පැට්කෝ වැඩ වර්ජනයේ සිට වසර හතලිහක්: පස්වන කොටස

වැඩ වර්ජනයෙන් ඉක්බිති

[මෙය Forty years since the PATCO strike: Part five - The aftermath යන මැයෙන් 2021 අගෝස්තු 11 පල කෙරුනු ඉංග්‍රීසි ලිපියේ පරිවර්තනයයි.]

පලමු කොටස/දෙවන කොටස/තුන්වන කොටස/හතරවන‌කොටස/ පස්වන කොටස

“අපි ඉවතට යනවාට ඔවුන් කැමති ඇති. එහෙත් 12,000ක් පමන වන ජනකායක් සිතියමෙන් ඉවත් කිරීම කල නො හැකියි.” - බොබ් කෙන්නි, වැඩ වර්ජිත ගුමන් ගමන් පාලකයෙක් 1981 ඔක්තෝබර් 26දා බුලටින් පත්‍රයට කියයි.

“රේගන් සටන ජයග්‍රහනය කර ඇතිවා පමනක් නො වේ. ඔහු සමස්ත පුදුමාකාර යුද්ධය ම ජයග්‍රහනය කර ඇත.” -යූඒඩබ්ලිව් සභාපති ඩග්ලස් ෆ්‍රේසර්

මහා අවපාතයෙන් මෙපිට ගැඹුරුතම සමාජ අර්බුදය මධ්‍යයේ, පැට්කෝ කම්කරුවෝ රැකියා විරහිතයන්ගේ ගොඩට ඇද දමන ලදහ. රේගන් පරිපාලනයේ පලමු වසර දෙක කම්කරු පන්තිය සඳහා විනාශයේ කාලපරිච්ඡේදයක් සලකුනු කලේ ය.

1982 වන විට කම්හල් හා ගොවිපොලවල්, පුරවර හා නගර සහ සමස්ත කලාපයන් උරාගත් කාර්මික ආර්ථිකයේ මහා විපතක්, ෆෙඩරල් බැංකු සභාපති පෝල් වෝකර්ගේ පොලී අනුපාත කම්පන ප්‍රතිකාරය විසින් නිර්මානය කලේ ය. 1981 දෙසැම්බරය වන විට, මිලියන 10.7ක් නොහොත් ශ්‍රම බලකායෙන් සියයට 8.9ක් නිල වසයෙන් රැකියා විරහිත ව සිටිය හ. 1982 දී විරැකියා අනුපාතය සියයට 10.7 දක්වා ඉහල ගියේ ය. රැකියා 1,287,000ට අධික ප්‍රමානයක් අහිමි වීම ජනනය කරමින්, මහා පරිමාන දොට්ට දැමීම් හෝ කම්හල් වැසීම් 2,696ක් සිදු විය. (1)

පැට්කෝ කම්කරුවන් විසින් කුඩා ධාරාවකින් පමනක් ප්‍රතිපදානය කල මානව කාලකන්නිභාවයේ ගලා යාමක් බවට දොට්ට දමන ලද කම්කරුවන් ලක්ෂ ගනනක් පත්වූයේ කවර ලෙසකින් ද? ක්‍රමානුකූල අධ්‍යයන කර ඇත්තේ ඉතා කුඩා සංඛ්‍යාවක් පමනි. 1980 වසරේ නිව් ජර්සිහි මාවා ෆෝඩ් කර්මාන්තශාලාවෙන් දොට්ට දමන ලද කම්කරුවන් 4,700ක තත්ත්වය 1982 දී කෝනෙල් විශ්ව විද්‍යාලයීය අධ්‍යයනයක් මගින් විශ්ලේෂනය කිරීම එක් විරල අවස්ථාවක් විය. වයස අවුරුදු 40ට වැඩි වූවන්ගෙන් සියයට 61ක් සිටියේ වැඩ නැති ව ය; කාන්තාවන් අතර සියයට 72ක් සිටියේ රැකියා නොමැති ව ය. කම්හල වසා දැමීමට පෙර, මධ්‍යන්‍ය ආදායම ඩොලර් 21,600ක් විය. වසර දෙකකට පසුව, එය ඊට වඩා දෙගුනයකටත් අඩු වී ඩොලර් 10,400ක් විය. (2)

මහා පරිමාන දොට්ට දැමීමේ කාලකන්නිභාවය, නවීන ඉතිහාසයේ වඩාත් ම ම්ලේච්ඡ පන්ති යුද අයවැයවල් විසින් විශාලනය කරන ලදී. 1981 හා 1982 රේගන්ගේ අයවැයවල් රැකියා විරහිතයන්, දුගීන්, වැඩිහිටියන්, ලමුන්, ආබාධිතයන්, වියට්නාම් යුද ප්‍රවීනයන් සහ කලු පෙනහලු රෝගයෙන් පීඩාවිඳිමින් සිටි විශ්‍රාමික පතල් කම්කරුවන් යනාදී කම්කරු පන්තියේ වඩාත් ම පීඩිත කොටස්වලට ආධාර සැපයූ වැඩසටහන් විනාශ කර දැමී ය. ඒ අතර ම, අයවැයවල් ධනවතුන්ට හා සංගතවලට ලජ්ජා විරහිත ලෙස බදු කප්පාදු සම්පාදනය කරන ලද්දේ, මිලිටරි වියදම බරපතල ලෙස ඉහල දමද්දී ය. වසර දෙකේ දී ම ඒවා සම්මත වීම තහවුරු කිරීමට අවශ්‍ය දුසිම් ගනන් ඡන්ද සම්පාදනය කල ඩිමොක්‍රටික් පක්ෂය, මෙම නග්න පන්ති යුද පිලිවෙත්වලට ආධාරය හා අනුබලය ලබා දුනි. (3)

මහා පරිමාන විරැකියාවක් නිර්මානය කිරීමෙහි ප්‍රකාශිත අරමුන වූයේ, ශ්‍රමයේ පිරිවැය පහත දැමීම යි. එක්සත් මෝටර් කම්කරු සමිතිය (යූඒඩබ්ලිව්), එක්සත් වානේ කම්කරු සමිතිය (යූඑස්ඩබ්ලිව්), ටීම්ස්ටර්ස්, එක්සත් රබර් කම්කරු සමිතිය, ඇමරිකානු ගුරු සම්මේලනය (ඒඑෆ්ටී) හා ජාතික අධ්‍යාපන සංගමය (එන්ඊඒ) සහ අනෙකුත් බොහෝ වෘත්තීය සමිති එකින් එක කොන්ත්‍රාත් යලි විවෘත කරමින් හා සාමාන්‍ය කම්කරුවන් මත බර පටවමින් මෙම පිලිවෙත සමග පෙලගැසුනි.

