ජවිපෙ සමිති නායකයෝ දුම්රිය සමිති සමුලුව මැතිවරන වේදිකාවක් කර ගනිති

සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය (සලදුසේපොසේස), ජූලි 29 වන දා, කොලඹ මරදානේ දුම්රිය ශ්‍රවනාගාරයේ පැවැත්වූ 27 වන වාර්ෂික සමුලුව, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ (ජාජබ) මැතිවරන උද්ඝෝෂන වේදිකාවක් විය.

ලදුසේපොසේස යේ ප්‍රධාන ලේකම් එස්.පී.විතානගේ සමුලුව ආමන්ත්‍රනය කරමින්

සලදුසේපොසේස ට අමතරව, සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය, දුම්රිය වෘත්තීය සමිති සන්ධානය, දුම්රිය රියදූරු සහායක සංගමය, දුම්රිය පාලකවරුන්ගේ සංගමය සහ ශ්‍රීලංකා නිදහස් සේවක සංගමය සමුලුව ට සහභාගී වූහ. මෙම සියලු සමිති, දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ (දුවෘසස) කොටස්කරුවන් වන අතර, ජවිපෙ අනුග්‍රහය ලබන ලදුසේපොසේස යේ ප්‍රධාන ලේකම් එස්.පී.විතානගේ එම සන්ධානයේ සම කැඳවුම්කරු ලෙස ක්‍රියා කරයි.

සලදුසේපොසේස පමනක් නොව, ජවිපෙ ට අයත් වෘත්තීය සමිති සියල්ලම පාහේ, තම රැස්වීම් සහ වාර්ෂික සමුලු, ජාජබ-ජවිපෙ මැතිවරන ‌උද්ඝෝෂන වේදිකාවන් බවට පත්කර ගනිමින් සිටිති. ජූලි 28 දා සමස්ත ලංකා හෙද සංගමය ද, අගෝස්තු 2 දා ලංකා ගුරු සේවා සංගමය ද මෙවන් සමුලු පවත්වා ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරනයේ පලමු අදියර ලෙස අධිකාරියක් බවට පරිවර්තනය කිරීමට අදාල දුම්රිය අධිකාරි පනත සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙම සැලසුම වනාහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල යටතේ රාජ්‍ය ව්‍යවසායන් 430 ක් පෞද්ගලීකරනය කිරීමේ කොටසකි.

දුම්රිය අධිකාරි පනත ක්‍රියාත්මක වුවහොත් දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා අහිමි වන අතර ඉතිරි කම්කරුවන්ගේ වැඩ වේගවත් කරමින් වැටුප් සහ සේවා කොන්දේසි කප්පාදු කරමින් ඔවුන් රුදුරු සූරා කෑමකට ලක්වීමට නියමිතය. ජනාධිපතිවරනයෙන් පසුව බලයට පැමිනෙන සමගි ජන බලවේගය හෝ ජාජබ හෝ රනිල් වික්‍රමසිහ ප්‍රමූඛ ආන්ඩුවක් යටතේ හෝ ජාමූඅ ලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට නියමිතය. සියලුම පක්ෂ මේ සඳහා ප්‍රතිඥා දී ඇත.

කෙසේ නමුත්, මෙම සම්මේලනය තුල, පෞද්ගලීකරනයට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්න ගැන කිසිදු සාකච්ඡාවක් සිදු නොවුනි. සමුලුව යොමුකර තිබුනේ, ජාජබ/ජවිපෙ, නායක අනුර කුමාර දිසානායකට වැඩි ඡන්ද ගරා ගැනීම සඳහා සෙසු කම්කරුවන් අතර ක්‍රියා කලයුත්තේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමටයි.

දැනට යෝජිත දුම්රිය අධිකාරි පනත සාකච්ඡාවට විවෘත කර වසරක් ඉක්මවා ඇතත් ජවිපෙ අනුබද්ධිත සමිතිය ඇතුලු කිසිදු දුම්රිය වෘත්තීය සමිතියක් මෙම පනතට එරෙහිව දුම්රිය කම්කරුවන් දැනුවත් කිරීම හෝ අනෙකුත් කම්කරුවන් ඒකාබද්ධ කරන පන්ති සටනක් දියත් කර නොමැත.

අධිකාරී පනත ඉදිරිපත් කිරීමට පෙරාතුවම, තම වැටුප් සහ සේවා කොන්දේසි සමිබන්ධයෙන් දුම්රිය කම්කරුවන් අතර වැඩී තිබූ බලගතු විරුද්ධත්වය පුද්ගලීකරනයට එරෙහි අරගලයක් බවට වර්ධනයවීම වැලැක්වීම සඳහා ජවිපෙ අනුබද්ධිත සහ අනෙකුත් ඊනියා ස්වාධීන වෘත්තීය සමිති 2023 ජනවාරියේ රත්මලාන දුම්රිය වැඩපොලේ දී දිවා ආහාර විවේකය තුල රැස්වීමක් පැවැත්වූහ.

