මහජන නැගිටීම මධ්‍යයේ බංග්ලාදේශ අගමැති ඉන්දියාවට පලා යයි

[මෙය Bangladeshi Prime Minister flees to India amid mass uprising යන මැයෙන් 2024 අගෝස්තු 05 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

වඩ වඩාත් කුරිරු වන අත්තනෝමතික පාලනයට එරෙහි මහජන නැගිටීමක් මධ්‍යයේ බංග්ලාදේශයේ දීර්ඝ කාලීන අගමැතිනි ෂීක් හසීනා සඳුදා (05) රටින් පලා ගියා ය.

2024 අගෝස්තු 5, සඳුදා, බංග්ලාදේශයේ ඩකාහිදී, විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් අගමැතිනි ෂේක් හසීනාගේ ඉල්ලා අස්වීම සමරති. [ඒපී ඡායාරූප/රජිබ් දහර්] [AP Photo/Rajib Dahr]

ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී හමුදා පිරිවර සමඟ හසීනා සහ ඇගේ සොහොයුරිය සිටිනු වාර්තා වීමෙන් පැය කිහිපයකට පසු, හමුදා ප්‍රධානී ජෙනරාල් වකාර්-උස්-සමාන්, රූපවාහිනිය හරහා ජාතික ප්‍රකාශයක් සිදු කරමින් හසීනා ඉල්ලා අස් වූ බව ප්‍රකාශ කලේය. පසුගිය වසර 15 තුල බංග්ලාදේශ ආන්ඩුවට නායකත්වය දුන් හසීනා, සිය පාලන තන්ත්‍රය සමඟ සමීප සබඳතා පවත්වන ඉන්දියාවට පියාසර කර ඇති බව පසුව වාර්තා විය.

මිලියන 170 ක ජනතාවක් සිටින එරට “විප්ලවවාදී කාලපරිච්ඡේදයක් පසු කරමින් සිටින” බව ප්‍රකාශ කරමින් ජෙනරාල් වකර්-උස්-සමාන් කියා සිටියේ, නව ආන්ඩුවකට සාමකාමී සංක්‍රමනයක් සඳහා නිසි පාලනය පුනස්ථාපනය කිරීම හමුදාව විසින් අධීක්ෂනය කරනු ඇති බවයි. ඔහු දැනටමත් විපක්ෂ නායකයින් සහ 'සිවිල් සමාජ' කන්ඩායම් සමඟ සාකච්ඡා කර ඇති බව ද කියා සිටියේය.

සාමාන්‍ය ජනතාවගෙන් වීදි වලින් ඉවත් වන ලෙස ඉල්ලා සිටි අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අඟහරුවාදා උදෑසන පාසල්, විද්‍යායාල, කර්මාන්තශාලා සහ කාර්යාල නැවත විවෘත කරන ලෙස ජෙනරාල් නියෝග කලේය. මහජන කෝපය සමනය කිරීමට උත්සාහ කරමින්, වකාර්-උස්-සමාන් ජනතාවගේ මිතුරෙකු ලෙස පෙනී සිටියේය. 'අපි සියලු මිනීමැරුම් වලට යුක්තිය ඉටු කරන” බවට 'මම ඔබ සැමට පොරොන්දු වන” බව කී ජෙනරාල් “රටේ හමුදාව කෙරෙහි විශ්වාසය තබන්න. කරුනාකර ප්‍රචන්ඩත්වයේ මාවතට ආපසු නොයන්න, කරුනාකර ප්‍රචන්ඩකාරී නොවී, සාමකාමී මාර්ග වෙත ආපසු එන්න.” යනුවෙන් ඉල්ලා කීවේය.

ජෙනරාල්වරයා කතා කරන විට, ජාතික අගනුවර වන ඩකාහි වීදි වල ප්‍රීතී ඝෝෂාකරමින් මහා ජනකායක් රැස්කමින් සිටියහ. ඔවුහු අග්‍රාමාත්‍යවරියගේ නිවසට සහ රජයේ ගොඩනැගිලි කිහිපයකට කඩා වැදී කොල්ල කෑහ. නිව් යෝර්ක් ටයිම්ස්, හසීනාගේ නිවසට ඇතුලු වූ දහස් සංඛ්‍යාත ජනතාව අතර සිටි බව කියා සිටි ඇඟලුම් සේවක මොන්සුර් අලි උපුටා දැක්වීය. “අපි එතනට ගියේ කේන්තියෙන්. අපි එහි කිසිවක් ඉතිරි කලේ නෑ.”