ඩිට්‍රොයිට්හි දී 1981 වසරේ වෘත්තීය සමිති දිනය දා රැස්වී සිටින ධෛර්යය සම්පන්න පැට්කෝ සේනාංකයක්

සහන කොන්ත්‍රාත්තු සාධාරනීකරනය කරන ලද්දේ, ඒවා ඇමරිකානු ව්‍යාපාරවල “තරඟකාරීත්වය” හෝ ආන්ඩුවේ විවිධ මට්ටම්වල ද්‍රවශීලතාව පවත්වාගෙන යනු ඇතැයි කියාපාමිනි. එක්කෝ “මෙම කප්පාදු පිලිගනු, නැතහොත් ඔබට ඔබේ රැකියාව නැතිවේවි” යි වෘත්තීය සමිති කම්කරුවන්ට කී ය. කොයි ආකාරයෙන් වුවත් කම්කරුවන්ට ඔවුන්ගේ රැකියා අහිමි විය. 1981 හා 1982 අතර බොහෝ සෙයින් දොට්ට දැමීම් හේතුවෙන් ඒඑෆ්එල්-සීඅයිඕවට සාමාජිකයන් 739,000ක් අහිමි විය. (4)

පැට්කෝ පරාජයෙන් කම්කරුවන්ට ප්‍රතිඵල වූ විනාශකාරී විපාකය, ගුවන් ප්‍රවාහන කර්මාන්ත කම්කරුවන්ගේ ඉරනම විසින් වඩාත් ම ලාක්ෂනික ලෙස නිදර්ශනය කරයි. එම කර්මාන්තයේ වෘත්තීය සමිති සටන්කාමී අරගලයේ හුස්ම හිරකිරීම සඳහා පැට්කෝ පිකට් වැටවලට විරුද්ධ වූ හ.

ඒ වන විටත් පැට්කෝ වැඩ වර්ජනය ඇරඹී තිබුනු 1981 අගෝස්තු මුල දී, ප්‍රවාහන ලේකම් ඩෲ ලුවිස් මුනගැසුනු ගුවන්සේවා කර්මාන්ත විධායකයෝ, දීර්ඝ කාලීන පියාසර කාලසටහනක් අනුගමනය කරන ලෙස රේගන් පරිපාලනයෙන් ඉල්ලා සිටියේ, “එහි අර්ථය මාස කිහිපයක් යන තෙක් සීමාවන් අඛන්ඩ ව පැවතුනත්” කමක් නැතැයි කියමිනි. වැඩ වර්ජනයෙන් හා අඩු කරන ලද පියාසර යානාවලින් ගුවන් සේවාවන් ඇත්තට ම ලාභ ලබනු ඇද්දැයි වාර්තාකරුවෙක් විසින් විමසූ විට, සාකච්ඡා කාමරය තුල පලල් සිනහවන් පලවූ අතර, ලුවිස් ව්‍යාජ ලෙස සිනාසුනේ ය. “වැඩ වර්ජනයෙන් තොර ව සිදු කල නො හැකි ව තිබෙන ආරම්භකත්වයන් ගැනීමට බොහෝ ගුවන් ගමන් වාහකයන්ට වැඩ වර්ජනය විසින් ඉඩ ලබා දුනි.” ගමන් මාවත් අහෝසි කරමින්, ගුවන් යානා භාවිතා නො කරමින් සහ යානා මත හා පර්යන්ත තුල කාර්ය මන්ඩල අඩු කරමින් “තරවීමට හා කප්පාදු සිදු කිරීමට ගුවන් ගමන් වාහකයන් වර්ජනයේ වාසිය යොදාගත්තේ ය” යි එක් ඉතිහාසඥයෙක් නිගමනය කලේ ය. (5)

1978 දී සිදුකල කෙනඩි-කාටර් ගුවන්සේවා රෙගුලාසිහරනය, මෙම කර්මාන්තයේ යෝධ ප්‍රතිසංවිධානයක් ආරම්භ කලේ ය. ඊස්ටර්න්, ටීඩබ්ලිව්ඒ, බ්‍රානිෆ්, පෑන් ඇමරිකන්, කොන්ටිනෙන්ටල්, රිපබ්ලික් හා වෙස්ටර්න් ඇතුලු පැරනි ගුවන් සේවාවන් එක්කෝ අතුගා දැමීම, නැතහොත් ප්‍රතිමල්ලව සමාගම් විසින් අවශෝෂනය කරගැනීම හෝ එසේත් නැතහොත් බංකොලොත්භාවය කරා තල්ලු කිරීම සිදු කරන ලදී. පැට්කෝ වැඩ වර්ජනයේ ක්ෂනික කාල පරිච්ඡේදය වූ ඩොලර් මිලියන 137ක් ගිලගත් 1980 හා තවත් ඩොලර් මිලියන 201ක් ගිලගත් 1981 පලමු කාර්තුව, ගුවන්සේවා කර්මාන්තය සඳහා එදා මෙදා තුර නරක ම කාල පරිච්ඡේදය විය.

ඊස්ටර්න් හා බ්‍රානිෆ් ගුවන් සේවාවන්ගෙන් අරඹමින් ගුවන් සේවා සමාගම් වෘත්තීය සමිතිගත කම්කරුවන් මත යෝධ වැටුප් කප්පාදු පැනවූයේ, ප්‍රතිරෝධය දැක්වුවහොත් දොට්ට දමන බවට තර්ජනය කරමිනි. ජූලි 30දා, එනම් පැට්කෝ වැඩ වර්ජනය ඇරඹීමට දවස් හතරකට පෙරාතුව, ගුවන් සේවා නියමු සංගමය ඩොලර් මිලියන 75ක කප්පාදු පිලිගත්තේ ය. බෝයිං 737 යානා තුල සේවක සංඛ්‍යාව මිනිසුන් දෙදෙනෙකුට අඩු කිරීම හා ගුවන් නියමු කුටියේ මසකට වැඩ කරන පැය ගනන 62 සිට 81ත් 85ත් අතර සංඛ්‍යාවක් දක්වා වැඩි කිරීම මේවාට ඇතුලත් විය.

ඒ අතර ම, ගුවන් සේවා සේවක සංගමයේ සභාපති වූ වික්ටර් හර්බට් 1982 දී ඩොලර් 98,585ක් සතු කර ගත්තේ ය. ගුවන් සේවා නියමු සංගමයේ (ඒඑල්පීඒ) සභාපති හෙන්‍රි ඩෆී, 1983 දී ඩොලර් 246,557ක් සහ “වියදම්” සඳහා තවත් ඩොලර් 74,737ක් පොකට්ටුවට දමා ගත්තේ, ඇමරිකාවේ ඉහලින් ම ගෙවීම් ලබන වෘත්තීය සමිති නිලධරයා බවට පත්වෙමිනි. ඔහුගේ “පලමු උප සභාපති” වූ ජී. ඒ‍. ප්‍රයිඩ් ඩොලර් 130, 818ක් ලබා ගත්තේ ය. (6)

පැට්කෝ සමිතිය ආරක්ෂා කිරීමට ගුවන් සේවා කර්මාන්ත වෘත්තීය සමිති අසමත් වීම, ඔවුන්ගේ ම කම්කරුවන් මත අධික පිරිවැයක් පැනවූ නමුත්, එය අත්වැරදුනු පිලිවෙතක ප්‍රතිඵලය නො වී ය. 1980 ගනන්වල සියලු වෘත්තීය සමිති මෙන් ගුවන් සේවා වෘත්තීය සමිති ද ඔවුන් නාමික ව නියෝජනය කරනවා යයි කියූ කම්කරුවන්ගෙන් ලහිලහියේ වෙන්වෙමින් සිටියේ ධනයේ හා ආදායම්වල නව මූලාශ්‍ර සුරක්ෂිත කරගනිමිනි. මේ සෑම අවස්ථාවක දී ම, වෘත්තීය සමිති නිලධරය විසින් පාලනය කරනු ලබන ආදායම්වල නව ධාරාවන්ට හිලවු ලෙස, ගුවන් කර්මාන්ත වෘත්තීය සමිති වැටුප් හා ප්‍රතිලාභ කප්පාදු පිලිගත් හ.

