධනවාදය නව යුගයකට අවතීර්න වී ඇති බවත්, පැරනි ප්‍රතිවිරෝධතා ජයගෙන ඇති බවත් කියන සියලූ ප්‍රකාශයන් පුපුරා ගියේය. කෙසේ වෙතත්, මැන්ඩෙල්ට ඔහුගේ ආර්ථික විශ්ලේෂනය නැවත තක්සේරු කිරීමට මෙය අවස්ථාවක් නොවීය. ඊට පටහැනිව, ඔහු තව දුරටත් දකුනට ගමන් කලේය. මක්නිසාද යත්, ඔහුගේ විශ්ලේෂනය, සියල්ලටත් වඩා, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කිරීමකින් ගලා ආ බැවිනි.

1968 රට්ජර්ස් විශ්ව විද්‍යාලයේ සමාජවාදී විද්වතුන්ගේ සමුලුවට ඉදිරිපත් කරන ලද ලිපියක, මැන්ඩෙල් 'නව-ධනවාදය' යන යෙදුම හුදෙක් යම් පාරිභාෂික නවෝත්පාදනයක් නොව, සම්පූර්නයෙන්ම නව ඓතිහාසික ඉදිරිදර්ශනයක් වර්ධනය කිරීම සම්බන්ධ කර ගත් ආකාරය විස්තර කලේය.

ඇතැම් යුරෝපීය දේශපාලනඥයන් සහ සමාජ විද්‍යාඥයන් ‘නව-ධනවාදය’ ගැන කතා කරන්නේ, සමාජය තුල ධනවාදයේ මූලික ලක්ෂන කිහිපයක් පැතිර ඇති අර්ථයෙනි. මම මෙය වඩාත් තරයේ ම ප්‍රතික්ෂේප කරන අතර, එබැවින් 'නව-ධනවාදය' යන යෙදුමට ප්‍රතිවිරුද්ධ අරුත අනුයුක්ත කරමි: සම්භාව්‍ය ධනවාදයේ මූලික අංග සියල්ල ඇති සමාජයක්.

කෙසේ වෙතත්, 1929-32 මහා අවපාතයෙන් හෝ දෙවන ලෝක යුද්ධයෙන් ආරම්භ වී, ධනවාදය එහි වර්ධනයේ තුන්වන අදියරකට ඇතුල් වූ අතර, ඒකාධිකාරී ධනවාදය 19 වැනි සියවසේ සම්භාව්‍ය නිර්බාධ ධනවාදයට (laissez-faire capitalism) වඩා වෙනස් වූවාක් මෙන්, එය ලෙනින්, හිල්ෆර්ඩින් සහ වෙනත් අය විසින් ඒකාධිකාරී ධනවාදය ලෙස විස්තර කරන ලද දෙයට වඩා වෙනස් විය.[16]

අපට මෙහි දී දැකගත හැක්කේ, හතරවන ජාත්‍යන්තරයේ මූලික මූලධර්මවලින් එකක් වන, ලෙනින් විසින් විශ්ලේෂනය කරන ලද අධිරාජ්‍යවාදී යුගයේ ස්වභාවය පිලිබඳ මූලික අවබෝධය මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමකි.

ව්ලැදිමීර් ලෙනින් 1920 දී

අධිරාජ්‍යවාදය එහි ආර්ථික හරය තුල ඒකාධිකාරී ධනවාදය බව ලෙනින් විශ්ලේෂනය කලේය. අධිරාජ්‍යවාදය පිලිබඳ මෙම නිර්වචනය පක්ෂය මුහුන දෙන කර්තව්‍යයන් සමඟ සම්බන්ධ විය. ඒකාධිකාරී ධනවාදයේ වර්ධනයට යටින් ඇත්තේ නිෂ්පාදනය සමාජගත කිරීම මිස, හුදෙක් සමාගම්වල ඒකාබද්ධ කිරීමක් නොවන බවත්, “පෞද්ගලික ආර්ථික සහ පෞද්ගලික දේපල සබඳතා වටා තවදුරටත් එහි අන්තර්ගතයට නොගැලපෙන කවචයක් පවතින බවත්, එය ඉවත් කිරීම කෘත්‍රිමව ප්‍රමාද කලහොත් අනිවාර්යයෙන්ම ක්ෂය වෙමින් තරමක් දිගු කාලයක් දිරාපත් වීමේ තත්ත්වයක පැවතිය හැකි බවත් ( නරකම දෙය නම්, අවස්ථාවාදී සැරව ගෙඩිය සුව කිරීම දිග්ගැස්සුනත්, එය අනිවාර්යයෙන්ම ඉවත් කිරීමට සිදුවනු ඇති බවත්)' ඔහු පෙන්වා දුන්නේය.[17]

අධිරාජ්‍යවාදය සහ මාක්ස්ගේ කාලයේ පැවති තරඟකාරී ධනවාදය අතර වෙනස නම්, සමාජවාදය වඩාත් වාසිදායක වියහැකි වුවද, ධනවාදයට නිෂ්පාදන බලවේගයන් වර්ධනය කිරීමේදී ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බව පූර්ව යුගයේ පැවසිය හැකිව තිබීමයි. දැන් ධනවාදය පෙරලා දැමීම ඓතිහාසික අවශ්‍යතාවක් බවට පත් වී තිබේ. ඒකාධිකාරී ධනවාදයේ, එනම් අධිරාජ්‍යවාදයේ සමාජකෘත නිෂ්පාදනය තුල, සමාජවාදය සඳහා ද්‍රව්‍යමය පදනම ස්ථාපිත කෙරුනු අතර, එය ඉහල සමාජ-ආර්ථික පර්යායක් වෙත සංක්‍රමනය වීමකින් සමන්විත විය.

කෙසේ වෙතත් මැන්ඩෙල්ට අනුව, නව-ධනවාදය අධිරාජ්‍යවාදයට වඩා වෙනස් වූවා සේම අධිරාජ්‍යවාදය තරඟකාරී ධනවාදයට වඩා වෙනස් ය. වෙනත් වචන වලින් කිවහොත්, ලෙනින්ගේ කාලයේ අවස්ථාවාදීන් නිවැරදි විය; රුසියානු විප්ලවය අපරිනත එකක් විය; ලෙනින් සහ බොල්ෂෙවික්වරුන් විසින් අනුගමනය කරන ලද වැඩපිලිවෙලට වෛෂයික පදනමක් නොතිබුනි.

ධනේශ්වර නිෂ්පාදන මාදිලියේ නෛසර්ගික ප්‍රතිවිරෝධතා, නොවැලැක්විය හැකි ලෙසම, දේශපාලන බලය අත්පත් කර ගැනීමේ හැකියාව සහ අවශ්‍යතාවය කම්කරු පන්තිය ඉදිරියේ තබන තත්වයක් මතුවන ලක්ෂ්‍යයකට ලඟා වනු ඇතැයි යන, බිඳවැටීමේ මාක්ස්වාදී න්‍යාය ප්‍රතික්ෂේප කිරීමක් ද මෙම ඉදිරිදර්ශනය තුල අඩංගු වේ.

අපි මෙම ප්‍රශ්නය සවිස්තරාත්මකව සලකා බලමු. ඩේවිඩ් නෝර්ත් සහෝදරයා, අප රක්නා උරුමය පොතේ 30 වන පරිච්ඡේදයේ පහත කරුන ඉදිරිපත් කරයි: “ධනවාදී නිෂ්පාදන මාදිලියේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවන්ගේ චලනය එහි නොවැලැක්විය හැකි බිඳවැටීම කරා ගමන් කරන බව, මාක්ස්වාදී දේශපාලන අර්ථශාස්ත්‍රයේ ප්‍රවාදයකි. එය ප්‍රතික්ෂේප කලහොත් සමාජවාදය සඳහා වෛෂයික අවශ්‍යතාවයක් තවදුරටත් නොපවතී.”[18]

අප රක්නා උරුමය


ධනවාදයේ ඓතිහාසික අර්බුදය පිලිබඳ විශ්ලේෂනයේ කේන්ද්‍රීය වන්නේ ලාභ අනුපාතය පහත වැටීමේ ප්‍රවනතාවයේ නීතියයි. ඓතිහාසික දෘෂ්ටි කෝනයකින් දේශපාලන අර්ථශාස්ත්‍රයේ වැදගත්ම නීතිය ලෙස මාක්ස් සැලකූ මෙම කේන්ද්‍රීය ප්‍රශ්නය සමඟ පොරබැදීමට ඔහු විශාල කාලයක් මිඩංගු කලේය.

