වැඩි වැටුප් හා නිදහස් අධ්‍යාපන අයිතිය ඉල්ලා රටපුරා පාසල් ගුරුවරු විරෝධතාවයේ යෙදෙති

'ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 ලබා දෙනු!', 'පාසල් නඩත්තු කිරීමේ බර දෙමාපියන්ගෙන් ඉවත් කරනු!', 'අධ්‍යාපනයට සියයට 6 ක් වෙන් කරනු!' සහ 'අධ්‍යාපනය විකිනීම නතර කරනු!' ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය (ගුවිවෘසස) විසින් පසුගිය බදාදා සවස 2 ට ගුරුවරුන්ගේ විරෝධතා සංවිධානය කර තිබුනි.

මෙම සමිති සන්ධානය ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස), පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) ඇතුලු ගුරු සංගම් 15 ක පමන එකතුවකි.

2024 ජූනි 12 දින හලාවත නගරයේ ගුරුවරු විරෝධතාවයක-WSWS

රටපුරා අධ්‍යාපන කලාප කාර්යාල 100 ක් ආශ්‍රිතව පැවති විරෝධතා සෑම එකකට ම කිහිප සියයක ගුරුවරු සම්බන්ධ වීම පෙන්නුම් කලේ පසුගිය වසර දෙකහමාරක කාලය තුල අහස උසට නැග ඇති ජීවන වියදම හමුවේ වැටුප් වැඩි කර ගැනීමට ගුරුවරුන් තුල පවතින දැවෙන අවශ්‍යතාවයයි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මේ වසරේ මාර්තු මාසයේ සංඛ්‍යා දත්තවලට අනුව මූලික අවශ්‍යතා අවම වශයෙන් පිරිමසා ගැනීමට අවශ්‍ය ඒක පුද්ගල වියදම රුපියල් 16619 කි. ඒ තත්වය තුල පස් දෙනෙකුගෙන් යුත් පවුලක මාසික අවම වියදම රුපියල් ලක්ෂයක් පමන වේ. නමුත්, බහුතරයක් ගුරුවරුන් හට තම වැටුපෙන් නය වාරික කැපී ගිය පසු අත ඉතිරි වන්නේ සොච්චමකි. පලමු පත්වීම් ලබා දුර බැහැර දුෂ්කර සේවයේ නිරත ගුරුවරුන්ට තම වැටුපට සමාන, ඇතැම් විට ඊටත් වැඩි පිරිවැයක් ප්‍රවාහනය සඳහා දැරීමට සිදුව තිබේ.

මේ තත්වය තුල, 2023 වසරේ දී පමනක් ගුරුවරු 5000ක් සේවය හැරගොස් ඇති බව වාර්තා වේ. ආහාර ද්‍රව්‍යවල මෙන්ම පොත්, බෑග්, ලිපි ද්‍රව්‍ය ඇතුලු පාසල් උපකරනවල මිල ගනන් ඉහල යෑම පාසල් හැරයන ශිෂ්‍ය සංඛ්‍යාව ද ඉහල දැමීමට ද හේතු වී තිබේ.

ආන්ඩුව පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට යන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ එල්ලය අධ්‍යාපන රාජ්‍ය වියදම් කප්පාදුව හා අධ්‍යාපනය පෞද්ගලීකරනය තුලින් නිදහස් අධ්‍යාපනය තුල ඉතුරු පහදු යමක් වේ නම් එයත් අතුගා දැමීමයි.

ගුරුවරුන්ගේ වැටුප් කප්පාදුව ඇතුලු නිදහස් අධ්‍යාපනය මත එල්ල වන පෙර නොවූ විරු ප්‍රහාරය රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග මත කම්කරු පන්තිය මත එල්ල කර ඇති සමස්ත ප්‍රහාරයේ කොටසකි. අධිරාජ්‍යවාදී බැංකුකරුවන්ට, ගෙවීමට නියමිත ඩොලර් මිලියන ගනනක විදේශ නය ගෙවා දැමීම සඳහා රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය, අත්‍යාවශ්‍ය භාන්ඩ මත වැට් බදු ඉහල දැමීම, අධ්‍යාපන-සෞඛ්‍ය කප්පාදුව මෙන්ම ඉන්ධන, ජල, විදුලිය ගාස්තු ඉහල දැමීම වැනි රුදුරු කප්පාදු මාලාවක් ඊට අඩංගු වේ.