1981 දී පෑන් ඇමරිකන් ගුවන් සේවා සමාගම ව්‍යාපාර කොටස් මිලියන 11ක් විකුනා දැමූ අතර, එය වෘත්තීය සමිතියක් විසින් ධාවනය කල සේවක කොටස් හිමිකාර වැඩසටහනක (ඊඑස්ඕපී) සියයට 13කට සමාන විය. එය ඒකාබද්ධ ශ්‍රම-කලමනාකාර තත්ත්වයන්වල සමස්ත මාලාවක් ම වර්ධනය කලේ ය. එහෙත් 1985 දී කලමනාකාරීත්වය පොරොන්දු වූ වැටුප් වැඩිවීම් ලබා දුන්නේ නැත.

1983 දී, බංකොලොත්භාවයේ තර්ජනය වෙස්ටර්න් එයාර්ලයින්ස් සමාගමේ වෘත්තීය සමිති පහක් සමග අර්බුද සාකච්ඡාවන් ප්‍රේරනය කලේ ය. යෝධ කප්පාදු ලබා දුන් වෘත්තීය සමිති, වැඩ නීති ඉවත දැමීමට එකඟ වූ හ. ඊට හිලවුව ලෙස, විනාශයට නියමිත වූ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ මන්ඩල ආසන හතරක් මෙන් ම ලාභ බෙදාගැනීම හා කොටස් හිමිකාරීත්වය ඔවුන්ට ලැබුනි. කොටස් හිමිකාරීත්වය පදනම් කරන ලද්දේ, සමාගමේ කොටස්වල ස්වරූපයෙන් වැටුප් කප්පාදුවලින් අර්ධයක වටිනාකම “ආපසු ගෙවන ලද” සූත්‍රයක් මත යි.

පරිපූර්න හිමිකාරීත්වය තුල වෘත්තීය සමිතිවල වැඩෙන භූමිකාව, 1985 දී ප්‍රධාන ඉදිරි පියවරක් ගත්තේ, ඒඑල්පීඒ, ජාත්‍යන්තර යන්ත්‍රශිල්පී සංගමය (අයිඒඑම්) හා ප්‍රවාහන කම්කරු සමිතිය (ටීඩබ්ලිව්‍යූ) සංගත ආක්‍රමනිකයෙකු වූ කාල් ඉකාන් විසින් ටීඩබ්ලිව්ඒ සමාගම අයත් කරගැනීමට මග පෑදූ විට ය. ටීඩබ්ලිව්ඒ සංගතයේ පොදු කොටස්වලින් සියයට 20ක් සඳහා වෘත්තීය සමිති ඩොලර් මිලියන 200ක වැටුප් සම්බාධක පිලිගත්තේ, න්‍යායික ව වසර තුනක් සඳහා ලාභවලින් සියයට 20කට මෙන් ම අනෙකුත් කොටස් විකල්ප සහ ගුවන් සේවා සමාගම විකිනීමක් සිදු වුවහොත් ඉකාන්ගේ ලාභවලින් කොටසකට ද හිලවුව ලෙස ය. එක් විශ්ලේෂනයක් සඳහන් කල පරිදි, වෘත්තීය සමිතිවල “සාර්ථකත්වය” වූයේ, “පිටස්තර ප්‍රාග්ධනය ආකර්ශනය කරගැනීමට අවශ්‍ය වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු” හුවමාරු කරගැනීමට ඒවාට තිබූ හැකියාව යි.

එය මේ ආකාරයෙන් ඉදිරියට ගියේ ය.

1993 දී, සමාගමේ කොටස් සහ සංගත මන්ඩලයේ ආසන තුනකට හුවමරුව ලෙස, වසර තුනක් දක්වා ගුවන් නියමුවන්ගේ වැටුප් ඩොලර් මිලියන 365කින් කප්පාදු කිරීමට, නෝර්ත්වෙස්ට් එයාර්ලයින් සමාගම සාකච්ඡා කලේ ය.

1994 දී, යුනයිටඩ් එයාර්ලයින්ස් සංගතය ගුවන් නියමුවන්ගේ වැටුප් සියයට 16කින් කැපීමට හිලවුව ලෙස, හිමිකාරීත්වයෙන් සියයට 55ක් සේවකයන්ට ලබා දෙමින්, යන්ත්‍රශිල්පීන්ගේ වැටුප් සියයට 10කින් කපා, වසර හයක් යන තෙක් වැඩ වර්ජන නොපැවැත්වීමට සාකච්ඡා කලේ ය. සමාගමේ අධ්‍යක්ෂ මන්ඩලයේ ආසන තුනක් ද වෘත්තීය සමිතිවලට ලැබුනි.

මේ සියල්ලෙන් ඊස්ටර්න් එයාර්ලයින්ස් කම්කරුවන් අත්විඳි පරාජය වඩාත් ම විනාශකාරී එක විය. 1983 දෙසැම්බරයේ දී, (යන්ත්‍රශිල්පීන්, ගුවන් සේවා උපස්ථායකයින් හා ගුවන් නියමුවන්) 37,500ක් නියෝජනය කල වෘත්තීය සමිති තුනක්, සියයට 18 සිට 22 දක්වා පරාසයේ වූ ඩොලර් මිලියන 367ක කප්පාදුවකට එකඟ වූයේ, සමාගමේ කොටස්වලින් සියයට 25ක හිමිකාරීත්වයට සහ වෘත්තීය සමිති නිලධාරීන් හතර දෙනෙකුට සංගත අධ්‍යක්ෂ මන්ඩලයේ ආසන සඳහා හිලවුව ලෙස ය.

එහෙත් මූල්‍ය දුෂ්කරතාවන් කඳුගැසුනු අතර, 1985 දී සියයට 20ක වැටුප් කප්පාදුවකට හා ශ්‍රේනි දෙකේ වැටුප් ක්‍රමයකට ඒඑල්පීඒ එකඟ විය. ඊස්ටර්න් සමාගම තවමත් වත්කම් උදුරාගන්නෙකු වූ ෆ්‍රෑන්ක් ලොරෙන්සෝට හා ඒ වන විටත් සියයට 50ක යෝධ වැටුප් කප්පාදු පටවමින් කොන්ටිනෙන්ටල් සමාගම අයත් කරගෙන සිට ටෙක්සාස් එයාර් වෙත කුනු කොල්ලෙට විකුනා දැමෙමින් තිබුනි.