ධනවාදය වර්ධනය වන විට ලාභ අනුපාතිකය කාලයත් සමඟ පහත වැටීමේ නෛසර්ගික ප්‍රවනතාවය ධනය සමුච්චය කිරීමේ ක්‍රියාවලිය සමඟම බැඳී ඇත. ධනේශ්වර පන්තිය උත්සාහ කරන්නේ කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම් මිරිකා ගැනීමෙන් ව්‍යුත්පන්න වන ධනය වැඩි වැඩියෙන් රැස් කර ගැනීමට සහ ඉහල ලාභ ලබා ගැනීමට ය.

ඵලදායිතාව සහ ලාභය වැඩි කිරීම සඳහා ධනපතියන් නව තාක්ෂනයන් සහ යන්ත්‍රෝපකරන සඳහා ආයෝජනය කරයි. මෙය ප්‍රාග්ධනයේ ඓන්ද්‍රීය සංයුතියේ වැඩි වීමක් ඇති කරන අතර, එය ස්ථාවර ප්‍රාග්ධනය, එනම් නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රෝපකරන, අමුද්‍රව්‍ය යනාදිය සහ විචල්‍ය ප්‍රාග්ධනය, එනම් ශ්‍රම ශක්තියේ පිරිවැය අතර අනුපාතයට යොමු කරයි.

මෙම නව තාක්ෂනයන් හඳුන්වා දෙන විට, විචල්‍ය ප්‍රාග්ධනයට සාපේක්ෂව මුලු ප්‍රාග්ධන ආයෝජනයේ ස්ථාවර ප්‍රාග්ධනයේ අනුපාතය වර්ධනය වේ. අතිරික්ත වටිනාකමේ, එනම් ලාභයේ එකම මූලාශ්‍රය, කම්කරු පන්තියේ ජීවමාන ශ්‍රමයයි. නමුත් මෙම ජීවමාන ශ්‍රමය එය ප්‍රසාරනය කල යුතු මුලු ප්‍රාග්ධනයේ වඩාත් කුඩා වන ප්‍රතිශතයකි.

ප්‍රතිඵලයක් වශයෙන්, අමතර වටිනාකමක් නිපදවන්නේ නැති ස්ථාවර ප්‍රාග්ධනය තුල වැඩි ප්‍රාග්ධනයක් බැඳී ඇති බැවින්, අතිරික්ත වටිනාකමේ වර්ධනය ප්‍රසාරනය වන ප්‍රාග්ධනය සමඟ සමපාත විය නොහැකි බැවින් ලාභ අනුපාතය පහත වැටීමට නැඹුරු වේ.

මෙය නිෂ්පාදනයේ මහා පරිමාන ප්‍රතිව්‍යුහගත කිරීමක් උත්සාහ කිරීමට ධනේශ්වර පන්තියට අවශ්‍ය කරවන අතර එයට බල කරයි.

මෙය මහා පරිමාන නිෂ්පාදන ක්ෂේත්‍ර කඩා බිඳ දමන ප්‍රගාඪ අර්බුදවල ස්වරූපයක් ගනී. යුරෝපයේ සහ ආසියාවේ නිෂ්පාදන බලවේග සුන්බුන් බවට පත් කල 1914 සහ 1945 අතර වසර 31 මෙම ක්‍රියාවලියට විචිත්‍ර උදාහරනයක් විය.

ගෝලීයකරනය ඇති කල නිෂ්පාදනයේ මහා ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන ලද, 1970 දශකයේ අග භාගයේ සිට 1980 දශකය දක්වා වූ මෙම සන්තතිය අපි ද අත්දුටුවෙමු. මෙය සිදු කරන ලද්දේ කම්පන මාලාවක් සහ ව්‍යසනකාරී කර්මාන්තවල පැරනි ක්ෂේත්‍ර විනාශ කර දැමීමෙනි. උදාහරනයක් ලෙස ඇමරිකානු “රස්ට් බෙල්ට්” (රස්ට් බෙල්ට් යනු වරක් කාර්මික නිෂ්පාදනය විසින් ආධිපත්‍යය දැරූ නිව් යෝර්ක් සිට මැදපෙරදිග දක්වා කලාපය විස්තර කිරීමට භාවිතා කරන වාචික යෙදුමකි- පරිවර්තක) නිර්මානය කිරීමෙනි.

මෙම ලාභ අනුපාතිකය පහත වැටීමේ ප්‍රවනතාවයෙන් මිදීමට පාලක පන්තිය කෘතිම බුද්ධිය භාවිතා කිරීමට උත්සාහ කරන අතර, නව තාක්ෂනික ක්‍රම උපයෝගී කරගනිමින්, මිනිස් වර්ගයාගේ යහපත සඳහා නොව, තවදුරටත් ලාභ ගරා ගැනීම සඳහා යාන්ත්‍රන සෙවීම ද අද අප අත්දකින සන්තතියකි..

මාක්ස් ගෘන්ඩ්‍රිස් (Grundrisse) ලියන විට මෙම ක්‍රියාවලිය සංක්ෂිප්ත ලෙස ගුනාංගීකරනය කලේය, “මෙම ප්‍රතිවිරෝධතා, පිපිරීම්, ව්‍යසනයන් සහ අර්බුදවලට තුඩු දෙන අතර, ශ්‍රමය සැනෙකට අත්හිටුවමින්, ප්‍රාග්ධනයෙන් විශාල කොටසක් විනාශ කර දමයි; එය ප්‍රචන්ඩ ලෙස සියදිවි නසාගැනීමකින් තොරව සිය නිෂ්පාදන බලය සම්පූර්නයෙන්ම භුක්ති විඳීමට හැකි වන තැනට ගෙන එයි.'[19]

ධනවාදයට ආවේනික මෙම සන්තතිය මත වැඩ කිරීම, සියලු සංශෝධනවාදීන් පුදුමයට පත් කල, 1960 ගනන් අග භාගයේ අත්දුටු පන්ති අරගලයේ පිපිරීම්වල මතුපිටට යටින් සිදුවන සංකීර්න වර්ධනයන් පිලිබඳ අවබෝධයක් ලබා දෙයි. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු කාලපරිච්ඡේදය තුල පැවති සංකීර්න ප්‍රතිවිරෝධතා මත වැඩ කරමින් සහ ඒවා විශ්ලේෂනය කර එවැනි වර්ධනයක් සඳහා සූදානම් වී සිටියේ එස්එල්එල් පමනි.

පශ්චාත් යුද උත්පාතය නිෂ්පාදන බලවේගවල වර්ධනය මත පදනම් විය. මෙයින් අදහස් කලේ කම්කරු පන්තියෙන් වැඩි අතිරික්ත වටිනාකමක් උකහා ගත් බවයි. මෙම අතිරික්ත වටිනාකම මත, කම්කරු පන්තියට සමාජ සුබසාධනය සහ සෞඛ්‍යය, අධ්‍යාපනය යනාදී රජයේ වියදම් ආකාරයෙන් යම් යම් සහන ලබා දීමට ධනේශ්වරයට හැකි විය. නමුත් එය විචල්‍ය ප්‍රාග්ධනයට සාපේක්ෂව ස්ථාවර ප්‍රාග්ධනය වැඩිවීමට ද හේතු වූ අතර ලාභ අනුපාතිකය පහත වැටීම ආරම්භ විය.

ලාභ අනුපාතිකයේ පහත වැටීමේ ප්‍රවනතාවය 1960 ගනන්වල මැද සහ අග අතර කාලය තුල ආරම්භ වූ අතර ඉන් පසුව තීව්‍ර විය. ප්‍රාග්ධනයේ ආරම්භක ප්‍රතික්‍රියාව වූයේ පවතින නිෂ්පාදන තන්ත්‍රය තුල සූරාකෑමේ වේගය වැඩි කිරීමට උත්සාහ කිරීමයි.