ඒ තත්වය තුල දී ගුරුවරුන්ට තම වැටුප් ඇතුලු යහපත් රැකියා කොන්දේසි දිනා ගැනීම සිදු කල හැක්කේ ආන්ඩුවේ මෙම ප්‍රහාරවලට එරෙහිව දැනටමත් අරගලයට අවතීර්න වී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන, සෞඛ්‍ය, විදුලිබල, දුම්රිය, තැපැල් ඇතුලු සෑම ක්ෂේත්‍රයක ම කම්කරු පන්තිය සමග ඒකාබද්ධව තම අරගලය ඉදිරියට ගැනීමෙන් පමනි.

නමුත්, එවන් ඒකාබද්ධ අරගලයකට හතුරු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය, අනෙකුත් අංශවල වෘත්තීය සමිති නිලධරයන්සේම, ගුරුවරුන් යොමුකර ඇත්තේ කම්කරු පන්තියේ ඒකාබද්ධ ප්‍රති-ප්‍රහාරයක් සංවිධානය කිරීමට එරෙහිව, ප්‍රහාර එල්ල කරන ධනපති ආන්ඩුවට ම බලපෑම් දැමීමේ හුදකලා උද්ඝෝෂන ක්‍රියාමාර්ගයන් වෙතයි.

ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරනුවස්, ඉහල යන ජීවන වියදම පූරනය වන ආකාරයෙන් ඉහල යන වැටුපක් සියලුම කම්කරුවන්ට ඉල්ලා සටන් කරනු වෙනුවට වෘත්තීය සමිති ඊනියා වැටුප් විෂමතා ඉවත් කරනු යයි ඉල්ලා උද්ඝෝෂනයේ යෙදෙන්නේ එවන් ඒකාබද්ධ අරගලයකට හතුරුවයි.

ගුරු සමිති නායකයන්, පසුගිය සතියේ මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ හා මහා භාන්ඩාගාර නිලධාරීන් සමග සිදු කල සාකච්ඡාවක දී මුදල් අමාත්‍යාංශයේ පිලිතුරු වී තිබෙන්නේ තම “නිර්දේශ” පසුව ඉදිරිපත් කරන බවයි. මේ වනවිට දින 40 කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය සම්බන්ධව වික්‍රමසිංහ මැයි 27 දා කැබිනට් මන්ඩලයේ දී ප්‍රකාශ කලේ රාජ්‍ය අංශයේ කිසිම කොටසකට මේ වසරේ වැටුප් වැඩි කිරීමට මුදල් නොමැති බව හා 2025 දී ඒ සඳහා සලකා බලන බවයි. සමිති නිලධරයේ ද සහයෝගය සහිතව කම්කරුවන් රැවැටීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ආන්ඩුව කමිටුවක් පත් කර තිබේ.

පසුගිය සඳුදා ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී ලංගුස ලේකම් ජෝසෆ් ස්ටාලින් මෙසේ ප්‍රකාශ කලේ ය. “ලබන වසර තෙක් බලන් ඉන්න බෑ. දෙන්නැත්නම් අපි ගන්නවා. ආන්ඩුවේ නාස්තිය, විදේශ සංචාර දෙස බලන කොට ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබාදීමට පුලුවන්”.

ලංගුසේස ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ, ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයෙන් 1/3 ක් ඉවත් කිරීමට වැය වන්නේ රුපියල් කෝටි 4500 වුවත් වික්‍රමසිංහ සම්මත කර ගැනීමට යන අතුරු අය-වැය තුල ජනාධිපතිගේ වියදම් පමනක් කෝටි 875 ක් යයි කියා සිටියේ ය.

ජනාධිපති වික්‍රමසිංහ ඇතුලු මැති-ඇමතිවරුන්ගේ නිරන්තර විදේශ සංචාර මගින්මත් පෙන්නුම් කරනුයේ, ආන්ඩුව මුහුන දී සිටින, භූ-දේශපාලනික සහ ආර්ථික අර්බුදයේ ඉමහත් ගැඹුරයි. වැඩෙන භූ-දේශපාලනික ආතතීන් සහ ආර්ථික අර්බුදය සමනය කරගැනීමට ආන්ඩුව දරන මංමුලාසහගත ප්‍රයත්නයේ කොටසක් ලෙස ඔවුහු ජාත්‍යන්තර බල කේන්ද්‍රස්ථාන වලට නිරන්තරව බඩගාති. ධනපති ක්‍රමයේ ආවේනික ලක්ෂනයක් වන දූෂනය, වංචාව හා නාස්තියට හුදෙක් ඇඟිල්ල දිගු කරන, ස්ටාලින් හා ජයසිංහ, වික්‍රමසිංහ ආන්ඩුව මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය සහ එහි මූලය වන ලෝක ධනේශ්වර අර්බුදය කම්කරුවන්ගෙන් දැනුවත්ව වසන් කරති.

