මහජන අරගලය මධ්‍යයේ බලය ඩැහැගැනීමට සජබ, ගෝඨාභය රාජපක්ෂ සමග රහස් සාකච්ඡාවක නිරතවූ බව හෙලිදරව් වෙයි

මීට දෙවසරකට ඉහතදී, 2022 මැයි 10 දා මහජන අරගලය මධ්‍යයේදී බලය මාරු කරගැනීම සඳහා විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ), එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග රහස් සාකච්ඡාවක් සිදුකල බව ජූලි 17 දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කලේ ය. මෙම හෙලිදරව්ව, සජබ වැනි ධනපති පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදී වහන්තරාව යටින් පවත්නා මහජන විරෝධී ස්වභාවය පෙන්නුම් කරන තවත් එක් සිද්ධියකි.

ජූලි 17 දා පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

අදාල හමුව සිදුව තිබුනේ, ඊට පැය විසිහතරකට පමන පෙරාතුව ජනාධිපතිගේ සොයුරා ද වන අගමැති මහින්ද රාජපක්ෂට සිය ධුරය අත්හැර යාමට සිදුවූ ප්‍රචන්ඩ සිදුවීම් දාමයක් මධ්‍යයේ ය. අගමැති රාජපක්ෂ විසින් උසිගන්වන ලද පොදුජන පෙරමුනේ ප්‍රාදේශීය මන්ත්‍රීන්ද ඇතුලත් දාමරික කල්ලියක් විසින් මහජන අරගලයේ කේන්ද්‍රස්ථාන ලෙස නම්කරගෙන තිබූ කොලඹ ගෝල්ෆේස් අරගලබිමේ අරගලකරුවන්ට එල්ල කල තිරස්චීන ප්‍රහාරයත් සමගින් ප්‍රචන්ඩ ක්‍රියා හටගැනුනි.

හමුදාව, පොලිසිය ඇතුලු ආරක්ෂක අංශවල පිටුබලය ඇතිව රාජපක්ෂගේ මැරයින් පොලු මුගුරුවලින් අරගලකරුවන්ට ම්ලේච්ඡ ලෙස පහර දෙමින් සියගනනකට තුවාල සිදුකරමින් ද අරගලකරුවන්ගේ තාවකාලික කූඩාරම් කඩා ගිනිබත් කරමින් ද ගෙනගිය ප්‍රචන්ඩ ක්‍රියා නැවතුනේ දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ ක්ෂනික මැදිහත්වීම නිසාම පමනි.

හිටපු ජනාධිපති සමග සාකච්ඡාවට, සිල්වා ඇතුලු සජබ මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු සහභාගි වී ඇත. කබීර් හෂීම්, රංජිත් මද්දුම බන්ඩාර සහ එරාන් වික්‍රමරත්න අනෙක් තිදෙනා වෙති. සිල්වා සමග වික්‍රමරත්න ද ඉහත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූවේ ය. එහිදී, අදාල හමුව ගැන සිල්වා මෙම හෙලිදරව්ව කලේ, සජබයේ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව නැගෙනවායැයි කියන චෝදනාවකට - “සජිත් (බලය) ගත්තෙ නෑ, සජිත් දිව්වා, හැංගුනා...” යන්නට - පිලිතුරු දීමක් ලෙසිනි,

මැයි 10 දා රාත්‍රි 8 සිට පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ ජනාධිපති රාජපක්ෂ සමග කල සාකච්ඡාවේදී “බලය මාරුකිරීම” හෙවත් “ට්‍රාන්සිෂන්” ගැන සාකච්ඡා කල බවත්, ඒ සඳහා එවකදී නීතිඥ සංගමය යෝජනා කර තිබූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනාදී “අදහස්” ගැන “සාකච්ඡාවක් ආරම්භ කරන්නේ කවද්ද” යැයි පවසන ලෙසත් හිටපු ජනාධිපතිට තම කන්ඩායම යෝජනා කල බවත් සිල්වා කීවේ ය.

සිල්වා මෙසේ කීවේය: “එක තැනකදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අපෙන් ඇහුවා, ඔ්ගොල්ලො කියන්නෙ මට සති දෙකකින් මේ ජනාධිපතිධුරය දාලා යන්න කියලාද?”. එවිට වික්‍රමරත්න ඉදිරියට පැන, “නෑ ජනාධිපතිතුමා, අපි කියන්නෙ නැහැ එහෙම, ට්‍රාන්ස්සිසන් (සංක්‍රමනය) කියන එක අපි සාකච්ඡා කරමු. සිස්ටම් චේන්ජ් එකක් ඕන වෙලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදීව ඒක කරමු” යැයි පවසා ඇත.