ලොරෙන්සෝ ඔහුගේ අඩු පිරිවැය සහිත කොන්ටිනෙන්ටල් හා ටෙක්සාස් එයාර් යන සමාගම්වල මෙහෙයුම් සඳහා ඊස්ටර්න් සමාගමේ කොටස් උප කොන්ත්‍රාත් දීම වහා ම ආරම්භ කලේ ය. 1989 දී වැඩ වර්ජනයකට අවසර දීමට පෙර, අයිඒඑම් සමිතිය මාස ගනනක් පුරා පැවති සාකච්ඡාවල දී ආයාචනා කර තිබූ අතර, 1980 ගනන්වල ප්‍රථම වතාවට ඒඑල්පීඒ සමිතිය පිකට් වැටවලට බාධා කිරීම ප්‍රතික්ෂේප කලේ ය. එහෙත්, “ඊස්ටර්න්ට සාධාරන්තවය” නමැති දිරිය බල සිඳවන මහජන සම්බන්ධතා උද්ඝෝෂනයක් පමනක් ඒකරාශී කරමින්, ඒඑෆ්එල්-සීඅයිඕ මෙම වැඩ වර්ජනය ද කඩාකප්පල් කලේ ය. වැඩ වර්ජනය සමග ගනුදෙනු බේරාගැනීම සඳහා ලොරෙන්සෝ සරල ව කලේ, බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කිරීම යි. උසාවි හා බුෂ් පරිපාලනය සංගතයට පිටුබලය දුන් අතර, සමිතියේ කම්කරුවන්ට ඔවුන්ගේ රැකියා පමනක් නො ව, විශ්‍රාම වැටුප් හා ප්‍රතිලාභ ද අහිමි විය.

මංමුලා සහගත වූ ඊස්ටර්න්හි සේවිකාවක්, ජෝර්ජියාවේ ඇයගේ කොංග්‍රස් සභිකයාට 1991 දී මෙසේ ලීවා ය:

අපේ විරැකියා සහනාධාර චෙක්පත් ජූලි මාසයේ දී නවතී. අප බොහෝ දෙනාට සෞඛ්‍ය හෝ ජීවිත රක්ෂන නොමැති අතර, මේ වන විට අපි අපේ නිවාස අහිමි වීමට ඉතා සමීප ව සිටිමු. අප බොහෝ දෙනා වයසින් 50 ගනන්වල පසුවන අතර, දීර්ඝ කාලයක් තිස්සේ දුෂ්කරතා විඳිමින් වැඩකර උපයාගත් සියල්ල අපේ දෑස් ඉදිරිපිට ම විසිරී යාම හවුහරනකින් තොර ව අපි දැකගනිමින් සිටිමු.

බොස්ටන්හි ලෝගාන් ගුවන් තොටුපොලේ පිකට් වැට (ලෝසවෙඅ මාධ්‍ය)

පැට්කෝ ගුවන් ගමන් පාලකයන් පිලිබඳ ව සලකන කල, රේගන් පරිපාලනයේ ප්‍රහාරවලට එරෙහි ව ඔවුන් ගත් අධිෂ්ටාන වත් ආස්ථානය නිසා, ඇමරිකානු පාලක පන්තිය ඔවුන්ට කිසිදා සමාව දුන්නේ නැත.

නතත්තලට යන්තම් දින දෙකකට පෙර හා වැඩ වර්ජනය පූර්න වසයෙන් පරාජයට පත්වීමෙන් වසරකට පසුව, 1982 දෙසැම්බර් 23දා, සාමාජිකත්වය නො දෙන ලද ගමන් පාලකයන්ගේ දුප්පත් පවුල්වලට ආධාර පිනිස අනුග්‍රහශීලී ව ප්‍රදානය කරන ලද ඩොලර් මිලියන 4ක් මධ්‍යම විනිසුරුවෙක් විසින් රාජසන්තක කලේ ය. මේවා, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර කම්කරුවන්ගෙන් වැඩ වර්ජකයන්ට තැපැල් කර හා විදුලි පුවත් හරහා එවන ලද ප්‍රදානයන් විය. අනුග්‍රහශීලී අරමුදල, බංකොලොත් හා සහතිකය අහිමි කරන ලද පැට්කෝ වෘත්තීය සමිතියේ දේපොලක් නො වන බවත්, සමිතියේ හිටපු තනි සාමාජිකයන්ට අයත් බවත්, විනිසුරුවරයා පිලිගත්තේ ය. එහෙත්, මෙම කුඩා මුදල් ප්‍රමානය ගුවන් සේවාවන් සඳහා යොමු කල යුතු ව තිබුනු බව ඔහු ප්‍රකාශ කලේ ය.

“ස්ථාපිත නීතියට පැහැදිලි ලෙස විරුද්ධ ව ක්‍රියාකර ඇති වෘත්තීය සමිති සාමාජිකයන්ට භාර අරමුදල් ආපසු ප්‍රදානයට අවසර දීම, පැට්කෝ සාමාජිකයන්ගේ නීති-විරෝධී ක්‍රියාව අගය කිරීමකි” යි විනිසුරු රොජර් එම්. වෙලන් නිගමනය කලේ ය.

1986 වන විට පැට්කෝ සමිති සාමාජිකයන්ගෙන් තුනෙන් පංගුවක් ඉපයූවේ කොතරම් කුඩා මුදලක් ද යතහොත්, ඔවුන්ගේ පවුල් ආහාර සලාකවලට සුදුසුකම් ලැබූ හ. (7) එම වසරේ දී, රිපබ්ලිකන් කොංග්‍රස් සභික ගයි මොලිනාරි එෆ්ඒඒ ගුවන් ගමන් පාලකයන් ලෙස රැකියාවලට අයදුම් කිරීම සඳහා, සාමාජිකත්වය අහිමි කරන ලද පැට්කෝ කම්කරුවන් 12,000න් 1,000කට අවසර දෙනු ලබන මධ්‍යස්ථ පියවරයක් හඳුන්වා දුන්නේ ය. ඩිමොක්‍රටික් පක්ෂය විසින් පාලනය කල නියෝජිත මන්ඩලය, මෙම පියවර 226-193 පරතරයකින් පරාජය කලේ ය.

පැට්කෝ වැඩ වර්ජකයින් යලි සේවයට බඳවා ගැනීමේ තහනම නිල වසයෙන් ක්ලින්ටන් පරිපාලනය විසින් ඉවත් කලේ 1993 දී පමනි. මෙය අවමානයක අවසන් ක්‍රියාව බවට පත්වුනි. එක් වසරක් ඇතුලත, නෙරපන ලද ගමන් පාලකයන්ගෙන් සියයට 40ක් පමන එෆ්ඒඒ සමග වැඩ කිරීම සඳහා යලි අයදුම් කල හ. එහෙත්, “මනාපයකින් තොර ව ඔවුන්ගේ අයදුම්පත් පිරිසැකසූ” බව ඔවුන් සොයාගත් අතර, ඊලඟ වසර වූ 1994 එෆ්ඒඒ ක්‍රමානුකූල බඳවා ගැනීම් අක්‍රිය කිරීමක් දැකගත්තේ ය. යලි සේවයට බඳවා ගන්නා ලද්දේ, පැට්කෝ ගමන් පාලකයන් 37 දෙනෙකු පමනි.