ජයසිංහ නියෝජනය කරන ජවිපෙ, කම්කරු පන්තිය භේද කිරීම සඳහා කොලඹ පාලක පන්තිය ගෙනගිය දෙමල ජනතාවට එරෙහි වර්ගවාදී යුද්ධයටත්, එම යුද්ධය සහ කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි ප්‍රහාර අඛන්ඩව ඉදිරියට ගෙනගිය ධනපති ආන්ඩු බලයට ගෙන ඒමටත් සහයෝගය දී ඇත. එය නායකත්වය දෙන ජාතික ජන බලවේගය ආන්ඩුවක් බලයට පැමිනියහොත් ජාමූඅ කප්පාදු පිලිවෙත් රුදුරු ලෙස ක්‍රියාවට දමනු ඇත.

12 දා බොරැල්ල නගරයේ පැවති විරෝධතාවයට සහභාගි වී සිටි ජයසිංහ “අද අපේ විරෝධයට කන් දෙන්නේ නැත්නම් වටලනවා” යයි ප්‍රකාශ කලේ ය.

නමුත්, මෙම ගුරු සමිති, දශක දෙකහමාරකටත් වැඩි කාලයක් තිස්සේ, බලයට පත් වන ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ මෙම වැඩපිලිවෙල මත ගුරුවරුන්ගේ අරගල සංවිධානය කර ඇතැත් ජීවන වියදමට සරිලන පරිදි සැබෑ වැටුප් වැඩිවීමක් දිනා ගැනීමට හෝ නිදහස් අධ්‍යාපනය මත ප්‍රහාර නතර කිරීමට හෝ සමත් වී නැත.

දින 100 ක් ඉක්මවා වර්ධනය වූ 2021 වසරේ ගුරු වැටුප් අරගලයේ දී ආන්ඩුව ලබා දුන් වැටුප් වැඩිවීම “ජයග්‍රහනයක්” යයි මෙම සමිති නායකයෝ කරන ප්‍රකාශය ව්‍යාජයකි.

වසංගතය මගින් උග්‍ර වූ ආර්ථික අර්බූදය හමුවේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කල නො හැකි යයි එවක පැවති රාජපක්ෂ ආන්ඩුව කියා සිටිද්දී ස්ටාලින්, මහින්ද ජයසිංහ, පෙසප ගුරු සමිති නායක සංජීව බන්ඩාර ඇතුලු සමිති නායකයන් නිවට ලෙස ආන්ඩුවට කියා සිටියේ තමා “ආර්ථික අර්බූදය තේරුම් ගෙන, මස් රාත්තලම නොඉල්ලා, නම්‍යශීලී ව” සිටින බවයි. 'වැටුප් විෂමතා ඉවත්කොට වහාම හිඟ වැටුප් ලබාදෙනු!' යන ඉල්ලීම හකුලා ගනිමින් ඔවුන් ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ “වැටුප් විෂමතා ගැටලුවක් ගුරුවරුන්ට ඇතැයි ප්‍රතිපත්තියක් ලෙස පිලිගන්නා” ලෙසයි.

සමිතිවලට පිටින් ගුරුවරුන්ගේ විරුද්ධත්වය වැඩෙන තත්වය තුල ආන්ඩුව ගුරුවරුන්ගේ ඉල්ලීමෙන් තුනෙන් එකක වැටුප් වැඩිවීමක් ලබා දෙමින් වර්ජනය දියකර හැරීමට කටයුතු කරද්දී වෘත්තීය සමිති ඊට යටත්ව ගුරු වර්ජනය නතර කලහ.