මහජන අරගලය ගිනියම්වන තත්වයක, රාජපක්ෂ අත්තනෝමතික ලෙස බලය අල්ලාගෙන සිටීම මගින් තත්වය පාලනයෙන් පිටත ගොස්, සමස්තයක් ලෙස ධනපති රාජ්‍ය යාන්ත්‍රනයම තර්ජනයට ලක්වීම, සජබයේ මූලික උත්සුකය බව මෙම ඊනියා සංවාදයෙන් පෙන්නුම් කරයි.

මහජන නැගිටීම, පෞද්ගලිකව ඔහුට එරෙහි හුදු කුමන්ත්‍රනයක් යැයි හංවඩු ගැසීමේ අරමුනින්, “මා ජනාධිපතිධුරයෙන් නෙරපා දැමීමට දියත්වූ කුමන්ත්‍රනය” නමින් ගෝඨාභය රාජපක්ෂ ලියූ පොතේ, සජබ සමග හමුව ගැන සඳහන් කර තිබේ. ප්‍රේමදාස අගමැතිධුරය භාරගැනීමට සූදානම් බවත්, එහෙත් එලෙස තමන්ට අගමැතිධුරය භාරදීමෙන් පසුව ජනාධිපතිවරයා තනතුර අතහැර යායුතු බවටත් සජබ නායකයා කොන්දේසියක් පනවා තිබේ. රුදුරු මර්දනය හරහා මංමුලාසහගත ලෙස තාමත් බලය අල්ලාගෙන සිටීමට යත්න දරමින් සිටි රාජපක්ෂ, ප්‍රේමදාසගේ කොන්දේසියට අකැමැති වී ඇත.

මෙම කතාවල සත්‍යාසත්‍යතාව කුමක්වුවත්, අරගලයේ නිරත මහජනයාට එරෙහිව සහ ඔවුනට හොර රහසේ ජනාධිපති සමග බලකේවලයක් සඳහා සජබ, ජනාධිපති රාජපක්ෂ හමුවූබවට කිසිදු සැකයක් නැත. ඒ වනවිට රාජපක්ෂ විෂඝෝර හදිසි තත්වයක් රටපුරා ක්‍රියාත්මක කොට රාජ්‍ය මර්දන හස්තය ශක්තිමත් කර පැවැතුන ද ඊට එරෙහිව හීන් කෙඳිරියක් හෝ සජබ මන්ත්‍රීවරුන් නැගූබවට සාක්ෂියක් නැත. ධනපති පන්තියේ ගැලවුම්කාර පාර්ශවයක් ලෙස නීතිඥ සංගමය කර තිබූ අයිසිං තැවරුමක් මගින් මහජන වෛරය යටපත් කිරීමේ හැකියාව පිලිබඳව සජබ ජනාධිපති රාජපක්ෂ සමග කතා කල බව පැහැදිලි ය.

එජාපය මෙන්ම දශක ගනනක් එහි නායක තනතුරු හෙබවූ සජබ නායකයින්ට මහජනයාට එරෙහි එවැනි කුමන්ත්‍රන සහ උපාමාරු දැමීම් අලුත් ඒවා නොවේ. සජබ නිල වෙබ් අඩවිය, එම පක්ෂය පිහිටුවීමේ අරමුන, රට තුල “...ප්‍රජාතන්ත්‍රවාදී පැවත්ම ආරක්ෂා කිරීම' සහ 'ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තහවුරු කිරීමේ අභියෝගය ජයග්‍රහනය කිරීම” බව පවසයි. එජාපයේ සහ එහි ලැගසිටි සජබයේ සමස්ත නායකත්වයේ ඉතිහාසයම, ප්‍රජාතන්ත්‍රවාදය “ආරක්ෂා කිරීමේ” එකක් නොව, එය අතුගා දැමීමේ ඉතිහාසයකි.

