ජනාධිපතිවරනය ලංවෙද්දී මැතිවරන ධනපති අපේක්ෂකයන්ට සින්න කර ගැනීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රචාරය ද තීව්‍ර වෙයි

පසුගිය සති කිහිපයේ පාලක හා විපක්ෂයේ මන්ත්‍රීන් හා බොහෝ ජන මාධ්‍ය ජනාධිපතිවරනය ඇතුලු චන්ද වලට ඉදිරිපත් වන අපේක්ෂ්කයනගේ ඇප තැන්පතු දැවැන්තව ඉහල දමා තරඟකරන්නන් විශාල වසයෙන් අඩු කල යුතුය යන තරයේම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රචාරය යලිත් ඉස්මත්තට දමා ඇත. ජනාධිපතිවරන අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 39 දක්වා ඉහල නැගීමත් සමගම මැතිවරන වියදම් විශාල ලෙස ඉහලයාම ගැන කඳුලු හෙලමින් ඔවුහු මෙම ප්‍රතිගාමී උද්ඝෝෂනය යුක්ති සහගත කරන්නට උත්සාහ දරති.

රනිල් වික්‍රමසිංහ

“සියයට පහකවත් ඡන්ද ප්‍රතිශතයක් නැති අය ජනාධිපතිවරනයට තරඟ කිරීම ජාතික අපරාධයක්” යැයි සඳහන් කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ය. ඔහු දැන් රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති තරඟයේ ප්‍රධාන කසකරුවෙකි.

අගෝස්තු 12 ලංකාදීප ඔන්ලයින් නිව්ස් විසින් වාර්තාකල ආකාරයට, “ප්‍රධාන අපේක්ෂකයින් දෙතුන්දෙනා හැරෙන්නට අනෙක් අයට අඩුම තරමින් සියයට දෙකකවත් ඡන්ද පදනමක් නැති” අතර එවන් පක්ෂ ජනාධිපතිවරනයට තරඟ කිරීම මගින් සිදුවන සම්පත් නාස්තිය අවම කිරීම” සඳහා අමාත්‍ය මන්ඩලයේ සාකච්ඡා සිදුවී ඇත.

ඒ සඳහා නීති සකස් කිරීමට කැබිනට් මන්ඩලය තීන්දු කල නමුත් ඒවා ගෙන ඒමට “ප්‍රමානවත් කාලයක් නොමැතිවූ” නිසා මෙවර එය ක්‍රියාත්මක කරගැනීමට ආන්ඩුවට නොහැකිවූ බව කියමින් අමරවීර ඇඟවුම් කලේ, ඉදිරියේදී එම නීති නියත ලෙස ම සම්මත කරගන්නා බවයි.

සිංහල වර්ගවාදී පිවිතුරු හෙල උරුමයේ නායක මන්ත්‍රී උදය ගම්මන්පිල ද අලුතින් අවුලුවා ඇති ප්‍රචාරයට උඩගෙඩි දෙමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේ ය. අපේක්ෂයන් ප්‍රධාන ධනපති පක්ෂවලට පමනක් සීමා කරගැනීමට ගම්මන්පිල යෝජනා කලේ, පක්ෂවලින් ඉදිරිපත් කරන අපේක්ෂකයන් ඊට පෙරාතුව පැවැති මැතිවරනයකදී එක් පාර්ලිමේන්තු ආසනයක් හෝ දිනා තිබිය යුතුය යන කොන්දේසිය ද පැනවිය යුතු බව ප්‍රකාශ කරමිනි. එමෙන්ම “ඊනියා ස්වාධීන” අපේක්ෂකයන්ට රුපියල් කෝටියක් දක්වා ඇප තැන්පතුව වැඩිකිරීමට මන්ත්‍රීවරයා යෝජනා කලේ ය.