කෙසේ වෙතත්, මෙය කම්කරු පන්තියේ සටන්කාමීත්වය වැඩි කිරීමට හේතු විය. උත්පාතය, මහා පරිමාන ලෙස කම්කරුවන් සංකේන්ද්‍රනය කල අතර ඔවුන් සංවිධානය වීමේ බලගතු වර්ධනයක් අත්දුටුවේය. මෙය 1960 ගනන් අග භාගයේ දී ජාත්‍යන්තරව පන්ති අරගලයේ පිපිරීම පැහැදිලි කරයි; වැටුප් අරගල මර්දනය කිරීම සහ ලාභ අනුපාත පහත වැටීම ජය ගැනීම සඳහා පාලක පන්තියේ වැඩ වේගවත් කිරීම් පැනවීමටත්, නව රාජ්‍ය යාන්ත්‍රනයන් හඳුන්වා දීමටත් ගත් උත්සාහයට එරෙහිව සටන්කාමී කම්කරුවන්ගේ කොටස් කැරලි ගැසූහ.

එක්සත් ජනපදයෙන් එක් උදාහරනයක් දෙන්නේ නම්, රත්‍රන් පිටුබලය ඉවත් කිරීමට අමතරව, නික්සන් පරිපාලනය වැටුප් වැඩිකිරීම් සියයට 10 ක සීමාවක් නියම කිරීම සඳහා වැටුප් මන්ඩලයක් පිහිටුවීම නිවේදනය කලේය. එක්සත් ජනපද කම්කරු පන්තියේ නැඟී එන සටන්කාමීත්වය කෙබඳු වීද යත්, එය ෆැසිස්ට්වාදයට යාමක් ලෙස ඒඑෆ්එල්-සීඅයිඕ හි ප්‍රධානියා වූ ජෝර්ජ් මීනි විසින් හෙලා දුටුවේ ය.

1968-1975: ගෝලීය විප්ලවවාදී අර්බුදය සහ එස්එල්එල් හි ද ඩොලර් ක්‍රයිසිස් පොත් පිංච

1968 මැයි-ජූනි ප්‍රංශයේ මහා වැඩවර්ජනය

1968 මැයි-ජූනි ප්‍රංශයේ මහා වැඩවර්ජනය

1968-1975 කාලපරිච්ඡේදය දැවැන්ත පන්ති අරගලවලින් යුතු එකක් වූ අතර, එහි ඉහලම ප්‍රකාශනය වූයේ, 'යුරෝපයේ රෝගී මිනිසා' වූ ප්‍රංශයේ 1968 මැයි-ජූනි මහා වැඩවර්ජනය යි. එය සමස්ත ප්‍රංශ ආර්ථිකයම ඇනහිටුවා, යුරෝපයේ මේසය මතට විප්ලවය පිලිබඳ ප්‍රශ්නය යලි රැගෙන ආවේය. එය දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු විශාලතම කම්කරු පන්තික ප්‍රහාරයක පූර්විකාව විය.

1969 දී, බටහිර ජර්මනිය, කර්මාන්තයේ සමස්ත කොටස් ඇනහිටවූ, දහස් ගනන් ලෝහ කම්කරුවන් විසින් මෙහෙයවන ලද සැප්තැම්බර් වැඩවර්ජන අත්දුටුවේය. මේ අතර, කම්කරු වැඩ වර්ජන, විරෝධතා සහ සමාජ නොසන්සුන්තාවයේ වැඩිවීමක් මගින් සංලක්ෂිත 'උනුසුම් සරත් සමය' ලෙස හඳුන්වනු ලැබූ දෙය ඉතාලිය අත්විඳින ලදී. පෝලන්තයේ සහ චෙකොස්ලොවැකියාවේ 'ප්‍රාග් වසන්තය' තුල කම්කරුවෝ ස්ටැලින්වාදී ආඥාදායකත්වයට එරෙහිව කැරලි ගැසූහ.

දුම්‍රිය සේවකයන්, පතල් කම්කරුවන් සහ ගුරුවරුන්ගේ වැඩවර්ජන සහ තැපැල් සේවකයන්ගේ වෘත්තීය සමිතිවලට පිටින් සිදුවූ වැඩ වර්ජන මෙන්ම රට පුරා මහා පරිමාන නාගරික කැරලි සමග, එක්සත් ජනපදයේ මෙම කාල පරිච්ඡේදය දැවැන්ත වැඩ වර්ජන සිදුවිය. 1968 ආරම්භයේදී වියට්නාමයේ ජාතික විමුක්ති පෙරමුනේ ටෙට් ප්‍රහාරය අත්දුටුවේය; එය එක්සත් ජනපදය හා දකුනු වියට්නාමය විශ්මයට පත්කලා පමනක් නොව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ 'සර්වබලධාරී ශක්තිය' පිලිබඳ සංකල්පය බිඳ දැමීය.

මෙය, එක්සත් ජනපදය විසින් වියට්නාම ජනතාවට එරෙහිව කුරිරු ලෙස ක්‍රියාත්මක කරන ලද පලිගැනීම් පිලිබඳ හෙලිදරව් කිරීම් මගින් ගැඹුරු වූ, යුද්ධයට එරෙහි මහජන විරෝධතාවලට ඉන්ධන සැපයීය. 1969 දී සීමර් හර්ෂ් (Seymour Hersh) විසින් ප්‍රකාශයට පත් කරන ලද මී ලායි (My Lai) සමූලඝාතනය හෙලිදරව් කිරීමේදී මෙය තියුනු ලෙස ඉස්මතු විය.

1970 සැප්තැම්බර් මාසයේ චිලියේදී, ඔබට ඇලෙන්ඩේගේ මහජන එකමුතු සන්ධානයේ තෝරා පත්කර ගැනීම දැකගත හැකි වූ අතර, එය වඩ වඩාත් සටන්කාමී කම්කරු පන්තියක් විසින් බලයට ගෙන එන ලදී. මැතිවරනයට පෙර පවා, කම්කරුවන් කම්හල් අල්ලාගෙන කම්කරු කමිටු පිහිටුවා ගත් අතර, ගොවීන් විශාල වතු අත්පත් කරගෙන සිටියහ. සමාජවාදී විප්ලවයේ අපේක්ෂාව, එක්සත් ජනපදයේ 'පිලිකන්න' ලෙස සැලකෙන දකුනු ඇමරිකාවේ මේසය මත විය.

ද ඩොලර් ක්‍රයිසිස් (ඩොලර් අර්බුදය) නමින් එස්එල්එල් විසින් නිෂ්පාදනය කරන ලද තීරනාත්මක ලියවිල්ල, මෙම කාල පරිච්ඡේදය තුල බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන්ගේ විශ්ලේෂනයේ සවිස්තරාත්මක සම්පින්ඩනයක් සපයයි. මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර 1973 දී ප්‍රකාශයට පත් කරන ලද, ද ඩිවෙලොප්මන්ට් ඔෆ් ද පෝස්ට් වෝ එකොනොමික් ඇන්ඩ් ෆයිනෑන්සියල් ක්‍රයිසිස් (පශ්චාත් යුධ ආර්ථික හා මූල්‍ය අර්බුදයේ වර්ධනය) යන මැයෙන් වූ කෙටුම්පත් යෝජනාවේ දී, සිදුවෙමින් පවතින්නේ ධනවාදයේ විසඳිය නොහැකි අර්බුදයක් බව එස්එල්එල් පැහැදිලි කලේය.