ගුවන් සේවා කර්මාන්තය තුල, පැට්කෝ සමිතිය විස්ථානය කරන ලද වෘත්තීය සමිතිය වූ ජාතික ගුවන් ගමන් පාලක සංගමයට (එන්ඒටීසීඒ) “නිදහස් වෘත්තීය සමිතියක්” වීමේ ප්‍රබන්ධය කිසිදාක කියාපෑ හැකි නො වී ය. රාජ්‍යය විසින් නිර්මානය කොට පාලනය කරන ලද සංවිධානයක් වූ එය, හොරිකඩයන්ගෙන් පිරී තිබුනි. පැට්කෝ සමිතිය කල ආකාරයේ “නීති-විරෝධී” වැඩ වර්ජනයක් කිසිදා සිදු නො කරන බවට ආරම්භයේ පටන් ම එය පොරොන්දු වූ අතර, එහි අර්ථය වූයේ, එය කිසිදාක වැඩ වර්ජනයකට කිසිසේත් අවස‌ර නො දෙන බවයි.

ගුවන් ගමන් පාලකයන්ගේ වැඩ කොන්දේසිවලට සිදු වූයේ වඩාත් නරක අතට හැරීම පමනි. 1981 සිට 1985 දක්වා, ගුවන් ගමන් පරිමාව පියාසැරුම් මිලියන 66.7ක සිට මිලියන 71.4 දක්වා ඉහල ගියේ ය. එම කාලය තුල ම, “සම්පූර්න කාර්යසාධන මට්ටමේ” (එෆ්පීඑල්) ගුවන් ගමන් පාලකයන් සංඛ්‍යාව, 13, 205 සිට 8,315 දක්වා වැටුනි. 1988 වන විට, පියාසර පරිමාවේ වැඩිවීම නො තකා, එෆ්පීඑල් ගමන් පාලකයන් සිටියේ 1981ට වඩා ඊටත් අඩු 8,904ක් පමනි. (8)

2006 දී, කෙන්ටකිහි ලෙක්සින්ටන්හි දී කොම්එයාර් ගුවන් යානයක් වැරදි ධාවන පථයෙන් ගුවන්ගත වීමට උත්සාහ කිරීමේ දී, මගීන් 47 දෙනා හා තිදෙනෙකුගේ කාර්ය මන්ඩලයෙන් දෙදෙනෙකු මරා දැමූ විට, මෙම බරපතල කාර්ය මන්ඩල කප්පාදුවේ විපාක ඛේදජනක ලෙස හෙලිදරව් වුනි. ගුවන් යානයට එහි ධාවන පථය නිවැරදි ව වෙන්කර දීමෙන් අනතුරු ව, රාජකාරියේ යෙදී සිටි හුදකලා ගුවන් ගමන් පාලකයා, එෆ්ඒඒ පිලිවෙතට අනුව අවශ්‍ය කරන ලද අනෙකුත් කර්තව්‍යයන් සඳහා ගොස් තිබුනි.

පැට්කෝ වැඩ වර්ජනයේ 30වන සංවත්සරය යෙදුනු කාලය වූ 2011 අප්‍රේල් මාසයේ දී, රාජකාරියේ නියැලී සිටින ගුවන් ගමන් පාලකයන් නිදා වැටීමේ සිද්ධි අරබයා වූ සෝලියක් මාධ්‍ය විසින් අවුලුවනු ලැබී ය. පැට්කෝ වැඩ වර්ජනයෙහි සංවත්සරය පිලිබඳ ව අනවධානයෙන් පසු වන බව පෙනුනු ජනාධිපති ඔබාමා, ගමන් පාලකයන් ව කුහක ලෙස දඩමීමා කිරීම සඳහා ක්ෂනික ව ඒකාබද්ධ විය.

සිය ආවේනික ලක්ෂනය වූ ඇඟිලි වැනීමේ විලාසයෙන්, “රාජකාරිය වෙලාවේ පුද්ගලයන් නින්දට වැටීම පිලිගත නො හැකියි” යි ඔබාමා කීවේ ය. “කාරනය වන්නේ, ගුවනේ සිටින ජනයාගේ ජීවිත හා ආරක්ෂාව සඳහා වගකීම දරන විට, රාජකාරිය හොඳින් ඉටුකල යුතු බවයි. එම නිසා, සාකච්ඡා කල යුතු පුද්ගලික වගකීමේ මූලාංගයක් පවතිනවා.”

මියාමි සිට පැමිනි ඇමරිකන් එයාලයින්ස් 1012 යානය හා චිකාගෝ සිට පැමිනි යුනයිටඩ් එයාලයින්ස් යානය යන දෙක ම, රොනල්ඩ් රේගන් වොෂින්ටන් ජාතික ගුවන් තොටුපොලේ ගොඩබෑමට අවසර ඉල්ලා සිටි 2011 මාර්තු 23දා, වඩාත් ම වැදගත් සිද්ධිය හටගත්තේ ය. පාලක ගොඩනැගිල්ලට සංඥා යැවීමට යලි යලිත් දරන ලද උත්සාහයන්ගෙන් පසුව, සහයෝගයකින් තොර ව ගොඩබෑමට යානා දෙකට බලකෙරුනි. මෙම සිද්ධිය මහජන අවධානයට ලක්වීමෙන් පසුව, ගෙවී ගිය වසර පුරා ගමන් පාලකයන් නිදිකිරා වැටීමේ අනෙකුත් අවස්ථාවන් ගනනාවක් ම තිබී ඇති බව හෙලිදරව් කරන ලදී.

ගමන් පාලකයන් අධික ලෙස වැඩෙහි යොදවා ඇතැයි යන කරුන ඔබාමාගේ සැලකිල්ලට භාජනය නො වී ය. එහෙත්, ජාතික ප්‍රවාහන ආරක්ෂක මන්ඩලය (එන්ටීඑස්බී) විසින් සිදුකරන ලද අද්‍යතන අධ්‍යයනයක්, “සාමාන්‍ය නින්දට යාමේ හා අවදිවීමේ සැලැස්මට විරුද්ධ වූ” වැඩ කාල සටහන් ගුවන් ගමන් පාලකයන්ගෙන් සියයට 61ක‌ට තිබූ බව සොයාගත්තේ ය. ඒ සමයේ එක් මාධ්‍ය වාර්තාවක්, ගුවන් ගමන් පාලකයෙකුගේ ලාක්ෂනික වැඩ සතිය සම්පින්ඩනය කොට දැක්වී ය. “කාල සටහන මෙලෙස පෙනිය හැකි ය: පලමු දිනයේ සවස 3ට වැඩ මුරය ආරම්භ වේ; දෙවන දිනයේ සවස 2ට ආරම්භ වේ; තුන්වන වැඩ දිනය ආරම්භ වන්නේ උදෑසන 7ට ය; හතරවන දිනය උදෑසන 6ට ය. දීර්ඝ සති අන්තයක් ලබා ගැනීම සඳහා කම්කරුවාට පස්වන වැඩ මුරය සඳහා හතරවන දින රාත්‍රී 10ට පෙරලා පැමිනිය හැකි යයි මන්ඩලය කීවේ ය.”