2022 අප්‍රේල් 28 බ්‍රහස්පතින්දා, ශ්‍රී ලංකාවේ කොලඹදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිදුකල වැඩවර්ජනයක් [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

ජූලි 24දා පාර්ලිමේන්තුවේ කතා කරමින්, 2022 මහජන නැගිටීම මධ්‍යයේ ශ්‍රීලංපොපෙන් ආන්ඩුවෙන් වෙන්වූ, ප්‍රගතිශීලියෙක් ලෙස තමන් ම හඳුන්වා ගන්නා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රී ද මෙම ඇප වැඩිකිරීමේ යෝජනාවට සහාය දුන්නේ, එකම අපේක්ෂකයා නියෝජන කරන “වෙනත් අය තරඟ කිරීමෙන් වැලක්වීම පමනක් නොව, ජාතික ධනයෙන් විශාල ප්‍රමානයක් ආරක්ෂා කරගැනීම” තම අරමුන බව ප්‍රකාශ කරමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදය සහිතව, අධිකරන ඇමති විජයදාස රාජපක්ෂ විසින් යෝජනා කොට අප්‍රේල් අප්‍රේල් 9දා කැබිනට්ටුව විසින් ඇප තැන්පතු වැඩිකිරීමේ යෝජනාවක් සම්මත කර ගත්තේය. ඒ අනුව, පනතක් සකස්කර පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට කල් නොතිබීම ගැනයි ඇමති අමරවීර පසුතැවිල්ල ප්‍රකාශ කලේ.

යෝජිත වෙනස්කම් යටතේ, ලියාපදිංචි දේශපාලන පක්ෂයක ජනාධිපති අපේක්ෂකයෙක් රුපියල් මිලියන 2.6ක් තැන්පත් කල යුතු අතර, එය දැනට පවතින රුපියල් 50,000 මෙන් පනස් දෙගුනයක ඉහල දැමීමකි. ස්වාධීන අපේක්ෂකයන් තැන්පත් කල යුතු මුදල, දැනට පවතින රුපියල් 75,000 සිට වඩා විශාල තැන්පතුවක් වන රුපියල් මිලියන 3.1ක් දක්වා ඉහල දමා තිබේ.

තවද, පාර්ලිමේන්තු, පලාත් සභා හා පලාත් පාලන මැතිවරනවල දී තැන්පත් කල යුතු මුදල් ද ඉහල දමා ඇත. පාර්ලිමේන්තු මැතිවරනයක දී ලියාපදිංචි දේශපාලන පක්ෂයක අපේක්ෂකයන් එක් අයෙකුට රුපියල් 11,000ක් ද ස්වාධීන අපේක්ෂකයන් එක් අයෙකුට රුපියල් 16,000ක් ද තැන්පත් කල යුතු ය.

පානි විජේසිරිවර්ධන

කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩීම සඳහා විපක්ෂයේ ද සහාය ඇතිව ආන්ඩුව සම්මත කරගැනීමට කැසකැවූ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පිලිවෙතේ ඇඟවුම් මහජනතාවට පැහැදිලි කරමින් එයට එරෙහිව පුලුල් උද්ඝෝෂනයක් ආරම්භ කලේ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අප්‍රේල් 19දා “ආන්ඩුව මැතිවරන අපේක්ෂකයන්ට පෙර නුවූවිරූ ප්‍රජාතන්ත්‍ර-විරෝධී සීමා පැනවීම් නිවේදනය කරයි” යනුවෙන් පලකල ප්‍රකාශයක සසප, මෙම පියවර පිටුපස ඇති ආන්ඩුවේ ප්‍රතිගාමී අරමුන සම්බන්ධයෙන් පහත කරුන අවධාරනය කලේය:

“විශේෂයෙන් ම කම්කරු පන්තියේ හා දුගීන්ගේ මූල්‍යමය ප්‍රතිපාදන මත රඳා සිටින දේශපාලන පක්ෂ මත සුවිශාල මූල්‍යමය බරක් පටවන මෙම පියවරයන්ගේ ඉලක්කය පැහැදිලි ය. තම මහ ධනපති ව්‍යාපාරික පිලිවෙත්වලට එරෙහිවන සියලු විරුද්ධවාදීන්, විශේෂයෙන් ම අව්‍යාජ සමාජවාදීන් මැතිවරනවලට තරඟ කිරීමෙන් වැලැක්වීමට ආන්ඩුව හා සමස්ත දේශපාලන සංස්ථාපිතය අධිෂ්ඨානවත් ය. මෙමගින්, ධනවත් පාලක ප්‍රභූන්ගේ හෝ ඔවුන් විසින් මූල්‍යාධාර සපයන අපේක්ෂකයන්ට ඡන්ද දායකයන් ව සීමා කෙරෙනු ඇත.”