එය මාක්ස්වාද විරෝධී සංශෝධනවාදයේ සියලු සන්නාමයන්ට එරෙහිව ජාත්‍යන්තර කමිටුව විසින් ගෙන ගිය අරගලය සනාථ කිරීමකි. 'පසුගිය වසර 20 සහ ඊටත් වැඩි කාලයක් පුරාවටම ‘නව ධනවාදයේ’ න්‍යාය දේශනා කර ඇත්තේ ඊනියා එක්සත් ලේකම් මන්ඩලය විසින් නායකත්වය දෙන සංශෝධනවාදීන් ය. මෙම ව්‍යාජ, මාක්ස්වාද විරෝධී න්‍යායට අනුව, පශ්චාත් යුද සමය තුල ධනවාදය මූලික වශයෙන් වෙනස් වී ඇත”. එස්එල්එල් ලිවීය.[20]

ලේඛනය බ්‍රෙටන් වුඩ්ස් මූල්‍ය ක්‍රමය සහ එහි ප්‍රතිවිරෝධතා නිසා අර්බුදය මතු වූ ආකාරය විශ්ලේශනය කරයි. එස්එල්එල් ලියන පරිදි, “වර්තමාන අර්බුදයේ පුපුරා යාම, ඇමරිකානු ධනවාදය කෙතරම් ශක්තිමත්ව පෙනී සිටියද, අධිරාජ්‍යවාදයේ ප්‍රතිවිරෝධතා ඊටත් වඩා ප්‍රබල බවට වූ ට්‍රොට්ස්කිගේ විනිශ්චයේ නිවැරදි බව නැවත වරක් ඔප්පු කර පෙන්වයි.”[21]

1970 ගනන්වල මුල් භාගයේ ඇති වූ අර්බුදය, එක්සත් ජනපද රන් සංචිතය මෙන් දෙගුනයක් තරම් ඉහල අගයකට ලඟා වූ, හිඟ නයවල සමුච්චිත අගයේ ප්‍රතිඵලයකි. එස්එල්එල් මෙසේ ලියයි, “එස්එල්එල් විසින් කරන ලද මූල්‍ය අර්බුදය පිලිබඳ විශ්ලේෂනයට සංශෝධනවාදීන් කෙතරම් සමච්චල් කලත්, රත්‍රන් සහ වෙලඳ භාන්ඩ වෙන් කල නොහැකි ලෙස එකට බැඳී ඇත. මේ සියලු මහත්වරු දැන්, “යල් පැන ගොස් ඇති” බව කියන කෘතියක් වන ප්‍රාග්ධනය තුල මාක්ස්ගේ විශ්ලේෂනයේ සම්පූර්න අරමුන වූයේ මෙයයි. දැන් එහි විශ්ලේෂනයේ නිවැරදි භාවය, ලොව පුරා සෑම ධනේශ්වර මූල්‍ය මධ්‍යස්ථානයක සහ බැංකු ආයතනයකම හොල්මන් කරයි”.[22]

එස්එල්එල් අවධාරනය කලේ මෙය තාත්කාලික පහතවැටීමක් (conjunctural downturn) නොව ධනේශ්වර පද්ධතියේ මූලික අර්බුදයක් නියෝජනය කරන බවයි. මෙය පැවතියේ එක්සත් ජනපදයේ ආර්ථිකයේ දිනෙන් දින අඩුවෙමින් පවතින ලාභ අනුපාතයක් මත පරපෝෂිත නෝට්ටු හිමිකම් කඳුවල ස්වරූපයෙන් ප්‍රාග්ධනය අධික ලෙස නිෂ්පාදනය කිරීම තුල ය. එනම් ලාභ අනුපාතය පහත වැටීමේ ප්‍රවනතාවයේ කොන්දේසි යටතේ ය.

බ්‍රෙටන් වුඩ්ස් හි සියලුම ආයතන පසුගිය වසර 25 සහ ඊට වැඩි කාලයක්, දැවැන්ත නය උපරි ව්‍යුහයක් ගොඩනැගීම සඳහා යොදවා තිබේ. වෙලඳාම්වල අතිමහත් බහුතරයක් සිදු කර ඇත්තේ රන් හෝ ඩොලර් වලින් නොව, ඩොලරයට එරෙහිව නය හරහා ය. මෙම නය ආයතන ධනේශ්වර ලෝකය හරහා විශාල පරිමානයෙන් යන්ත්‍රෝපකරන සහ උපකරන සඳහා ආයෝජනය කිරීමට යොදා ගෙන ඇත. මෙම ක්‍රියාවලියේදී, කොටස් අගයන් ඒවායේ සැබෑ වටිනාකම සමඟ ඇති දුරස්ථ සම්බන්ධතාවයෙන් ඔබ්බට පුම්බා ඇත.

දැන් මෙම දැවැන්ත ලෙස උද්ධමනය වූ ප්‍රාග්ධන පරිමාව ශ්‍රම ශක්තිය සූරාකෑම හරහා එහි ලාභ අනුපාතය උපයා ගැනීමට උත්සාහ කල යුතුය. එහෙත්, ඇත්ත වශයෙන්ම, මෙම දිශාවට විසඳුමකට උත්සාහ කිරීමට ඔවුන් පෙලඹවිය යුතු වුවද, යුරෝපයේ හා ඇමරිකාවේ කම්කරු පන්තිය සූරාකෑමේ වේගයේ ඉතාමත් ම්ලේච්ඡ වැඩි කිරීමකින් පවා ධනපතියන්ට මෙම අර්බුදය විසඳිය නොහැකි විය.

දැන් ස්ථාවර ප්‍රාග්ධන සංචිතය සහ කම්කරු පන්තියෙන් ලබා ගන්නා අතිරික්තය අතර “නිවැරදි” සමානුපාතය යථා තත්ත්වයට පත් කල හැක්කේ ප්‍රාග්ධන වටිනාකම් විශාල පරිමානයෙන්, සාහසික ලෙස ඉවත් කිරීමෙන් පමනකි..[23]

නිශ්චිතවම සූදානම් කෙරෙමින් පැවතුනේ මෙයයි. ප්‍රධාන වශයෙන් පැබ්ලෝවාදයේ ආධාර ලබන ස්ටැලින්වාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ වෘත්තීය සමිති නිලධරය යන සියල්ලම මත කෙලින්ම රඳා පැවතෙමින් 1960 ගනන්වල සහ 1970 ගනන්වල අර්බුදකාරී කාලපරිච්ඡේදය තුල ධනේශ්වරයට සිය පාලනය ස්ථාවර කර ගැනීමට යම් කාලයක් ගත විය.

එසේ කිරීමෙන් පසු, එය කම්කරු පන්තියට එරෙහිව ජාත්‍යන්තර ප්‍රහාරයක් දියත් කරන ලද අතර, එහි රුදුරුභාවය මෙහෙයවනු ලැබුවේ ලාභ අනුපාතිකයේ පහත වැටීම ජය ගැනීම සඳහා ගෝලීය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවය විසින් කම්කරු පන්තිය පරාජය කිරීමෙන් පමනක් නොව, ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම ද මගිනි.

දක්නට ලැබුනේ වටිනාකම් පිලිබඳ නියාමයේ ක්‍රියාකාරිත්වය බව අවසාන වශයෙන්, ලේඛනය අනතුරු ඇඟවූයේ ය.

පන්ති දෙකටම එරෙහිව වෛෂයික නීතියක් ලෙස, තමන්ව තහවුරු කරන එය ධනේශ්වර පන්තිය සහ එහි සංශෝධනවාදී හා ප්‍රතිසංස්කරනවාදී හෙංචයියන් විසින් නොසලකා හැරීමට හෝ නොදැක්කා සේ සිටීමට කැමතිව සිටි පසුගිය වසර 25 තුල, එක්තරා අර්ථයකින් එහි සහාසික පලිය ගැනීමට මාන බලමින් සිටියේ ය. තවද, සමාජ සංවර්ධනයේ සියලුම නීති මෙන්, එය ද ක්‍රියාත්මක වන්නේ, සුමට හෝ කලින් අපේක්ෂා කල හැකි ආකාරයකින් නොවේ; වඩාත් කම්පන සහගත ආකාරයෙන් පමනි.[24]

මෙම අර්බුදයේ වෛෂයික ස්වභාවය හඳුනාගැනීම, එම කාලපරිච්ඡේදයේ විප්ලවවාදී ස්වභාවය විශ්ලේෂනය කිරීමට මග පෑදීය. දේශපාලන ආර්ථිකය සම්බන්ධයෙන් එස්එල්එල් හි වැඩ කටයුතුවල තිරසාර වැදගත්කම පවතින්නේ මෙහි ය. ධනවාදයේ නව යුගයක් උදාවී ඇති බවට වන, මැන්ඩෙල් වැනි පැබ්ලෝවාදීන්ගේ සියලු අත් බෙහෙත් වලට පටහැනිව, මෙම පද්ධතියේ බිඳවැටීමට තුඩු දෙන ප්‍රතිවිරෝධතා ජයගෙන නොමැති බව එය, කම්කරුවන්ගේ හා තරුනයන්ගේ නව පරම්පරාවකට පැවසී ය. මෙම ගෙනහැර දැක්වීම මගින්, එය ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමට ඔවුන් කැදවීය.

ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය සහ මැන්ඩෙල්ගේ 'ප්‍රමාද ධනවාදය'
ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත්-නූතනවාදය සහ ව්‍යාජ-වමේ දේශපාලනය


මෙම කාලපරිච්ඡේදයට සුලු ධනේශ්වර බුද්ධිමතුන්ගේ ප්‍රතිචාරය වූයේ දකුනට ගමන් කිරීමයි. 1968 ප්‍රංශ මහා වැඩවර්ජනයේදී කම්කරු පන්තිය සිය විප්ලවවාදී හැකියාව ප්‍රදර්ශනය කල මොහොතේම, මධ්‍යම-පන්තික උගතුන්ගෙන් කොටසක් දැක්වූ බියසුලු ප්‍රතිචාරය ගැන, ඩේවිඩ් නෝර්ත් ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත්නූතනවාදය සහ ව්‍යාජ-වාම දේශපාලනය කෘතිය තුල මෙසේ සඳහන් කරයි:

1968 මැයි-ජුනි මාසවලදී සුලු ධනේශ්වර බුද්ධිමතුන් අගාධය දෙස බැලූ අතර ඔවුන් බියට පත් විය. විප්ලවය සමග ඔවුන්ගේ ගැටුම දකුනට තියුනු චලනයක් ඇති කලේය.[25]

මතු වූ විවිධ “නව” දාර්ශනිකයෝ, “මානව හිමිකම්” යන ධජය යටතේ කොමියුනිස්ට් විරෝධය වැලඳ ගත්හ. තමන් වමේ යැයි කලින් හඳුන්වා ගත් අනෙකුත් කොටස් සම්භාව්‍ය මාක්ස්වාදය ප්‍රතික්ෂේප කලහ. එතැනට පැමිනියේ, පශ්චාත්-නූතනවාදයේ බුද්ධි විරෝධී ආත්මීය විඥානවාදය වැලඳ ගැනීම සහ පුද්ගල අනන්‍යතාවයේ උමතුවයි.

මෙම කාල පරිච්ඡේදය තුල මැන්ඩෙල්ගේ වැඩ කටයුතු මෙම මාරුව පිලිබිඹු කරයි. මෙය ඔහුගේ ප්‍රමාද ධනවාදය කෘතියේ දැකිය හැකිය; සාරාර්ථයෙන් ගත් කල නව ධනවාදය සඳහා ඔහුගේ නව යෙදුම, 1972 දී ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරන ලද අතර එහිදී ඔහු පහත සඳහන් දේ ලිවීය:

වෛෂයිකව සමාජගත කරන ලද ශ්‍රමය සහ පුද්ගලික අයිතිය අතර වැඩෙන ප්‍රතිවිරෝධතාව තීරනය වන්නේ, තුන්වන තාක්ෂනික විප්ලවය, ඉහල සුදුසුකම් ලත් ශ්‍රමයේ වැඩිවන අවශ්‍යතාවය සහ කම්කරු පන්තියේ සංස්කෘතික හා දේශපාලන ක්ෂිතිජය පුලුල් වීම මගින් පමනක් නොව, එක් අතකින් විභව්‍ය බහුලත්වයත්, අනෙක් පැත්තෙන් සැබෑ පරත්වරෝපනය සහ ප්‍රතිනිර්මානය (reification) අතර පරතරයත් මගිනි. සම්භාව්‍ය ධනවාදයේ යුගයේ කම්කරුවන්ගේ අරගල සඳහා ප්‍රධාන ආවේගය පැමිනියේ වර්තමානය සහ අතීතය අතර ආතතියෙන් වන මුත්, අද එය පවතිනුයේ තථ්‍යය සහ භව්‍යතාව අතර ආතතිය තුලය.[26]

පශ්චාත් යුද සමය, “සම්භාව්‍ය ධනවාදයට” හෝ “සම්භාව්‍ය අධිරාජ්‍යවාදයට” ප්‍රතිවිරුද්ධව තැබීමට මැන්ඩෙල්ගේ නොනවතින උත්සාහයන් යටින් පවතින පන්ති දිශානතිය සහ ඉදිරිදර්ශනයේ තවදුරටත් මාරුව, මෙම ඡේදය පැහැදිලි කරයි. දැන් සමාජයේ සමාජවාදී පරිවර්තනය පිලිබඳ ප්‍රශ්නය පැන නැගුනේ සැබෑ තත්වය සහ නිෂ්පාදන බලවේග තාර්කික ලෙස වර්ධනය කලහොත් කල හැකි දේ සමග සැසඳීමකිනි.

මැන්ඩෙල්ගේ ආස්ථානය වූයේ සමාජයේ විප්ලවවාදී බලවේගය නිර්ධන පංතිය නොව, ධනේශ්වර ක්‍රමයේ අතිරික්තයන් සහ අතාර්කිකත්වයන් කෙරෙහි ඔවුන්ගේ කෝපය නිසා, සුලු ධනේශ්වරයේ කොටස් සමාජ පරිවර්තනයේ නියෝජිතයින් වනු ඇති බවයි. මැන්ඩෙල්ගේ ලෝක දෘෂ්ඨියට අනුව, සමාජයේ තාර්කික ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවය දැකීම කරා ධනේශ්වරයේම කොටස් පවා පැමිනෙනු ඇත.

පුද්ගල නිර්මානාත්මක ශක්තීන්ගේ විභව්‍ය බහුලත්වයට හා විය හැකි වර්ධනයට එරෙහිව තැබීම, තේරුමක් නැති බාල භාන්ඩ නිෂ්පාදනය සමඟ වැඩෙන තෙහෙට්ටුව, ස්වයංසිද්ධ ස්වයං-ක්‍රියාකාරකම් මර්දනය කිරීම හේතුවෙන් කම්කරුවන් මෙන් ම ධනපතියන් අතර ඇතිවන කාංසාවේ පුලුල් හැඟීම්, ධනේශ්වර සමාජයේ ලක්ෂනය වන 'අනුකූල' වීමට සහ 'සාර්ථක වීමට' බල කිරීමෙන් සාමාන්‍යකරනය වූ අනාරක්ෂිතභාවය පැතිරීම, සමාජ ජීවිතයේ වැඩිවන හුදකලාව සහ වෙලඳ ප්‍රචාරනය සහ නිෂ්පාදන ප්‍රභේදනයේ සමඟ ඇතිවන කලකිරීම , මහජන ප්‍රවාහනයේ පිරිහීම, නිවාසවල දිරාපත්වන තත්වය සහ ගෙල සිර කරන විශාල නගර එන්න එන්නම දරාගත නොහැකි වෙමින් පවතී. සාමාජීය පුද්ගලයාගේ ස්වයං-සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම වෙන කවරදාකටත් වඩා අසමසම ලෙස පහසු වන මොහොතේම, එය සාක්ෂාත් කර ගැනීම තවදුරටත් දුරස් වෙමින් පවතින බව පෙනේ.[27]

මෙම ඡේදය තුල කෙනෙකුට පශ්චාත්-නූතනවාදයේ න්‍යායාචාර්යයන් දෙසට මාරුවීම, අනන්‍යතා දේශපාලනය සහ මනෝවිද්‍යාත්මක සාධක කෙරෙහි මාර්ක්සියානු අවධාරනය කිරීම් දැකිය හැකිය. සෑම දෙයක්ම පුද්ගලයාගේ කාචය හරහා පෙරී ඒම, ස්වයං-සංවර්ධනය, ධනවාදය යටතේ ජීවිතය පිලිබඳ පුද්ගලික කලකිරීම් දැකගත හැකිය. දැනටමත්, තවදුරටත් විප්ලවවාදී බලවේගයක් ලෙස සලකනු නොලබන කම්කරු පන්තිය, තව දුරටත් දකුනට ගමන් කරන මධ්‍යම පන්තියේ ස්ථරයක අභිමතාර්ථයන් සඳහා පසෙකට තල්ලු කරනු ලැබේ. මෙය මෙසේ වන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ අර්බුදයෙන් පසු කම්කරුවන්ගේ දැවැන්තම විප්ලවවාදී ව්‍යාපාරයක කොන්දේසි යටතේ සහ ඊට ප්‍රතිචාරයක් වශයෙනි.