එහිදී සිදු කෙරුනු ඊනියා වැටුප් සංශෝධනයෙන් තුන්වන ශ්‍රේනියේ සිට පලමු ශ්‍රේනිය දක්වා වන ගුරුවරුන්ගේ වැටුප් වැඩිවූයේ රුපියල් 5,000 සිට 15,000 ක් පමන වූ සොච්චමකිනි. අනෙක් අතින්, වැටුප් විෂමතාව හේතුවෙන් වසර 24 ක් පුරා අහිමි වූ වැටුප් හෙවත් හිඟ වැටුප් කිසිවක් ගුරුවරුන්ට ලැබුනේ නැත. ඒ වනවිට විශ්‍රාම ගොස් සිටි ගුරුවරුන්ට මින් කවර හෝ ප්‍රතිලාභයක් හිමි නොවුනි.

සමිති නායකයන් “ඓතිහාසික ජයග්‍රහනයක්” ලෙස ඔජ වඩන වැටුප් වැඩිවීමේ සැබෑ තත්වය මෙයයි.

2022 මහජන නැගිටීම ධනපති පාර්ලිමේන්තු විපක්ෂයේ අන්තර්වාර ආන්ඩු වැඩපිලිවෙල යටතට යොමුකොට පාවාදීමේ දී ගුරු සමිති, අනෙකුත් සමිති හා පෙසප වැනි ව්‍යාජ-වාම පක්ෂ සමග එක්ව ඉටු කල ද්‍රෝහි ක්‍රියාකලාපය පෙන්වා දෙමින්, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන පිලිවෙතක් මත, ඒකාබද්ධ අරගලයක් පෙරට ගැනීමට වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පිලිබඳ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව ගුරුවරු සමග සාකච්ඡා කලේ ය.

බස්නාහිර පලාතේ සිට පුත්තලම දිස්ත්‍රිකයේ ජාතික පාසලක් වෙත කිලෝ මීටර් 60ක දුරක් ගෙවා පැමිනෙන තාක්ෂනික ගුරුවරයෙක් ආන්ඩුවල ප්‍රහාර හමුවේ වෘත්තීය සමිතිවල වැඩපිලිවෙලේ පවතින බංකොලොත්භාවය මෙසේ පෙන්වා දුන්නේ ය. “මම දැනට වසර 3ට පෙර රුපියල් 3,00 ක තෙල් ගහගෙන බයික් එකෙන් වැඩට ආවා. නමුත් දැන් එක පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 350 විතර වෙනවා. මට දැන් බස් ගාස්තු ගෙවල පොඩි දෙයක් ආහාරයට ගන්න දවසකට රුපියල් 600ක් විතර යනවා. ලක්ෂ 20ක නිවාස නයට මගේ වැටුපෙන් රුපියල් 25000ක් කැපෙනවා. මම හවස වරුවේ හෝටලයක වැඩ කරලා තමයි ගෙදර වියදම් පිරිමහගන්නේ. සමිති කියන විදිහට 2021 දී අපේ වැටුප් නාමිකව වැඩි වුනා තමයි. නමුත්, ඇත්තටම අපේ සැබෑ වැටුප් ඛාදනය වීමකුයි තියෙන්නේ. ගුරුවරු, උසස් පෙල දරුවෝ අධ්‍යාපනය අතහැර යෑමකුයි තියෙන්නේ”.

2019 දී සංවර්ධන නිලධාරී තනතුරේ පත්වීම් ලබා දෙවසරක් තිස්සේ ගුරුසේවයේ නිරත තවත් ගුරුවරයෙක් මෙසේ ප්‍රකාශ කලේ ය. “ගුරුවරයෙකුගේ වැටුපට වඩා රුපියල් 5000ක් විතර අඩුවෙනුයි සංවර්ධන නිලධාරීන්ගේ වැටුප තියෙන්නේ. 23000 ක් සංවර්ධන නිලධාරීන් දැන් ගුරු සේවයේ නිරත වෙලා ඉන්නවා. ගිය සතියේ අපි කොලඹ උද්ඝෝෂනය කලා අපිව ගුරු සේවයට ගන්න කියලා. නමුත් අපිට සිදු වුනේ පොලිසිය සමග ගැටෙන්නයි. අපි විසිතුන්දාහක් ගුරු සේවයේ ඉද්දිත් පාසල්වල ගුරු හිඟය 50000ක් විතර වෙනවා. දැන් රැකියා විරහිත උපාධිධාරීන් 30000ක් විතර රැකියා ඉල්ලලා උද්ඝෝෂන කරනවා. වෘත්තීය සමිති මේ සමස්ත තත්වය ගැන කතා කරන්නේ නෑ. ඒ නිසා අපි වෘත්තීය සමිතිවලට පිටින් කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කරන්න ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුයි”.

Loading