ධනපති ක්‍රමය, කම්කරු-ගොවි ආන්ඩුවකින් විස්ථාපනය කිරීම සඳහා සටන්වදින සමාජවාදී සමානතා පක්ෂය මෙම පියවර මගින් ප්‍රමුඛව ඉලක්ක කෙරී තිබෙන ආකාරය පැහැදිලි කරමින්, විවිධ නගර හා පලාත් කේන්ද්‍ර කරගනිමින් සසප පක්ෂ සංවර්ධන උද්ඝෝෂනයක් අප්‍රේල් මාසයේදීම දියත් කලේ ය. එහිදී සසප උද්ඝෝෂකයෝ, ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදය, එහි ප්‍රතිපලයක් ලෙස අධිරාජ්‍යවාදී බලයන් විසින් උත්සන්න කරමින් තිබෙන තුන්වැනි ලෝක යුද්ධයේ අනතුර, ලංකාව ඇතුලු ලෝකය පුරා පාලක පන්තීන් වැඩකරන ජනයාට එරෙහිව ජාත්‍යන්තර ප්‍රාග්ධනය ඇනවූ රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කරමින්, ඒවාට එරෙහිව පෙරට එන මහජනයා මැඩීම සඳහා ෆැසිස්ට්වාදය ඇතුලු ආඥාදායක පාලන විධික්‍රම තරකිරීමට ගෙනයන වැඩපිලිවෙල ගැන, සියගනනක් ජනයා සමග පුලුල් සාකච්ඡාවන් සිදුකලහ.

මැතිවරන ඇප තැන්පතුව වැඩිකිරීම පිටුපස ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී අරමුන ගැන සසප පැහැදිලි කිරීම සමග බොහෝ පිරිස් සිය එකඟතාව පලකරමින් උද්ඝෝෂනයට උද්‍යෝගිවත් ප්‍රතිචාර දැක්වූවෝ ය.

ආන්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පිලිවෙතට සසප හැර අන් කිසිදු පක්ෂයක් පුලුල් විරුද්ධත්වයක් දක්වා නැත. ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධය මැතිවරන කොමිෂම වෙත කෙරෙන මැසිවිල්ලකට සීමා කෙරුනි. පාර්ලිමේන්තුව නියෝජන කරන විපක්ෂ සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මැතිවරන පෙරමුන ජාතික ජනබලවේගය (ජාජබ), ඉලංකෙයි තමිල් අරසු කච්චි ඇතුලු සියලු දේශපාලන පක්ෂ මෙයට නිහඬවම පූර්න සහාය පලකොට තිබේ. ඒ, ඔවුන් සියල්ලෝම කම්කරු පන්තික විකල්පයක් කෙරෙහි දක්වන පන්ති විරෝධය නිසාවෙනි.

“අඩුප්‍රතිශතයක් ඇති පක්ෂ” මැතිවරනයට තරඟ කිරීම “ජාතික සම්පත් විනාශයක්” යැයි මොරදෙමින් මැතිවරන ඇප මුදල් වැඩිකිරීම සාධාරනීකරනය කරන ඇමති අමරවීර ඇතුලු නඩය නොකියන කාරනාව වන්නේ, මීට දෙවසරකට පෙරාතුව සිදුවූ මහජන අරගලයේදී ඇතිතරම් පැහැදිලිවූ පරිදි, මිලියන සංඛ්‍යාත මහජනයා පාලක පන්තියේ සියලු කල්ලි පිලිකුලෙන් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

අවසානයට පැවැති 2019 ජනාධිපතිවරනයේදී, මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානයට අනුව, සියලු‍ම දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ඇස්තමේන්තුගතව රුපියල් මිලියන 10,000 ක පමන මුදල් කන්දක් (ගෝඨාභය රාජපක්ෂ මිලියන1,518ක්, සජිත් ප්‍රේමදාස මිලියන 1,422ක් හා අනුර කුමාර දිසානායක මිලියන 160ක් වසයෙන්) මුදල් සම්භාරයක් වියදම්කර තිබුනි. මෙවර මෙම පක්ෂවල වියදම් දැවැන්තව ඉහල යනු නියතය.

“අඩු ඡන්ද ප්‍රතිශතයක්” ඇති පක්ෂ මැතිවරනයෙන් ඉවත් කිරීමට යෝජනා කරන අය හොඳින්ම දන්නා කාරනාවක් නම්, මහජන අරගලය ඉදිරියේ රටින් පලාගොස් ඉල්ලා අස්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සියයට 52.25ක් හෙවත් දශලක්ෂ හතකට ආසන්න ඡන්ද ප්‍රමානයක් 2019 ජනාධිපතිරනයේදී ලබාතිබූ බවයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අමරවීරලාද ඇතුලත් පාර්ලිමේන්තුව විසින් ජනාධිපති පදවියට පත් කර තිබෙන වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය 2020 මහමැතිවරනයේදී ලබා තිබුනේ සියයට 2.15ක් තරම් ඡන්ද ප්‍රමානයකි.