වුල්ෆර්ත් වෙත බන්ඩාගේ ලිපිය සහ 1974 බ්‍රිතාන්‍ය පතල් කම්කරු වර්ජනය

ඊට ප්‍රතිවිරුද්ධව, ජාත්‍යන්තර කමිටුව කම්කරු පන්තිය සඳහා මාවතක් සොයා ගැනීමට සහ බලය සඳහා අරගලය සූදානම් කිරීමට උත්සාහ කලේය. මෙම කාල පරිච්ඡේය තුල වර්කර්ස් ලීගය (ඩබ්ලිව්එල්) විසින් වර්ධනය කරන ලද ඉදිරිදර්ශනය සහ විශ්ලේෂනය කෙරෙහි බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු විශේෂ අවධානයක් යොමු කලහ.

මයික් බන්ඩා විසින් 1973 පෙබරවාරියේ දී එවකට ඩබ්ලිව්එල් හි ජාතික ලේකම් ටිම් වුල්ෆර්ත් වෙත යවන ලද ලිපියක් තුල, බන්ඩා එක්සත් ජනපදයේ දිග හැරෙමින් පවතින ද්‍රවශීලතා අර්බුදය පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කලේය. මෙය ලියැවුනේ ද ඩොලර් ක්‍රයිසිස් හි වැඩකටයුතු කෙරෙමින් සහ එය ප්‍රකාශයට පත්වෙමින් තිබෙන කාලයේදීම ය.

එක්සත් ජනපදය විසින් සමුච්චිත හිඟය 'බ්‍රෙටන් වුඩ්ස් පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය යැයි සලකන' බවත්, යුරෝපීය ජාතීන්ට 'ඔවුන්ගේ අපනයන අතිරික්තයන් ද්‍රවශීලී ඩොලර් බවට පරිවර්තනය කර රඳවා තබා ගැනීමට' අවශ්‍ය වූ බවත් බන්ඩාගේ සටහන තුල ඔහු පෙන්වා දුන්නේ ය..[28]

කෙසේ වෙතත්, මෙම ද්‍රවශීලතාවයේ ජාත්‍යන්තර මූලාශ්‍රය වූයේ, ජාමූඅ හි 'ප්‍රධාන දුර්වලකම' බවට පත් වූ ඩොලරයයි. 1950 ගනන්වල අගභාගයේ දී, හිඟය ඩොලර් බිලියන 3 සීමාවට ආසන්නව දැවැන්ත අගයක් කරා ලඟා විය.

මෙම ආයෝජනය ඇමරිකා එක්සත් ජනපදයේ ලාභ අනුපාත පහත වැටීම හා එක්සත් ජනපද ආර්ථිකයේ දිනෙන් දින අඩුවෙමින් පවතින ලාභ අනුපාතිකය මත පරපෝෂිත නෝට්ටු හිමිකම්වල දැවැන්ත වර්ධනයට සෘජුවම සම්බන්ධ විය.

එහෙත් අර්බුදය ආරම්භ වූයේ, එක්සත් ජනපද ආයෝජන වැඩිවීමත් සමගම, යුරෝපීය මහ බැංකු තම උද්ධමනකාරී ඩොලර් රත්‍රන් බවට පරිවර්තනය කිරීමට පටන් ගත් විටය. මෙය හිඟයේ සෘජු ප්‍රතිඵලයක් වූ අතර එය මුදල් ස්ථාවරත්වයේ අනිවාර්ය අවශ්‍යතාවයක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද රත්‍රන් තොගය 1950 දී ඩොලර් බිලියන 25 සිට 1968 දී ඩොලර් බිලියන 10.5 දක්වා පහත වැටුනි.[29]

බන්ඩා මෙම ක්‍රියාවලියෙන් උකහා ගතයුතු වැදගත් නිගමන දෙකක් පෙන්වා දුන්නේය:

1. සමුච්චිත ඩොලර් බැඳුම්කර එක්සත් ජනපද රන් සංචිතය මෙන් දෙගුනයක් වූ අතර, එය විශ්වාසනීයත්වයේ අර්බුදයකට තුඩු දුන්නේ ය. එය වැඩි වැඩියෙන් රත්‍රන් බවට හැරවීමට හේතු වූ අතර එය අර්බුදය තවත් උග්‍ර කලේ ය.

2. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමානවත් නොවන රත්‍රන් සැපයුමක් සමඟ සමපාත විය. එය මඟහරවා ගත හැකි එකම ක්‍රමය වූයේ, ගෙවුම් ශේෂයේ එක්සත් ජනපද හිඟය තවදුරටත් වැඩි කරමින්, රටවල්වල ඩොලර් රඳවා තබා ගැනීම වැඩි කිරීමයි.

ඩොලරය සඳහා රන් පිටුබලය අවසන් කිරීම සහ නික්සන් පරිපාලනය යටතේ නව ආර්ථික පියවර මාලාවක් හඳුන්වාදීම හරහා එක්සත් ජනපදය ජය ගැනීමට උත්සාහ කලේ මෙම අන්තර්ඡේදනය වන ක්‍රියාවලීන් දෙකයි. මෙය ලොව පුරා රටවල වෙලෙඳ හා ආර්ථික තත්වයන් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු ඇත.

එක්සත් ජනපදයේ වර්ධනයන් 'පිමි' මාලාවක පදනම මත පමනක් ඉදිරියට යනු ඇති බවට වන සංකල්ප සම්බන්ධයෙන් සිය ලිපිය අවසානයේ අනතුරු ඇඟවූ බන්ඩා, කම්කරු පන්තියේ දිශානතියේ කේන්ද්‍රස්ථානය වන්නේ අවස්ථාවාදයට එරෙහි දුෂ්කර හා සමහර විට දිග්ගැස්සුනු අරගලයක් බව පැවසීය.

'එක්සත් ජනපදයේ වර්ධනයන් 'පිමිවලින්' පමනක් ඉදිරියට යන බව සංකල්පනය කිරීම වැරදි මෙන්ම භයානක ය. 'පිමි' පමනක් නොව, ස්ටැලින්වාදීන්ට සහ සංශෝධනවාදීන්ට එරෙහිව දැඩි න්‍යායික දෘඩතරභාවයක් සහ උපායශීලී කුසලතාවයක් අවශ්‍ය වනු ඇත.'[30]

වුල්ෆර්ත් වෙත යැවූ ලිපියෙන් සහ ද ඩොලර් ක්‍රයිසිස් ප්‍රකාශයට පත් කිරීමෙන් යන්තම් වසරකට පසුව, එස්එල්එල් පුරෝකථනය කර තිබූ පිපිරීම 1974 බ්‍රිතාන්‍ය පතල් කම්කරුවන්ගේ වැඩ වර්ජනයත් සමඟ බ්‍රිතාන්‍යය තුල විදාරනය විය. එය, ඉහල යන උද්ධමනයට එරෙහිව සහ අගමැති එඩ්වඩ් හීත්ගේ තත්වාරක්ෂක ටෝරි ආන්ඩුව විසින් කම්කරුවන්ගේ වැටුප් හා කොන්දේසි ආපසු හැරවීමට දරන උත්සාහයට එරෙහිව, 1970 ගනන්වල කම්කරුවන්ගේ වඩ වඩාත් සටන්කාමී අරගල මාලාවක කූටප්‍රාප්තිය විය.

එක්සත් රාජධානියේ අගමැති එඩ්වඩ් හීත්, එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් සමඟ 1973 පෙබරවාරි 1 වන දින වොෂින්ටනයේදී. [ඡායාරූපය: ධවල මන්දිරයේ කාර්යාල ඡායාරූප එකතුව (නික්සන් පරිපාලනය)] [Photo: White House Photo Office Collection (Nixon Administration)]


හීත් ආන්ඩුව විසින් වැටුප් කැටිකිරීමේ උත්සාහයට එරෙහිව එම වසරේ පෙබරවාරි 9 දා පතල් කම්කරුවන්ගේ වැඩවර්ජනය ආරම්භ විය. මහා පිකට් උද්ඝෝෂන, පොලිසිය සමඟ ගැටුම් සහ මර්දනය කිරීම් සිදු වූ අතර ගල් අඟුරු සැපයුම කඩාකප්පල්විමේ ප්‍රතිපලයක් ලෙස විදුලි සැපයුම් අවහිර විය. හීත් ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ, වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා රාජ්‍ය ප්‍රචන්ඩත්වය භාවිතා කිරීමට සහාය දිනා ගත හැකි වෙතැයි අපේක්ෂාවෙන් හදිසි මහ මැතිවරනයක් කැඳවීමෙනි.