සෑම දෙයකින් ම පෙනී ගියේ, ලේ වැකි මර්දනය හරහා තනතුරේ එල්ලී සිටීමට හසීනා දැරූ උත්සාහය බංග්ලාදේශ ධනවාදය භයානක ලෙස අස්ථාවර කරන බව නිගමනය කිරීමෙන් පසුව, හමුදාවේ ඉහල නිලධාරීන් හසීනාට බලයෙන් ඉවත් වන ලෙස බල කර ඇති බවයි.

කම්කරු පන්තිය තවමත් ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස අර්බුදයට මැදිහත් වී නැත. එහෙත් ආන්ඩුවේ පසුගාමී රැකියා ප්‍රතිපාදන ක්‍රමය [කෝටා ක්‍රමය] සම්බන්ධයෙන් පසුගිය මස මුලදී විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරයට වැඩකරන ජනතාව වැඩි වැඩියෙන් එකතු වී ඇත. ඔවුන් එසේ කර ඇත්තේ රාජ්‍ය ප්‍රචන්ඩත්වයට එරෙහි වීමටත්, මහජන විරැකියාව, අන්ත දරිද්‍රතාවය සහ දිනෙන් දින ගැඹුරු වන සමාජ අසමානතාවය කෙරෙහි ඔවුන්ගේ කෝපය ප්‍රකාශ කිරීමටත් ය.

මිලිටරිය සහ පාලක පන්තිය පැහැදිලිවම බිය වන්නේ, රටේ දැවැන්ත ඇඟලුම් කර්මාන්තයට අඛන්ඩව බාධා පැමිනීම, ලාභ අඩු කර, රටේ ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට සහ සේවක අසහනයට ඉන්ධන සපයනු ඇති බවට යි.

ඉරිදා (04), රට පුරා ආන්ඩු-විරෝධී විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇති වූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ඇතුලු සියයකට ආසන්න පිරිසක් මිය ගියහ. විරෝධතා ව්‍යාපාරය ආරම්භ වූ දා සිට සිදුවූ මරන සංඛ්‍යාව 300 ඉක්මවයි.

මර්දනය සහ සියලු දෙනාට බලපාන ඇඳිරි නීතිය නොතකා, 'වෙනස් කොට සැලකීමට එරෙහි' ශිෂ්‍යයෝ හසීනාට ඉල්ලා අස්වන ලෙස බල කිරීමට ඩකා හි අගමැති නිල නිවස වෙත සඳුදා මහා පාගමනක් කැඳවූහ.

සඳුදා වනතුරු හසීනා දැඩි පිලිවෙතක් අනුගමනය කරමින්, සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ඇගේ දේශපාලන පක්ෂය වන අවාමි ලීගය විසින් සංවිධානය කරන ලද මැරයන් සහ කුප්‍රකට ප්‍රති ත්‍රස්ත ක්ෂනික විහිදුම් බලකා ඇතුලු පොලිසිය මුදා හැරියා ය. සිසුන් “ත්‍රස්තවාදීන්” ලෙස හෙලා දුටු ඇය, ආන්ඩුවේ ඇඳිරි නීතිය කඩ කරන අයට “වෙඩි තබා මරා දැමීමේ” නියෝග ලබා දුන් අතර, මෙම ව්‍යාපාරය ප්‍රධාන විරුද්ධ පක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (බීඑන්පී) සහ ඉස්ලාමීය වර්ගවාදී පක්ෂයක් වන ජමාත්-ඊ-ඉස්ලාමි විසින් සංවිධානය කර ඇති බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කලාය.