කාර්ය මන්ඩලයේ අඩුකම වර්තමානය දක්වා ම අඛන්ඩ ව පැවතී ඇත. මූලික ව බලපෑම් දැමීමේ සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන එන්ඒටීසීඒ, ඇමරිකානු ගුවන් පාලක ගොඩනැගිලිවල කාර්ය මන්ඩලවල බරපතල හිඟයන් වාර්තා කරයි. 2019 දී, සහතිකලත් වෘත්තීය ගමන් පාලක (සීපීසී) ප්‍රභේදය පැවතුනේ, තිස් වසරක් තුල අඩු ම මට්ටමේ බව එය සඳහන් කලේ ය.

එෆ්ඒඒ එහි පාර්ශවයෙන් කියන්නේ, එක්සත් ජනපදය තුල ගුවන් ගමන් පාලකයන් 14,000ක් වැඩ කරන බව වුවත්, එය ද තවමත් 1981ට වඩා අඩු ය. වෘත්තීය ඉගෙන ගැනීමේ දුෂ්කරතාවෙහි අර්ථය වන්නේ, බොහෝ සිසුන් එෆ්ඒඒ ඇකඩමියේ පුහුනුව කිසිදා සම්පූර්න නො කරන බව හෝ කෙටි කාලයක් රැකියාවේ යෙදීමෙන් පසු ඉවත් වන බවයි. “වර්තමාන ධාරිතාව පවත්වාගෙන යාම පිනිස, වඩාත් තීරනාත්මක ලෙස කාර්ය මන්ඩලයන් හිඟ ස්ථානවල ගමන් පාලකයන්ට, අත්‍යවශ්‍ය අතිකාල වැඩ කිරීමට බලකෙරෙන” බව එන්ඒටීසීඒ වාර්තා කරයි.

නිගමනය

දෙවන ලෝක යුද්ධය අවසානයේ පටන්, එක්සත් ජනපදය හා අනෙකුත් දියුනු කාර්මික රටවල් තුල පැවති සාපේක්ෂ පන්ති සම්මුතියේ හා සමාජ ප්‍රතිසංස්කරනයේ කාලසීමාවේ නිශ්චිත අවසානය, පැට්කෝ වැඩ වර්ජනය විසින් නිවේදනය කලේ ය. එම මොහොතේ සිට, දශක ගනනාවක අරගල හරහා කම්කරු පන්තිය යථාවත් කරගෙන තිබුනු ජයග්‍රහන ආපසු හැරවීමේ වෙහෙස නො තකන ප්‍රහාරයක් ධනපති පන්තිය විසින් දියත් කර ඇත.

පැට්කෝ වැඩ වර්ජනයට දවස් 10ක් ගත වෙද්දී, බුලටින් පත්‍රයේ පලකරන ලද “පැට්කෝ වැඩ වර්ජනය: කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක්” නමැති ප්‍රකාශයක් තුල වර්කර්ස් ලීගයේ දේශපාලන කමිටුව පැහැදිලි කල පරිදි:

වෘත්තීය ගුවන් ගමන් පාලක සංවිධානයේ සාමාජිකයන් 13,000කගේ වැඩවර්ජනය, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර ව කම්කරු පන්තියෙහි අරගලයේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයකි. එය වනාහි, ඇමරිකානු කම්කරු පන්තිය හා ආන්ඩුව අතර පලමු ප්‍රධාන දේශපාලන මුනගැටුමයි.

ඇමරිකානු කම්කරුවා මධ්‍යම පන්තික බවට පත්වී ඇතැයි පින්තාරු කරන ලද්දා වූ හා ඇමරිකාව ලෝක විප්ලවවාදී සංක්ෂෝභයේ මහා ව්‍යතිරේකයක් ලෙස ඉදිරිපත් කරන ලද්දා වූ, ඇමරිකාව තුල පන්ති අරගලය එක්කෝ ප්‍රතික්ෂේප කර හෝ ලඝු කර තිබුනු දශක ගනනාවකට පසුව, පැට්කෝ වැඩ වර්ජනය මේ සියලු මිථ්‍යාවන් පුපුරුවා හැර ඇත.

දේශපාලනික ස්ථාවරභාවයේ හා කොන්සර්වැටිව්වාදයේ මතුපිට පෙනීමට යටින්, ඕනෑ ම ධනේශ්වර රටක නො විසඳිය හැකි සමාජ හා ආර්ථික පරස්පර විරෝධයන් වර්ධනය වී ඇති බව, ගුමන් ගමන් පාලකයන්ගේ වැඩ වර්ජනය ප්‍රදර්ශනය කර තිබේ ...

ඒ අතර ම, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ “ජනතාවගේ, ජනතාව විසින් පාලනය කරන, ජනතාව සඳහා වූ” ආන්ඩුවේ වහන්තරාව උනා දැමෙමින්, ධනපති රාජ්‍යය කුමක්දැයි - එනම්, තුනී බිලියනපතියන් අතලොස්සක අවශ්‍යතා සඳහා මහජනයා මර්දනය කරන උපකරනයක් බව- එය විසින් ම හෙලිදරව් කරමින් තිබේ.

බන්ධනාගාරවලට විසිකරනු ලබන කම්කරුවන් ව අතේ සිට පාදය දක්වා යදම්වලින් බඳිනු ලබයි; සාමාජිකයන්ගෙන් සියයට 95ක් ඡන්දය දී අනුමත කල දෙය කිරීම නිසා කම්කරුවන්ගේ වෘත්තීය සමිතියේ සහතිකය අහිමි කරනු ලබයි; වෘත්තීය සමිතියේ සියලු වත්කම් රාජසන්තක කිරීමේ හා ඒවා ආන්ඩුවට හෝ ගුවන් සමාගම්වලට පැවරීමේ ඉලක්කය සහිත ව දන්ඩනීය දඩමුදල් නියම කරනු ලැබ තිබේ; පිකට් වැටවල් අධීක්ෂනය කරන එෆ්බීඅයි නියෝජිතයන් හා මධ්‍යම හමුදා නිලධාරීන්, කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් බියවැද්දීම පිනිස ඔවුන්ගේ නිවාසවලට පැමිනෙයි.

පැට්කෝ වැඩ වර්ජනයෙන් අන් සියල්ලටත් වඩා එක් දේශපාලන නිගමනයක් උකහාගත යුතු ය: අපගමනයක් හෝ ව්‍යතිරේකයක් නො වන එය, එක්සත් ජනපදය තුල පන්ති සබඳතාවන්ගේ සැබෑ සාරය හෙලිදරව් කරයි.

සමාජ සේවා, රැකියා, ආරක්ෂක රෙගුලාසි, ජීවන තත්ත්වයන් සහ වෘත්තීය සමිතිගත ව සංවිධානය වීමේ අයිතිය යනාදී කම්කරුවන්ගේ මූලික අයිතීන්ට පහර දෙමින් සිටින පාලක පන්තිය, මෙම ප්‍රහාර බලාත්මක කිරීම සඳහා ධනේශ්වර රාජ්‍යයේ මර්දනීය බලයන් හා ප්‍රචන්ඩත්වය සේවයට කැඳවමින් සිටියි.