ඒ වෙනුවට, තව දුරටත් සහයෝගය ගොනුකර ගනිමින්, මැතිවරන කාල පරිච්ඡේදය පුරා වැඩවර්ජන දිගටම පැවති අතර, එය ලේබර් පක්ෂයේ සුලුතර ආන්ඩුවක් බලයට පැමිනීමට හේතු විය. ආතතීන් කෙතරම් ගැඹුරු වීද යත්, හීත්ගේ පරාජයෙන් පසු හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින්, ආන්ඩුව පෙරලා දැමීම ගැන පාලක පන්තියේ කොටස් සලකා බැලූහ.

මෙම විප්ලවීය කාල පරිච්ඡේදය එස්එල්එල් විසින් අපේක්ෂා කරන ලද්දකි. කෙසේ වෙතත්, මෙම අවස්ථාවෙහිදී එස්එල්එල් නායකයින් සංශෝධනවාදයට එරෙහි “සුපුරුදු ප්‍රහාරයන්ගෙන්” පසුබැසීමට පටන් ගෙන තිබුනි. මෙය 1973 නොවැම්බරයේදී කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) පිහිටුවීමේ දී දැකගත හැකි වූ අතර, එය ජාත්‍යන්තර කමිටුවේ සාකච්ඡාවකින් තොරව හෝ පැබ්ලෝවාදයට එරෙහි අරගලයේ පාඩම් පිලිබඳ ගැඹුරු සමාලෝචනයකින් තොරව ඉදිරියට ගියේය.

එහි වැඩපිලිවෙල වැඩෙන ටෝරි විරෝධී මනෝගතියට අනුගත වූ අතර, හීත් ආන්ඩුව නෙරපා හැරීමත්, කම්කරු පක්ෂය ගෙන ඒමත් කෙරෙහි මුලුමනින්ම පාහේ අවධානය යොමු විය. එය ආරම්භ කර යන්තම් මාස හතරකට පසුව මෙම ඉදිරිදර්ශනය සාක්ෂාත් කර ගැනීම, කවිප නායකත්වයට ප්‍රගාඪ ගැටලු ඇති කලේය.

කෙසේ වෙතත්, එස්එල්එල්/කවිප අවස්ථාවාදී පරිහානිය ඉදිරියට ගියේ සරල රේඛාවක් දිගේ නොවන බව අවධාරනය කල යුතුය. ජාත්‍යන්තර කමිටුවේ කේඩරය පුහුනු කිරීමේදී පශ්චාත් යුද සමය පිලිබඳ අත්‍යවශ්‍ය දේශපාලන පැහැදිලි කිරීම මූලික විය.

වර්කර්ස් ලීගය එස්එල්එල් පිලිබඳ විශ්ලේෂනය ගැඹුරු කරයි

1971 න් පසු එස්එල්එල් හි ආර්ථික හා දේශපාලන විශ්ලේෂන විමර්ශනය කරමින්, එය, ඩොලර්-රන් අර්බුදය විසඳාගත් ආකාරය සහ මෙම යෝජනාව ම නව ප්‍රතිවිරෝධතා වර්ධනය කිරීමට හේතු වූ සැටි සොයා බැලීම වෙනුවට, මුලුමනින්ම පාහේ මූල්‍ය පද්ධතිය කෙරෙහි, එක්සත් ජනපද ඩොලරයෙන් රත්‍රන් පිටුබලය ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කලේ ය.

කෙසේ වෙතත්, වර්කර්ස් ලීගය බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුමේ බිඳවැටීමේ අර්ථභාරය පිලිබඳ එස්එල්එල් විශ්ලේෂනය ගැඹුරු කිරීමට හා විස්තීර්න කිරීමට උත්සාහ කලේය. එය එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව වර්ධනය වූ ධනේශ්වර සමාජයේ ආර්ථික පදනමේ වර්ධනයන් සහ පන්ති අරගලය අතර සම්බන්ධය සොයා ගැනීමට ප්‍රයත්න දැරීය.

ලෝක ආර්ථික-දේශපාලන අර්බුදය සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මර ලතෝනිය [ඡායාරූපය: වර්කර්ස් ලීගය] [Photo: Workers League]


'1944 බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුමේ ප්‍රතිඵලය වූයේ, කේන්සියානු ආර්ථික විද්‍යාඥයින් සහ සංශෝධනවාදීන් විසින් විකාර සහගත ලෙස ප්‍රකාශ කරන ලද 'සැලසුම්ගත,' 'කලමනාකෘත' සහ 'සංවිධීත' ධනවාදයක් නොවන අතර, දැන් එය සම්පූර්නයෙන්ම පාලනයෙන් තොර මූල්‍යමය ෆ්‍රැන්කන්ස්ටයින් රාක්ෂයෙකු වී ඇති ධනවාදයක් බව' එහි 1978 ඉදිරිදර්ශන යෝජනාවේ මූලික කරුනක් විය.[31]

මෙම මූල්‍ය රකුසා 1970 ගනන්වල සිට වේගයෙන් වර්ධනය වූ අතර මෑත කාල පරිච්ඡේදයේ අර්බුද මාලාවක් තුලින් හිස ඔසවා ඇත.

පන්ති අරගලයේ වර්ධනය දෙසට හැරෙමින්, ඩබ්ලිව්එල් ඉදිරිදර්ශනය, 1978 දින 111 පතල් කම්කරුවන්ගේ වැඩවර්ජනයේ වැදගත්කම සහ ටැෆ්ට්-හාර්ට්ලි පනතට විරුද්ධ වීම පෙන්වා දුන්නේය. මෙම ගැටුමේ ප්‍රතිඵලය වූයේ, යෝජනාවේ සඳහන් වන පරිදි, “පාලක පන්තියේ මංමුලා සහගත දුර්වලතාවය හෙලිදරව් කිරීම යි.”[32] එයට එක්සත් ජනපද ජනාධිපති කාටර්ගේ ප්‍රතිචාරය වූයේ, රේගන් පරිපාලනය යටතේ දියත් කරන ලද පන්ති යුද්ධයේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කිරීමට නියමිතව සිටි පෝල් වොල්කර්, ෆෙඩරල් මහ බැංකුවේ සභාපති ලෙස පත් කිරීමයි.

පශ්චාත් යුද උත්පාතයේ අවසානය සනිටුහන් කල, ඩොලර් අර්බුදය සහ ලාභ අනුපාතිකයේ පහත වැටීම අතර සම්බන්ධය කෙරෙහි යෝජනාව අවධානය යොමු කලේය.