2015දී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නියෝජිතයන් සමග තිරය පිටුපස වැඩ කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට ගෙනඒමට ක්‍රියාශීලිව දායකවූ එජාප නායකයින්ට එම කර්තව්‍ය වෙනුවෙන් විවිධ දොලපිදේනි ලැබුනි. රනිල් වික්‍රමසිංහට අගමැතිධුරය ද එවක එජාපයේ සිටි ප්‍රේමදාස ඇතුලු අවශේෂ සජබ නායකයින්ට අමාත්‍යධුර ද ලබා දුනි. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ බලයට ඒමේදී ගසාකෑවේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් මහජනයා තලාපෙලා දමමින් ද රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින්ද ගෙනගිය කුරිරු පාලනය කෙරෙහි වැඩුනු මහජන වෛරය යි.

ප්‍රේමදාස ඇතුලු කන්ඩායමක් 2020දී එජාපයෙන් බිඳී වෙන්වූයේ වික්‍රමසිංහගේ එජාපය කෙරෙහි වැඩුනු උක්ත මහජන වෛරයෙන් දුරස්ථවීමේ උපාමාරුවක් ලෙස පමනි. කෙසේවෙතත්, එජාපයේ කොල්ලකාරී දේශපාලනික හා ආර්ථික පිලිවෙත්වලින් සජබ වෙනස් වන්නේ, පීඩිත ජනයා මුලා කිරීමේ අරමුනින් ප්‍රේමදාස දොඩවන තකතීරු වාචාලවලින් පමනි. ඒ හැරුනු විට, එජාපය උරුමකම් කියාපාන, 1948 නාමික නිදහස සදහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග කුමන්ත්‍රනවල යෙදීම; දෙමල ජනයාට එරෙහි විෂකුරු වර්ගවාදී යුද්ධය නිලවසයෙන් ආරම්භ කිරීම; 1988-89 වසරවල 60,000 කට අධික ගම්බද තරුනයන් ඝාතනය කරමින්, සජබ නායකයාගේ පියා ද වන ජනාධිපති ආර්. ප්‍රේමදාස ප්‍රමුඛ එජාප ආන්ඩුව ගෙනගිය ලේවැකි සංහාරය ඇතුලු කම්කරු පීඩිත ජනයාට එරෙහි අනේකාකාර අපරාධවල ලේ සජබ නායකයින්ගේ අත්වලද තැවරී තිබේ.

සමාජවාදී සමානතා පක්ෂය එකදිගට පැහැදිලි කල පරිදි, මහජන අරගලය පුපුරා ආවේ, හුදෙක් රාජපක්ෂට එරෙහිව පමනක් නොව, නාමික නිදහසේ සිට වසර 70කට අධික කාලයක් තිස්සේ බලයට පත් ධනපති ආන්ඩු විසින් නඩත්තු කල සමස්ත ධනපති රාජ්‍යයටම එරෙහිව යි. එය කම්කරු ගොවි ආන්ඩුවකින් විස්ථාපනය කිරීමෙන් තොරව කම්කරු පන්තිය මුහුන දෙන එකදු මූලික ගැටලුවක් හෝ විසඳිය නොහැකි බව අවධාරනය කලේ, සසප පමනි.

අරගලයේ නිරතව සිටි මිලියන සංඛ්‍යාත ජනයාගේ ඇස් වලට වැලිගසමින් ජනාධිපති රාජපක්ෂ සමග රහස් සාකච්ඡාවලට යාමේදී සජබ එහි නියම ධනපති පන්ති ස්වභාවය හෙලිදරව් කර ඇතිවා පමනි. පුහු වාචාල දෙඩවීම් හැරුනු කොට, මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය උත්සුකතාවන්වලට වක්‍රව හෝ ආමන්ත්‍රනය කිරීමෙන් ඔවුන් වැලකී සිටින්නේ එවැන්නකින් මහජන විරෝධය වඩාත් ඉහල ගොස් තත්වය තම පාලනයෙන් පිට පනිනු ඇතැයි යන භීතියෙනි.

උක්ත 2022 මැයි 10 හමුවෙන් හරියටම මාස දෙකක් සැපිරෙන තැන, ජූලි 9දා දසලක්ෂයක් ජනයා ජනාධිපති මන්දිරය වටකොට රාජපක්ෂට රටින් පලායාමට වැඩසිද්ධ කරන විට, සජබ, සිටියේ ජනතා විමුක්ති පෙරමුන හා අනෙකුත් දේශපාලන පක්ෂ සමග එක්ව ධනපති “අන්තර්වාර පාලන ආන්ඩුවක්” පිහිටුවීම සඳහා සැලසුම් සකස් කරමිනි. මෙහි අරමුන වුයේ, රාජපක්ෂය පාලනය විසින් ගෙනයමින් පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැනවූ විෂකුරු කප්පාදු පිලිවෙත් අඛන්ඩවම ඉදිරියට පවත්වා ගෙන යාමයි.

