බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා කොන්දේසි විරහිතව සහ වහාම නිදහස් කරනු!

[මෙය, Release comrade Bogdan Syrotiuk unconditionally and immediately! යන හිසින් 2024 අගෝස්තු 27 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයකි.]

එලඹෙන මැතිවරනය සඳහා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන වන මම, රුසියාවට එරෙහි නේටෝ යුද්ධයට විරුද්ධ වීම හේතුවෙන්, ෆැසිස්ට් සෙලෙන්ස්කි තන්ත්‍රයේ රහස් සේවය (එස්බීයූ) විසින් සිරගත කරන ලද, යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් කොන්දේසි විරහිතව සහ වහාම නිදහස් කරන ලෙස බලකර සිටිමි.

පානි විජේසිරිවර්ධන

“යුද නීතිය යටතේ ඉහල රාජද්‍රෝහීත්වය” සහ රුසියානු රාජ්‍යයේ අවශ්‍යතා සඳහා සේවය කිරීම යන වංචනික චෝදනා මත ඔහු අප්‍රේල් 25 සිට නිකොලෙව් හි සිරගතව සිටින බව මම දනිමි. ඔහුට වසර 15 සිට ජීවිතාන්තය දක්වා වන සිරදඬුවමක් නියම කිරීමේ තර්ජනයක් එල්ල වී ඇති අතර දරුනු සහ ජීවිතයට තර්ජනයක් වන බන්ධනාගාර කොන්දේසි යටතේ ඔහුගේ ජීවිතය අනතුරේ පවතී.

නේටෝව විසින් උසිගන්වන ලද යුක්‍රේන-රුසියානු යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකු වන 25 හැවිරිදි සයිරොටියුක් ට එරෙහි දඩයම, ඉතාමත් මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා මානව හිමිකම්වලට මරු පහරක් වී ඇති අතර රුසියාවට එරෙහි යුද්ධය “ප්‍රජාතන්ත්‍රවා දයේ ආරක්ෂාව මත පදනම් වී ඇත” යන මුසාවාදය තවදුරටත් හෙලිදරව් කරයි.

බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) නිර්මාතෘ සහ නායකයා වන බොග්ඩන් ධනේශ්වර පුටින් පාලන තන්ත්‍රයේ සහ එහි යුක්‍රේනය ආක්‍රමනයේ නොසැලෙන විරුද්ධවාදියෙකි. ඔහු එක්සත් ජනපද-නේටෝ වක්‍ර යුද්ධයට එරෙහිව යුක්‍රේනයේ, රුසියාවේ සහ පැරනි සෝවියට් සංගමය පුරා කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් කර ඇත.

අපගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම පදනම් වූයේ, සයිරොටියුක් විසින් නියෝජනය කරන යුද විරෝධී හා සමාජවාදී මූලධර්ම, යුක්‍රේනයේ සහ ගෝලීය වශයෙන් කම්කරුවන් හා තරුනයින් අතර පුලුල් ශ්‍රාවකත්වයක් දිනා ගැනීමේ ශක්‍යතාව සම්බන්ධයෙන් සෙලෙන්ස්කි තන්ත්‍රය සහ එහි නේටෝ ආධාරකරුවන් තුල වැඩී ඇති බිය මත ය.

බොග්ඩාන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, යුක්‍රේන තන්ත්‍රය විසින්, “රුසියානු ප්‍රචාරක සහ තොරතුරු ඒජන්සියක්” යන අවලාද මත පදනම්ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) තහනම් කිරීමත් සමග එය මෙම කාරනය තව දුරටත් තහවුරු වී ඇත. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් සහ ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් මතු වූ යුක්‍රේනයේ සහ රුසියාවේ කතිපයාධිකාරී ධනේශ්වර ආන්ඩුවලට එරෙහි අපගේ අඛන්ඩ අරගලය සහ යුද්ධයට හා ධනවාදයට එරෙහිව යුක්‍රේන සහ රුසියානු කම්කරුවන් ඔවුන්ගේ ගෝලීය පන්ති සහෝදර-සහෝදරියන් සමඟ ඒකාබද්ධ කිරීමේ අපගේ අරගලය ගැන ලෝසවෙඅ කියවන ඕනෑම අයෙක් දනී.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනේශ්වර ක්‍රමයට එරෙහිව ලොව පුරා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් වෙන් කල නොහැකි බව, බොග්ඩාන්ට එරෙහි දඩයම තුලින් පෙන්නුම් කෙරෙන බව අවධාරනය කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. අධිරාජ්‍යවාදී පිටුබලය ලබන රුසියාවට එරෙහි යුද්ධයට සහ ගාසා තීරයේ ඊශ්‍රායල ජනඝාතක යුද්ධයට විරුද්ධ වන ලෙස මම ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමි. මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරනය තුල මගේ දේශපාලන උද්ඝෝෂනයේ අත්‍යවශ්‍ය අංගයකි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ මැතිවරනය තුල ඔහුගේ කිසිදු ධනේශ්වර විරුද්ධවාදියෙකු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි සහචරයින්ගේ සාපරාධී යුද්ධවලට විරුද්ධ නොවීම පුදුමයක් නොවේ. ඊට විපරීතව, වික්‍රමසිංහ දිගුකාලීන එක්සත් ජනපද බැලයෙකු වන අතර අනෙකුන් අධිරාජ්‍යවාදී පර්යායට යටත් වන බවට ප්‍රතිඥා දී ඇත. ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු, මූලෝපායිකව ඉතා වැදගත් ස්ථානයක පිහි‌ටා ඇති දිවයින ඇමරිකානු මිලිටරි හමුදාවන්ට විවෘත කිරීම මගින් චීනයට එරෙහි එක්සත් ජනපදය විසින් මෙහෙයවන යුද ධාවනයට ශ්‍රී ලංකාව වඩ වඩාත් ඒකාග්‍ර කර ඇත.

මහනුවර සසප උද්ඝෝෂනය අතරතුර බොග්ඩන් නිදහස් කරන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කරන තරුනයෙක්

අධිරාජ්‍යවාදයට මෙම යටත් වීමට එරෙහිව, ශ්‍රී ලංකාවේ හා දකුනු ආසියාවේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සසප ජනාධිපතිවරනයේදී උද්ඝෝෂනය කරයි. එය, යුද්ධයේ මූල හේතුව වන ධනවාදයට තිත තබනුවස්, යුද්ධයට එරෙහි කම්කරු පන්තියේ ඒකාබද්ධ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ගෙනයන අරගලයේ කොටසකි.

බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා කොන්දේසි විරහිතව වහාම නිදහස් කරන ලෙස මම බලකර සිටිමි! එසේ බලකර සිටින ලෙසත් ඔහුගේ නිදහස ඉල්ලා ලෝසවෙඅ හා සසප වෙත ප්‍රකාශ නිකුත් කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන් හා තරුනයන්ගෙන් මම ඉල්ලා සිටිමි.