ඩොලර් අර්බුදය මූලික කර්මාන්තවල ලාභයේ පහත වැටීම දැවැන්තව උග්‍ර කර ඇති අතර, එමඟින් කර්මාන්ත තුල සාපේක්ෂ වශයෙන් අඩුවෙමින් පවතින අතිරික්ත වටිනාකම්වල සුවිසල් නෝට්ටු නය කන්දක හිමිකම පිලිබඳව තෘප්තිමත් වීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ඇති හැකියාව අඩු කරයි.[33]

යෝජනාව 'මහා ඩොලර් මුද්‍රන යන්ත්‍රය' ලෙස හැඳින්වූ දෙය වර්ධනය වීම සියයට 12 ක පමන උද්ධමනයකට තුඩු දුන් අතර, පාලක කවයන් තුල අනතුරු ඇඟවීමේ සීනු නාද කරමින් පන්ති අරගලයේ වර්ධනයට ඉන්ධන සැපයීය. යෝජනාවේ බිස්නස් වීක් හි උපුටා දැක්වීමකින් මෙය පැහැදිලි වේ:

එක්සත් ජනපදය තවමත් විවෘත පන්ති යුද්ධයෙන් බොහෝ දුරින් සිටින නමුත් උද්ධමනය මෑත කාලීන මට්ටමට ලඟා වුවහොත් කුමක් සිදුවේද යන්න ගැන බොහෝ අය කනස්සල්ලට පත්ව සිටිති… දැන් ආර්ථික දැක්ම අඳුරු වී ඇත, උද්ධමනය තවදුරටත් අඩු නොවේ, මේ රට සිවිල් යුද්ධයේ පටන්, මෙතෙක් අත්දුටු නරකම ආර්ථික හා සමාජීය අවතැන්වීමේ කාල පරිච්ඡේදයකට ගමන් කල හැකිය.[34]

එක්සත් ජනපද ධනවාදය මුහුන දුන් තත්වය නම්, එහි මූලිකම ගැටලු, විශේෂයෙන්ම ලාභ අනුපාතිකයේ පහත වැටීම, පශ්චාත් යුධ කාර්මික රාමුව තුල විසඳාගත නොහැකි වීමයි. අවශ්‍ය වූයේ ආර්ථික හා පන්ති සබඳතාවල මූලික ප්‍රතිව්‍යුහගත කිරීමකි. රේගන් යටතේ ආරම්භ කරන ලද පියවරවල අර්ථභාරය එයයි.

වොල්කර් විසින් පොලී අනුපාත සියයට 20 ක් තරම් ඉහලට තල්ලු කරමින්, මහා අවපාතයෙන් පසු ගැඹුරුම අවපාතය ගෙන ආවේය—එය කම්කරු පන්තියට එරෙහි යවුල් පහරක් විය. 19 වැනි සියවසේ අග භාගයේ කාර්මීකරනයෙන් සහ 20 වැනි සියවසේ මුල් කාර්තු තුනේ සිට පශ්චාත් යුධ උත්පාතය තුල එය ප්‍රසාරනය වීමෙන් වර්ධනය වූ එක්සත් ජනපද කර්මාන්තයේ සමස්ත කොටස් වසා දැමීමට බල කෙරුනි.

මෙම ප්‍රතිව්‍යුහගතකරනයට පරිගනකගත නිෂ්පාදන ක්‍රම දියුනු කිරීම සහ ලාභ ශ්‍රමයේ වාසිය ලබා ගැනීම සඳහා ගෝලීයකරනය වූ නිෂ්පාදනය සංවර්ධනය කිරීම ඇතුලත් විය. කෙසේ වෙතත්, වෘත්තීය සමිති නිලධරයේ සහයෝගීතාවයෙන් මිස මේ කිසිවක් සාක්ෂාත් කර නොගනු ඇත.

වර්කර්ස් ලීගයේ විශ්ලේෂනය, වටිනාකම පිලිබඳ ප්‍රශ්නය ජයගෙන නොමැති බවට එස්එල්එල් විසින් හඳුනා ගත් දෙය ගැඹුරු කලේය. ඒ වෙනුවට එය අද ද ඇතුලුව, මේ දක්වා ම මූල්‍ය පද්ධතිය තුල පිපිරෙමින් වර්ධනය වන සියලු කුනාටු වලදී හිස ඔසවයි.

නිගමනය

අප දැන් සිටින්නේ, ධනවාදයේ බිඳවැටීම මගින් යලිත් වරක් බලය සඳහා අරගලය න්‍යාය පත්‍රයට ඇතුලත් ව ඇති තැනකට පැමිනි යුගයක ය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද අලුත් අවුරුදු ඉදිරිදර්ශන ලේඛනය සවිස්තරාත්මකව දක්වා ඇති පරිදි, “ලෝක ධනේශ්වර අර්බුදයේ අන්තර්ඡේදනය වන මුඛ්‍යාංගවල සමුච්චිත පීඩනය තීරනාත්මක ලක්ෂ්‍යයකට ලඟා වී තිබේ: එනම්, අර්බුදයේ ගතිකත්වය, සමාජ ව්‍යසනයක් කරා යන ගමන පාලනය කිරීමට ආන්ඩුවලට ඇති හැකියාවෙන් ඔබ්බට යන තැනකට සේන්දු වී ඇත.”[35]

ප්‍රශ්නය වන්නේ, විප්ලවවාදී අරගල වර්ධනය වේද යන්න නොව, විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගේද යන්නයි. එය, හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයේ පාඩම් සහ සියල්ලටත් වඩා ධනේශ්වර පර්යායේ, එනම් පැබ්ලෝවාදයේ තීරනාත්මක දෘෂ්ටිවාදී මුක්කුවට එරෙහිව ජාත්‍යන්තර කමිටුව විසින් ගෙන ගිය බැරෑරුම් අරගලයේ පාඩම් ස්වීකරනය කරගැනීම සමග සම්බන්ධ වේ.

සටහන්:


[1]

අර්නස්ට් මැන්ඩෙල්, The Economics of Neo-Capitalism, The Socialist Register, 1964, පි.61.

[2]

[අර්නස්ට් මැන්ඩෙල්, A Socialist Strategy for Western Europe, 1965, පි.1.

[3]

ලියොන් ට්‍රොට්ස්කි, ලෙනින් පසු තුන්වන ජාත්‍යන්තරය, Pathfinder Press, United States of America, 2010, පි.99.

[4]

එහිම, පි. 100.

[5]

The World Prospect of Socialism, සමාජවාදී කම්කරු සංගමය විසින් සම්මත කරන ලද යෝජනාව, ලන්ඩන්, 1961, පි. 84.

[6]

එහිම, පි. 84.

[7]

එහිම, පි. 84.

[8]

එහිම, පි. 84.

[9]

එහිම, පි. 84.

[10]

එහිම, පි. 84.

[11]

එහිම, පි. 109.

[13]

එහිම, පි. 94.

[14]

එහිම, පි. 109.

[15]

එහිම, පි. 110.

[16]

අර්නස්ට් මැන්ඩෙල්, Workers Under Neo-capitalism, 1968 සමාජවාදී විද්වතුන්ගේ සම්මන්ත්‍රනයේදී මුලින් ඉදිරිපත් කරන ලද ලිපියකි.

[17]

වී.අයි. ලෙනින්, අධිරාජ්‍යවාදය, ධනවාදයේ ඉහලම අදියර, X පරිච්ඡේදය. ඉතිහාසය තුල අධිරාජ්‍යවාදයේ ස්ථානය.

[18]

ඩේවිඩ් නෝර්ත්, අප රක්නා උරුමය: හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයට දායක වීමක්, Mehring Books, Strawberry Hills, Australia, 2018, පි. 410.

[19]

කාල් මාක්ස්, Grundrisse, Capital as Fructiferous. Transformation of Surplus Value into Profit.

[20]

සමාජවාදී කම්කරු සංගමයේ පත්‍රිකාව, The Dollar Crisis, 1. The Revisionists and the Crisis.

[21]

එහිම, 3. The Growth of the American Balance-of-Payments Crisis.

[22]

එහිම, 8. Not Merely Trade War.

[23]

එහිම, 8. Not Merely Trade War.

[24]

එහිම, 8. Not Merely Trade War

[25]

ඩේවිඩ් නෝර්ත්, ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත් නූතනවාදය සහ ව්‍යාජ වාම දේශපාලනය, Mehring Books, Oak Park, Michigan, 2015, පි. 214.

[26]

අර්නස්ට් මැන්ඩෙල්, Late Capitalism, Chapter 18. The Crisis of Capitalist Relations of Production, First published as Der Spätkapitalismus, Suhrkamp Verlag, Berlin 1972

[27]

එහිම.

[28]

මයික් බන්ඩාගෙන් ටිම් වෝල්ෆෝර්ත් ට Trotskyism versus Revisionism, Vol. 7, Labor Publications, Grand River, Detroit, 1984, පි. 234

[29]

එහිම, පි. 234.

[30]

එහිම, පි. 236.

[31]

The World Economic-Political Crisis and the Death Agony of U.S. Imperialism, November 7, 1978, පි. 1

[32]

එහිම, පි. 2.

[33]

එහිම, පි. 9.

[34]

එහිම, පි. 9.

[35]

https://www.wsws.org/si/articles/2023/01/09/pers-j09.html

Loading