ආන්ඩුවට එරෙහි කම්කරු පන්තියේ සටන කඩාකප්පල් කිරීම සඳහා පාලක පන්තිය වෘත්තීය සමිති නිලධරයන් මත රැඳී සිටී. ගුවන් ගමන් පාලක අරගලයේ දී මෙන් විවෘත හොරිකඩකම් කිරීම තුල පමනක් නො ව, සියල්ලටත් වඩා ධනේශ්වර ද්වි-පක්ෂ පද්ධතියට සහයෝගය දීම මගින් කම්කරු පන්තිය දේශපාලනික ව අහෝසි කිරීම තුල, මෙම කඩාකප්පල් කිරීම සිය රූපය අත්පත් කරගනී.

වෘත්තීය සමිති හා කම්කරු පන්තියේ පැරනි ජාතික ව පාදිත සංවිධාන, මෙම සමාජ පරාගමනයේ දී තීරනාත්මක භූමිකාවක් ඉටුකර ඇත. රේගන් පරිපාලනය සමග ඒඑෆ්එල්-සීඅයිඕහි දුස්සහාය හා පැට්කෝ අරගලය පලල් කිරීම සඳහා සාමාන්‍ය කම්කරුවන් කල ජනප්‍රිය ඉල්ලීම් එය විසින් ප්‍රතික්ෂේප කිරීම, 1980 ගනන් හා 1990 ගනන්වල එක්සත් ජනපදයේ සියලු කම්කරු අරගල සඳහා ම නිදර්ශනය සකස් කලේ ය. එක් සිද්ධියකට පසු තවත් සිද්ධියක් වසයෙන්, කම්කරු පන්තියේ කටුක ප්‍රතිරෝධය නො තකා, වෘත්තීය සමිති වැඩ වර්ජන හුදෙකලා කොට, පාවා දී ඒවා පරාජය කිරීමට උදව් කල හ.

සමස්ත ලෝකය පුරා එම ක්‍රියාවලිය දිගහැරුනේ, අගමැතිනි මාග්‍රට් තැචර් ගල් අඟුරු කම්කරුවන් තලා දැමීම දෙස වෘත්තීය සමිති සම්මේලනය (ටීයූසී) බලා සිටි 1985 දී එක්සත් රාජධානියේ දී වඩාත් ඒ සමාන ව සිදු වූවාක් මෙන්, කර්මාන්ත හා කම්කරු පන්තික ජීවන තත්ත්වයන් විනාශ කිරීමට වේදිකාව සකසමිනි.

සෑම තැනක දී ම, පැරනි ලේබර් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, මූල්‍ය සම්පාදකයන්ගේ ඉල්ලීම් මුලුමනින් වැලඳගෙන, කම්කරුවන් දුගී බවට ඇද දමමින් පොහොසතුන්ගේ සාක්කු පිරවීමට උදව් කල හ. අප්‍රිකාව, ලතින් ඇමරිකාව හා ආසියාව තුල පැරනි ජාතික විමුක්ති ව්‍යාපාර ද එම මාවත ම අනුගමනය කලේ, ආනයන-ආදේශක සැලසුම් හා ජනසතු කර්මාන්ත විනාශ කරමින් සහ අධිරාජ්‍යවාදයට ලාභ ම ශ්‍රමය හා “ඔවුන්ගේ” ජනයාගේ වඩාත් ම ලාභදායී ස්වාභාවික සම්පත් සැපයිය හැක්කේ කාටදැයි යන්න අරබයා එකිනෙකා සමග තරඟ වදිමිනි.

මෙම කුදුමහත් වෙනසෙහි වඩාත් ම දුරදිග යන උදාහරනය සිදු වූයේ සෝවියට් සංගමය තුලයි. වසර 50කටත් පෙර දී ලියොන් ට්‍රොට්ස්කි අනතුරු අඟවා තිබුනු පරිදි, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය, 1917 ඔක්තෝබර් විප්ලවය විසින් ස්ථාපිත කරන ලද දේපොල සබඳතා බිඳ දැම්මේ, තමන් ම නව ධනපති පාලක පන්තියක් බවට පරිවර්තනය වෙමිනි.

මෙම ක්‍රියාවලීන් බන්ධනය කරන බැම්ම වන්නේ, ජාතික ව පාදිත කම්කරු නිලධරයන් හා දේශපාලන පක්ෂ, පටු හා ඓතිහාසික ව අර්ථ දක්වන ලද සීමාවන් යටතේ කම්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කල රූපාකාරයන්ගේ සිට පන්ති පීඩනයේ විවෘත උපකරන දක්වා පරිවර්තනය වීම යි. ගෝලීය ආර්ථිකය හා ජාතික රාජ්‍යය අතර පරස්පර-විරෝධය තීව්‍ර කරමින්, සියලු ජාතිකවාදී ක්‍රියා මාර්ගයන් බෙලහීන හා ප්‍රතිගාමී බවට පත්කල නිෂ්පාදනයෙහි පෙර නුවූ විරූ ගෝලීය ඒකාග්‍රකරනය මෙයට යටින් පැවතුනි.

එක්සත් ජනපදය තුල, ඇමරිකානු ධනවාදයෙහි ලෝක ආර්ථික තත්ත්වයේ ඛාදනයට නිල වෘත්තීය සමිති දැනුවත් ව ප්‍රතිචාර දැක්වූයේ, සංගත-මූල්‍ය ප්‍රභූවට ඔවුන්ගේ සේවාවන් ප්‍රදානය කරමින් සහ එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා වැඩ කොන්දේසිවල ඍජු වියදමින් ඇමරිකානු සංගත ගෝලීය ව තරඟකාරී බවට පත්කිරීමේ ධාවනය සමග ඒකාබද්ධ වෙමිනි.

1990 ගනන් ආරම්භ වන විට, සීමිත ආරක්ෂක අර්ථයකින් පවා, වෘත්තීය සමිති තව දුරටත්, කම්කරුවන්ගේ අව්‍යාජ සංවිධාන ලෙස සැලකිය හැකි නො වී ය. වෘත්තීය සමිතිවල බිඳ වැටීමෙන් සහ සෝවියට් නිලධරයේ අවසන් ප්‍රතිවිප්ලවවාදී පාවාදීම වෙතින් ගම්‍යයන් උකහාගත් වර්කර්ස් ලීගය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) තුල එහි සම-චින්තකයෝ, 1990 ගනන්වල දී තම සංවිධාන ලීගයන්ගේ සිට පක්ෂ දක්වා පරිවර්තනය කිරීමේ තීන්දුව ගත් හ. ලෝක ට්‍රොට්ස්කිවාදී සංවිධානය වන හජාජාකට, කම්කරු පන්තියේ ඍජු නායකත්වය සඳහා සටන් වැදීමේ අවස්ථාව වූයේ එයයි.