විරෝධතාවලට එරෙහිව හමුදාව යොදවා තිබියදී, ඔවුන් ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමේ ප්‍රයත්නයේ ප්‍රධාන භූමිකාව ඉටු කලේ පොලිසිය විසිනි. දහස් ගනනක් අත්අඩංගුවට ගැනීම් ද ඊට ඇතුලත් ය. පුවත්පත් වාර්තාවලට අනුව, පසුගිය සිකුරාදා පැවති රැස්වීමක දී, නිරායුධ විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට සිදුවීම ගැන කනිෂ්ඨ නිලධාරීන් සිය ඉහල නිලධාරීන්ට කනස්සල්ල පල කර තිබේ.

හමුදා මාන්ඩලික ප්‍රධානියා හසීනාගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් පැවසුවේ, නාවික හා ගුවන් හමුදා ප්‍රධානීන් සහ විපක්ෂ නායකයින් සහභාගී වූ රැස්වීමක ජෙනරාල් වකාර්-උස්-සමාන් සමග තමා මුලසුන දැරූ බවයි.

“අන්තර්වාර ආන්ඩුවක්” පිහිටුවීමට ඉඩ සැලසීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව රැස්වීමේදී තීරනය කල බවත්, “පවත්නා අරාජික තත්ත්වය සමනය කිරීමට හමුදාව පියවර ගනු ඇති” බවත් ජනාධිපතිවරයා පැවසීය.

පසුගිය ජනවාරියේ දී, හසීනාගේ අවාමි ලීගය විසින් ආධිපත්‍යය දරන වත්මන් පාර්ලිමේන්තුව තේරී පත් වූයේ, බීඑන්පී සහ එහි සහචරයින්, ජමාත්-ඊ-ඉස්ලාමි වර්ජනය කල ඡන්දයකින් අනතුරුවය. ඔවුන් සිය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමේ ආන්ඩුවේ වාර්තාවත්, මැතිවරනය අධීක්ෂනය කිරීම සඳහා භාරකාර ආන්ඩුවක් පත් කිරීමට ඉඩ දීමත් ප්‍රතික්ෂේප කලහ.

දූෂන නඩුවක් සම්බන්ධයෙන් 2018 දී සිරගත කරන ලද බීඑන්පී හි දිගුකාලීන නායිකා ඛලීඩා සියා වහාම නිදහස් කල යුතු බවට රැස්වීම තුලදී එකඟ වූ බව ද ජනාධිපති ෂහාබුදීන් නිවේදනය කලේය.

ධනේශ්වර පාලනයේ ආරක්ෂක ප්‍රාකාරය වන, මර්දනයේ හා ආඥාදායකත්වයේ කුප්‍රකට වාර්තාවක් ඇති බංග්ලාදේශ හමුදාවේ මැදිහත්වීම, “වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍යයන්” ගේ නායකයින් පිලිගෙන ඇත. සියලුම වාර්තා වලට අනුව, පොරොන්දු වූ අන්තර්වාර ආන්ඩුව පිහිටුවීමට ශිෂ්‍ය සංගමය ක්‍රියාකාරීව සහභාගී වේ.

2023 දී ඩොලර් බිලියන 4.7 ක ජාමූඅ ඇප නයකට හිලව් ලෙස, හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීග ආන්ඩුව එකඟ වූ කප්පාදු හා පුද්ගලීකරන පියවරයන් පුනස්ථාපනය කිරීමේ සහ අඛන්ඩව ක්‍රියාවට නැංවීමේ වගකීම පැවරී ඇති එවන් ආන්ඩුවක්, දක්ෂිනාංශික ධනේශ්වර තන්ත්‍රයක් වනු ඇත.

අන්තර්වාර ආන්ඩුව තුල බීඑන්පී සහ එහි සහචරයින්ට ප්‍රමුඛ ස්ථානයක් හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇත. නමුත් හමුදාව, පරිපාලනය පිටුපස බලය ලෙස පවතිනු ඇත.

දශක ගනනාවක් තිස්සේ බංග්ලාදේශයේ නිල දේශපාලනය, හසීනා සහ ඇගේ අවාමි ලීගයත්, සියා සහ ඇගේ බීඑන්පීයත් අතර ඇති දැඩි එදිරිවාදිකම් වටා කැරකෙමින් තිබේ. සාර්ථක හමුදා කුමන්ත්‍රනයක කොටසක් ලෙස බංග්ලාදේශ නිදහස් අරගලයේ ප්‍රමුඛතම දේශපාලන නායකයා වූ සහ රටේ එවකට ජනාධිපති වූ ඇගේ පියා වූ ෂේක් මුජිබර් රහ්මාන් 1975 දී ඝාතනය කිරීමෙන් පසුව හසීනා අවාමි ලීගයේ නායකත්වයට පත් වූවාය.