බහුතර මහජනයා ඉදිරියේ අපකීර්තියට පත්ව තිබෙන ධනපති පක්ෂ මහජනයාගේ මොනම ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ගැනවත් අබමල් රේනුවක හැඟීමක් ඇතයි සිතීම මංමුලාවක් වනු ඇත. පසුගිය අවුරුදු දෙක පුරා, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගාදමමින් පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් දුසිම් ගනන් මර්දන අනපනත්වලට මොවුන් සියල්ලෝ ම අත ඔසවා තිබේ. එම පනත් වලට විරුද්ධත්වය පලකල පක්ෂ අවසානයේ එක්කෝ ඒවා සම්මත වීමට ඉඩහැරියහ; නැතහොත්, බලයට ආවිට ඒවා යොදා ගැනීමට පේවී සිටිති.

ධනපති පක්ෂ හා බලයේ සිටි හා සිටින ආන්ඩු වලට ඇත්තේ කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් පාගා දැමීමේ එවන් ගඳගහන වාර්තාවකි. මැතිවරන වලට ඉදිරිපත් වීම සිමා කරගැනීමේ වියරුවෙන් ප්‍රකාශයට පත්වන්නේ ද එයයි. ඔවුන්ට අවශ්‍යවී ඇත්තේ මැතිවරන තමන්ගේ බූදලයක් කර ගනිමින් කම්කරුවන් හා දුගීන් හා ඔවුන්ගේ ආධාරය මත යැපෙන, සියලු පක්ෂ දර්ශන පථයෙන් ඈත්කර දැමීමයි.

වෙසෙසින් ම මෙය බලපාන්නේ, කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතාව නියෝජනය කරන, සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කරන සමාජවාදී සමානතා පක්ෂය කෙරෙහි ය. සමාජවාදී වැඩපිලිවෙල හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමේ සටන පිලිබඳව කම්කරුවන්, දුගීන් හා තරුනයන් සමග මොනම සාකච්ඡාවක් හෝ ඇතිවීම වැලක්වීමට ගිනි ඇවිලෙන අර්බුදයකට මුහුන දී සිටින ධනපති පන්තියට හා එහි පක්ෂවලට උවමනාවී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් ඉදිරියට ගෙනයාමට මහජන අනුමැතිය ලබා ගැනීම සඳහා සියලු ධනපති පක්ෂ මෙම ජනාධිපතිවරනයට ඉදිරිපත්ව සිටින තත්වය තුල, ඒ සියල්ලන්ට ම එරෙහිව, සමාජවාදී සමනතා පක්ෂය ඉදිරිපත්වන්නේ විප්ලවවාදී මූලධර්මයක් උඩ පදනම්ව ය. ඒ, ධනවාදයට එරෙහිව සමාජවාදී විකල්පය ගැඹුරින් මහජනයා අතර සාකච්ඡා කරමින් ඔවුන්ගේ දේශපාලන විඤ්ඤානය ඉහල නැංවීමට ලැබෙන අවස්ථාවක් ලෙස මැතිවරන උද්ඝෝෂනය යොදාගැනීමට ය.

ධනපති ක්‍රමයට එරෙහිව සිංහල, දෙමල, මුස්ලිම් කම්කරුවන් ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් කරන එකම පක්ෂය වන්නේ සමාජවාදී සමානතා පක්ෂයම පමනි. ලංකාවේ පමනක් නොව, නොවැම්බර් මාසයේදී එක්සත් ජනපදයේ ජනාධිපතිවරනයට ඉදරිපත්වන එරට සහෝදර ශාඛාව වන එක්සත් ජනපදයේ සසප ජනාධිපතිවරන උද්ඝෝෂනය ද දියත්ව ඇත්තේ මේ විප්ලවවාදී ඉදිරිදර්ශනය මතය. කම්කරුවන්, තරුනයින්, ශිෂ්‍යයින්, බුද්ධිමතුන් ඇතුලු මහජනයා සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධනට සහය දිය යුත්තේ එබැවිනි.

Loading