ඉතිහාසයේ පාඩම්වලින් සහ ගෝලීය දේශපාලන ආර්ථිකය තුල වෘත්තීය සමිතිවල සැබෑ තත්ත්වය පිලිබඳ වෛෂයික විශ්ලේෂනයකින් නිගමන උකහාගත් හජාජාක, කම්කරු පන්තියේ නව ව්‍යාපාරයක් පැන නගිනු ඇති බවත්, වෘත්තීය සමිති යාන්ත්‍රනයන් පවතින තැන්වල දී එම ව්‍යාපාරය අවශ්‍යයෙන් ම එම යාන්ත්‍රනයන් සමග ගැටුමට එලඹෙනු ඇති බවත්, පෙරදැකීමට සමත් විය. මෙහි ආරම්භක රූපය සාමාන්‍ය කම්කරුවන්ගේ කැරලිකාරීතවයක් බව ද හජාජාක විසින් පුරෝකථනය කලේ ය.

2021 අප්‍රෙල් මාසයේ දී, හජාජාක, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් (කක්‍රිකජාස) සඳහා ආරම්භකත්වය දියත් කලේ ය. “කජාක්‍රිකජාස, ජාත්‍යන්තර පරිමානයකින් කම්හල්, පාසල් හා වැඩපොලවල සාමාන්‍ය කම්කරුවන්ගේ ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී හා සටන්කාමී සංවිධානවල නව රූපාකාර සඳහා රාමුවක් වර්ධනය කිරීමට වැඩකරනු ඇත. කම්කරු පන්තිය සටන් කිරීම‌ට සූදානම් ය. එහෙත්, ප්‍රතිරෝධයේ සෑම ප්‍රකාශයක් ම මර්දනය කරනු ලබන ප්‍රතිගාමී නිලධාරිවාදී සංවිධාන විසින් එයට විලංගු දමයි” යි හජාජාක ලිවී ය.

පැට්කෝ වැඩ වර්ජනයෙන් වසර 40කට පසුව, නිව් රිවර් වැලිහි වොල්වෝ ට්‍රක් කම්කරුවන්ගේ වැඩ වර්ජනය, කක්‍රිකජාස තැනීම වඩාත් ම සැලකිය යුතු ලෙස අරගලය තුලින් සනාථ කරනු ලැබ ඇත. කොන්ත්‍රාත්තු තුනක් පරාජය කරමින්, වැඩ වර්ජන දෙකක් පවත්වාගෙන ගිය ක්‍රියාකාරී කමිටුවක් වර්ජිනියාවේ ඩබ්ලින්හි කම්කරුවන් විසින් බිහි කලේ ය. සහයෝගය පතා කම්කරුවෝ සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙත හැරුනෝ ය. එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර මෝටර් රථ කම්කරුවන්ගේ පිටුබලය ඔවුන් විසින් දිනාගත් අතර, එයට බෙල්ජියානු වොල්වෝ කම්කරුවන්ගේ සහෝදරත්වයෙහි බලගතු ප්‍රකාශන ද ඇතුලත් විය.

ඒ වනවිටත් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුනු තුන්වන කොන්ත්‍රාත්තුවක් සඳහා පැවති දෙවන ඡන්ද විමසීමේ දී, යූඒඩබ්ලිව් හා වොල්වෝ සමාගම, ඡන්ද ප්‍රෝඩාවේ හා බියගැන්විමේ යම් ඒකාබද්ධතාවක් වේගවත් කිරීම හරහා ඉරනම කල්දමා ගැනීමක් සොයාගත් හ. එහෙත් මෙය කල්දමා ගැනීමක් පමනි. වෘත්තීය සමිති නිලධරයේ හා එහි සංගත සහකරුවන්ගේ අපිරිසිදු උපාමාරුවලට වඩා ධනවාදයෙහි අර්බුදය බලවත් ය. වොල්වෝ සමාගමට එරෙහි වැඩ වර්ජනය, ස්වාධීන කම්කරු පන්තික අරගලයේ හා ජාත්‍යන්තර සහෝදරත්වයේ මාවත ඔස්සේ ඉදිරි මාවතක් පෙන්වා ඇත.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් කරා පෙරට නමැති සිය ප්‍රකාශය තුල හජාජාක ලිවූ පරිදි:

ගෝලීය වසංගතයට, එමෙන් ම යුද්ධයට, සමාජ අසමානතාවට, සූරා කෑමට සහ ආඥාදායකත්වයට එරෙහි සටන යනු සමස්ත ධනපති සමාජ සහ ආර්ථික පර්යායයට එරෙහි සටනකි. සියලු රටවල කම්කරුවන් බලය තමන් අතට ගැනීමටත්, කතිපයාධිකාරය අස්වාමික කිරීමටත්, පෞද්ගලික ලාභය නොව, සමාජ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේ අරමුනින්, තාර්කික, විද්‍යාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නතු කෙරුනු නිෂ්පාදන ක්‍රමයක් මත පදනම් වූ සමාජවාදී සමාජයක් ගොඩනැගීමටත් පොදු දේශපාලන ප්‍රහාරයකට ඒකාබද්ධ විය යුතු ව ඇත.

සමාප්තයි.

**

පාදක සටහන්

(1) ඩේවිඩ් බෙන්ස්මන් සහ රොබර්ටා ලින්ච්. මලකෑ සිහින: වානේ කර්මාන්තය තුල දුෂ්කර කාලපරිච්ඡේදයන් (ඉංග්‍රීසි), බර්ක්ලි: කැලිෆෝනියා විශ්ව විද්‍යාල ප්‍රකාශන, 1989 : 3.

(2) රොබට් බී. රයික් හා ජෝන් ඩී. ඩොනහුවේ. නව ගනුදෙනු: ක්‍රයිස්ලර් සමාගමේ ප්‍රකෘතිය හා ඇමරිකානු පද්ධතිය (ඉංග්‍රීසි). නිව් යෝක්, එන්වයි: පෙන්ගුවින් පොත්, 1986: 260.

(3) වෝල්ටර් ගැලන්සන්. ඇමරිකානු කම්කරු ව්‍යාපාරය, 1955-1995 (ඉංග්‍රීසි). වෙස්ට්පෝට්, කොන්: ග්‍රීන්වුඩ් ප්‍රකාශන, 1996: 134.

(4) තිමති ජේ. මින්චින්. ශ්‍රමය ප්‍රහාරයට ලක්වී: 1979 සිට ඒඑෆ්එල්-සීඅයිඕ ඉතිහාසයක් (ඉංග්‍රීසි), චැපල් හිල්: උතුරු කැරොලිනා විශ්ව විද්‍යාල ප්‍රකාශන, 2017: 70.

(5) විලිස් ජේ. නෝඩ්ලන්ඩ්. නිශ්ශබ්ද ආකාශ: ගුවන් ගමන් පාලකයන්ගේ වැඩ වර්ජනය (ඉංග්‍රීසි). වෙස්ට්පෝට්, කොන්: ප්‍රේගර්, 1998: 114.

(6) ලියෝ ට්‍රෝයි සහ නීල් ෂෙෆ්ලින්. එක්සත් ජනපද වෘත්තීය සමිති මූලාශ්‍රපොත: සාමාජිකත්වය, මුදල්, ව්‍යුහය, නාමාවලිය (ඉංග්‍රීසි), 1985: 4. 1-4. 32.

(7) මින්චින්, ශ්‍රමය ප්‍රහාරයට ලක්වී: 68.

(8) නෝඩ්ලන්ඩ්, නිශ්ශබ්ද ආකාශ: 59.

Loading