සියා 1983 දී බීඑන්පීයේ තථ්‍ය නායකයා බවට පත් වූයේ, ඇගේ සැමියා වන පක්ෂයේ නිර්මාතෘ සහ බංග්ලාදේශයේ පස්වන ජනාධිපති සියෝර් රහ්මන්, හමුදා නිලධාරීන් කන්ඩායමක් විසින් ඝාතනය කිරීමෙන් වසර දෙකකට පසුවය.

පුලුල් ධනේශ්වර ගජමිතුරු ජාලයන් සහ දූෂිත අනුග්‍රහ ජාලයන් ඇති මෙම පක්ෂ දෙකම ජාත්‍යන්තර ප්‍රාග්ධනයට අවනත ය; ඔවුන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව මර්දනය සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී වංචාවන් භාවිතා කර ඇත; කම්කරු පන්තිය තුල වැඩෙන ඕනෑම බරපතල විරුද්ධ ව්‍යාපාරයකට එරෙහිව යකඩ හස්තයකින් පිලිතුරු දී ඇත.

බීඑන්පීය ශිෂ්‍ය ව්‍යාපාරයට තම “සහාය” ප්‍රකාශ කලේ, ආන්ඩුවේ මර්දනයට එරෙහිව මහජනතාව කෝපයෙන් වීදි බැසීමෙන් ඉක්බිතිව, ජූලි මැදදී පමනක් බව මෙහිදී සටහන් කල යුතු ය.

ලෝකයේ අටවන වැඩිම ජනගහනය සහිත රට වන බංග්ලාදේශයේ දැන් දිග හැරෙමින් පවතින අර්බුදය සහ වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව කැලඹූ අර්බුදය අතර බොහෝ සාම්‍යයන් තිබේ. 2022 ජූලි මාසයේදී මහජන විරෝධතා සහ වැඩවර්ජන, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් එලියට ඇද දැමීය. එහෙත් වෘත්තීය සමිතිවල සහ විරුද්ධ පක්ෂවල සහය ඇතිව, මහා ව්‍යාපාරික-ගැති සහ වොෂින්ටන්-ගැති රනිල් වික්‍රමසිංහ යටතේ නව ආන්ඩුවක් ඉක්මනින් පිහිටුවන ලදී. කම්කරු පන්තිය සමග ප්‍රචන්ඩකාරී ගැටුම් සඳහා සූදානම් වීමේ දී රාජ්‍යයේ මර්දනකාරී බලවේග ගොඩ නගන අතරම, එය ම්ලේච්ඡ ජාමූඅ කප්පාදු පියවර තල්ලු කරගෙන ඇත.

ඒ හා සමාන ප්‍රතිඵලයක් ලැබීම වැලැක්වීම සඳහා, බංගලාදේශ කම්කරුවන් සහ සිසුන්, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ වැඩපිලිවෙල මත පදනම් වූ නව මාවතක් ගත යුතුය—එය එනම්, 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවය සහ එහි ස්ටැලින්වාදී පරිහානියට එරෙහි අරගලය තුල සජීවීකරනය වූ වැඩපිලිවලයි. බංග්ලාදේශයේ කම්කරු පන්තිය සමස්ත දේශපාලන සංස්ථාපිතයට සහ පාලක පන්තියේ සියලුම කොටස්වලට සහ එහි රාජ්‍ය යාන්ත්‍රනයට එරෙහිව ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස පිහිටුවා ගත යුතුය. ආර්ථික ජීවිතයේ සමාජවාදී ප්‍රතිසංවිධානයට සහ අධිරාජ්‍යවාදයට හා ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට කැපවී සිටින, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය තුල ග්‍රාමීය කම්කරුවන් තමන් පිටුපස පෙලගස්වා ගැනීමට ඔවුන් උත්සාහ කල යුතුය.

Loading