මේ කර්තව්‍යයට “සර්වපාක්ෂික” වහන්තරාවක් දමා ගැනීමේ කටයුත්තේදී එයට ප්‍රගතිශීලී අයිසින් තැවරීමක් සඳහා 2022 ජූලි 5දා සමාජවාදී සමානතා පක්ෂය (සසප) ද සම්බන්ධ කර ගැනීමට සජබ අසාර්ථක වෑයමක නිරත විය.

සජබ ආරාධනය ප්‍රතික්ෂේප කරමින් සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර විසින් සජබ නායක සජිත් ප්‍රේමදාසට යැවූ ලිපිය, 2022 අප්‍රේල් 07 දා සසප නිකුත් කල ප්‍රකාශයට අවධානය යොමුකරමින් පහත කරුනු අවධාරනය කලේ ය:

“......රාජපක්ෂගේ මූනත්තහඩුව වෙනස්කොට, ඒ වෙනුවට සජබ යෝජනා කරන ආකාරයේ 'සර්ව-පාක්ෂික ආන්ඩුවක' හෝ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඉදිරිපත් කරන ආකාරයේ 'සම්මුති ආන්ඩුවක' හෝ නව මුහුනත්තහඩුවක් මෙම ධනපති රාජ්‍ය යන්ත්‍රයට සවි කිරීමෙන් වැඩ කරන මහජනතාව මුහුනදෙන මෙම ව්‍යසනයට විසඳුමක් නොලැබෙන බව අපි යලිත් අවධාරනය කරමු.

ජනාධිපති රාජපක්ෂගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව මෙන්ම, එය විස්ථාපනය කරන කවර හෝ ධනපති ආන්ඩුවක් ක්‍රියාවට නංවනු ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු න්‍යාය පත්‍රය යි. එලෙසම, එම ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් මැඩීමට පවත්නා රාජ්‍ය යන්ත්‍රයේ සියලු මර්දන අවයව භාවිතා කරනු ඇත.”

පසුගිය වසරේ දෙකේ ඛේදජනක අත්දැකීම් සනාථ කරන්නේ සසප අනතුරු ඇඟවීමේ නිරවද්‍යභාවය යි. ඔවුන්ගේම ධනපති ව්‍යාවස්ථාව ද උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාර්ලිමේන්තු හැව යොදාගනිමින් ජනාධිපති වික්‍රමසිංහ හා රාජපක්ෂගේ පොදුජන පෙරමුනු ආන්ඩුව ජාමූඅ ඇතුලු මූල්‍ය ප්‍රාග්ධනය ඇනවූ විෂකුරු කප්පාදුවලින් මහජනයා පොත්තටම තලා දමා ඇත. ඊලඟ මහජන අරගලයක් ලෙයින් මැඩීම සඳහා රුදුරු නීති එකකට පසුව තවෙකක් ලෙස ප්‍රතිගාමී පාර්ලිමේන්තුව තුල සම්මත කර ඇත. පලාත් පාලන මැතිවරනය අහෝසි කර ඇත. මේ සියල්‌ලේදීම වික්‍රමසිංහට ශක්තිය සැපයූයේ සජබය ඇතුලු පාර්ලිමේන්තුවේ අවශේෂ මන්ත්‍රීන්ගේ වඳ ප්‍රතිචාරය යි.

වික්‍රමසිංහ ජනාධිපතිවරයක් කැඳවා ඇත්තේ, 2022 මහජන අරගලයට හේතුවූ එකදු ප්‍රශ්නයක් හෝ විසඳී නැතුවා පමනක් නොව, ඒවා තවතවත් උග්‍රකෙරී ඇති වාතාවරනයකය. අවශේෂ පක්ෂ මෙන්ම සජබ ද කැසකවන්නේ එම මහජන වෛරය වාෂ්ප කරදමා හෙලෙත්තාඩු ධනපති ක්‍රමය ආරක්ෂා කරගැනීමට ය. මහජනයා විසින් මෙම පක්ෂ පිලිකුලෙන් බැහැර කලයුත්තේ එබැවිනි.

Loading