මෙහිදී සමිති නායකයින් කතා කලේ. කම්කරු අරගල වර්ධනය කරන්නේ කෙසේද යන්න නොව පැවැත්වීමට නියමිතව තිබූ පලාත්පාලන මැතිවරනයේදී කම්කරුවන්ගේ ඡන්ද ගසාකන්නේ කෙසේද යන්න ගැනයි.

අධිකාරි පනත ඉදිරිපත් කල පසුද එයට එ‌රෙහිව කවර හෝ සටනක් සංවිධානය නොකල සමිති නායකයන් කම්කරුවන්ට කියා සිටියේ, ජාජබ ආන්ඩුවක් යටතේ ප්‍රශ්න විසඳිය හැකි බවයි. ප්‍රශ්න විසඳනු වෙනුවට ජාජබ ආන්ඩුවක් යටතේ ද සිදුවනු ඇත්තේ, දුම්රිය ප්‍රද්ගලීකරනය ඇතුලු ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙල ඉදිරියටම ගෙන යාමයි.

රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනයටත්, උපයන විට බදු අය කිරීම ඇතුලු අනෙකුත් කප්පාදු පිලිවෙත් වලටත් එරෙහිව පසුගිය වසරේ විදුලි, බැංකු, රක්ෂන, ටෙලිකොම්, වරාය, ජල සම්පත් සහ තැපැල් ඇතුලු රාජ්‍ය අංශයේ කම්කරුවන් ලක්ෂ සංඛ්‍යාතව පන්ති සටන්වලට අවතීර්න වූහ.

ජවිපෙ සමිති ඇතුලු අනෙකුත් සමිති ද මෙම අරගල වඳ විරෝධතාවලට සීමා කරමින් අවමංගතකොට පාවා දුන්හ. මේ වන විට ප්‍රධාන වශයෙන්ම ජවිපෙට අනුබද්ධිත සමිති වැඩ වර්ජන විරෝධී පිලිවෙතක් අනුගමනය කරමින් සිටී.

මෙම වැඩ වර්ජන විරෝධී පිලිවෙත කම්කරුවන් 600 ක් පමන සහභාගී වූ දුම්රිය සමුලුව තුලදී ප්‍රතිරාවය කෙරිනි.

විතානගේ සමුලුව ආමන්ත්‍රනය කරමින් දුම්රිය සේවය ගරා වැටීම පිලිබඳව දේශපාලනඥයන්ට සහ ආන්ඩුවට චෝදනා කරමින් පැවසුවේ “දුම්රිය සේවය කඩාවැටීමට” හේතුව “අකාර්යක්ෂම පරිපාලනය සහ දේශපාලනය” බවයි. අනතුරුව දුම්රිය සේවය ගොඩනැගීම සඳහා “ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක්” අවශ්‍ය බව පැවසූ ඔහු මේ සඳහා “නව දේශපාලන මාවතකට, නව දේශපාලන මග පෙන්වීමක” අවශ්‍යතාව ඉදිරිපත් කලේය.

මෙම කටයුත්ත සඳහා “පොදු ජනතාවට අතට දේශපාලන බලය හුවමාරු වෙනවා. ඒ දේශපාලන වුවමනාව සඳහා අප පෙල ගැහෙන්න ඕන” යනුවෙන් ජාජබ සමග පෙල ගැසිය යුතු බවට විතානගේ දුම්රිය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

“වෘත්තීය සමිති අපටත් තියෙනවා වගකීමක්, වෘත්තීය සමිති මෙහෙය වන්න ඕන, අරගල කරන්න ඕන, සටන් කරන්න ඕන, අයිතිවාසිකම් දිනාගන්න ඕන, වෘත්තීය සමිති ව්‍යාපාරයන් අපට ඕන, සේවකයන්ගේ උවමනාවට සුභසාධනය ඉදිරියට ගෙනයන්න....දවස් තුන හතරක් වැඩවර්ජනය කරලා ඇල්පෙනෙත්තක දෙයක් ලැබුනෙ නැහැ,” යනුවෙන් පවසමින් වැඩ වර්ජන, වර්ජනය කිරීමේ ජවිපෙ ප්‍රතිපත්තිය ඔහු යුක්ති සහගත කලේය.

වෘත්තිය සමිති නායකත්වයේ අනාගත භූමිකාව තවදුරටත් පැහැදිලි කරමින් “අලුත් බල පෙරලියට අපි සූදානම්, ....අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න අපි සූදානම්,“ යනුවෙන්ද ඔහු පැවසීය.

ජවිපෙට අනුබද්ධිත ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත කම්කරුවන් අමතමින්

ජවිපෙට අනුබද්ධිත ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත කම්කරුවන් අමතමින්, තම ආන්ඩුවක් යටතේ “විප්ලවීය වෙනසක්” සිදුකරන බවට පම්පෝරි ගැසුවේ “අපේ පාලනයක් යටතේ, නායකත්වයක් යටතේ දුම්රිය සේවය විප්ලවීය වෙනසකට ලක් කරන්න අපට පුලුවනි,” යයි පවසමිනි.

මෙම “විප්ලවීය වෙනසකට” “හොඳ දේශපාලන නායකත්වයක්” අවශ්‍ය බවට අවධාරනය කල ඔහු “සැප්තැම්බර් මාසයේ රටේ ජනාධිපතිවරනයක් තියෙනවා. ඒ ජනාධිපතිවරනයේදී වැඩකරන ජනතාව සහ ප්‍රගතිශීලි ජනතාව ලංකාවේ පලවෙනි වතාවට දිනන්න ඕන” යනුවෙන්ද “අපේ ඉතිහාසය පුනරුද යුගයකට යන්න යන්නේ, සිස්ටම් චේන්ජ් කරන්න යන්නේ”යනුවෙන් පවසමින් දුම්රිය කම්කරුවෝ ජාජබ ට ඡන්දය දිය යුතු බව ඉල්ලා සිටියේය.

තම වැඩ වර්ජන විරෝධී ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් “අපි මේ වෙලාවේ අවධාරනය කරන්නේ සටන් ආකෘතිය වැඩ වර්ජන” නොව “මැතිවරන පොර පිටිය” යන්නයි.

ලංකාවේ අර්බුදය ගෝලීය ධනපති අර්බුදයේ තියුනු ප්‍රකාශනයක් බව සඟවමින් ලාල්කාන්ත ප්‍රකාශ කලේ ලංකාවේ අර්බුදයට ප්‍රධානතම හේතුව වන්නේ “දේශපාලනය කඩාවැටීම” බවයි. ඉන් ගොඩ ඒම සඳහා තමන් අනුගමනය කරන්නේ “සිංගප්පූරුවේ” ලී ක්වාන් යූ ගේ සහ “මැලේසියාවේ” මහතීර් මොහොමඩ් ගේ දේශපාලන ආකෘතිය බව ඔහු අනතුරුව පැවසීය. මිට පෙර දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ ආන්ඩු විසින් ද මෙම ආඥාදායක පාලකයන්, තම මොඩල ලෙස සලකනු ලැබීය.

දැන් ජාජබ ද මෙම මොඩලය වන්දනාමාන කරන ආකාරය ගැන 2024 ජනවාරී 25 දාතමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ “අන්ත ජාතිකවාදී වැඩපිලිවෙලක් ප්‍රචාරනය කරන ජවිපෙ/ජාජබ, බලයට පැමිනියහොත් ආඥාදායක පාලනයක් ඇති කිරීමට සූදානම් වෙයි” යන ලිපියේ මෙසේ පැහැදිලි කරයි:

“'විවෘත වෙලඳපොල ප්‍රතිපත්ති' ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ වික්‍රමසිංහ සහ තවත් බොහෝ අය සිංගප්පූරුව ශ්‍රී ලංකාවට සුදුසු මොඩලයක් ලෙස දක්වා ඇත. එහි ඉහල ඒක පුද්ගල ආදායම තිබියදී, සිංගප්පූරුව සිටින්නේ තියුනු සමාජ අසමානතාවයක් ඇති රටවල් අතර ය. සිංගප්පූරුවේ හිටපු නායකයෙකු වන ලී ක්වාන් යූ එම මොඩලය හඳුන්වාදුන් පුද්ගලයා ලෙස වන්දනාමානයට ලක්වේ. ඔහු ජාජබ නායකයන්ගේ ද ඇස් පාදා ඇත!”, යනුවෙනි.

රටේ සුලු ජාතීන්ට එරෙහිව වෙනස්කම් කිරීම මත පිහිටවනු ලැබ ඇති මැලේසියාව පිලිබඳව 2010 මාර්තු 26 දා ඉංග්‍රීසි බසින් ලෝසවෙඅ යේ පල වූ ලිපියක්, මහතීර් මොහොමඩ්ගේ අන්ත දක්ෂිනාංශික පාලනය ගැන පැහැදිලි කලේ මෙසේය:

“නිල වශයෙන් තමා අනාගමික වුවද, අගමැති මහතීර් මොහොමඩ් 2001 දී මැලේසියාව ඉස්ලාමීය රාජ්‍යයක් බව ප්‍රකාශ කලේය. ව්‍යවස්ථානුකූලව සියලුම මැලේවරුන් නිර්වචනය අනුව මුස්ලිම් වන අතර ඔවුන් වෙනත් ආගමකට හැරවීමට උත්සාහ කිරීම නීති විරෝධී ය. විශේෂයෙන්ම ආගමික සහ පවුල් කාරනා සම්බන්ධයෙන් ක්ෂේත්‍ර ගනනාවකින් රටේ මුස්ලිම්වරුන් මත ප්‍රතිගාමී ෂරියා නීතිය පැනවීමට ෂරියා උසාවිවලට පුලුල් බලතල තිබේ.”

ජාජබ ආන්ඩුවක් යටතේ බලාපොරොත්තු විය හැක්කේ, කම්කරු අයිතීන් මුලුමනින්ම පාගා දමනු ලබන අධිරාජ්‍යවාදී මූල්‍ය ප්‍රාග්ධනයට කම්කරුවන් යටත් කරනු ලබන ආඥාදායක පාලනයක් බවට සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියට අනතුරු අඟවයි.

වැඩිදුර කියවන්න

Loading